New at Little Bit


from Path to Nirvana https://ift.tt/2ADZtAk
සනරාමර ලෝක ශිවංකර වූ අප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේන්ගේ පරිනිර්වාණයෙන් තුන්සිය දෙවැනි වර්ෂයෙහි ලක්දිව රජ පැමිණි දුටුගැමුණු මහරජතුමා(බු: ව: 383 , ක්‍රි :පූ: 161) විසින් කෝටි දහසක් පමණ ධන වියදමින් අනුරාධපුර නගරයට දක්‍ෂිණ දිශාභාගයෙහි වූ මහමෙවුනා උයනෙහි මේ මහා භද්‍රකල්පයෙහි බුදු වූ කකුසඳ,කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිවු බුදු වරයන් වහන්සේ වැඩ විසූ ස්වර්ණමාලී සෑය සර්වඥ පාරිභෝගික ශුද්ධ බිමක් ලෙස හැඳින්වේ.

අඩි 180 ක් උසවූ මෙම චෛත්‍යයෙහි ව‍‍ට ප්‍රමණය අඩි 1000 ක් වේ. අවසානයෙ සද්ධාතිස්ස රජතුමා විසින් වැඩ නිම කරවන ලද ද්‍රෝණයක් පමණ සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේ තිදන්කොට ද්‍රෝණයක් සර්වඥ ධාතූන් නිධන් කර ඇති බැවින් රන්මල් ධාතු ගර්භය පුරා විසිරවන ලද මේ පූජනීය භුමියේ වෙසක් පුන් පොහෝ දිනයෙහි මහාසෑය කරවන්නට සූදානම් වී මුල්වැඩ අරඹන විට සෑ භූමියේ රන්තෙලඹු ගසක් විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව්දුවක් රහතන් වහන්සේලා මුණ ගැසී ඇගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත් නොකරන්නැයි ඉල්ලා සිටියා ය. එවිට රහතන් වහන්සේලා ඒ දෙවඟන හට මහාස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව්දුව රහතුන්ගේ ආයාචනයට සතුටු වී රන්තෙලඹු ගසින් ඉවත්ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළ කොට සිටියා ය. නැවත ඕතමෝ තමාගේ නාමයෙන් මහා සෑය බඳිනා සේක්වා යැයි රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා ය. එකල්හි ඇයගේ ඉල්ලීමට සවන් දුන් රහතන් වහන්සේලා ස්වර්ණමාලී යන නාමය සහිතව මහාස්ථූපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමාට පැවසු අතර පසුව ස්වර්ණමාලී යන නම ප්‍රකට වූ බව කියවේ

🌺 වන්දනා ගාථාව

සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණමාලීති පතිතනාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

ස්වර්ණමාලී චෛත්‍යරාජයන් වහන්සේ වනාහි ඒ ඒ කාලවලදී ලක්දිව රජ පැමිණි සිංහලීය නරවරයන් විසින් නැවත නැවත ප්‍රතිසංස්කරණය කරමින් ආරක්ෂා කරන ලදහ. සිංහල නරවරයන්ගේ ජයභූමියක් වූ ඒ අනුරාධපුර නගරය පසු කාලයකදී ලෝක ධර්මය වූ පරිදි නටබුන් විය. නගරය පමණක් නොව මුළු පළාත ම ජනයාගෙන් හිස්ව වල් වැවි වන මෘගයන්ගේ වාසස්ථානයක් විය. මෙම කාලයේදී මිනිසුන්ගේ නොපැමිණීම නිසා සෑය මත ගස් වැවී වන මැද පිහිටි පර්වතයක් ලෙස දිස් වීය.

