New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Zu01mG
ආනාපානාසති විදර්ශනාව

අපි මුලින් ම ඉගෙන ගන්න ඕන විදර්ශනා කියන වචනෙ තේරුම. විදර්ශනා කියන වචනෙ තියෙනවා තේරුම් කීපයක්. විශේෂ දර්ශනය – විශේෂයෙන් දැකීම මේ වගේ තේරුම් තමයි විදර්ශනාව කියන වචනෙ තියෙන්නේ. විදර්ශනාව කියන එකෙන් අදහස් කරන්නේ සාමාන්‍ය පෘථග්ජනයා ලෝකය දිහා බලන ක්‍රමයෙන් තොර ව ලෝකය දෙස බලන ආකාරය යි. සාමාන්‍ය මිනිස්සු ලෝකය දිහා බලන්නේ, වරදවා ගත්ත හඳුනා ගැනීමකින් යුක්තව යි. ඒ කියන්නේ ලෝකේ තියෙන අනිත්‍ය දේවල් දෙස පෘථග්ජන අය බලන්නේ නිත්‍ය යි කියන හැගීමෙන් යුතු ව. ලෝකේ තියෙන දුකට අයිති දේවල් දෙස පෘථග්ජන අය බලන්නේ සැපයට අයිති කියන හැගීමෙන් යුතුව. මේ ලෝකේ තියෙන තමන් කැමති විදිහට පවත්වන්න බැරි අනාත්ම දේවල් දෙස පෘථග්ජනයා බලන්නේ, තමන් කැමති විදියට පවත්වන්න පුළුවන් කියන හැගීමෙන් යුක්තවයි. මෙන්න මේක තමයි වරදවා ගත්තු හඳුනාගැනීම. මේ වරදවා ගත්තු හඳුනාගැනීම අතහැරලා නිවැරදි ආකාරයට විමසන්නට පුරුදු වීම තමයි විදර්ශනා කියන්නේ.

ඒ කියන්නෙ අනිත්‍ය දේවල් අනිත්‍ය වශයෙන් ම බැලීමට පුරුදු වීම. දුකට අයිති දේවල් දුකට අයිති දේවල් වශයෙන් ම බැලීමට පුරුදු වීම. තමා කැමති ලෙස පවත්වන්න බැරි, අනාත්ම දේවල් අනාත්ම දේවල් වශයෙන් ම බැලීමට පුරුදු වීම. අසුභ දේවල් අසුභ දේවල් වශයෙන් ම බැලීමට පුරුදු වීමයි.

දැන් අපි ආනාපාන සතිය මුල් කර ගෙන විදර්ශනා වඩන හැටි ඉගෙන ගනිමු. ආනාපාන සතිය මුල් කර ගෙන විදර්ශනාව වඩන්නේ හුස්ම රැල්ලේ තියෙන ඇත්ත තත්වය එහෙමත් නැත්නම් යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස යි. යථාර්ථය අවබෝධ කර ගන්න ආවට ගියාට බෑ. යථාර්ථය අවබෝධ කර ගන්න කැමති කෙනෙක් තමන්ගෙ හිත තුළ යම් කිසි සංසිඳිමක් මුලින් ම ඇති කර ගන්න ඕන. ඒ කියන්නේ ආනාපාන සතිය වඩලා එක්කො ධ්‍යාන මට්ටමට හිත දියුණු කර ගන්න ඕන. එහෙමත් නැත්නම් යම් පමණකට හෝ තමන්ගේ හිත තුළ සමාධියක් ඇති කර ගන්නට ඕන. සමාධියක් ඇති කර ගන්නවා කියන්නෙ බොහෝ වේලාවක් වෙනත් අරමුණකට හිත යන්න නොදී හුස්ම ගැනීමත්, හුස්ම හෙළීමත් තුළ සිහිය පිහිටුවන්නට හැකියාව තමා තුළ ඇති කරගැනීමයි.

