New at Little Bit


from Path to Nirvana http://bit.ly/2ShX7e3
පහතින් දැක්වෙන්නේ නිවැරදිව මෛත්‍රී නිමිත්ත සිතට හසු කර ගැනීමේ දුෂ්කරතාවය ගැන දැක්වෙන ලිපියකි.
—–
මෛත්‍රී භාවනාව – ලෝකයේ දුෂ්කරම භාවනාවලින් එකකි.

මේ මාතෘකාව දුටු හැටියේම ඔබ මට දොස් කියාවි, ‘මේ මොන විකාරයක්ද, මෛත්‍රී භාවනාව කියන්නේ වඩන්න ඉතාම පහසු භාවනාවක්නේ! ඒකට නිශ්චිත ඉරියව්වක්වත් ඕනේ නැහැනේ!’ යනුවෙන්. මෛත්‍රී භාවනාව ගැන ඔබේ අවබෝධය එය නම් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න.

බුදුරජාණන්වහන්සේ අග්ගික්ඛන්ධෝපම සූත්‍ර දේශනාව සිදු කළ අවස්ථාවේදී භික්ෂූන්වහන්සේ සැට (60) නමක් රහත් බවට පත් වූහ. තවත් සැට නමක් ලේවමනය කරමින් උපසම්පදා ශික්ෂාව රක්ෂා කර ගත නොහැකිව පාරාජික වී සාමණේර වූහ. තවත් සැට නමක් උපැවිදි වී ගිහිව ප්‍රතිපත්ති පුරන්නට වූහ. කාලයත් සමග මේ තත්වය තවත් උග්‍ර විය. භික්ෂූහු කීපදෙනා බැගින් දහස් ගණනක් මේ සම්බුද්ධශාසනයේ ප්‍රතිපත්ති පූරණය කිරීමට අපහසු බව සිතා සිවුරු අත්හැර උපැවිදි වූහ. මීනියා ශාසනයේ භික්ෂූන්ගේ සංඛ්‍යාව අඩු විය. මෙයට හේතුව ආනන්ද හාමුදුරුවන්ගෙන් විමසා දැන ගත් බුදුහාමුදුරුවෝ තමන්වහන්සේ දේශනා කළ අග්ගික්ඛන්ධෝපම සූත්‍රය ඒ ඒ භික්ෂූන්වහන්සේ වටහා ගත් ආකාරය නිසා මෙසේ වී ඇති බව දැන ගෙන හාමුදුරුවරුන්ට වඩා පහසුවක් දැනෙන පරිද්දෙන් මෙසේ දේශනා කළහ.

“මහණෙනි, අසුරු සැණක් පමණ කාලයක් හෝ හාමුදුරු නමක් මෛත්‍රී සහගත සිතක් ඇසුරු කරත් නම්/ වඩත් නම් / මෙනෙහි කරත් නම් (ඔහු) මෙම ශාස්තෘශාසනය කරවන (තථාගතයන් වහන්සේගේ) අවවාද අනුව ක්‍රියා කරන හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරන හිස් පුද්ගලයෙකු නොවී ලෝකයාගෙන් ලැබෙන දානය වළඳන කෙනෙකු වේ.” (අං.නි. ඒකක නිපාත)

සරලවම කීවෝත් බුදුහාමුදුරුවන් මේ කියන්නේ ඇඟිලි පැහැරීමෙන් අසුරු සැණක් උපදවන තරම් කුඩා කාලයක් වුවත් මෛත්‍රී සිතුවිල්ලක් මෙනෙහි කරන්න පුළුවන් නම් ඔහු බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව අනුව ජීවත් වන කෙනෙකු බවට පත් වන බවය. බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව අනුව ජීවත් වීම යනුවෙන් අදහස් කරන්නේ ‘බෞද්ධයෙකු’ වීම යන්න බව අපි දනිමු. මේ නිසා මෙයින් කියැවෙන්නේ ඉතා කුඩා කාලයක් හෝ මෛත්‍රී කරන්නට පුළුවන් නම් ඔහුට බෞද්ධයෙකු විය හැකි බවය. ‘මෛත්‍රී භාවනාව’ යන්නට බරපතලම අර්ථය ආරෝපණය වන්නේ මෙහිදීය.

