New photo from Facebook April 24, 2016 at 12:00PM

සිත,කය සහ වචනය යන ද්වාරත්‍රයේ ශික්ෂිත බව, සුචරිතවත් ක්‍රියාකාරිත්වය පුද්ගල අධ්‍යාත්මික වර්ධනයටත් විශ්වසනීයත්වයටත් හේතුවේ. තමා පිළිබඳ ඇති මධ්‍යස්ථ බව පුද්ගලයාට තමා පිළිබඳ වන අවබෝධය නිරවුල් කර දෙයි. තමා පිළිබඳ අධිතක්සේරුවකින් වෙසෙන පුද්ගලයා මානාධික වන අතර තමා පිළිබඳ අවතක්සේරු කරන්නා හීනමානයෙන් ද අනෙකකු හා සමානත්වයකින් සලකන්නා සදිසමානයකින් ද පෙළෙයි. ඔහු තමන් පිළිබඳ නිවැරැදි වැටහීමක් ඇති කර ගැනීමට ඇති අවස්ථාවෙන් දුරස්ථ වේ.

ඒ වැනි වූ මානසික තත්ත්වයක් ඇති පුද්ගලයකුගේ අධ්‍යාත්මික තත්ත්වය පිරිහෙන අතර පුද්ගල පැවැත්මට මෙන්ම සමාජ ක්‍රියාකාරිත්වයට ද බාධාවක් වේ. එපමණක් නොව එවැන්නකු පුද්ගල පෞරුෂයෙන් හීන බවට පත්වීම ද නොවැළැක්විය හැකිය.

මෙහිදී පුද්ගල පෞරුෂය යනු කුමක්දැයි විමසා බැලීම වැදගත්ය. පුද්ගලයකුගේ පෞරුෂය ඔහුගේ කායික ශක්තිය හෝ ප්‍රමාණය මත තීරණය නොවන්නකි. යමකුගේ සිත හා එහි ක්‍රියාකාරි ශක්තියත් චින්තන වේගයත් නිවැරැදිව දමනය කර ගනිමින් කය හා වචනය ඊට අනුරූපීව හැඩ ගස්වා ගැනීම පුද්ගල පෞරුෂය ලෙසින් සරලව අර්ථගැන්විය හැකිය. එමෙන්ම පුද්ගල මානසිකත්වයේ ඍජු භාවය ද පුද්ගල පෞරුෂය ලෙසින් දැක්වීම නිවැරැදිය. සිත හා බැඳුණු ගතේ ක්‍රියාකාරිත්වය පෞරුෂය ප්‍රදර්ශනාත්මකව ඉස්මතු කරයි. පෞරුෂය යනු පුද්ගලයකු හඳුනා ගැනීමේ දී කැපීපෙනෙන ලක්ෂණයකි. එය පුද්ගල ගති පැවැතුම්, හැකියා ,දක්ෂතා, අනලස්බව, ආකල්ප,රුචි අරුචිකම් හා ලැදියාව යන ගුණාංග සමුදායක සංකලනයකි. මනෝවිද්‍යාත්මක හා දාර්ශනික විග්‍රහයනට අනුව, පුද්ගලයා සමාජීය අවස්ථාවන්ට මුහුණ පෑමේ දී මතුවන ඔහුගේ ගතිලක්ෂණ සමස්තයේ වේගාත්මක අපූර්ව සංවිධානය ස්වීයත්වය හෙවත් පෞරුෂය යනුවෙන් ද දළ නිර්වචනයක් දිය හැකිය.ආරය හා පරිසරය ද ඒ අතරවන අන්තර් ක්‍රියාවලිය ද පුද්ගල පෞරුෂය හා බැඳී පවතියි.

පරිණත පෞරුෂ ගති ලක්‍ෂණවලින් හෙබි පුද්ගලයා තුළින් දිස්වන ගති ලක්ෂණ කවරේද යන්න සලකා බැලිය යුතුය. පරිණත පෞරුෂයකින් හෙබි තැනැත්තා දූරදර්ශිව සිතයි. අධිෂ්ඨානයකින් හා යහ පරමාර්ථ සහිත නිවැරැදි බවකින් යුතුව ක්‍රියා කරයි. ත්‍යාගශීලිත්වය, අවංකත්වය, අපක්ෂපාතිත්වය හා නායකත්වය ඉස්මතු කෙරෙන අතර තමා කරන කටයුත්ත මහත් උනන්දුවකින්, උද්‍යෝගයකින් හා වීර්යයකින් යුතුව ඉටු කරලීමේ හැකියාව ඇත. වගකීමක් දැරීමේ හැකියාවත්, සියල්ල සිනාමුසු මුහුණින් ඉවසන, අකම්පිත වූ ස්ථාවරත්වයක් සහිත වීම ද උසස් පෞරුෂයක ලක්ෂණ වේ.

