New at Little Bit


from Path to Nirvana http://bit.ly/2EH38wN
“මම ප්‍රාර්ථනා කරන්නේ මේ ජීවිතේ රහත් වෙන්න බැරි වුනොත් උපදින ආත්මයක්, ආත්මයක් පාසා මහණ වෙන්න”

– පරමපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුළ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ.(සසුන් කෙත ගුවන් විදුලි වැඩසටහන්‍ේ දී ය)

2018 / 12 / 25 වන දිනට තම දිවිගමනේ 105 වන ජන්ම දිනය යෙදෙන්නා වූ අප ගුරු දෙවිදුන් වූ අම්පිටියේ ශ්‍රී රාහුළ ලොකු හාමුදුරුවන් වහන්සේ සම්බුද්ධ සාසනය කෙරෙහි පැහැදීමට පත් ව ගිහි ගෙය අතහැර තම තරුණ කාලයේ දී පැවිදි වීමට අදහස් කොට ගෙන ඒ සඳහා සුදුසු ම රට ලංකාව නොව බුරුමය යැයි තම වැඩිමහග් සොහොයුරාගේ උදව් ඇතිව බුරුම රට බලා යෑමට අදහස් කොට ගෙන සිට ඇත.

1928 අප්‍රේල් 21 වන දින පරමපූජනීය පැළෑනේ සිරි වජිරඤාණ මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රථම ගුවන්විදුලි ධර්ම දේශණාව කළ ඵෙතිහාසික දිනය විය. එම ධරම දේශණාව ඉන්දියාවේ බැංගලෝරය දක්වා විහිදී ගියහ. එක් දිනක් එම උතුම් ධර්ම දේශණාව ශ්‍රවණය කළෝ ගිහි කළ ධර්මදාස රාජපක්ෂ නම් වූ අප කථානායකයන් වහන්සේ ය. ලොකු හාමුදුරුවෝ තමන් වහන්සේ පැවිදි දිවියට මුල පිරූ අන්දම මෙසේ හෙළි කරති.

” මම ලංකාවේ මහණ නොවෙන්නයි හිතාගෙන හිටියේ. ඉතින් මම කල්පනා කළා මහණ වෙන්නට බුරුමෙට යන්න ඕනේ කියලා. අපේ ලොකු අයියා මට පොරොන්දු වෙලත් හිටියා මට බුරුමෙට යන්න ටිකට් එකක් අරන් දෙන්න. ඔහොම ඉන්න කාලයේ පැළෑනේ මහානායක හාමුදුරුවෝ පසළොස්වක පොහොයට රේඩියෝ එකේ බණ කියනවා. මං ඒ බණ එක දවසක් ඇහුවා. මං උඩ ගිහිල්ලා හිටියා. මට පුදුම හිතුණා ඒ බණට. මේ හාමුදුරුවෝ ලඟ තමා මහණ වෙන්න ඕනෙ කියලා අධිෂ්ඨාන කර ගත්තා. ඔහොම තියෙන කාලයේ වෙසක් කලාප එනවා. ඕව මම කියවනවා. එහෙම වෙසක් කලාපයක මහානායක හාමුදුරුවන්ගේ පින්තූරයක් තිබුණා. මම හිතා ගත්තා මේ උත්තමය ලඟ තමයි ගිහිල්ලා මහණ වෙන්න ඕනේ කියලා. අර විදේශ ගමන අතහැරලා මේකට බැස්සා.” -(වජ්‍රප්‍රභා කෘතියෙනි)

ඒ අදහස මල්ඵල ගන්නවා ගැනීම පිණිස තම වැඩිමහලු සොහොයුරා සමඟ බම්බලපිටියේ සිරි වජිරාරාමයට පැමිණි මාහිමියන් වහන්සේ මාස කිහිපයක් පණ්ඩුපලාස අවධිය වත් පිළිවෙත් සපුරමින් කටයුතු කොට පැළෑනේ සිරි වජිරඤාණ මාහිමියන් වහන්සේ වෙතින් උතුම් ප්‍රව්‍රජ්‍යා භූමියට පත් වූහ. එයින් අනතුරු මහළු පැවිද්ද සඳහා සුදුසු ව 1936 වෙසක් මස 06 දා කැළණි උදකුක්ඛේප සීමා මාලකයේ දී පැළෑනේ වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ ලෙස ද, විනයාචාර්ය පරමපූජනීය වේරගමිපිට සිරි රේවත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආචාර්ය්‍යන් වහන්සේ ද කොට ගෙන කෝටියක් සංවර වූ උපසම්පදා භූමියට පත් වූහ.

