New at Little Bit


from Path to Nirvana https://ift.tt/38zBxcJ
බුදුවරයාණන් වහන්සේ කෙනකුගේ අපරිමිත ගුණස්කන්ධය අවබෝධ කොට ගත හැකි වන්නේ, දැකිය හැකි වන්නේ තවත් එවැනිම වූ සම්මා සමුබුදුවරයකුට පමණි. සෙස්සෝ තම තම ප්‍රඥා මට්ටමට අනුවම ඒවා දැන ගනී. ප්‍රඥාවෙන් අග්‍ර වූ සැරියුත් ස්වාමින් වහන්සේ වරෙක බුදු රඳුන් හමුවට පැමිණ පැවසූවේ,
“ස්වාමිනී, මහා සාගරයේ ජලය ප්‍රමාණය යමෙක් භාජනයකින් මැන කිරා ප්‍රමාණය දැක්වීමට සූදානම් වන්නේද, එය කෙසේ වත් කළ නොහැකිය. නමුත් එය කිරීමට හැකි වුවද ඔබ වහන්සේගේ සර්වඥතා ඥාණය මෙපමණකැයි මිනිය නොහැක ස්වාමිනි” යනුවෙනි.
එය සත්‍යක්මය. එය පූර්ණ වශයෙන් දන්නේ එවැනිම සම්මා සම්බුදුවරයකු පමණි. එසේ හෙයින් බුදුවරයන් වහන්සේලා “අසම සම” වන සේක..

ඒ සර්වඥතා ඥාණයට හසු නොවන දෙයක් නැත. ගෝචර නොවන දැයක් මේ විශ්වය තුළ නොමැත. විශ්වය තුළ පවතින දත යුතු ධර්මතාවයන් යම් තාක් ද, ඒ තාක් සර්වඥතා ඥාණයද, සර්වඥතා ඥාණය යම්තාක් ද, විශ්වය තුළ පවතින දත යුතු ධර්මතාවයන් එපමණය.

සෘධිමත් රහතන් වහන්සේලා අතර අග තැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ සත් දවසක් ලෝකය වටා සෘධි බලයෙන් ගොස් අතරමං වී සිටින අවස්ථාවේ, පිරිනිවීමට අධිෂ්ඨාන කළ සේක. මෙය දුටු අප මහා තථාගතයාණෝ නමා තිබූ අත දිග හරින වේලාවකින් මුගලන් මහ රහතන් වහන්සේව එයින් මුදවාලූ සේක. සෘධිමතුන් අතර අග්‍ර මුගලන් මහ රහතන් වහන්සේගේ දින 7 ක සෘධි බලය, බුදු පියාණන්ගේ එක් ක්ෂණයක සෘධියට යටත් වූ සේක.

උන් වහන්සේගේ සතිය කොතෙක්ද?
මුළු බුද්ධ ජීවිතය පුරාම සතියෙන් තොරව සිදු කළ එකදු මානසික, වාචික, කායික ක්‍රියාවක් නොමැත. ධර්ම පර්යේෂක භික්ෂුව විසින් ද, වරෙක් මාරයා විසින්ද උන්වහන්සේ පසුපසින්ම රැඳී සිටිමින් අවුරුදු ගණන් සෙව්වද, සතියෙන් තොර වන එක තත්පරයක් ඔවුනට සොයා ගත නොහැකි විය. උන්වහන්සේගේ සතිය එතරම්ම ප්‍රබල විය.
මුළු මහත් විශ්වය පුරා යම්තාක් සංස්කාරයන් පවතීද ඒ සෑම සංස්කාරයකම යථා ස්වරූපය යථා පරිදි උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කර ගන්නා ලදී. අතීත, වර්තමාන, අනාගත වශයෙන්ද, අනිත්‍යය , දුක්ඛ, අනාත්ම, ආදී වශයෙන්ද, හේතු ඵල වශයෙන්ද, ධාතු වශයෙන්ද, චතුරාර්‍ය සත්‍ය ධර්මයන් වශයෙන්ද ආදී අනේක ආකාර වලින් උන්වහන්සේ ඒ සෑම දෙයක්ම පිරිසිඳ දත් සේක.
උන්වහන්සේ වරෙක විශාල ඇට්ටේරියා වනයක් මැදින් වඩිනා විට බිම වැටී තිබූ ඇට්ටේරිය කොළ ස්වල්පයක් අතට ගෙන, තමන් වහන්සේ අවබෝධ කොට ගත් ධර්මය මේ මුළු වනයම තරම් නම්, සත්වයාට දේශනා කොට ඇත්තේ අතට ගත් කොළ ස්වල්පය තරම් ප්‍රමාණයක් බව පැවසීය. එසේ දේශනා කොට වඳාළ ධර්ම ස්කන්ධයද මේ සංසාර දුක්ඛය නිමකරමින් නිවන් අවබෝධය පිණිස කිසිඳු අඩුවක් නැති , පරිපූර්ණ ධර්මයක් බවද ප්‍රකාශ කොට වඳාළ සේක. ඒ සර්වඥතා ඥාණය එබඳුය. මේ විශ්වයේ පහළවන තවත් සම්මා සම්බුදුවරයකුට පමණක් එය ගෝචර වන්නේය.