බුදුදහම හා පුද්ගල පෞරුෂය අතර ඇති සබඳතාව සුවිශේෂි වේ. බුද්ධ චරිතය පුද්ගල පෞරුෂය වර්ධනය කරන ආකාරය උපදේශාත්මකව මෙන්ම ප්‍රායෝගිකවද පෙන්වා දෙයි. බුදුරජාණන් වහන්සේ සිය චරිතාංග තුළින් ආදර්ශමත්ව උසස් පෞරුෂයක් ගොඩනඟාගත යුත්තේ කෙසේ ද යන්න ලෝකයාට පෙන්නුම් කළ ශාස්තෘන් වහන්සේ නමකි. උන්වහන්සේ වැඩ වාසය කළ සෑම මොහොතක්ම ගත වූයේ සිය පෞරුෂය පදනම් කරගත් අර්ථාන්විත මෙහෙයක් ලෝකයා වෙත ඉටු කරමිනි. එළැඹි සියලු දුක්ඛ දෝමනස්සයන් උපේක්ෂාවෙන් ඉවසමින් සිය අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම අරභයා උන්වහන්සේ විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග උන්වහන්සේගේ මහාපුරිස ගති ලක්ෂණ මනාව ඉස්මතු කරයි.

රාජ කුමාරයකු ලෙසින් උපත ලබා වසර දහසයක පමණ කෙටි කාලයක් තුළ ශිල්ප ශාස්ත්‍ර මනාව ප්‍රගුණ කොට නායකත්වයට හිමි ගති ලක්ෂණ පෙන්නුම් කිරීමට සිද්ධාර්ථ කුමරු සමත්විය. උයන් කෙළියට යෑමේ දී දුටු සතරපෙරනිමිති තුළින් ජීවිතයේ ඇති අනියත බව දැක කලකිරීමට පත්ව සියලු සැපත් හැරීමට හා සත්‍ය ගවේෂණයට සිත් යොමු කිරීමට ගත් තීරණය උන්වහන්සේගේ අධිෂ්ඨාන ශක්තියත් බුද්ධිමත් බවත් මොනවට පැහැදිලි කරයි.

සය වසක දුෂ්කර ක්‍රියාවද බෝධිසත්වයන් වහන්සේ නමක වශයෙන් උන්වහන්සේගේ අධිෂ්ඨානශීලිත්වයට නිදසුන් සපයයි. සියලු සැපත් හැර පියා වනගතව හුදෙකලාව සිය විමුක්තිය තකා කටයුතු කළ එම දුෂ්කර අවධිය කෙතරම් කටුකවීද යන්න අරියපරියේසන සූත්‍රය පැහැදිලි කරයි. හිසට සෙවණක් නැතිව කුසට අහරක් නොමැතිව වන අරණේ බවුන් වඩන බෝසතාණන්ගේ අදිටන විමුක්තිය මිස අනෙකක් නොවීය. තලැටක් පමණ අහරෙන් යැපෙමින් තිර අදිටනක පිහිටමින් උන්වහන්සේ සිය කටයුතු මෙහෙය වූහ. අදිටන කිසි දිනක බිඳනොගත් සේක. සසර දිවියේ දී අනන්ත දුක් විඳිමින් සමත්‍රිංශත් පාරමි ධර්මයන් උන්වහන්සේ වර්ධනය කළේ ද සසර දුකින් අපමණ දුක් විඳින්නන් ඉන් එතෙර කිරීම අරමුණුකොට ගෙනය. ඒ වෙනුවෙන් වූ අපරිමිත කාරුණික බවද අධිෂ්ඨාන ශක්තියද උන්වහන්සේ තුළ විය.

තෙමසක් මුළුල්ලේ වේරඤ්ජාවේ දී යව ආහාර වළඳමින් එම වස්කාලය ඉක්ම වූ ආකාරය බුදු සිරිතේ ආදර්ශවත් බව කියා පාන්නකි. මිසදිටු වදනට අනුව කටයුතු කළ මාගන්දියා හා චිංචමානවිකාව ආදින් නිසා දසතින් අනේකවිධ අපවාද බුදුරදුන් වෙතත් මහසඟරුවන වෙතත් එල්ල වෙන අවස්ථාවේ ආනන්ද තෙරුන් එම අපවාද හමුවේ නුවර හැර යෑමට යෝජනා කළ විට සියලු අපවාදයනට නිහතමානීව මුහුණ දෙමින් අසත්‍යයේ පහත් බවත් සත්‍යයේ ජයග්‍රහණයත් ලෝකයාට පෙන්නුම් කොට වදාළහ. ඒ උසස් චරිතාංගයක් වන නොසැලෙන ගුණයේ උදාරත්වය සනිටුහන් කරමිනි.

