New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Qf7cqH
==මහාකච්චාන තෙරණුවෝ==

දසවැන්නෙහි සංඛිත්තෙන භාසිතස්ස යනු සැකෙවින් කියනලද ධර්‍මයාගේයිය. විත්‍ථාරෙන අත්‍ථං විභජන්තානං යනු ඒ දෙසුම විස්තර කොට අත්‍ථ‍ර්‍‍ය බෙදාදක්වන්නවුන් අතුරිනි. අන් අය වනාහි තථාගතයන්වහන්සේගේ සංක්‍ෂිප්ත වචනය අත්‍ථ‍ර්‍‍වශයෙන් හෝ ව්‍යංජන වශයෙන් හෝ සපුරන්නට හැකිවෙත්. මේ තෙරුන්වහන්සේ, වනාහි දෙපරිද්දෙන්ම හැකිවන්නාහ. එබැවින් අග්‍රයයි කියනු ලැබෙත්. උන්වහන්සේගේ පෙර පැතුමද එබඳුමයි. මේවනාහි උන්වහන්සේගේ ප්‍රශ්නකර්‍මයෙහි පිලිවෙළ කථාවයි.
මෙතෙම පියුමුතුරා සම්බුදුන්වහන්සේගේ කාල‍යෙහි ගැහැවි මහසල් කුලයෙක ඉපිද වියට පැමිණියේ කියනලද ක්‍රමයෙන්ම එක් දිනක් වෙහෙරට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසමින් තමන් සැකෙවින් කියනලද ධර්‍මයාගේ අත්‍ථ‍ර්‍‍ය විස්තර වශයෙන් බෙදා දක්වන්නාවූ භික්‍ෂූන් අතුරෙන් එක් භික්‍ෂුවක අග්‍රස්ථානයෙහි තබන්නාවූ ශාසතෘන්වහන්සේ දැක, ශාස්තෘන්වහන්සේ යමකු මෙසේ වර්‍ණණා කරනසේකද මේ භික්‍ෂුව ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨයෙකි මා විසින්ද අනාගතයෙහි එක් බුදු කෙනකුන්ගේ සසුනෙහි මෙබන්දකු වීමට වටීයයි ශාස්තෘන්වහන්සේට ආරාධනා කොට (පෙර) කියනලද ක්‍රමයෙන්ම සත්දිනක් මහදන්දී, ස්වාමීනි, මම මෙම සත්කාරයාගේ බෙලෙන් අන් සැපතක් නොපතමි.’ අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මෙයින් සත්දිනකට මත්තෙහි නුඹවහන්සේ විසින් තනතුරෙහි තැබූ භික්ෂුව මෙන් මමද ඒ තනතුර ලබම්වා’යි ප්‍රාත්‍ථ‍ර්‍‍නාකොට පාමුල්හි වැද හොත්තේය.
ශාස්තෘන්වහන්සේ අනාගතය බලා ‘මෙම කුලපුත්‍රයාගේ පැතුම ඉටුවන්නේය’යි දැක, පින්වත් කුලපුත්‍රය, අනාගතයෙහි කල්ප ලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදුකෙනෙක් පහළ වන්නාහ. ඔබ උන්වහන්සේගේ සසුනෙහි සැකෙවින් කියනලද ධර්‍මයාගේ අත්‍ථ‍ර්‍‍ය විස්තර වශයෙන් බෙදා දක්වන්නාවූ භික්‍ෂුන් අතුරෙන් අග්‍ර වන්නෙහියයි විවරණදී අනුමෙවෙනි කොට ‍වැඩිසේක.
