ධර්ම දානයේ වැදගත්කම – සියල්ලෝම ධර්ම දානයේ යෙදෙත්වා ධර්ම දානය පිළිබඳව ධම්ම පදටඨක…

ධර්ම දානයේ වැදගත්කම – සියල්ලෝම ධර්ම දානයේ යෙදෙත්වා

ධර්ම දානය පිළිබඳව ධම්ම පදටඨකථාවෙහි මෙසේ සඳහන් වේ. සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා, පාත්‍ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට ද වඩා, එසේම මහා විහාරයන්ට සමාන විහාර ද, ලෝවාමහාපාය වැනි ප්‍රසාදයන් නොයෙක් සියදහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා, අනාථ පිණ්ඩික සිටුතුමා දෙව්රම් වෙහෙර සඳහා කළ පනස් හතර කෝටියක ධන පරිත්‍යාග චේතනාවට ද වඩා, බඹලොව තරම් උසට බුදුන් උදෙසා චෛත්‍යය කරවනවාට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදුකෙරේ නම්, ධර්ම දානමය පින්කමක් සිදු කෙරේ නම් ඒ ධර්ම දානමය පින්කම ම වඩා ශ්‍රේෂ්ඨ වේ, උතුම් වේ යැ යි දක්වා ඇත.

එයට හේතුව නම් ඉහත කී සිවුරු පිදීම පිණ්ඩපාත දාන සෙනසුන් ඉදිකිරීම් ආදී පුණ්‍ය කර්ම කරනුයේ ධර්මය අසා දැන ගත් බැවිනි. ධර්මය දැන කියා ගැනීමට නො ලැබුණි නම් බත් හැන්දකුදු නො දෙන බව ධර්මයේ පෙන්වා ඇත. තව ද රහත් බෝධියෙන් නිවන් දුටු පිරිස අතර අගතැන්පත් සම්මාදිට්ඨි සුත්‍රය ද දේශනා කළ ඒ සැරියුත් මහරහතන් වහන්සේට කල්පයක් මුළුල්ලෙහි වසින වර්ෂාවේ දිය බිඳු ප්‍රමාණය කීමට තරම් මහා නුවණක් ඇත්තේ ය. මේ තරම් නුවණක් ඇති ඒ සැරියුත් හිමිට ද අස්සජි හිමියන්ගෙන් බණ පදයක් දැන ගැනීමට නො ලැබුණි නම් නිවන් දැකීමට නො හැකි වන්නේ ය. මේ හේතුවෙන් ධර්ම දානමය පින ම සියලූ දානමය පින්කම් වලට වඩා ශ්‍රේෂ්ඨ වන බව අග්‍ර වන බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුට වදාරන්නට යෙදුනේ ය.

ධර්ම දානය අවුරුදු දහස් ගණනින් සීමා වූ බුද්ධෝත්පාදයෙහිම කළ හැකි වන්නේය. කල්ප ගණනින් අති දීර්ඝ වූ අබුද්ධොත්පාදයෙහි කළ නොහැකි වන්නේය. සංසාරයෙහි සැරිසරන සත්වයා සුගතියට නොපැමිණ අවුරුදු කල්ප කෝටි ගණන් අපායේ වාසය කරන කල්හි ද ධර්ම දානයක් නම් කළ නොහැකිවේමය. මිසදිටුව උපන් කල්හි ද, පිට සක්වල උපන් කල්හි ද, ගොළු – බිහිරි – මෝඩ – උම්මත්තකව උපන් කල්හි ද, ශ්‍රද්ධා, සති, වීරිය, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් දුර්වලව උපන් කල්හි ද අල්ප මාත්‍ර වූ ද ධර්ම දානයක් නම් නොකෙරේමය. දීර්ඝායුෂ්ක අරූපී බ්‍රහ්ම ලෝක සතරෙහි හා අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකයෙහි උපන් කල්හි ද ධර්ම දානය නොකළ හැකිය.

ධර්ම දානයෙහි අධර්මයෙන් උපදවාගත් දෙයක් නොවන හෙයින් දාන වස්තුව ගැන සැකයක් නොවන්නේය. ලොව්තුරා බුදුවරයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළ ධර්මයක් හෙයින් ධර්මය අති පාරිශුද්ධ වන්නේය. ධර්ම දානය දුශ්ශීලයන්ට දුන්නේ ද විපාකය මහත්ඵල වන්නේය.

දාන වස්තුවෙහි ලෝභ ඉපදීමෙන් වන පුණ්‍ය හානියකුදු නැත්තේය. ධර්ම දානය දීමෙන් දිළිඳු නොවන හෙයින් පසුතැවිලි වීමකුදු නැත්තේය. ධර්ම දානය සියල්ලන්ට සාධාරණ දානයක් නොවේ. ලොව්තුරා බුදු කෙනකුන් වහන්සේ විසින්ම ප්‍රථමයෙන් දුන් හෙයින් අසාධාරණ දානයකි. දුන් අයට මෙන්ම ලැබූ අයටද පින් පිරෙන දානයකි.

