හොරකම් කිරීම හෙවත් අදත්තාදානය නොදුන් දෙය’ කුමක්ද? ඩෙන්මාර්ක් කෝපන්හේගන් බෞද්ධ…

හොරකම් කිරීම හෙවත් අදත්තාදානය
නොදුන් දෙය’ කුමක්ද?

ඩෙන්මාර්ක් කෝපන්හේගන් බෞද්ධ විහාරාධිපති ලුණුකඩවැල්ල රාජමහා විහාරාධිකාරී ශාස්ත්‍රපති,
කිරිඳිගල්ලේ ඤාණරතන හිමි

පංචශීල ප්‍රතිපදාවේ දෙවන අංකය අදින්නාදානා හෙවත් නොදුන් දෙය ගැනීමෙන් වැළකීමේ පිළිවෙතයි. භික්‍ෂු, භික්‍ෂූණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසටම මෙය විවිධාකාරයෙන් තහනම් කොට ඇත. නොදුන් දෙය ගැනීම යටතේ ගැනීම තහනම් කොට ඇත්තේ කවර දෙයක් සම්බන්ධයෙන් ද යන්න ම.නි. සාල්‍යෙයක සූත්‍රයේ දී පැහැදිලි කොට ඇත.

“ පරස්ස පරවිත්තූපකරණං – ගාම ගතංවා අරඤ්ඤගතංවා…” යනුවෙනි.

“ගමෙහි හෝ වනයෙහි හෝ අන්සතු සම්පත්, උපකරණ නුදුන් දෙය සොර සිතින් නොගත්තේ වෙයි. මේ අනුව කිනම් භාණ්ඩද නොගත යුත්තේ යනුවෙන් පැහැදිලි වනු ඇත. මෙහිදී වඩාත් වැදගත් වන්නේ පරවිත්තූපකරණ යන්නයි. පරවිත්තූපකරණ යන පදයට අර්ථ දෙකක් ඇත. ඉන් එකක් නම් අනුන්ට අයත් වටිනා බඩු ය. අනික නම් අනුන්ට අයත් ධනයත්, උපකරණත් ය. ශික්‍ෂා පදවලින් පැහැදිලි කොට ඇති අකරණීය කරුණු හෙවත් නොකළ යුතු දේ සමාජ සංස්ථා කෙරෙහි බලපෑමට පටන් ගන්නේ කෘෂියුගයේ දී ය. මෙම යුග වලදී සාකච්ඡාවට ගැනුණු ප්‍රධාන සාධක දෙක නම් ශ්‍රමය හා උපකරණයි. මෙහිදී භාවිතයට ගැනුණු උපකරණ ඉතා ප්‍රාථමික ස්වරූපයේ තිබුණත් ඉන් ඉටු වූ සේවය ඉතා විශිෂ්ටය. ගොඩ මඩ දෙකම මිනිසාට ගොවිතැන් බත් කිරීමට මේ උපකරණ වලින් විශාල සේවයක් ඉටු විය. ඒ නිසා එකල ජනයාට ඒවායෙහි වටිනාකම අතිශයින්ම වැඩි විය. මෙම “වින්තූපරකරණ” යන පදයෙහි මූලික වශයෙන් අදහස් කරන්නට ඇත්තේ ගොඩ මඩ ගොවිතැනට උපයෝගී කරගත් අඬු බඩු විය හැකි ය. ඒවා විශේෂණ කිරීමට “ගාම ගතංවා අරඤ්ඤ ගතං වා” යන පද භාවිතා වී ඇත. මේ උපකරණ භාවිතයෙන් පසු හේනෙහි ගොවිපළෙහි තබා යෑමට හෝ ගේ දොර කරා ගෙන යෑමට මිනිස්සු පුරුදුව සිටියහ.

කිසියම් කෙනෙක් ලියද්දේ ගොවිපළේ තිබී ඒවා ගැනීම හෝ ගේ දොර තිබියදී ඒවා ගැනීම හෝ වැරැදි බව ප්‍රකාශ කිරීම් වස් ඉහත පද භාවිතා කළා විය හැකි ය. සමාජගත සත්වයා පියවරෙන් පියවර ඉදිරියට යෑමේ දී මෙම මූලික අර්ථකථන ප්‍රමාණවත් නොවන ආකාරයක් ඉස්මතු වන්නට විය. මේ නිසා නුදුන් විට නොගත යුත්තේ කුමක්ද යන්නම ඇතැම් තැනක පිළිතුරු දී ඇත්තේ කිංචි ක්වඩී” යනුවෙනි. ‘ක්වඩී’ කිසි තැනකදී ‘කිංචි’ කිසිවක් නොගැනීම අදහස් කොට ඇත. මේ අදහස පැහැදිලි ලෙස ඒත්තු ගැන්වීමට පහත සඳහන් කතාව උපයෝගී වේ. කුමක් හෝ යමක් සොයා ගැනීමට කැළයට ඇතුළුවන පුද්ගලයෙක් කැළයෙහි අතරමං වෙයි. මොහුට යන එන මං සොයාගැනීමට නොහැකිව කැළයේ ඒ මේ අත ගොස් මං මුලා වෙයි. මෙසේ මං මුලා වී සැරිසරමින් සිටින විට ඔහුට කිසියම් වටිනා (කාසියක් හේ මුද්දක් වැනි) උපකරණයක් ලැබෙයි.මේ කැළේ මෙයට අයිති කිසිවකු නැති බව ඔහු හොඳින්ම දනියි. එහෙත් එය ඔහුට අයිති දෙයක් නොවන බවද ඔහු හොඳින් දනියි. මෙසේ තිබියදී වුවද එම උපකරණය ඔහු සතු කර ගන්නේ ද එය අදින්නාදානයට අයත් වේ. මේ නිසා තමාට අයිති නොවූ පවරා නොදුන් ඉඳිකටුවක යමක් හෝ නොගත යුතු බව මේ කථාවෙන් ඒත්තු ගන්වයි. මේ අනුව දෙවන ශික්‍ෂා පදයෙන් වැළකීමට නම් නොදුන් සියලු දේ වර්ජනය කළ යුතු වෙයි. “සබ්බං අදින්නං පරිවජ්ජෙහි…” යනුවෙන් ඒ බව සනාථ කොට ඇත.