අපි ‘බුද්ධ සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි’ යනුවෙන් පවසා බෞද්ධයෝ වෙමු. මේ පාඨ තුන සත්‍යය වශයෙන්ම බුදුහාමුදුරුවන්ගේ අවවාද අනුව ජීවත් වීමට අප අපටම දෙන පොරොන්දුවකි. ඉහත කී දේශනය අනුව බලන විට, එය සැහැල්ලුවෙන් ගත් තැනැත්තා මෙසේ සිතීමට ඉඩ ඇත. එනම්, ජීවිතය තමන්ට රිසි සේ ජීවත් වී දවසේ කිසියම් මොහොතක ‘මම, නිදුක් වෙම්වා, නීරෝග වෙම්වා, සුවපත් වෙම්වා, අවෛර වෙම්වා, නිවන් දකිම්වා! මා මෙන්ම සියලු සත්වයෝම නිදුක් වෙත්වා, නීරෝග වෙත්වා, සුවපත් වෙත්වා, අවෛර වෙත්වා නිවන් දකිත්වා!’ යනුවෙන් කීවාම (සිතුවාම) තමන් බෞද්ධයෙකු වීමට අවශ්‍ය සියල්ල සම්පූර්ණ කළ බව.

සත්තකින්ම එය එසේමය!

එසේ නම් මෙහි ඇති බරපතලකම කුමක්ද? මෙහි ඇති බරපතලකම නම් මෛත්‍රී භාවනාව යනු ‘මම නිදුක් වෙම්වා…’ යනාදි පාඨය මන්ත්‍රයක් මතුරන්නා සේ මුවින් හෝ සිතින් හෝ මැතිරීම නොව ඒ මැතිරීම දෙස සාවධානව සිත් යොමු කොට සිත එකඟ කිරීමත් නොව, එය හද පතුළින්ම ගලා එන අවංක සිතුවිල්ලක් ලෙස බිහි කිරීමය. අප මුහුණ දෙන දුෂ්කරම කාර්යය වන්නේ මෙකී අවංකභාවය මත එය බිහි කිරීමය. අපි මේ ගැන තරමක් සමීපව කියවා බලමු.

මෛත්‍රී සහගත සිතුවිල්ල ‘අප්‍රමාණ’ සහ ‘මහාර්ඝ’ ලෙස ව්‍යාප්ත කරන සිතුවිල්ලකි. (ම.නි. අනුරුද්ධ සූත්‍රය). මේ වචන දෙකින් සරලව කියැවෙන්නේ එය සීමා බන්ධනයකින් තොරව ව්‍යාප්ත කළ හැකි සහ කළ යුතු සිතුවිල්ලක් බවය. කරණීයමත්ත සූත්‍රයේදී ‘සබ්බේ සත්තා’ (සියලු සත්වයෝ) යන වචනය අපට හඳුන්වා දෙන්නේ ඒ අනුවය. දැන් අපි බලමු කවුද මේ ‘සබ්බේ සත්තා’ හෙවත් ‘සියලු සත්වයෝ’ යනුවෙන් අදහස් කරන්නේ කියා?

ඔබ ළඟින්ම ඉන්න ඔබට ආදරය කරන සැමියා, බිරිඳ, දෙමව්පියන්, දූදරුවන් මේ අය අතරට අදාළයි. ගෙදර සුරතලයට ඇති කරන බල්ලා, පූසා, ගිරවා, මාළු ටැංකියේ ඉන්න මාළුවා මේ සියල්ලත් අයිතියි. අපට උගන්වපු ගුරුවරුන්, ඉදිරියට එන්න අත දුන්නු මිතුරන්, ආයතන ප්‍රධානීන් ආදි මේ සියලු දෙනාත් ඇතුළත්.

මේ අය විතරද මේ සියලු සත්වයන් (සබ්බේ සත්තා) වෙන්නේ? නැහැ.

අලුතෙන්ම ගෙනා ඔබේ සාරිය කාපු මීයා, පොත්පත් කාලා විනාශ කරපු ගුල්ලා, ඔළුවේ ඉන්න උකුණා, පුටුවේ ඉන්න මකුණා, – ඒ විතරක් නෙවේ,
ඔබට ගරහපු අය, ඔබට හිනා වුණ අය, ඔබට බැරි වුණ මොහොතේ ඔබව දාලා ගිය අය, ඔබගේ කකුලෙන් ඇද පහළට හෙළන්න උත්සාහ කළ අය, වචනෙකින් හරි ඔබව විනාශ කරන්න හදපු බොරු කතා ගොතපු, චරිතය ඝාතනය කරපු, පාරේ බැහැලැ යන්න බැරි තැනට වැඩ කරපු අයත් මෙතැනට අදාළයි.

