Monthly Archives: October 2014

දහම් ගුණ 6 කි 1. ස්වාක්ඛාත – අංග සම්පූර්ණ ලෙස මැනවින් දෙසන ලද බව 2. සන්දිට්ඨික…

දහම් ගුණ 6 කි

1. ස්වාක්ඛාත – අංග සම්පූර්ණ ලෙස මැනවින් දෙසන ලද බව
2. සන්දිට්ඨික – තමාම පිළිපැද තමාට මෙලොවදීම ප්‍රථිපල ලැබිය හැකි බව
3. අකාලික – කල් නොයවා ඒ මොහොතේම ප්‍රථිපල
4. ඒහිපස්සිකෝ – එව බලව හෙවත් තමා විසින් පරීක්ෂා කර බලා තහවුරු කරගත හැකි බව
5. ඕපනයික – සිත තබා ගැනීමට සුදුසු බව
6. පච්චත්තං – වේදිතබ්බ – නවණැතියන් තමා විසින් ම පිළිපැද අවබෝධ කළ යුතු බව

බුද්ධ දේශනාවට අනුකූලව මුලික දුක් සතරක් පිළිබඳ සඳහන් වේ. එනම් ජාති දුක, ජරා දුක,…

බුද්ධ දේශනාවට අනුකූලව මුලික දුක් සතරක් පිළිබඳ සඳහන් වේ. එනම් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක සහ මරණ දුකයි. එම දුක් සතරට ඇතුළත් එක් දුකක් වන්නේ ව්‍යාධි දුකයි. එයින් මූලික වශයෙන් පැහැදිලි වනුයේ, කායික වූ ද මානසික වූ ද නානාවිධ රෝග නිසා හට ගන්නා දුක ගැනයි. ඒ කායික, මානසික දුක්ඛයන්ට, රෝගයන්ට නානා හේතු ද පැහැදිලිව දේශනාවේ දක්නට ලැබේ.

සෙම්හ සමුට්ඨානං, වාත සමුට්ඨානං, පිත්ත සමුට්ඨානං ආදී වශයෙන් ව්‍යාධී හේතු දක්වා තිබේ. එහෙත් මෙහිදී ආතුර වීම යනුවෙන් විග්‍රහ වන්නේ ඊට එහා ගිය පුළුල් අරුතකින් බව තේරුම් ගත යුතු ය. ඒ පුළුල් අර්ථය නම්, කෙලෙස් නිසා ඇතිවන්නා වූ ආතුරභාවයි. ඒ කෙලෙස් නිසා සිදුවන ආතුර බව නිසාම ඉපදීමත් සම්මත මරණයත් අතර පවත්නා සියලු දුක් සමූහය පමණක් නොව සංසාරික නානා විධ භවවල සංසරණයද යන සියලු දුක් හිමි කර ගනී.

බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.

සුසුඛං වන ජීවාම – උස්සුකෙසු අනුස්සුකා
උස්සුකෙසු මනුස්සෙසු – විහරාම අනුස්සුකා

කෙලෙස්වලින් ආතුර වූ මිනිසුන් වාසය කරන මේ ලොව අනාතුර වූ කෙනකු ලෙස ජීවත් වීමේ ශ්‍රේෂ්ඨත්වය එසේ පැහැදිලි කළ සේක.

දුක නිර්මාණය වන්නේ කෙලෙස්වල උපකාරයෙනි. මුළු සංසාර ප්‍රවෘත්තියම ආවරණය කොට අප එහි බැඳ තබා තිබෙන්නේ කෙලෙස් මාර්ගයෙනි. කෙලෙස් යනු කුමක්දැයි තරමක් හෝ පැහැදිලි කර ගැනීම වැදගති. ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මන යන ආයතනයන් හැසිරවීමේ දී ආගන්තුකව ඇති කරගන්නා වූ ධර්මයෝ කෙලෙස් වෙති. ආගන්තුක යනුවෙන් සලකන්නේ තත්ත්වාකාරයට පිටින් මනැස තුළ පහළවන නිත්‍ය,සුඛ, ආත්ම වශයෙන් හෝ තණ්හා, දිට්ඨි, මාන වශයෙන් හෝ වන්නා වූ චිත්තන ධාරාවය.

