New at Little Bit


from Path to Nirvana https://ift.tt/2v9ouA2
🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 123🧡💛

🌹 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 18

වෙසතුරු කුමරු හිමවතෙහි මුචලින්ද පොකුණ වෙතට පැමිණි මගෙහි අසිරිය.

ඒ රාජකීය පිරිස ඇතුළු මහජනයාගෙන් සමුගත් වෙසතුරු යුවළ ඇතුළු දරුවන් සෙමින් සෙමින් ඒ වංකගිරියට යන වන පියසේ ඉදිරියට පියනගන්නට වුනා. ඔවුන් පසුපස පැමිණි පිරිස තවමත් මග ඈතින් බලා සිටිනවා. කෙමින් කෙමින් ඔවුන් නොපෙනී යද්දී ඒ අහිංසක සිත්වලට කොතරම් අවිනිශ්චිත බවක් දැනෙන්නට ඇද්ද? එහෙත් අප මහා බෝසතාණන් වහන්සේටනම් එලෙස නොදැනෙන්නට ඇති කියලා මට හිතෙනවා. මක්නිසාද මීට ඉහත ආත්මභාව වල මෙම හිමවතෙහිම උන්වහන්සේ අනන්ත අප්‍රමාණවාරයක් පාරමී වැඩුව නිසා. ඒ මහා වනපියස ගැන හොඳින් දත් වනචරිකයන් මගින් ලබාගත් තොරතුරු අනුව ගන්ධමාදන පර්වතය අසල ඇති මුචලින්ද විල අසලට යන මාර්ගය දෙසට යන පසළොස් යොදුනක් වූ මාර්ගය ගැන පැහැදිලි කිරීම මද්‍රි දේවිය වූ වර්තමාන යසෝදරාව මෙනෙහිකරන්නට වුයේ ඒ මහාවීරයාණන් හට සංසාරයේ සුපුරුදු ලෙසින්ම සහාය වීමටය.

මද්‍රි දේවිය මග සලකුණු මෙනෙහි කරන්නට වුනා.

ඔබලා මෙම වනපෙතේ ඉදිරියට යන්න. යම් දුරක් යනවිට නොයෙක් වෘක්ෂ සමුහයෙන් ගැවසීගත් මනහර සිහිල් සෙවණ ඇති විපුල නම් මහා ගලකින් සැදි පර්වතය මුණගැසේවි. ඒ ගල් පර්වතය ඉක්ම යනවිට යලිත් පොකුලොම් මසුන් ගැවසීගත් අති සුන්දර බොහෝ දිය ඇති ගැඹුරු වූ, විපුල ගල් පර්වතයෙන් ගලා පැමිණෙන කේතුමතී නම් මහ ඔයක් දක්නට ලැබේවි. ඒ තමයි මෙම වෙහෙසකර ගමනේ විඩා හැරීමට සුදුසුම ස්ථානය. එහි ඇති තරම් ස්නානය කරන්න. පිරිසිදු පැන් පානය කරන්න. එහි කිසිම අනතුරක් නැහැ. ඉන්පසුව දරුවන් ඇති පමණ සතුටුකොට, නැවත ගමන අරඹන්න. පින්වතාණෙනි , එය පසුකොට තවත් ඉදිරියට යනවිට අති රමණිය වූ කදු මුදුන්හි හටගත් මනරම් වූ සිහිල් සෙවණ ඇති මධුරපල ඇති නුගරුකක් දක්නට ලැබේවි. පින්වතාණෙනි , එය පසුකොට යනවිට නොයෙක් ළිහිණි ගණයා විසින් ගැවසීගත් කිදුරන් ගහන වූ නාලික නම් වූ ශෛල පර්වතය දකින්නට ලැබේවි. ඒ නාලික පර්වතයට ඊසාන දිගින් හෙළපියුමින්ද හෙල්මැලි කල්හාරයෙන්ද ගැවසීගත් විලක් ඇත. ඒ විල හඳුන්වන්නේ “මුචලින්ද” යන නමින්. ඒ විල අසල නීල වලාකුළක් බදු නිරතුරු පලාවන් තණබිම් ඇති මල්රුකින්ද පලරුකින්ද යන දෙකින්ම ගැවසීගත් අතිරමණිය වනලැහැබක් ඇත. ගොදුරු කැමති සිංහයෙකු මෙන් එම සුන්දර වන ලැහැබට පිවිසෙන්න. එහි ඒකරාශිව පවත්නා හඩ ඇති මියුරු රාවයන් ඇති නන්පැහැ නන් කුළු ඇති බොහෝ සියොත්හු සෘතු සමයෙහි නොයෙක් පුෂ්පයන් පිපි රුක්හි හිද කුජනය කරන්නවුන්ට අනුව කුජනය කරයි. ඒ භුමිය තමයි ඔබගේ අසපුව තනන්නට සුදුසුම ස්ථානය.