ලාභය අලාභය සම සිතින් විඳි බුදුරජාණන් වහන්සේ රජුගේ දානයත් රාජ මාළිගයත් දුගියාගේ දානයත් දුගියාගේ පැලත් එක ලෙසින් සලකා සැමට සෙත සැලසූ සේක. සුනීත හා සෝපාක වැනි සමාජයේ අන්ත අසරණ බවට පත්ව දුගී බවේ පත්ලට වැටී සිටි පිරිස් වෙත සිය කාරුණික දෑත දිගුකොට නඟා සිටුවා සසුන්දොර විවර කොට දෙන ලද්දේ ද නිහතමානීත්වය මූර්තිමත් කරවමිනි. අංගුලිමාල ගුරු පූජාවක් වෙනුවෙන් ඇඟිලි කපා මාලාවක් කොට කරේ රුවාගෙන ,මව පැමිණියත් ඇයත් මරා ඇඟිල්ල කපා ගැනීමට සිතා වනය පීරා සැරිසැරූ අවස්ථාවේ ඔහු වෙත වැඩම කොට ආර්ය සත්‍යයට ගරු කරන පුද්ගලයකු බවට පත්කොට වදාළේ අපමණ කාරුණිකත්වයෙනි. පුද්ගල ශික්ෂණයට උන්වහන්සේ ලබාදුන් අවවාදය මහත්ය. සමාජයේ ගැරැහුමට හා අපවාදයට ලක්ව කිසිවකුගෙන් කිසි පිළිසරණක් නොමැතිව ලෝකයේ අතරමං වූ පටාචාරාවගේ දුක්ගිනි නිවීමට බුදුන් වහන්සේ ඉදිරිපත් වූ සේක. ඇයට සරණක් වී සසුන් දොර ද විවර කොට භව ගමනින් ද නිවීමක් උදාකරදීමට බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළ සේක. සිය පුතු මළ සොවින් මළ සිරුර වඩාගෙන ගෙයක් පාසා ඇවිදගිය කිසාගෝතමියට පිහිට වූයේ බුදුරදුන්ය. සිය ශක්තියෙන් මහත් සේවයක් කොට අවසානයේ දී කිසිවකුගේ සැලකිල්ලක් නොලත් ධනපාල වැනි හස්තීන් පවා බුදුරදුන්ගේ මහාකාරුණිකත්වයෙන් සැනසීමක් ලැබීය. තමා මැරීමට නොයෙක් උපක්‍රම භාවිත කළ දේවදත්ත තෙරුන්ටත් සිය පුත් රහල් තෙරුන්ටත් උන්වහන්සේ දැක්වූයේ එකම කාරුණිකත්වයකි. පුද්ගල චරිතාංගවල අඩුලුහුඩුකම් ඇති මුත් එම අඩුපාඩු පෙන්වාදෙමින් යහපත් තැනැත්තත් බවට ඔවුන් පත්කිරීම සෙසු අය වෙතින් ඉටුවිය යුතු මහත් මෙහෙයක් බව උන්වහන්සේ ආදර්ශයෙන් ලෝක ප්‍රජාවට පෙන්වා වදාළහ.

අල්පේච්ඡත්වය ද පුද්ගල පෞරුෂයක දැකිය හැකි උදාර ගුණාංගයකි. බුදුසිරිත අල්පේච්ඡත්වයේ ප්‍රතිමූර්තියක් බඳුය. සැහැල්ලු බව උන්වහන්සේ නිරතුරුව අගය කළ සේක. වන අරණ කායික මානසික නිදහසේ ප්‍රමුඛ තැනක් ලෙසින් උන්වහන්සේ අගයකළා පමණක් නොව බොහෝ අවස්ථාවල වන අරණේ බවුන් වඩමින් අල්පේච්ඡත්වයේ අගය ලෝකයාට වටහා දුන් සේක.රාජරාජමහාමාත්‍යාදින් ලක්ෂ ගණනින් වියදම් කොට ජේතවනය,වේළුවනය හා නිග්‍රෝධාරාමය වැනි මහා විහාර උන්වහන්සේ වෙනුවෙන් ඉදිකොට පූජා කළද ඒ සියල්ල උපේක්‍ෂාවෙන් ඉවසමින් එහි නොඇලි අල්පේච්ඡත්වයෙන් කටයුතු කළහ. ගම් නියම් ගම්වලට වැඩම කොට අසරණ දනන් හට දහම් දෙසා සසර ගමනින් ඔවුන් මුදවාලීමට කටයුතු කළ අතර කිසි විටෙක සැප පහසුකම් නොසෙවූ සේක.

