New at Little Bit


from Path to Nirvana https://ift.tt/30w4vY9
අාර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම.

ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා අරියසච්වං,අයමෙව අරියෝ අට්ඨඞ්ගිකො මග්ගෝ,සෙය්‍යථීදං? සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි.”

යනාදීන් නොයෙක් සූත්‍රයන්හි සම්මාදිට්ඨි අාදී ධර්ම අට දුක්ඛ නිරෝධ සඞ්ඛ්‍යාත නිවනට පැමිණීමේ මාර්ගයයි දේශනා කර අැත්තේ ය. සෝවාන් මාර්ගය,සකෘදාගාමී මාර්ගය,අනාගාමී මාර්ගය,අර්හත් මාර්ගය කියා නම් සතරක් ව්‍යවහාර කරන්නේ දියුණු වී ලෝකෝත්තර භාවයට පැමිණියා වූ අට්ඨඞ්ගික මාර්ගය ම ය.

ධර්මය පිළිබඳ නියම දැනීමක් තමන්ට නැතත් දනුම්හයි සිතා ගෙන ලොවටත් අනුශාසනය කිරීමට ඉදිරිපත් වන අැතැමුන් මේ අාර්ය අට්ඨඞ්ගික මාර්ගය අවුල් කර තේරුම් කරන බැවින් විදර්ශනා වඩන යෝගාවචරයෝ ද තමන් කරන්නේ කුමක් ද කියා නොදනිති. යෝගාවචරයන් විසින් විදර්ශනා වැඩීම ය කියා කරන්නේ අනිකක් නොව, අාර්ය අට්ඨඞ්ගික මාර්ගය වැඩීම ය.

සම්මාදිට්ඨි යනු නිවැරදි දැකීම හෙවත් දැනීමය.යෝගාවචරයන් විදර්ශනා කිරීමය යි කරන්නේ සාමාන්‍ය ජනයා සත්ත්වයන් පුද්ගලයන් වශයෙන් වරදවා සිතා ගෙන සිටින නාමරූප ධර්ම සමූහයන් රූප වේදනාදී වශයෙන් විභාග කර ඒවායේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීම හා සාමාන්‍ය ජනයා විසින් නිත්‍ය දේ සැප දේ හොඳ දේ සැටියටත් අාත්මය ලෙසත් වරදවා තේරුම් ගෙන සිටින ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අශුභ අනාත්ම ස්වභාවයන් බැලීමෙන් හරි දැනීම අැති කර ගැනීම ය.හරි දැනීම දියුණු කිරීම ය.ඒ හරි දැනීම දියුණු කිරීම අාර්ය්‍යඅට්ඨඞ්ගික මාර්ගයේ පළමුවන අංගය වූ සම්මා දිට්ඨිය වැඩීම ය.

ඔහු විසින් රූපාදී සංස්කාරයන් පිළිබඳවත්, ඒවායේ අනිත්‍යාදී ලක්ෂණ පිළිබඳවත්,සසර දුකින් මිදී නිවන් දැකීම පිළිබඳවත් යම් යහපත් කල්පනාවක් කෙරේ නම් එ් සම්මාසඞ්කප්ප නමැති දෙවන මාර්ගාඞ්ගය වැඩීමය.

යෝගාවචරයන් භාවනා කරන්නේ කායවාග්දුශ්චරිතටන්ගෙන් හා මිථ්‍යාජීවිකාවෙන් වැළකී සිට ගෙන ය.එය සම්මා වාචා සම්මාකම්මන්ත සම්මා අාජීව යන මාර්ගාඞ්ග තුන වැඩීම ය.

අනලසව භාවනාවෙහි යෙදීම සම්මා වායාම නමැති සවන මාර්ගාඞ්ගය වැඩීම ය.

නානාරම්මණයන් කරා සිතට යන්නට නො දී භාවනාව සම්බන්ධ අරමුණු ම නැවත නැවත සිතට නඟා ගැනීම – මතු කර ගැනීම සම්මා සති නමැති සත්වන මාර්ගාඞ්ගය වැඩීම ය.