මී සියල්ල ආවර්ජණය කරමින් ඔවුන් සතර දෙනා ඉදිරියටම පියමැන්නා. හැබැයි මිචිලින්ද පොකුණ දෙසට යන පසළොස් යොදුන් මාර්ගය කියා දී ඔවුන්ව පිටත්කර යවා ඒ සත්පුරුෂ රජවරු නිකංම හිටියේ නැහැ. වෙසතුරු රජුට යම් අනතුරක් බියක් ඇතිකිරීම පිණිස කිසිමයම් හෝ සතුරකු හෝ පාපතරයෙකු එහි යාමට ඇති අවස්ථාව වළක්වාලීම සඳහා එක් දක්ෂ කුලී හේවායකු ඒ මග යන එන්නවුන් පරික්ෂා කිරීමට ඒ පෙදෙසට ඇතුළුවන දොරටුව දෙසට යවනු ලැබුවා. එලෙස එම කුලී හෙවයාව වනයට ඇතුළුවන තැන ආරක්ෂාව සදහා තබා ඔවුන් සැම දෙන තමන්ගේ නුවරටම ආපසු ගියා.

වෙස්සන්තර රජුද දරුවන් සහ බිරිද සහිතව ඒ කියූ අයුරින්ම නිරුපද්දතිව ගන්ධ මාදන පර්වතයට වෙතට පැමිණියා. ඉන්පසු එදින එහි ගතකොට පසුදින උතුරුදිසාවට අභිමුව විපුල පර්වත පාදය වෙතට පියමැන්නා. ඉන්පසු එහි පිහිටි කේතුමතී නම් ගංඉවුරේ සිට වනයෙහි හැසිරෙන්නන් විසින් දෙනලද මී පැණි හා මස් කා ඔහුන්හට රන්කුරක් දී නා පැන් පානයකොට සංසිදුන වෙහෙස ඇතිව එම නදියෙන් එතෙරව පර්වත ශිඛරයෙහි පිහිටි නිග්‍රෝධ රුකමුල වෙතට පැමිණියා. ඉන්පසු එහිද ටිකවෙලාවක් ගතකොට නුගපල අනුභවකොට වෙහෙස නිවීමෙන් පසු අසුනින් නැගිට නාලිකා නම් වූ පර්වතයට දෙසට යන්නට වුනා. එහි ළගා වූවායින් පසුව එහිද අසිරිය විඳ එයද පසුකොට මුචලින්ද විල්තෙර කොනට පැමිණ එහි ඇති අඩිපාරකින් වන්රොදට පිවිස එය පසුකොට ගිරි දුර්ග,නදී දුර්ග ,පර්වත දුර්ගයන්ගේ ඉදිරියේ පිහිටි ඒ සතරැස් පොකුණ ලගට පැමිණියා.

ඔබ හොද කෙනෙකුනම් ඔබව දෙවියොත් රකිනවා කියන්නේ නිකම්ම නෙවෙයි. ඒ මොහොතේ ශක්‍ර දේවේන්ද්‍රයා පවා අප මහා බෝසතාණන් වහන්සේගේ ගමන පිළිබඳව අවදානයෙන් සිටියේ. එවිට උන්වහන්සේ දැක්කා අප මහාබෝධිසත්වයන් වහන්සේ හිමවතට පැමිණ ඇතිබව. දැන් වාසයට සුදුසු තැනක් ලැබිය යුතු බව සිතා වහා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැදවා දරුව, යව ඔබ වංකගිරි පර්වතය තුළ රමණිය තැනක අසපුවක් වෙසතුරු කුමරු සඳහා මවා එවයි අණකරනු ලැබුවා. ඒ සැණෙකින්ම විශ්වකර්ම දිව්‍යපුත්‍රයන් වහන්සේ එහි පෙනීසිටියා.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – මෙය බොහෝ බෞද්ධ ජනයා අතරට ගෙනයාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූප රාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ Path to Nirvana හි තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරාට. සහ මගේ ආදරණීය බිරිඳට. ❤💚💛🧡
තුසිත රාජපක්ෂ
ප්‍රංශය
22-01-2020