New at Little Bit


from Path to Nirvana https://ift.tt/2BGHYfk
ලෝකයේ අන්තර්ගතය

ලෝකය යන්නට ඇතුළත් දෙය කෙටියෙන්ම කිවහොත් නාම-රූප දෙක පමණකි. එය ස්කන්‍ධාදි වශයෙන් තවත් විස්තර කළහැකි වේ. ඒ සියල්ල ඇතුළත් භූමි වශයෙන් භූමි තිස් එකක් (31) ඇති බව ඉහත දක්වන ලදී. ඒ සියල්ලේම සත්වයන්ගේ උත්පත්තිය කර්මානුරූපව සිදු වන බැවින් පළමුව ඒ උත්පත්ති ක්‍රමය පිළිබඳ දක්වනු ලැබේ.

සත්වයන්ගේ ච්‍යුති-උත්පත්ති ක්‍රමය

අවිද්‍යාව සහ තෘෂ්ණාව සහමුලින්ම නසන ලද රහතන් වහන්සේලා හැර සෙසු සියල්ලෝම මරණින් මතු යළි උත්පත්තිය ලබති. ඒ උත්පත්ති ස්වකීය කර්මානුරූපව සිදුවේ. ඒ ජීවිතයේම හෝ පෙර ජීවිතයක කරන ලද කුසලාකුසල කර්මයක විපාකයක් වශයෙන් සුගති, දුගති ලෝකවල සත්වයන්ගේ උත්පත්තිය සිදු වේ. මේ අනුව මරණින් මතු සත්වයන්ගේ උත්පත්තිය දෙයාකාරයකට සිදු වේ.

සුගතිගාමී උත්පත්ති – මනුෂ්‍ය ලෝකය, දිව්‍යලෝක සය (6) සහ බඹලොව උත්පත්තිය යන මේවා සුගතිගාමී උත්පත්ති වේ. සුගති උත්පත්තියක් සිදු වන්නේ කුසල සිතක විපාකයක් වශයෙන්ම වේ. එබැවින් මිනිස් ලොව හෝ කවරාකාරයේ උපතක් හෝ සකස් වන්නේ කුසල විපාකයකින්ම බව සිහි තබාගත යුතු වේ.

දුගතිගාමී උත්පත්ති – සතර අපාය උත්පත්ති දුගතිගාමී වේ. දුගති උත්පත්තියක් සකස් වන්නේ අකුසල විපාකයක් වශයෙන්ම වේ.

මෙසේ කුසලාකුසල කර්මානුරූපව සත්වයන්ගේ උත්පත්තිය තීරණය වන්නේ මරණාසන්න අවස්ථාවේ තමාට අරමුණු වන දේ අනුව වේ. ඕනෑම පුද්ගලයකුට මරණාසන්න අවස්ථාවේ කර්මය, කර්මනිමිත්ත, ගතිනිමිත්ත යන තුනෙන් එකක් අරමුණු වේ.

කර්මය – ඒ ජීවිතයේම හෝ පෙර ජීවිතයක තමා විසින් කරන ලද කුසල හෝ අකුසල කර්ම චේතනාවක් අරමුණු වීමයි. ඒ අනුව තමන්ගේ කුසලචේතනාවක් අරමුණු වන පුද්ගලයාගේ මරණාසන්න මොහොත කුසල පක්‍ෂයට නැඹුරු වේ. ප්‍රාණඝාතාදි අකුසල චේතනාවක් අරමුණු වන පුද්ගලයාගේ මරණාසන්න අවස්ථාව අකුසල පක්‍ෂයට නැඹුරු වේ. ඒ අනුව අදාළ පුද්ගලයාගේ මතු උත්පත්තිය තීරණය වේ. මෙසේ කර්මය අරමුණු වීමේ දී එය මනසට අරමුණු වේ.