අටලෝ දහමින් කිසි දිනෙක කම්පානොවූ උන්වහන්සේ ඒ සියල්ල සම මෙත් සිතින් ඉවසූ ආකාරය ලෝකයාටම ආදර්ශයකි. මිසදිටුවන් බුදුරදුන් වෙත එල්ල කළ නින්දා අපහාස අපමණය. බුදුරදුන්ගේ චරිතය විනාශ කිරීමට හා ගර්හාවට ලක් කර එම චරිතය දූෂිත වූවක් ලෙසින් ලොවට පෙන්වාදීමට ගත් ව්‍යායාමයන් සියල්ල ඉවසමින් කරුණාවෙන් මෛත්‍රි සහගත සිතින් උපේක්ෂාවෙන් ඒ සියල්ලට සාර්ථකව මුහුණ දුන් සේක. ඔවුන්ගේ මිසදිටු බව බිඳීමටත් සත්‍ය මාර්ගය කවරක්ද යන්න වටහා දෙමින් යහගුණයේ පිහිටුවීමටත් උන්වහන්සේ පියවරගත් සේක. වෛරය වෙනුවට අවෛරීව නින්දාවට පිළිතුරු ලබාදීමට උන්වහන්සේ පොහොසත් වූහ. කීර්තිය ප්‍රසංසාව කිසිදිනෙක සොයා නොගියහ.

දෙසැටක් මිසදිටු ආගමික මතවලින් වෙලි ගැලී සිටි සමාජයක ආගම් ව්‍යාප්තියේ තරගකාරිත්වය කෙතෙක් ද යන්න නොකිවමනාය. බ්‍රහ්මජාල සූත්‍රය තුළ මේ පිළිබඳ මනා විවරණයක් වෙයි. එනම්, ‘ස්වාමීනි මේ සැවැත්නුවර විවිධ දැක්ම ඇති විවිධ මත දරන රුචි අරුචි ඇති විවිධ දෘෂ්ටීන් ගැනීමෙන් ඇලුණු නානා වැදැරුම් තීර්ථකයෝ ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ සහ පරිව්‍රාජකයෝ වාසය කරති’ (ඉධ භන්තෙ සම්බහුලා නානා තිත්ථියා සමණා බ්‍රාහ්මණා පරිබාජකා සාවත්ථියං පටිවසති නානා දිට්ඨිකා නානා බ්‍රාහ්මණා නාන රුචිකා නානා දිට්ඨි නිස්සාය නිස්සසිතා) ආදි වශයෙනි. එමෙන්ම ඔවුනොවුන් වාද විවාද හා තර්කනය වඩාත් මතු කරමින් වාසය කළ බව ද උදාන පාලියෙන් පැහැදිලි කරයි. ‘ඔවුහු කළකෝලාහල කරමින් වාද විවාද කරමින් එකිනෙකාට වචන නමැති ආයුධවලින් පහර දෙමින් වාසය කරති’ (තෙ භණ්ඩන ජාතා කලහාජාතා විවාදපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තිහි චිතුදන්නා විහරන්ති) යනාදි වශයෙන් ඒ බව සඳහන් වේ. එබඳු පරිසරයක සිය දහම මිනිසුන් අතර ව්‍යාප්ත කිරීමට උන්වහන්සේ ගත් ප්‍රයත්නය අවිහිංසාවාදිය;අව්‍යාජය.

ආමිෂයට වඩා ප්‍රතිපත්තියට මුල් තැනක් දෙමින් සත්‍යගරුක බවෙහි අගය මනාව වටහා දෙමින් සිය ශ්‍රාවක සමූහයා අන්ධ විශ්වාසය වෙත නොව නිවැරැදි දැක්ම කරා යොමු කරමින් දහමින් සැනසුම ගෙන ඒමට උන්වහන්සේ සමත් වූ සේක. කාලාම සූත්‍රය මීට කදිම නිදසුනකි. කාලාමයන් වෙත උන්වහන්සේ කළ දේශනයට අනුව, අන්ධානුකරණයට වඩා ප්‍රත්‍යක්ෂයේ ඇති වැදගත්කම ප්‍රදර්ශනය වන අතර ඒ තුළින් ජනතාවට සත්‍ය ගරුකත්වය හා නිවැරැදි දැක්ම ඇති කරගත යුතු අයුරු පසක් කොට දී ඇත.

