New at Little Bit


from Path to Nirvana https://ift.tt/2o1hx0F
කඳු වළල්ලකින්ද, ඇද හැලෙන සුනිල දිය දහරාවන්ගෙන් ද සමන්විත වූ සුන්දර ගම්මානයක මිතුරන් සිවු දෙනෙක් වාසය කළහ. ඔවුහු බ්‍රාහ්මණ පුත්‍රයෝය. කුඩා කල පටන්ම එකිනෙකාට ඉතා මිත්‍රශීලීව වාසය කළ එකට කා බී, එකට කෙළි සෙල්ලම්කොට, එකට ශිල්ප හැදෑරූ මේ මිතුරෝ තිදෙනෙක් සකල ශාස්ත්‍ර ඥානයෙන් පරිපුර්ණ වූහ. අවාසනාවකට වගේ සතර වැන්නාට කිසියම් වූ ශිල්පයක් ඉගෙන ගන්නට නොහැකි විය. නමුත් සිවු දෙනාගේ මිත්‍රත්වයට නම් එයින් බාධාවක් වුණේ නැත. දිනක් මිතුරෝ සිවු දෙනා එකට එකතු වී මෙසේ කතිකා කර ගත්හ.

“අපි බොහොම උගත් අය …නමුත් අපි අපේ උගත්කමින් නියම ප්‍රයෝජන ගන්නවාද?” “ඇත්තටම ඔව්. අපි නිකරුණේ කාලය ගත කරනවා. අපිට අපේ ශීල්පීය දැනුමෙන් මොනතරම් විස්මිත දේ කරන්න පුළුවන්ද? ඒත් මේ රටේ ඉඳගෙන නම් පලක් ඇති වැඩක් කරන්න ලැබෙන්නේ නැහැ.”

“මේ රටේ බැරිනම් අපි ඈත රටකට ගොහින් රාජ්‍ය සේවයට බැඳිලා ධනය උපයා ගනිමු. ඔව් අපි අද හෙටම පිටත් වෙමු.”

මෙසේ කතිකා කරගත් මිතුරෝ සිවුදෙනා ටික දිනකට පසු ඈත රටක් බලා යන්නට ගමන් ආරම්භ කළහ.

එසේ ටික දුරක් යන විට උගත් මිතුරන් තිදෙනාගෙන් එක් අයෙක් අනෙක් දෙදෙනාට රහසින් මෙසේ කීය.

“අපි හතරදෙනාගෙන් හතරවැන්නා බුද්ධිමත් තමයි. නමුත් ඔහු නූගතෙක්. කිසිම ශාස්ත්‍රයක් විද්‍යාවක් ඔහු හදාරලා නෑ. ඉතින් ඔහු කොහොමද රජුන් ළඟ සේවය කරන්නේ. අපට වෙන්නේ අපේ ඥානයෙන් උපයා ගන්නා ධනයෙන් කොටසක් ඔහුට දෙන්නයි. ඒ නිසා ඔහුව ආපසු ගමට අරිමු “.

ඒත් අනෙක් මිතුරන් දෙදෙනා සිය නූගත් මිතුරාට අනුකම්පා කළහ.

“කමක් නැහැ. ඔහු කුඩා කාලයේ ඉඳන්ම අපිත් එක්ක එකටයි හිටියෙ. ඒ නිසා ඔහුත් එක්ක යමු. අපි උපයන දෙයින් සුළුවෙන් යමක් ඔහුටත් දෙමු “

මෙසේ කතිකා කරගෙන ගමන් ඇරඹූ මිතුරන් සිවුදෙනා බොහෝ දුර ගෙවමින් පැමිණ සන්ධ්‍යා කාලය වෙද්දී මහ වනයකට පැමිණියහ.

“හප්පේ හරිම මහන්සියි. අඳුර වැටීගෙනත් එනවා. අද අපි ගමන ‍ෙමතනින් නතර කරලා රෑට නතර වෙන්න තැනක් පිළියෙල කරගමු “

“ඔව් ….ඔව්.ඔය ඕන තරම් රූස්ස ගස් තියෙන්නෙ.එයින් එකක් යට ශුද්ධ පවිත්‍ර කර ගමු”

මෙසේ කතා කොට රාත්‍රිය ගත කිරීම සඳහා සුවිසල් ගසක් යට පවිත්‍ර කරන අතරේ ගස මුල තිබූ ඇට කටු ගොඩක් ඔවුන්ට පෙනිණ.

“ඒයි මෙන්න ඇට කටු ගොඩක්, මට නම් දැනෙන හැටියට මේ සිංහයෙකුගෙ ඇටකටු. එහෙම නේද මිතුරනි.

අනෙක් මිතුරෝ හිස සලා එය අනුමත කළා. ඒ අතර එක් උගත් මිතුරෙක් කතා කළා. “ මිතුරනි මට කදිම අදහසක් පහළ වුණා. රජුන්ගෙන් සේවයට යන්නට කලින් මෙන්න අපේ දැනුම උරගා බලන්නට අවස්ථාවක්, අපි එයින් ප්‍රයෝජන ගමු. අපි මේ ඇට කටු ගොඩ අපේ ශාස්ත්‍රඥානයේ මහිමයෙන් සැබෑ සිංහයෙක් බවට පත් කරමු. අනෙක් උගත් මිතුරන් දෙදෙනා අත්පොළොසන් දී ඒ අදහස අනුමත කළත් නූගත් මිතුරා එයට අකමැති වුණා.

