Monthly Archives: September 2014

“සැප ලබන්නේ පින නිසාමයි” විශාඛා මහෝපාසිකාවගේ කථා වස්තුව පින්වතුනේ, පින්වත් දරු…

“සැප ලබන්නේ පින නිසාමයි”

විශාඛා මහෝපාසිකාවගේ කථා වස්තුව

පින්වතුනේ, පින්වත් දරුවනේ,

පින කියන්නේ මහා පුදුම දෙයක්. පින තුළින් දෙවි මිනිසුන් හට පුදුම විදිහේ සැප ලැබෙනවා. පින් කරපු අය උපදින්නේ සැප විඳින්නමයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය බබලන කාලයේ ධර්මය තුළින්ම විශේෂත්වයට පත් පිරිස් භික්ෂූන් වහන්සේලා අතර සිටියා. භික්ෂුණීන් වහන්සේලා අතරත් සිටියා. උපාසකවරුන් අතරත් සිටියා. උපාසිකාවන් අතරත් සිටියා. ඒ සිව්වණක් පිරිස තුළ විශේෂ ගුණධර්මයන් වැඩුණු උතුමන් හට බුදුරජාණන් වහන්සේ අගතනතුරු දී වදාළා.

විශාඛා මහෝපාසිකාව ගැන ඔබ කවුරුත් දන්නවා. එතුමිය තමයි මේ බුද්ධ ශාසනයේ ප‍්‍රධානම උපාසිකාව වුනේ. එතුමියට දන් පැන් පූජා කරන උපාසිකාවන් අතර අග‍්‍ර දායිකාව බවට අගතනතුරු ලැබුනා. උපාසකවරුන් අතරේ අගතනතුරු ලැබුනේ අනේපිඬු සිටුතුමාටයි.

මෙම විශාඛා මහෝපාසිකාව සෝතාපන්න බවට පත්වුනේ සත්හැවිරිදි වියෙහිදීයි. එතකොට ඇය සිටියේ අංග ජනපදයේ භද්දිය කියන නගරයේ. සැවැත් නුවර මිගාර සිටාණන්ගේ පුත‍්‍රයා වන පූර්ණවර්ධන සිටුවරයාට විවාහ කරදීම නිසයි ඇය සැවැත් නුවරට පැමිණියේ. මිගාර සිටුපවුල කලින් නිගණ්ඨ නාතපුත‍්‍රගේ ශ‍්‍රාවකයන්. නමුත් විශාඛාව ඉතාමත් බුද්ධිමත්ව නිර්භීතව අභිමානවත්ව කටයුතු කිරීම නිසා ඒ මුළු පවුලම තෙරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් බවට පත්වුනා.

ඒ වගේම විශාඛා භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කළේ මවක් දරුවන්ව රැකගන්නා ආකාරයටයි. ඔබ දන්නවා ඇති විශාඛා පංචකල්‍යාණයෙන් යුක්තයි. ඒ කියන්නේ ඇයට ඉතාමත්ම සෝභාසම්පන්න කේශ කලාපයක් තිබුනා. ඒ කේශ කල්‍යාණයයි. ඇයගේ ශරීරයේ අත් පා ආදිය ඉතා සෝභාසම්පන්නව පිහිටා තිබුනා. එය මාංශ කල්‍යාණයයි. ඇයට ඉතාමත්ම අලංකාර සුදෝසුදු දත් දෙපෙළක් තිබුනා. එය අස්ථි කල්‍යාණයයි. ඇයට රන්වන් පැහැයෙන් දිලෙන සමක් තිබුනා. එය ඡවි කල්‍යාණයයි. ඇය දරුවන් විසි දෙනෙකුගේ මවක් වෙලා සිටියදී පවා ඉතාමත් ආකර්ෂණීය රූපයක් තිබුනා. ඇයගේ වයස කිසිකෙනෙකුට කියන්නට බැහැ. දියණිවරුන් අතරේ, මිණිබිරියන් අතරේ පවා ඇය දිස්වුනේ දියණියක් වගේ. එය වයඃ කල්‍යාණයයි. ඒ වගේම ඇයට මහාලතාපසාදනී නමින් ආභරණයකුත් තිබුනා. දඹදිව එවැනි වටිනා ආභරණ තුනක් තිබුනා. එකක් විශාඛා මහෝපාසිකාව සතු වුනා. අනෙක බන්ධුල මල්ලිකාව සතුවුනා. අනෙක බරණැස සිටුතුමාගේ දියණිය සතු වුනා.

දිනක් විශාඛාව මංගලෝත්සවයකට යන්නට මෙම ආභරණය පැළඳගත්තා. විසිහත් කෝටියක් වටිනා එම ආභරණය පැළඳගත් විට ඇයව මුළුමනින්ම බබලනවා. එය පැළැඳ ඇය ගමන් කරන විට ඇයගේ සිරුරින් රැස් විහිදෙනවා. ඉතින් එදා ඇය මංගලෝත්සවයට යන අතරේ ගිලන් වූ භික්ෂුවක් ගැන දැනගන්නට ලැබුනා. ඇය කෙළින්ම දෙව්රම් විහාරයට යන්නට පිටත් වුනා. එහෙත් ඇය මහාලතාපසාදනී නම් ආභරණය සමඟ වෙහෙරට යන්නට කැමති වුනේ නෑ. ඇය එම ආභරණය සිරුරෙන් ඉවත් කොට දාසියට දුන්නා. ඉන්පසු ඒ ගිලන් ස්වාමීන් වහන්සේව බැහැදකින්නට ගොස් ඇපඋපස්ථාන කටයුතු සොයා බැලූවා. ඇය කටයුතු අධික බැවින් ආපසු යන්නට පිටත් වුනා. අතරමගදී ඇයට මහාලතාපසාදනිය මතක් වුනා. එය රැගෙන එන්නට දාසිය පිටත් කළා. ඒ වන විට ඒ මහාලතාපසාදනිය විහාරයේ පසෙක තිබෙනු දුටු ආනන්ද තෙරුන් වහන්සේ සුරක්ෂාව පිණිස එය වෙන තැනකින් රැගෙන තිබ්බා. මෙය දැනගත් විශාඛාව මෙහෙමයි කල්පනා කළේ. “දැන් මේ ආභරණය ආර්යයන් වහන්සේලාගේ අතින් අරගෙන පැත්තකින් තියපු දෙයක්. ඒ නිසා මං මෙය පරිහරණය කරන එක හරි නෑ. ඒ නිසා මං මෙය විකුණනවා. විකුණලා සංඝයාට කැප වූ විශේෂ දෙයක් කරනවා” කියලා ඉතාම සතුටින් මෙම ආභරණය ගෙන්වා ගෙන සල්පිලට ගෙනිච්චා.

