New at Little Bit


from Path to Nirvana https://ift.tt/2VpsZSl
වේදල්ල (සිවුවන කොටස)

බුද්ධානුස්සති භාවනාව – සම්මා සම්බුද්ධ ගුණය

අරහං ගුණ භාවනාව කරන විදිය ගැන අපි කලින් කතා කළා. අද අපි සම්මා සම්බුද්ධ ගුණය භාවනා කරන විදිය ගැන ගෞරවණීය ස්වාමින් වහන්සේගෙන් අසා දැන ගනිමු. අවසරයි ස්වාමින් වහන්ස!
පිළිතුර : හොඳයි, තෙරුවන් සරණයි! මේ සම්මා සම්බුද්ධ ගුණය භාවනාවක් විදියට හුරු කරද්දිත් කලින් අරහං ගුණය සම්බන්ධව මතක් කළ ආකාරයෙන්ම පූර්වකෘත්‍යය ආදියෙන් සිත තැන්පත් කරගෙන අරමුණු කළ බුද්ධරූපය වෙත හිත යොමු කරල “සම්මා සම්බුද්ධ” ගුණයේ අර්ථ මෙනෙහි කරන්න. මේ සම්මා සම්බුද්ධ ගුණයේ අර්ථ මේ විදියට ධර්ම ග්‍රන්ථවල පෙන්වල තියෙනවා.
“ඉමෙසං ඛො, භික්‌ඛවෙ, චතුන්‌නං අරියසච්‌චානං යථාභූතං අභිසම්‌බුද්‌ධත්‌තා තථාගතො ‘අරහං සම්‌මාසම්‌බුද්‌ධො’ති වුච්‌චති.”
(මහණෙනි! මේ හතරක් වූ ආර්යය සත්‍යයන් තත් වූ පරිදි විශිෂ්ඨ ඤාණයෙන් අවබෝධ කළ බැවින් තථාගතයින් වහන්සේ “අරහං සම්මා සම්බුද්ධ” යැයි කියනු ලැබේ.) යනුවෙන් සංයුත්ත නිකායේ සම්‌මාසම්‌බුද්‌ධ සූත්‍රාදියෙහිත් වදාරළ තියෙනව. ඒ වගේම,
“‘‘අභිඤ්‌ඤෙය්‍යං අභිඤ්‌ඤාතං, භාවෙතබ්‌බඤ්‌ච භාවිතං;
පහාතබ්‌බං පහීනං මෙ, තස්‌මා බුද්‌ධොස්‌මි බ්‍රාහ්‌මණ.”
(බ්‍රාහ්මණ තුමනි! මා විසින් විශිෂ්ඨ ඤාණයෙන් දතයුතු සියල්ල විශිෂ්ඨ ඤාණයෙන් දැනගන්නා ලද්දේය, භාවනා වශයෙන් වැඩියයුතු සියලු ධර්ම භාවනාවශයෙන් වඩන ලද්දේය, ප්‍රහාණය කළයුතු ධර්ම ප්‍රහාණය කරන ලද්දේය, එබැවින් මම බුද්ධ නම් වෙමි.) යනුවෙන් මජ්ඣිම නිකායේ බ්‍රහ්මායු සූත්‍රාදියෙහිත් වදාරළ තියෙනවා.
ඒ වගේම මේ කරුණු තවදුරටත් විශුද්ධි මාර්ගය ආදී ධර්ම ග්‍රන්ථවල මේ විදියට විස්තර කරනවා.
“සම්‌මා සාමඤ්‌ච සබ්‌බධම්‌මානං බුද්‌ධත්‌තා පන සම්‌මාසම්‌බුද්‌ධො. තථාහි එස සබ්‌බධම්‌මෙ සම්‌මා සාමඤ්‌ච බුද්‌ධො, අභිඤ්‌ඤෙය්‍යෙ ධම්‌මෙ අභිඤ්‌ඤෙය්‍යතො බුද්‌ධො, පරිඤ්‌ඤෙය්‍යෙ ධම්‌මෙ පරිඤ්‌ඤෙය්‍යතො, පහාතබ්‌බෙ ධම්‌මෙ පහාතබ්‌බතො, සච්‌ඡිකාතබ්‌බෙ ධම්‌මෙ සච්‌ඡිකාතබ්‌බතො, භාවෙතබ්‌බෙ ධම්‌මෙ භාවෙතබ්‌බතො.”