ඒ හැකියාව ඇති කර ගත්ත කෙනා ඊළගට කළ යුතු දේ තමයි හුස්ම රැල්ලේ සමුදය-වය දෙක විමසන්න පුරුදු වීම. සමුදය කියලා කියන්නේ හට ගැනීම. වය කියලා කියන්නෙ වැනසීම. ඊළගට එයා හට ගැනීමත් වැනසීමත් දෙකම විමසන්නත් පුරුදු වෙන්න ඕන.

අපි හොඳට තේරුම් ගන්න ඕන හුස්ම රැල්ල කියන්නේ මොකක් ද? කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නල දීල තියෙනවා, හුස්ම රැල්ල තුළ පවතින ලක්ෂණ පහක්. හුස්ම රැල්ල කියන්නේ වායෝ ධාතුව ක්. ඒ කියන්නේ හමා යන ස්වභාවයෙන් යුතු දෙයක්. හමා යන ස්වභාවයෙන් යුතු මේ හුස්ම රැල්ල තුළ ලක්ෂණ පහක් දක්නට ලැඛෙනවා. පළවෙනි ලක්ෂණය තමයි හුස්ම රැල්ල පවතින්නේ තමා තුළ. ඒකට කියනවා අජ්ඣත්තං කියලා. ඊළගට හුස්ම රැල්ල කියන්නේ තමාගේ කියල සලකන තමාගේ කියල සම්මත දෙයක්. ඒකට පාලියෙන් කියන්නේ පච්චත්ත කියලා. ඊළගට හුස්ම රැල්ල සුළගක්, හමා ගෙන යන දෙයක්. ඒකට කියනවා වායෝ කියලා. ඊළගට හුස්ම රැල්ල කියන්නේ හමා ගෙන යන ස්වභාවයෙන් යුතු දෙයක්. වායෝ ගතං. පෘඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් තමයි හුස්ම රැල්ල සකස් වෙලා තියෙන්නෙ. ඒ කියන්නේ හුස්ම රැල්ල තුල තද ගතියෙන් යුතු ගොරෝසු ස්වභාවයෙන් යුතු ලක්ෂණ දකින්නට පුළුවන් ඒක පඨවි ධාතුව ඊළගට හුස්ම රැල්ල තුළ වැගිරිලා යන ස්වභාවයක් දැක ගන්නට පුළුවන්. ඒක ආපෝ ධාතුව. හුස්ම රැල්ල තුළ උෂ්ණත්වයක් පවතිනවා ඒක තේජෝ ධාතුව. ඊළගට හුස්ම රැල්ල හමා යන ස්වභාවයෙන් යුක්තයි. ඒක වායෝ ධාතුව. මේ කියන හතර ම සංයෝග වීමෙන් තමයි හුස්ම රැල්ලක් හට අරගෙන තියෙන්නෙ. මෙන්න මේ කියපු ලක්ෂණ පහ හුස්ම රැල්ල තුළ තියෙන බව ආනාපාන සති විදර්ශනාව වඩන්න කැමති කෙනා මුලින් ම තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් අරගෙන ඒ ලක්ෂණ ප්‍රකට වෙන විදිහට ඒ පිළිබඳ අවධානය යොමු කරලා ටික කාලයක් ඒ ලක්ෂණ තේරුම් ගන්න ගන්න මහන්සි ගන්නවා නම් එකත් බොහොම හොඳයි.

