New photo from Facebook December 27, 2015 at 09:00PM

තණ්හා වාරය – I කොටස

අද දවසෙ දී සම්මා දිට්ඨි සූත්‍රයේ, ශ්‍රාවකයන්ගේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළ අටවෙනි පරියාය නැත්නම් අට වෙනි ක්‍රමය වූ තණ්හා වාරය ගැනයි අපට අවබෝධ කර ගන්න තියෙන්නේ. – පෙ – සැරියුත් මහ රහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා “යථො ඛො ආවුසො අරියසාවකො තණ‍්හඤ‍්ච පජානාති – ඇවැත්නි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ තණ්හාව කුමක් ද කියලා දන්නවා නම්, තණ‍්හාසමුදයඤ‍්ච පජානාති,

තණ්හාවේ ඇති වීම කුමක් ද කියලා දන්නවා නම්, තණ‍්හානිරොධඤ‍්ච පජානාති, තණ්හා නිරෝධය කුමක් ද කියලාත් දන්නවා නම්, තණ‍්හානිරොධගාමිනී පටිපදඤ‍්ච පජානාති, තණ්හාව නිරුද්ධ කරන ප්‍රතිපදාව කුමක් ද කියලා දන්නවා නම් මෙන්න මෙපමණකිනුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මනා දැකුම් ඇත්තෙක් වෙනවා. ඔහුගේ දැකීම ඇද නැති, පළුදු නැති, සෘජු බවට ගිය එකක් වෙනවා. මේ ධර්මයේ අර්ථය, ගුණය දැන ගෙන පැහැදුණ කෙනෙක් වෙනවා. ඒ වගේම මේ සද්ධර්මයට ආපු, ආර්‍ය්‍ය භූමියට ආපු කෙනෙක් කියලා කියන්නත් පුළුවන්” කියලා පෙන්නුවා. ඒ කියන්නේ දර්ශන සම්පන්න පුද්ගලයෙක්, දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා තණ්හාව කියලා කියන්නේ කුමක් ද කියලා දන්නවා නම්. එතකොට තණ්හාව කියලා කියන්නේ කුමක් ද කියන කාරණාව, තණ්හාව ඇතිවෙන්නේ කොහොමද කියන කාරණාව, තණ්හාව නැති වෙන්නේ කොහොමද කියන කාරණාව ගැනත් අපි පොඩ්ඩක් සම්මර්ශනය කරලා බලමු.

තණ‍්හඤ‍්ච පජානාති කියලා පෙන්නලා සැරියුත් මහ රහතන් වහන්සේ ම ආපහු ප්‍රශ්නයක් අහනවා, “ඇවැත්නි තණ්හාව කියලා කියන්නේ කුමකට ද?, තණ්හාවට නිධානය වූ, තණ්හාව ඇතිවුන හේතු කාරණාව කුමක් ද?, තණ්හාව නැති වෙන්නේ කුමන ධර්මයක් නැති වීමෙන් ද?, තණ්හාව නැති කරන්න‍ පුළුවන් මාර්ගය කුමක් ද?” කියලා. සැරියුත් මහ රහතන් වහන්සේ ම ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්, “ඡයිමෙ, ආවුසො, තණ්‌හාකායා” කියලා. “මේ තණ්හාව කොටස් හයක් තියෙනවා. කුමක් ද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා. මෙන්න මේ හය ආකාර තණ්හාවට තමයි තණ්හාව කියලා කියන්නේ කියලා” පෙන්නුවා. ඊට පසුව, “වෙදනාසමුදයා තණ්‌හාසමුදයො, එතකොට වේදනා හේතුවෙන් තණ්හාව ඇතිවෙනවා. වෙදනානිරොධා තණ්‌හානිරොධො, වේදනාවේ නැති වීමෙන් තණ්හාව නැති වෙනවා. අයමෙව අරියො අට්‌ඨඞ්‌ගිකො මග්‌ගො තණ්‌හානිරොධගාමිනී පටිපදා, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය තණ්හාව නැති කරන ප්‍රතිපදාවයි” කියලා සැරියුත් මහ රහතන් වහන්සේ එදා දේශනා කළා.