“මිත්‍රවරුන්, ටිකක් හිතන්න. මේ මහා වනයේ අපි ළඟම සිංහයෙක් ඇති වෙනවා කියන්නෙ මොන තරම් භයානක දෙයක්ද? ඇරත් අපි අතේ ආයුධයක්වත් නෑ. ඔය වැඩේ නම් කරන්න එපා අපි අපේ ගමන යමු.”

“මෝඩ කතා කියන්න එපා අප තිදෙනාගේ ශාස්ත්‍රඥානය පිළිබඳ නුඹ අගෞරව කරනවාද? නෑ යාළුවේ අපි මේ සිංහයාට පණ දෙනවාමයි.”

නූගත් මිතුරා නිහඬ වුණා. උගත් මිතුරන් තිදෙනා ඒ භයානක කාර්යය ආරම්භ කළා.

පළමුවැන්නා තම ශාස්ත්‍රඥානයෙන් ඇට කැබලි සියල්ල නිරීක්ෂණ කොට ඉතා සියුම් ලෙස සිංහ ඇට සැකිල්ලක් නිර්මාණය කළා. ඉන් පසු දෙවැන්නා තම ලත් සකල විද්‍යාවන් උපයෝගී කොට සිංහ ඇට සැකිල්ල සම්, මස්,ලේ, නහර , අතුනු බහන් ආදියෙන් පුරවා පෝෂණය කළා. දැන් ඒ විසල් රුක් සෙවණේ දැවැන්ත සිංහයෙකුගේ මළ සිරුරක් දර්ශනය වුණා. තුන්වැනි උගත් මිතුරා ඉදිරියට ආවා. “මිතුරනි, නුඹලා දෙදෙනාගේ ශිල්ප ඥානය ඉතා ශ්‍රේෂ්ඨයි. මුලින් තිබූ ඇට කටු ගොඩ දැන් සිංහයෙකුගේ මළ සිරුරක් බවට පත් වෙලා. දැන් මගේ වාරයයි. මගේ විද්‍යා දැනුමේ බල මහිම නුඹලාට දැන් බලා ගත හැකිවේවි.”

නූගත් මිතුරා ඒ අවස්ථාවේදීත් ඔහු වළකන්නට උත්සහ දැරුවා.

“එපා එපා…යාළුවේ ඒ මෝඩ වැඩේ නම් කරන්න එපා…නුඹලාට , මෙහි ඇති අනතුර ගැන වැටහීමක් නැත්තේ ඇයි?”

තුන්වැනි මිතුරා කෝපයට පත් වුණා. “ බයගුල්ලා , නුඹ කියන්නේ මට මගේ ශාස්ත්‍ර ඥානය පෙන්වන්න එපා කියලද, ඔය තරම් බය නම් ගසකට නැඟ ගනින්. මම මූට පණ දෙනවාමයි “

නූගත් මිතුරා කල්පනා කළා.

“මේ තුන්දෙනාට මෙහි ඇති බරපතළකම නොතේරෙන හැටි කමක් නෑ. ඒ අය කැමැත්තක් කර ගත්තාවෙ. කොහොම වුණත් මගේ බේරිල්ලට මං ගහකටවත් නැග ගන්නවා.” යාළුවේ එහෙනම් පොඩ්ඩක් ඉන්න මං මේ ගහට නගිනතුරු…”

නූගත් මිතුරා සුවිසල් ගසක මුදුන් අත්තටම නැග ගත්තා.

තුන් වෙනි උගත් මිතුරා තමා දත් සකල ශාස්ත්‍ර ඥානයන් එක්කොට මළ සිංහයාට ප්‍රාණ වායුව පිම්බා, වනය දෙදරවමින් ගර්ජනා කොට නැගිට ගත් ප්‍රාණය ලැබූ සිංහයා මිතුරන් තිදෙනාට හැරෙන්නටවත් ඉඩ නොතබා ඔවුන් මතට පැන මරා දැම්මා. බොහෝ කුස ගින්නේ සිටි සිංහයා මිතුරන් තිදෙනාගේ ශේෂයක්වත් ඉතිරි නොකොට ගිල දමා තෘප්තිමත් ලෙස තොල කට ලෙවකමින් ඈත වනයට ඇදී ගියා.

ගස උඩ සිට බියෙන් වෙවුලමින් මේ සියල්ල බලා සිටි නූගත් මිතුරා තැනට සුදුසු නුවණින් ක්‍රියා කොට ගසට නැග ගත් නිසා තමා බේරුණු අන්දමත්, අවිචාරයෙන් ක්‍රියා කොට තම මිතුරන් විපතට පත් වු අන්දමත් මෙනෙහි කරමින් ගසින් බැස ආපසු සිය ගම්මානය බලා යන්නට ගියා.

ආදර්ශය :-

කොතෙක් ශාස්ත්‍රඥානය ලැබූවත් වේද වේදාන්තයන්හි කෙළ පැමිණියත් බුද්ධි හීන වූවෝ උපද්‍රව වලට නිරතුරුවම ගොදුරු වෙති. පොත පත දැනුම නොලැබූවත් ස්ථානෝචිත ප්‍රඥාව ඇති තැනැත්තෝ බොහෝ උපද්‍රව වලින් ගැලවී ජිවත් වෙති.

පංචතන්ත්‍රය ඇසුරෙනි.