New at Little Bit


from Path to Nirvana https://ift.tt/2WjA8R5
ඓශ්චර්‍ය්‍ය භාග්‍යය

එහි ඓශ්වර්‍ය්‍ය යනු ඉසුරු බව ය, එනම්, තමාගේ සිත හා අන්‍ය පුද්ගලයන් හා වස්තූන් ද ස්ව වශයෙහි පැවැත්විය හැකි බව ය. රියැදුරකුට රිය තමාට රිසි පරිදි ගමන් කරවිය හැකි වන්නාක් මෙන්, තමන් වහන්සේ ගේ සිත හා ලෝකයෙහි වෙසෙන අන්‍ය සත්ත්වයන් හා ලෝකයෙහි ඇති වස්තුන් ද තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ වශයෙහි පැවැත් විය හැකි ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ සිතට ඉසුරු බැවින් චිත්තේශ්චර වන්නාහ. ධ්‍යාන සමාපත්තීන් ස්ව වශයෙහි පවත්වන බැවින් සමාධිසමාපත්තීශ්වර ද වන්නාහ. අනේකප්‍රකාර ඍද්ධින්හි වශීභාවය ඇති බැවින් ඍඬීශ්වර ද වන්නාහ. ධර්මයට අධිපති බැවින් ධර්මේශ්වර ද වන්නාහ. සංඝයාට අධිපති බැවින් සංඝෙශ්වර ද වන්නාහ. නානාගණයන්ට අධිපති බැවින් ගණේශ්වර ද වන්නාහ. ලෝකයට ම අධිපති බැවින් ලෝකේශ්වර ද වන්නාහ.

