මෙත් වැඩීමෙහි අනුසස් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස….! පින්වත් මහණෙනි…

මෙත් වැඩීමෙහි අනුසස්
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස….!

පින්වත් මහණෙනි, යම් කෙනෙක් උදේ වරුවේ විශාල බත් හැළි සියයක් දන් දෙනවා නම්, ඒ වගේ ම ඔහු දහවල් වරුවේ විශාල බත් හැළි සියයක් දන් දෙනවා නම්, ඒ වගේ ම ඔහු සවස් වරුවේ විශාල බත් හැළි සියයක් දන් දෙනවා නම්, ඒ දෙන දානයට වඩා යම් කෙනෙක් අඩු ගණනේ ගව දෙනක ගේ තන පුඩුවෙන් එක් වරක් කිරි දොවන වෙලාවක් තරමේ මෛතී‍්‍ර භාවනාවක් උදේ වරුවේ වඩනවා නම්, ඒ වගේ ම අඩු ගණනේ ගව දෙනකගේ තන පුඩුවෙන් එක් වරක් කිරි දොවන වෙලාවක් තරමේ මෛතී‍්‍ර භාවනාවක් දවල් වරුවේ වඩනවා නම්, ඒ වගේ ම අඩු ගණනේ ගව දෙනකගේ තන පුඩුුවෙන් එක් වරක් කිරි දොවන වෙලාවක් තරමේ මෛතී‍්‍ර භාවනාවක් සවස් වරුවේ වඩනවා නම්, ඒක තමයි මහත් ඵල සහිත වන්නේ.
පින්වත් මහණෙනි, ඒ නිසා මෙන්න මේ විදිහටයි හික්මෙන්නට ඕන. අපි කවුරුත් මෛතී‍්‍ර සමාධිය ප‍්‍රගුණ කර ගන්නවා. බහුල වශයෙන් ප‍්‍රගුණ කර ගන්නවා. ගමන් බිමන් යන වාහනයක් වගේ ප‍්‍රගුණ කර ගන්නවා. පිහිටා තිබෙන ගසක් වගේ ප‍්‍රගුණ කර ගන්නවා. මනා කොට සිහියේ රඳවා ගන්නවා. ඉතා මැනැවින් ප‍්‍රගුණ කර ගන්නවා. ඉතා හොඳින් සම්පූර්ණ කර ගන්නවා කියල. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්නට ඕන.
සාදු! සාදු!! සාදු!!!
(ඔක්ඛාසත සූත‍්‍රය – සංයුත්ත නිකාය – 2)

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. තියුණු ලෙස මුවහත් වූ තල තියෙන ආයුධයක් තියෙනවා. එතැනට පැමිණි පුරුෂයෙක් ඒ තියුණු ලෙස මුවහත් වූ තල ඇති ආයුධය අතින් හරි, මිට මොලොවා ගෙන හරි නවනවා කියල හෝ එකට එකතු කරනවා කියල හෝ දිගහැර නැවත හකුළුවනවා කියල හෝ ආවොත් පින්වත් මහණෙනි, ඒ ගැන ඔබ මොකක් ද හිතන්නේ? ඒ පුරුෂයාට තියුණු ලෙස මුවහත් වූ තල ඇති අර ආයුධය අතින් හරි මිට මොලොවා ගෙන හරි නවන එක හෝ එකට එකතු කරන එක හෝ දිගහැර නැවත හකුළුවන එක පුළුවන් දෙයක් ද?
“ස්වාමීනි, ඒක කරන්ට පුළුවන් දෙයක් නො වෙයි.”
ඒකට හේතුව මොකක් ද?
“ස්වාමීනි, ඒ ආයුධය තියුණු ලෙස මුවහත් වූ තල තියෙන එකක්. ඒක අතින් හරි මිට මොලොවා ගෙන හරි නවන එක හෝ එකට එකතු කරන එක හෝ දිගහැර නැවත හකුළුවන එක ලෙහෙසියෙන් කරන්නට පුළුවන් දෙයක් නො වෙයි.”
අන්න ඒ විදිහ ම යි පින්වත් මහණෙනි, යම් භික්ෂුවක් මෛතී‍්‍ර සමාධිය ප‍්‍රගුණ කර ගන්නවා නම්, බහුල වශයෙන් ප‍්‍රගුණ කර ගන්නවා නම්, ගමන් බිමන් යන වාහනයක් වගේ ප‍්‍රගුණ කර ගන්නවා නම්, පිහිටා තිබෙන ගසක් වගේ ප‍්‍රගුණ කර ගන්නවා නම්, මනා කොට සිහියේ රඳවා ගන්නවා නම්, ඉතා මැනැවින් ප‍්‍රගුණ කර ගන්නවා නම්, ඉතා හොඳින් සම්පූර්ණ කර ගන්නවා නම්, පින්වත් මහණෙනි, ඉදින් අමනුෂ්‍යයෙක් ඔහු ගේ සිත කළඹන්නට ඕන කියල හිතනවා නම්, ඒ අමනුස්සයා ම යි වෙහෙසට පත් වෙන්නේ. ඒ අමනුස්සයා ම යි පීඩාවට පත් වෙන්නේ.
එම නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට යි හික්මෙන්නට ඕන. අපි කවුරුත් මෛතී‍්‍ර සමාධිය ප‍්‍රගුණ කර ගන්නවා. බහුල වශයෙන් ප‍්‍රගුණ කර ගන්නවා. ගමන් බිමන් යන වාහනයක් වගේ ප‍්‍රගුණ කර ගන්නවා. පිහිටා තිබෙන ගසක් වගේ ප‍්‍රගුණ කර ගන්නවා. මනා කොට සිහියේ රඳවා ගන්නවා. ඉතා මැනැවින් ප‍්‍රගුණ කර ගන්නවා. ඉතා හොඳින් සම්පූර්ණ කර ගන්නවා කියල. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට යි ඔබ හික්මෙන්නට ඕන.
සාදු! සාදු!! සාදු!!!
(සත්ති සූත‍්‍රය – සංයුත්ත නිකාය – 2)