මෙය විසිහත් කෝටියකට ගන්නට කවුරුත් නෑ. අන්තිමේදී විශාඛාව විසින්ම විසිහත් කෝටියක ධනයදී ඒ ධනය ගැලක පටවා ගෙන වෙහෙරට ගියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කොට මෙසේ පැවසුවා. “ස්වාමීනී, ආනන්දයන් වහන්සේ විසින් මහාලතාපසාදනී අතින් ස්පර්ශ කොට පසෙකින් තිබ්බා. එතැන් පටන් එය මට පරිහරණය කරන්නට සිතෙන්නේ නෑ. මහා ගෞරවයක් ඇතිවෙනවා. ආර්යයන් වහන්සේ නමක් අතින් ස්පර්ශ කරපු දෙයක් ආර්යයන් වහන්සේලා කෙරෙහි මේ සා ආදර ගෞරව දක්වන මා කොහොමද පරිහරණය කරන්නේ? ඉතින් ස්වාමීනී, මං එය විකුණන්නට සල්පිලට ගෙනිච්චා. එය ගන්නට කිසිවෙක් නෑ. එය මම ම මිලට ගත්තා. ඒ මුදල් මේ ගැල්වල පටවාගෙන ආවා. ස්වාමීනී, මං මෙයට මොකද කරන්නේ?”

“එහෙමනම් පින්වත් විශාඛා, නැගෙනහිර දොරටුවේ සංඝයාට වාසය කිරීම පිණිස අසපුවක් තනවන්න.” ඉතින් විශාඛා ඉතාම සතුටින් යුතුව කෝටි නවයක් වියදම් කොට භූමිය මිලට ගත්තා. කෝටි නවයක් වියදම් කොට යට මහලේ කාමර පන්සියයකින් යුතුව, උඩු මහලේ කාමර පන්සියයකින් යුතුව කුටි දහසක අසපුවක් කෙරෙව්වා. නව කෝටියක් වියදම් කොට උත්සවාකාරයෙන් එය බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ සංඝයාට අතපැන් වත්කොට පූජා කළා.

එය පූජා කළ දවසේ ඇය පුදුමාකාර සතුටකට පත්වුනා. සතර මාසයක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂුසංඝයාට දන්පැන් පූජා කළා. අවසාන දවසේ දසදහස් ගණන් භික්ෂූන් වහන්සේලාට තුන්සිවුරු පූජා කළා. මේ ආකාරයට විසිහත් කෝටියක් වියදම් කරවමින් පූර්වාරාම මහා විහාරය බුද්ධශාසනයට පූජා කළා. ඇය එදා මහා සතුටට පත්වෙලා දූදරුවන්, යහළු යෙහෙළියන් පිරිවරාගෙන මිහිරි ගී ගය ගයා පූර්වාරාමය වටේ ඇවිද ඇවිද ගියා.

“සුදුපැහැයෙන් බබලන ඒ – සුරම්‍ය ප‍්‍රාසාදේ
විහාරයක් කොට දුන්නෙමි – සිතේ සතුට විහිදේ
සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
ඇඳ පුටු හා මෙට්ට පැදුරු – ඇතුරුව ප‍්‍රාසාදේ
සේනාසන බඩු දුන්නෙමි – සිතේ සතුට විහිදේ
සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
රස මසවුළු බොජුන් යුතුව – නිරතුරු දන් සාලේ
උතුම් සංඝ දාන දුනිමි – සිතේ සතුට විහිදේ
සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
සිනිඳු කසී සළුවෙන් යුතු – සකසා තුන් සිවුරේ
දහස් ගණන් සිවුරු දුනිමි – සිතේ සතුට විහිදේ
සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
ගිතෙල් වෙඬරු මී පැණි තෙල් – ගිලන්පසට සෑදේ
සංඝයාට බෙහෙත් දුනිමි – සිතේ සතුට විහිදේ
සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ ”

ඉතාමත් මිහිරි හඬින් ඇය මෙලෙසින් ගායනා කරමින් පූර්වාරාමය වටේ ඇවිදින විට භික්ෂූන් වහන්සේලා ඒ ගැන බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, විශාඛා මහෝපාසිකාව ඉතාම නිශ්ශබ්දව කටයුතු කළ කෙනෙක්. මහ හඬින් කතා කළේ නැහැ. සියලූ දෙනාටම ආදර්ශවත් වුනා. එහෙත් ස්වාමීනී, අද ඇයගේ වෙනසක් පේනවා. කිසිම අමුත්තක් නැතුව මහ හඬින් ගීත ගයමින් ප‍්‍රාසාදය වටා ඇවිදිනවා. සාර මාසයක් මුළුල්ලේ වෙහෙස මහන්සි වී දන්දීම නිසා පිත කිපුනා වත්ද? සෑහෙන්න නිදිවැරීම නිසා උමතු වුනා වත්ද?”

“පින්වත් මහණෙනි, විශාඛාව ගී ගයන්නේ ඇයගේ සසරේ පැතුමක් ඉටුවීම නිසයි. ඇය ඔය ගායනා කරන්නේ උදාන ගී” යයි වදාළ බුදුරජාණන් වහන්සේ යළි මේ ගාථා රත්නය මිහිරි හඬින් වදාළා.