අදින්නාදානා විරමනයේ තුන් පැත්තක් ඇත. එහි සමස්තය සම්පූර්ණ වීමට, මෙම තුන් පැත්තම ක්‍රියාත්මක විය යුතු ය. එනම්,

1. නුදුන් දෙය තමා විසින් නොගැනීම (අදින්නං පරිවජ්ජෙයෙය්‍ය)

2. අන් අය ලවා නොගැන්වීම ( න ආරයෙ)

3. අන් අය කරන සොරකම් ඉවසා නොසිටීම (හරතං නානු ජඤ්ඤ)

මේ කරුණු දෙස බැලීමේ දී අදින්නාදානා විරමනය පහසුවෙන් කළ හැකි දෙයක් සේ කල්පනා කළ නොහැකි ය. එය අතපය උපයෝගී කරගෙන සිදු කරනු ලබන සාමාන්‍ය ක්‍රියාවක් සේ අර්ථ නිරූපණය කළ හැකි දෙයක් නොවේ. කායික හා මානසික වශයෙන් ප්‍රගුණ කළ හැකි වැදගත් ප්‍රතිපදාවකි, අදින්නාදානා විරමනය ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වා ඇත්තේ.

“දින්නදායී දින්න පාටිකංඛී අථෙනෙත සුඛී භූතෙන අත්තනා විහරති…”

යන පද වලින් අර්ථවත් වන්නේ දුන් දෙයක් පමණක් ගත යුතු බවයි. සතුටු විය යුත්තේ දුන් දෙයින්, පමණකි. සිතිය යුත්තේ ඒ තමාට ලැබුණු ප්‍රමාණය ලැබෙන්න තිබෙන ප්‍රමාණය එපමණයි යන්නයි. බොහෝ දේ ලැබෙන්නට ප්‍රාර්ථනා කළත් ලැබෙන්නේ ඉතාම අල්ප දෙයක් නම් ඒ තමාට හිමි ප්‍රමාණයයි. එයින් සතුටු විය යුතු ය. ජීවත් විය යුත්තේ සොර සිතින් නොව මනා පැවැත්මෙනි. මේ ආදී ක්‍රමයට සිතන කෙනෙකුට පමණකි, අදින්නාදානා සිල්පදය ආරක්‍ෂා කිරීමට හැකි වන වටපිටාවක් ගොඩනඟා ගත හැකි වන්නේ. මෙම සිල්පදයෙන් බලාපොරොත්තු වන පරමාර්ථය නම් අල්පේච්ඡතාවයෙන් කල් ගෙවීමට පුරුදු කිරීමයි. කරණීය මෙත්ත සූත්‍රයේ දී ‘සල්ලහුකවුත්තී’ යනුවෙන් සැහැල්ලු දිවි පැවැත්ම ලෙස ද ප්‍රකාශ වන්නේ, මේ හා සමාන අදහසකි. හොර සිතින් තොරව මනා සිහි පැවැත්මෙන් ක්‍රියා කිරීමට උත්සාහ ගනිති. ඒ සඳහා මිනිසුන් යොදා ගන්නා වංචනික ක්‍රම තුනක් බුදුහිමියෝ පැහැදිලි කළහ. එනම්,

තුලා කුඨ මාන කූඨ කංස කූඨ වශයෙනි.

තුලා කූඨ නම් කිරීමෙන් වංචා කිරීමයි. යම් කිරා විකුණන උපකරණ බඩු භාණ්ඩාදියෙන් යමෙක් වංචා කරයිද, එය ‘තුලා කූඨ’ නම් වේ.

‘මාන කූඨ’ ලෙස විග්‍රහ කරන්නේ මැනීමෙන් වංචා කිරීමයි. ධාන්‍ය වර්ග වේවා, වෙනත් ද්‍රව්‍ය වේවා හොරට මැන විකිණීම මගින් යමෙක් වංචා කරයිද, එය ‘මාන කූඨ’ නම් වේ.

‘කංස කූඨ’ නම් රං රිදී මුතු මැණික් ආදියෙන් කරනු ලබන වංචාවයි.

