New at Little Bit


from Path to Nirvana https://ift.tt/2pwRm2t
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස..!!!

ගමනේන න පත්තබ්බෝ – ලෝකස්සන්තෝ කුදාචනං

නච අප්පත්‍වා ලෝකන්තං – දුක්‍ඛා අත්‍ථි පමෝචනං

තස්මා හවේ ලෝකවිදූ සුමේධෝ – ලෝකන්තගූ වුසිතබ්‍රහ්මචරියෝ

ලෝකස්ස අන්තං සමිතාවි ඤත්‍වා – නාසිංසති ලෝකමිමං පරඤ්චාති

පාගමනින් කිසි කලෙකත් ලොව කෙළවරකට පැමිණිය නොහැක්කේය. ලොව කෙළවරට නොපැමිණ දුකින් මිදීමකුත් නැත. එහෙයින් ලොව දන්නා, මහ නුවණැති ලොව කෙළවරට ගිය වැස නිමවූ බඹසර ඇති පව් සංසිඳ වූ පුද්ගල තෙමේ ලොව කෙළවර දැන මෙලොව ද පරලොව ද නොපතයි. (රොහිතස්ස සූත්‍රය)

තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේ ‘ලෝකවිදූ’ නම් වන සේක. ‘සබ්බථාපි විදිතලෝකත්තා පන ලෝකවිදූ’ යනුවෙන් විශුද්ධිමාර්ගයේ ලෝකවිදූ ගුණය නිර්වචනය කෙරේ. එහි අදහස වන්නේ සර්වප්‍රකාරයෙන් දන්නා ලද ලෝක ඇති හෙයින් බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන බවයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකය, ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා සේක. එහෙයින් ලෝකවිදූ නම් වන සේක.

ලෝකය යැයි කී විට බොහෝ විට අපගේ සිහියට නැඟෙන්නේ අප ජීවත් වන පෘථිවි ලෝකය පමණක් වේ. එහෙත් ලෝකය යන්න ඊට වඩා පුළුල් අර්ථයක් ඇති දෙයකි. ඒ පිළිබඳ සාමාන්‍ය ජනයාට ඇත්තේ ඉතා අඩු අවබෝධයකි. සෑම සත්වයෙක් ම ලෝකයට අයත් වන අතර ලෝකයේ කොටසක් වේ. එහෙත් සත්වයෝ ලෝකය ගැන හෝ තමන් ගැන නොදනිති. බුදුරජාණන් වහන්සේ ඒ ලෝකය සියල්ලෙන් සියල්ල අවබෝධ කළ සේක. සියල්ල අවබෝධ කරගත් බැවින් බුදුරජාණන් වහන්සේට ‘සර්වඥ’ යැයි කියනු ලැබේ. ලෝකයේ සියලු අවබෝධ කළයුතු දේ සර්වාකාරයෙන් වෙනත් කෙනෙකුගේ උපකාරයකින් තොරව අවබෝධ කළ බැවින් ‘සම්මාසම්බුද්ධ’ යැයි හැඳින්වේ. ලෝකවිදූ ගුණයේ දී බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දේ ලෙස දැක්විය හැක්කේ ද මේ සියලු ලෝකයට අයත් දේම වේ. එහෙත් ගුණ වශයෙන් බුදුරජාණන් වහන්සේව හඳුනාගැනීමේ දී ලෝකය පිළිබඳ අපට අවබෝධ කරගත නොහැකි දේ අවබෝධ කරගත් අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ ‘ලෝකවිදූ’ යැයි ද හැඳින්වේ.

බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණයේ දී උන්වහන්සේ අවබෝධ කරගත් ලෝකය යන්නෙන් ලෝක තුනක් අදහස් වේ. එනම්, සංස්කාර ලෝකය, සත්වලෝකය සහ අවකාශ ලෝකය වශයෙනි.

සංස්කාර ලෝකය : සත්ව වූ ද සත්ව නොවූ ද (ඉන්‍ද්‍රියබද්ධ වූ ද අනින්‍ද්‍රියබද්ධ වූ ද) සියල්ල සංස්කාර ලෝකය නම් වේ.

සත්වලෝකය : ඉන්‍ද්‍රියබද්ධ වූ සියලුම ස්කන්‍ධ සමූහය හෙවත් සියලුම සත්ව සමූහය සත්වලෝකය නම් වේ.

අවකාශලෝකය : සත්වයන් නොවූ සියලුම ගස්වැල්, මහපොළව ආදිය අවකාශ ලෝකය නම් වේ.

මේ අනුව ලෝකය යන්නට සියලූම සත්වයන් ද, සත්ව නොවූ සියලු දේ ද අයත් වේ. මෙයට නාමරූප දෙක, පඤ්චස්කන්‍ධය, සප්ත විඥානස්ථිති, අෂටලෝකධර්ම, නව සත්තාවාස, දොළොස් ආයතන, අටළොස් ධාතු යනාදි සෑම ආකාරයකින් ම දක්වනු ලබන සියල්ල අයත් වේ. මෙයට අයත් දේ මෙසේ දැක්විය හැකි වේ.