යථාපි පුප්ඵරාසිම්හා – කයිරා මාලාගුණේ බහූ
ඒවං ජාතේන මච්චේන – කත්තබ්බං කුසලං බහුං

සුවඳ සුපිපි මල් අරගෙන – ගොතයි නේක මල් මාලා
එලෙසින් ලොව උපන් කෙනා – කළ යුතු පින් මාලා
සැප හා සැනසුම ලැබෙනා – කුසල් වැඩිය යුතු නිතිනා
නිරතුරු පින් කළ යුතුමයි – මාල ගොතන ලෙස නිතිනා

පින්වතුනේ, පින්වත් දරුවනේ, මල් මාලා ගොතන කෙනෙක් හැම තිස්සේම කල්පනා කරන්නේ ලස්සන මල් එකතු කිරීම ගැනයි. එයා යන යන තැන සොයා බලන්නේ ලස්සන මල් තියෙන්නේ කොහේද කියලයි. ඒ ඒ තැනට ගිහින් මල් නෙලා ගන්නවා. හොඳින් පරිස්සම් කරගන්නවා. ඉතාම අලංකාර ලෙස මල් මාලයට අමුණා ගන්නවා.

බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ විදිහට අපිත් කටයුතු කළ යුතු බවයි. පින ළඟට එනකම් බලාගෙන සිටීම නුවණක්කාර වැඩක් නොවෙයි. පිනට ආසා කෙනා පින සොයාගෙන යන්නට ඕන. විශාඛාව පූර්වාරාමය පූජා කරන දවසේ විශාඛාවගේ යෙහෙළියකට සංඝයා උදෙසා ලක්ෂයක් අගනා වස්ත‍්‍රයක් පූජා කරන්නට ඕන වුණා. ඇය එය එළන්නට සුදුසු තැනක් මුළු පූර්වාරාමයේම ඇවිද ඇවිද සෙව්වත් සොයන්නට බැරිව ගියා. ඇයට ලොකු දුකක් ඇති වුනා. අන්තිමේදී පසෙකට වාඩි වී හඬ හඬා සිටියා. ඇයගේ හැඬුම අසා ආනන්ද ස්වාමීන් වහන්සේ එතනට වැඩියා. “පින්වත් දියණිය, හඬන්නේ ඇයි?” ”අනේ ස්වාමීනී, මට මේ පිනට සහභාගී වෙන්නට ලොකු ආසාවක් තිබුනා. ඒ නිසයි මේ ලක්ෂයක් අගනා වස්ත‍්‍රය අරගෙන ආවේ. මෙය අතුරන්නට තැනක් සොයනවා සොයනවා. සොයා ගන්නට නැහැ.”

ආනන්ද ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා කල්පනා කළා. එයට සුදුසු තැනක් මතක් වුනා. “පින්වත් දියණිය දුක් වෙන්න එපා. මං ඔබට තැනක් කියන්නම්. අර පඩිපෙළ මුල පේනවාද? අන්න එතන තියෙනවා සංඝයා පා දෝවනය කරන තැන. සංඝයා පා දොවා අවසන් වූ ගමන් පා පිස්නාවක් හැටියට ඔබ එතන මෙය එළන්න. එය ඔබට මහත්ඵල ලබා දේවි.” ඉතින් ඇය ලක්ෂයක් අගනා ඇතිරිල්ල සංඝයා හට පා පිස්නාවක් කොට පූජා කළා.

මේ අයුරින් පින් කරනා කෙනා කවුරු මොනවා කිව්වත් තමන්ගේ පුණ්‍ය කටයුතු කඩාකප්පල් කරගන්නේ නෑ. දිගටම කරගෙන යනවා. ඔබත් දක්ෂ මල්කාරයෙක් මල් රාශියක් නෙලා ගෙන ලස්සන මල් මාලා ගොතනවා වගේ සෑම විටම පින් කිරීමට මහන්සි වෙන්න.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

“කිසෙයින් මහණ මෛත්‍රිසහගත සිතින් එක් දිශාවක් ස්පර්ශ කොට වෙසේ ද යත්: යම් සේ නම් ප…

“කිසෙයින් මහණ මෛත්‍රිසහගත සිතින් එක් දිශාවක් ස්පර්ශ කොට වෙසේ ද යත්: යම් සේ නම් ප්‍රිය වු මනවඩන්නා වු එක් පුද්ගලයෙකු දැක මෛත්‍රිය කරන්නේ ද, එපරිද්දෙන්ම සියලු සත්වයන් මෛත්‍රියෙන් ස්පර්ශ කෙරෙයි. එහි ‘මෛත්‍රි’ කවර යත්: සත්වයන් කෙරෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රි සහගත විමුක්තියෙක් වේද, මේ ‘මෛත්‍රි’ යි කියනු ලැබේ”

අභිධර්මපිටකය – විභංග ප්‍රකරණ, 13 වන අප්‍රාමණ්‍ය විභංගය

ද්වේශ සහගත සිත් ඇතිවීම පාලනය කිරීමට සෑම විටම මෙත් සිත පුරුදු කරන්න.

සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක මහා සංඝරත්නය අමතා මෙසේ දේශනා කළ සේක. මහණෙනි! පින් කිරීමට බියවෙන්න එපා. පින් කියන්නේ පි‍්‍රය වූ මනාප වූ සැපයට නමක් මහණෙනි, මා විසින් බොහෝ කාලයක් සම්පූර්ණ කරන ලද පින්වල විපාක මම දන්නවා. සත් අවුරුද්දක් මෛත්‍රී සිත වැඩීමෙන් මහාකල්ප හතක් කාම ලෝකයට මම පැමිණියේ නැහැ. එනම් බ්‍රහ්ම ලෝකයේමයි වාසය කළේ.

කල්පයක් විනාශ වෙනකොට ආභස්සර බ්‍රහ්ම ලෝකයට එනවා. කල්පය හටගන්න අවස්ථාවේ හිස වූ බ්‍රහ්ම විමානයක උපදිනවා. ඒ බඹ ලොව කිසිම කෙනෙකුට විනාශ කරන්න බැහැ. අභිඤ්ඤා ඥානයෙන් යුතු මහා බ්‍රහ්මයෙක් වෙලා හිටියා. සත් අවුරුද්දයි මෛත්‍රී භාවනාව පුරුදු කළේ. බොහෝම ආනිසංස මම ලැබුවා. ලැබූ සැප සම්පත් අතර තිස්හතර වාරයක් සක්දෙවිඳු වෙලා ඉපදුනා. නොයෙක් වතාවත්වල දැහැමින් රාජ්‍ය කරන සත්වරුනින් යුක්ත වූ සක්විති රජෙකු වශයෙන් කීප වාරයක් උපන්නා. ප්‍රදේශ රාජ්‍ය ලැබූ වාර ගණන අප්‍රමාණයි. මහණෙනි! මට මෙවැනි සිතක් ඇතිවුණා. මට මේ තරම් සෘද්ධිමත් මහත් වූ සැප සම්පත් විඳින්නට මොන විදිහේ කුසලයක් ද කරලා තිබෙන්නේ කියලා. වෙන කිසිවක් කිරීමෙන් නොව, දන්දීම, ඉන්ද්‍රිය දමනය කිරීම මේ කුසල කර්මයන්ගේ විපාක තමයි මට ලැබුණේ.