එතකොට පින්වතුනි, තණ‍්හඤ‍්ච පජානාති කියන විට තණ්හාව දන්නවා නම් කොහොමද පින්වතුනි අපි තණ්හාව දැන ගන්නේ? ඒක මොනවාගේ එකක් ද? පින්වතුනි අපට තණ්හාව කියන විට බොහෝ දුරට හිතෙන්නේ අපේ හිතේ යම් යම් දේවලට තියෙන කැමැත්ත කියලා. ඒ කැමැත්ත තමයි. නමුත් මෙතන දී අපි තණ්හාව කියන විට තණ්හාව දැන ගන්න‍ ඕන පළමු වෙන් ම ප්‍රභේද වශයෙන්. තණ්හාව කියන එක මුලින් ම දෙකට බෙදෙනවා පින්වතුනි, සමුදාචාර තණ්හාව සහ වට්ටමූලික තණ්හාව කියලා. සමුදාචාර තණ්හාව කියන්නේ මේ ආයතන වල හැසිරීම් වශයෙන් පවතින තණ්හාවට. ඒ සමුදාචාර තණ්හාව තමයි පින්වතුනි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා නම් කළේ. මේ සමුදාචාර තණ්හාව පැවතුණ විට, සමුදාචාර තණ්හාව නිසා පින්වතුනි වට්ඨමූලික තණ්හාව ඇතිවෙනවා. වට්ටමූලික තණ්හාව කියලා කියන්නේ සංසාර වට්ටය සඳහා, සසර ඉපදීම සඳහා මුල් වන තණ්හාවයි. ඒ තණ්හාවට කියනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා.

එතකොට තණ‍්හඤ‍්ච පජානාති කියන විට මුලින් ම මේ තණ්හාවේ ප්‍රභේද දෙක දකින්න ඕන. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා කියන කාරණාව හා ඒ තණ්හාව අනුසාරයෙන් මේ සසර ප්‍රතිසන්‍ධි වශයෙන් පමුණු වන තණ්හාව හදනවා. ඒ තණ්හාව නිසයි පින්වතුනි උපාදානය කියන ධර්මතාව. උපාදානය නිසයි භවය, භවය නිසයි ජාතිය. එතකොට ජාතිය නිසා ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස ඇතිවෙනවා. තණ්හාව කියලා කියන්නේ ජරා මරණ දුක ඇති කරවන ධර්මයක් කියලා දන්නවා නම්, තණ්හාව ගැන ඔන්න ටිකක් දන්නවා. තණ‍්හඤ‍්ච පජානාති කියන විට තණ්හාව කියලා කියන්නේ දුකට යන්න තියෙන ක්‍රමයයි, දුක ඇති කරවන හේතුවයි කියලා දකින්න.

ඒ වගේම තණ්හාවේ ලක්ෂණ ටිකත් අපි දැන ගන්න ඕන. හොඳට දකින්න මේ කෙලෙස් කියන ධර්මතාවය – අවිද්‍යා, කර්ම, තණ්හා, උපාදාන කියන මේ නොයෙක් කෙලෙස් – පින්වතුනි, මේ කෙලෙස් විතරක් අපේ ජීවිතයට හම්බ වෙන්නේ නෑ. ඒ කෙලෙස් යෙදිල කෙරෙන කටයුතුයි අපේ ජීවිතයට හම්බ වෙන්නේ. ඒ ක්ලේශය හඳුනා ගන්න වෙන්නේ ක්ලේශය කරන කටයුතු වලින්. තණ්හාවත් එහෙමයි පින්වතුනි. තණ‍්හඤ‍්ච පජානාති කියන විට තණ්හාව කියන එක, අපි හිතන විදියේ යමකට කැමති වෙනවා කියන ගතියෙන් විතරක් දකින්න බැහැ. ඊටත් වඩා මුළු ජීවිතය පුරාම හරියට අතරක් නැතිව පැතිර තියෙන වතුර වලක් වගේ, ජීවිතය පුරාම අතරක් නැතිව හැම අරමුණක ම පැතිර තියෙන ධර්මතාවයක් පින්වතුනි මේ තණ්හාව. එතකොට ඒ තණ්හාවෙන් කෙරෙන කටයුතු දෙස බලල තමයි අපට තණ්හාව ගැන අනුමාන දැක්මක්, නුවණින් දැක්මක් ඇති කර ගන්න වෙන්නේ, අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. මොකද තණ්හාව කිසිම වෙලාවක තණ්හාවේ සාමාන්‍ය ස්වභාවයෙන් පවතින්නෙ නෑ. තණ්හාව හැම වෙලාවෙ ම යමක් අල්ලනවා කියන, උපාදාන කරවනවා කියන ගතියෙන් විද්‍යමානයි. එතකොට ඒ අල්ලා ගන්නවා, උපාදාන කරනවා කියන ලක්ෂණයෙන් තමයි අපට තණ්හාව කියන කාරණාව දැන ගන්න වෙන්නේ. ඒ කියන්නේ තණ්හාව කියන විට, මෙයා (තණ්හාව) ඉන්න නිසා නේද මේ ධර්මය යෙදෙන්නේ කියලා තේරුම් කර ගන්න ඕන.

