New at Little Bit


from Path to Nirvana https://ift.tt/2QY5o8M
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 120🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 15

🌸 දෙවියන් විසින් අදිනු ලැබූ අශ්රිය.

🌸 නෑයන්ගෙන් අවසර ගැනීම.

යුවරජ යුවළගෙන් අවසරගත් වෙසතුරු කුමරු තම අලුත් ජීවිතය කරා යාමට සැරසුණා. උන්වහන්සේ ඒ වනවිටත් මාළිගය අවට රැස්වී සිටි නෑයන් සහ මහජනයා වෙතට ගොස් මේ බව ඔවුන්ට දන්වා සිටියා පමණක් නෙවෙයි ආශීර්වාදද කරනු ලැබුවා. අපගේ නෑයෝ නීරෝගී වෙත්වා, සුවපත්වෙත්වා! මෙසේ අප මහා බෝධිසත්වයන් වහන්සේ මහජනයාට සහ නෑදෑයිනට කථාකර අප්‍රමදිව දානාදී පින්කම් කාරව් යැයි අවවාද දී යනවිට බෝධිසත්තවයන් වහන්සේගේ මව, “දානය ධනය කොට ඇති මාගේ පුත්‍රයා දන් දෙනු ලැබේවායි” තමන්ගේ ආභරණ සමග සප්ත රත්ත්නයෙන් පිරුණු ගැල දෙපැත්තටම යැව්වා. ඔහු ද තමාගේ ඇගෙහි පැළදගෙන සිටින ආභරණ ගලවා පැමිණි යදියන්ට අටළොස් වාරයක් දන්දී ඉතිරි සියල්ල ද දන් දුන්න. ඒ සියල්ල අවසානයේ රාජකීය අශ්වරථය වෙත පැමිණියේ තනියෙන්ම ඒ ගමන යන්නටයි. මහත් පුදුමයක්. ඒ වනවිටත් මද්‍රී දේවිය දරුවන් දෙදෙනා හා සමගින් රථයෙහි අසුන්ගෙන අවසන්. වෙසතුරු රජ ඇතුළු සියලුම දෙනා කොතරම් මෙම ගමනේ අවදානම ගැන ඇය හට පැවසුවත් ඇයගේ සිත වෙනස් කිරීමට සියල්ලෝම අපොහොසත් වුනා. මට දැන් හිතෙනවා අප මහා බෝධිසත්වයන් වහන්සේ අභිනික්මන් කරන අවස්ථාවේ යසොදරාදේවිය අවදියෙන් සිටියානම් දරුවා සමග පසුපසින් එන එක වළක්වන්නට කාටවත් නොහැකිවේවි කියලා.

🌸 සතරවෙනි වතාවටත් මහපොළව කම්පාවීම.

අවසානයේ කුමරියත් දරු දෙදෙනාත් සමගින් මාළිගයෙන් නික්මෙන්නට වුනා. නගරයෙන් ක්‍රමක්‍රමයෙන් ඈත්වෙන කුමරුන් හට අවසන්වරට මාළිගය දෙස හැරී බලන්නට ආසාවක් ඇතිවුනා. ඒ සමගින්ම වුනේ තවත් මහා ආශ්චර්යයක්. ඔහුගේ සිතැගි පරිදි රථය තිබෙන තැන පමණක් මහපොළොව බිදී පෙරළී රථය නගරය දෙසට යොමුවී සිටියා. උන්වහන්සේ අවසන් වරට මව්පියන් සිටින තැන දෙස බලන්නට වුනා. ඒ කාරුණිකත්වයෙන් මහා පොළොව කම්පාවන්නට වුනා. නගරයෙන් නික්ම නතරවී බලනකල්හි මහමෙර නැමති මුදුන්මල්කඩ සහිත මහපොළොව නැවත නැවතත් කම්පා වන්නට වුනා.

උන්වහන්සේ මාළිගාව දෙස අවසන් වරට බලා මද්‍රි දේවිය ලවා ද බලවන්නට මෙලෙස ගාථාවක් කියන්නට වුනා. “මද්‍රි දේවිය බලන්න. සිවිරජුන්ගේ නිවාසය. රමණීයව පෙනෙයි. ඒ මාගේ පියා පරම්පරාවෙන් පැමිණි මාලිගයයි. එම නිසා මෙහි බලන්න.” ඉන්පසු අප මහා බෝධිසත්වයන් වහන්සේ සහජාත හැටදහසක් අමාත්‍යන්වද සෙසු ජනයා දෙසද බලා රථය යලි පදවමින් මද්‍රි දේවියට මෙලෙස කිවා. “සොදුර ඉදින් පසුපස්සේ යාචකයෝ එත්දැයි විමසිලිමත් වන්න.” ඇයද ඒ වචනයට කීකරුව පසුපස බලමින්ම පැමිණෙන්නට වුනා.

🌸 අශ්වයන්ද දන්දීමෙන් පසු දෙවියන් විසින් අශ්වකරත්තය ඇදගෙනයාම.