ඉන්ද්‍රියන් දමනය කිරීමෙන් පංච ඉන්ද්‍රියන්ට පංච අරමුණු ලබාදීමෙහිලා බොහෝ මම ප්‍රවේශම් වුණා. ඇසට පෙනෙන දේ එයම ලෙස මම භාරගත්තේ නැහැ. කනට ඇසුණු ශබ්දය ශබ්දයක් ලෙස මම භාරගත්තේ නැහැ. ඒ අයුරින් ඉන්ද්‍රියන්ට ගෝචර වන අරමුණු සියල්ල කෙරෙහිම සිහියෙන් යුක්තව ඉවසීම කළා. අවුරුදු හතක් මෛත්‍රී භාවනා කළා. අවුරුදු හතක්ම කළේ මෙත් වඩපු එක ‘’මෙත්තස්ස භවඞ මෛත්‍රී” මිතුරු බව වැඩීම තමයි මෛත්‍රිය කියන්නේ.

මෛත්‍රීය වැඩීමේදී මම නිදුක් වෙමි. නිරෝගී වෙමි. සුවපත් වෙමි. මම වෛර නො කරමි. ක්‍රෝධය නොකරමි. ද්වේශ නොකරමි. තරහා නොවෙමි. මෙනෙහි කරමින් බුදුරදුන් ප්‍රායෝගිකව ඒවාට ප්‍රවිශ්ට වෙමින් සිත, කය, වචනය තිදොරින් මෛත්‍රිය ක්‍රියාත්මක කළා. මෛත්‍රිය කරන අයුරු ප්‍රාර්ථනා කරමින් සිටියට වැඩක් නැහැ. මනා ඉන්ද්‍රිය දමනයකින් සියල්ල පාලනය කරගෙන ශරීරය පිළිබඳව වැටහීමක් ඇතිකරගෙන යථාර්ථයෙන් බොහෝමයක් උපේක්ෂා සෞම්‍ය, සිතිවිලි ඇතිව ජීවිතය ගත කරන්න. බෝධිසත්වයෝ සත්මසක් මෛත්‍රිය වැඩීම නිසා මහා කල්ප හතක් සැපයෙන් ජීවත්වෙන්න ලැබුණා.

මේ ගතවෙන්නේ මහා භද්‍රකල්පයක්. සම්බුදු රජාණන් වහන්සේලා පස් නමක් පහළවන කාලයක්. මේ වනවිට බුදුවරු සිව්නමක් පහළ වුණා. ඒ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, බුදුවරුන්, මතු පහළවන්නේ මෛත්‍රිය බුදුරදුන්ය. බුදුවරු ලෝකයට පහළ වන කාලයේ මෛත්‍රීය පැතිරවීමේ ගුණ මහත් ආනිසංස ගෙනෙනවා. මෛත්‍රීය වඩන්න. හෘදයාංගමව මෛත්‍රීය ආශිර්වාදාත්මකව පතන්න. සිත, කය, වචනය තිදොරින්ම මෛත්‍රිය වඩන්න.

ගේ, දොර, වත්තපිටිය, වටපිටාව, පාරතොට මේ සැම තැනක්ම පිරිසුදු කරන්න. පන්සල, වෙහෙර මළුව සියල්ල පිවිතුරු කරගන්න. ශරීර කෘත්‍යයන් සඳහා පරිහරණය කරන ස්ථානය, කනබොන තැන මේ හැමතැනම පිරිසුදු කරන්න. අරයා, මෙයා කරන කල් බලානොසිට ඔබ විසින්ම ඒ ස්ථාන අලංකාර කරන්න. මෛත්‍රී සිතින් පරිසරයට හිතකාමී ලෙස සිදුකරන මේ කටයුතු තුළින් පුද්ගලයා තුළ මෛත්‍රීය වැඩෙනවා. පුද්ගල වශයෙන්, සංවිධාන වශයෙන් මානුෂීය ගුණ ඉස්මතු කරගෙන රෝහල්, පන්සල්, පොදු ස්ථාන පවිත්‍ර කිරීමෙන්, අලංකාර කිරීමෙන් මෛත්‍රී සහගත කාය කර්ම නිසැකයෙන් සිදුවෙනවා. එසේ පිරිසුදු කරන කෙනාට මෛත්‍රීයේ ආනිසංස ලැබෙනවා.