තණ්හාවට පොඩි උපමාවක් බලමු. යම්කිසි යුධ කඳවුරක් තියෙනවා කියලා හිතමු. මේ යුධ කඳවුරට නොයෙක් දිශා වලින්, නොයෙක් ආකාරයෙන් සතුරු ආක්‍රමණ එන්න පුළුවන්. එතකොට නොයෙක් සතුරන්ගෙන් බලපෑම් මේ කඳවුරට ඇතිවෙන නිසා මේ කඳවුර රැක ගන්න ඕන. මේ කඳවුර රැක ගැනීමේ උවමනාව යම්කිසි කෙනෙකුට තියෙනවා නම් එයා මොකද කරන්නේ? මේකට ආරක්ෂාවක් යොදනවා. හොඳට බලන්න, කඳවුර ඇතුළේ සිට කඳවුර ආරක්ෂා කරන්න බෑ. ඒකට කඳවුරෙන් පිටට ගිහින් ‘සිකියුරිටි’ ගෙවල් හදා ගෙන ඒ ගෙවල් ඇතුළේ ඉඳ ගෙන තමයි කඳවුර රකින්නේ. කඳවුර රකිනවා කියලා කරන්න තියෙන්නේ කඳවුරේ කටයුත්තක් නොවේ, පිටත කටයුත්තක්.

ඒ කියන්නේ ඈත බලා ගෙන තමයි ඉන්න වෙන්නේ. ඈත ඉඳල යන එන අය දෙස බොහොම සෝදිසියෙන් ඉන්න වෙනවා. කවුද එන්නේ කියලා බොහොම සෝදිසියෙන් ඉන්න වෙනවා. වටපිටේ වෙන්නේ මොනවා ද කියලා බොහොම සෝදිසියෙන් ඉන්න වෙනවා. මේ කරන හැම එකකින් ම මේ කඳවුර ආරක්ෂා කිරීමට යෙදිල ඉන්න කෙනාට පිටත තමයි රකින්න වෙලා තියෙන්නේ. පිටත තමයි සෝදිසි කරන්නේ. පිටත සෝදිසි කරන එකෙන් කරලා තියෙන්නේ කඳවුර ආරක්ෂා කරන එක මිසක්, පිටතට ගිහින්, යන එන පුද්ගලයෝ ගැන පරීක්ෂාකාරී වන්නේ, බාහිර අවට භූමිය ගැන පරීක්ෂාකාරී වන්නේ, අවට භූමියේ තියෙන ගහ කොළ ගැන පරීක්ෂාකාරී වන්නේ ඒවායින් යමක් හදන්න එහෙම නොවේ. ඒවායේ හරි වැරැද්ද හොයන්න, වැඩි දියුණු කරන්න නොවේ. ඒ බාහිර දෙස පරීක්ෂාකාරී ව ඉන්නේ අභ්‍යන්තරය ආරක්ෂා කර ගන්න ඕන නිසා.

එතකොට ඇතුළත කඳවුර ආරක්ෂා කරන්න පිටතට යන්න වෙනවා වගේ පින්වතුනි, අපේ මේ තණ්හාව තමයි හැම වෙලාවෙ ම තමන් කැමති විදියට තබා ගන්න උත්සහ කරන්නේ. තණ්හාවට නිධාන කාරණාව පෙන්වනවා වේදනා පච්චයා තණ්හා කියලා. හැම වෙලාවෙ ම දුක් වේදනාවෙන් ඉවත් වෙන්න තියෙන කැමැත්ත හා සැප වේදනාව ලබාගන්න තියෙන කැමැත්තයි අපට දැන් තියෙන්නේ. මේ තමන් තුළ තියෙන කැමැත්තට ආහාර ලැබෙන්නේ නෑ තමන් තුළින්. එහෙනම් තමන් තුළ තියෙන තණ්හාවට තමන් කැමති විදියට පැවැත්ම ආරක්ෂා කර ගන්න නම්, අර කඳවුරෙන් එළියට ගිහින් කඳවුර රකින්න වෙනවා වගේ, බාහිර දේවල් ආරක්ෂා කරන්න වෙනවා.