උදා: රුවන්වැලි සෑයට මල්පූජා කිරීමක් කර්මය වශයෙන් අරමුණු වන පුද්ගලයාට අදාළ කුසල චේතනාව අරමුණු වේ. තමන් ඒ මොහොතේ රුවන්වැලි සෑයට මල් පූජා කරන්නේ යම්සේ ද එසේ වැටහේ. ප්‍රාණඝාතයක් කර්මය වශයෙන් අරමුණු වන්නේ නම් තමන් ඒ මොහොතේ ප්‍රාණඝාතයක් කරන්නාක් මෙන් අකුසල චේතනාව එල්බගෙන සිටී.

කර්මනිමිත්ත – කිසියම් කුසල හෝ අකුසල කර්මයකට නිමිති කරගන්නා ලද, උපකාර කරගන්නා ලද උපකරණාදියක් අරමුණු වීමයි. එහි දී අරමුණු වන්නේ කුසලාකුසල චේතනාව වශයෙන් නොව එකී කර්මයට උපකාර කරගත් ද්‍රව්‍යයක් සිහිපත් වීම වශයෙනි. මෙය මනසට සිහින පෙනෙන්නාක් මෙන් වැටහීම සිදුවිය හැකි අතර ඇතැම් විට ඇස ආදියට අරමුණු වීමක් ද සිදුවිය හැකිය.

උදා: රුවන්වැලි සෑයට මල් පූජාකළ පුද්ගලයකුට රුවන්වැලි සෑ චෛත්‍යරාජයන් වහන්සේ අරමුණු විය හැකිය. එසේම තමාගේ කිසියම් කුසල කර්මයකට අදාළව චෛත්‍ය, බෝධි, බුද්ධප්‍රතිමා, මල්, පහන් ආදි කිසිවක් අරමුණු විය හැකිය. අකුසල කර්මයක නිමිත්තක් අරමුණු වන පුද්ගලයාට ප්‍රාණඝාතාදියකදී මරණයට පත්කළ සත්වයන්, මැරීමේ උපකරණ, සොරකම් කළ බඩු ආදි කිසිවක් සිහිපත් වේ.

ගතිනිමිත්ත – මතු උපදින භවය පිළිබඳ කිසියම් සංඥාවක් අරමුණු වීම මෙහි දී සිදුවේ. කුසල කර්මයක විපාකයක්

වශයෙන් සුගතියේ උපදින සත්වයන්ට දෙව්ලොව දිව්‍ය රථ, දිව්‍ය විමාන, මල් ගොමු, කල්පවෘක්‍ෂ ආදියක් අරමුණු විය හැකිය. ධම්මික උපාසක මහතාට, දුටුගැමුණු මහරජතුමාට ආදීන්ට දිව්‍ය රථ අරමුණු වූයේ මේ ආකාරයෙන් වේ. මිනිස්ලොව උපදින සත්වයන්ට මාතෘ ගර්භය ගති නිමිත්ත වශයෙන් වැටහේ. නිරයෙහි උපදින සත්වයන්ට ගිනිදැල්, ලෝදිය, යම රාක්‍ෂසයන්, නපුරු සතුන් ආදිය අරමුණු විය හැකිය. තිරිසන් යෝනියේ උපදින අයට සත්වයන්, කැලෑ ආදිය අරමුණු විය හැකිය.

මෙම අරමුණු වීම සෑම සත්වයකුටම සිදු වේ. හදිසි අනතුරකින්, බෝම්බ පිපිරීමකින් ආදියකින් මරණයට පත්වන පුද්ගලයාට පවා ඉතා ක්‍ෂණිකව මෙම අරමුණු වීම සිදු වේ. ශල්‍යකර්මාදියකදී මරණයට පත්වන පුද්ගලයකුට, හදිසි අනතුරු ඒකකයක සිටියදී මරණයට පත්වන පුද්ගලයාට පවා සිය මනසට මෙම අරමුණු වීම සිදුවන බව සැලකිය යුතු.