දඹදිවෙන් ලංකාදීපයට පැමිණි විශාඛ තෙරුණුවෝ සිංහල දීපයේ සිතුල්පව්වේ වැඩසිටිමින් මහරහතන් වහන්සේලා හමුවේ කමටහන් ලබා ක්ලේශ ප්‍රහීණ කොට සැනසීම ලබමින් කාලයක් ගතකොට ගමරට බලා පිටත්වන්නට පටන්ගත් අවස්ථාවේ දෙවි දේවතාවන් අඬන්න පටන් ගත්තා. ඒ නිසා උන්වහන්සේ ගම, රට නොගොස් පිරිනිවන් පාන තෙක් මෙරටේ වැඩසිටියා. උන්වහන්සේ හැමවිටම මෛත්‍රී සිතිවිලි, මෛත්‍රී වචන, මෛත්‍රී‍්‍ර ක්‍රියා සිදුකරමින් තිදොරින් සංවරව වැඩසිටි නිසා දෙවියන් පවා විශාඛ හිමියන්ට පි‍්‍රයතාවයක් දැක්වූවා. මෛත්‍රී බලයේ ආනිසංස බොහොමයි. දරුවට, බිරිඳට, සැමියට, හදා වඩාපු මව්පියන්ට ශිල්ප දුන් ගුරු මෑණි පියවරුන්ට අත හිත දෙන හිතමිතුරන්ට සත්පුරුෂ උත්තම සමාජයට මේ හැම කෙනෙකු කෙරෙහිම මෛත්‍රිය වඩන්න. ඔවුන් සුවපත් වේවා! යැයි සිතමින් ක්‍රියා කරන්න. පරිත්‍යාගශීලිත්ව පුරුදු කරගන්න. වටිනා ධර්මතා මනුෂ්‍ය ජීවිතය තුළට එකින් එක සම්බන්ධ කරගන්න. මුතු පොටකට මුතු අමුණනවා වගේ මෛත්‍රී සිතිවිලි පැතිරීම තුළින් තම තමන්ගේ යුතුකම් කොටස් සමාජයට ඉටුවෙනවා. පරිසරය සුරැකුවා වෙනවා. සමාජ ජීවිත සැපවත් කරගන්න පිහිට වූවා වෙනවා. වර්තමානයේ පුද්ගලයා බොහෝ ව්‍යසනවලට පත්වන්නේ තමා විසින්ම ඇතිකර ගන්නා කරදර නිසයි. පිරිසුදුකමට, අලංකාරකමට අවධානය යොමු නොකොට පැහැරහැරීම අප විසින්ම දුකට පත්වීමක්. තව කෙනෙකු කරනකල් ඉන්න එපා පිරිසුදුව වැඩකරමින් තමාගෙන් මිත්‍රත්වය ඇතිකරගන්න ආරම්භ කරන්න. ඔබට ඔබ මිතුරුනම් කාලය කා දමන්නෙ නැහැ. වැඩකටයුතු අතපසු කර නොගෙන පමා නොවී ක්‍රියා කරන්න. සියලු අඩුපාඩුකම්, අමතක කොට බැරිවීම් වැරැදීම් පසුගිය කාලයේ සිදුවුන දේ අමතක කොට ඉන් අත්දැකීම් ලබාගෙන ඉදිරිය නිවැරැදි කර ගෙන අලුත් ජීවිතයක් ආරම්භ කරන්න. මෛත්‍රී සිතිවිලි ඇතිව පහරදීම් පළිගැනීම් වලින් බැහැරව කටයුතු කරන්න. යම් ඉලක්කයකට එනවිට බාධාකළ පුද්ගලයන් කෙරෙහි වෛර සිතිවිලි ඇතිකර ගන්න එපා. වෙනත් අයෙකු තමන් පත් වූ අපහසුතාවයට පත් කරන්නට උත්සාහ ගන්න එපා.

ක්ෂණ සම්පත්තිය – කෙටි දේශනාව අපිට අපේ වාසනා මහිමය ගැන මේතරම් පෙන්වන දේශනයක් මින…

ක්ෂණ සම්පත්තිය – කෙටි දේශනාව

අපිට අපේ වාසනා මහිමය ගැන මේතරම් පෙන්වන දේශනයක් මින් පෙර අසා නැති තරම්…දේශනාවේ ඒක තැනක පෙන්වනවා ඊට උදාහරනයක්…පොලවෙන් වැලි කැටයක් ගෙන කුමක් හෝ හදුනා ගැනීමට සලකුනක් යොදා මුලු පොලවෙම වැලි පස් හා හොදින් කලවම් කරනවා ඒ කරලා ඇස් පියාන වැලි කැටයක් ගන්නවා ඒ අර සලකුනු කල වැලිකැටයම වුනොත් කොතරම් පුදුමද? ඒ වාගේ ක්ෂ්‍යන සම්පත්තියක් අපට ලැබී පවතින්නේ…ඒය සනාත කිරීමට පොලවේ ඇති ගස් වැල් සියල්ල කපා ඒවා නැවත අගලේ කෑලි වලට වෙන්නකනවා එම එක් කෑල්ලක් ජලයේ ඉන්නා එක් ජීවියෙක්ට බැගින් වෙන්කරොත් අගලේ කෑලි නිමාවෙයි නමුත් ජලයේ ජීවීන් ඉවර නොවේ…තවත් පොලවේ සිටින ඇසට පෙනෙන මට්ටමේ ජීවීන් ගනන හිතාගන්නවත් බෑ…එවැනි මවුකුස් අනන්තවත් පසුකර දර්මය තිබෙන වට පිටාවක් ලැබීම අර සලකුනු කල වැලි කැටයම ලැබුනා වගේ නොවේද?
සෝන සි‍ටුතුමාගේ කතාව,පීතමල්ල හිමිගේ කතාව,තිස්ස හාමුදුරුවන්ගේ කතාව…ආදී මෙවනි උදාහරන/කතා මනාව උපකාර කරගෙන අපට දහම දැකීමට යොමු කිරීමට හිතෙන්න කදිම දේශනාවක් කරනවා….සියල්ලොම මනාව අසත්වා…හැමෝටම පුදුම ආසාවක් ප්‍රබොධයක් ඇතිවේවි දහම දැකීමට බුදුහාමුදුරුවන් වසන්සේ කලින් කලට උත්සහය වීර්ය්‍ය ඇතිවීමට මෙවැනි දේශනා ශ්‍රවනය කරන ලෙසට අනුදැන වදාලා…මේම දේශනාව තම ලග තියාගෙන වරින් වරට (ධර්මයට අලසකම ඇතිවන විට) අසා මෙනෙහි කිරීමට ඉතා වටිනවා…අප දහම ගොඩාක් අසා තිබෙනවා..නමුත් ඒ දේවල් ජීවිතයෙන් දකින්න වෙහෙසිය යුතුයි කියා දැඩි ඕනේ කමක් නෑ…එමනිසා අහන වෙලාවට පමනක් හොදට වැටහෙනවා නැවත සුපුරුදු පරිදිම ලොකේ ජීවත් වනවා මේ දේශනාවෙන් හොදින් ධර්මය දැකීමට අවශය තාවය ඇහැට ඇගිල්ලෙන් ඇන පෙන්වා දෙනවා..සියල්ලොම හොදින් ශ්‍රවනය කරත්වා