උපාලි හා සීහ වැනි පුද්ගලයන් බුදුරදුන්ගෙන් දහම් අසා පැහැද සසුන්ගත වීමට අයැද සිටි අවස්ථාවේ කලබලනොවී සිතා බලා කටයුතු කළ යුතුය යන අදහස උන්වහන්සේ ඔවුනට ලබාදුන්නේ ප්‍රත්‍යක්ෂයේ ඇති වැදගත්කම අවබෝධ කරවමිනි. උදුම්බරික හා සීහනාද සූත්‍ර ද මීට කදිම නිදසුනකි. එහිදී උන්වහන්සේ මෙසේ දේශනා කළ සේක. නිග්‍රෝධය , මා වරදවා තේරුම් නොගන්න. මා ධර්මය දේශනා කළේ ඔබ මගේ ශිෂ්‍යයකු කර ගැනීමට නොවේ, ඔබගේ ගුරුතුමා තවදුරටත් ඔබගේ ගුරුතුමාම වේවා, කුසල් අකුසල් යන මේ කරුණු සම්බන්ධයෙන් ඔබ විවේචනය කරන්නට හෝ අපේ පක්ෂයට හරවා ගැනීමට මට වුවමනාවක් නොමැත, ඒ සියල්ල ඔය විධියට තිබේවා යනුවෙනි. මෙහිදී පුද්ගල චින්තනයට නිදහස දෙමින් තමා කළ යුත්ත නොකළ යුත්ත ගැන එම පුද්ගලයාටම තීරණය කිරීමට අවස්ථාව සලසා දෙමින් ප්‍රත්‍යක්ෂ ඥානයේ ඇති වැදගත් කම අවබෝධ කොට දුන් අතරම මතවාදිව ඇතිවන ගැටුම් අවම කිරීමට කටයුතු කර ඇති ආකාරය ද ආදර්ශමත්ය. බුදුරදුන් සිය දහම සත්වයාට අවබෝධ කරවීමට නිරතුරුවම උත්සාහ කළ සේක. (බුද්ධෝ සො භගවා බොධාය ධම්මං දෙසෙති)

කුලයට බලයට ගැති නොවී පුද්ගල හැකියාවට මුල් තැනක් ලබාදීමට උන්වහන්සේ සෑම විටෙකම කටයුතු කළ සේක. උපත පුද්ගල චරිතයක උස් පහත් බව නිර්ණය කිරීමට බමුණන් ඉදිරිපත් කළ සාධකය වුවත් එය සම්පූර්ණයෙන් බැහැර කළ උන්වහන්සේ පුද්ගලයා සතුවන හැකියාව හා ගුණගරුකත්වයෙන් ඔහුගේ උස් පහත් බව තීරණය වන බව ලොවට පෙන්වා වදාළහ.

අග්ගිකභාරද්වාජ බමුණා වසලයා යැයි බුදුන් අමතන විට වසලයා යනු කවරකුද යන්න වටහා දෙමින් වසලයකු වන්නේ කවර චරිතාංග ඇති පුද්ගලයන් ද යන්න පහදා දුන් සේක. වසලයා යනු සමාජගත පහත් උපතක් ඇත්තාය යන ආකල්පය සමාජයෙන් බැහැර කරලීමට කටයුතු කළ සේක. උපතින් පුද්ගලයකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු නොවන බව පෙන්වා වදාළ බුදුරදුන් ක්‍රියාව මත පුද්ගලයකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන බවත් පෙන්වා වදාළහ. (කම්මනා වසලොහොති කම්මනා හොති බ්‍රාහ්මණො) පුද්ගලයන් ඇති කොට ගෙන තිබූ ජාති මානය බිඳ හරිමින් සත්‍යයේ මාවත විවර කළ අවස්ථාවක් වාසෙට්ඨ සූත්‍රයෙන් ද පෙන්නුම් කරයි.

බුද්ධචරිතයෙන් ඉස්මතු වූ යථාවාදි තථාකාරි ගුණය ද පුද්ගල පෞරුෂය හා සම්බන්ධ වැදගත් ගුණාංගයකි. යම් සේ කියන්නේ ද එසේම කිරීම පුද්ගල විශ්වසනීයත්වය තීව්‍ර කරයි. බුදුරදුන්ගේ දේශනා හා උන්වහන්සේගේ ක්‍රියාකාරිත්වය මීට කදිම නිදසුනකි.දේශනා කළ දහමට අනුව උන්වහන්සේ ද සිය පැවැත්ම හා ක්‍රියාකාරිත්වය සකසාගත් සේක. ඇතැම් ඉගැන්වීම් හා න්‍යායන්ට අනුව දේශනය හා ක්‍රියාකාරිත්වය අතර පරස්පර බවක් තිබූ බව පැහැදිලිය. බ්‍රාහ්මණ ආගම මීට නිදසුනකි. බමුණන්ගේ ඉගැන්වීම හා හැසිරීම අතර වෙනසක් දැකිය හැකිවිය. එහෙත් බුදුරදුන් දෙසූ දහම ඒ අයුරින් ක්‍රියාවට නැඟුවා පමණක් නොව මහා කාරුණිකව සිය ශ්‍රාවක පිරිස ද නිවැරැදි මෙඟහි යෙදවීමට කටයුතු කළ සේක.