හොඳට බලන්න අපට ගෙවල් දොරවල් හදන්න වෙලා තියෙන්නේ, යාන වාහන, ඉඩකඩම් හදන්න වෙලා තියෙන්නේ, දූ දරුවෝ හදන්න වෙලා තියෙන්නේ කුමක් නිසා ද? දූ දරුවන්ට ආදරේකට කරනවා නොවේ, තව කෙනෙකුට යහපතට ගෙවල් දොරවල් හදනවා නොවේ. අපි හිතන්නේ තව කෙනෙකුට උපකාරය පිණිස ගෙවල් දොරවල් හදනවා, දූ දරුවන්ට උපකාරය පිණිස දූ දරුවන් හදනවා, මුනුබුරන්ට උපකාරය පිණිස මුනුබුරන් හදනවා, ලෝකයට උපකාරය පිණිස සේවයක් කරනවා කියලා. නමුත් හොඳට දකින්න, තමන්ගේ ආධ්‍යාත්මයේ තියෙන කැමැත්ත ඉෂ්ට කර ගන්න යි අපි බාහිර දේවල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කඳවුර රකින කෙනාට කඳවුරෙන් පිටත බලා ගෙන ඉන්න වෙනවා වගේ, අපි තුළ ඇති කැමැත්ත, ආශාව ඉෂ්ට කර ගන්න තමයි පින්වතුනි අපි බාහිරට ගිහිල්ලා තියෙන්නේ.

අපි උපමාවක් ගත්තොත්, අපට ප්‍රියමනාප රූපයක් බලන්න රූප තණ්හාව තියෙන්නේ. නමුත් මේ රූපය අපට ලැබෙන්නේ රූපවාහිනී නාලිකාවකින් නම් දැන් අපට මේ රූප පෙට්ටිය කැඩෙන්නේ නැතිව පරිස්සම් කර ගන්න වෙනවා. ඒක දුහුවිලි වැදෙන්නේ නැතිව පිහින වාරයක් පාසා, ආරක්ෂා කරලා තියෙන වාරයක් පාසා, මේ බාහිර රූපවාහිනී යන්ත්‍රයක් වේවා, රේඩියෝ එකක් වේවා, ශීතකරණයක් වේවා ඇයි මේ කෑලි අපේ ගෙවල් වලට අවශ්‍ය? පින්වතුනි මේ තණ්හාව නිසයි. මේක තියෙනවා නම් මේ රූපය බලන්න පුළුවන්. රූප තණ්හාව ඉෂ්ට කර ගන්න පුළුවන් නිසා. ඇයි මේ ‘කැසෙට්’ එකකට, ගුවන් විදුලියකට වගේ දෙයකට කැමති? ඒ කෑලි ටික ඕන නෑ. නමුත් ඒ කෑලි ටික නිසා නම් අපට ශබ්දයක් අහල සැප විඳින්න පුළුවන් කම තියෙන්නේ, එහෙනම් ශබ්දය අහල සැප විඳින්න ඕන කමයි
තියෙන්නේ. ඒ නිසා මේ ගුවන් විදුලි යන්ත්‍රය රකින්න ඕන. කයට මෘදු පහසක් ලබා දෙන්න නම්, සිසිල් යමක් ලබා දෙන්න නම්, ශීතකරණය තියෙන්නේ. ඒකට මේක රකින්න වෙලා. මේ වගේ අපට හිතට සතුටු වෙන යමක් ලැබෙන්න නම්, හිත සතුටු කරන්න නම් ඒ සඳහා තමයි මේ දරු මුනුබුරෝ, ගෙවල් දොරවල් තියෙන්නේ. එතකොට හොඳට බලන්න, තමන් තුළ තියෙන සැප වේදනාව බලා ගෙන, ඒ සැප වේදනාව ගන්න ඕන කමට කරන දේ දකින්න තණ්හාව කියලා.

මේ මුළු ලෝකය ම තණ්හාවට දාසයෙක් කියලා පෙන්නනවා. මේ කාරණාව හොඳට සිහි කරන්න තණ්හාවට දාසයෙක් කියන්නේ ඇයි කියලා. අපි තව උපමාවකින් ටිකක් සම්මර්ශණය කරලා බලමු. මේ තණ්හාවට දාසයෙක් කියන කාරණාව තේරුම් ගත්තොත් තමයි පින්වතුනි අපේ චරිතය ගැන, අපේ ජීවිතය ගැන අපි හරියට කලකිරීමට පත් වෙන්නේ.

