පන්සිල් සුරකිමු 1. ප්‍රාණ ඝාතය – මෙලොව ඇතැම් කෙනෙක් සතුන් මරණවා. ඔහු නපුරු කෙන…

පන්සිල් සුරකිමු

1. ප්‍රාණ ඝාතය –
මෙලොව ඇතැම් කෙනෙක් සතුන් මරණවා. ඔහු නපුරු කෙනෙක්(ලුද්දෝ). ලේ තැවරුණු අත් ඇත්තෙක්(ලෝහිත පාණී).සතුන් කපා කොටා මැරීමෙහි යෙදී ඉන්නවා(හතපහතේ නිවිට්ඨෝ). සත්වයින් කෙරෙහි දයාව රහිතව ඉන්නවා(අදයාපන්නේසු පාණභූතේසු).
මේ විදිහට කෙනෙක් සතුන් මරණවා නම් ඔහු මරණින් මතු නිරයේ ඉපදෙන බව බුදු රජාණන් වහන්සේ වදාළා. නැතිනම් තිරිසන් අපායේ එහෙමත් නැතිනම් ප්‍රේත ලෝකයේ ඉපදෙන බව වදාළා. යම් විදිහකින් මිනිස් ලොව උපන් කළක ඔහු අල්ප ආයුෂ ඇතිවයි උපදින්නේ. එසේ නම් අඩු වයසින් මියයන්නේ සසරේ ප්‍රාණඝාතය කළ අයයි.

෴සතුන් මැරීමෙන් වැලකීම෴
බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයා සතුන් මැරීම අත් හරිනවා(පාණාතිපාතං පහාය). සතුන් මැරීමෙන් වළකිනවා(පාණාතිපාතා පටිවිරතෝ හෝති). සතුන් මරන්න දඬු මුගුරු අතට ගන්නෙ නෑ(නිහිත දණ්ඩෝ). අවි ආයුධ අතට ගන්නෙ නෑ(නිිහිත සත්ථෝ). සතුන් මරන්න ලැජ්ජයි(ලජ්ජී). සතුන් කෙරෙහි දයානුකම්පිත වෙනවා(දයාපන්නෝ). සියළු සතුන් ගැන හිතානුකම්පාවෙන් වාසය කරනවා (සබ්බපාණභූත හිතානුකම්පී විහරති).
මේ විදිහට සතුන් මැරීමෙන් වැලකී වාසය කරන තැනැත්තා මරණින් මතු දෙවියන් අතරට යනවා. යම් කළක මිනිස් ලොව ඉපදුන විට ඔහුට දීර්ඝ ආයුෂ තිබෙනවා. බොහෝ කල් ජීවත් වෙනවා.෴෴෴

2. සොරකම –
මෙලොව ඇතැම් කෙනෙක් සොරකම් කරනවා. අනුන් සතු, අනුන් ගේ සම්පත්, ගමක හෝ කැලේක හෝ තියෙනවා නම් එ් නුදුන් දේ සොර සිතින් අරගන්නවා. මෙහෙම කරන අයත් මරණින් මතු නිරයේ උපදිනවා. නැතිනම් තිරිසන් හෝ ප්‍රේත ලෝකවල ඉපදෙනවා. යම් කළක මිනිස් ලොව ඉපදෙනවිට ඔහු උපයන ධනය නැති නාස්ති වෙනවා. ඉතුරුවක් නෑ. ජලයෙන් ගින්නෙන් සොර සතුරන්ගෙන් තමන්ගේ වස්තුව විනාශ වෙනවා.

෴සොරකමින් වැලකීම෴
බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයා සොරකම අත් හරිනවා(අදින්නාදානං පහාය). නොදුන් දේ ගැනීමෙන් වළකිනවා(අදින්නාදානා පටිවිරතෝ හෝති). දුන්න දෙයක් විතරයක් ගන්නවා(දින්නාදායී). දුන් දේ පමණක් ගන්න කැමති වෙනවා(දින්නපාටිකංඛී). නො සොර සිතින් වාසය කරනවා(අථේනේන සුචිභූතේන අත්තනා විහරති).
මේ විදිහට සොරකම් කිරීමෙන් වැලකී වාසය කරන තැනැත්තා මරණින් මතු දෙවියන් අතරට යනවා. යම් කළක මිනිස් ලොව ඉපදුන විට ඔහුගේ භෝගයන් සුරක්ෂිත වෙනවා.෴෴෴

3. වැරදි කාමසේවනය –
මෙලොව ඇතැම් කෙනෙක් කාමේසු මිච්ඡාචාරී වෙනවා. එ්කෙ තේරුම මේකයි. මව් විසින් රකින(මාතුරක්ඛිතා), පියා විසින් රකින(පිතුරක්ඛිතා), මව් පියන් විසින් රකින(මාතාපිතුරක්ඛිතා), සහෝදරයා විසින් රකින(භාතුරක්ඛිතා), සහෝදරිය විසින් රකින(භගිනිරක්ඛිතා), නෑයන් විසින් රකින(ඤාතිරක්ඛිතා), තම ගෝත‍්‍රය විසින් රකින(ගොත්තරක්ඛිතා), ධර්මයෙන් රකින(ධම්මරක්ඛිතා), එමෙන් ම ස්වාමියෙක් සිටින(සස්සාමිකා), එමෙන් ම විවාහ ගිවිසගත්(සපරිදණ්ඩා), එමෙන් ම අඩු තරමින් මල් මාලාවක් දමා හෝ(අන්තමසෝ මාලාගුලපරික්ඛිත්තාපි) විවාහයක් පිණිස යම් ස්ති‍්‍රයක්ව වෙන් කොට තිබේ නම්, එබඳු ස්තී‍්‍රන් කෙරෙහි ඔවුන් ගේ චරිතය කෙලෙසන අයුරින් වැඩ කරනවා.
මෙහෙම අයත් මරණින් මතු නිරයේ ඉපදෙනවා. නැතිනම් තිරිසන් අපායේ ඉපදෙනවා. එහෙමත් නැතිනම් ප්‍රේත ලෝකයේ ඉපදෙනවා.යම් කළක මිනිස් ලොව උපදින විට ඔහුට වෛර කරන බොහෝ සතුරන් සිටිනවා. පව්ල් ජීවිත අසාර්ථකයි.

