New at Little Bit


from Path to Nirvana https://ift.tt/362KE3G
ප්‍රශ්නය :-

ස්වාමීන් වහන්ස, ශල්‍ය කර්ම වලදී භාවිතා කරන උපකරණ නිසා ඇතැම් ජීවින් විනාශ වෙනවා. මේක පාපයක්ද.?

පිළිතුර :-

ජීවීන් විනාශ වෙනව නම් ඒක පාපයක්. “චේතනා හං භික්ඛවේ කම්මං වදාමි” කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නෙ. නමුත් ඒ සතා මැරීම පිළිබඳ චේතනාවක් අපිට නැහැ. නමුත් තව කෙනෙක්ගේ සුවපත් භාවය උදෙසායි අපි ඒක කරන්නේ. සුවපත් භාවය උදෙසා හරි සතෙක් මැරෙනවා නම් ඒ අකුසලය අපිට එනවා. නමුත් තමා තුළ සකස් වන අනුන් සුවපත් වේවා කියන මෛත්‍රි චිත්තය තුළින් අර වෙන්නා වූ අකුසලය යටපත් වෙන්න පුළුවන්.

එක වෛද්‍ය ශිෂ්‍යාවක් මගෙන් ඇවිල්ලා ඇහුවා ස්වාමීන් වහන්ස අපි සිහි නැති කරලා ගෙම්බො කපනවා. ඉතින් මේ ගෙම්බො කැපීම නිසා මට අකුසලයක් ද නැද්ද..? කියලා. මම කිව්වා ප්‍රාණඝාත අකුසලයක් තියෙනවා. කිසි කතාවක් නැහැ. නමුත් ඔබට දැන් ඕකෙන් මිදෙන්නත් බැහැ. ඒ නිසා ඔබ චිත්තයක් සකස් කර ගන්න, මම මේ සතාට මෙහෙම කරන්නේ අනාගතයේ දී තවත් මනුෂ්‍යයෝ දහස් ගාණකට ජීවිතය දෙන්න කියලා. නමුත්, අකුසලය අකුසලයමයි. ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙනවා. නමුත්, චේතනාවෙන් අපිට ඒකෙ බලය දුර්වල කර ගන්න පුළුවන්. අපි ඒක දැනගන්න ඕනෙ.

හැම වෙලාවෙම තමන් කළා වූ ඕනෑම අකුසලයක් ඊට වඩා ශක්තිමත් කුසලයක් තුළින් යටපත් කර ගන්න පුළුවන්. ඒකට අපි දක්‍ෂ වෙන්න ඕනෙ. එක වැඩිවියට පත් වෙච්ච දෙපළක් ඇවිල්ලා මට කිව්වා “හාමුදුරුවනේ අපි තරුණ කාලයේ ධර්මය තුළ හිටියෙ නැහැ. නමුත්, දැන් අපි ධර්මය තුළ ඉන්නෙ. නමුත්, දැන් ධර්මය තුළ ඉන්න කොට තරුණ කාලයේ අපි අතින් වෙච්ච වරදක් අපිට මතක් වෙනවා. මම ඇහුවා මොකක්ද කියලා. “අපි බැඳපු අලුත අපිට දරුවෙක් අවශ්‍ය නැති නිසා අපි දරුවෙක් ගබ්සා කළා. නමුත්, එදා අපි මේකෙ වරදක් දැක්කේ නැහැ. නමුත්, ධර්මය තුළ ඉන්නකොට නිරතුරුවම දැන් අපිට ඒක මතක් වෙවී පීඩා දෙනවා ” හාමුදුරුවනේ.

මම ඇහුවා ඇත්තටම ඒක නිරතුරුවම මතක් වෙනවද කියලා, “ඔව්” කිව්වා. මම කිව්වා එහෙමනම් ඒක හරිම දරුණුයි. මොකද මැරෙන වෙලාවට ගබ්සාව මතක් වුණොත් ඔබ ඒ ප්‍රාණඝාත අකුසලයට අදාළ ප්‍රතිසංධියට යනවා. ඒ නිසා දැන් ඔබට කරන්න තියෙන්නෙ එක දෙයයි. ඔබ ඒ කළා වූ අකුසලය ඊට වඩා ශක්තිමත් කුසලයකින් යටපත් කරන්න. ඔබ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට යන්න. ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉන්නවා ජීවිතයත් මරණයත් අතර සටන් කරන දරුවෝ. ඒ අයගේ අම්මා තාත්තා දුප්පත්. බෙහෙතක් හේතක් අරන් දෙන්න බැහැ. මෙවැනි දරුවො දෙතුන් දෙනෙක් තෝරාගෙන ඒ ගොල්ලො ජීවත් වෙනකන් අවශ්‍ය සියලු දේ සපයන්න. ඒ ගොල්ලො ජීවත් වෙනවා දැකලා ඔබ චේතනාවක් සකස් කර ගන්න මගෙන් නැති වුණා වූ දරුවා වෙනුවට මම දරුවො තුන් දෙනෙකුට ජීවිතය ලබා දුන්නා. දැන් පරණ අකුසලය යටපත් කළා.

හැබැයි ඔය සිද්ධිය කරලා ආයෙමත් හිතන්න ගියොත් තේරුමක් නැහැ. ඒ නිසා ඔබ දක්‍ෂ වෙන්න ඕනෙ. ඔබ ශක්තිමත් කුසලය තුළින් අර අකුසලය යටපත් කරලා දැන් ඒක අහවරයි කියලා අයින් කර ගන්න…!!!

තෙරුවන් සරණයි…!!!

උපුටා ගැනීම – අතිපූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දහම් කරුණු, පැහැදිලි කිරීම් හා අන්තර්ජාලයෙන් උපුටා ගන්නා සාකච්ඡා මගින්, විජේ ගුණවර්ධන මහතා විසින් සකස් කළ “කාලේන ධම්ම සාකච්ඡා” නම් වූ දහම් පොතෙන් ඔබ සැමගේ ධර්මාවබෝධය සඳහා උපුටා පිළිගන්වමු…!!!

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…

අනෙකුත් දහම් කරුණු සඳහා පිවිසෙන්න – https://ift.tt/3ahPDBa