බුදුසිරිත තුළ වඩාත් ඉස්මතු වන තවත් ගුණාංගයක් ලෙස ඉවසීමේ ගුණය පෙන්විය හැකිය. ‘ඛන්තිපරමං තපොතිතික්ඛා ‘ යනුවෙන් ඉවසීම වනාහි උතුම්ම තවුස්දම යැයි පෙන්වා දී ඇත. ඉවසීම උන්වහන්සේ පාරමි ධර්මයක් ලෙසින් සසර පුරාම වර්ධනය කළ ආකාරය බෝසත් සිරිතෙන් ආදර්ශ ලෙස ලෝකයාට පෙන්වා වදාළහ.අක්කෝස භාරද්වාජ සූත්‍රය බුදුරදුන්ගේ ඉවසීමේ ගුණය ඉස්මතු කෙරෙන සුත්‍ර දේශනයකි. අක්කෝස භාරද්වාජ බමුණූ තෙමේ බුදුරදුන් ඉදිරියට පැමිණ ඉතා නිර්දය ලෙසින් උන්වහන්සේ විවේචනයට බඳුන් කරමින් දෝෂාරෝපණය කරයි. සියල්ල සාවධානව අසා සිටින බුදුහිමියෝ බමුණාගේ දැඩිබව අවම වූ අවස්ථාවෙ ඉතා ශාන්ත ස්වරූපයෙන් මෙසේ විචාළහ. ‘බ්‍රාහ්මණය,ඔබේ නිවෙසට යම් නැදෑ හිත මිත්‍රයන් පැමිණෙන්නේ ද?’ එවිට බමුණා නොයෙක් විට එසේ පැමිණෙන බව ප්‍රකාශ කළෙන්, එසේ නම් යම් දිනෙක එබඳු නෑයන් සඳහා ආහාර වේලක් සඳහා ආරාධනය කර ඔවුන් නොපැමිණිය හොත් කුමක් කරන්නේ දැ’යි නැවත බුදුරදුන් විසින් ඔහුගෙන් විචාරණ ලදී. ඒවා තමන් භුක්ති විඳිනබව බමුණා ප්‍රකාශ කළේය. ‘එසේ නම් බමුණ, ඔබ විසින් මට බැණුම් සංග්‍රහයක් කරන ලදී. මම ඒවා එකක්වත් භාර නොගනිමි. ඔබ ම ඒවා ආපසු භාර ගන්න යැ’යි උන්වහන්සේ වදාළහ. එවිට බමුණාට තමා කළ වැරැද්දේ බරපතළ කම අවබෝධ විය. ඔහු මහත් ලජ්ජාවට ද කම්පනයට ද පත්විය. බුදුරදුන් ඉවසීමෙන් හා ශාන්තව කළ එම ප්‍රකාශය බමුණාගේ මානය නැති කිරීමට මෙන්ම ඉවසීම ගැන ධර්මාන්විත පාඩමක් කියාදීමටද සමත්විය. එමෙන්ම තෙරුවන් සරණගිය උපසකයකු වීමේ වරම ද අක්කෝස භාරද්වාජ බමුණාට හිමි විය.

ආලවක සුත්‍රයේ ද මෙබඳුම වූ අවස්ථාවක් නිරූපිතය. මහත් බලයක් ආරෝපණය කරගෙන සිටි ආලවක යක්ෂයාගේ භවනට වැඩම කරන බුදුරදුන් ඉවසීමේ ගුණයෙන් ඔහු දමනය කළ ආකාරය මහත් ආශ්චර්යජනකය. සිය භවනයෙන් පිටවීමට සිවුවරක්ම ආලවක යක්ෂයා කියූ අවස්ථාවේ උන්වහන්සේ ශාන්ත ගමනින් පිටවීමට සැරසිණි. ඒ හැම වාරයකදීම ඇතුළුවීමට ද අණ කරමින් බුදුරදුන් වෙහෙසට පත්කිරීමේ අරමුණෙන් යක්ෂයා කටයුතු කළ ද උන්වහන්සේ ශාන්තව සියල්ල ඉවසා වදාළහ. ඉන් යම් ප්‍රමාණයකට දැමුණූ යක්ෂයා බුදුන්ගෙන් ප්‍රශ්න අසා වෙහෙසට පත් කිරීමට සිතා අසන ලද ප්‍රශ්නයන්ට ද ශාන්තව හා ඉවසීමෙන් පිළිතුරු දුන් සේක. එම පිළිතුරුවලින් සෑහීමට පත්වූ ආලවක යක්ෂ තෙමේ අවසානයේ බුද්ධ ශ්‍රාවකයකු බවට පත්විය. මෙහිදී බුද්ධචරිතයෙන් ලැබුණූ ආදර්ශයක් වූයේ ඉවසීම තුළින් අපේක්ෂිත සද්අරමුණු ඉටුකර ගත හැකි බවය. සමාජයේ කටයුතු කිරීමේ දී විවිධ තරාතිරම්වල පුද්ගලයන් මුණගැසේ. විවිධ අදහස් හා මත දරන පුද්ගලයන්ගේ හඬට කන් දීමට සිදුවේ. එවැනි අවස්ථාවල තමා සංවරව හා ඉවසීමෙන් කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න හා තම යහඅරමුණු වෙත එබඳු පුද්ගලයන් නතු කර ගන්නේ කෙසේද යන්න වටහා ගැනීමට බුදුන් වහන්සේ ලබාදුන් මේ ආදර්ශය මහත් ප්‍රයෝජනවත්ය.