ධර්ම දානය නිවන් උදෙසා කෙරෙන දේශනාවක් හෙයින් නොපැතුවද නිවන් ලබාදෙන දානයකි. ඥාන විප්‍රයුක්තව බණකීම් විරළ හෙයින් බොහෝ විට ත්‍රිහේතුක කුසල්ම උපදින්නේය. ධර්ම දේශනාව පටන් ගත් මොහොතේ සිට අවසාන වනතෙක් අප්‍රමාණ කුශල චිත්ත විථින්ගෙන් ද සද්ධා සති කරුණා මුදිතාදි කුසල චෛතසිකයන්ගෙන් ද සිදු කරන අති බලවත් කුශල කර්මයකි.

ධර්ම ශ්‍රවණය කිරීමෙන් ශ්‍රද්ධා ප්‍රඥා දියුණු කර ගත් බොහෝ සත්වයෝ මසුරු මල හැරපියා තමන් සතු සියලු ධනය පරිත්‍යාග කරති. සමහරු ධනය ද, ඇස්, ඉස්, මස්, ලේ, අත්පා ආදී අංග ප්‍රත්‍යංග ද පරිත්‍යාග කරති. තෘෂ්ණාව හැරපියා එතෙක් දෑ දීමෙහි පොළඹවන ධර්මය දීම සියලු දීම් වලට වඩා උසස් වේමය. ධර්ම දානය නිසා මරණය වැලකී රැකුණු ජීවිත මෙතෙකැයි පමණ නැත. සතර අපා දුකින් මිදී සුගතියෙහි ඉපදුණු සත්වයන් මෙතෙකැයි පමණ නැත. එහෙයින් ධර්ම දානය සියලු දානයන්ට ප්‍රමුඛ වෙයි.

බණ දේශනා කරන අයගේද අසන අයගේද බණ කියා නිමවන තෙක් කයින් වචනයෙන් කෙරෙන අකුසල් වලින් තොරව කය වචනය සංවරව පවතින බැවින් සීලය සම්පූර්ණ වේ. දේශනා කරන ධර්මයට සිත නැඹුරුව පවතින හෙයින් කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා යන නීවරණ ධර්මයන් යටපත් වීමෙන් සමාධිය සම්පූර්ණ වේ. ධර්මය අවබෝධ වීමේදී ප්‍රඥාව පහළ වේ. මෙසේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් තුන් වැදෑරුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය එකවර සම්පූර්ණ වීමෙන් මාර්ග ඵල අවබෝධය වේ. එවිට නිර්වාණය ප්‍රත්‍යක්ෂ වේ. එහෙයින් ධර්ම දානය දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් එවලේම විපාක ලබා දිය හැකි දානයකි.

යම් කිසි විදියකින් මෙලොව එබඳු විපාකයක් ලබා ගැනීමට නොහැකි වූයේද මේ මහා භද්‍රකල්පයට එක් තිස් කල්පයකින් මත්තෙහි ලෝ පහල වූ සිඛී නම් බුදුරජාණන් වහන්සේගෙන් මොහොතක් බණ ඇසූ මිගලුද්දක නම් වැදි පුත්‍රයා සතර අපා දුකින් මුදා කල්ප තිස් එකක් මුළුල්ලෙහි සදිව්‍ය ලෝකයෙහිත් මනුෂ්‍ය ලෝකයෙහිත් අප්‍රමාණ වූ සම්පත්තියට පමුණුවා කෙළවර ලෝකෝත්තර සැපත වූ නිර්වාණයටත් පමුණුවාලූවාක් මෙන් අප්‍රමාණ වූ සුගති සංඛ්‍යාත ලෞකික සම්පත්තියටත් කෙළවර නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර සම්පත්තියටත් පමුණුවා ලීමෙහි ධර්ම දානය සමත් වෙයි.