උන්වහන්සේගේ වීරිය කොතෙක්දැයි සාමාන්‍ය කෙනකුට නම් සිතා ගැනීමට වත් නොහැකිය. බෝධි සත්ව මූලයේදීද දස පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා පූරණය කරන විට තිබූ වීරිය කොතෙක්ද? බුද්ධත්වය පිණිස ගිහි ගෙයින් නික්ම, දුෂ්කර ක්‍රියා කරන කාලය පුරාවටම වැඩූ වීරිය ප්‍රමාණය, ගස් , ගල්, පර්වත පවා සෙලවිය හැකි තරම් විය. එය කිසිවකුටවත් සිතා ගැනීමට නොහැකි තරම්ය. ඇස්, ඉස්, මස් ලේ දියවී යද්දී පවා, සිහිසුන්ව එකම තැන වටෙද්දී පවා, උන්වහන්සේ තම අභිමතාර්ථය අත් නොහළේය.
කුසේ මස් දියවී ගොස්, එය පිට කොන්දේ ඇලෙන්නට විය. නමුත් ඒ වීර්යය නොසංසිඳිනි. අද අප මේ අත්දකින ධර්මය, එදා උන්වහන්සේ එසේ අප්‍රතිහත වීර්යයෙන් සිදු කළ අනේක කැපකිරීම් වල ප්‍රථිඵලය. බුදු වන මොහොතේ, එදා ශ්‍රි මහා බෝධී මූලයේ හිඳ ගත්තේ,
“මාගේ ශරීරයේ ඇස්, ඉස් ,මස් ලේ,. නහර දියවී ගියත්, බුදු වී මිස මෙතනින් නොනැඟිටිමි” යන චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුවය. දෙවියන්, බඹුන් , මාරයන් සහිත මේ තුන් ලෝකයේ කිසිවකුට එම වීර්යයට ළං වනු තබා සිතා ගැනීමටවත් නොහැකිය.

උන්වහන්සේ සතු සමාධි ස්කන්ධය මහා සාගරය වැනිය. කැමති කැමති අරමුණකින්, කැමති තාක් වේලා සමවැඳිය සිටි හැකි, සිතූ පරිදි යළි නැඟී සිටිය රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන, අනිමිත්ත සමාධී ආදී අපේ මනසට, ප්‍රඥාවට පවා ගෝචර නොවන අසීමිත සමාධි ස්කන්ධයක් උන්වහන්සේ සතුය. අහස පොළොව කම්පා වන තරම්, ගෙවල් දොරවල් , ජීවීත විනාශ වන තරම් අති දරුණු, අති භයංකාර අකුණු පහර හඩ මැදද, එවැනි වූ වෙනත් තත්වයන් මැද්දේ දී පවා නොසැලෙන, නොකැඩෙන සමාධියක් උන්වහන්සේ සතු විය.

උන්වහන්සේ සතු උපේක්ෂාව, මහ පොළොවටවත් සම කළ නොහැක. අනේක විදි නින්දා, ප්‍රශංසා, ලාභ , අලාභ, යස අයස ආදී අෂ්ඨ ලෝක ධර්මතාවයන් කෙරෙහි නොසැලෙන තාදි ගුණයකින් සමන්විත සිතක් උන් වහන්සේ සතුව තිබිණි. අහස පොළොව ගුඟුරා ගියද ඒ බුදු සිත එක් මොහොතකදු කම්පා නොවිණි.

