සාමාන්‍ය ලෝකයේ ජීවත් වන තැනැත්තෙකුට සමාජය දැනෙන්නේ එක ආකාරයකටය. ජීවිතය පිළිබඳව ග…

සාමාන්‍ය ලෝකයේ ජීවත් වන තැනැත්තෙකුට සමාජය දැනෙන්නේ එක ආකාරයකටය. ජීවිතය පිළිබඳව ගැඹුරින් සිතන තවත් කෙනෙකුට එය වෙනත් ආකාරයකට දැනෙන්නට පිළිවන්. මෙයට හේතුව ඒ ඒ පුද්ගලයන්ට සමාජය දැනෙන්නේ තමන් සිතන තමන් බලාපොරොත්තු වන ආකාරයට වීමයි.

ජීවිතයද එබඳුමය. ජීවිතය ඉතාමත් ලස්සන, සුන්දර තැනක් ලෙස කෙනෙකුට කල්පනා විය හැකිය. තවත් කෙනෙකුට එය බරපතල කන්දොස් කිරියාවක් ලෙස දැනෙන්නටද පිළිවන. එයට හේතුව ඒ ඒ අය ජීවිතය පිළිබඳව සිතන ආකාරය අනුවයි. සමාජය පිළිබඳවත් ජීවිතය පිළිබඳවත් විවිධ ආකාරයට කල්පනා කිරීමේ ඵලය ලෙස ඔවුනට තමන්ට සිතෙන ආකාරයේ ලෝකයක් පෙනෙන්නට තිබේ.

බුදුදහමෙහි පුද්ගලයා ජීවිතය පිළිබඳව සිතිය යුතු නිවැරැදි ක්‍රමය කුමක්දැයි උගන්වයි. එය අංශ දෙකකින් යුක්තය. එනම් “සම්මුති ලෝකය” තුළ ජීවිතය පිළිබඳව සිතිය යුත්තේ කෙසේද? යන්න සහ යතාර්ථය ලෝකය තුළ ජීවිතය පිළිබඳව සිතිය යුතු ආකාරය පිළිබඳවයි. අප මෙහිලා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යතාර්ථ ලෝකය තුළ ජීවිතය පිළිබඳව මිනිසා කල්පනා කළ යුතු ආකාරය පිළිබඳවයි. යතාර්ථ ලෝකය දැකීමට උනන්දු වන්නේ සාමාන්‍ය වශයෙන් දැනුම් තේරුම් සහිත ජීවිතාබෝධයකින් යුතු මනුෂ්‍යයාය. යතාර්ථ ලෝකය පිළිබඳව බුදු දහමෙහි උගන්වනු ලබන්නේද එබඳු පුද්ගලයාටය. උපමා මගින් එය දක්වා තිබේ. ජීවිතය පෙණ පිඬක් මෙන් සිතන ලෙසත් මිරිඟුවක් ලෙස සිතන ලෙසත් එහිදී දක්වයි. අවුරුදු 120 ක පමණ කාල පරාසයක් සහිත ජීවිතය පෙණ පිඬක් වැනි ආයු කාලයක් පමණක් පවතින්නක් ලෙස සිතන්නටත් එය තියෙනවා යැයි පෙනෙන නමුත් ළඟට ගිය පසු එතන නොපෙනී නැවතත් ඈතින් පෙනෙන මිරිඟුවක් ලෙස සිතන්නටත් මෙහිලා උගන්වයි.මෙම ඉගැන්වීම සාමාන්‍ය ඤාණය සහිත කෙනෙකුට තේරුම් ගත නොහැකිය.ඊට හේතුව පෙණපිඬු (දිය බුබුල) දියෙහි පවතින්නේ ස්වල්ප වේලාවකි. ජීවිතය එයට වඩා කාලයක් පවතී. මිරි¼ගුව පෙනෙන්නට තිබුණද ළඟට ගිය පසු ඈතින් පෙනුනද ජීවිතය ඊට වඩා වෙනස්ය. ජීවිතය දැනෙයි. විඳීයි. සකස් කරයි. මේ නිසා මෙම ඉගැන්වීම බුදු දහම අවබෝධය පිරි පරිණත මිනිසුන් කෙරෙහිය. බුදුරජාණන් වහන්සේ දාර්ශනිකව ලෝකය දෙස බලා ඉගැන්වූ උපමා දෙකකි. අනන්ත කාලයට සාපේක්‍ෂව ගත් කළ පුද්ගලයකු ජීවත් වන කාලය දිය බුබුලක් පවතින කාලය හා සමානය. අනන්ත සක්වළ මැරි මැරී නැවත උපදින මිනිස් ප්‍රජාවට සාපේක්‍ෂව තමන් ගත කරන ජීවිත කාලය මිරිඟුවක් වැනිය. මේ අවබෝධය කෙනෙකුට ලැබෙන්නේ ජීවිතය පිළිබඳව ඇතිකර ගන්නා නිවැරදි අවබෝධය මතය.බුදු දහමෙහි උගන්වන කිසිවක් කිසිදා නොපවතීය යන්න අනිත්‍යතා ධර්මය මෙහි ගැබ්වේ. එනිසා අනන්ත සංසාරයට සාපේක්‍ෂව මිනිසා ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද යන්න මෙහිලා පැහැදිලි කරනු ලැබේ.