චිත්තේශ්වර ගුණය ඉතා උසස් ගුණයෙකි. එය නොයෙක් කරුණු පිළිබඳ ඊශ්වරත්වය ඇත්තා වූ ද කෙලෙස් සහිත වූ රජුන්ට දේවබ්‍රාහ්මයන්ට ඍද්ධිමත් ශ්‍රමණයන්ට නැති ගුණයෙකි. කෙළෙස් සහිත පුද්ගලයන්ගේ සිත්, මුහුදෙහිදී කුඹුගස් කැඩී ගිය, සුක්කානම බිදී ගිය ජලයාත්‍රාව, සුළං යන යන අතට රළපහර දියපහර යන යන අතට ඇදී යන්නාක් මෙන් ලාභලාභ යශායස නින්දාප්‍රසංසා සුඛදුඃඛ යන අශ්ටලෝකධර්මය අනුව විපර්‍ය්‍යසවීම් වහයෙන් ඒ ඒ අතට යන්නේ ය. අශ්ටලෝකධර්ම නැමැති සැඩසුළං පහරට සැඩ රළපහරට එඩිතර වූද රාජාදීන්ගේ සිත් ඔරොත්තු නො දෙන්නේ ය. රාජාදීහු ඇතැම් කරුණු වලදි බිය වී වෙවුලති. ඇතැම් කරුණු වලදී හඬති. ඇතැම් කරුණු වලදී කිපෙති. ඇතැම් කරුණු වලදී බැගෑපත්වෙති. ඇතැම් කරුණු වලදී උමතු වෙති. ඇතැම් කරුණු වලදී දිවිනසා ගනී. ස්වර්ණතිලකා නම් චණ්ඩාල තරුණිය දැක හටගත් චිත්තවිපර්යාසයෙන් රජුන් පස් දෙනෙකු දිවි නසා ගත් බව රසවාහිනීයේ කියා තිබේ. ඇතැම් රජහු ධනාශාවෙන් රෝගාතුර වූ බව ද, ඇතැමුන් යම් යම් කරුණු නිසා උමතු වූ ජාතක කථාදීයෙහි දක්වා ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ සිතට ඉසුරු බැවින් උන් වහන්සේට තමන් වහන්සේගේ සිත ඉෂ්ටානිෂ්ටාරම්මණ දෙපක්ෂය සම්බන්ධයෙන්ම සමව තබා ගත හැකිය. ඕනැම ඉෂ්ටාරම්මණයක් උන් වහන්සේට තමන් වහන්සේගේ කැමැත්ත අනුව අනිෂ්ටාරම්මනයක් වශයෙන් වුව ද මධ්‍යස්ථාරම්මණයක් වශයෙන් වුව ද සැලකිය හැකි ය. අනිෂ්ටාරම්මණයන් ද කැමැත්ත අනුව ඉෂ්ට වශයෙන් හෝ මධ්‍යස්ථ වශයෙන් සැලකිය හැකි ය. ඕනෑම පුරුෂයකුගේ සිත විපර්යාසය කර දැමීමට සමත්, ඕනෑම පුද්ගලයකු කාමබන්ධනයෙන් බැඳගැනීමට සමත් මාරදුහිතෲන්ට බුදුරදුන් කාමබන්ධනයෙන් බැඳ ගැනීමට හැකිතාක් උත්සහ කොට අන්තිමේ දී පැහැර පලායන්නට සිදුවූයේ තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ සිතට ඉසුරු බැවිනි. මැරී දින ගණනක් ගතවී හොදටම කුණු වී මිනිසකුට ළං විය නො හෙන තත්වයට පැමිණ අමුසොහොනෙහි තුබු පුණ්ණ නම් දාසියගේ මළසිරුර වෙත වැඩම කොට මළසිරුරට පොරවා තුබු පණුවන්ගෙන් ගැවසී තුබු වස්ත්‍රය තිඹක් පමණ පණුවන්ට ඉවත් කොට ගෙන සියතින් ම සෝදා චීවරයක් කොට කිසිදු පිළිකුලක් නැතිව තථාගතයන් වහන්සේට පරිභෝගකළ හැකි වුයේ ද, චිත්තේශ්වර භාවය නිසා ය. මාගන්ධියා දේවිය විසින් මිනිසුන්ට අල්ලස් දී ඔවුන් ලවා තථාගතයන් වහන්සේට අපහස කරවන්නට පටන් ගත් කල්හි ද, තීර්ථකයන් විසින් සුන්දරිය මරා දමා අපහස කරවන්නට පටන් ගත් කල්හි ද චිඤ්චමානවිකාව ඉදිරියට ම පැමිණ චෝදනා කළ කල්හි ද, මරහු පැමිණ මහාසංග්‍රාමය කළ කල්හි ද, නාළාගිරි ඇතු පැමිණි කල්හි ද, චිත්තේශ්වර භාවය ඇති නිසා තථාගතයන් වහන්සේගේ සිත ප්‍රකෘති ස්වාභාවයෙන් ම පැවැත්තේ ය. තව ද ලෝකයෙහි ඇතැම් උසස් ශ්‍රමණබ්‍රාහ්මණයන්ට තිබුණේ ය යි කියන,

“අණිමා මහිමා පත්ති – පාකම්මං ලඝිමා තථා,
ඊසිතා ච වසීතා ච – යත්ථ කාමාවසායිතා”

යනුවෙන් දක්නා ඍඬිබල අට ද තථාගතයන් වහන්සේට ඉතා උසස් ලෙසින් ඇත්තේ ය.