මේ කවර ආකාරයකින් හෝ කරනු ලබන වංචනික ක්‍රියා අදින්නාදානයෙහිලා සැළකිය යුතු ය. දී.නි. එක්කවත්ති සීහනාද සූත්‍රයට අනුව සමාජ විරෝධී ක්‍රියාවලින් අදින්නාදානය දෙවැනි වන්නේ ප්‍රණාතිපාතා සිල් පදයට පමණකි. පාණාතිපාතයට හා අදින්නාදානයට යොමු වීමේ ප්‍රතිඵල හැටියට මානව සංහතිය අපරාධවලට යොමු වූ බව, මෙම සූත්‍රයේ මනාව පැහැදිලි කරයි. යෙමෙක් මේ අපරාධ දෙකටම යොමු වූයේ ද ඔහුට කළ නොහැකි අපරාධයක් නැත. එතරම් භයානක අපරාධ දෙකකි. පාණාතිපාතයත් අදින්නාදානයත්, මිනිසාට තමා වසන සමාජය ගුණාත්මක ලෙස දියුණු කර ගැනීමට නම් අවශ්‍යයෙන්ම මේවායින් වැළකී සිටීමේ ප්‍රතිපදා දෙක ආරක්‍ෂා කළ යුතු වෙයි. මේ වැරැදි හේතු කොටගෙන ස්වභාවිකව මිනිසා පරිහානියට පත් වන බව පැහැදිලි ය. එහිදී මිනිසාගේ අංශ දෙකක් පිරිහීමට පත්වන බව චක්කන්ති සීහනාද සූත්‍රය හඳුනාගෙන ඇත. එනම්,

1. ශරීරය දුර්වර්ණ වීම.

2. ආයුෂය කෙටි වීම

ප්‍රසන්න පෙනුමෙන් හා දීර්ඝායුෂ ඇති මිනිසුන් පිරිසක් නිර්මාණය කළ හැකි වන්නේ මේ ඉහත කී සමාජ විරෝධී ක්‍රියා නතර කිරීමෙන් පමණකි. අදින්නාදානයේ දී සැලකිලිමත් විය යුත්තේ, ගැනීමට අදහස් කරන දෙයෙහි අයිතිය තමාට ඇත්ද යන්න ගැනයි. ඒ බව වසල සූත්‍රයේ දී ගාමාවා යදිනවාරඤේඤ යං පරෙසං මමායිතං ථෙය්‍ය අදින්නං ආදියති….

“ ගමෙහි හෝ වනයෙහි හෝ අනුන්ගේ අයිතිය ඇති නොදෙන ලද යම් වස්තුවක් සොර සිතින් ගනීද, ඔහු වසලයෙකැයි දත යුතු ය. ස්වභාව ධර්මයෙන් මිනිසාට උරුම කරදී ඇති වන වගාව වර්තමානයේ සූරා කන ආකාරය මෙම ශික්‍ෂාපදයට නොවැටෙන්නේ ද? යුරෝපය වැනි දියුණු රටවල ස්කැන්ඩිනේවියානු රටවල බොහෝ නිවාස මෙන්ම ගෘහ උපකරණ දැවයෙන් නිර්මාණය වූවත් ගසක් ඉවත් කරන්නේ නම් එයට ගසක් සිටුවිය යුතුම ය. නැතිනම් දඩ කෑමට සිදු වෙයි. තම ගෙවත්තේ වූවද නීතිය කාටත් සාධාරණ ය. සියලු දෙනාටම ඉහළින් ඉන්නේ නීතියයි. තුන්වන ලෝකයේ වෙසෙන නීති ගවේෂකයින්ට මේවා කදිම පාඩම් කියා දෙයි. වනය අපට පරිසරය ලබාදී ඇත්තේ අද ජීවත්වන මිනිසාට පමණක් නොවේ. අනාගතයේ පහළ වන කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනයාට භුක්ති විඳීම සඳහායි. මේ වනාන්තර බිහිව ඇත්තේ අද ජීවත්වන අය පමණක් ඒ සියල්ල භුක්ති විඳ අවසන් කරන්නේ නම්, ඔවුන් අදින්නාදානයට වැටීම, වැළැක්විය නොහැකි ය.

අලුත් කළ නොහැකි ස්වභාවික සම්පත් ගැන කල්පනා කිරීමේ දී උදාහරණ ලෙස ඉන්ධන මිනිරන්, මැණික් ආදිය කෙරෙහි අප දක්වන ක්‍රියා මාර්ග කෙරෙහිද අවධානය යොමු කළ යුතු ය. ස්වභාව ධර්මයෙන් මේ සියල්ල නිර්මාණය කර ඇත්තේ පොළොවෙහි වෙසෙන් සියලු ජනයා හා මතුවට ඇතිවන මානව වර්ගයා ද සඳහායි.

අද ජීවත්වන්නේ මතුවට ඇතිවන්නෝන් ගැන කිසිදු වග විභාගයකින් තොරව සම්පත් භුක්ති විඳිති. දිනක් අප වාහනයෙන් මහනුවරට එහා පේරාදෙණිය යනවිට එක් රියැදුරු මහතෙකු ඉන්ධන හිඟයක් ගැන සඳහන් කළේ ය. අප වාහනයේ ද ඉන්ධන අඩුව තිබූ හෙයින් පෙට්‍රල් ෂෙඩ් ගණනාවකට ගියත්, ඔවුහු තෙල් දීම ප්‍රතික්‍ෂේප කළහ. මන්ද තෙල් මිල පසුව දාම ඉහළ යන බැවිනි. එහෙත් එක ෂෙඩ් එකක ඩීසල් ප්‍රෙට්රල් බෙදාහරිනු ලැබිණි. එතැනට ගිය සියලු දෙනා තරම ඉක්මවා තෙල් ලබා ගන්නට පුදුම විදියේ වෙහෙසක් මහන්සියක් දැරූහ. එය අවසන් කොට අප නැවත ගමන් කරන විට තෙල් නැතැයි වසා තිබූ ෂෙඩ් විවෘත කර තිබිණි. මිල ගණන් පිළිබඳ සාකච්ඡා අවසන් වූ නිසා ය.

