New photo from Facebook January 29, 2016 at 12:00PM

අපි වනාහී ශ්‍රාවකයෝ වෙමු…..

අපගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ පුරා වසර හතලිස් පහක් ලෝ සත කෙරෙහි පතල මහා කරුණාවෙන් දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස දහම් දෙසූ සේක. බුදු රජාණන් වහන්සේ කිසිම දිනයක දී බුදු සසුන හෝ සඟ පිරිස පාලනය කිරීමට කිසියම් පුද්ගලයෙකු නම් කළේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ වදාළේ තථාගත පරිනිර්වානයෙන් පසු තථාගත ධර්මයත් විනයත් ශාස්තෘෘත්වයෙහි ලා සලකන ලෙසයි.
අවසන් කාලයේ දී එනම් පරිනිර්වාණ සමයේ දී කුඩා අනුකුඩා ශික්ෂාපද භික්ෂූන්ට අවශ්‍ය නම් වෙනස් කරගන්නැයි ආනන්ද ස්වාමීන් වහන්සේට බුදු රජාණන් වහන්සේ විසින් වදාළ බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. එහෙත් එකරුණ සවිස්තරව දන්නා පිරිස අල්ප බව බොහෝ දෙනා කටයුතු කරන ආකාරයෙන් සිතා ගතහැකිය.
එදා කුඩා අනුකුඩා සිල්පද යනු කුමන ශික්ෂාපද කොටසදැයි අසාගන්නට අනද හිමියන්ට නොහැකි විය. ඒ බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පානා බව දැන, ඇති වූ බලවත් සිත් තැවුල නිසාවෙනි. මේ නිසා බුද්ධ පරිනිර්වානයෙන් තෙමසකට පසු පැවති ධර්ම සංගායනාවේ දී ඒ පිළිබඳව රහතන් වහන්සේලා අතර කතාබහට ලක්විය. එහිදී බොහෝ අදහස් ඉදිරිපත් විය. ‘‘සතර පාරාජිකාවන් හැර ඉතිරි සියල්ල කුඩා සිල්පදයන්ය” යනු එක් මතයකි. “සතර පාරාජිකාවන්ද සංඝාදිසේස නම් ආපත්තීන් ද හැර ඉතිරි සියල්ල කුඩා සිල්පදයන්ය” යනු තවත් අදහසකි. මෙසේ රහතන් වහන්සේලා අතර විවිධ අදහස් ඇතිවද්දී (මින් අදහස් වන්නේ රහතන් වහන්සේලා කලහ කළ බවක් හෝ වාදවිවාද කළ බවක් හෝ නොවේ.) මහා කස්සප මහරහතන් වහන්සේ ආසනයෙන් නැගිට සියළු දෙනාට ඇසෙන සේ මෙය වදාළ සේක.
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අපගේ ශාස්තෘෘන් වහන්සේ පිරිනිවන් පා තවම වැඩි දිනක් ගතවී නැහැ. තවම ඒ සම්බුදු සිරුර ආදාහනයෙන් නැගුණ දුම් අහසට නැගුණා පමණයි. අප මෙතරම් කෙටි කලකින් ඒ බුදු රජාණන් වහන්සේ පනවන ලද ශික්ෂාවන් වෙනස් කරගන්නේ නම්, ඒ සම්බුදු චිතකයේ අළු පවා අපට නින්දා කරනවා නොවේද….? අප මෙතෙක් කලක් ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විසින් පැනවූ සියළු සිල්පදයන් ඉතා සමගියෙන් යුතුව ආරක්ෂා කළෙමු. ඉදින් සඟ පිරිස එකඟ වන්නේ නම් මේ අයුරින්ම ඉදිරියටත් කිසිඳු වෙනසක් නොකරම, මේ සිල්පද සියල්ලම ආරක්ෂා කළ හැකි නොවේද…?” මේ අදහස සියළුම මහරහතන් වහන්සේලා එකහෙලා අනුමත කළ සේක. එදා මහරහතුන් පවා වෙනසක් නොකර රැකගත් පරම පූජනීය ධර්මයත් විනයත් වෙනස් කරන්නට අද අපට කිසිසේත්ම අවසර නැත. මෙය බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි.

බුදු සසුන පවතින්නේ පිරිසිදු උපසම්පදාව ඇති භික්ෂූන් වහන්සේලාගෙනි. අවස්ථානුකූලව බුදු රජාණන් වහන්සේ පණවා ඇති සිල්පද ගණන දෙසිය විසි හතකි(227). බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය ස්වාක්ඛාතය. එනම් එය මනාකොට දෙසන ලද්දකි. එහි “අසවල් කාරණය වැඩිය, එය ඉවත් කළ යුතුය. අසවල් කරුණ ඊට එක් කළ යුතුය” ආදී වශයෙන් සකසන්නට දෙයක් නැත. ශික්ෂා පදයන් සම්බන්ධයෙන්ද එසේමය. යම් යම් අවස්ථා වලදී ඇතිවන ගැටළු විසඳා ගන්නා ආකාරයද, භික්ෂූන්ගේ යම් දෝෂ ඇත් නම් ඒවාට සුදුසු විනයකර්ම කළයුතු ආකාරය ද පැහැදිලිව විනය පිටකයේ දක්වා ඇත. අදටත් මේ රටේ බොහෝ භික්ෂූන් වහන්සේලා සති දෙකකට වරක් රැස්වී පොහොය කරති.
මේ අනුව බලන කල අපගේ ශාස්තෘෘන් වහන්සේ විසින් වදාළ ධර්මයේත් විනයේත්, කිසියම් කෙනෙක් විසින් හෝ පිරිසක් විසින් හෝ යම් වෙනස්කමක් කරන්නේ නම්, එය බලවත් වරදකි. පිටින් හොඳක් ලෙස පෙනුණද එය මහා ශාසනික විනාශයක ඇරඹුමකි. එදා නිකෙලෙස් මහ රහතන් වහන්සේලා ගත් අදහසට පිටුපෑමකි. නොකා නොබී පණ අදිමින් බැමිණිතියා සාය වැනි දුර්භික්ෂ කාලවලදී දහමත් විනයත් සුරැකි භික්ෂූන්ට කරන නිගාවකි. බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය අකාලිකය. එසේ නම් කාලානුරූපී යැයි කියමින් කිසිවක් වෙනස් කරන්නට කිසිවෙකුට අවසර නැත.
බුදු රජාණන් වහන්සේ සාරිපුත්ත-මොග්ගල්ලාන රහතන් වහන්සේලාට වත් බුදු සසුන බාර දී නොමැත. බුදු රජාණන් වහන්සේ ශාස්තෘෘන්වහන්සේ වන සේක. අපි වනාහී ශ්‍රාවකයෝ වෙමු. ශ්‍රාවකයන් ශ්‍රාස්තෘන්වහන්සේ පෙන්වූ මග ගමන්කරනවා මිස, ශ්‍රාවකයා ශ්‍රාස්තෘවරයෙකු බවට පත්විය යුතු නැත. ශ්‍රාවකයා ශ්‍රාස්තෘවරයෙකු ගේ භූමිකාව රඟ දැක්විය යුතු නැත. එනිසා යමක් කරන්ට පළමුව දෙතුන් වරක් නොව සිය දහස්වරක් මෙය සිතා බැලීම මැනවි. හුදෙක්ම මෙසේ සටහන් තබන ලද්දේ කිසිවෙකුටත් පහරගැසීමට නොව, බුද්ධිමතුන්ට සිතා බැලීමටයි. via Facebook Pages http://ift.tt/1GMS4Lf