පෙර බුදුවරයන් වහන්සේලාගේ ධර්ම දානය හේතු කොට ගෙන පසු බුදුවරයන් වහන්සේලාද පසේ බුදුවරයන් වහන්සේලාද රහතන් වහන්සේලා ද ලෝකයෙහි පහළ වූහ. ඒ කාරණයෙනුත් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වේ. සත්වයකුට ලැබිය හැකි උසස්ම තැන වූ සම්මා සම්බුද්ධ බෝධිය පවා අත් කරදෙනුයේ ධර්ම දානය විසිනි. ඒ හේතුවෙනුත් ධර්ම දානය අග්‍රය. ධර්ම දානයෙහි ආනිශංස පක්ෂය මෙතෙකැයි සීමා කර ප්‍රමාණකර කිව නොහැකි බවම ත්‍රිපිටකයෙහි සඳහන්ය. ධර්ම දේශකයා උපනූපන් තැන සියලු යස ඉසුරු පිරිවර සම්පත්තියෙන් ආඪ්‍ය වන්නාක් මෙන්ම ඒවා සැපසේ අනුභව කරන මහා ප්‍රඥාවන්තයෙක් ද වන්නේය. ලෞකික ලෝකෝත්තර සියලු සම්පත දෙන්නාට සියලු සම්පත් නිතැතින්ම ලැබේමය. එහෙයින් එබඳු උතුම් ධර්ම දානය දෙන්නට වටී.

පිරිස් වලට ධර්ම දේශනා කිරීම කාටත් කළ නොහැකි බව සැබෑය. එහෙත් ධර්ම දානය කාටත් සිදු කළ හැකි වෙනත් විධි බොහෝ තිබේ.

1. ධර්ම දේශනා කිරීම, කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
2. ධර්මය ඉගැන්වීම හා දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
3. පිරිස් වලට බණපොත් කියවීම, අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම හා ඔවුන්ව විවිධ පින්කම් වල යෙදවීම
4. ධර්ම ශාලා කරවීම, ධර්මාසන කරවීම, ඉරුදින දහම් පාසල් පිහිටුවීම හා ඒ සඳහා පහසුකම් සැලසීම
5. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
6. ධර්ම දේශක භික්ෂූන්ට හා ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට අවශ්‍ය පහසුකම් සැලසීම

ධර්ම දානය මහත් ඵල වීමට

ධර්ම දේශනා කිරීම දහම් පොතපත මුද්‍රණය කරවීම ආදියේදී තමන්ගේ උගත්කම්, දක්ෂකම්, සපන්කම් පෙන්වන මානයෙන් දුරුව, නම හෝ ඡායාරූප පල කරගැනීමේ ආශාවෙන් තොරව කළ යුතුය. බණ පොත් මුද්‍රණය කරවීමේදී ධර්ම ගෞරවය රැකෙන සේ බාල කරදාසි වල මුද්‍රණය නොකර මැදපු කඩදාසි වල මුද්‍රණය කරවීම ද, අකුරු වචන නොවරදින සේ ශෝධ්‍ය පත්‍ර බැලීම ද, බාහිර ශාස්ත්‍රීය ලිපි හා වෙළෙඳ දැන්වීම් ඇතුළත් නොකිරීම ද ඉතා වැදගත් බව සැලකිය යුත්තකි. කෙසේ වත් ධර්මය නොකෙළසීම හා ධර්මයට අගෞරව නොකිරීම බෞද්ධ ගුණයකි. ධර්මය රැක ගැනීමකි.

ධර්ම දානය කරන්නවුන් විසින් ධර්මදානයෙහි අප්‍රමාණ ආනිශංස හා විපාක ඇත්තේ යයි නුවණින් සලකා ප්‍රත්‍යාදී ලාබ ප්‍රයෝජන හා නම්බුනාම, කීර්ති, ප්‍රශංසා ගරු බුහුමන් ලැබීමේ ලෝභයෙන් තුරන්ව නිශ්ශරණාධ්‍යාශයෙන් යුතුව කළ යුතුය. එසේම බණ අසන්නවුන්ට නින්දා කරන, ගර්හා කරන, හෙලා දකින චේතනාවෙන් තොරව ඔවුන් සසර දුකින් මුදා ගැනීමේ හා ලොව් ලොව්තුරු සැපතට පැමිණවීමේ අභිලාශයෙන් යුතුව කරුණා මෛත්‍රී සහගත සිතින් ශිලාදී ධර්මයෙහි පිහිටා ධර්ම දානය සිදු කළ යුතුය. එසේ නොකළහොත් ධර්ම දානමය කුසලය උත්කෘෂ්ඨ නොවේ. ධර්ම දානය සිදු කිරීමට පළමුවත් එය කරන අවස්ථාවේත් ඉන් පසුවත් යන තුන් අවස්ථාවෙහිම ලෝභ – ද්වේශ – මෝහාදී කෙලෙස් වලින් පසු නොබා කළ යුතුය. සමහර විට “අනේ මේ පොත මුද්‍රණය කරවීමට බොහොම මුදල් වියදම් වේවි” යයි කියා ලෝභය ද, “මේ නරක මිනිසුන්ට මොන බණදැයි” ද්වේෂය ද, “මේ වැඩෙන් මගේ මහන්සියේ හැටියට වියදමේ හැටියට ප්‍රතිඵලයක් ආනිශංසයක් ලැබේදැයි” මෝහය ද ඇතිවිය හැකිය. එසේ පසු බට වීම් සහිත දූෂිත වූ සිතින් ධර්ම දානය කළොත් ඒ කුසලය හීන, ලාමක, දුර්වල දුක් සැප දෙකින් මිශ්‍ර විපාක ඇති කුසලයක් වෙයි.