තෙරුවන්සරණයි

2012-05-26 ක්ෂණ සම්පත්තිය – මාන්කඩවල සුදස්සන හිමි

Visit website http://sudassana.org/ to download this mp3 and for more Dharma deshana by Mankadawala Sudassana Thero

අප ජීවත් වන්නේ කාම ලෝකයේ ය. මෙය එක්තරා ආකාරයකින් බැලුවහොත් කාම වනාන්තරයකි. මේ කා…

අප ජීවත් වන්නේ කාම ලෝකයේ ය. මෙය එක්තරා ආකාරයකින් බැලුවහොත් කාම වනාන්තරයකි. මේ කාම වනාන්තරයේත් කාමයෙන් අන්ධවූ තරමට අනතුරු වැඩි වේ. මේ කාම වනාන්තරයේ සිටින බොහෝ ඇත්තුත් අන්ධයි. කාමයෙන් අන්ධ වී එම කාමයන් තුළම ගිලී සිටිති. මේ අන්ධභාවයෙන් මිදීමට නෙක්ඛම්මයක් අවශ්‍යයි. පැවිදිවීම යනු ඒ සඳහා ඇති උත්කෘෂ්ට යොමුවකි. නමුත් මේ කැලයෙන් එළියට පැමිණි ඇතුන් නැවතත් කඩාගෙන කැලයටම දුවන්නා සේ කාම වනයෙන් ඈත් වී පැවිදි වූ අයත් නැවතත් එම කාම වනයටම පැන දිවිය හැකි ය.

“වනමුත්තො වනමෙව ධාවති” – වනයෙන් මිදුණ, තැනැත්තා නැවතත් වනයටම දුවයි. එසේත් නැතිනම් වනයෙන් එළියට පත් හෙවත් පැවිදි වී මේ පැවිදි ජීවිතය තුළම වුවත් පෙර ගත කළා වැනි කාම වනයක් හදා ගත හැකි ය. කාම වනයෙන් ඈත්වුණු තැනැත්තා මේ දෙවිධියටම නැවතත් කාමයටම යොමු විය හැකි ය. එවිට සිදුවන්නේ තමන් ශාසනයට ඇතුල් වුණු පරමාර්ථය පසෙක දමා නැවතත් ප්‍රමාදී අයෙක් වීමය. මේ නිසා ආරණ්‍යක හස්තියා දමන කරන්නාක් මෙන් මේ තැනැත්තා ද ක්‍රම ක්‍රමයෙන් මේ ශාසන බ්‍රහ්මචර්යාව තුළ මැනැවින්ම දමනය කළ යුතු ය.

බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දෙව් මිනිස් ලෝකයා පඤ්චකාමගණයට ඇලී සිටින බවය. එබැවින් මේ නවක භික්‍ෂුවට සිල්වත් වන්නට උපදෙස් දෙන සේක. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවරව වාසය කළ යුතු ය. ආචාර ගෝචර සම්පන්නව අණුමාත්‍ර වරදෙහි භය දක්නා සුළුව ශික්‍ෂා පද සමාදන් වී හික්මීමට උපදෙස් දෙන සේක. එලෙසට ඒ භික්‍ෂුව පැවිද්දට අදාළ ප්‍රතිපදාවට යොමු වෙයි.

මේ ආකාරයට ආර්යශ්‍රාවකයා සිල්වත්ව ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවර වී වාසය කරන විට, ආචාරගෝචර සම්පන්නව අණුමාත්‍ර වරදෙහි බිය දකිමින් ශික්‍ෂා පද සමාදන් වී ඒ තුළ හික්මෙන විට තථාගතයන් වහන්සේ ඒ පුද්ගලයා තවදුරටත් හික්මවන සේක. තාථගතයෝ එම භික්‍ෂුවට දැන් උගන්වන්නේ ඉන්ද්‍රිය සංවරයයි. ඉන්ද්‍රියයන්හි වැසූ දොර ඇත්තෙක් විය යුතු ය. ඇසින් රූප දැක නිමිති නොගත යුතු ය, අණුවඤ්ජන නොගත යුතු ය. යම්, කරුණකින් ඇස නම් වූ ඉන්ද්‍රියයෙහි අසංවරව නොවැසූ දොර ඇතිව වාසය කරන භික්‍ෂුවට අභිධ්‍යා දෝමනස්ස සංඛ්‍යාත පාපී අකුසල ධර්ම ඇති වෙනවාද එම අකුසල දහම් ලුහුබඳිනවාද එසේ නොවීමට සංවර විය යුතුය. සංවරය පිණිස පිළිපැදිය යුතු ය. ඇස නම් වූ ඉන්ද්‍රිය රැකිය යුතු ය. ඇස නම් වූ ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණිය යුතු ය. මේ ආකාරයට එම භික්‍ෂුවට ඇස සංවර කර ගැනීම තුළින් පාපී අකුසල ධර්මවලට යටත් නොවී සිටීමට උපදෙස් ලැබෙයි.

මේ ඇසනම් වූ ඉන්ද්‍රිය අසංවරව නිමිති ආදිය ගෙන පාපී අකුසල ධර්මවලට යටත් වීමෙන් සීලවිපත්තියට පත් වීම වැනි මහත් අවැඩ වූ අනර්ථයන් සිදුවිය හැකි ය. ඒ බව චක්ඛුපාල තෙරුන් වහන්සේගේ කතා වස්තුවෙන් පැහැදිලි වේ. චක්ඛුපාල තෙරුන් වහන්සේ සමඟ ගමන් කළ භික්‍ෂුවට අතරමගදී ස්ත්‍රියකගේ ශබ්දයක් ඇසෙයි. එවිට ඒ හිමියෝ චක්ඛුපාල තේරුන්ගෙන් මදකට අවසර ගෙන ගොස් එම ස්ත්‍රිය හමු වී සීල විපත්තියට පත් වෙයි. සිල් බිඳ ගනියි. චක්ඛුපාල තෙරණුවෝ සිදු වූ දෙය දැන ගෙන එම සිල් බිඳ ගත් තැනැත්තා තමන් වහන්සේ සමඟ ගමනට පැමිණිය ද එය ප්‍රතික්‍ෂේප කළහ. එම සිදුවීම විමසා බලන විට පැහැදිලි වන්නේ ස්ත්‍රී ශබ්දය ඇසුණු විට ඒ ඔස්සේ නිමිති ගෙන පාපී අකුසල ධර්මයනට යටත් වීමෙන් උතුම් පැවිද්ද ද අහිමි වී පරිජි වී උතුම් අවස්ථාවක් මඟ හැරුණු බවයි. තත්ත්වය මෙසේ ය. ලෝකයේ මේ ස්ත්‍රිය පුරුෂයාට තිබෙන ලොකුම බැඳීමට හේතුවන අතර නැවත ගොඩ නොඑන මට්ටමට බැඳී ඒ තුළ එරීමට පත්වීමට නිසි අරමුණ වේ. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඒකකනිපාතයේ වදාරා ඇති ආකාරයට ස්ත්‍රී රූපය තරම් පුරුෂයාගේ සිත් පැහැර ගෙන සිටින වෙනත් එකද රූපයක් නොවේ.