සිත සංසිඳුනාට පස්සේ එයා හුස්ම ගන්න කොට අනිත්‍යයි කියලා හිතන්න පුරුදු වෙන්ව. ඊළගට හුස්ම හෙළන කොට අනිත්‍යයි කියලා හිතන්න පුරුදු වෙනවා.
හුස්ම රැල්ල දෙස අවධානය යොමු කර ගෙනඉන්න කොට ඔබට තේරෙනවා හුස්ම රැල්ල පටන් ගන්න හැටි. ඊළගට හුස්ම රැල්ල නැතිවෙලා යන හැටි ඔබට තේරෙනවා. හුස්ම රැල්ලේ පටන් ගැනීමකුත් නැති වීමකුත් දකින්නට තියෙනවා. ඒක තමයි අනිත්‍ය බව කියලා කියන්නේ. අන්න ඒ පවතින අනිත්‍ය බවට හිත යොමු කරනවා. මුලින්ම ඒ අනිත්‍ය බවට හිත යොමු කරල ඒක හිතින් දකිමින් හුස්ම ගන්න කොට අනිත්‍යයි කියල හිතනවා. මේ විදිහට වෙන කිසිම දේකට හිත යා නොදී ආශ්වාස-ප්‍රශ්වාස අනිත්‍ය වශයෙන් බලමින් ඉන්න කොට සමාධි භාවනාවක් වඩපු කෙනෙක්ගෙ හිත සමාධි ගත වෙනවා වගේ හුස්ම රැල්ල අනිත්‍ය වශයෙන් දකිමින් ඉන්න කොටත් ඔහුගේ හිත සමාධි ගත වෙනවා. ඒ සමාධිගත වීම නිසා කයත් සැහැල්ලූ වෙලා සිතටත් මනසික සැපයක් දැනෙන්නට ගන්නව. මේ විදියට ආශ්වාස ප්‍රශ්වාස රැල්ල අනිත්‍ය වශයෙන් දකිමින් භාවනා කරල ඒ තුළින් ඇතිවන සමාධියට කියන්නෙ විදර්ශනා සමාධිය කියලා.

විදර්ශනා සමාධිය ඇති කර ගත්ත කෙනෙකුට හුස්ම රැල්ල ඇතිවන ආකාරයත් නැතිවෙන ආකාරයත් යම් පමණකට ප්‍රකට වෙන්න ගන්නවා. ඒකට කියන්නෙ සමුදය ධම්මානුපස්සී වා කායස්මිං විහරති හට ගැනීම තේරුම් ගනිමින් එයා කායානුපස්සනාව වඩනව. ඊළගට වය ධම්මානුපස්සී වා කායස්මිං විහරති හුස්ම රැල්ල නැති වී යන ආකාරය තේරුම් ගනිමින් එයා කායානුපස්සනාව වඩනව.

මේ විදිහට විදර්ශනා වඩන්න පුරුදු වෙච්ච කෙනාට ඒ විදර්ශනාව වැඩීම නිසා ලබා ගත හැකි ප්‍රතිඵල කීපයක් පිළිබඳව මහා සතිපට්ඨාන සුත්‍රයේ දී බුදුපියාණන් වහන්සේ පෙන්වල දෙනවා. අත‍ථී කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති ඔය කියපු විදිහට ආනාපානසතිය මුල් කරගෙන සමථ විදර්ශනා දෙක දියුණු කළොත් සතර මහා ධාතුන්ගෙන් හට ගත්ත ආශ්වාස ප්‍රශ්වාස නැමති කයක් තියෙනවා කියල එයාට සිහිය පිහිටන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හුස්ම රැල්ලේ යථාර්ථය අරමුණු කරගෙන එයාගෙ සිහිය පිහිටුවන්න පටන් ගන්නව. ඒ විදිහට සිහිට පිහිටුවීම අවබෝධ ඥාණය ඇතිවීම පිණිස උපකාර වෙනව. ඒ කියන්නේ චතුරාර්්‍ය සත්‍යය අවබෝධයට උපකාර වෙනව. අනාපාන සති විදර්ශනාව හොඳින් පුරුදු කළහම ආනාපාන සතිය තුළ මේ මොහොතේ පවතින අනිත්‍ය බව ප්‍රකට වෙන්න පටන් ගන්නව.

පූජ්‍යපාද
දොළොස්වල උදිතධීර ස්වාමීන් වහන්සේ

ශ්‍රී සම්බෝධි සගරාවේ පළවූ ලිපියකි