මිනිසා ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද? යන්න විමසා බැලිමේදී පැහැදිලි වන්නේ නැවත උපදින නැවත මිය යන ජීවිතයක් අරගෙන සංසාරයටද සැරිසරණ බවයි. සමාජයට යහපත වැඩි වශයෙන් කළ අය සංසාරයේ සැරිසරන්නේ සැප සම්පත් විඳිමින්ය. සමාජයට අයහපත වැඩි වශයෙන් කළ අය සංසාරයේ සැරිසරන්නේ දුක් දොම්නස් විඳිමින්ය. බුදු දහමෙහි උගන්වන්නේ මේ යතාර්ථය මැනවින් තේරුම් බේරුම් කරගෙන නැවත නූපදින ලෙස සංසාරය අවසන් කරන ලෙසයි.

ඒ සඳහා මිනිසාගේ ඤාණය යතාර්ථ ලෝකය වෙත හැරවීමට එරෙහිව සිටින්නා මාරයා ය. එනම මනසෙහි පවතින්නා වූ කෙලෙස්ය. සාමාන්‍ය ලෞකික සමාජය තුළ සැප සම්පත්වලට ලොල් වන මිනිසා මරු වසඟයට යයි. එනම් කෙලෙස් ධර්මවලට අවනත වීමයි. ලෝකයේ ජීවත්වන මිනිසුන්ගෙන් ඉතා අල්ප කෙනෙක් මරු වසඟයට නොයයි. මර බැඳුම් සිඳ බිඳ දමා සැප සම්පත් සහිත සම්මුති ලෝකය තුළ යතාර්ථය කෙබඳුද? යන්න සොයා විමසා බලයි. ඒ මගෙහි යාමට උනන්දු වෙයි. කැප වෙයි. එම කැපවීම සාමාන්‍ය සම්මුති ලෝකයෙහි ජීවත්වන ක්‍රමයට වඩා තරමක් අපහසුය. නමුත් බුදු දහමෙහි උගන්වන්නේ මිනිසාට එම මගෙහි ගමන් කිරීම උතුම් බවය.

මෙහිලා වඩාත් පැහැදිලි වන්නේ බුදු දහම මගින් පෙන්වන යතාර්ථය අවබෝධ කරගැනීමට මිනිසාට මඟ පෙන්වනු ලබන බවයි. නමුත් සම්මුති ලෝකයේ ජීවත් වන මිනිසුන් එබදු මඟක් තිබෙන බව දැන දැනම එම මගෙහි නොගොස් වෙනත් මං මාවත්වල ගමන් කරන බවය. එම නිසාම නිවැරදි දහම දැනගැනීමට සහ ඒ අනුව කටයුතු කිරීමට වුවමනාය තිබුණත්, එය එසේ කිරීමට මාරයා මිනිසාට ඉඩ ලබා නොදෙන බවය.

මෙබඳු කරුණු කාරණා නිසාම මිනිසා අර්ථයට නැඹුරු වන්නේ අඩුවෙන්ය. මිනිස් ලොව උපත ලබා මරණයට පත්වී අපායෙහි උපදින පිරිස වැඩි බවත් මිනිස් ලොව උපත ලබා මරණයට පත්ව පේ‍්‍රත ලෝකවල උත්පත්තිය ලබන අය ඉතා වැඩි බවත් බුදුරජාණන් වහන්සේ දැක්වූ කරුණු අංගුත්තර නිකායෙහි සදහන්ය. එයින් පෙනෙන්නේ සාමාන්‍ය මිනිසුන් තමන් ගතකරන ජීවිතය අනන්ත කාලයට සාපේක්‍ෂව පෙණ පිඬක් ලෙස සිතන්නටත් තමන් ගත කරන ජීවිතය මිරිඟුවක් ලෙස පිළිගන්නටත් දක්වන්නා වූ අකමැත්තකි.

තෙරුවන් සරණයි!

මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!