සත්වගට මාර්ගෝපදේශකයාණන් වූ බුදුරජාණන් වහන්සේ සිය අනුගාමික පිරිසට නිවැරැදි නායකත්වයේ ඇති අගය මනාව වටහා දුන් සේක. දිනක් බුදුරදුන්ගේ මහාපුරුෂ ලක්ෂණ දකින සේල, බමුණා උන්වහන්සේට සක්විති රජකු වීමේ වාසනාව ඇති බව දැන ඒ ගැන උන්වහන්සේගෙන් විචාළේය. එවිට උන්වහන්සේ, බ්‍රාහ්මණය මම රජෙක්මි, ශ්‍රේෂ්ඨ ධර්ම රාජයෙක්මි, අන් කිසිවකුට පවත්වාගෙන යා නොහැකි ධර්ම රාජ්‍යය මම පවත්වාගෙන යන්නෙමි යැයි වදාළ සේක. ධම්ම චේතිය සූත්‍රයේ දී පසේනදි කොසොල් මහරජ බුදුරදුන්ට ප්‍රශංසා කරනුයේ මහා සේනාවක් මධ්‍යයේ වුවද මහත් නිශ්ශබ්දතාවයකින් ශ්‍රාවක පිරිස පාලනය කරමින් ධර්මදේශනා කරන ආකාරයේ අපුර්වත්වය ගැන හටගත් මහත් පැහැදීමෙනි.

එමෙන්ම උන්වහන්සේ තුළ පැවැති කාරුණිකත්වය, මෛත්‍රිය,අධිෂ්ඨානය, වීර්යය, නිරාශාව, නිරහංකාරත්වය, යුක්තිසහගත බව හා අයුක්තිය හෙළා දැකීම වැනි ගුණාංග උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය හා නායකත්වය ශෝභා සම්පන්න කළ අතර ජනපි‍්‍රය බව ද ඒ පසුපස ඇදී ආවේය. කිසි දිනෙක නායකත්වයේ බලය පෙන්වීමට සූදානම් නොවූ අතර සිය නායකත්වය අර්ථයෙන් ධර්මයෙන් සැමට සෙත සැලසීමට යොදාගත් සේක. කිසිදු උස් පහත් භේදයක් හෝ ස්ත්‍රි, පුරුෂ, ළමා, තරුණ, මහලු ආදි වශයෙන් භේදයක් නොතකා සැමට එක්වන්ව සමානාත්මතාවයකින් සලකමින් දිය යුතු අවවාදය නිවැරැදි මොහොතේ ලබාදීමට උන්වහන්සේ නිරතුරුවම කටයුතු කළ සේක. දිනක් තුඹසකට පිවිස සිටි ගැරඩියකු එළියට ගැනීමට ලී දඩුවලින් අනිමින් සිටි දරු පිරිසක් වෙත වැඩම කළ බුදුරදුන් සෑම සත්වයකුම දඬුවමට හා මරණයට බිය බවත් තමා උපමා කර ගනිමින් සතුන්ට හිරිහැර කිරීමෙන් වැළැකිය යුතු බවත් පෙන්වා දුන් සේක.

වගකීම් සියල්ල සිය නායකත්වය මතම රඳවා ගැනීමට උන්වහන්සේ කටයුතු නොකළහ. නිදහස ඉතා අගය කරමින් සිය ශ්‍රාවක පිරිසට ශාසනික කටයුතු ඉදිරියට ගෙනයෑමට අදාළ නිදහස ලබාදීමට කටයුතු කළ සේක.

ඒ ඒ ජනපද හා ප්‍රදේශවල මහණ උපසම්පදාව පවත්වාගෙන යෑමට අදාළ උපදෙස් ලබාදීම මීට නිදසුනකි. එමෙන්ම ශාසනයේ දක්ෂතා ඇති භික්ෂූන් භික්ෂුණින්ට සහ උවැසු උවැසියන් හටද තනතුරු පිරිනමමින්, ක්‍රියා කළ අයුරු එතදග්ග පාලියෙන් සනාථ වේ. සිය ශ්‍රාවක පිරිසගේ ගරුත්වය විශ්වාසනීයත්වය දිනා ගනිමින් එම පිරිසට ආත්ම විශ්වාසයකින් සසුන තුළ කටයුතු කිරීමට ඉඩ හැරීම ද සිදුවිය.