෴වැරදි කාමසේවනයෙන් වැලකීම෴
බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයා කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වෙනවා. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකිලා ඉන්නවා. මව් විසින් රකින, පියා විසින් රකින, මව්පියන් විසින් රකින, සහෝදරයා විසින් රකින, සහෝදරිය විසින් රකින, නෑයන් විසින් රකින, තම ගෝත‍්‍රය විසින් රකින, ධර්මය විසින් රකින ස්තී‍්‍රන් ඉන්නවා. ඒ වගේම ස්වාමියෙක් සිටින ස්තී‍්‍රන් ඉන්නවා. විවාහ ගිවිසගත් ස්තී‍්‍රන් ඉන්නවා. අඩු ගානෙ මල් මාලයක් දමා හෝ, විවාහයට සම්මත කරපු ස්තී‍්‍රන් ඉන්නවා. එබඳු ස්තී‍්‍රන්ගේ චරිතය කෙලෙසන්නෙ නෑ.
ඔහු මරණින් මතු දෙවියන් අතරට යනවා. යම් කළක මිනිස් ලොව ඉපදුන විට ඔහුට සතුරන් ඉතා අල්පයි෴෴෴

4. බොරු කීම –
මේ ලෝකෙ ඇතැම් කෙනෙක් බොරු කියනවා. සභාවක් මැද හෝ, පිරිසක් මැද හෝ, ඤතීන් මැද හෝ, සේනා මැද හෝ, රජය ඉදිරියට ගෙන හෝ, සාක්‍ෂි විමසන කොට ‘එ්යි පුරුෂය, දැන් නුඹ දන්නවා නම් කිව යුතුයි’ කී විට ඔහු නො දැන ම තමන් දන්නවා යැයි කියනවා. දැන දැනත් තමන් නො දන්නවා යැයි කියනවා. නො දැකත් තමන් දකිනවා යැයි කියනවා. දැක දැකත් තමන් නො දකිනවා යැයි කියනවා. ඔය විදිහට තමන් නිසා හෝ, අනුන් නිසා හෝ, යම් කිසි අල්ලසක් නිසා හෝ දැන දැන බොරු කියනවා.
එබඳු අය මරණින් මතු නිරයේ ඉපදෙනවා. නැතිනම් තිරිසන් අපායේ ඉපදෙනවා. එහෙමත් නැතිනම් ප්‍රේත ලෝකයේ ඉපදෙනවා. යම් කළක මිනිස් ලොව ඉපදී සිටින විට ඔහු නොකළ වැරදි වලට හසු වෙනවා. ඔහු ගේ වචනය කව්රුත් පිළි ගන්නෙ නෑ.

෴බොරු කීමෙන් වැලකීම෴
බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයා බොරු කීම අත්හරිනවා. බොරු කීමෙන් වළකිනවා.ඇත්ත ම කියනවා(සච්චවාදී). නිතරම ඇත්ත ගලපලා කතා කරනවා(සච්චසන්ධෝ) ඇදහිය හැකි වචන(ථේතෝ), පිළිගත හැකි වචන(පච්චයිකෝ) කථා කරනවා. ඔහු කිසි කරුණකින් ලෝකයා රවටා මුළා කරන්නෙ නෑ.(අවිසංවාදකෝ ලෝකස්ස).
ඔහු මරණින් මතු දෙවියන් අතරට යනවා. යම් කළක මිනිස් ලොව ඉපදුන විට ඔහු නොකළ වැරදි වලට හසු වන්නෙ නෑ. ඔහුගේ වචනය සියළු දෙනා පිළිගන්නවා෴෴෴

5.මත්පැන් මත් ද්‍රව්‍ය භාවිතය –
මේ ලෝකෙ ඇතැම් කෙනෙක් මත්වීමටත් ප්‍රමාදයටත් හේතුවන (මත්වතුර- මත් කුඩු- සිගරට් ආදී) දේවල් භාවිතා කරනවා. එබඳු අයත් මරණින් මතු නිරයේ ඉපදෙනවා. නැතිනම් තිරිසන් අපායේ ඉපදෙනවා. එහෙමත් නැතිනම් ප්‍රේත ලෝකයේ ඉපදෙනවා. යම් කළක මිනිස් ලොව උපදින විට ඔහු උමතු (මන්දබුද්ධික) කෙනෙක්.

෴මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැලකීම෴
බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයා මත් ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. ඔහු ඔහු මරණින් මතු දෙවියන් අතරට යනවා. යම් කළක මිනිස් ලොව ඉපදුන විට ඔහු බුද්ධිමත්. වහා වැටහෙන නුවණ ඇති කෙනෙක් ෴෴෴

මේ නිසා තමන් ගේ යහපත කැමති සියළු දෙනා විසින් පන්සිල් රකිත්වා!!!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
—————————————————-
චූලකම්මවිභංග සූත්‍රය