New at Little Bit


from Path to Nirvana https://ift.tt/2IxS2LL
පින්වතුනේ බුද්ධ,ධම්ම,සංඝ, කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි යම් කිසි කෙනෙක් සිතේ පැහැදීමක් ඇති කර ගත්තොත් ඒක කවදාවත්ම අපතේ යන්නේ නැහැ.ඒක කවදා හරි අපිට දුකෙන් මිදෙන්නට හේතු වෙනවා වෙනවාමයි. එහෙම කතාවක් තමයි අද ඔය ඇත්තන්ට කියවන්න ලැබෙන්නේ.බලන්න හරි ලස්සනයි ඒ වගේම හරිම පුදුමයි.

මේ සිද්ධිය ට සම්බන්ධ වෙන්නේ තිරිසන් සතෙක් ඒ කියන්නේ කිඹුලෙක්. පින්වතුනේ බුදු කෙනෙක් කියලා කියන්නේ ලෝකයේ පහළ වන ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේනේ. ඉතින් උන්වහන්සේ ගේ බුදු අසිරිය අච්චරයි මෙච්චරයි කියලා ප්‍රමාණයක් කිරීමට බැහැ. එනිසා උන්වහන්සේ ගැන පැහැදෙන්නේ දෙවි මිනිසුන් විතරක් නෙවෙයි සතුනුත් පහදිනවා.

ඔන්න දැන් අපි කල්ප අනූ හතරක් ඈත අතීතයකට යනවා. පින්වතුනේ ඒ කාලේ සිද්ධාර්ථ නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා සියදහස් ගණන් දෙව් මිනිසුන් සසර දුකෙන් එතෙර කරවමින් වැඩ සිටියා. මෝහාන්ධකාරයෙන් අඳුරු වෙලා තිබුණු ලෝකය ප්‍රඥාවෙන් ආලෝකමත් කරමින් වැඩ සිටියා.

ඉතින් ඒ කාලේ දවසක් දා චන්ද්‍රභාගා කියන ගඟ අද්දර ආශ්චර්යමත් සිදුවීමක් සිදුවෙමින් තිබුනා. ඒ තමයි ඒ ගඟේ ජීවත් වුනා විශාල කිඹුලෙක්. ඉතින් මේ කිඹුලා ගොදුරක් අල්ලගන්න හිතාගෙන ගඟ අයිනට ඇවිල්ලා බලාගෙන හිටියා. මේ වෙලාවේ දී අනන්ත ගුණ ඇති, කරුණා සාගර, අසමසම වූ,මහා වීර වූ, සිද්ධාර්ථ නම් වූ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ ගඟෙන් එතෙර වීමට ගඟ අද්දර ට වැඩියා. මේ කිඹුල්රාජයා බුදු සිරියෙන් බබලන්නා වූ බුදු රජාණන් වහන්සේව දැක්කා. දැන් කිඹුලට හරි පුදුමයි. මෙහෙම කෙනෙක් කලින් දැකලා නෑ. හරි වෙනස් වෙන මිනිස්සු වගේ කලබලකාරී චංචල ගතියක් නෑ. ශාන්ත ලස්සන පැහැපත් පෙනුම ඒ වගේම භය තැති ගැනීම කියන දේ ගෑවිලා වත් නෑ. හැබැයි අන් අයට පිහිට වෙන කරුණාවන්ත බව පේනවා. බලන්න පින්වතුනි සතෙක් උනත් පින කොච්චරද කියලා. අද කාලයේ ඉන්න සමහර මිනිසුන් ට වඩා මේ වගේ සතුන් වාසනාවන්තයි . මේ කිඹුලගෙ හිත පැහදුනා. බුදු රජාණන් වහන්සේට ගඟෙන් එතෙර වීමට උදව් කරන්න ඕනෑ කියලා හිතල බුදු රජාණන් වහන්සේ ළඟට ඇවිදින් බුදු රජාණන් වහන්සේට ආරාධනා කෙරුවා තමාගේ පිට උඩට නගින ලෙස. පින්වතුනේ කිඹුලා ආරාධනා කළ බව බුදු රජාණන් වහන්සේ පමණයි දන්නේ. හේතුව කිඹුලෙකුට අපිට වගේ කතා කරන්න බෑනේ. සතෙකුට අදාල පණිවිඩ හුවමාරු කරන ආකාරයට තමයි ආරාධනා කෙරුවේ. ඒක​ බුදු කෙනෙකුට තේරෙනවා. පින්වතුනි බුදු කෙනෙක් ලෝකයේ නොදන්න දෙයක් නෑ. සියල්ලම දන්නවා. ඒකනේ කියන්නේ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ කියලා. ඒ වගේම පින්වතුනි මෙතැනදී කිඹුලා විශේෂ දෙයක් කිව්වා. ඒ තමයි තමාට මේ ජලාශය පුරුදු තැනක් නිසා බොහොම හොඳින් උන්වහන්සේ ව එතෙර කරන්නම් කියලා.