සසුනට එල්ලවන අපවාද හා චෝදනාවලින් සිය ශ්‍රාවක පිරිස් බේරා ගැනීමට බුදුරදුන් පෞද්ගලිකවම මැදිහත්වීම තුළින් ද නායකත්වයේ එක් චරිතාංගයක් ඉස්මතු වේ. පැවිදි දිවියට පත්වීමට පූර්ණයෙන් දරුගැබක් හට ගෙන තිබූ කුමාර කාශ්‍යප මාතාව වෙත එල්ල වූ අභූත චෝදනාවන්ගෙන් ඇය නිදහස් වූයේ බුදුරදුන්ගේ කාරුණික මැදිහත්වීම නිසාය. ඇතැම් භික්ෂූන් භික්ෂූනීන්ගේ සමාජ අපවාදවලට ලක්විය හැකි ක්‍රියා හමුවේ අපක්ෂපාතීව අවවාද කරමින් ඔවුන් ඉන් මුදවා සුමඟට ගෙන ඒමට ගත් ව්‍යායාමය බුදුහිමියන්ගේ නායකත්ව ගුණය ප්‍රකට කරලන්නක් විය. නන්ද හා ඡන්න තෙරවරුන් සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය මීට නිදසුන්ය.

සමාජයක් තුළ කටයුතු කිරීමේදී ජනහඬට කන්දීමට ද සිදුවේ. සමාජය විසින් දිගු කාලයක් මුළුල්ලේ ආරක්ෂා කරනලද සිරිත් විරිත් සම්ප්‍රදායනට ගරුකිරීම හා පවත්වාගෙන යෑමද අපේක්‍ෂිත කරුණකි. බුදුරදුන් එම ජනමතයට ගරුකළ ශාස්තෘන් වහන්සේ නමකි. භික්ෂූන් භික්ෂුනීන් සඳහා විනය ප්‍රඥප්ති පැනවීමේ දී උන්වහන්සේ ජනමතයට ඉඩදුන් අවස්ථා ගණනාවක් ඇත. නිදසුන් ලෙස වස් සමාදන්වීම දැක්විය හැකිය. වර්ෂා ඍතුවේ දී එක් ස්ථානයකට වී සිටීම සඳහා එම විනය ශික්ෂාපද පනවා ඇත. වැසි සමයේ හට ගැනෙන නව තණපත් පාගා යෑම භාරතීය සමාජය හෙළා දුටු කරුණකි. ඊට පිළියමක් ලෙසින් මෙම ප්‍රඥප්තිය පණවා උන්වහන්සේ ජනමතයට ගරු කර තිබේ. එමෙන්ම මහාවග්ග පාලියට අනුව බොහෝ විනය ශික්ෂාපද ජනතාවගේ ඉල්ලීම මත පනවා ඇත. අතිරේක චීවරයක් භික්ෂුවට දැරීමට අවකාශ සැලසුණේ ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලීමට බුදුරදුන් දක්වන ලද ප්‍රතිචාරයේ ප්‍රතිඵලයක් වශයෙනි.

මෙලෙසින් උසස් පුද්ගල පෞරුෂයක් ගොඩනඟා ගැනීමට අදාළවන ආදර්ශ රැසක් බුදුසිරිත ඇසුරෙන් අපට හඳුනාගත හැකිය.බුදුරදුන් ආගමික නායකයකු මෙන්ම සමාජ සංශෝධකයකු ලෙසින්ද කළ කටයුතු ඒ ලෙසින් ම අපට ද කළ හැකි වේද යන්න ඇතැමකුට මතුවිය හැකි ගැටලුවකි. එය සැබෑවකි. උන්වහන්සේ ඒ ශක්තිය අත්පත් කර ගත්තේ මහාපාරමී බල මහිමයෙනි. එනමුත් උන්වහන්සේ අනුගමනය කළ සරල විධි ක්‍රම සෑම ජීවිතයකටම ප්‍රගුණකර ගත හැකි අන්දමට පෙන්වා දී ඇත.

කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, නිහතමානී බව,සත්‍යගරුක බව, නිරහංකාරත්වය හා අපක්ෂපාතිබව, යුක්තිසහගත වීම සහ අකම්පිතබව වැනි පුද්ගල පෞරුෂවර්ධනයට අදාළ අංග රැසක් බුදුසිරිතෙන් උකහාගෙන අපට ප්‍රායෝගිකව ප්‍රගුණ කළ හැකිය. යමකු එම ගුණාංග මත පිහිටා කටයුතු කරයි නම් ඔහුගේ පෞරුෂ ලක්ෂණ ක්‍රමයෙන් දියුණුවීම ද නොවැළැක්විය හැකිය.

අධිෂ්ඨානයත්, විශ්වාසනීයත්වයත්, චරිත පාරිශුද්ධියත් එක්තැන් කරමින් ලබන ආධ්‍යාත්මික ශක්තිය පුද්ගල ක්‍රියාකාරිත්වය වඩාත් හරවත් හා ඵලදායි තැනකට යොමු කරයි. එබඳු ශක්තිමත් ආධ්‍යාත්මයක් සහිත පුද්ගලයකු කොතැනක සිටියත් තමන්ටත් සමාජයටත් මහත් යහපතක් සැනසිල්ලක් අත්කර දෙයි.

තෙරුවන් සරණයි!

මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! via Facebook Pages http://ift.tt/1GMS4Lf