මෙසේ පවතින කල නාරන්ඕවිට සුමනසාර තෙරුන් වහන්සේ එහි පැමිණ වනය මැද පිහිටි සෑය හෙළිකරන්නට පටන් ගත්හ. ක්‍රි.ව 1884 දී පමණ චෛත්‍ය බඳ වන්නට පටන් ගත්තේය. පටන්ගත් නමුත් උන්වහන්සේට එය අවසන් කරන්නට නුපුළුවන් වීය. උන් වහන්සේ විසින් වර්ෂ බොහෝ ගණනක් මුළුල්ලේ මහත් උත්සාහයෙන් බැඳ වූ ඒ බැම්ම දුර්වල වී 1912 දී බිඳ වැටුනේය. ඉන්පසු එම වසරේ ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරි නෙල් පෙරේරා වෙද රාල හාමිගේ මුලිකත්වයෙන් රුවන්වැලි චෛත්‍ය වර්ධන සමිතිය නමින් සමාගමක් පිහිටුවා චෛත්‍ය බඳවන්නට පටන් ගන්න ලදී. දක්ෂ ඉංජිනේරු මහතුන්ගේ උපදේශ පරිදි ශක්තිමත් ලෙස චෛත්‍ය රාජයා බඳවන්නට පටන් ගත් සමිතිය, බැඳීම අවසන් වන්නට ලංවූ කල එය මත පැළද වීමට ටොන් 6ක් පමණ බරැති ආදී සුවිස්සක් පමණ උස්වූ ලෝහමය කොතක්ද කරවීය. එහෙත් චෛත්‍ය මස්තකයෙහි පැළඳ විය යුතු චුඩා මානික්‍ය සම්බන්ධයෙන් දුෂ්කර තත්වයකට පත් විය. පුවත් පත් වල දැන්වීම් පල කිරීම් ආදියෙන් චුඩා මාණික්‍යය වර්ෂ ගණනක් මුළුල්ලේ සෙවූ නමුත් කොතනකින් වත් එයට සෑහෙන පළිඟුවක් නොලැබිණි. අවසානයේදී කොළඹ දෙමටගොඩ මහා මකුටාරාමාධිපති ගරු යු. විනයාලංකාර බුරුම නායක ස්වාමින්වහන්සේ ගේ උපකාරය සෙවුහ.බුරුම නායක මාහිමියන්වහන්සේ මේ කාලයේ අභිනව දළඳා මාලිගය කරවමින් මහනුවර වැඩ සිටියහ. රුවන්වැලි චෛත‍යවර්ධන සමිතියේ නිලධාරී පිරිසක් උන් වහන්සේ වෙත ගොස් මුහුණ පාන්නට සිදුවී දුෂ්කර තාවය උන් වහන්සේට දන්වා බුරුමයෙන් වත් චුඩා මාණික්‍යයක් සොයන්නට උත්සාහ කරන ලෙස ආරාධනා කළහ. චුඩා මානික්‍ය පිලිබඳ දුෂ්කරත්වය පහකර ලීමේ වටිනාකම දත් බුරුම ජාතික මාහිමිපාණන් තමන්වහන්සේ විසින් කරවමින් සිටින දළඳා මාලිගා කර්මාන්තයද රුවන් මැලි සෑය බැඳවීමට දෙවැනි නොවන තරමේ බරපතල දෙයක් වුවද එය වෙනත් බුරුම තෙරුන්වහන්සේ නමකට භාර කොට 1933 මයි මස 17 දින කොළඹ වරායෙන් නැව් නැග චුඩා මාණික්‍යයක් සොයනු සඳහා රැන්ගුන් නුවරට වැඩි සේක.