ඒ විතරක්ද
ඔබේ ඇස් ඉදිරිපිටම ඔබේ අම්මාව, බිරිඳව, දුවව දූෂණය කර මරා දැමූ කෙනා, ඔබේ සහෝදරයාව, පියාව දරුවාව වෙඩි තබා මරා දැමූ කෙනා, පණ පිටින් පුච්චපු කෙනා, ඔබව දූෂණය කළ කෙනා, ඔබේ ජීවිතය එහෙම පිටින්ම අපායක් කරපු කෙනාත් මෙතැන සිටියි.

රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා, කරුණා අම්මාන්, ආසාද් සාලි වගේ අයත්

වේලුපිල්ලේ ප්‍රභාකරන්, ඔහුගේ කොටි සේනාව, දෙමළ ඩයස්පෝරාව, මුස්ලිම් අන්තවාදීන්, තලේබාන් සාමාජිකයන්, අයිඑස්අයිඑස් ත්‍රස්තයන් වගේ අයත්

චීන රජය, ඇමරිකා රජය, ඉන්දියානු රජය, පකිස්තානු රජය වගේ රාජ්‍යවල ප්‍රධානීහුත් මෙතැන සිටිති.

දැන් හොඳ හුස්මක් අරගෙන ඇන්දට හේත්තු වී මෙසේ කල්පනා කර බලන්න.

මෙකී නොකී සියලුම සත්වයෝ නිදුක් වෙත්වා – ඒ කියන්නේ ඒ අයගේ හිත්වලට කරදර පීඩා ඇති නොවේවා.
නිරෝග වෙත්වා – ඒ කියන්නේ ශාරීරික වශයෙන් ඒ අයට කිසිදු කරදරයක් රෝග පීඩාවක් ඇති නොවේවා.
සුවපත් වෙත්වා – ඒ කියන්නේ ඒ අයට ගතින් සිතින් දෙකින්ම සැනසීමෙන් ජීවත් වෙන්න ලැබේවා.
අවෛර වෙත්වා – ඒ අයගේ සිත් තුළට වෛරය ද්වේෂය වැනි හැඟීම් ඇති නොවේවා.
නිවන් දකිත්වා – යම් දිනක ඒ අය බුදු, පසේබුදු, මහරහත් යන තත්වයකට පත් වේවා.

මේ විදිහට මේ සියලු දෙනා වෙනුවෙන්ම අවංක ප්‍රාර්ථනයක් කළ හැකිද?

දැන් අයෙකු මගෙන් අසාවි, මෙසේ ප්‍රාර්ථනා කළ පමණින් එය සිදු වේද? එසේ නොවන්නේ නම් කිමෙක්ද මේ ප්‍රාර්ථනාවෙන් ඇති ඵලය කියා? ඇත්තෙන්ම බුදුහාමුදුරුවන් මෙහිදී අපේක්ෂා කරන්නේ මේ විදිහට ප්‍රාර්ථනා කර ඒ සියල්ල සිදු වන බව පෙන්වීම නොවේ. අපේ සිත – ඒ කියන්නේ මෛත්‍රී වඩන කෙනාගේ සිත – අල්පමාත්‍ර වූ හෝ ද්වේශ සහගත, වෛරී සහගත සිතුවිල්ලකින් පෙළෙන්නේ නැතිව රැක ගන්න උදවු කිරීමයි උන්වහන්සේගේ උත්සාහය.

දැන් තවත් කෙනෙකු සිටිය හැකියි, ජීවිතයේ කිසිදු අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ නොදුන් ඒ නිසාම කිසිදු ගැටලුවකින් තොරව මෛත්‍රී කළ හැකියි කියා සිතෙන. ඒ අය තේරුම් ගත යුතු දෙය නම් දැනට තත්වය එසේ වුවද අනාගතයේදී වෙනස් වුවහොත් එදාට මෛත්‍රී කිරීම කළ හැකිද යන්නය. තමන් එවැනි අත්දැකීමක් ලබා නැතත් සිතින් උපකල්පනය කර බලන්න. හිතන්න, තමන්ගේ දුවව දූෂණය කර මරා දැමූ තැනැත්තාට නිදුක් වේවා, සුවපත් වේවා ආදි ලෙස අවංක සිතින් සිතිය හැකිද?