මේ ආකාරයටම ස්ත්‍රී ශබ්දය තරම්, ස්ත්‍රී ගන්ධය තරම්, ස්ත්‍රී රසය තරම්, ස්ත්‍රී පහස තරම් පුරුෂයාගේ සිත් පැහැර ගෙන සිටින වෙනත් එකද ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් නොමැත. පුරුෂයන් සම්බන්ධයෙන් ඇති මේ තත්ත්වයම ස්ත්‍රියටත් ඇත. එනම් පුරුෂ රූපය, පුරුෂ ශබ්දය, පුරුෂ ගන්ධය, පුරුෂ රසය, පුරුෂ පහස තරම් ස්ත්‍රියගේ සිත් පැහැර ගෙන සිටින වෙනත් එකද රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් නොමැත. මේ ආකාරයට දෙපක්‍ෂය කෙරෙහි දෙපක්‍ෂය තුළ ඇලීම, බැඳීම ඇතිවන බව හොඳින් වටහාගෙන ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ඉඳුරන් මැනැවින්ම විශේෂයෙන්ම සංවර කර ගත යුතු ය. එහිදී ස්ත්‍රී, පුරුෂ අරමුණු කෙරෙහි පමණක් නොව මේ ඉඳුරන්ගෙන් ගන්නා ඕනෑම අරමුණකින් පාපී අකුසල දහම් ඇති නොවන ආකාරයට ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුතු ය.

මේ ආකාරයට ආර්ය ශ්‍රාවකයා ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ඉඳුරන්ගේ සංවර භාවයට පත් වූ පසු බුදුරජාණන් වහන්සේ එම භික්‍ෂුව තවදුරටත් හික්මවන සේක. ඒ භෝජනයෙහි මාත්‍රයද වීමට, නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාර වැළඳීමට ය. භික්‍ෂුවක් ආහාර වැළඳීමේ දී පමණ දැනගෙන වැළඳිය යුතු ය. මනා සිහි නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට වැළඳිය යුතු ය. දන් වැළඳිය යුත්තේ පැරැණි වේදනාව දුරු කිරීමටත්, අලුත් වේදනාව ඇති නොවීමටත් ය. බඩගින්න පැරැණි වේදනාවකි. බොහෝ වැළඳීමෙන් ඇතිවන උස්මුරුත්තාව අලුත් වේදනාවකි.

ආහාර ගැනීමේ දී මෙලෙස ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු වේ. “මම මේ ආහාරය වළඳන්නේ විනෝදය සඳහා නොවේ. පුරුෂමද ආදිය වැඩීම පිණිස ද නොවේ. ශරීරය තර කර ගැනීම සඳහා ද නොවේ. ශරීරය පැහැපත් කර ගැනීම සඳහා ද නොවේ. මා මේ ආහාරය වළඳන්නේ ශරීරයත් ජීවිතයත් පවත්වා ගැනීම පිණිසයි. සාගිනි වේදනාව දුරු කර ගැනීම සඳහා ය. බුද්ධ ශාසනයෙහි පිළිවෙත් පිරිමට හැකි වනු පිණිස ය. ජීවිතය බොහෝ කාලයක් පවත්වා ගැනීම සඳහා ය. මේ ආකාරව ආහාර වැළඳීම නිසා මගේ සාගිනි වේදනාව දුරු වීම සිදුවන්නේ ය. ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම නිසා වන්නා වූ වේදනා ද නොවන්නේ ය…. යනාදී වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම අවශ්‍යම වේ. එවිට එම ආහාරය සම්බන්ධයෙන් ඇතිවිය හැකි කෙලෙස් ඇතිවීම වළක්වා ගත හැකි වේ. වැරැදි ලෙස ආහාර ගැනීමෙන් වන අකුසල් වළක්වා ගත හැකි වේ. ධර්මයේ සඳහන් වන ඉතා වැදගත් ගාථාවක් ද අපට මෙහිදී සිහිපත් කළ හැකි ය. එනම්,

“චත්තාරෝ පඤ්ච
ආලෝපේ අභුවා උදකං පිවේ,
අලං ඵාසුවිහාරාය
පහිතත්තස්ස භික්‍ඛුනෝ”

යනුවෙනි. එහි අර්ථය මෙසේ ය. (කුසේ ප්‍රමාණයෙන්) හතරපස් පිඬක් නො වළඳා ජලය බොන්නේ ය, නිවනට යොමු කරන ලද සිත් ඇති භික්ෂුවට පහසු විහරණයට එය ප්‍රමාණ වේ. හේතු වේ.” කුස තදවනතුරු ආහාර ගෙන උඩු බැල්ලෙන් වැටී නිදාගැනීම භික්‍ෂුවට යෝග්‍ය නොවේ. ආහාරය පිළිබඳව වන මේ යහපත් ප්‍රතිපත්තිය ගිහි, පැවිදි කාහට වුවද ඉතා වැදගත් වේ. ඒ තුළින් නිරෝගී බව ද දිගාසිරිද ලද හැකි ය.

තෙරුවන් සරණයි!

ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

මරණය පිලිබඳ මාගේ සිහිය දියුණු වේවා! මෙම දහම් පණිවිඩය උපුටා ගත්තේ කටුකුරුන්දේ ඤා…

මරණය පිලිබඳ මාගේ සිහිය දියුණු වේවා!