යම් කිසි ගෙදරක වැඩකාර කමට කෙනෙක් ගියා කියලා හිතමු. මෙයාට ගෙහිමි පුද්ගලයා කියනවා, ‘ළමයෝ, කඩේට ගිහින් එන්න’ කියලා. කඩේට ගිහින් එනවා. ආපු ගමන් කියනවා, ‘මේ මිදුල අතුගාල දාන්න’ කියලා. ඔන්න මිදුලත් අතුගානවා. ඒ ගමන් කියනවා, ‘ළමයෝ, මේ රෙදි ටික හෝදලා දාන්න’ කියලා. ඒකත් කරනවා. ඒක ඉවර වෙනවාත් එක්ක කියනවා, ‘ළමයෝ මේ ටික උදලු ගාලා දාන්න’. ඒකත් කරන විට කිපෙන්නේ නැද්ද, තරහ එන්නේ නැද්ද? එතකොට සමහර විට ඒ වැඩ ගන්න ස්වාමියාට බණින්න පුළුවන්. එක්කෝ ගහන්න පුළුවන්. ‘මේ මනුස්සයා පමණ දන්නේ නෑ’ කියලා ඒ වැඩ ගන්න කෙනා ගැන කලකිරෙන්න පුළුවන්. සමහර විටක මට මේ රස්සාව ඕන නෑ කියලා දමල ගහල යයි. සමහර විටක ඔය කියන කියන විදියට එක දවසක් කරයි. දවස් දෙකකුත් කරයි. තුනකුත් කරයි. හතරකුත් කරයි. ඊට පස්සෙ දී ඕක කරන්නෙ නෑ, ඇතිවෙනවා. මේ විදියට වැඩ කරන තැනක කිසිම කෙනෙක් ඉඳියි කියලා හිතනවා ද?

මේ පින්වතුන් බොහොම හොඳට කල්පනා කරලා බලන්න, ‍එහෙම බාහිර ලෝකයේ වැඩකාරයෙක් ලවා වැඩ ගන්න හැදුවොත් එයා දවසක් දෙකක් මේ විදියට කියන කියන එක කරයි, ඊට එහා කරන්නේ නෑ. එයා ගැන අපැහැදීමට පත් වෙනවා, පිළිකුලට පත් වෙනවා, ප්‍රතික්ෂේප කරන තැනට පත් වෙනවා. ඒ රස්සාව එපා කියන තැනට පත්වෙනවා. කිසි විවේකයක් නෑ හරිම අපහසුයි කියලා සමහර විට දොස් කියලා, බැණල, සමහර විට පහර දීල එතැනින් පිට වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි, මේ තණ්හාවට දාසයෙක් කියලා කියන තැන මෙන්න‍ මේ අර්ථයෙන් දකින්න ඕන. බාහිර දාස කම් කරන කෙනා බාහිර දාස කම් නිසා කලකිරෙන්න වුනත් පුළුවන්. නමුත් පින්වතුනි, තණ්හාවත් ඔය වගේම යමක් කරනවා, ඒත් කිසි දිනක අපි කවුරුත් මෙයාගෙ දෝෂය දැකලා නෑ, මෙයාට කලකිරිලා නෑ. මේ තණ්හාවෙ දෝෂය දැකල තණ්හාවට කලකිරුනොත් එදාට තමයි පින්වතුනි අපි දාස භාවයෙන් මිදෙන්නේ. එතෙක් මේ ස්වාමියාට අපි වැඳ‍ ගෙන ඉන්නවා. මේ ස්වාමියාට අපි හරි කීකරුයි. මෙයාගේ දෝෂයක් දකින්නේ නෑ.

අපි උදාහරණයක් ගත්තොත් පින්වතුනි ඔබේ ම සිත කියනවා ‘අනේ මෙතන ඉන්න බෑ, කම්මැලියි, යන්නට ඕන අහවල් නගරයට/රටට’ කියලා, දැන් ඔබ යනවා. සමහර විට දින ගණනක් උත්සාහවත් වෙලා බොහොම වෙහෙස මහන්සියෙන් තමයි පින්වතුනි ඒ නගරයට යන්නේ. ගිහිල්ලා අනිත් අතට ම හිත කියනවා, ‘අයියෝ, මේකෙ නම් ඉන්න බැහැ, ආපසු යන්න ඕන’ කියලා. ඔන්න කියපු ගමන් ම ආපසු එනවා. ඒ ආපු ගමන් ම දැන් හිත කියනවා ‘අහවල් රූපය බැලුවොත් නම් හොඳයි’ කියලා. ඔන්න කියපු එක අරන් දෙනවා. ඊට පස්සෙ කියනවා සිංදුවක් ඇහුවොත් නම් හොඳයි. ඊට පස්සෙ ඒක කරන විටම හොඳ කෑමක් කෑවොත් හොඳයි. දැන් කෑම කනවා. ඊට පස්සෙ අහවල් ස්පර්ශය ලබන්න තිබුනොත් හොඳයි. ඔන්න ඒක ලබා දෙනවා. ඊට පස්සෙ අහවල් කෙනා එක්ක පොඩ්ඩක් කතා කරන්න ගියොත් හොඳයි. ඔන්න එතනට යනවා. මේ හිත කියන කියන එකට වැඳ ගෙන එහෙයි කියන මට්ටමේ අපි අහනවා, කරනවා මිසක් කිසිවෙක් මෙයා ගැන කලකිරෙන්නෙ නෑ.