හිතන්න, ඔබ කිසිදිනෙක ත්‍රස්තප්‍රහාරයකට ලක් නොවුණත් ශ්‍රී මහාබෝධිය ළඟ සිලවතුන් මරා දැමූ, සිංහල ගම්බිම්වලට පැන බල්ලන් බළලුන් ගාණට සිංහල මිනිසුන්ව අමු අමුවේ කපා කොටා ඝාතනය කරපු වේලුපිල්ලේ ප්‍රභාකාරන්ව සිහියට නඟා ගෙන ‘ප්‍රභාකරන්, ඔබ මතු දිනෙක රහතුන්වහන්සේ නමක් වේවා’ වැනි සිතුවිල්ලක් ඇති කර ගත හැකිද?

මේ මෛත්‍රී භාවනාවේ ඇති බැරෑරුම් සහගත තත්වය ගැන දැන් ඔබට වැටහෙනවා ඇතැයි සිතමි. ‘සියලු සත්වයෝ’ යයි කියන විට එක් අයෙකුද අත් නොහැර සියලු සත්වයින් මනසට නඟා ගෙන ඒ සියලු දෙනාට ‘නිදුක් වේවා, නිරෝග වේවා’ ආදි වශයෙන් මෛත්‍රී සහගත සිතුවිල්ලක් යොමු කර වීම – අඩුම තරමේ අසුරු සැණක් ගහන කාලක් හෝ – කොතරම් අසීරුද දුෂ්කරද යන්න කල්පනා කර බලන්න.

ඒ වනම සිතන්න, ජාති වශයෙන්, ආගම් වශයෙන්, කුල වශයෙන්, රටවල් වශයෙන්, ස්ත්‍රීපුරුෂ වශයෙන්, දේශපාලන පක්ෂ වශයෙන්, න්‍යාය මතවාද වශයෙන්, පෞද්ගලික තරහ අමනාපකම් වශයෙන් හෝ මෙකී නොකී කිසියම් ක්‍රමයකින් හෝ බෙදී වෙන්වී සිටීමට උත්සාහ කරන මිනිසෙකුට මෛත්‍රී භාවනාව කොතරම් අමාරුද? ඒ කියන්නේ ඔහුට බෞද්ධයෙකු වීම කොතරම් දුෂ්කර කාර්යයක්ද?

වරක් ඒබ්‍රහම් ලින්කන් තම ලේකම්වරියගෙන් මෙසේ විමසා සිටියේය. ‘අශ්වයෙකුගේ නැට්ට, කකුලක් කියා සිතුවහොත් අශ්වයාට කකුල් කීයක් තිබේද?’ එවිට ලේකම්වරිය කියා සිටියේ ‘කකුල් පහයි’ කියාය. ලින්කන්, ‘වැරදියි, නැට්ටට කකුල කියා කී පමණින්, නැට්ට කකුලක් වන්නේ නැත. නැට්ටට කකුල කීවත් අශ්වයාට ඇත්තේ කකුල් හතරක් පමණි’ යනුවෙන් ඇයව නිවැරදි කළේය.

මේ ආකාරයෙන්ම, ‘මම බෞද්ධ’ කියා කී පමණින් පුද්ගලයෙකු බෞද්ධ වන්නේ නැත. බෞද්ධ වීමට නම් බුදුහාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි අඩුම තරමේ අසුරු සැණක් ගහන කාලයක්වත් මෛත්‍රී සිතුවිල්ලක් වැඩීමට පුළුවන් විය යුතුය. තවත් ආකාරයකින් කිවහොත් වෛරය, ක්‍රෝධය, ද්වේශය, පලිගැනීම වැනි සිතුවිලිවලින් එක මොහොතක් හෝ සහමුලින්ම තමන්ගේ සිත නිදහස් කර ගැනීමට අපට හැකි විය යුතු ය.

මෛත්‍රී භාවනාව නම් එයය.

බර්ට්‍රම් ජී. ලියනගේ