ලෝකයේ ඇති තත්ත්වාකාරය නම්, ඇති වී, නැති වී යන ස්වභාවයි, අනිත්‍යතාවයි. එහි මමෙක් හෝ මා සතු කරගත් දෙයක් ඇත්නම් එය මනැසේ ම ඇති කර ගනු ලැබූ මායාවක් මිස පවතින ස්වභාවයක් නොවන්නේ ය. එබැවින් පින් පව් ද කෙලෙස්වලින් ම ජනිත වූ ධර්මයෝ ය. පින්, පව් නිසා සසර දිගු වන්නේ එබැවිනි. බුදුදහමේ මූලික අපේක්‍ෂාව පව් නවතා පින් කිරීම ම නොවන බව ඉන් පැහැදිලි ය. කුසලය යනු මේ අකුසල ආගන්තුකයනට ප්‍රතිවිරුද්ධව, අවබෝධාත්මක පිළිගැනීම තුළ මෙම පංචස්කන්ධයෙහි තත්ත්වාකාරය අවබෝධ කිරීමේ මාර්ගයයි.

සැබෑව වසංවන හැම මොහොතකම ඉන්ද්‍රියයන්ගෙන් ගන්නා අරමුණු සමඟ බද්ධ වෙමින් කෙලෙස් උපදින බව නොරහසකි. කෙසේ නමුත් කෙලෙස් සමග ගෙවන දිවිය ආතුරව විසීමක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. පෘතග්ජන මනැසකින් යුක්ත සත්වයා උම්මත්තක ස්වභාවයෙන් යුතු බව දේශනා කළේ ද එබැවිනි. කෙලෙස් වලින් ආතුර වූ තැනැත්තා තව පැත්තකින් ගිලන් බැවින් ද යුක්තය. ගිලන් බව යනුවෙන් සලකන්නේ ඉන්ද්‍රිය ආරම්මණයේ ඇති වෙහෙසකර බවත් මනැසේ නිතර පවත්නා නොසන්සිඳුණු බවත් ය.

රෝගියකුට අතපය වේදනා, වාරු නැති බව, ආහාර අරුචිය ආදි නානාවිධ ඉන්ද්‍රිය වෙහෙසක් පවතින බව අපි දනිමු. එහෙත් මෙහිදී අදහස් කරන්නේ කෙලෙස්වලින් ආතුර වූ තැනැත්තකුට ඉන්ද්‍රියන්හි පවත්නා වෙහෙසකර බවයි. උපන්දා සිට මරණය තෙක් රූප, ශබ්ද ආදී අරමුණු විෂයෙහි වේග ආවේග පදනම්ව සැප සොයන්නට වෙහෙසෙන පෘතග්ජන මනුෂ්‍යයාට අවසානයක් නිමාවක් තබන්නට බැරි මේ ඉන්ද්‍රියන් පිනවීමේ ක්‍රියාව අධ්‍යාත්මිකව ලබා ඇති ගිලන් බවක් ම මිස අන් කවරක් ද?

ගිලන් උවටැන උතුම් පූජාවක් මෙන්ම, ගිලාන උපස්ථානය බුදුන්ට කරන ලද උපස්ථානයක් ලෙසද හැඳින්වූයේ කුමන අරුතකින් දැයි මෙතැනදීම පැහැදිලි කර ගැනීම වඩාත් උචිතය. සම්මත අර්ථයෙන් එය විමසන විට මෙවැනි අදහසක් පළ නොකරම බැරිය. අසමසම වූ බුදු කෙනකුට කරන උපස්ථානයත්, සමහර විට පන්සිල්වත් නැති ගිලනකුට කරන උපස්ථානයත් සම වන්නේ කෙසේදැයි යනුවෙනි. අපගේ පුද්ගලික අදහස නම් එය එකක් නොව දෙකක් බවයි. එහෙත් අප මෙහිදී කරනු ලබන සාකච්ඡාවට අදාළව අධ්‍යාත්මිකව ආතුර වූ නැතහොත් ක්ලේශ පරිදාහයෙන් හෙබි තැනැත්තකු යම් දවසක, යම් අවස්ථාවක අධ්‍යාත්මික ලෝකය තුළ වාසය කරන මේ ගිලනා නැතහොත් ආතුරයා, තමාම දැක එයට පිළියම් කොට නිදහස් වන්නේ නම් සැබැවින්ම එය පරම වූ ආරෝග්‍ය උදාවීමක් පමණක් නොව පරම ගිලාන උපස්ථානයක් ද වේ.

ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ බුදුන් වහන්සේ දැකගත හැකි වන්නේ ධර්මය දැකීම මඟින් ය යන අදහස මුල් අවධියේ සිටම පැවැත එයි. එහිදී බුදුන් දකිනවා යනුවෙන් සලකන්නේ මේ බඹයක් පමණ වූ ලෝකය, පංචස්කන්ධය තුළ ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි. යෝනිසෝමනසිකාරයෙන් යුතු විදර්ශනානු යෝගියා අධ්‍යාත්මික ලෝකය තුළ වාසය කරන ගිලනාගේ ස්වරූපය හා ක්‍රියාකාරකම් මැනැවින් අවබෝධ කිරීම නිසා හේතුව සහ ඵලය යන දෙයාකාරයෙන් ම නිරෝධ කිරීමට හැකියාව ලැබීම, චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට හේතුවන බැවින් එය බුදුන්ට කරන ලද උපස්ථානයක් සේ සැලකීම නිවැරැදිය.