අණිමා යනු ශරීය කුඩා කිරිම ය. අෂ්ටපරිෂ්කාරධරව අබැටක් තුළ සතර ඉරියව්ව ම පැවැත්විය හැකිතරමට ද, අෂ්ටපරිෂ්කාරධරව මිනිසකුගේ ඇස්පිය රෝමයක සක්මන් කළ හැකි පමණට ද ශරිරය තථාගතයන් වහන්සේට කුඩා කළ හැකි බව කියා තිබේ.
මහිමා යනු ශරිරය මහත් කිරිම ය. තථාගතයන් වහන්සේට කැමති පමණට ශරිරය මහත් කර ගත හැකි ය. උන් වහන්සේ තීර්ථක මථනය පිණිස යමකප්‍රාතිහාර්‍ය්‍යය කොට සත්වන වස විසීම සඳහා තව්තිසා දෙව්ලොවට වැඩම කළහ. ශක්‍රයා උන් වහන්සේ දැක “තථාගතයන් වහන්සේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස් එළමෙනු පිණිස වැඩම කළහ යි සිතමි. මේ පාණ්ඩුකම්බල ශෛලාසනය විශාල ය. දිගින් සැට යොදුනක, පළලින් පනස් යොදුනත්, ඝනින් පසළොස් යොදුනක. තථාගතයන් වහන්සේ මෙහි වැඩ සිටිනා කල්හි අනිකකුට එහි අත තැබිමට ද නො ලැබෙන්නේ ය. උන් වහන්සේ මෙහි වැඩසිටින අස්න හිස්වන්නේය’ යි සිතුවේ ය. තථාගතයන් වහන්සේ ඔහුගේ සිත දැන තමන් වහන්සේගේ සගළ සිවුර සතරට නමා සැටයොදුන් ශෛලාසනය මත හෙළූ සේක. සිවුරක් එළූ කලෙක කුඩා පුටුවක් වැසෙන්නාක් මෙන් ශෛලාසනය සිවුරෙන් වැසී ගියේ ය. සක්දෙව්රජු ශෛලාසනය සිවුරෙන් වැසුණ ද බුදුරදුන් එහි සුළු තැනක හිඳිනු ඇතැ’යි සිතුවේ ය. තථාගතයන් වහන්සේ සැටයොදුන් අසුන පුරා වැඩ සිටි සේක. මහා පාංසුකූලිකයකු කුඩා පුටුවක හිඳගත් කල සිවුරෙන් පුටුව වැසෙන්නාක් මෙන් තථාගතයන් වහන්සේගේ සිවුරෙන් පාණ්ඩුකම්බලශෛලාසනය වැසී ගියේ ය.
(ධම්මපදට්ඨතථා 452)

රජගහ නුවර විසූ බ්‍රාහ්මණයෙක් ශ්‍රමණගෞතමයන්ගේ ප්‍රමාණය නො ගත හැකි ය’ යි අසා විමසනු පිණිස උන් වහන්සේ පිඬු පිණිස නගරයට පිවිසෙන කල්හි සැටරියනන් හුණගසක් ගෙන මග සිටියේ ය. ඔහුගේ හුණගස තථාගතයන් වහන්සේගේ දණ පමණ විය. බ්‍රාහ්මණයා පසු දින හුණගස් දෙකක් එක් කොට බැඳ ගෙන මග සිටියේ ය. තථාගතයන් වහන්සේ ඒ හුණගස් දෙකින් උඩ තවත් උණගස් දෙකක් පමණ උසින් පෙනී සිටි සේක. “බ්‍රාහ්මණය, නුඹ කුමක් කරන්නෙහි දැ’යි තථාගතයන් වහන්සේ වදාළහ. “නුඹ වහන්සේගේ ප්‍රමාණය ගනිමි’යි බමුණා කීය. එකල්හි තථාගතයන් වහන්සේ “බ්‍රාහ්මණය, මා සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් දහම් පිරූයේ මාගේ ප්‍රමාණය අනුන්ට ගත හැකි වනු පිණිස නොවේ ය. බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේ අප්‍රමේයයෝ ය’යි වදාළහ.
(සුමංගල විලාසිනි 200)

පත්ති යනු කොතෙක් දුරකට වුව ද සැණෙකින් යා හැකි බව ය. තථාගතයන් වහන්සේට දෙව්ලොවට බඹලොවට වුව ද අන් සක්වළකට වුව ද වක් කළ අත දිගු කරන්නාක් මෙන් සැණෙකින් යා හැකිය.

“අථඛ්වාහං භික්ඛවෙ, බකස්ස බ්‍රහ්මුනො චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය, සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්‍ය එවමෙවං උක්කට්ඨායං සුභගවනෙ සාළරාජමුලෙ අන්තරහිතො තස්මිං බ්‍රහ්මලොකෙ පාතුරහොසිං”

යනුවෙන් මජ්ක්‍ධිමනිකායේ බ්‍රහ්මනිමන්තණික සුත්‍රයෙහි තථාගතයන් වහන්සේ උක්කට්ඨා නම් ජනපදයෙහි සුභග වනයෙහි වැඩ සිට බකබ්‍රහ්මයා වෙසෙන බඹලොවට බලවත් පුරුෂයකු වක්කළ අත දිග හරින තරම් කාලයේදී වැඩම කළ බව වදාරා තිබේ.