ඒ කුලපුතුද දිවි ඇති තෙක් කුසල්කොට කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතරෙහි සැරිසරා කාශ්‍යප බුදුන්වහන්සේගේ කාලයෙහි බරණැස කුලගෙයක පිළිසිඳගෙන ශාස්තෘන් පිරිනිවන් පෑකල්හි ස්වර්‍ණ චෛත්‍යය කරන තැනට එය ලක්‍ෂයක් වටිනා රන් උළුයෙන් පුදු කොට ‘භාගයවතුන්වහන්ස, උපනුපන් තන්හි මගේ සිරුර රන්වන් වේවා’යි ප්‍රාත්‍ථ‍ර්‍‍නා කළේය. ඉන් දිවි ඇති තෙක් කුසල් කොට එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර සැරිසරා අපගේ බුදුන්වහන්සේගේ උප්පත්ති කාලයෙහි උජ්ජයිනි නගරයෙහි පුරෝහිතයාගේ ගෙහි උපන්නේය. ඔහුට නම් ගන්වන දිනයෙහි, මගේ පුතා රන්වන් සිරුර ඇත්තෙකි. තමා විසින්ම තමාගේ නමගෙන ආවෙකිසි ඔහුට කඤ්චනමානටකයායි නමක් කළාහුය.
හෙතෙම වියට පැමිණ තුන් වේදයන් උගෙන පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුර ලැබුවේය. හෙතෙම ගෝත්‍ර වශයෙන් කච්චාන නම් වූයේය. චණ්ඩප්පජ්ජොත රජතෙමේ ඇමතියන් රැස්කරවා, ‘බුදුරජාණන්වහන්සේ ලොව පහළවූසේක. දරුවනි, උන්වහන්සේ වැඩමවා ගෙන ඒමට හැකි අය ගොස් වැඩමවාගෙන එවු’යයි කීවේය. ‘දේවයන්වහන්ස, දශබලයන් වහන්සේ වැඩමවාගෙන ඒමට අන් සමතෙක් නැත. ආචාර්‍ය්‍ය කච්චාන බ්‍රාහ්මණයාටම සමත්වෙයි. ඔහු යවනු මැනවැ’යි කීහ. රජතෙමේ ඔමු කැඳවා, දරුව බුදුන් සමීපයට යව’යි කීවේය. ‘මහරජ, ගොස් පැවිදිවීමට ලබන්නේ යන්නෙමි’යි බමුණා කිවේය. ‘දරුව, යම්කිසිවක් කොට තථාගතයන්වහන්සේ ගෙනෙව.’ හෙතෙම බුදුන් සමීපයට යන්නහුට මහපිරිසකගෙන් වැඩක් නැතැයි තමන් තමන් අටවැන්නා කොට ඇත්තේ ගියේය.
ඉක්බිති බුදුරජාණන්වහන්සේ ඔහුට ධර්‍මදේශනා කළ සේක. දෙසුම අවසන්හි සත්දෙනා සමඟ පිළිසිඹියා සහිත රහත් බවට පත්විය. ශාස්තෘන්වහන්සේ, ‘මහණෙනි, එවු’යයි අත දිගුකළ සේක. එකෙණෙහිම සියල්ලෝ අතුරුදන්වූ කෙස් රැවුල් ඇත්තෝ සෘද්ධිමය පාසිවුරු දරන්නාහු වස් සියයක්වූ තෙරවරුන් මෙන් වූවාහුය. තෙරුන්වහන්සේ තමාගේ කිස මුදුන්පත් වූ කල්හි නිහඬව නොහිඳ කාළුදායී තෙරුන් මෙන් ශාස්තෘන්වහන්සේට උජ්ජෙනිපුරට යාම සඳහා ගමන් වැණුම කළේය.
ශාස්තෘන්වහන්සේ ඔහුගේ වචනය අසා කච්චාන තෙමේ තමන් උපන් රටට යාම බලාපොරොත්තු වේයයි දැනගත්සේක. බුදුවරුනම් එක්කරුණක් නිසා යාමට නුසුදුසු තැනට නොයති. එහෙයින් තෙරුන්ට, ‘භික්‍ෂුව, නුඹම යන්න. නුඹ ගිය කල්හිද රජතෙ‍මේ පැහැදෙයි’යි කීසේක. තෙරුන්වහන්සේ බුදුන්වහන්සේලාගේ කථා දෙකක් නම් නැතැයි තථාගතයන් වැද තමන් සමඟ ආවාවූම භික්‍ෂූන් සත්දෙනා සමඟ උජ්ජියිනියට යන්නාහු අතරමග තෙලප්පනාලි නම් නියම්ගමක් වේ, එහි පිඬුපිණිස හැසිරුණහ.