මෙහිදී මේ තෙල් ලබාගත් කිසිවෙක් අනාගත පරපුර වෙනුවෙන් මේ තෙල් ඉතිරි කළ යුතු යැයි කල්පනා නොකළහ. එමෙන්ම දිනෙන් දින වේගයෙන් නිෂ්පාදනය වන වාහන කන්දරාවට තෙල් අවශ්‍යමය.

මේ ආදී කරුණු කාරණා කල්පනා කර බැලීමේ දී මේ ලබාදී ඇති ස්වභාවික සම්පත් සියල්ලම වර්තමාන මිනිසා විසින් භුක්ති විඳ අවසන් වනු ඇත. මේ අනුව සමස්ත ප්‍රජාවම මහා පරිමාණ වශයෙන් නොදුන් දෙය ගැනීමකට හසු වී ඇත. පාලක පාලිත ආදී සියලු දෙනාම මෙම අලුත් නොකළ හැකි සම්පත් භුක්ති විඳීමෙන් කරනු ලබන මහා පරිමාන ජාවාරම් හේතු කොටගෙන අදින්නාදානා විරමනය ක්‍රියාත්මක කරන්නේ කෙසේද? රටක පාලකයිනුත් ජනතාවත් එක හා සමානව මෙවැනි ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් යහපත් සුචරිතවාදී සමාජයක් නිර්මාණය කර ගත හැකි වනු ඇත.

දහඩිය, වගුරවා මහන්සි වී හරි හම්බ කරන ධනය යම් කිසි කෙනෙක් උදුරා ගන්නේ නම් පැහැරගන්නේ නම් එය සමාජ විරෝධී ක්‍රියාවක් වන අතරම, එය නොදුන් දේ ගැනීමක් ද වෙයි. දහඩිය මහන්සියෙන් සාධාරණ ලෙස යමෙක් කොතරම් ධනය රැස් කර ගත්තත් එහි වරදක් නොමැති බව බුදු දහම පැහැදිලි කර දී ඇත. දම්සක් පැවතුම් සූත්‍රයේ දී සම්මා ආජීව ලෙස විස්තර වන්නේ, ධාර්මිකව ධනය උපයා ගන්නා පිළිවෙතයි.

සොරකමක් සම්පූර්ණ වීමට ද කරුණු පහක් සම්පූර්ණ විය යුතු බව, සද්ධර්මෝපාය නම් ග්‍රන්ථයෙහි සඳහන් වෙයි.

“පර පරිග්ග භන්ඩොච
පර පරිග්ග සඤ්ඤිකා
ථෙය්‍යාදි සිවෙක චිත්තඤ්ච
ඨාතා වාචන මෙවච…”

අනුන්ට අයත් වස්තුවක් වීම, ඒ බව දැන ගැනීම, ගැනීමේ සිත පහළ වීම, ඒ සඳහා උපක්‍රම යෙදීම, ඉවත් කිරීම හෙවත් ගැනීම මෙම කරුණු කුඩා සොරකමක් කිරීමේ දී ද මහා පරිමාණ සොරකමක් කිරීමේ දී ද ක්‍රියාක්මක වෙයි. මේ සියල්ල සම්පූර්ණ වූ කල්හි සොරකම සිදු වෙයි. මෙයට සමානම කරුණු හතක් සොරකමකදී සම්පූර්ණ විය හැකි බව, කාව්‍යශේඛරයේ දැක්වෙයි.

වෙන අය අතින් වත් – එබව දැනුමුත් සොර සිත්
පියෝ ඉන් ගුණ මුත් – දෙවන සිකපද පසඟයියෙත්
මෙහෙවර ගිවිස්මන් – ඔහු එමසේ කිරීමෙන්
හැරයට පියෝ අත් – එසිව් සමඟින් සතකි නියමන්

අනුන්ට අයත් වස්තුවක් වීම, ඒ බව දැන ගැනීම, ගැනීමේ චේතනාව, ඒසඳහා උපක්‍රම යෙදීම, ඒ සඳහා වෙනත් අයෙක් යෙදවීම, එම නියමය ඔහු පිළිගැනීම, ඒ අනුව සොරකම් කිරීම, මේ අංග සම්පූර්ණ වීමෙන් තමාද තමා පොළඹවා ගන්නා පුද්ගලයා ද දෙදෙනාම සොරකමේ කොටස් කරුවන් වන්නෝ ය.

යමෙක් සොරකම් කළ කල්හි ඔහු පිළිබඳ සමාජය නිතර දෙවේලේ සැකයෙන් බලනවා සේම එය මෙලොව පමණක් නොව පරලොව කරා ද ගමන් කරයි. අදත්තාදානය බහුලව කරන පුද්ගලයා මරණින් මතු අපායෙහි උපදී. තිරිසන් යෝනියෙහි උපදී. ප්‍රේතයෙකු වී උපදී. මනුෂ්‍ය ආත්මයෙහි උනනත් දිළින්දෙකු වෙයි. ලැබෙන්න තියන දේ පෙනි පෙනී නොලැබෙයි. මේ ආකාරයට එහි විපාක මෙලොව පරලොව දෙකේ දීම විඳීමට සිදු වෙයි.