“බොධනෙය්‍යං ජනං දිස්වා – සතසහස්සෙපි යොජනෙ
ඛණෙන උපගන්ත්වාන – බොධෙති තං මහාමුනි”

යනුවෙන් “මහාමුනීන්ද්‍රයන් වහන්සේ ධර්මය අවබෝධ කරවිය හැකි ජනයකු දැක යොදුන් ලක්ෂයක් වුව ද සැණෙකින් ගොස් ඔහුට ධර්මය අවබෝධ කරවති’යි බුද්ධවංසා පාළියෙහි ද වදාරා ඇත්තේ ය.

පාකම්ම යනු ඍධිබලයෙන් නානාරූපයන් හා ගිනි දිය සුළං ආදි දේවල් නිර්මාණය කිරිමේ දී පමාවක් නැතුව සිතු සැටියේම සිදු කළ හැකි බව ය. තථාගතයන් වහන්සේට යම්ප්‍රාතිහාර්‍ය්‍යය කළ හැක්කේ ඉතා ඉක්මනින් ඒ ඒ දෙය මැවිය හැකි ශක්තිය ඇති නිසා ය.

ලඝිමා යනු කය, සිතට අනුකූල කොට සිත මෙන් ලැහැල්ලූ බවට වේගවත් බවට පත් කිරිම ය. තථාගතයන් වහන්සේ පොළොවෙහි මෙන් අහසෙහි ද ගමනාදි ඉරියව් පැවැත්විය හැක්කේ, දිව්‍යලෝක බ්‍රහ්මලෝකවලට සැණෙකින් යා හැක්කේ සිත අනුව කය ලැහැල්ලූ කළ හැකි බැවිනි.

ඊසිතා යනු ඊශ්වරභාවය ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ සිත හා ලෝකයත් ස්වවශයෙහි පැවැත්විමට සමත් වන සේක. එබැවින් මනුෂ්‍ය දේව බ්‍රහ්මාදීහු තථාගතයන් වහන්සේ ඉදිරියට පැමිණි කල්හි ඉතා ගෞරවයෙන් හැසිරෙති.
වසීතා යනු ධ්‍යානසමාපත්ති වලට රිසිසේ සමවැදීම නැගිටිම කළ හැකි බව ය. තථාගතයන් වහන්සේට මුල සිට අගට වුව ද අග සිට මුලට වුව ද කැමති කැමති කසිණාරම්මණයන්හි ඉතා සීඝ්‍රයෙන් ධ්‍යානවලට සම වැදීම නැඟී සිටීම කළ හැකි ය. ඒ නිසා කැමති ප්‍රාතිහාර්‍ය්‍යයක් ඉක්මණින් කළ හැකි ය.

යත්ථකාමාවසායිතා යනු ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය කිරිමේ දි නියමිත ප්‍රදේශයෙහි නියමිත කාලයක් මුළුල්ලෙහි ප්‍රාතිහාර්‍ය්‍යය පැවැත්විය හැකි බව ය. අණිමා මහිමාදී මේ බලවිශේෂ අට ද තථාගතයන් වහන්සේගේ ඵෙශ්වර්‍ය්‍ය ගුණයට අයත් වන්නේ ය.

ධර්ම භාග්‍යය

ෂටිභාග්‍ය ගුණයන්හි ධර්මය යනු තථාගතයන් වහන්සේට ඇත්තා වු ලෝකෝත්තර ධර්ම හා උත්තරීතර ශිලාදී ගුණයෝ ය. ලෞකික ධර්මයන් අතුරෙන් උසස් ධර්මයෝ ධ්‍යානාභිඥාවෝය. ලෝකොත්තර ධර්මයන් අතුරෙන් අර්හත්ඵලය හා නිර්වාණය උසස් ධර්මයෝ ය. ඒවා ඇති බැවින් තථාගතයන් වහන්සේ භගවා නම් වෙති. අසාධාරණඥන සය ද තථාගතයන් වහන්සේගේ විශේෂ ධර්ම සයකි.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://ift.tt/2TUZY1l