දැන් බලන්න බුදු රජාණන් වහන්සේට ඕනෑ නම් ඉර්ධියෙන් වඩින්න පුලුවන් නමුත් කිඹුලා කෙරෙහි කරුණාවෙන් පිට උඩට ගොඩ වුණා. දැන් කිඹුලාට හරිම සතුටුයි ප්‍රීතියෙන් සිත පිනා ගිහින්. දැන් බුදු රජාණන් වහන්සේට කිඹුලා ගේ හිතේ සකස් වන පුණ්‍ය ශක්තිය පේනවා. කිඹුලා සැඩ පහර කපා ගෙන පිහිනාගෙන ගිහින් බුදු රජාණන් වහන්සේ ගඟින් එතෙර කෙරුවා. ඊටපස්සේ මේ කිඹුලා සිතේ ඇති කියා ගන්න බැරි සතුට නිසා බුදු රජාණන් වහන්සේ දිහා බලාගෙන හිටියා. දැන් පින්වතුනි බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් කිඹුලා සනසමින් කිඹුලාට කතා කොට වදාළා ” උඹ මේ පිට උඩ තියාගෙන ඇවිත් ගඟින් එතෙර කෙරුවේ සම්මා සම්බුදු රජාණන් වහන්සේවයි උඹ මින් මතුවට දෙව් ලොව උපදිනවා. කල්ප අනූ හතරක් දෙව් මිනිස් සැප විඳලා ගෞතම බුද්ධ ශාසනය තුල නිවන් දකිනවා කියලා දේශනා කොට වදාළා.

පින්වතුනේ බුදු රජාණන් වහන්සේ වදාළ පරිදි ඒ කිඹුලා සසරේ අනන්ත දෙව් මිනිස් සැප විඳලා අපේ බුදු රජාණන් වහන්සේගේ කාලයේදී දඹදිව බමුණු කුලයේ ඉපදිලා බුදු බණ අහල මහණ වෙලා උතුම් අරහත්වයට පත් වුණා ඒ තමයි මහා බලසම්පන්න “උත්තරීය” මහරහතන් වහන්සේ පින්වතුනි උන් වහන්සේ දවසක් සමාධියට සමවැදී බැලුවා තමන්ට රහත් වෙන්නට පෙර කරපු පින්කම මොකක්ද කියලා එතකොට තමයි දැක්කේ කල්ප අනූ හතරකට ඉහතදී කිඹුලෙක් වෙලා කරපු මේ පින්කම.

ඉතින් පින්වතුනේ අපිටත් ඒ වගේම පින්කම් මේ කාලයේ කරන්න බැරිද. පුලුවන්නේ. දැන් බලන්න අපේ පින්වතුන් පින්කම් වලදී කරඬුව වැඩම කරනවනේ හිස මත තබාගෙන ඉතින් ඒ වෙලාවට ඔය ඇත්තො කල්පනා කරන්න මං මේ බුදු රජාණන් වහන්සේ මගේ හිස මතින් වැඩම වන්නේ කියලා. එතකොට චේතනාවට අනුව පිං සිද්ධ වෙනවා. ඒක අපිටත් කවදා හරි නිවන් දකින්න හේතුවක් වෙනවා. ඉතින් මේ දේශනාව ඔබටත් ලස්සන පින්කම් කර නිවන් මග සුවසේම යන්නට හේතු වාසනා වේවා.තෙරුවන් සරණයි.