(ඒ භාග්‍යවතුන් වහන්සේ මනාව සියලුම ධර්මයන් අනුන්ගේ උපදෙස් නොමැතිව තමන් වහන්සේම අවබෝධ කළ සේක. එබැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක. එය එසේමය :- ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ධර්‍මයන් අවබෝධ කළ සේක්ම ය. උන්වහන්සේ විශිෂ්ඨ ඤාණයෙන් දතයුතු චතුරාර්ය සත්‍ය ධර්ම විශිෂ්ඨ ඤාණයෙන් දැනගැනීම් වශයෙන් අවබෝධ කළ සේක. අනිත්‍යාදි ලක්‍ෂණ වශයෙන් පිරිසිඳ දත යුතු දුඃඛ සත්‍යය පිරිසිඳ දැනගැනීම් වශයෙන් ද, ප්‍ර‍හාණය කළයුතු සමුදය සත්‍යය නම් වූ තෘෂ්ණාව ප්‍ර‍හාණය කිරීම් වශයෙන් ද, සාක්ෂාත් කළයුතු දුක්ඛනිරෝධය නම් වූ නිර්වානය සාක්ෂාත් කිරීම් වශයෙන් ද, භාවනා වශයෙන් වැඩියයුතු මාර්ග සත්‍යය වැඩීම් වශයෙන් ද අවබෝධ කළ සේක.)
ඉහත කරුණු සියල්ල කැටි කරල මේ කරුණු භාවනාවට ගැලපෙන ආකාරයට, හොඳින් හිතට දැනෙන ආකාරයට පහත පරිදි භාවනා වාක්‍ය විදියට ගුරුවරු උගන්වනව. ඒ ටික හොඳින් අර්ථ දැනෙන විදියට හුරු කරගන්න ඕන.
1. සො භගවා ඉතිපි සම්මා සම්බුද්ධො,
2. සො භගවා අභිඤ්‌ඤෙය්‍යෙ ධම්‌මෙ අභිඤ්‌ඤෙය්‍යතො බුද්‌ධො ඉතිපි සම්මා සම්බුද්ධො,
3. සො භගවා පරිඤ්‌ඤෙය්‍යෙ ධම්‌මෙ පරිඤ්‌ඤෙය්‍යතො බුද්‌ධො ඉතිපි සම්මා සම්බුද්ධො,
4 සො භගවා පහාතබ්‌බෙ ධම්‌මෙ පහාතබ්‌බතො බුද්‌ධො ඉතිපි සම්මා සම්බුද්ධො,
5, සො භගවා සච්‌ඡිකාතබ්‌බෙ ධම්‌මෙ සච්‌ඡිකාතබ්‌බතො බුද්‌ධො ඉතිපි සම්මා සම්බුද්ධො,
6. සො භගවා භාවෙතබ්‌බෙ ධම්‌මෙ භාවෙතබ්‌බතො බුද්‌ධො ඉතිපි සම්මා සම්බුද්ධො,
සො භගවා සබ්‌බම්පි ඤෙය්‍යං සබ්‌බාකාරතො අවිපරීතං සයමෙව අභිසම්‌බුද්ධොති ඉතිපි සම්මා සම්බුද්ධො.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ මෙසේ ද, සම්මා සම්බුද්ධ නම් වන සේක,
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ විශිෂ්ඨ ඥානයෙන් දතයුතු වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් විශිෂ්ඨ ඥානයෙන් දැන වදාළ හෙයින් ද, සම්මා සම්බුද්ධ නම් වන සේක,
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කටයුතු වූ දුක්ඛ සත්‍යය පිරිසිඳ අවබෝධ කළ හෙයින් ද, සම්මා සම්බුද්ධ නම් වන සේක,
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතු වූ සමුදය සත්‍යය ප්‍රහාණය කළ බැවින් ද, සම්මා සම්බුද්ධ නම් වන සේක,
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ යුතු වූ නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කළ බැවින් ද, සම්මා සම්බුද්ධ නම් වන සේක,
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ භාවනා වශයෙන් වැඩිය යුතු වූ මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩූ හෙයින් ද, සම්මා බුද්ධ නම් වන සේක,
සංඛාර, විකාර, ලක්‍ෂණ, පඤ්ඤත්ති, නිබ්බාන යන පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය පරෝපදේශ රහිතව ස්වයම්භූ ඥානයෙන් සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ද, සම්මා සම්බුද්ධ නම් වන සේක.
