New at Little Bit


from Path to Nirvana https://ift.tt/2R8aHzX
==සුප්පියා==

සත්වැන්නෙහි ගිලානුපට්ඨාකීනං යන්නෙන් ගිලනුන්ට උවටැන් කරන උවැසියන් අතුරින් සුප්පියා උපාසිකාව අග්‍රයයි දැක්වෙයි. මෝ තොමෝ වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නී මෑතභාගයෙහි ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් එක් උවැසියක ගිලනුන්ට උවටැන් කරන්නියන් අතුරින් අගතන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවාය. ඕතොමෝ කල්පලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි බරණැස කුලගෙයක උපන්නීය. ඇයට සුප්පියායි නම් කළාහුය. මෑතකාලයෙහි ශාස්තෘන්වහන්සේ බික්සඟන පිරිවරකොට ඇතිසේක් බරණැසට වැඩිසේක. ඕතොමෝ තථාගතයන්වහන්සේගේ පළමු දැක්මෙන් දහම් අසා සෝවාන් පෙලෙහි පිහිටියාය. ඉක්බිති එක්දිනක් දහම් ඇසීම සඳහා විහාරයට ගියා විහාර චාරිකාවෙහි හැසිරෙන්නී එක් ගිලන් (භික්‍ෂුවක) දැක වැඳ පිළිසඳර කොට ආර්‍ය්‍යයන්වහන්සේට කුමක් ලැබීමට වටීදැයි ඇසුවාය. උවැසියනි, රසයක් ලැබීමට වටීයයි එම භික්‍ෂුව කීවේය. ‘වේවා! ස්වාමීනි, මම එවන්නෙමැ’යි තෙරුන් වැඳ ඇතුළුනුවරට ගොස් දෙවැනි දිනයෙහි අමුමස් (මාළු) සඳහා දැස්සක වෙළඳ පොළට යැව්වාය. ඕ තොමෝ මුළු නගරයෙහිම අමුමස් නොලැබ නොලදබව කීවාය. උවැසිය, ‘මම ආර්‍ය්‍යයන්වහන්සේට රසය එවන්නෙමැයි කියා ඉදින් නොයවන්නේ නම් ආර්‍ය්‍යයන්වහන්සේ අන්තැනකින්ද නොලබන්නෝ වෙහෙස වෙති. යම් කිසිවක් කොට යැවීමට වටීයයි සිතා ගෘහගර්‍භයට පිවිස කළවාමස් සිඳ මේ මස් ගෙන දුරුවර්‍ගයොදා රසයක් කොට විහාරයට යවා ආර්‍ය්‍යයන්වහන්සේට දෙව. උන්වහන්සේ ඉදින් මා විමසත් නම් මා ගිලන්යයි පිළිතුරු දෙවයි පවසා දාසියට දුන්නාය. ඕතොමෝ එසේ කළාය. ශාස්තෘන්වහන්සේ එම කරුණ දැන දෙවැනි දිනයෙහි පිඬුහැසිරෙන වේලෙහි බික්සඟන විසින් පිරිවරණලද සේක් උවැසියගේ ගෙට වැඩිසේක. ඕතොමෝ තථාගතයන්වහන්සේ වැඩි බව අසා, ‘ආර්‍ය්‍යපුත්‍රය, මම ශාස්තෘන් සමීපයට යාමට නොහැක්කෙමි. ඔබ ශාස්තෘන්වහන්සේ ඇතුළුගෙට පිවිසුවා වඩා හිඳුවන්න’යි සැමියා ඇමතුවාය. හෙතෙම එසේ කළේය. ශාස්තෘන්වහන්සේ, ‘සුප්පියා කොහිදැ,යි විමසූසේක. ‘ස්වාමීනි. ගිලන්ය’යි කීවේය. ‘ඇය කැඳවන්න.’ ඉක්බිති ඔවුහු. ‘ශාස්තෘන්වහන්සේ ඔබ කැඳවනසේකැයි කීවාහුය. ඕතොමෝ, සියලු ලෝකයාට හිතානුකම්පා ඇති ශාස්තෘන්වහන්සේ මෙකරුණ නොදැක නොකැඳවනසේකැ’යි සිතුවාය. (එසේ සිතා) ඉක්මණින් ඇ‍ඳෙන් නැඟිට්ටාය. ඉක්බිති බුද්ධානුභාවයෙන් ඇයගේ තුවාලය එකෙණෙහිම මස් වැඩී සම ඇත්තේ විය. සෙසු තැන්වලට වඩා පැහැපත් වූයේ විය. එකෙණෙහි උවැසිය සිනහවක් පහළකොට භාග්‍යවතුන්වහන්සේ පසඟ පිහිටුවීමෙන් වැඳ එකත්පසෙක හුන්නාය. ශාස්තෘන්වහන්සේ මේ උවැසියගේ අපහසුව කුමකුදැයි ඇසූසේක. ඕතොමෝ තමාවිසින් කරනලද සියලු කරුණු පැවසුවාය. ශාස්තෘන්වහන්සේ කරනලද බත්කිස ඇතිසේක් විහාරයට වැඩමවා බික්සඟන රැස්කරවා ඒ භික්‍ෂුවට නොයෙක් අයුරින් නින්දාකොට ශික්‍ෂාපදයක් පැනවූසේක. මේ කථා වස්තුව මෙසේ හටගත්තේයි. මෑතභාගයෙහි ශාස්තෘන්වහන්සේ දෙව්රම්හි වැඩහුන්සේක් උවැසියන් තනතුරුවල තබමින් සුප්පියා උවැසිය ගිලනුන්ට උවටැන් කරන්නියන් අතුරින් අගතැන්හි තැබූසේක.