උන්වහන්සේ රැන්ගුන් නුවර දින කීපයක් නැවතී සම්මුඛ වන මහා තෙරුන් වහන්සේලාගෙන් හා රටතොට ගැන දන්නා මහතුන්ගෙන්ද චුඩාමානික්‍යට සරිලන පළිඟුවක් ගැන විමසු නමුත් එයින් පලක් නොවීය. ඉන්පසු උන්වහන්සේ අමරපුරය නම්වූ උඩබුරුමයෙහි මැනික් ගැන සුපතල මෝගොක් නගරයට වැඩියහ. ඒ නගරය වනාහි මැණික් ආකර හිමියන්ගෙද . මැණික් වෙළඳුන්ගෙද , මැණික් කර්මාන්තය කරන කරන ශිල්පීන්ගේද වාසස්ථානයකි. නායක හිමියන්වහන්සේ එහි වෙසෙන් මැණික් වෙළඳුන්ට හා මැණික් ආකාර හිමියන්ට තමන්වහන්සේ පැමිණි කාරණය දැන්වීය. ඔව්හු මේගැන මහත් සැලකිල්ලක් දක්වා උවමනා කරන පලිඟුවේ ගණන් මිනුම් ගෙන එතෙක් ලැබී තිබුණු පලිඟු ඉතා ඔනෑ කමින් පරීක්ෂා කළහ. චුඩා මානික්‍ය සඳහා සරිලන පළිඟුවක් වෙළෙන්දෝ උන්වහන්සේට පරිත්‍යාග කළහ. එහි වටිනාකම එකල මුදලින් රුපියල් 6000කි. මෝගොක් ආකාර වලින් ලැබුණු පලිඟුව ලංකා පලිඟුවට වඩා බෙහෙවින් ආලෝකවත්ය. එබැවින් ඒවායේ වටිනා කමින් අධිකය. බුරුම නායක හිමිපාණන් 1938 අගෝස්තු මාසයේදී ඒ පලිඟුව ලංකාවට රැගෙන ආවේය. රුවන්මැලි චෛත්‍ය වර්ධන සමිතියේ මහතුන් එම දුර්ලභ වස්තුව දැක බොහෝ සෙයින් සතුටු වී බුරුම හිමි පානන්ට අනේක ආකාරයෙන් ස්තුති කරමින් සතුටු වුහ.

ඉක්බිති රුවන්මැලි චෛතය සමිතියේ මහත්වරු ආකාරයෙන් ගොඩගත් පරිදිම ගෙන ආවාවූ එම පලිඟුව කැප්පවීමට ශිල්පයකු සෙවීය. කුඩා මැණික් ගල්මිස විශාල ගල් කැපිය හැකි යන්ත්‍රෝපකරණ සහිත කර්මාන්ත ශාලා ලංකාවේ නොමැති බැවින් එය කැපීය හැකි කෙනෙකු සොයා ගත නොහැකි විය. එබැවින් දෙවන දුෂ්කර පැනයට සමිතියේ මහතුන්ට මුහු දෙන්නට වීය. එය විසඳා ගැනීමට ඔව්හු පලිඟුව සැපයු බුරුම නායක මාහිමිපානන්ගේම උපකාරය සෙවුහ. බුරුම බෞද්ධයන් වෙනුවෙන් එය කපවා පරිත්‍යාග කරතහොත් පිළිගැනීමට සමිතිය සතුටු බව බුරුම නායක හිමිපාණන්ට දන්වා චුඩා මානික්‍ය සැපයීමේ සම්පුර්ණ භාරය උන්වහන්සේටම පැවරූහ. උන්වහන්සේ ඒ ආරාධනාව සතුටින් පිලිගෙන සමිතිය මගින් පිළියෙළ කරන ලද චුඩා මාණික්‍යයේ සැලැස්ම සහ පලිඟුව රැගෙන නැවත බුරුමයට පැමිණ මෝගොක් නුවරටම ගොස් චුඩා මාණික්‍ය කැපීම සඳහා පලිඟුව ශිල්පීන් අතට පැමිණ වුහ.

චුඩා මාණික්‍යයේ සැලැස්ම පරිදි පලිඟුව කපා ගෙනගිය නමුත් එක පසකින් පාඩුවක් සිටිය බැවින් එය නොගත හැකි විය. එයින් බලාපොරොත්තු සුන් විය. මාස ගණනක් මුළුල්ලේ රටින් රට ඇවිදිමින් කරන ලද ව්‍යාපාරය නිෂ්පල විය. කොතෙක් දුෂ්කරතා පැමිණියත් කරන්නට පටන්ගත් දෙය මුදුන් පත් වන තෙක් නොනවත්වන ස්වභාවය වූ වීර භාවය උත්පත්තියෙන්ම පිහිටි මහාපුරුෂයකු වූ බුරුම නායක මාහිමියන්වහන්සේ එපමණකින් නොපසු බැස නැවතත් පළිඟුවක් සොයන්නට වන්හ. විනයාලංකාර බුරුමනායක හිමිපාණන්ගේ පුණ්‍ය මහිමය නිසාදෝ පළමු පලිඟුවට ද වඩා ලොකු පළිඟුවක් පළමු පලිඟුව පරිත්‍යාග කල මහතුන්ටම ලැබී තිබුණි. ඔව්හු එයද නොමසුරුව ඒ නායක හිමිපාණන්ට පරිත්‍යාග කළහ. ඒ පලිඟුව රුපියල් අටදහසක් අගනේ විය. මොගාක් නුවර ආකාරවලින් ඉන් පෙර කිසිවකු විසින් එපමණ මහත් පළිඟුවක් ලබා නැත. මේ අවස්තාවේදී ම මෙබඳු චුඩා මාණික්‍යයට ප්‍රමාණවත් පළිඟුවක් ලැබීම ආශ්චර්යකි. මේ ගැන තත් දන්නා සියලු දෙනාම පුදුමවුහ. දෙවනුව ලද ඒ පලිඟුවෙන් ඉන්ජිනේරුමහතුන් විසින් තැනු සැලැස්ම පරිදි චුඩා මාණික්‍යය කපන ලදී. එහි උස අඟල් 18කි. වට පමාණය අඟල් 26කි. බර රාත්තල් 66කි.