මේ එක් ලෝකධාතුවක හෙවත් එක් සක්වළක ඇතුළත් භූමි තිස් එකක් (31) සඳහන් වේ. එනම් සතර අපාය (4) ය, මනුෂ්‍යලෝකය (1) ය, දිව්‍යලෝක සය (6) ය, රූපාවචර බ්‍රහ්මලෝක දහසය (16) ය, අරූපාවචර බ්‍රහ්මලෝක සතර (4) ය යන මේ තිස්එක් තලය යි. මේ තිස්එක් තලය එක් හිරකින් හා සඳකින් ආලෝකමත් වන බව ධර්මයේ සඳහන් වේ. එසේ එක් හිරකින් හා සඳකින් ආලෝකමත් වන ප්‍රදේශය ලෝකධාතුවක් හෙවත් සක්වළක් ලෙස හැඳින්වේ. එබඳු සක්වළ දහසක් සහශ්‍රී ලෝකධාතුව නම් වේ. එහි හිරු දහසක්, සඳු දහසක්, මහමෙර දහසක් යනාදි ලෙස සියල්ල දහස් ගුණය බැගින් වේ. මෙය සහශ්‍රී චූළනිකා ලොකධාතුව ලෙස ද හැඳින්වේ. සහශ්‍රී චූළනිකා ලෝකධාතු දහසක් ද්විසහශ්‍රී මජ්ක්‍ධිමිකා ලෝකධාතුව ලෙස හැඳින්වේ. ඒ අනුව මෙහි සක්වළ දශලක්‍ෂයකි. එබඳු ද්විසහශ්‍රී මජ්ක්‍ධිමිකා ලෝකධාතු දහසක් තිසහශ්‍රී ලෝකධාතුව නම් වේ. මෙය මහාසහශ්‍රී ලෝකධාතුව නමින් ද හැඳින්වේ. මෙයට කෝටිලක්‍ෂයක් සක්වළ අයත් වේ.

අංගුත්තරනිකාය අට්ඨකථාව දක්වන අන්දමට ශ්‍රාවකයන්ට විෂය වන්නේ සහශ්‍රී ලෝකධාතුවයි. ද්විසහශ්‍රී මජ්ක්‍ධිමිකා ලෝකධාතුව තථාගතයන් වහන්සේලාගේ ජාතික්‍ෂේත්‍රය යි. එනම් බෝසතාණන් වහන්සේගේ ප්‍රතිසන්‍ධිය, උපත, අභිනිෂ්ක්‍රමණය, බුද්ධත්වය, ධර්මචක්‍ර පැවැත්වීම, ආයුසංස්කාර වොස්සජනය, පිරිනිවන් පෑම යන අවස්ථාවන්හි මෙපමණ ප්‍රදේශයක් කම්පා වේ. තිසහශ්‍රී ලෝකධාතුව තථාගතයන් වහන්සේලාගේ ආඥාක්‍ෂේත්‍රය යි. එපමණක් ප්‍රදේශය බුදුරජාණන් වහන්සේගේ අණ පවතී. ඒ නිසා ආටානාටිය සූත්‍රය, ඉසිගිලි සූත්‍රය, ධජග්ග සූත්‍රය, බොජ්ඣඩ්ග පිරිත, ඛන්‍ධපිරිත, මෝරපිරිත, මෙත්තපිරිත, රතනසූත්‍රය යන පිරිත් වල බලය මෙම තිසහශ්‍රී ලෝකධාතුව දක්වා පවතින බව සඳහන් වේ. ඉන් ඔබ්බෙහි සියලු සක්වළ තථාගතයන් වහන්සේලාගේ විෂයක්‍ෂේත්‍රය යි. එහි සීමාවක් නැත. තථාගතයන් වහන්සේලාට සියලු සක්වළට තමන්වහන්සේගේ ආලෝකය පැතිරවිය හැකි වේ. සියලු සක්වළ වැසි සත්වයන්ට ඇසෙන සේ ධර්මය දේශනා කළහැකි වේ. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අවබෝධ කළ බැවින් ලොකවිදූ නම් වන සේක.