සොරකම පිළිබ දීඝ නිකායෙහි චක්ඛවත්ති සීහනාද සූත්‍රයෙහි එන විස්තරය මෙහිදී ඉතා වැදගත් ය.

මහරජ එනු මැනවි. මහරජ ඔබගේ පැමිණීම යහපත් පැමිණීමකි. මහරජ මේ දිවයින ඔබට අයත් ය. මහරජ අනුශාසනා කරනු මැනවැයි කීය. සක්විති රජ තෙමේ මෙසේ අවවාද කළේ ය.

ප්‍රාණඝාත නො කළ යුතුයි, සොරකම් නොකළ යුතුයි, කාම මිථ්‍යාචාරයෙහි නොහැසිරිය යුතුයි, බොරු නොකිව යුතුයි.

“මහණෙනි, ඉක්බිති ක්‍ෂ්ත්‍රීය තෙමේ නිදොස් සක්විති වත් ඇසුවේ ය. එසේ අසන ලද්දා වූ ඔවුහු රජුට නිදොස් සක්විති වත් ප්‍රකාශ කළාහුය. ඒ සක්විති වත් අසා දැහැමි ආරක්‍ෂා, ආවරණ, රැකවල් තැබීය. එසේ වුවත් දුප්පතුන්ට ධානය නුදුන්නේ ය. දුප්පතුන්ට ධනය නොදීමෙන් දිළිඳුකම මහත් විය. දිළිඳුකම මහත් වූ කල්හි එක්තරා පුරුෂයෙක් අනුන්ට අයත් වස්තු හිමියන් විසින් නොදුන් වස්තුව හොර සිතින් ගත්තේ ය. සොරකම් කළේ ඇයිදැයි ඇසූ විට සොරකම් කළේ ජීවත්වීමට ක්‍රමයක් නැති නිසා සොරා කීවේ ය. මහණෙනි, එවිට ක්‍ෂත්‍රීය රජතෙමේ ඒ පුරුෂයාට ධනය දුන්නේ ය. මහණෙනි අන් පුරුෂයෙක්ද සොරකම් කර එසේම ධනය ලබාගත්තේ ය. යම් කෙනෙක් අනුන්ගේ වස්තුව සොර සිතින් ගන්නේ නම් ඔවුන්ට රජු විසින් ධනය දෙන්නේ යැයි කථාවක් පැතිර ගියේ ය. මේ කාරණයෙන් සොරකම වැඩෙන්නේ ය. එවිට රජ තෙමේ රාජපුරුෂයනට අණ කළේ ය. රාජ පුරුෂයිනි, මේ පුරුෂයාගේ අත් පස්සට රැහැනින් බැඳ හිස මුඩු කොට, වද බෙර හඬින් වීදියක් පාසාම පමුණුවා නුවර දොරින් පිටතට රැගෙන මංසන්ධියක් පාසා පමුණුවා නුවර දකුණු දොරින් පිටතට ගෙන ගොස් නුවර දකුණු පැත්තේ දී නැවත සොරකම් නොකරන සේ වළකව්. මුල් හිදිව්, මොහුගේ හිස සිදිව් යැයි නියම කළේ ය. රජ පුරුෂයෝ අණ පිළිපැද්දාහ.

මේ ආකාරයට ක්‍ෂ්ත්‍රීය රජු විස්ප මුලින් සොරකම් කළ උදවියට ධනය දීමෙන් සොරකම වැඩි වූ අතර, එය සමජ විරෝධී ක්‍රියාවක් ලෙස දවසින් දවස වැඩි වූ විට දඬුවම තුළින් මර්දනය කිරීමට උත්සාහ කළහ. මේ හේතු කොට ගෙන සොරකම් සමාජ ප්‍රශ්නයක් දක්වා වර්ධනය වූ බව පෙනෙයි. සොර සිතින් හෝ ගැනීමට යමෙක් තුළ සිතක් පහළ වන්නේ අසීමිත ආශාව පදනම් කරගෙනය. එමෙන්ම යම් ද්‍රව්‍යයක් හෝ වේවා භාණ්ඩයක් හෝ වේවා ඉල්ලා ලබා ගැනීමට තිබෙන මාන්නාධිකකමද එයට බලපායි. ඉල්ලා තබා ගැනීමට ආත්ම ශක්තියක් නැති මිනිසා එය හොරෙන් හෝ බලයෙන් ලබා ගැනීමට උත්සාහ දරයි. මෙයට හේතු වන්නේ සම්පත් සමතුලිත ලෙස බෙදී නොයෑමයි. සොරකම පිළිබඳ අපේ ජන සමාජයෙහි විවිධ උපහැරණ කතා සත්‍ය කතා කොතෙකුත් දක්නට ලැබේ.