🌺 චූඩාමාණික්‍යය සැරසීම

පලිඟුව කපා අවසාන වූ කල්හි බුරුම නායක හිමිපානන් එය ස්වර්ණමය ආධාරකයක පිහිටුවා මුදුනෙහි ධාතු කරඬුවක් ද පිහිටුවා තවත් මානික්‍යන්ගෙන් සරසන්නට සිතා ඒ බව බුරුම බෞද්ධයන්ට දැන්වීය. උන් වහන්සේගේ වචනය ඇසු බොහෝදෙනා ඒ සඳහා රන් රිදී මැණික් පරිත්‍යාග කරන්නටත් මුදල් වියදම් කිරීමටත් කැමැත්ත දැක්වුහ. එයින් සතුටට පත් නායක හිමිපාණෝ එය කරවීමට මොගොක් නුවර ධනවත් බෞද්ධ මහතකුට පැවරූහ. ඒ මහතා කිසිවෙකුගෙන් උපකාරයක් නොලැබුනත් තමාගේම වියදමින් නායක මාහිමියන්වහන්සේගෙන් අවසර ලැබෙන සැටියට කරවා දෙමි’යි ප්‍රතිඥා කොට කට යුත්ත භාර ගත්තේය. එම කටයුත්ත සිය ඇස් ඉදිරියේම පිරිසිදුව කරවන්නට කල්පනා කළාවූ ඒ මහතා ඒ සඳහා උවමනා සියලුම උපකරණ අලුතින්ම තම නිවසට රැස්‌ කරවා රන් කරුවන් හා මැණික් කපන්නන්ද සිය නිවසට ගෙන්වා ආරක්ෂා සහිතව එම කාර්ය කරවන්නට පටන් ගත්තේය. මේ බුරුමනායක මාහිමියන් වහන්සේ වනාහී සිතුවහොත් කොතරම් වියදම් වන දෙයක් උවත් ලෙහෙසියෙන් සිදු කල හැකි මහා පින් ඇත්තෙකි. එබැවින් කාර්ය ආරම්භ කරනු සමගම රන් රිදී සහ මැණික් උන්වහන්සේ වෙත ගලා එන්නට විය. රිදියෙන් වාත්තුකොට රත්රනනින් සියල්ල වසා මැණික් ඇල්ලු අඩියක චුඩා මානික්‍ය සවිකොට මුදුනේ ස්වර්ණමය ධාතු කරඬුවක් පිහිටුවා මැණික් සැරසු ස්වර්ණමය කෝෂයකින් මුදුන වසා සතර දිශාවට මැණික් වැල් සතරක් එල්ලා නව මසකින් චුඩා මානික්‍ය කර්මාන්තය නිමවන ලදී.

චුඩා මාණික්‍යය පිහිටවූ අඩියේ උස අඟල් 13 කි. බර රාත්තල් 156කි. එය වසා පෙරවීමට රත්තරන් රාත්තල් 12ක් ගන්නා ලදී. එහිඉතිරි රාත්තල් 144 රිදීය.