මේ අනුව මරණාසන්න අවස්ථාවේ අරමුණු වන කර්මය, කර්මනිමිත්ත, ගතිනිමිත්ත අනුව ඔහුගේ මරණාසන්න අවස්ථාව තීරණය වේ. කිසියම් කුසලයකට අදාළව කර්මයක් හෝ කර්මනිමිත්තක් හෝ ඒ අනුව සුගතියේ උපදින ස්ථානය පිළිබඳ ගතිනිමිත්තක් හෝ අරමුණු වන පුද්ගලයාගේ මරණාසන්න චිත්තපරම්පරාව කුසලයට නැඹුරු වේ. අකුසලයකට අදාළව කර්මයක් හෝ කර්මනිමිත්තක් හෝ අපායෝත්පත්තිය පිළිබඳ ගති නිමිත්තක් අරමුණු වන පුද්ගලයාගේ මරණාසන්න චිත්තපරම්පරාව අකුසලයට නැඹුරු වේ.

සත්වයන්ගේ සිත් ඇතිවීම අතීත කර්මයෙන් හටගත් වස්තු රූපය ආධාර කරගෙන සිදුවන අතර ඒ වස්තුරූප පරම්පරාව සිඳී ගියහොත් නැවත ඒ ශරීරය ආධාර කරගෙන සිත් ඇති නොවේ. එවිට මරණය සිදු වූවා නම් වේ. මරණාසන්න අවස්ථාවේ ඒ වස්තුරූප පරම්පරාවන් සිඳී යන්නට ඉතා ආසන්න බැවින් ඒ ශරීරය ආධාර කරගෙන ඇති වන අන්තිම සිත් කිහිපය හෙවත් මරණාසන්න චිත්ත වීථිය ඇති වේ. ඉන්පසු වස්තුරූපය සිඳී යන අතර නැවත ඒ සිරුරේ සිත් ඇතිවීමක් සිදු නොවේ. මේ අවස්ථාවේ චිත්තවේගය ඉතා හීන බැවින් ප්‍රකෘතියෙන් මෙන් ජවන සිත් සතක් (7) ඇති නොවන අතර ජවන සිත් පහක් (5) පමණක් ඇති වේ. මෙම වීථියේ අවසානයට ඇති වන සිත ච්‍යුති චිත්තය නම් වේ. මෙම මරණාසන්න සිත් වලට අරමුණ වන්නේ ඒ මොහොතේ අරමුණු වූ කර්මය, කර්මනිමිත්ත හෝ ගතිනිමිත්ත යන තුනෙන් එකකි. ඒ අනුව මරණාසන්න ජවන් සිත් කුසල හෝ අකුසල සිත් බව තීරණය වේ.

ච්‍යුති සිතෙන් පසු නැවතත් එම ශරීරයේ සිත් ඇති වීමක් සිදු නොවන නමුදු සිත් පරම්පරාව නොසිඳී පවතී. ච්‍යුති සිත නිරුද්ධ වීමත් සමඟම මරණාසන්න අවස්ථාවේ ගත් අරමුණම ගනිමින් විපාක දීමට ඉදිරිපත්ව තිබූ කර්මයාගේ විපාක වශයෙන් වෙනත් තැනක ඊළඟ ජාතියේ පළමුවන සිත හෙවත් ප්‍රතිසන්ධි සිත ඇති වේ. එය සත්වයාගේ නැවත ඉපදීම නම්වේ. ඒ ප්‍රතිසන්ධි සිත වර්තමාන භවයෙන් අනාගතයට ගිය එකක් නොව වර්තමාන සිත් පරම්පරාවටම අයත් අලුත් සිතකි. ඒ ච්‍යුති-ප්‍රතිසන්ධි සිත් දෙක අතර ඇත්තේ චිත්තක්‍ෂණයක කාලය පමණි. එබැවින් මරණයට පත් වූ පුද්ගලයා ඒ මොහොතේම අලුත් භවයක ඉපදීම සිදු වේ. ඒ අතර උපතක් සොයමින් සැරිසරන කාලයක් නැත. මෙසේ සත්වයන් කර්මානුරූපව උපත ලබන සියලුම ස්ථාන සුගති, දුගති වශයෙන් දෙයාකාරයකින් දැක්විය හැකි වේ.