එක්තරා දිළිඳු පවුලක පුංචි දරුවෙක් දිනක් තම පාසලේ සිසුවකුගෙන් පැන්සලක් සොරකම් කරගෙන විත් තම අම්මාට පෙන්වීය. අම්මා එය එහි වරදක් නොපෙන්වා ප්‍රශංසා කළේ ය. ටික දිනකට පසු ඔහු පැන්සල් පෙට්ටියක්ම සොරා ගෙනාවේ ය. ඒත් අම්මාගෙන් විරෝධයක් නොවීය. තවත් කාලයක් යන විට ඔහු පන්තියේ ළමුන්ගේ විවිධ උපකරණ සොරකම් කරන්නට විය. මෙසේ මෙය වර්ධනය වී මේ දරුවා ලොකු මහත් වූ කල්හි විශාල වශයෙන් සොරකම් කරන්නට විය. මේ සොරකමේ ප්‍රතිඵල වශයෙන් වරක් ඔහු සිරගත විය. එදා සිරකූඩුව ළඟට ගිය අම්මාට ඒ පුතා කීවේ අම්මේ එදා මම පැන්සල සොරකම් කළ දවසේ ඔබ එහි වරද පෙන්වා දුන්නේ නම් අද මා සිරගත නොවේ කියා ය.ඒ නිසා දරුවන් තැනීමේ දී අම්මාවරුන්ට සුවිශේෂී වගකීමක් පැවරෙන බව අමතක කළ යුතු නැත.

පෞද්ගලික යමක් සොරකම් කරනවා සේම පොදු දේපළ අයුතු ලෙස පරිහරණය කිරීම ද, සොරකමකි. රෝහල්වල ලෙඩුන් සඳහා ඇති බෙහෙත් හේත් පෞද්ගලිකව ගෙන ගොස් වෙනත් තැන්වල විකුණන්නේ ද එය ද සොරකමකි. පොදු මහජනතාව උදෙසා රජයකින් හෝ වෙන යම් ස්වේච්ඡා ආයතනයක් මගින් ලබාදෙන සම්පත් යම් පිරිසක් පමණක් භුක්ති විඳින්නේද, එයද සොරකමකි. සොරකම් කරන විට එය සතුටු සිතින් කළ ද එහි ඵල විපාක දරුණු බව, බෞද්ධ සාහිත්‍යයෙන් මනාව පහදා දී ඇත.

ජාතක පොතෙහි එන මණිචෝර ජාතකය සොරකම් හා එහි ආදීනව පෙන්වන ජාතකයක් ලෙස සඳහන් කළ හැකි ය. බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කරන සමයෙහි බෝසතාණන් පිටිසර ගමක ඉපිද කාලයාගේ ඇවෑමෙන් විවාහයක් කර ගත්තේ ය. ඇය ඉතා රූමත් වූ අතර දුටුවන් වශී කරන සුළු විය. දිනක් මවුපියන් දැකීමට යන්නට සිතී ඇය සියලු වස්ත්‍රාභරණයෙන් සැරසී, අස්රියක නැග ගමන පිටත් වූවා ය. එදිනම බඹදත් රජු ද මඟුල් ඇතු පිට චාරිකාවෙහි යෙදෙන්නේ ය. එහිදී බෝසත් ස්වාමියා රථය පදවන කල්හි හා භාර්යා තොමෝ රථයෙන් බැස රථය පිටුපසින් ගමන් කරන්නට විය. රජ්ජුරුවෝ ඇය දැක වසඟ වී ඇය සස්වාමිකද අස්වාමික දැයි දැන ගැනීමට රාජ පුරුෂයන් යැවීය. ඔවුහු ගොස් තොරතුරු විමසා ඒ රථය පදවන්නේ ඇයගේ ස්වාමියා බව ප්‍රකාශ කළහ. මොනයම් උපායකින් හෝ ඔහු මරවා ස්ත්‍රිය පාවා ගැනීමට සිතූ රජතුමා තමාගේ චූඩාමාණික්‍යය එම රථයට දමන ලෙස දුන්නේ ය. පසුව මැණික නැති වූ බව කියා ප්‍රසිද්ධ කොට එම රථය පරීක්‍ෂා කොට එහිදී එය හමු වූ පසු මැණික හොරකම් කළේ යැයි ;චීදනා කොට හිස ගසා දමන්නට නියෝග කළේ ය. ස්වාමියාගේ මෙවැනි සිද්ධීන් හා කථාන්තර අද ද නැතිවා නොවේ. බොහෝ උදවිය සොරකම් වලට පොළඹවා තමාගේ අභිප්‍රාය ඉටුකර ගැනීමට වෙහෙස වන බලකාමයෙන් උද්දාමයට පත් පාලකයෝ ද පාලිතයෝ ද එබැවින් සොකරමට ඇතැමකු පොළඹවා ගැනීම සොරකම් කිරීමට වඩා බරපතලය. එයින් විපාක ගණනාවක් සිදු වේ.

සොරකම පුදුම උපදවන විවිධ අයුරින් වර්තමාන ලෝකයේ ද සිටිති. මිනිසුන් යොදාගෙන ඇති බව පෙනේ. ඇතැම් අය විහිළුවටද, ඇතැම් අය විවිධ පරීක්‍ෂණ සිදු කිරීමට ද සොරකම් කිරීම ආදී වශයෙන් සොරකම විවිධ අරමුණු සඳහා යොදාගෙන ඇති බව, සීලවිමංස ජාතක කථා පරික්‍ෂාවෙන් පැහැදිලි වෙයි.