මේ සඳහා ලැබුණු මැණික් ගල් 7684කි. ඒවා අතර රුපියල් 15000ක් (එකල මිල) පමණ වටිනා ලෝහිතංක මානික්‍යක්ද වීය.ලැබුණු මැණික් ගල් අතර රුපියල් 5ක් නොවටිනා එකම ගලකදු නොවීය. මැණික් සියල්ලම චුඩා මාණික්‍යයට ඇල්ලවිය නොහැකි බැවින් තෝරාගත් වඩා වටිනා මැණික් 4350 කින් චුඩා මානික්‍ය අලංකාර කරන ලදී. ඒ මැණික් වලින් 15000 ක් අගනා ලෝහිතංක මැණික් සහිත අගනා ගල් 1144 කින් චුඩා මාණික්‍යයේ මුදුන සරසා තිබේ. අඩිය සහිත චුඩා මාණික්‍යය උස අඟල් 31කි.

🌺 ධාතු වැඩීමේ ආශ්චර්ය සිද්ධීන්

චුඩා මාණික්‍යය මුදුනෙහි පිහිටවන ස්වර්ණමය කරඬුවෙහි වඩා හිඳවනු සඳහා බුරුම නායක මාහිමියන් විසින් ඒ ඒ තැනින් සපයා ගත් ධාතුන්වහන්සේලා 9 නමක් වීදුරු කුප්පියක තැන්පත් කර තිබුනෝය. චුඩා මානික්‍ය මුදුනෙහි ධාතු කරඬුව තැන්පත් කරන්නට බලාපොරොත්තු වූ දිනයෙහි නායක මාහිමිපානන් ධාතුන් වහන්සේලා වැඩ සිටින කුප්පිය වැඩ කරන තැනට ගෙනගිය මුත් කරඬුව සවි කිරීම එදින අවසන් කිරීමට නුපුළුවන් වුයෙන් ධාතුන් වහන්සේලා වැඩ සිටින කුප්පිය එහිම එහිම සුදුසු තැනක තබා වැඩියහ. පසුදින උන්වහන්සේ එහි වැඩ කරඬුවෙහි තැන්පත් කරනු පිණිස ධාතුන් වහන්සේලා ගන්නට බැලු කල්හි කුප්පිය පුරා ධාතුන්වහන්සේලා වැඩ සිටින බව දුටහ. ඒ කාරණයෙන් එහි උන් සැම දෙනම පුදුම වුහ. ඒ ආශ්චර්ය දැක සැම දෙනාම සතුටින් පිනා ගියහ. ඉක්බිති කුප්පියෙහි වැඩහුන් ධාතුන්වහන්සේලා ඉන් පිටතට වැඩමවා ගැන බැලූ කල්හි ධාතුන්වහන්සේලා 98ක් දක්නා ලදහ.ඉක්බිති බුද්ධා ලම්බන ප්‍රීතියෙන් පින පිනා එහි වුවන් සාධු නාද පවත්වද්දී නායක මාහිමියන් වහන්සේ චුඩා මානික්‍ය මුදුනෙහි වූ කරඬුවෙහි ඒ ධාතුන්වහන්සේලා 98 නම වඩා හිඳවුහ.