මෙම දහම් පණිවිඩය උපුටා ගත්තේ කටුකුරුන්දේ ඤානනන්ද ස්වාමීන්වහන්සේ ගේ ධර්ම චින්තා පත්‍රිකාවෙනි

කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහ…

කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු

බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩසිටින කල්හි බුදු රජාණන් වහන්සේ වෙත පැමිණි සුබ මානවකයා උන්වහන්සේ අමතා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි අඩු ආයුෂ ඇත්තෝ වෙති. වැඩි ආයුෂ ඇත්තෝ වෙති. බොහෝ ආබාධ ඇත්තෝ වෙති. ලෙඩ රෝග ඇත්තෝ වෙති. විරූපී ඇත්තෝ ද වෙති. රූප සම්පත් ඇත්තෝ ද වෙති. මහත් පිරිවර ඇත්තෝ ද වෙති. මහත් පිරිවර නැත්තෝ ද වෙති. වස්තු සම්පත් ඇත්තෝ ද වස්තු සම්පත් නැත්තෝ ද වෙති. පහත් කුල ඇත්තෝ ද, අඥානයෝ ද වෙති. මේ අයුරින් සත්ත්වයාගේ උස් පහත් භේදයට හේතුව නම් කුමක්ද? “

එවිට බුදු රජාණන් වහන්සේ විසින් කර්මයම සත්ත්වයාගේ උස් පහත් බවට හේතු වන්නේ යැයි දක්වමින් කර්මය අනුව සත්ත්වයා ආකාර දහ හතරකට බෙදා වඳාළ සේක.

සත්ත්වයා ආයුෂ අඩුවෙන් උපත ලබන්නට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් කිසිදු අනුකම්පාවක් දයාවක් නැතිව සත්ත්ව ඝාතනය සිදු කරන්නේ ද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණිය ද අඩු ආයුෂ ඇත්තෙක් වන්නේය.

සත්ත්වයා දීර්ඝායුෂ ලැබීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සත්ත්ව ඝාතනයෙන් වළකින්නේ ද, සියලු සතුන් කෙරෙහි දයාව අනුකම්පාව දක්වයි ද ඒ තැනැත්තා ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියෙහි නම් උපදින උපදින සෑම භවයක දීම දීර්ඝායුෂ ඇත්තෙක් වන්නේය.

සත්ත්වයා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයන්ට හිංසා පීඩා කරන්නේ ද හෙතෙම අකුසල කර්මය බලයෙන් අපායෙහි උපත ලබා දුක් විඳින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියහොත් උපදින උපදින භවයක් පාසා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වන්නේය.

සත්ත්වයා නිරෝගී වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයන්ට හිංසා පීඩා නොකරන්නේ ද ඒ තැනැත්තා ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියේ ද උප නුපන් භවයන්හි නීරෝගි වූවෙක් වන්නේය.

සත්ත්වයා දුර්වර්ණ වීමට හේතුව

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ක්‍රෝධ කරන්නේ වේද, බලවත් සිත් තැවුලෙන් පෙලෙන්නේ වේද, සුළු වරදක් පෙන්වා දුන් විට පවා කිපෙන්නේ වේද, තරහව උපදවන්නේ ද, කෝපය, ද්වේශය, නොසතුටු බව ප්‍රකාශ කරන්නේ වේද ඒ තැනැත්තා ඒ අකුසල කර්මයෙහි බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයෙහි උපදින්නේ නම් උපදින උපදින භවයක් පාසා විරූප වූයේ වෙති.

සත්ත්වයා ලස්සන වීමට හේතුව

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ක්‍රෝධ නොකරන්නේ වේද, සිත් තැවුලෙන් යුක්ත නො වන්නේද, වරද පෙන්වා දුන් විට නො කිපෙන්නේ වේද, කෝපය, ද්වේශය, නොසතුට බව ප්‍රකාශ නො කරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේ ය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා ලස්සන වන්නේය. රූප සම්පත්තියෙන් යුක්ත වන්නේය.

සත්ත්වයා අල්පේ ශාක්‍ය වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා කරන්නේ වේද, අන්‍යයන්ගේ ලාභ සත්කාර, ගරු කිරීම්, වැදීම්, පිදීම් ආදීන් හි ඊර්ෂ්‍යා කරන්නේ වේද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා අල්පේ ශාක්‍ය වන්නේය. පිරිවර ජනයා නොමැත්තෙක් වන්නේය.

සත්ත්වයා මහේ ශාක්‍ය වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා නොකරන්නේ වේද, එසේම අනුන්ගේ ලාභ සත්කාර, ගරු සත්කාර, වැඳීම් පිදීම්, ආදීන්හි ඊර්ෂ්‍යා නොකරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා මහේ ශාක්‍ය වන්නේය. බොහෝ පිරිවර ඇත්තෙක් ද වන්නේය.

සත්ත්වයා මහා භෝග සම්පත් ඇත්තෙක් ව උපත ලබන්නට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන්ට දස දාන වස්තුවෙන් සංග්‍රහ කරන්නේ වේද ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් හෙතෙම මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවේ නම් උපනුපන් හැම භවයකදීම මහා භෝග සම්පත් ඇත්තෙක් වන්නේය. බොහෝ ධනයෙන් යුක්ත වූවෙක් වන්නේය.

සත්ත්වයා අඥාන වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි, කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් නොඅසන්නේ නම් හෙතෙම ඒ අකුසල කර්මයේ විපාකයෙන් මරණින් මතු දුගතියෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයකට පැමිණියේ නම් භවයක් භවයක් පාසා අඥානයෙක්ම වන්නේය. මෝඩ පුද්ගලයෙක් වන්නේය.

සත්ත්වයා ප්‍රඥාාවන්ත වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි , කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් අසන්නේ නම් හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භවයකට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා ප්‍රඥාවන්තයෙක්ම වන්නේය.

චුල්ල කම්ම විභංග සුත්‍රය – මඡ්ඣිම නිකාය

අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙස ද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
කුමට ද කුසලට කම්මැලි වන්නේ

මාවුස්සාගොල්ලේ මුදිත හිමි