New at Little Bit


from Path to Nirvana http://bit.ly/2Gzj9nK
මේ සසරේ ස්වභාවය දැක දැන මිථ්‍යාදෘෂ්ටිය ඉතා ප්‍රබල පාපකර්මයක් බවත් එහි මහා සාවද්‍ය බවත් දැන මේ සසර කලකිරීම පිණිස ම මේ කෙටි ලිපිය උපකාරයක් කරගනිත්වා.

මනුෂ්‍ය ජීවිතයේදී අනිත් මිනිසුන්ගේ ශරීර කූඩු වන සේ ගිනිගෙන දැවෙන සේ යම්කිසි සිතුවිලි සමුදායක් සහිතව සකස් කරගත් කර්මය හේතු කරගෙන ඒ පුද්ගලයන්ට ද ඒ සත්වයන්ට ද එවැනිම කර්ම විපාකයක් පරලොවදී සකස් වේ. එනම් තමන්ගේ ශරීර නැවත නැවත ගිනිගෙන දැවෙමින් අළු වෙමින්, අඟුරු වෙමින් ගත කරන ජීවිතයන්ය. එවැනි උප්පත්තින් ලැබෙන්නේ අවීචිමහා නිරය වැනි බරපතල අකුසල් සකස් කර ගත් සත්වයන් උපදින ස්ථානවලය. නමුත් කර්මය ගෙවී අවසන් වන තෙක් ඒ ලොවින් චුත වීමක් සිදුනොවේ. නැවත නැවත එහි උපදිමින් ශරීරය දැවෙමින් දෙමින් විලාප නගමින් ගතකරන ජීවිතයක් වේ.
අවුරුදු කෝටි ලක්ෂ ගනනක් ගතවීමෙන් පසු ඒ අවීචි මහ නිරයෙන් චුත වේද එවිට නැවත ඊට වඩා දුක් අඩු නිරයක උපදී. එහිදී ද ශරීර දැවෙමින් අලුවෙමින් ගිනිගනිමින් නොයෙක් කෘර කටුක දුක් විඳිමින් ගතකරන ජීවිත සකස් වේ. ඒ සියලු අපාය ගාමි කර්ම ගෙවී අවසන් වී යම් දිනක මනුෂ්‍ය ජීවිතයක් ලබයි ද ඉතින් එදිනටද තමන්ගේ ශරීර කූඩු වී, දැවී කෙටි කලකින් අල්පායුෂව ජීවිතය බොහෝ වාර ගණනක් අවසන් කිරීමට සිදුවේ.

සසරේ ස්වභාවය මේ බැවින් මෙවැනි අරමුණුවල දැඩි ලෙස ගැටෙමින් බියජනක ලෙස ජීවිත ගත කිරීමට සිදුවීම ලාංකික අප සැමගේ පැරණි අකුසල කර්ම මතුවීමකි. මෙවැනි සමාජ වටපිටාවන් මනුෂ්‍යයන්ගේ පුණ්‍ය ශක්තිය හීන කරවන බැවින්ද අලුත් පින් කර ගැනීමේ අවස්තාවන් අහුරාලන බැවින්ද මේ පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කර තම තමන්ගේ සන්තාන තුළ ඇති ද්වේශය යටපත් කරගෙන මෛත්‍රිය උපේක්ෂාව ආදි උතුම් ගුණධර්ම සිත්සතන් තුළ වර්ධනය කරගැනීමට හැකි වේවා. නැවත කල්පාන්තරයකට දුක් විඳීමට සිදුවන නොයෙක් අකුසල කර්මයන්ගෙන් වැළකීමට සිත් පහළ වේවා.

මිථ්‍යාදෘෂ්ටිය මාරයා විසින් අටවන ලද මාළු අල්ලන උගුලක් වැනිය. ඇතුලට යන්නට පහසු වුනත් එලියට එන්නට පහසු නොවේ. බොහෝ අකුසල් සඳහා හේතුවේ. බොහෝ දුක් ගෙනදීම පිණිස හේතුවේ. ඒ නිසා හැකිතාක් ධර්ම දානයද ලබාදෙමින් සත්වයන් මේ මර උගුල් වලින් ගලවා ගැනීමට කරුණා සිතින්ද උත්සාහ කරමු.