කොසොල් රජතුමා නිසා ජීවත්වන හෙතෙම වේදයෙහි පරතෙරට පත් නිති පන්සිල් රකින්නෙකි. එම නිසා රජතුමාගේ විවිධ සම්මාන සත්කාර ලබයි. දිනක් මේ රජු මෙතෙක් මට සත්කාර සම්මාන දක්වන්නේ මාගේ ජාති ගෝත්‍ර නිසාද නැතිනම් සිල්වත්කම නිසාදැයි රජ ගෙට යන ගමන් රජුගේ රන් කටයුතු කරන කෙනෙකුගෙන් විමසීය. ඔහු උපාසක කෙරෙහි ගෞරවය නිසා කිසිවක් නොකීවේ ය. දෙවන වර රන් කහවනු දෙකක් ගෙන ගියේ ය. ඊළඟ දින කහවනු මිටක් ගෙන ගියේ ය. එදින රන් භාරකරු එම්බල උපාසක අදට තුන් දිනක් භාණ්ඩාගාරයෙන් සොරකම් කළේ යැයි රජුට ඉදිරිපත් කළහ. රජු බොහෝ නින්දා කොට මොහුට දඬුවම් දෙවැයි නියෝග කළහ. එවිට උපාසක තෙම රජතුමනි මා සොරකම් නොකළෙමියි කීය. මේ රජු මට සම්මාන කරන්නේ මගේ ජාති ගෝත්‍ර නිසාද සිල්වත්කම නිසාදැයි පරීක්‍ෂා කිරීමට එසේ කළ බව කීය. මගේ සිල්වත්කම නිසා බව මා තේරුම් ගතිමි. සීලයම උතුම් ධනය වේ යැයි පැවසීය.

අදී වශයෙන් මේ ජාතක කථාවේ සඳහන් ආකාරයට ඇතැම් මහණ බමුණන් ද විවිධාකාරයේ උපක්‍රම යොදා ගනිමින් සොරකමට පෙළඹීමට උත්සාහ දරා ඇති බව පෙනේ. එම නිසා පරීක්‍ෂා කිරීමටත්, උරගා බැලීමටත් සොරකමට පෙළඹීම අතීතයේ කොහොම වෙතත් වර්තමානයේ දී නම් තමන් අමාරුවේ වැටෙන එමෙන්ම නින්දාවට ගර්භාවට පත්වන බරපතල දඬුවම් ලැබෙන ක්‍රියාව බව තේරුම් ගත යුතු ය.

සොරකමෙහි විපාක පිළිබඳ විවිධ සූත්‍ර දේශනාවල හා ග්‍රන්ථ වල විවිධ ආකාරයේ විස්තර තිබේ. දීඝ නිකායෙහි චක්ඛන්ති සීහනාද සූත්‍රයේ දී “නුදුන් දෙය ගැනීම අත්හැර නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වෙයි ද, ගමෙහි ද, ආරණ්‍යයෙහි ද අනුන් සතු වූ යම් වස්තුවක් වේ නම්, එය සොර සිතින් නොගන්නේ වෙයි ද…”

ආදී වශයෙන් සඳහන් කරමින් එබදු අයට සිතෙහි කිසිදු සැක සංකා වලින් තොරව ජීවත් විය හැකි බව පැවසෙයි. අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාතයෙහි අදින්නාදාන සූත්‍ර පිරික්සීමේ දී ද මේ බව මැනවින් පැහැදිලි වෙයි.

“ අත්තනාව අදින්නාදායී හෝති, පඤේව අදින්නාදානෙ සමාදපෙති, අදින්නාදානෙව සමනුඤ්ඤො හොති, අදින්නාදානස්සච චංනං භාසති….”

“ තෙමේ අයිනාදන් ගන්නේ වෙයි. මොරමාන් අයිනාදනෙහි සමාදන් කරවයි. අයිනාදන පිළිබඳ ගුණ කියවන්නේ වෙයි. අයිනාදනෙහි අනුමත කරනයි” මේ කාරණා හතර යමෙක් කරයිද ඔහු සිල්පද කැඩීමට ලක්කරයි.යමෙක්

“තෙමෙන් අයිනාදනින් දුරු වූයේ වෙයි. මෙරමාද අයිනාදනෙන් දුරු වීම පිළිබඳ ගුණ කියයි. මේ සතර කරුණෙන් යමෙක් යුක්ත වන්නේ ද ඔහු මැරුණු ක්‍ෂණයෙන් ස්වර්ගයෙහි (සැපතෙහි) උපදී.

ලෝ වැඩ සඟරා කතුවරයා ද මෙහිදී ඉතා වැදගත් අදහසක් මතු කරයි.

බලයෙන්වත් කිසියම් සොර සිතකින්
සියතින්වත් දුන් වූ උප දෙස කින්
පරසන්තක දෙය ගත සොර සිතින්
නිරයෙන් නිරයට පැමිණෙයි එතකින්

ලොබිනා මිහිරිව සොරකම් කළ සත
විඳිනා දුක් මේ ලොව මෙතෙකැයි නැත
මෙදිනා ඒ දැක දැක ඉන් නොකැ මැත
ඉදිනා කළ කිකලක වේ දෝ සෙත

සොරකමෙහි ආදීනව මහත් බව එයින් මෙලොව දී පමණක් නොව පරලොවදී ද විපාක විඳීමට සිදුවන බව මෙමඟින් සනාථ වේ. තමන්ගේ සිතින් සිතා හෝ අන් කෙනකුගේ පෙළඹවීමක් නිසා හෝ සොරකම් කිරීම ලැජ්ජාශීලී ක්‍රියාවක් බවත් මෙහිදී වටහා ගත යුතු ය.