අනා පදම් කළ නො වියළුණු මැටි ගුලියක් ගලක් උඩට හෙළූ කල්හි පෙරළීමක් උඩ පැනීමක් පිපිරීමක් නො වී වැටුණු තැන ම ගලබදා නිශ්චලව සිටින්නාක් මෙන්,පැමිණෙන පැමිණෙන අාරම්මණයෙහි නො සැලී සිත පිහිටුවන්නා වූ ස්වභාවය සමාධි නම් වේ.සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණයන් දක්නා කල්හි යෝගාවචරයාහට කාමයන්ගේ නිසරු බව හා භයානක බව ද විදර්ශනාව අනුව ම වැටහීමෙන් ක්‍රමයෙන් කාමච්ඡන්දය තුනී වේ.දුරු වේ.කුශලචිත්ත සමාධියට අැති ප්‍රධාන බාධකය කාමච්ඡන්ද නීවරණ ය.කාමච්ඡන්දය බලවත්ව පවත්නා කල්හි සිතෙහි කාමයන් අතට අැදීමක් අැති බැවින් විදර්ශනා කරන අාරම්මණයන්හි සිත නිශ්චලව නො පිහිටයි.කාමච්ඡන්දය දුරු වත් වත් ම සිත භාවනාරම්මණයෙහි නිශ්චල වේ.එය සමාධිය දියුණු වීම ය.විදර්ශනා කිරීම් වශයෙන් සමාධිය දියුණු කිරීම සම්මාසමාධි නමැති අටවන මාර්ගාඞ්ගය වැඩීම ය.

විදර්ශනාඥානයට අරමුණු හොඳින් ගත හැකි වන්නේ එයට අරමුණෙහි නිසලව පිහිටිය හැකි වුවහොත් ය.එබැවින් බලවත් සමාධිය හා අැතිවන විදර්ශනාඥානය අාරම්මණයේ තත්වය පැහැදිලි ලෙස ගන්නා උසස් ඥානයක් වෙයි.සමාධිය දුබල කල්හි දියුණු තියුණු විදර්ශනා ඥානයක් අැති නොවේ.සමාධිය අනුව විදර්ශනා ඥානය දියුණු වේ.විදර්ශනා ඥානය අනුව සමාධිය දියුණු වේ.ඒ ධර්මයෝ දෙදෙන ඔවුනොවුන්ගේ උපකාරයෙන් දියුණු වන්නෝ ය.

අාර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම අනුව විදර්ශනා කරන යෝගාවචරයන්ගේ සන්තානයන්හි ඉතිරි බෝධිපාක්ෂික ධර්මයන් වන සතිපට්ඨාන සම්මප්පධාන ඉද්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ඣංග යන මාර්ගාඞ්ගයන්ද වැඩෙන බව මග්ග සංයුත්තයේ වදාරා අැත්තේ ය.

ස්කන්ධයන් අනිත්‍ය-දුඃඛ-රෝග-ගණ්ඩාදි වශයෙන් විදර්ශනා කරන යෝගාවචරයාෙගේ සන්තානයෙහි ලෞකික මාර්ගාඞ්ග වශයෙන් ක්‍රමයෙන් වැඩෙන මාර්ගාඞ්ග ධර්මයන් දියුණු වූ පසු යෝගාවචරයා භාවනාවෙහි යෙදී සිටින යම්කිසි හොඳ අවස්ථාවකදී එ් මාර්ගාඞ්ග ධර්මයෝ නිවන අරමුණු කෙරෙමින් ක්ලේශ ප්‍රහාණ ශක්තියෙන් යුක්තව ලෝකෝත්තර භාවයෙන් එක්වර සියල්ල එකට බැඳී ඒ යෝගාවචරයාගේ සන්තානයෙහි පහළ වේ.ඒ සෝවාන් මාර්ගය ය. ….

(අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ලියූ “චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව”නම් ග්‍රන්ථයෙනි.)

ධර්ම දානය පිණිස (share මත click කර) බෙදාහරින්න.

තෙරුවන් සරණයි !!!