පාළි පාඨ නොතේරෙනව නම් සිංහලෙන්ම විතරක් මෙනෙහි කරන්න. ඒ පදවල අර්ථය හිතට හොඳින් දැනීම තමයි වැදගත් වෙන්නෙ. මේ පාඨවල සමස්ථ අර්ථය තේරෙන තරමට හුරු උනායින් පසුව “සම්මා සම්බුද්ධො, සම්මා සම්බුද්ධො, සම්මා සම්බුද්ධො” කියල ඒ පදය පමණක් තේරුම දැනෙන විදියට මෙනෙහි කරන්න. මේ විදියට හොඳින් මෙනෙහි කරගෙන යනවිට මේ සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව මනා වැටහීමක් හිතට දැනෙනවා. ඉන්පසු ඒ අරමුණේම හිත හොඳින් තැන්පත් වෙනවා. මේ විදියට අරහං ගුණය ගැන අපි සඳහන් කළා වගේම මේ ගුණය මෙනෙහි කිරීමෙනුත් උපචාර සමාධි කියන උසස් සමාධි මට්ටමට හිත දියුණු කරගන්න පුලුවන්.
ප්‍රශ්ණය : අවසරයි ස්වාමින් වහන්ස! මේ වචන අතර කියැවෙනවා දුක්ඛාර්යය සත්‍යය ආදී වචන. සමහර කෙනෙකුට මේ වචනවල අර්ථය එතරම් නොතේරෙන්න ඉඩ තියෙනවා. ඒ සඳහා උපදේශයක් ලබාදෙන සේක්වා.
පිළිතුර : ඒ විදියට නොතේරෙන කාරණයක් තියෙනව නම් හොඳින් භාවනාව ප්‍රගුණ කරල තියෙන ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් මේ වචනවල තේරුම් දැනගන්න එක හොඳයි. රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සෙගෙ සූවිසි මහගුණය කියන පොතෙනුත් මේ ගැන වැඩිදුර කරුණු දැනගන්න පුලුවන්. ඒ විදියට හොඳින් අර්ථ දැනගෙන භාවනාව කරනව නම් ප්‍රතිඵල ඉක්මනින් ලබන්න පුලුවන්.
ප්‍රශ්ණය : මේ සම්මා සම්බුද්ධ ගුණය ගැන විස්තර කරද්දි බොහෝ ස්වාමින් වහන්සේලා සර්වඥතා ඤාණය ගැනත් දේශනා කරනව අපි අහල තියෙනවා, පොත් වලත් දැකල තියෙනවා. ඒ ගැනත් අපට කෙටියෙන් පැහැදිලි කරදෙන සේක්වා කියල අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
පිළිතුර : ඔව්. ඒකට හේතුව, සම්මා සම්බුද්ධත්වය ලැබීම කියල කියන්නේ සියල්ල දැනගැනීමේ ඤාණය කියන “සර්වඥතාඤාණය” ලැබීමයි. අපි කලින් සඳහන් කළා පාළි පාඨයක් “සබ්‌බම්පි ඤෙය්‍යං සබ්‌බාකාරතො අවිපරීතං සයමෙව අභිසම්‌බුද්ධොති සම්මා සම්බුද්ධො” කියල. ඒකෙ තේරුම මතක් කළා “සංඛාර, විකාර, ලක්‍ෂණ, පඤ්ඤත්ති, නිබ්බාන යන පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය පරෝපදේශ රහිතව ස්වයම්භූ ඥානයෙන් සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ද, සම්මා සම්බුද්ධ නම් වන සේක” කියල. මෙතන කියැවුනා “සංඛාර, විකාර, ලක්‍ෂණ, පඤ්ඤත්ති, නිබ්බාන යන පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය” කියල පාඨයක්. “ඤෙය්‍ය” කියන පාළි පාඨයේ තේරුම “දැනගතයුතු” කියන එකයි. මෙතැන කියැවුන ඒ සංඛාර ආදී දැනගතයුතු කරුණු පහට සියලුම ධර්ම ඇතුලත් වෙනව. ඒ නිසා මෙසේ සර්වඥතා ඤාණයෙන් දැනගතයුතු සියලු ධර්ම මනාව අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ කියල හඳුන්වනවා. මේ සර්වඥතා ඤාණය ලැබෙනවාත් හා සමගම දසබලඤාණත් පහළ වෙනව. ඒ නිසා ඒ ඤාණ ගැනත් පොත්වලින් දැනගෙන තියෙනව නම් ශ්‍රද්ධාව දියුණු කරගන්න ඒ කරුණුත් උපකාර වේවි. මේ විදියේ ධර්ම සාකච්ඡා සහ භාවනා කිරීම් නිවන දක්වාම අඛණ්ඩව දියුණු කරගන්න හැමෝටම හැකියාව ලැබේවා කියල අපි මෛත්‍රියෙන් සෙත් පතනවා. තෙරුවන් සරණයි.