ඉක්බිති චුඩා මාණික්‍යය ලක්දිවට පමුණුවනු සඳහා මෝගොක් නුවර සිට විශේෂ දුම්රියකින් මහත් වූ උත්සව ශ්‍රී යෙන් බුරුමයේ රැන්ගුන් නගරයට පමුනවනු ලැබීය. රැන්ගුන් නගරයට ගෙනයන චුඩා මාණික්‍යය දර්ශනය සඳහා දුම්රිය නවත්වන සෑම ස්ථානයකම දහස් ගණන් ජනයා රැස්ව උන්හ. රැන්ගුන් නුවරදී එය ශ්වේද ගොන් චෛත්‍යයේ භාරකාර මහත්මෝ දුම්රිය ස්ථානයට පැමිණ මහත් ආදරයෙන් මහත් වූ උත්සවයෙන් පිලිගත්තෝය. ඒ පිළිගැනීමේ උත්සවයට සහභාගී වනු සඳහා රැන්ගුන් නුවර නායක තෙරුන්වහන්සේලා ඇතුළු බොහෝ භික්ෂුන්වහන්සේලාගෙන්ද,රජයේ ඇමතිවරුන් සහ උසස් නිලධාරීන්ගෙන්ද, නොයෙක් සමිති වෙනුවෙන් පැමිණි සිටි නියෝජිතයන්ගෙන්ද, ජන ප්‍රධානයන්ගෙන් හා මහා ධනවතුන් ගෙන්ද යුක්තවූ ලක්ෂයකට අධික ජනකායෙක් පැමිණියෝය.
දුම්රියපළේ සිට විශේෂයෙන් පිලියල කරන ලද රථයක තබා චුඩා මාණික්‍යය ලක්ෂයක් පමණ ජනයාගෙන් යුක්තවූ මහ පෙරහැරකින් රැන්ගුන් නුවර ශ්වේද ගොන් චෛතයස්ථානයට පමුණුවා එහිදී මහා ජනයාට ප්‍රදර්ශනය කරන ලද්දේය. මේ උත්තම වස්තුව ලක්දිවට පැමිණ විය යුතු කාලය පැමිණෙන තුරු ශ්වේද ගොන් චෛත්‍ය රාජයාගේ භාර කාර මහතුන් විසින් චෛත්‍යරාජයා සමීපයෙහි වූ විශේෂ මන්දිරයක තැන්පත්කොට ආරක්ෂාකර සුදුසු කාලය පැමිණි කල්හි ලක්දිවට යැවීම පිණිස බුරුමයේ ආණ්ඩුකාර තුමාට භාර කිරීමටද එතුමා විසින් එය රාජකීය භාණ්ඩයක් වශයෙන් ලංකා ආණ්ඩුකාරතුමා වෙත එවීමටද ලංකා ආණ්ඩුකාරතුමා විසින් මහ ඇමතිතුමාගේ මාර්ගයෙන් රුවන්මැලි චෛත්‍යය රාජයා මත පැළඳවීම සඳහා චෛත්‍ය වර්ධන සමිතියට භාර කිරීමට නියම කර ගන්නාලදී. මෙසේ ආශ්චර්ය ලෙස ලැබී සැපයුණ මේ අනර්ග වස්තුව රුවන්මැලි සෑය චෛත්‍ය වර්ධන සමිතියේ ආරාධනාවෙන් බුරුම ජාතික විනයා ලංකාර හිමි පානන් විසින්ම රුවන්මැලි සෑයේ පළඳවන ලදී.

🌺 මහා සෑයේ තැන්පත් කර ඇති නව චූඩාමාණික්‍යය අසිරිය

දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ට්ල් නම් පලිඟු පාෂණ සැපයීමේ සහ කැටයම් කිරීමේ කටයුතු සඳහා අංක එකේ ආයතනය ලෙස හැඳින්වෙන ඕස්ට්‍රේලියානු සමාගමක් හරහා ලබාගත් ඉතා වටින දුර්ලභ පලිගුවකින් මෙම චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද එම ඕස්ට්‍රේලියානු සමාගම විසිනි.

එහි පාදම පිරිසිදු රත්‍රන් යොදාගෙන ලෝක ප්‍රසිද්ධ සිංගප්පූරු සමාගමක් මගින් නිර්මාණය කර ඇත.

මෙම රන් පාදම වෙනුවෙන් පිරිසිඳු රත්තරන් කිලෝ ග්‍රෑම් 28 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම හැඩ ගන්වන ලද ස්වාභාවික නිල්මැණික් සහ රතුමැණික් ගල් 4,300 ක් යොදාගෙන තිබේ.

රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම දිනවල කෙරේ. නව චූඩා මාණික්‍යය තැන්පත් කිරීම ඇතුළු කටයුතු සිදුවන්නේ පුරාවිද්‍යා නිලධාරීන්ගේද අධීක්‍ෂණය යටතේ බුද්ධගයාවේ ද ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇති ‘විශ්ව පාරමී’ පදනම මගිනි.

උපුටා ගැනීම රේරුකානේ චන්දවිමල හිමිපාණන්ගේ සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති නම් පොත ඇසුරිනි.

උපුටා ගැනීම හර්ෂනී ප්‍රමෝද්‍යා බුලත්සිංහල

____________________________________

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.