හොඳට බලන්න. මේ හිත ම විටක කියනවා අහවල් තැනට යන්න කියලා, අහවල් දේ කරන්න කියලා. එයා ම කියනවා දැන් ඔතන හිටිය ඇති, දැන් ඔය දේ කළා ඇති, ඕක නතර කරන්න අහවල් තැනට යන්න කියලා. ආපහු ඒ විදියට කරනවා. ආපහු කියනවා නෑ කමක් නෑ, ආපහු අතන ට යන්න කියලා. ආයෙත් එතන ට යනවා. අර බාහිර කෙනෙක් නම් එක වැඩක් ඉවර කරලා තව වැඩක් කරන විටම ඒ හේතුවෙන් ස්වාමියා ගැන කලකිරෙනවා. එයා ගැන බොහොම අප්‍රසාදයට පත් වෙනවා. නමුත් තමන් ගාව ඉන්න තණ්හා කියන ස්වාමියා ගැන කවුරුත් කලකිරෙන්නේ නෑ. තණ්හාව නමැති ස්වාමියා දවස තිස්සේ ම තමන්ගෙන් දාසයෙකුගෙන් වගේ වැඩ ගන්නවා. ඒත් කවුරුත් මේක දන්නේ නෑ.

හොඳට බලන්න දරුවන්ට දැන් මෙහෙම කරන්න කී විට ඒ විදියට කරනවා. දරුවන්ගේ සුබ සිද්ධිය සඳහා මෙහෙම කරන්න කී විට එහෙම කරනවා. දැන් දරුවන් පාසලට රැගෙන යන්න කී විට එහෙම රැගෙන යනවා. දැන් ගෙදර මේ මේ ටික හදන්න කී විට ඒ ටික හදනවා. වත්ත මේ විදියට ලස්සනට මල් වැට කපලා හදන්න කී විට ඒ විදියට හදනවා. ඉස්සරහ ටික පිරිසිදු කරලා තීන්ත ටිකක් ගාන්න කී විට ඒ විදියට කරනවා. දැන් ගෙදරට වතුර අඩුපාඩුයි. වතුර හදන්න කී විට ඒ ටික කරනවා. කියන කියන එක කළා මිසක් කිසි දිනක මේ ස්වාමියා ගැන කලකිරිලා තියෙනවා ද කියලා බලන්න. මේ වැඩ ගන්න ස්වාමියා දැකලා තියෙනවා ද බලන්න. නෑ. මේ තණ්හාව නමැති ස්වාමියායි පින්වතුනි මෙතන ඉඳ ගෙන අපි ව මේ මේ දේවල් වලට යොමු කරන්නේ. වේදනාව උපදවා ගන්න පුළුවන් හැම ක්ෂේත්‍රයක ම මෙයා ඇවිදිනවා. වේදනාවට තියෙන තණ්හාවෙන් අපි ව මිරිකලා අර ගෙන හැම තැන ම ජීවිතයට යොදවනවා. ඒත් අපේ තියෙන අවාසනාව කියන්නේ පින්වතුනි අපි මෙහෙම ස්වාමියෙකුට යටත් ව කීකරු ව සිටින ගෝලයෝ කියලා අපි දන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ඒ නිසයි දේශනා කළේ ‘මුලු ලෝකය ම තණ්හාවට දාස යි’ කියලා.

තණ‍්හඤ‍්ච පජානාති කියන විට හොඳට දකින්න, අද මගේ ස්වාමියා මම නොවේ, තණ්හාවයි කියලා. ඔබට ස්වාධීන පැවැත්මක් නෑ කියන එක දකින්න. ඔබ ව මෙහෙයවන, ජීවත් කරවන, ඔබ හැම දෙනාගේ ම ස්වාමියා තණ්හාවයි කියන තැනකින් දකින්න තරම් ඔබ දක්ෂ වෙන්න ඕන. මේ ගෙවල් දොරවල් හැදුවා නම් හැදුවේ, දූ දරුවෝ හැදුවා නම් හැදුවේ, යාන වාහන ගත්තා නම් ගත්තේ ඔබගේ උවමනාවට නොවේ, මේ ස්වාමියාගේ උවමනාවටයි කියන එකත් දකින්න. ඔබ ස්වාමියාට උපස්ථාන කර ගෙනයි ඉන්නේ කියන කාරණාවත් දකින්න ඕන. ස්වාමියාට උපස්ථාන කරමින් ඉන්නේ නිකං නම් නොවේ. වැඳ ගෙන ඉන්නේ. පොඩ්ඩක් වත් වෙනස් වෙන්න දෙන්නේ නෑ, එයාගෙ වචනය අකුරට ම ඉෂ්ට කරමින් සුවච කීකරු ගෝලයින් වෙලා හැම දෙනා ම ඉන්නවා කියන තැනින් දකින්න. තණ‍්හඤ‍්ච පජානාති කියන විට මේ තණ්හාවේ ලක්ෂණය තමා අද අපි ව මේ විදියට හසුරු වන එක කියලා දකින්න.

