New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Hn9zVU
✈️ ලෝකාන්තයට පැමිණි ගුවන් නියමුවා ✈️

කලකට පෙර ගුවන් නියමුවකු ලෙස කටයුතු කල ස්විට්සර්ලන්ත ජාතිකයකු වන ඔහු ගුවන් සේවයටම සම්බන්ධ සිය බිරිඳ සමග සුඛෝපභෝගී විවාහ ජීවිතයක් ගතකල අයෙකි. මේ අතර ඔවුන්ගේ පලමු දරුවා ලැබීමේ සිහිනය සැබෑ වීමට ආසන්න කාලය උදාවී ඇත. අලුතෙන් පවුලට එකතු වෙන සුරතල් දරුවා වෙනුවෙන් ගෙනා සෙල්ලම් බඩු, ඇඳුම්, සුරතල් දරුවන්ගෙ පිංතූර ආදියෙන් නිවස පුරවන ලදි. නමුත් දරුවා ලැ⁣බීමට ආසන්නව කාලයේ මවුකුසේ දියර පිටවී යාම හේතුවෙන් ඒ දරුවා මෙලොව එලිය දැකීමට කලින් මරණයට පත් වුනා. මාස ගණනක් පුරා සිය කුළුඳුල් දරුවා ලැබෙන තෙක් බලා සිටි ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වුනා. දරුවාට ගෙනාපු ඇඳුම් සෙල්ලම් බඩු ආදිය දකින විට කලකිරීමෙන් ඒවා නැවත අස්කලා. ඒ දුක අමතක කරමින් සිටින විට නැවත ඔවුන්ට දරුවකු ලැබෙන ලකුණු පහල වුනා. ඔවුන් පෙර සේම අලුතෙන් ලැබෙන දරුවා වෙනුවෙන් ඇඳුම් සෙල්ලම් බඩු ආදිය රැස් කරමින් මෙවර සිය දරුවා පිලිගැනීමට සූදානම් වුනා. ඒ දරුවාත් ඉපදීමට කලින් පෙර සේම නැවතත් කුසේදිම මියගියා. මෙයින් දැඩි කලකිරීමට පත්වුණු ඔහු බිරිඳට යෝජනා කලේ තවත් දරුවන් හැදීම නතර කර දෙදෙනා සතුටින් ජීවත් වෙමු කියලයි. නමුත් බිරිඳ එයට අකමැති වුන නිසා ඔහු විවාහය හා දරුවන් යන දෙකම ගැන කලකිරීමට පත්වුනා.
මෙසේ “අන්තෝ ජටා, බහිජටා” ලෙස තමන් තුල හා බාහිර ගැටලු සහගත ලෝකය ගැන කලකිරුන ඔහුට තමන්ගෙ ආගමෙන් හෝ සමාජයෙන් ඒ අඩුව මකා ගන්න බැරිවුණා. ඒනිසා දවසක් ගුවන්තොටුපලෙන්ම පොතක් අරගෙන කියවීමට තීරණය කලා. ඔහු අරගෙන තිබුනේ මහායාන ධර්මය ගැන ලියවුන පොතකි. එය කියවීමෙන් පසුව මහායාන ධර්මය තුල පැවිදි වීමට ඔහු තීරනය කලා. ඒ අනුව බිරිඳගෙන් වෙන් වෙලා ඉන්දියාවට පැමිණ ටික කලකින් පැවිදි වෙලා ඉන්දියාවේම වාසය කලා. බිරිඳ වෙනත් විවාහයක් කරගත්තා.