ලෝකය කෙළවරක් නොපෙනෙන සීමා රහිත වූවකි. වරක් රෝහිතස්ස නම් දිව්‍යපුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ කියා සිටියේ පෙර ආත්මභාවයක රොහිතස්ස නමින් මහත් ඍද්ධි ඇති තවුසෙක්ව හිඳ තමන් ලෝකයේ කෙළවර සොයා ගිය බවයි. ඔහුගේ ඍද්ධි බලපරාක්‍රමය අනුව පෙරදිග මුහුදේ එක් පාදයක් තබා අනෙක් පාදය අපරදිග මුහුදේ තබා ගමන් කළ හැකි විය. එසේ එකිනෙක ලෝකයෙන් ලෝකයට පා තබමින් ගොස් ලොව කෙළවරට පැමිණිමේ අදහසින් වසර සියයක් වූ ආයුෂය පුරාවට කෑමබීමාදි අත්‍යවශ්‍ය කටයුතු කරන වේලාව හැර අඛණ්ඩව ගියේ ය. එහෙත් ලෝකයේ කෙළවරට නොපැමිණි බවත්, අතර මඟ දී කලුරිය කළ බවත් ඒ දිව්‍යපුත්‍රයා බුදුරජාණන් වහන්සේට පවසා සිටියේ ය.

මෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ ලෝකය පාගමනින් ගොස් කෙළවර කළ නොහැකි බවයි. එසේම ලෝකයේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම ද කළ නොහැකි බවයි. එසේ දුක් කෙළවර කිරීම පිණිස කෙළවරට පැමිණිය යුතු ලෝකය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ මේ බඹයක් පමණ වූ සිරුරයි.

‘අපිචාහං ආවුසෝ ඉමස්මිඤ්ඤේව බ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤාපේම ලෝකසමුදයඤ්ච ලෝකනිරෝධඤ්ච ලෝකනිරෝධගාමිනිඤ්ච පටිපදං’

ඇවැත්නි, එතකුදු වුවත් මම සංඥා සහිත, සිත් සහිත, බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝකසමුදයත්, ලෝකනිරෝධයත්, ලොකනිරෝධගාමිනි පටිපදාවත් පණවමි. මෙසේ සත්වයන් විසින් තවමත් අවබෝධ කර නොගත් බැවින් නිවන් නොදුටු ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සර්වප්‍රකාරයෙන් ම අවබෝධ කරගත් බැවින් බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක. ඒ ලෝකය පිළිබඳව තමන්ට නිසි අවබෝධයක් නොමැති නිසාවෙන් ම මිනිසුන් නොයෙක් වැරදි අදහස් ඇති කරගනිති. එසේම තමන්ට අවබෝධ කරගත නොහැකි අසීමාන්තික ලෝකය පිළිබඳ නොයෙක් විද්‍යාත්මක පරීක්‍ෂණ සිදු කරමින් මස් ඇසට පෙනෙන දේ පමණක්ම ලෝකය යැයි වරදවා ගනිති. එහෙත් මස් ඇසට නොපෙනෙන බොහෝ දේ පවතින බව නුවණින් තේරුම් කරගත යුතු වේ.

උදාහරණයක් ලෙස වේගයෙන් කැරකෙන විදුලිපංකාවක පෙති ඇසට නොපෙනෙන තරමට වේගවත් වූ විටක එතැන කිසිවක් නැත යැයි අදහසක් ඇති කර ගත හොත් එය මිථ්‍යාවකි. එය නුවණින් තේරුම් ගතයුතු වේ. එබැවින් ඇසට නොපෙනෙන, නුවණින් තේරුම් ගතයුතු ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොයෙක් දේශනාවන්හි දේශනා කරන ලද දේ පිළිබඳ පරීක්‍ෂණ සිදු කිරීමට උත්සහවත් වීම නිෂ්ඵල දෙයකි. එය පරීක්‍ෂණයකින් හෝ අවබෝධ කරගැනීමට තරම් තමන්ගේ නුවණ දියුණු වී නැති බව තේරුම් ගතයුතු වේ. එහෙත් ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරන ලද ලෝකය පිළිබඳ ඒ බුද්ධ දේශනය අනුව විස්තර දැනගැනීම ලෝකයේ ඇති විසිතුරු බව, එය සිතීමෙන් හෝ තර්කයෙන් තේරුම් ගැනීම අපහසු බව, නුවණින් අවබෝධ කරගතයුතු බව වටහා ගැනීමට වැදගත් වේ. එබැවින් ඒ ලෝකය පිළිබඳ බුද්ධ දේශනයන්හි එන තොරතුරු අර්ථකථා ටීකානුසාරයෙන් අපගේ ශක්ති පමණින් මෙසේ දක්වන්නෙමු.

– මහාවිහාරය –

ආශ්‍රිත ග්‍රන්‍ථ

විශුද්ධිමාර්ගය

අර්ථකතා, ටීකා සහිත ත්‍රිපිටක ග්‍රන්‍ථ

අභිධර්ම මාර්ගය – රේරුකානේ චන්‍දවිමල මාහිමි

සූවිසි මහ ගුණය – රේරුකානේ චන්‍දවිමල මාහිමි

චතුරාර්ය සත්‍යය – රේරුකානේ චන්‍දවිමල මාහිමි

අභිධර්ම චන්‍ද්‍රිකාව – මාතර ශ්‍රී ධම්මවංශ මාහිමි

අභිධර්ම ප්‍රකාශය – ආභිධම්මික දොඩම්පහළ කවිධජ මාහිමි