එතකොට ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘තණ්හාවට දාස යි ලෝකය ම’. දාසයෙක් වගේ මේ කටයුතු කරන්නේ ස්වාමියා කියන නිසයි කියලා තේරුම් ගන්න ඕන. උදේ වැඩට යන්නේ, වැඩ ඇරිල ගෙදර එන්නේ එයා කියන විදියටයි. එයා කීවොත් වැඩිය වියදම් කරන්න බෑ, මෙහෙමයි වියදම් කරන්නෙ කියලා, ඔබලා කරන්නේ එහෙමයි. එයා කීවොත් මේ ටික ඉතුරු කරන්න ඕන කියලා, ඒ විදියට කරන්නේ. එයා කීවොත් මේ ටික වැය කරන්න කියලා ඒ විදියටයි කරන්නේ. ඒ නිසා තණ‍්හඤ‍්ච පජානාති කියන විට අන්න ඒ ටික දකින්න ඕන. ඒ ස්වාමියා කියන වැඩ ටික කරන අර්ථයකිනුත් මේ තණ්හාව දකින්න.

ඊළඟ කාරණාව තමයි මේ ස්වාමියා සෑම විටම අපි ව වැඩේ යොදවන්නෙ, අර කඳවුරෙන් පිටත වගේ, තමන්ගෙන් පිටත දූ දරුවෝ, ගෙවල්‍ දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්. දුක් ‍වේදනාව එන ඒවා අයින් කරන්න, සැප වේදනාව එන ඒවා ළං කරන්න තමයි ඔබලා ව යොදවලා තියෙන්නේ. එතකොට සෑම විටම මේ බාහිර ලෝකය රැස් කරන ගතියෙන් දුක්, අප්‍රිය, අමනාප දේවල් අයින් කරන ගතියෙන් දකින්න තණ්හාව. තණ්හාව ඇති තාක් පින්වතුනි, තියෙන ලක්ෂණය තමයි මේ ලෝකෙ අනිත්‍ය වූ, දුක් වූ, විපරිණාම වූ, සංඛත වූ දේවල් රැස් කරන ගතිය නතර වෙන්නෙ නෑ. ඒවා එකතු කරන ක්‍රම නතර වෙන්නෙ නෑ. පින්වතුනි, එතකොට තණ‍්හඤ‍්ච පජානාති කියන විට හොඳට “දාසයා“ අර්ථයෙන් දකින්න. අපි මෙච්චර වැඩ කළත් මේ ස්වාමියාගේ ඇති වීමක් නෑ. එබඳු ස්වාමියා කෙරෙහි අපේ කලකිරීමකුත් නෑ. කලකිරීමක් නැති තමන් ගැනත්, ඇතිවීමක් නැති ස්වාමියා ගැනත් හොඳට ඔබලා තේරුම් ගන්න. එදාට කියනවා යම් මට්ටමකට තණ‍්හඤ‍්ච පජානාති කියලා.