සොරකමින් වැළකීමේ ආනිශංස සමුදායකි. බොහෝ ධනය බලන්නකු වීම, පූජ්‍ය වන්තයෙකු වීම, කැමැති දේ ලැබීමට වාසනාවන්තයකු වීම, රජුන්ගෙන් ගින්නෙන් ජලයෙන් විනාශ නොවන වස්තු ඇත්තකු වීම, උතුම් මිනිසකු වීම ආදී වශයෙන් මහත් වූ ප්‍රතිලාභ උදා වන බව සැම දෙනා විසින්ම අවබෝධ කර ගත යුතු ය.

*************************************

හරන්තික නැමති සොරාගේ කතාව

සොරකම් කරන්නාට මෙලොවදී විඳීමට සිදුවූ දඬුවමක් පිළිබඳව “හරන්තික”ගේ කථාව විමසීමේ දී අපට දැනගත හැකි වේ.

පෙර දවස මහතලා විහාරය අසල වනය තුළ ඉදි කළ පන්සලක විදසුන් වඩමින් විසූ භික්ෂූන් වහන්සේ නමක් සිටිසේක. උන්වහන්සේ නමින් ‘අභය’ ස්ථවිරයන් වහන්සේ විය. එගම්වාසී එක් උපාසකයකු උන්වහන්සේට දානය සපයා දෙමින් සිවුරු පිරිකරද පූජා කරනු ලබයි. එහෙත් අභය තෙරුණ් වහන්සේ දිරාගිය ඉරුණු සිවුරු පිරිකර නිතර පෙරවූ සේක. උපාසක තෙම අභය තෙරණුවන් තමා දෙන සිවුරු පිරිකර පරිහරණය නොකරන්නේ ඇයි දැයි විමසා බැලුවේය. එහෙත් අභය තෙරුණ්ගෙන් පිළිතුරක් නොලැබිනි. පසුව මේ උපාසකතෙම තමා නිතර පූජා කරන සිවුරු පිරිකරවලට කුමක් සිදුවේ දැයි සොයා බැලීමට සිතුවේය.

දිනක් රාත්‍රියේ පන්සල අසල සැඟවී සිටි උපාසක තුමාට දකින්නට ලැබුණේ හරන්තික නැමති සොරා පන්සලට පැමිණ සිවුරු ආදිය සොරකම් කරගෙන යන බවය. මෙය දුටු උපාසක තෙම සොරාට හොඳ දඬුවමක් දීමට සිතා සොරා අල්ලා තලා පෙලා පහර දී සොහොනට ඇදගෙන ගොස් එහි තිබූ මළ මිනියකට සොරව තබා වෙලා ගැට ගැසුවේය. සොරාට ලිහා ගත නොහැකි ලෙස තදින් ගැටගැසුවේය. සොරුට දැන් ගමන් කළ හැකි වනුයේ මිනිය පිට බැඳි නිසා ඉතා අපහසුවෙනි.

උපාසකතෙම වහා ගම්මානයට දුවගොස් ගෙයින් ගෙට යමින් අද රාත්‍රියේ මළ මිනියක් පිට බැඳගත් යකෙකු ගමට එන බවත් ඒ නිසා කොතරම් හැඳුනුම්කම් ච්වත් දොරවල් නොහරින ලෙසත් නිවැසියන්ට කීවේය. මිනිසුන් උපාසකගේ කථාව හොඳින් අසන ලදී.

මැදියම් රාත්‍රිය වනවිට හරන්තික හොරා තමාගේ නිවසට පැමිණ තමාට සිදුවූ විපත කියමින් දොරට තට්ටු කරමින් දොර අරින ලෙස කීවේය. එහෙත් උපාසක තෙම කියූ බස් ඇසූ බිරිඳ බිය වී දොර නොහැරියාය. තමාගේ ගෙදර දොර නොහරින බව දැනුන හරන්තික වෙනත් නිවෙස් වලට ගොස් තමාට සිදුවූ විපත හඬගා කියමින් දොරවල් වලට තට්ටු කලත් කිසිම ප්‍රයෝජනයක් නොවීය. නිවෙස් වල දොරවල් තව තවත් තදින් වසන ලදී. කලයුතු කිසිවක් නොමැතිවිට මේ සොරා මිනිය පිට බැඳි ලෙසම තමා පිරිකර සොරකම් කළ පංසලටම පැමිණියේය.

පංසලට පැමිණ අභය තෙරුන්වහන්සේ අමතමින් තමාට වූ විපත හඬගා කියමින් තමාට පිහිට වන ලෙස අයැද සිටියේය. සොරා දුටු ස්වාමීන්වහන්සේ දුකටපත් වී සිටි හරන්තික සොරාගේ පිට බැඳි මිනිය ලිහා එය සොහොනට ගෙන ගොස් දමා වතුර ගෙනවිත් හරන්තික නහවා පිරිසුදු කර පහර වැදී තුවාල සිදුවූ තැන් බෙහෙත් තෙල් ගල්වා ඔහුට පිහිට වූ සේක. ඉහත සඳහන් කථාවෙන් පැහැදිලි වනුයේ අදත්තාදානය කරන පුද්ගලයාට සමාජය විසින් දෙනු ලැබූ දඬුවමකි.

අදත්තාදානයෙන් වැළකීම දසකුසල් වලින් එකකි. දස කුසල් කරන්නාට මෙලොව වශයෙන් සමාජය තුළින් යසස, කීර්තිය, ප්‍රශංසා, ආදිය ලැබේ. පරලොව වශයෙන් සුගතියෙහි ඉපදේ. ධනවත්ව ඉපදේ.