ඒ නියම්ගමෙහි සිටුදියණියන් දෙදෙනෙක්වූහ. එකියක් පිරිහුණු කුලයක උපන්නී දිළිඳුවූවා මව්පියන්ගේ ඇවෑමෙන් කිරිමව නිසා ජීවත්වෙයි. ඇයගේ ආත්මභාවය වනාහි සමෘද්ධිමත්ය. කෙස් අන්‍යයන්ට වඩා බෙහෙවින් දිගුය. ඒ නියම් ගමෙහිම අනෙක් ඉසුරුමත් සිටු කුලයෙහි දියණිය කෙස් නැත්තීය. ඕ එයින් පෙර ඇයගේ සමීපයට යවා සියයක් හෝ දහසක් හෝ දෙන්නෙමියි කියාද කෙස් ගෙන්වා ගැනීමට නොහැකිවූවාය. එදිනයෙහි ඒ සිටුදියණිය භික්‍ෂූන් සත්දෙ‍නකු පිරිවර කොට ඇති මහාකච්චාන තෙරුන්වහන්සේ හිස් පාත්‍රය ඇතිව යනු දැක, ‘මේ රන්වනුවූ එක් බ්‍රාහ්මණභික්‍ෂුවක් සේදූ ලෙසින්ම වු පාත්‍රයෙන් වඩියි. මටද වෙන ධනයක් නැත. අසුවල් සිටු දියණිය මේ කෙස් සඳහා (පණිවිඩ) එවයි. දැන් මෙයින් ලැබූ ඉපැයීමෙන් තෙරුන්ට දාන වස්තුවක් දීමට හැකිය’යි කිරීමව යවා තෙරවරුන් ආරාධනා කොට ඇතුළු ගෙහි වැඩහි‍ඳෙව්වාය.
තෙරවරුන් වැඩසිටි කල්හි ගැබට පිවිස කිරිමව ලවා තමන්ගේ කෙස් කප්පවා, ‘මෑණියනි මේ කෙස් අසුවල් නම් සිටුදියණියටදී ඕ යමක්දෙයිද එය ගෙනෙන්න. ආර්‍ය්‍යයන්ට පිණ්ඩපාතය දෙන්නෙමු’යි කීවාය. කිරිමව පිටිඅතින් කඳුළු පිස එක් අතකින් හෘදයමාංශය වළක්වා තෙරුන් සමීපයෙහි සඟවාගෙන ඒකෙස් ගෙන ඒ සිටුදියණිය සමීපයට ගියාය. වෙළඳ බඩුව නම් හරවත්වූවත් තෙමේ යවන ලද්දේ ගෞරවය නොඋපදවයි. එහෙයින් ඒ සිටුදුව, ‘මම පෙර බොහෝ ධනයෙනුදු මේ කෙස් ගෙන්වා ගන්නට නොහැකි වූයෙමි. දැන්වනාහි සිඳින ලද කාලයෙහි පටන් මිල පරිද්දෙන් ලබන්නේය’යි කිරීමවට කීවාය:
මම පෙර ඔබගේ ස්වාමිදියණියට බොහෝ ධනයෙන්ද මේ කෙස්ගෙන්වා ගන්නට නොහැකි වූයෙමි. යම් තැනකට යවන ලද ජීවකේශයෝ කහවණු අටක්ම අගය වෙතියි කහවණු අටක්ම දුන්නාය. කිරිමව කහවණු ගෙනගොස් සිටුදියණියට දුන්නාය. සිටු දුව එක් එක් පිණ්ඩපාතය එක් එක් කහවණුවක් කොට තෙරවරුන්ට දෙවෙව්වාය. තෙරුන්වහන්සේ නුවණින් සලකා බලා සිටුදියණියගේ උපනිශ්‍රය දැක සිටුදුව කොහිදැයි ඇසූහ. ‘ආර්‍ය්‍යයන්වහන්ස, ගර්‍හයෙහිය.’ ‘ඇය කැඳවන්න.’ ඕතොමෝ තෙරුන් කෙරෙහිවූ ගෞරවයෙන් එක් වචනයකින්ම අවුත් තෙරුන් වැඳ මහත් ශ්‍රද්ධාවක් ඉපදෙව්වාය. ‘යහපත් කෙතෙහි පිහිටුවනලද පිණ්ඩපාතය ඉහාත්මයෙහිම විපාකදේය’යි තෙරුන්ට වැඳීමත් සමඟ කෙස් පියෙවි බැව්හිම සිටියේය.