මෙසේ අනන්ත අප්‍රමාණ, ගුණ සහිත ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අපිරිමිත ගුණස්කන්ධය මෙසේ ලිපියකට ලඝු කොට දැක්වීමට අපේ ප්‍රඥාව මඳය. මේ ලිවූ ප්‍රමාණය උපාමවකටවත් දැක්විය නොහැක.
උන් වහන්සේ අසම සමය…!
මේ අප දන්නේ අප මනසින්, අපේ ප්‍රඥාවේ ප්‍රමාණයට දක්නා බුදු ගුණ පමණි. එවැනි බුදුවරයකුගේ ලයෙන් උපන් ශ්‍රාවකයන් වීමට, උන්වහන්සේ පෙන්වා දුන් නිර්වාණ ප්‍රතිපදාවේ ගමන් කිරීමට තරම් ඔබත් මමත් මේ සංසාරයේ අනන්ත පින් කොට ඇත්තෝය.

කොතෙක් බුදු ගුණ දැන කියවා, මතුරමින් සිටියද අප බුදු ගුණ වැඩුවා වන්නේ නැත. උන් වහන්සේ සතුව තිබූ එක් ගුණයක්, අංශු මාත්‍රයකින් හෝ අපේ ජීවීතයට ගළපා ගෙන එය වැඩීමට ප්‍රයත්න දැරුවේ නම්, දරන්නේ නම් එයම අවංක , අව්‍යාජ බුදු ගුණ වැඩීමක් වන්නේය. අප සත්‍ය වශයෙන්ම බුද්ධානුස්සතිය වැඩුවා වෙයි.

තිලොවින් අග්‍ර වූ ශාස්තෘවරයාණන් වහන්සේ කෙනකු ලබන්නට අප පින් කොට ඇත්තෙමු. එසේ අනන්ත ගුණ ඇති, අග්‍ර වූ සම්මා සම්බුදු පියාණන් ගේ අග්‍ර වූම ගුණස්කන්ධය මෙනෙහි කරමින් දවස ආරම්භ කරන්න. දවස පුරාම බුදුන් වහන්සේ මනසින් දකිමින් ජීවත් වන්න. තම ලය මඩල බුදුන් වහන්සේ උදෙසා ඉඳි කළ බුදු කුටියක් බවට පත් කරන්න. නිවස තුළ ඉඳි කල බුදු කුටිය සුවන්ඳවත් මලින් සරසා, ආලෝකයෙන්, සුවඳ දුමින් පුරවන්නේ යම්සේද, ඒ බුදු රඳුන් නිරන්තරයෙන් වැඩ සිටිනා තම හදවත නැමැති බුදු කුටිය නිකෙලෙස් සිතිවිලි වලින් නිරතුරුව නිර්මල පවිත්‍ර බාවයට පත් කරන්න. එයම ඔබේ චිත්ත ප්‍රීතියට හේතුවනු ඇත.

බුදු රජාණන් වහන්සේ වැඩ සිටින්නේ පන්සලක වත්, දේවලයකවත්, බෝධියකවත් නොව, තම සුපිරිසිදු, ශ්‍රද්ධාවන්ත සන්තාණය තුළය. එය සුවඳවත් කොට පවිත්‍ර කොට තැබීම ඔබේ කාර්යයකි. කොතෙකින් බුදු පිළිම විනාශ වූවද, ඔබේ හද තුළ වැඩ සිටින අමා මැණියන් විනාශ කිරීමට ඔබටම හැර වෙන කෙනකුට නොහැක. ඔබේ හදවත තුළට බුදු පියාණන් වැඩමවිය හැක්කේද, ඉවත් කළ හැක්කේද ඔබටම හැර අන් කෙනකුට නොවේ.

මෙසේ අනන්ත වූ බුදු ගුණ මෙනෙහි කරමින්, මේ ලිපිය කියවන මොහොතේ පවා ඔබ තුළ ජනිත වූ ශ්‍රද්ධා සිත ඔබට අග්‍රවූම පුණ්‍ය ස්කන්ධයක් රැස් කර දුන් බව නො අනුමානය. ඒ ශක්තිමත් පුණ්‍යස්කන්ධය ඔබට නිවන් මඟ දොරටු විවර කරන අයෝමය හස්තයක් වේවා….!!!!

සියළු සත්වයෝ නිවනින්ම සැනසෙත්වා…!!!!

අමා සුව