පිනට කෑදර වෙලා හරි විදිහට පින් කරන්න බෑ. කෑදරකම පිනට පාවිච්චි කරන්න බෑ. ඒ වගේම ත…

පිනට කෑදර වෙලා හරි විදිහට පින් කරන්න බෑ. කෑදරකම පිනට පාවිච්චි කරන්න බෑ. ඒ වගේම තරඟය පිනට පාවිච්චි කරන්න බෑ. පිනට පාවිච්චි කරන්න පුළුවන් අවබෝධයයි.

ඒ නිසයි පින්වතුනි, අපි මේක හොඳට තේරුම් ගත යුත්තේ. ඒ තමයි, අවබෝධයෙන් පිනක් කිරීම ගැන. අවබෝධයකින් පිනක් කරන කෙනෙක් තමන්ගේ නමවත් ගහගන්න කල්පනා කරන්නේ නෑ. අපට වැදගත් වෙන්නේ නම නෙවෙයි. අපට වැදගත් වෙන්නේ ක‍්‍රියාව. තව සමහරු කියනවා “මං ඔන්න අසවල් දේට වියදම් කළා. හැබැයි මගේ නම ගහන්න ඕන.” තව කෙනෙක් කියනවා “මං අසවල් දේ අරන් දෙන්නම් මගේ නම ගහන්න ඕන.”

ඇත්ත වශයෙන්ම ඒගොල්ලෝ පිනක් ගැන දන්නේ නෑ. පිනක් තේරෙන්නේ නෑ. පිනක් ගැන හිතලත් නෑ. ඒගොල්ලෝ තමන්ගේ මට්ටමින් යම්කිසි පුංචි වියදමක් කරනවා. කරලා ඒකට තමන්ගේ නම ගසාගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ එයා සතුටු වෙන්නේ ඒකෙන්.

ඔන්න පිනක් කළා කියමු. ඔන්න බෝඞ් ලෑල්ලක් හයිකරලා තියෙනවා. ඉස්සරලාම එයා ඇවිල්ලා බලන්නේ ‘කෝ මගේ නම තියෙනවාද?’ කියලයි. හරි තැන නම නැත්නම් “මමයි මෙච්චර දුන්නේ. මගේ නම යටින් දාලා. අසවලා මෙච්චරයි දුන්නේ. එයාගේ නම උඩින් දාලා” කියලා ප‍්‍රශ්න ඇතිකර ගන්නවා. මේ වගේ චූටි දේවල් අල්ලාගෙන පින වනසාගන්න අය කෙලවරක් නෑ.

මේකට හේතුව පින ගැන අවබෝධයක් නැතිකමයි. සැප ලබාදෙන දේ රැස්කළ යුත්තේ තමා නම් තමන් ඒක රැස්කළාට පස්සේ ඒ ගැන කිව්වත් එකයි නැතත් එකයි. නම ගැහුවත් එකයි නැතත් එකයි. තමන් කළ පින කළා. ඒ වගේම පින ගැන තේරුම් ගන්න ගොඩාක් උපකාරී වෙන දෙයක් තමයි, හැම දෙයක්ම අනිත්‍ය ලෝකයට අයිතියි කියන අවබෝධය. වෙනස්වන ලෝකයට අයිති දේක තමයි අපි මේ පින් රැස් කරන්නේ. රැස්කරනා පින තමයි අපේ පස්සේ ගමන් කරන්නේ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ !