New at Little Bit


from Path to Nirvana https://ift.tt/32iitN9
අනුබුදු යන වටිනා නාමය ලද උතුමන්

මේ උතුම් නාමය මේ වනතෙක් භාවිතා කරේ ගෞතම බුද්ධ ශාසනයේ අති උත්තම රහතන්වහන්සේලා දෙනමක් පමණයි.
ඒ අති උතුම් රහතන්වහන්සේලා දෙනමගෙන් බොහෝ දෙනෙක් දන්නේ එක් රහතන්වහන්සේ නමක් ගැන පමණයි. මේ උතුමන් ගැන අපි පිලිවෙලින් කතා කරමු.
මේ නාමයට මුලින්ම පාත්‍ර වුයේ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෘතීය ශ්‍රාවක වූ, ධූතාංගදාරීන් අතරින් අග්‍රවූ, සතර මහා ථෙරවරුන්ගෙන් එක් උතුමෙක් වූ, ගෞතම බුදු සසුනේ ධර්මාධිකාරී තනතුරෙන්ද පිදුම් ලද ඒ අති උතුම් මහා කාශ්‍යප රහතන් වහන්සේ යී.
මේ නාමය බුදුන්වහන්සේ විසින් පිරිනමන ලදදක් නොව ඒ කාලයේ මිනිසුන් විසින් මේ උත්තමයන් වහන්සේගේ ගුණ සලකා කියන ලද්දක් බවයි මේ ගැන සොයා බැලීමේදී පෙනී ගියේ. මෙයට හේතූ වූ කරුණු බොහෝය. එකින් එක බලමු.
මෙසේ පැවසීමට මූලික කරුණක් වුණේ බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයේ පිහිටා තිබූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් මහා පුරුෂ ලක්‍ෂණ සතක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ශරීරයේ ද පිහිටා තිබීමයි. ඒ වගේම උන් වහන්සේ බුදුරදුන්ට වඩා අඟල් සතරක් උසින් අඩු බවත් ධර්ම ග්‍රන්ථයන්හි සඳහන්,
මේ කරුණු නිසා සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ හා මහා කාශ්‍යප මහ රහතන්වහන්සේව එකවර කෙනෙක්ට අදුරා ගැනීමට අපහසු වූ බව එක් කාන්තාවක් මහා කාශ්‍යප මහ රහතන්වහන්සේට දන් පිලිගැන්වීමට පුරුදු වී සිට එක් දිනක් මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ යැයි සිතා බුදුන්වහන්සේට දන් පිලිගන්නවා පසුව මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ පසුව වඩිනු දක නැවත බුදුන් වහන්සේගෙන් ඒ දානය ගෙන මහා කාශ්‍යප මහ රහතන්වහන්සේට පුජා කරපු කතා පුවතින් පැහැදිලි වේ.
මේ ආකාරයට මේ ගෞරව නාමයට උන් වහන්සේ සුදුසු වන්නේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ හා රූප ලක්ෂණ වලින් යම් තරමකට සමාන නිසා පමණක් නොව ගුණයෙන්ද උන්වහන්සේ මේ ගෞරව නාමයට ඉතාම සුදුස්සෙක් බව කීමට තව බොහෝ කරුණු තිබේ.
ඒ සඳහා උන්වහන්සේ ලබා තිබූ ධූතාංග අතරින් අග්‍රස්ථානය මේ ගුණ මහත්වය ඉතා හොදින් ප්‍රකට කරන්නක්.මුලිකවම මේ බුද්ධ ශාසනයේ ධූතාංග 13ක් දක්වා ඇත.
1)තේචීවරිකංගය.
2)පාංසුකූලිකංගය.
3)පිණ්ඩපාතිකංගය.
4)සපදානචාරිකංගය.
5)ඒකාසනිකංගය.
6)පත්ත-පිණ්ඩිකංගය.
7)ඛලූපච්ඡාභත්තිකංගය.
8)ආරඤ්ඤකංගය.
9)රුක්ඛමූලිකංගය.
10)අබ්භෝකාසිකංගය.
11)සෝසානිකංගය.
12)යථාසන්ථතිකංගය.
13)නේසජ්ජිකංගය.
ධූතාංග ගැන තව බොහෝ විස්තර දැනගැනීමට කැමති අය අති පූජණීය රේරුකානේ චන්දවිමල මහා ස්වාමීන්වහන්සේගේ ශාසනාවතරණය ග්‍රන්ථය කියවන්න.

https://pitaka.lk/books/rc/Shasanavatharanaya.htm…
මේ දූතාංග රැකීම යම් තරමක් අපහසු නමුත් රැකිය හැකි නම් ඉතා වටිනා අල්පේච්ඡතාදි ගුණ දියුණු කරගත හැකි වටිනා කුසල් ධර්මයන්‍, මෙහි මුලික ලෙස ස්වාමීන්වහන්සේලාට පමණක් රැකිය හැකි වුවත් ගිහියන් වූ අපටත් රැකිය හැකි ධූතාංග 2ක් තිබේ මේ ගැන විස්තර සඳහා අති පූජණීය රේරුකානේ චන්දවිමල මහා ස්වාමීන්වහන්සේගේ බෞද්ධයාගේ අත් පොත කියවන්න.

https://pitaka.lk/books/rc/Bauddhayage_Athpotha.htm…
මේ උතුම් මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ ගැන තවත් වැදගත් දෙයක් නම් උන්වහන්සේ පැවිදි බව ලැබූදා පටන් පිරිනිවන් පාන තුරුම උන් වහන්සේ ඇඳක පිට තැබුවේ නැති බවයි ධර්ම ග්‍රන්ථ වල සදහන් වන්නේ,මෙයට හේතුව මේ ධූතාංග රැකීමය.
මේ ආකාරයෙන් ගත්විට උතුම් මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ සතු වූ ගුණයන්ගේ මහත්වය කියා නිම කලහැක්කක් නොවේ.උන් වහන්සේ ගේ මේ උතුම් ගුණ නොයෙක් අවසථාවල දී බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රශංසාවට පවා ලක් විය. බුදුරදුන් භික්‍ෂු සංඝයාට නිතර වදාළේ මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ආදර්ශයට ගන්නා ලෙසයි.
තවත් සදහන් කරනවා නම් මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් බුදුරජාණන්වහන්සේ දැරූ පාංශකූල බුද්ධ චීවරය දැරූ එකම උතුමන් වහන්සේ මේ උතුම් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පමණි. මේ චීවර මාරු කරගන්නා අවස්ථාවේදී බුදුන් වහන්සේ මෙසේ වදාරා තිබේ.
‘‘මා විසින් මේ පාංශකූල චීවරය ගත් දිනයෙහි මහපොළොව සැලිණ. බුදුන් විසින් පරිභෝග කර දිරූ මේ චීවරය මඳ ගුණැතියකු විසින් පරිභෝග නොකළ හැකිය. මෙය පිළිගන්නට වටනේ පිළිවෙත් පිරිමට සමත් ජාති පාංශුකූලික භික්ෂුවක් විසින් ම යැ’ යි වදාරා
මහා කාශ්‍යප තෙරුන් වහන්සේ සමඟ සිවුරු මාරු කර ගැනීමේන්ම මේ උත්තම තෙරුන් වහන්සේගේ ගුණ කද තවත් විද්‍යාමාන වේ.
උන්වහන්සේ සතුව තිබූ තවත් වටිනා ගුණයක් නම් බොහෝ මනුෂ්‍යයන් හට
පින් කර ගැනීමට අවස්ථාවක් ලබා දීමයි.
මහා කශ්‍යප මහා තෙරුන්ට දන් පිදූ අසරණ දුගී මනුෂ්‍යයෝ බොහෝ දෙනෙක් මරණින් මතු සුගතියෙහි උපත ලැබූහ. ඇතැමුන්ට එහි යහපත් විපාක එම ආත්මභාවයේ දී ම ලැබුණි. මේ සියලු කරුණු නිසා මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ “දුප්පතුන් ගේ මුනිවරයා “ යනුවෙන් ද හඳුන්වනු ලැබේ.
මිනිසුන් පමණක් නොව බොහෝ දෙවියෝ ද උන් වහන්සේ පි‍්‍රය කළහ. උන් වහන්සේට ආදර ගෞරව දැක්වූහ. වරක් දෙවියන්ට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය විලාශයෙන් දන් පිදීමට ගිය හොත් මහ තෙරුන් දන් නොපිළිගන්නා නිසා තම බිරිඳ වූ සුජාතාව ද සමගින් හිඟන වෙස් ගෙන මහ තෙරුන්ට දිව්‍ය භෝජන පිදුවේය. මහා කාශ්‍යප තෙරුන් කෙරෙහි දේවතාවන් කෙතරම් සැලකිල්ලක් දැක්වූවා දැ’යි කිව හොත් උන් වහන්සේ වඩින තුරු බුදුරජුන් ගේ චිතකයට ගිනි දැල්වීමට පවා දේවතාවෝ ඉඩ නුදුන්හ.
බුදුරදුන් පිරිනිවන් පෑ පසුව පළමු ධර්ම සංගායනාව පවත්වා විසිරී තිබූ ධර්ම විනය එක්තැන් කොට ත්‍රිපිටකය සකස් කිරීමට මුල් වී ක්‍රියා කළේ ද මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ යි. උන් වහන්සේ වැඩ නොසිටියා නම් අද අපට පාලි ත්‍රිපිටකයක් නැත. සුත්‍ර පිටකයේ සංයුත්ත නිකාය භාරව කටයුතු කළේ මහා කාශ්‍යප මහ තෙරුන් ප්‍රධාන උන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසයි.
තවද සර්වඥයන් වහන්සේ ගේ ලලාට ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවීමට අවශ්‍ය කරන මූලික කටයුතු සම්පාදනය කළේ ද මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ යි.
මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ පිරිනිවන් පෑවේ එකසිය විසිවැනි වියේ දී ය. උන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය උතුරු ඉන්දියාවේ “කුක්කුටසම්පාත” (කුක්කුටපාද) පර්වතය තුළ තවමත් සුරක්ෂිතව පවතී. මේ බව “සම්පිණ්ඩිතමහානිදාන” නමැති දුර්ලභ පාලි ග්‍රන්ථයේ මෙන්ම ෆාහියන් ගේ දේශාටන වාර්තාවේ ත් හියුං සියං භ්‍රමණවෘත්තාන්තයේ පැහැදිලි ව සඳහන් වේ.
මේ ආකාරයෙන් බලනවිට මේ අති උතුම් මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ අනුබුදු යන ගෞරව නාමයට ඉතාම සුදුස්සෙක් බව හොදින් ප්‍රත්‍යක්ෂ වේ.
මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ හැරුනු විට අනුබුදු යන ගෞරව නාමය ලැබීමට සුදුසු අනිත් උතුම් රහතන්වහන්සේ නම් මිහිඳු මහ රහතන්වහන්සේයී.
උන්වහන්සේ ගැන බොහෝ දෙනා දන්නා නමුත් ඒ ගැනත් යමක් සටහන් කිරීම මේ උත්තම නාමය දැරීමට උන්වහන්සේත් සුදුසු බව ප්‍රකට කරවීමක් බැවින් ඒ සම්බන්දව කරුණු ටිකක් විමසා බලමු.
අප සැමදෙනා දන්නා පරිදි මිහිඳු මහරහතන් වහන්සේගේ පියා ධර්මාශෝක මහ රජතුමයි. උන් වහන්සේගේ මව ලෙස සඳහන් වන්නේ විදිසා සිටු දේවියයි. මේ යුවලට උප්පේනී හා මිහිඳු ලෙස පිරිමි දරුවන් දෙදෙනෙක් හා සංඝමිත්තා ලෙස එක් ගැහැණු දරුවෙක් සිටි බව භාරත ඉතිහාසයේ සඳහන් වුවත් අපේ මහාවංශයේ 13 වැනි පරිච්ඡේදයේ සඳහන් කර ඇත්තේ අශෝක රජුට මිහිඳු කුමරු සහ සංඝමිත්තා කුමරිය යනුවෙන් දරුවන් දෙදෙනෙකු පමණක් සිටි බවකි. එය මේ කතාවට අදාළ නොවෙන බැවින් වැඩි විස්තර සටහන් නොකරමි.
මේ මිහිඳු කුමරු මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ගේ උපාධ්‍යයත්වයෙන් හා මහාදේව මහරහතන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් බුදු සසුනේ පැවිදි වන්නේ වයස අවුරුදු විස්ස සම්පුර්ණව සිටින විටය. මිහිඳු හිමියෝ පැවිදි වූ දින යේ ම සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වීමම උන් වහන්සේගේ මහා උත්තම ගුණය ප්‍රකට කරන්නකි.
ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පූර්ණ උපදෙස් පරිදි මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සම්බුද්ධ ධර්මය ලෝකයටම බෙදා දිය යුතු යැයි කථිකා කොටගෙන දේශ දේශාන්තර නමයකට ව්‍යක්ත, විනීත, විශාරද බහුශ්‍රැත ධර්මධර විනයධර, සුපේෂල , ශික්ෂාකාමී සෘද්ධිබල සහිත මහරහතන් වහන්සේලා ආසියානු රටවල් නවයකට පිටත් කර හැරීමට තීරණය කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ධර්ම ප්‍රචාරණය භාර වූ මිහිඳු මාහිමියෝ ලංකද්වීපයෙහි ඊට සුදුසු කාලය එළඹ ඇත්දැයි විමසා බැලූහ.
නමුත් එවක ලංකාවේ සිංහාසනාරූඪව සිටියේ මුටසීව රජතුමාය. ඔහු මහලු රජෙකි. එබැවින් මිහිඳු මාහිමියෝ එම කාලය ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමට නුසුදුසු කාලයක් ලෙස සැලකූහ. මහලු රජ කෙනෙකුගේ අනුග්‍රහය ලබමින් ලක්දිව සම්බුදු සසුන පිහිටුවීම අසීරු කරුණක් ලෙස කල්පනා කළ උන්වහන්සේ මුටසීව රජතුමාගේ ඇවෑමෙන් පුත් දේවානම්පියතිස්ස රාජාභිෂේකය ලබන තුරු බලා සිටියහ. මෙය මිහිඳු මා හිමියන්ගේ සමාජ විද්‍යාත්මක හා තර්කානුකූල ක්‍රියාවක් බව පැහැදිලිය. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ විශිෂ්ට ධර්ම දූතයාණන් වහන්සේ නමක්‌ පමණක්‌ නොව සැලසුම් සහගත බවේ ප්‍රතිමූර්තියක්‌ ලෙස හැඳින්වීම සර්ව සාධාරණය. උන්වහන්සේ තුළ පැවතියා වූ මෙම සැලසුම් සහගතභාවය ශ්‍රේෂ්ඨ ධර්මදූත මෙහෙවරට මහත් පිටිවහලක්‌ වූ බව නිසැකය.
මුටසීව රජුගේ ඇවෑමෙන් බුදු වසින් 236 වැන්නෙහි දෙවැනි තිස්සකුමරා රජ විය. හෙතෙමේ රජ වී නොබෝ දිනකින් කුඩා කළ සිටම තමාගේ අදෘෂ්ට මිත්‍ර ව සිටි දඹදිව දම්සෝ නිරිඳුන් වෙත අගනා මුතු මැණික් පඬුරු රාජ දූතයන් අත යැවී ය. එයට පිළිපඬුරු වශයෙන් ධර්මාශෝක රජතුමා අභිෂේකයට අවශ්‍ය ඉතා වටිනා උපකරණ එවී ය. තමන් බෞද්ධෝපාසකව ඉන්නා බවත් තම මිතුරාත් තුනුරුවන් සරණ ගියොත් යහපත් බවත් දහම් පඬුරක් වශයෙන් කියා එවී ය.
නොබෝ කලකින් මිහිඳු මහ රහතන් වහන්සේත් ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සිවු නමත් ෂඩ් අභිඥලාභී සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක නම් අනාගාමී රාජ උපාසකයාත් යන රාජකීය ධර්මදූත පිරිස සමඟ දඹදිව ;ව්දිස ගිරි නුවරින් ලක්දිව අනුරාධපුර මිස්සක පවුවට වැඩම කළහ.
මිස්සක පව්ව මත වැඩ සිටි මිහිඳු හිමියන් ඇතුළු දූත පිරිස අමතා සිටියහ.මෙය සවන් වැකුණු රජු වහා සිය දඩයම නවතා තොරතුරු විමසූ කල්හි මිහිඳු හිමි මෙසේ වදාරා සිටි සේක.

“සමණාමයං මහාරාජ
ධම්මරාජස්‌ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා”
මිහිඳු හිමියන් රජතුමා ඇමතීමත් සමග ඉක්මන් සුහදතාවක් ගොඩනගා ගැනීමට ඒ තොරතුරු හේතු වූවාට සැක නැත. ඇතිවූ සුහද සාකච්ඡාවෙන් අනතුරුව ධර්මය වටහා ගැනීමට රජතුමාට ශක්තියක් ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා අඹ ගස් සහ ඥාතීන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්ණ මාලාව ද ඉතා වැදගත්ය.
මේ ආකාරයට පෑතිස් රජුන් ධර්මාවබෝධය සඳහා සුදුසු තත්වයක සිටින බව වටහා ගත් මිහිඳු හිමියන් සැබවින්ම භෞතික වශයෙන් රටක්‌ දියුණු කිරීමට පළමුව රජු ඇතුළු පිරිස ආධ්‍යාත්මික වශයෙන් හැඩ ගස්‌වා ගැනීම මූලික පියවර වන්නේ යැයි සිතා ඔවුන් තෙරුවන් සරණ ගන්වා පංචශීලයෙහි පිහිටුවූහ.
අනතුරුව “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කළ සේක. මෙය තවත් වැදගත්කමකින් යුක්තය. එනම්, චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ දේශනාව ද වීමයි. ඉන් අවසානයේදී මෙයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය ද මිහිඳු හිමියන් විසින්ම දේශනා කළ සේක.
ප්‍රථමයෙන් මෙරට මිස්සක පව්වට වැඩම කළ මිහිඳු හිමියන් ඉන් පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වී අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් “දේව දූත” සූත්‍රය ද දේශනා කළහ. එහිදී 1000ක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් අනතුරුව රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් තවත් කාන්තාවන් දහසක් සෝවාන් විය. මේ ආකාරයට අවසානය වන විට 2500කට අධික පිරිසක් මිහිඳු මාහිමියන්ගේ ධර්ම දේශනාවන් මත පිහිටා මාර්ගඵල ලබා ගැනීමට සමත් විය.
තෙවන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට ”ආසීවසෝපම සූත්‍රය”ද, හතර වන දිනයේදී ”අනමතග්ගිය සංයුක්තිය” ද දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා ධර්මාවබෝධය ලැබීය. පස්වන දිනයේදී දේශනා කරන ලද්දේ ”ධම්ම චක්ක පවත්තන සූත්‍රය” යි. මෙලෙස දින හතක් තුළදී 8500කට අධික ශ්‍රාවක පිරිසක් මාර්ගඵල අවබෝධය ලැබීය.
මේ ආකාරයෙන් මිහිඳු මහා රහතන් වහන්සේ මෙරටට ධර්මයේ සිසිලස ලබා දීමම උන් වහන්සේව මේ උත්තම අනුබුදු යන ගෞරව නාමයෙන් හැදින්වීමට ප්‍රමාණවත්ය. අද අප සියලු දෙනාම ධර්මයෙන් යම් සැනසීමක් ලබන්නේද උන් වහන්සේ නිසාවෙනි. ඒ නිසා මේ අනුබුදු යන ගෞරව නාමය උන් වහන්සේටත් ඉතා ගෞරවයෙන් ලබා දිය හැකිය.
මේ සඳහන් කල උත්තම චරිත 2 ඇරෙන්නට වෙන කිසිම කෙනෙක්ට මේ ගෞරව නාමයෙන් ඇමතිය හැකිදැයි හොදින් සිතා බැලිය යුතුය. එසේ කෙනෙක් කරනවා නම් ඒ මේ ඉතිහාසය හා මේ උත්තම චරිත ගැන නොදන්නා මේ ධර්මය විකෘති කරන හිස් මෝඩයන් පිරිසක් පමණි.
අවසාන වශයෙන් මේ පිරිසට කීමට ඇත්තේ හැකි නම් නුවනින් විමසා බලා මේ උත්තම මහා කාශ්‍යප මහරහතන් වහන්සේට හා මිහිඳු මහරහතන් වහන්සේට කරන මේ අගෞරවය මහා නිග්‍රහය නවත්වා මේ මහා පාප කර්මයෙන් ඔවුනුත් අත්මිදෙන ලෙසයි.
තෙරුවන් සරණයි…!

තොරතුරු හා උපුටාගැනීම් ලබාගත් ග්‍රන්ථ හා ලිපි :-
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ
සූවිසි මහ ගුණය-https://ift.tt/31iXCIl
ශාසනාවතරණය-https://ift.tt/2MJdeQ3
බෞද්ධයාගේ අත්පොත-https://ift.tt/331WUkS
අනෙකුත් ලිපි-
https://ift.tt/2pq6WwY
http://www.budusarana.lk/budusarana/2017/…/19/PrintPage.asp…
https://sinhala.dgi.gov.lk/…/featu…/2148-2017-06-09-09-28-33
https://ift.tt/31iXDMp
http://www.lankadeepa.lk/…/%E0%B6%B8%E0%B7%92%E0%B…/2-141898
http://www.budusarana.lk/budusarana/2010/06/25/tmp.asp…
https://www.facebook.com/…/a.329440167129…/496308727109468/…
මේ ලිපිය සකස් කල සහ
සකස් කරන උපකාරකලාව
සියලුම දෙනාට සැබෑ අනුබුදු මහා කාශ්‍යප මහාකාශ්‍යප මහරහතන් වහන්සේට මෙන් සසර පුරාම ප්‍රතිපත්තියේ අග්‍රවූ උත්තම වූ ජීවිතයක්ම ලැබේවා