මේ අතර මහායාන ධර්මයේ පැවිදි වෙලා වසර ගණනක් ගියත් මේ ස්වාමින්වහන්සේට එයින් ලෝකයේ කලකිරීම හා “අන්තෝ ජටා, බහිජටා” නිරාකරණය කරන ක්‍රියාමාර්ගය හමුවුනේ නෑ. ඒ නිසා පිරිසිදු බුදුදහම සොයාගෙන මීට වසර අටකට පමණ පෙර ඉන්දියාවේ සිට ලංකාවට පැමිණියා. පසුව ලංකාවේදී නැවත ථෙරවාද උපසම්පදාව ලබාගෙන මේ දක්වා ඇහැටුවැව ප්‍රදේශයේ පිණ්ඩපාතිකව වාසය කරනවා. ලංකාවට පැමිණි කාලයේ උන්වහන්සේ අපට හමුවූ විට කීවේ තමන් වයස්ගත වුනාම නැවත ස්විට්සර්ලන්තයට ගොස් එහෙ අයටත් දහම කියාදෙන බවයි. නමුත් ඒ රටවල අයට මේ දහම වටහාගැනීම අපහසු බව සහ ඒ රටවලදී තමන්ට පැවිදිකම කරගැනීමට අපහසු බව තේරුම්ගෙන දැන් ඒ අදහස වෙනස් කර⁣ගෙන දිගටම ලංකාවේ සිටීමට තීරණය කර ඇත. මේ ස්වාමින්වහන්සේව බලන්නට ඇහැටුවැව පැමිණි විදේශික හිතවතෙක් මෙසේ විමසා ඇත. (What are you doing here? This is end of the word..!) “ඔබ මෙහෙ කුමක් කරනවාද? මේක ලෝකාන්තයනේ..!” ඔවුන් සිටින පරිසරය අනුව මේ ස්වාමින්වහන්සේ සිටින තැන ඔවුන්ට පෙනෙන්නේ ලෝකාන්තය ලෙසයි. ධර්මයේ ලෝකය යනු කාමයන් වන නිසා ඒ අනුව කාමයන්ගෙන් ඈත්වී යාමත් ලෝකාන්තයට යාමකි. නමුත් ලෝකාන්තයට යානාවකින් හෝ ගමනින් යාමට නොහැකි අතර ලෝකාන්තයට නොගොස් දුක අන්තයට යැවීමද කල නොහැකි බව බුදුරජාණන් වහන්සේ දේසනා කරන ලදී.
මෙසේ කාම ලෝකයට නෙක්ඛම්මය විෂම වෙන බව අංගුත්තර නිකායේ තපුස්ස සූත්‍රයේ තපුස්ස ගෘහපතියාද කියා ඇත. එහිදී ආනන්ද තෙරුන්වහන්සේ හමුවූ තපුස්ස ගෘහපතියා මෙසේ කියා ඇත, “කාමයන්ට ඇලී, කාමයන් පරිභෝජනය කරමින්, කාමයන්ගෙන් සතුටු වන අපට නෙක්ඛම්මය ප්‍රපාතයක් මෙන් වැටහෙයි. මේ ධර්මවිනයේ තරුණ භික්ෂුන් නෙක්ඛම්මයට සිත යොමුකර, පැහැදීමෙන්, නිදහසේ එහි සාන්ත බව දකිමින් සිටින බව අසා ඇත. එම නෙක්ඛම්මය බොහෝ ජනයා සහ භික්ෂුන් අතර විෂමතාවයකි.”
ලෝකයේ නානප්‍රකාර අදහස් හා නානප්‍රකාර කයවල් ඇති සත්ව කොට්ඨාසයක් වන මිනිසුන් විවිධාකාරයෙන් ලෝකය ගැන කලකිරීමට පත්වේ. නමුත් ලොකෙ වටේ කොහෙ ගියත් එය නිරාකරණය කරන ක්‍රියාමාර්ගය වන පිරිසිදු බුදුදහම තාම තිබෙන ලෝකාන්තය තිබෙන්නේ සිංහල බෞද්ධයා අතරම බවට මෙය තවත් එක උදාහරණයකි.෴

“ගමනෙන න පත්තබ්බො,
ලොකස්ස අන්තො කුදාචනං,
න ච අප්පත්වා ලොකන්තං,
දුක්ඛා අත්ථි පමොචනං”
(ලෝකාන්තයට කවදාවත් ගමනෙන් යාමට නොහැක, ලෝකාන්තයට නොපැමිණ දුකෙන් මිදීමක් ඇත්තේද නැත.)

– කපිල වංශ හිමි