ධර්ම දානයට හතුරුකම් කිරීම

නොමිලයේ දෙන බණ පොත් ඥානයත්, කාලයත්, මහන්සියත්, ධනයත්, ධර්මය වෙනුවෙන් පරිත්‍යාග කරන, ලාභ ප්‍රයෝජන අපේක්‍ෂාවෙන් තොරවූ සත් පුරුෂ සාධු ජනතාවගෙන්ම බිහිවන හෙයින් විශේෂ ගෞරවයෙන් ආරක්‍ෂා කළ යුතුය. කියවා ප්‍රයෝජන ගත යුතුය. ශ්‍රද්ධාවෙන් නොමිලයේ දෙන දහම් පතපොත ලබාගෙන හෝ පිළිගෙන එය නොකියවා, ඉන් ප්‍රයෝජන නොගෙන එය කියවීමට කැමති කෙනකුට ද නොදී, ආරක්‍ෂා ද නොකොට නාස්ති වී යාමට ඉඩදීම ඒ ධර්ම දානයට කරන හානියක් වන හෙයින් ඉන් බරපතල අකුසල කර්මයක් සිදුවේ. ළමයින් නැළවීමට හෝ ළමයින් සතුටු කිරීමට ඒ පොත් දීමෙන් ඒ ළමයින් ද අපායගාමී අකුසල් කර ගනිති. තවද ධර්ම දානය ලෞකික ලෝකෝත්තර සියලු සැපතට ඉවහල් වන මහා ආනිශංස දායක කුසල කර්මයක් වන හෙයින් තමන්ගේ බලය පෑමෙන් එය වළක්වාලන අය ද, නරක හැසිරීම් කෑකෝ ගැසීම් ආදියෙන් එයට බාධා කරදර පමුණුවන අය ද, ධර්ම දානය හෙළාදකින, පහත් කොට, නිශ්ඵල කොට සිතන කියන අය ද ඒ ලෞකික ලෝකෝත්තර සියලු සැපතින් පිරිහී සතර අපායාදී දුගතියට වැටෙන බව සැලකිය යුතුයි. “ධම්ම දෙස්සී පරාභවො” ධර්මයට ද්වේෂ කරන්නා පිරිහෙයි.

සද්ධම්මා පරම දුල්ලභො

“සද්ධර්මය නම් අතිශයින්ම දුර්ලභයයි” බුදු මුවින් ද දේශනා කොට වදාළ සේක. මහා කාරුණික ඒ බුදුරජාණන් වහන්සේ දන් වළඳා ගඳ කිළියට වැඩමවා පා සෝදා එහි පඩිය මත සිට එතැනට පැමිණෙන භික්ෂූන්ට දිනපතා මෙසේ අනුශාසනා කළ සේක. “අප‍්පමාදෙන භික‍්ඛවෙ, සම‍්පාදෙථ, දුල‍්ලභො බුද‍්ධුප‍්පාදො ලොකස‍්මිං, දුල‍්ලභො මනුස‍්සත‍්ත පටිලාභො, දුල‍්ලභා පබ‍්බජ‍්ජා, දුල‍්ලභා සද‍්ධා සම‍්පත‍්ති, දුල‍්ලභං සද‍්ධම‍්ම සවණං. මහණෙනි, අප්‍රමාදව ධ්‍යාන මාර්ග ඵල වඩව්, ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභය. මිනිසත් බව දුර්ලභය. ශ්‍රද්ධා සම්පත්තිය ද දුර්ලභය. ප්‍රව්‍රජ්‍යාව (පැවිද්ද) දුර්ලභය. ධර්ම ශ්‍රවණය දුර්ලභය” යනු එහි අදහසය.
මේ අනුශාසනාවේ ඇති වැදගත්කම නිසා දිනපතා දේශනා කළ සේක. ඒ පරම සත්‍ය වූ මිහිරි වූ බුද්ධානුශාසනාව පිළිගනිතොත් සාධු ජනයෙනි, කුමක් හෙයින් තණ අග පිණි බිඳක් සා අනිස්ථිර ජීවිතයක් ලැබ ගම් – බිම්, ගෙවල් දොරවල්, මිල – මුදල්, යාන – වාහන, අඹු – දරු, ගව මහීෂ හා දාසි – දාසාදී කාම වස්තූන් කෙරෙහි ඇලී බැඳී කා කොටා වැටෙමින් නඩු හබ කියා ගනිමින් ඊර්ෂ්‍යා ක්‍රෝධ – මද – මානාදී කෙලෙස් වඩමින් කල් යවන්නහුද?