තෙරවරු ඒ පිණ්ඩපාතය ගෙන සිටු දියනියබලා සිටියදීම අහසට නැඟී කංචනවනොද්‍යානයෙහි බටහ. උයන්පල්ලා තෙරවරුන් දැක රජු සමීපයට ගොස් දේවයන්වහන්ස, පුරෝහිත කච්චාන උතුමා පැවිදිවී උයනට ආවේයයි කීවේය. හටගත් කැමැත්ත ඇති චණ්ඩප්පජ්ජොත රජතෙමේ උයනට ගොස් කරනලද බත්කිස ඇති තෙරුන් පසඟ පිහිටුවා වැඳ එකත් පසෙක හුන්නේ ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ කොහිදැයි ඇසීය. ‘මහරජ, ශාස්තෘන්වහන්සේ තමන් නොපැමිණ මා එවූසේක’යි කීහ.
ස්වාමිනි, අද කොයින් හික්‍ෂාව ලැබූසේකද? තෙරුන්වහන්සේ, රජුට සිටුදුව විසින් කරනලද සියලු දුෂ්කරක්‍රියාව සැලකළහ. රජතෙම් තෙරුන්ට විසීමට තැනක් පවරාදී තෙරුන් ආරාධනාකොට නිවෙස්නට ගොස් සිටුදියණිය ගෙන්වා අගමෙහෙසි තනතුරෙහි තැබීය. මේ ස්ත්‍රියගේ කීර්තිලාභයද මේ අත්බවටම අයත්විය. එතැන්පටන් රජතෙමේ තෙරුන්ට මහත් සත්කාර කළේය. තෙරුන්ගේ ධර්‍මකථාවට පැහැදී මහජනයා තෙරුන් සමීපයෙහි පැවිදි වූවේය.
එතැන්පටන් සියලු නුවර එකම කසාවතින් බැබළුනේ සෘෂිගණයාගෙන් ගැවසුණු උඩු සුළං ඇත්තේ විය. ඒ දේවියද දරුගැබක් ලැබ දසමසක් අවෑමෙන් පුතකු වැදුවාය. ඔහුට නම්තබන දිනයෙහි ‘ගොපාල කුමාරයා’යි මවගේ පිය සිටාණන්ගේ නම කළාහුය. ඕ පුතාගේ නම වශයෙන් ගොපාලමාතාදේවී නම් වූවාය. ඕතොමෝ තෙරුන්කෙරෙහි බෙහෙවින් පැහැදී රජු කැමැති කරවාගෙන කංචන වන උයනෙහි තෙරුන්ට විහාරයක් කරවූවාය. තෙරුන්වහන්සේ උජ්ජෙනි නගරය පහදවා යළි ශාස්තෘන් සමීපයට ගියහ. ඉක්බිති ශාස්තාන්වහන්සේ මෑතකාලයෙහි ජේතවනයෙහි වැඩවසනසේක් මධුපිණ්ඩික සූත්‍රාන්තය කච්චනපෙය්‍යාල සූත්‍රාන්තය පාරායන සූත්‍රාන්තය යන මේ සූත්‍රාන්ත තුන අ‍ත්‍ථෙ‍ර්‍ාත්පත්ති කොට තෙරුන්වහන්සේ සැකෙවින් කියනලද ධර්‍මයාගේ අත්‍ථ‍ර්‍‍ය විස්තර වශයෙන් බෙදා දක්වන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.