ඊට පස්සෙ, මේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා කියන මේ තණ්හාවෙ කෘත්‍යය නිසා තමයි – මේ තණ්හාව නිසා තමයි, අපට ටීවී, කැසට්, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම් රැස් කරන්න වෙලා තියෙන්නේ කියලා දකින්න. තණ්හාවේ චරිතය දකින්න. ගෙදර තියෙන බඩු මුට්ටු දෙස බලන විට ඔබගේ ජීවිතයේ තියෙන තණ්හාව දකින්න. මේ තණ්හාවට උපකාර ධර්මතා ටික. තණ්හාව පෙනෙන්නේ ඔය කාරණා ටිකෙන්. ඔබලා හිතනවා ද තණ්හාව නැති කරපු රහතන් වහන්සේ නමක් කැසට්, ඩෙක්, ටීවී, ශීතකරණ, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් රැස් කර ගෙන ඉඳියි කියලා, නෑ. මේ කාරණා රැස් කර ගෙන ඉන්නේ ඇයි? වේදනා පච්චයා තණ්හා – වේදනාවටයි තණ්හාව ඇති කරලා තියෙන්නේ. යම් යම් ආකාරයට සැප වේදනාව ලැබෙනවා නම් ඒ දේවල් වලට තණ්හායි. ඒ දේවල් රැක ගන්නවා. එතකොට ඔබලාට තණ්හාව කියන විට යම් දෙයකට හිතේ තියෙන කැමැත්ත කියන ගතියෙන් දකින්න එපා. ගෙදර බඩු මුට්ටු ටික ඔක්කොම දකින්න තමන්ගෙ තණ්හාව හැටියට. තමන් වටේ තියෙන ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් කියන මේ දේවල් දෙස බලලා තමන්ට වටිනා වස්තු ටිකක් තියෙනවා කියලා නොවේ, තමන්ට මෙච්චර වටිනා දරු මුනුබුරෝ ඉන්නවා කියලා නොවේ, තමන්ට මෙපමණ තණ්හාවේ ප්‍රභේද තියෙනවා කියලා දකින්න. තමන් වටා තණ්හාව මේ මේ ආකාරයෙන් රැස් වෙලා කියලා දකින්න. තමන්ගේ ස්වාමියා, තණ්හාව නමැති ස්වාමියා, මේ දේවල් එකතු කරන්න කියලා, ඒ නිසා තමන් ඒ දේවල් එකතු කරලා කියලා දකින්න. එතකොට ඔය අරමුණු පාසා තමන්ගේ චරිතය තමන්ට පෙනෙන්න ඕන. ඇයි තණ්හාවෙන් යුක්ත සසරෙ ඉන්න තමන්ගේ චරිතයයි හෙළි වෙන්නෙ මේ දේවල් රැස් කර ගෙන වට කර ගෙන ඉන්නවා කියන එකෙන්.

එතකොට තණ‍්හඤ‍්ච පජානාති කියන විට, තණ්හාව දන්නවා කියනවා නම්, තණ්හාව නිසා එකතු කරපු හැම දෙයක් ම පෙනෙන්න ඕන තණ්හාවේ කෘත්‍යයක් නේද, තණ්හාව කියන ධර්මතාවය නිසා රැස් වූ දෙයක් නේද කියලා. රූපවාහිනියක් ගන්නෙ කුමකට ද ප්‍රියමනාප රූප බලන්න. රූප බලන්න ගත්තේ රූප තණ්හාව නිසා නොවේ ද? එහෙනම් රූප තණ්හාව නමැති ස්වාමියා කියපු නිසා නොවේ ද ඔබ රූපවාහිනියක් ගෙනාවේ. එහෙනම් ගෙදර රූපවාහිනියක් තියෙනවා කියන්නේ මේ තණ්හාව නියෝජනය කරන්න තියෙන සංකේතයක් නොවේ ද? ඒ වගේම ශබ්දය, ගන්ධය, රසය. ඔන්න ඔය ටික ඔය විදියට ම දකින්න ඕන. එතකොට තණ්හාව හඳුනා ගන්න පුළුවන් තමන් වටා තියෙන බඩු මුට්ටු වලින්. ඒ වගේම තමන් යමක් කරනවා, ආපහු බෑ කියලා හිතෙනවා, ආපහු ඒක ම කරනවා, ආපහු බෑ කියලා හිතෙනවා. අහවල් තැනට යන්න කියලා තමන්ගේ හිත බල කරනවා. ගිහිල්ලා ක්ෂණයකින් ම අනේ දැන් මෙතන ඉන්න බෑ කියලා ආපහු එනවා. ආපහු එතන ඇවිල්ලා තව ටිකකින් ආපහු යන්න කියනවා. මේ වගේ අතරක් නැතිව නිරන්තරයෙන් ඇවිද්ද වනවා. මේ වැඩ ගන්න ස්වභාවයෙනුත් තමන්ගේ ස්වාමියා තමන් හඳුනා ගන්න. මේ ටික තේරුණා ම තණ‍්හඤ‍්ච පජානාති. ඒ විතරක් නොවේ, මේ ස්වාමියා අන්තිමට ඔබලා යොදවලා තියෙන්නේ කොතැනට ද? හොඳට බලන්න, මෙයා මෙහෙම කරවලා අන්තිමට උපාදානීය ධර්මයන් උපාදාන කරවල යි තියෙන්නේ. බලන්න, ඔබලා එකතු කරලා තියෙන්නේ රූපයක් නොවේ ද, වේදනා, සංඥා, සංඛාර, විඥාන නොවේ ද? මේ පංච උපාදානස්කන්‍ධය කෙරෙහි තියෙන තණ්හාව ම, උපාදානයි කියලා දකින්න.

මතු සම්බන්ධයි!

සියළුම ලිපි සඳහා පිවිසෙන්න : https://goo.gl/wM0Fxz

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා! via Facebook Pages http://ift.tt/1GMS4Lf