ඇය එලෙස බලමින් සිටි අතර තුරදී ඔහුගේ සත්තසතික දානයට පැමිණීමට නොහැකි වූ බ්‍රාහ්මණයෝ සතරදෙනෙක් නගරයට අවුත් රජතුමා කොහේදැයි විමසන්නට වුනා. එවිට උන්වහන්සේ දන් දී මාළිගයෙන් පිටව ගිය බව ඔවුනට දැනගන්නට ලැබුනා. ලොව කොහෙත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උදවිය සිටිනවා. එවිට ඔවුන් ජනයාගෙන් ඇසුවේ ඔහු රැගෙන ගියේ මොනවද යන්නයි. ඉතා අලංකාර අශ්වරථයකින් ගිය බව අසා ඔහුගෙන් අශ්වයන් ඉල්ලන්නෙමුයි ලුහුබැද යන්නට වුනා. වෙසතුරු කුමරු කී පරිදී පසු පස බලමින් පැමිණි දේවිය ඔවුන් එන දසුන දුටුවා. මද්‍රි දේවිය එන්නා වූ ඔවුන් දැක “ස්වාමීනි, යාචකයෝ යැයි දන්වනු ලැබුවා. මහාසත්වයෝ ඒ සැණින්ම වහාම රථය නතර කළා. ඔවුහු අවුත් එකවරම අශ්වයන් මහාබෝධිසත්ත්වයන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ උන්වහන්සේ සියල්ලම දන් දී දරුපවුලත් සමග යන ගමන ගැනවත් නොසිතමින්. මහාබෝධිසත්ත්වයන් වහන්සේ එක මොහොතක් යලි සිතුවේ නැහැ. අශ්වයෝ සතරදෙනා ද ඔවුන්හට දන් දුන්නා.

අශ්වයන් දුන්විටම තවත් මහා ආශ්චර්යයක් සිදුවණා. ඒ අශ්වයන් නැති රථයේ වියගහ අහසෙහි පිහිටීමයි. ඉන්අනතුරුව ඒ බමුණන් නික්ම යනවත් සමගම දෙවපුත්‍රයෝ සතරදෙනෙක් තිත්මුව වෙසින් අවුත් රථයේ වියගහ භාරගෙන රථය ඉදිරියට ගෙනයන්නට වුනා. මහා බෝධිසත්ත්වයන් වහන්සේ ඔවුන් දේවපුත්‍රයන් බව දැන මෙසේ තම දේවියට පවසන්නට වුනේ මහත් ප්‍රීතියෙන්.

” මද්‍රිය බලන්න, ඒ ඉදිරියෙන් විසිතුරු රූපයක් මෙන් පෙනෙන්නේ දෙවිවරුන්. ඔවුන් තිත්මුව වෙසින් අවුත් මනාව පුහුණු අසුන් මෙන් අපව උසුලති”.

🌸 අශ්ව කරත්තයද දන්දී පාගමනින් පිටත්වීම.

එහෙත් එලෙස සතුටින් වැඩිදුරක් යන්නට වුනේ නැහැ. මෙසේ යන්නාවූ ඔහුගෙන් වෙනත් බ්‍රහ්මණයන් පිරිසක් අවුත් රථය ඉල්ලන්නට වුනා. හරිම පුදුමයි ඒ අත්හැරීම වගේම දානය. මහා බෝධිසත්ත්වයන් වහන්සේ දරුවන් හා බිසව රථයෙන් බස්සවා ධනය සොයනා බමුණන් හට රථයද දන් දුන්නේ තව යන්නට ඇති දුර ගැනවත් නොසිතමින්. රථය දුන්සැණින් රථය පදවාගෙන පැමිණි දේවපුත්‍රයෝ අතුරුදහන් වුණා. මේ සියලු දේ නැතිව යද්දීත් අප මහා බෝසතාණන් වහන්සේගේ සංසාරය පුරා වඩමින් පැමිණි ඒ විර්යය හීන වුනේ නැහැ. ඒ හැමදෙයක් දෙසම උපේක්‍ෂාවෙන් බලමින් මද්‍රී දේවියද නිහඬව පසුපසින්ම හිටියා.

එතැන් පටන් ඔවුන් පාගමනින් ඉදිරියටම යන්නට වුනා. ඒ අතරතුරදී මහා බෝධිසත්ත්වයන් වහන්සේ මද්‍රිදේවියට මෙහෙම කීවා.

” මද්‍රිදේවියනි ඔබ ක්‍රිෂ්ණජිනාව ගන්න. මේ ළදැරිය නොබරය, මම ජලියකුමරු ගන්නම්. ඒ මොකද වැඩිමලා ගොඩක් බර නිසා. මෙසේ කියා දෙදෙනාම දරුවන් දෙදෙනාව ඇකයෙන් ගෙන පිටත්ව යන්නට වුනා. වෙසතුරු රජතුමා කුමරු ද දේවිය දියණියව ද ගෙන ඔවුනොවුන් ප්‍රියතෙපුල් බලමින් සතුටුවෙමින් ගියා.

සාදු සාදු සාදු

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. සහ මගේ ආදරණීය බිරිඳට. ❤💚💛🧡
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
15-01-2020

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 දාන කාණ්ඩය නිමි. 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