ඒ කාලයේ සිට ම පැළෑණේ මහ නා සමිඳුන් වහන්සේ අපවත් වන තෙක් ම උපස්ථාන කටයුතු නොපිරිහෙලා ඉටු කරමින් මහ නා සමිදුන් අභියස ම, ගුරු ඇසුරේ ධර්ම-විනය උගත්හ.

” ඒක වචන වලින් කියල නිමකරන්න බැහැ එ උත්තමයා නැති වෙනකොට නිකං කළුවර ගතියක් වගේ අපිට දැනුණා” (තම ගුරු දෙවි වූ පැළෑනේ වජිරඤාණ නා සමිදුගේ අපවත් වී ම ගැනය )

මෙසේ කාලය ඉක්ම ගියහ. ලක්දිව සම්බුද්ධ සාසනයේ නොයෙක් පිරිහීම් දසත දකින්නට ලැබුණා වූ කාලපරිච්ඡේදයක් ද විය.

“රාහුළ,අඩුම තරමේ සිල්වත් ගුණවත් ගෝලයෝ තිස් නමක් හරි හදන්න ඕ‍න‍ේ. දැන් ඒකට මම ප්‍රමාද වැඩියි” යැයි පැළෑනේ මහ නා සමිඳුන් දුන් ඔවදන අනුව යමින් තම ගුරු දෙවිඳුන් ගේ අදහස සමෘද්ධ කරනු වස් එවකට අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක ධුරය දැරූ පරමපූජනීය මඩිහේ ශ්‍රී පඤ්ඤාසීහ මහා නායක මාහිමිපාණන් වහන්සේ සමඟ එක් ව 1958 අප්‍ෙුල් මස 21 වන දින මහරගම වැව පාරේ “මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය” සම්බුද්ධ සාසනයේ චිරස්ථායි බව පිණිස ලොකු හාමුදුරුවෝ අප්‍රතිහත ධෛර්යක් ගෙන ගොඩ නැඟූහ. එයින් ද නොනැවතී ලක්දිව පුරා ම නොයෙකුත් විහාරස්ථානයෝ ද බෙහෝ කාලයක් පිරිසෙන් ඈත් ව හුදකලාව වැඩ සිටි සමහර අරණ්‍ය සේනාසනයන් සංඝරත්නයට ගුණ පිරීම උදෙසා ම කැප-සරුප් ලෙස අරණ්‍ය සේනාසනයන් කොට ගොඩ නැගූහ. එසේ ම දහස් ගණන් පිනැති කුල දරුවන්ට පැවිදි-උපසපන් වී සිල්වත් ව ගුණවත් ව සම්බුද්ධ සාසනයේ පර්‍ය්‍යාප්ති සාසනය – ප්‍රතිපත්ති සාසනය – ප්‍රතිවේධ සාසනය බබළවන්නට අවස්ථාව, උරුමය ලබා දුන් සේක.

ඒ අප සීලවෘද්ධ වූ ගුණවෘද්ධ වූ තපොවෘද්ධ වූ වයෝවෘද්ධ වූ සංඝනේතෘවර වූ සංඝපරිනායක වූ අප උතුම් ලොකු හාමුදුරුවෝ අද ද ඉතා ම සුවසේ නිදුක් – නිරෝගී ව වසර පහළවකටත් වැඩි කාලයක් නිත්‍ය උපස්ථායක ස්වාමීන්වහන්සගේ (මැණික්හින්නේ දීපාලෝක ස්වාමීන් වහන්සේ) අප්‍රමාණ වූ ආදර-ගෞරවය යටතේ වැඩ වාසය කරන්නේ ය. අප උත්තම ලොකු හාමුදුරුවන් වහන්සේට නිදුක් ව නිරෝගී ව විංශත්ශතවර්ෂාදික කාලයක් සම්බුද්ධ සාසනය එකළු කරමින් සුව වැඩ වාසය කරන්නට තුනුරුවනේ සූවිසි මහා ගුණානුභාවයෙන් සියලු කායික -මානසික ශක්තිය වේවා යි හදපිරි ආදර – ගෞරවයෙන් අප්‍රමාණ ගුරු ගෞරවයෙන් යුතු ව අප පතන්නෙමු….!!! නමස්කාර වේවා….!!! මා හිමි සඳුනි!!!

Ven Bandarawela Ñāṇaruchi