පින්වත් රාහුලය, යම් භික්‍ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුගේ මහණකමද…

පින්වත් රාහුලය, යම් භික්‍ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුගේ මහණකමද ස්වල්පයෙකි. රාහුලය, යම් භික්‍ෂුවක් දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුගේ මහණකමද ඉවත දමන ලද්දේය. රාහුලය, යම් භික්‍ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුගේ මහණකමත් හිස්ය. යම් කිසිවෙකුට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුට නොකළ හැකි කිසි පාපයක් ඇතැයි මම නොකියමි. රාහුලය, එහෙයින් සිනහ වීමටවත් බොරු නොකියන්නෙමියි ඔබ මෙසේ හික්මිය යුතුයි.

පින්වත් රාහුලය, රජකුගේ ඇත් සේනාවේ බලවත් ඇත් රජු යුද්ධයේ දී තම පෙර පාද, පසු පාද නළල (කුම්බස්තලය) ශරීරය, ඇත් දත් යුගලත් යොදා ගනිමින් සතුරන් මඩිනවා. පවුරු පාසාද බිඳ දමනවා. එහෙත් ඔහු හොඬය උපයෝගී කරගන්නේ නැහැ. ඌ හැමවිටම හොඬය ආරක්‍ෂා කරගනිමින් තමයි සටන් කරන්නේ. රාහුල ඒ ඇයිද? රාහුල මේ ඇතා දන්නවා හොඬය කැඩුණු ඇතාගෙන් වැඩක් නැති බව. හොඬය කඩා ගත් ඇතාට යුද්ධ කිරීමට බැරි බව ඌ දන්නවා. ඒ නිසා රාහුල මුසා බස් දොඩන බොරු කියන පුද්ගලයාගේ ශීලයත් ඒ වගේ තමයි. ඒ නිසා අප සුළු කොට සලකන මුසාවාදය බරපතළ පවක් බව තේරුම් ගත යුතුයි.

අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය.

අනුන් මුලාකරවන අදහසින් ඇති දෙය නැත යයිද, නැති දෙය ඇත යයිද, වූ දෙය නොවූයේය යිද, නොවූ දෙව වූයේය යිද වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත විකාරාදියෙන් හෝ අනුන්ට පැවසීම මුසාවාදය නම් වේ. මුසාවාද කර්මය සිදුවන්නේ අංග 4 ක් සම්පූර්ණ වීමෙනි.

01. කියන කරුණ බොරුවක් වීම
02. අනුන් රවටන අදහස
03. ඇඟවීමේ උත්සාහය
04. අනෙකා කී දෙය තේරුම් ගැනීම

● බොරු කීමේ විපාක

බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජනය වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස‍්‍රයෙහි ලෝදිය බීම් ආදී මහ දුක් ලබති. පේ‍්‍රතව ඉපද අනේක වර්ෂ සහස‍්‍රයෙහි දුක් ලබති. තිරිසන්ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හිද එක් ජාතියකදී කී බොරුවලට සිය ගණන් ජාති වලදී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝබන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛ රෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති. අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිලිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහූ ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහූ ද අකීකරු වෙති.

● බොරු කීම ගැන දතයුතු කරුණු

බොරු කීම නොයෙක් පව්කම්වලට වුවමනා දෙයකි. බොරුවෙන් වැළකී සිටින තැනැත්තා හට අන් පව් කිරීමට ද වඩා ඉඩක් නැත. බොරු කියන්නා හට නොකළ හැකි පවක් නැති බව,

එකං ධම්මං අතීතස්ස – මුසාවාදිස්ස ජන්තුනෝ
විතිණ්ණ පරලොකස්ස – නත්ථි පාපං අකාරියං

යනුවෙන් වදාරා තිබේ.

“සත්‍යය නැමති එක ධර්මය අත් හළ බොරු කියන්නා වූ පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ තැනැත්තා හට නො කළ හැකි පවක් නැතය” යනු එහි තේරුමයි.

සෑම ආගමකම පව් ලැයිස්තුවක් ඇත්තේය. ඒවා එකිනෙකට සමාන නොවන නමුත් බොරුකිම ඒ සියල්ලටම ඇතුළත්ය. සියළුම ශාස්තෘවරයෝ වෙනසක් නැතිව බොරු කීම පාපයක් බව ප‍්‍රකාශ කළෝය. ලෝකයේ නුවණැති සියල්ලෝම බොරුව පිළිකුල් කරති. බොරු කියන්නාද පිළිකුල් කරති. බොරු කීමට බිය නොවන ලැජ්ජා නොවන තැනැත්තා ගුණවතෙක් නොවේ. දිනක් තථාගතයන් වහන්සේ පා සෝදා සෙම්බුවෙහි ඉතිරිව තිබූ දිය ස්වල්පයක් රහල් හෙරපාණන්ට දක්වා රාහුලය, බොරු කීමට ලැජ්ජා නැති මහණුන්ගේ මහණ කමද මෙසේ ම ස්වල්පය යි වදාළ සේක. ඉත්බිති තථාගතයන් වහන්සේ ඒ පැන් ස්වල්පයද ඉවත ලා රහල් හෙරපාණන්ට දක්වා රාහුලය, බොරු කීමට ලැජ්ජා නැතියවුන්ගේ මහණකම මෙසේම අහක දමන ලද්දක් වේයයි වදාළ සේක. ඉත්බිති තථාගතයන් වහන්සේ සෙම්බුව මූනින් නමා පෙන්වා රාහුලය, බොරු කීමට ලැජ්ජා නැතියවුන්ගේ මහණකම මෙසේ මූනින් නමන ලද්දක් වේ යයි වදාළ සේක. ඉත්බිති තථාගතයන් වහන්සේ ඒ බඳුන උඩුකුරු කොට තබා රාහුලය, බොරු කීමට ලැජ්ජා නැතියවුන්ගේ මහණකම මෙසේ ම හිස් වන්නේ යයි වදාළ සේක. බොරු කියන්නෙක් කෙතෙක් ගුණධර්ම රැකියත් ඒවායේ වටිනා කමක් නැත්තේය. එබැවින් සැමදෙන ම බොරු කීමෙන් වළකිත්වා! බොරු කීම පිළිකුල් කෙරෙත්වා!

(උපුටා ගැනීම අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානාහිමි විසින් රචිත බෞද්ධයාගේ අත්පොත ග‍්‍රන්ථයෙනි)

බටහිර සම්ප‍්‍රදායන් අනුගමනය කරමින් අපේ‍්‍රල් පළමුවනදා මහත් වූ අකුසල් රැස් කර ගන්නා පුද්ගලයින්, එම පාපයෙන් මුදවා ගැනීම උදෙසා සකසන ලද ලිපියකි.