මේ පෘථිවිය හා එහි ඇති සම්පත් පිළිබඳ ගණනය කිරීමට මෙන්ම එහි සීමාවන් තේරුම් ගැනීමට ද නවීන මිනිසාට හැකියාව ලැබී ඇත. එසේ වුවත් මිනිස් මනැස තුළ ක්‍රියාත්මක වන අසීමිත ආශාවන් සහ බලාපොරොත්තුවල නිමාවක් සහ ගණනයක් දැක්විය නොහැකිය. ඒ වූ බැවින් ම සීමිත සම්පත් විෂයෙහි කෑදර මිනිසා නානාවිධ බෙදීම්වලට මාර්ගය සකසා ගැනීමක් මිස මිනිස් මනැසේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමක් හෝ එමඟින් ලැබෙන චාම් සරල ජීවිතයක් ගැන බලාපොරොත්තු තබා කටයුතු කිරීමක් හෝ දක්නට නොලැබේ. මේ අත්‍යවශ්‍ය කටයුත්ත මඟ හැරීම නිසා, පුරාණ මිනිසාටත් වඩා වත්මන් මිනිසා අධ්‍යාත්මිකව ආතුර වී අතරමං වී සිටින ආකාරය දැකිය හැකි ය.

බුදුරජාණන් වහන්සේ සෑම විටම දේශනාව යොමු කළේ අධ්‍යාත්මික ලෝකය වෙනස් කිරීමෙන් සැප දායක බාහිර ලෝකයක් පහළ වන ආකාරයටය. වැඩි දෙනකුගේ බලාපොරොත්තුව භෞතික ලෝකය ගොඩනැඟීම වන බැවින්, කිසිදා සුඛනම්‍ය ලෝකයක් ගොඩනැඟීම මායාවක් පමණි. සතුට, සාමය අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය බිඳ වැටුණු සමාජයක් තුළ භෞතික හුවමාරුවන්ගේ ක්‍රියාකාරකම් කෙසේ ගොඩනැඟුනත් අසහනය, කලකිරීම, පසු තැවීම, සියදිවි හානි කර ගැනීම හා මිනිස් මනැසේ ආවේග යනාදිය වර්ධනය වීම නොවැළැක්විය හැකි ය. අනතුරුව එම ප්‍රතිවිපාක සමනය පිණිස වෙනම සංවිධාන පිහිටුවීමේ අවශ්‍යතාව ගැන ලෝකයා සිතුවා මිස රෝග නිධානයට ඉන් පිළියම් ලැබී නැත. රෝග නිධානය වූ කලී කුඩා අවධියේ පටන් මිනිස් මනැස, අධ්‍යාත්මික ජීවිතය තුළින් නිසි අයුරින් හැඩ ගැස්වීමට නොහැකි වීම බව තේරුම් ගත යුතු ය.

අප මෙහිදී අවධානයට ලක් කළ යුතු කාරණය නම් ආතුර වීමෙන් වැළැකී, අනාතුරවීමේ වැදගත්කමයි. බුදුදහමේ පැහැදිලි කෙරෙන ආතුර වීම යන කාරණය සරල වුවක් නොවන බව මෙහිදී අප තේරුම් ගත යුතු ය. බාහිර රෝගාබාධයන්ගෙන් අත්මිදීමට කොතෙක් අවධානය යොමු කළත් බුදුදහමේ උගන්වන කෙලෙස් සහ කෙලෙස් නිවාරණය තේරුම් නොගතහොත්, ආගම, භාෂාව, දේශය යන සියල්ල ඉක්මවා සෑම සත්වයකුටම අප්‍රමාණ දුක්ඛ වේදනාවන්ට මුහුණ දීමට සිදුවන බව තේරුම් ගත යුතු ය.

මිනිසා ආතුර වීමට මූලික හේතුව කෙලෙස් නම්, ඒ කෙලෙස්වලින් නිදහස්වීම අනාතුර වීමයි. ඒ සඳහා බුදුදහම කෙලෙස් සම්බන්ධව, කෙලෙස් නිවාරණය පිණිස ආකාර දෙකකින් ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළක් උගන්වා ඇත. එහි පළමු පියවර අලුතෙන් කෙලෙස් හට ගැනීම වළක්වාලීමයි. දෙවැනුව තවදුරටත් ස්වසන්තානය තුළ පවත්නා වූ කෙලෙස් ඉවත් කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ක්‍රියා කිරීමයි. කෙලෙස් නැසීම සඳහා විදර්ශනා මඟ බුදුන්වහන්සේ විසින් දේශිතය.

අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය

නූපන් අකුසල් නොඉපදීම පිණිස බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවර ශීලය අපට උගන්වා තිබේ.

උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහීයන්තී

කලින් ඉපදී ඇති අකුසල ධර්මයන් දුරු කිරීම පිණිස දෙවැනුව කටයුතු කළ යුතු ය. ඒ සඳහා බුදුදහමේ අනුදැන වදාළ භාවනා ක්‍රම නිසි අයුරින් ප්‍රගුණ කළ යුතුය. ගිහි කාමභෝගී ජීවිතයක් ගෙවන අයකුට මෙවැනි විරාගී දහමක් ප්‍රගුණ කිරීමේ අපහසුව නැවත නැවැත සාකච්ඡාවට භාජනය වන ආකාරය දැකිය හැකි ය. සපුරාම අනගාරික ජීවිතයකට උරදුන් පැවිදි ජීවිතවල ද අද සංකීර්ණ සමාජය තුළ ගැටලු රාශියක් මතු වී තිබෙන බව නොරහසකි. එහෙත් අප මෙහිදී තේරුම් ගත යුතු වන්නේ එකිනෙකා අතර ඇති සීමාවන් හා අඩුපාඩුකම් නොව බුදුරජාණන් වහන්සේ යම් සංසිඳීමක් පිණිස දේශනා කළ දහමක් වේ නම්, එය කිසියම් ක්‍රමයකින් ප්‍රගුණ කිරීමට කටයුතු කරන ආකාරයයි. එමඟින්ම ආතුර වීම දුරු කිරීමට හැකියාව ලැබෙන අතර එකිනෙකා අතර සීමාවන් හා අඩුපාඩුකම් සාකච්ඡා කිරීම මේ ගිනි ගන්නා ලෝකය තුළ බොළඳ ක්‍රියාවක් බව පැහැදිලි ය.

තෙරුවන් සරණයි!

පාතේගම සුමනරතන හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

සුභයි, පුද්ගලයෙක් කියා අල්ලන් සිටින කුණුප 32 බාහිරෙන් පෙනෙන 5 1. කේසා – කෙස් 2….

සුභයි, පුද්ගලයෙක් කියා අල්ලන් සිටින කුණුප 32

බාහිරෙන් පෙනෙන 5
1. කේසා – කෙස්
2. ලෝමා – රෝම
3. නඛා – නියපොතු
4. දන්තා – දත්
5. තචෝ – සම

සම ඉවත් කල පසු පෙනෙන කොටස් 5
1. මංසං – මස්පිඩු 100
2. නහාරු – නහරවැල් 900
3. අට්ඨි – ඇට 300 පමණ
4. අට්ඨි මිඤ්ජා – ඇටමිදුළු
5. වක්කං – වකුගඩු 2

පැලු කල – ඉහල කොටස් 5
11. හදයං – හෘදයවස්තුව
12. යකනං – අක්මාව
13. කිලොමකං – දළඹු පටල හා ඇලදිව
14. පිහකං – ප්ලිහාව
15. පප්පාසං – පෙනහළු 2

පැලූ කල – පහල කොටසේ 4 යි. මොලය
16. අන්තං – බඩවැල
17. අන්තගුණං – බැදුණු අතුනුබහන්
18. උදරීරං – ආමාශය – නොදිර වූ ආහාර
19. කරීසං – පහල බඩවැල් – දිර වූ ආහාර
20. මත්ථලුංගං – මොලය

ද්‍රව කොටස් – ශරීරය පුරා පැතිරි 6
21. පිත්තං – පිත හා පිත්තාශය
22. සෙම්හං – සෙම් කොටස්
23. පුබ්බෝ – සැරව කොටස්
24. ලෝභිතං – ලේ
25. සේදෝ – දහදිය
26. මේදෝ – තෙල් කොටස්

ද්‍රව කොටස් – ස්ථානිකව ඇති 6
27. අස්සූ – කඳුළු
28. වසා – වසාතරලය
29. බේලෝ – කෙළ
30. සිංගානිකා – සොටු
31. ලසිකා – සඳ මිදුළු – සංධිවල
32. මුත්තන්ති – මුත්‍ර

“නිර්ජිවී පිළිකුල් සහගත කුණප කොටස් පමණක් ඇත, පුද්ගලයෙක් නැත” යන සිහිය වඩන්න.

කුමක් නිසාද යත් මනුෂ්‍ය ආත්ම භාවය ඉතා දුර්ලභ නිසාත්, ක්ෂණ සම්පත්තිය ඉතා දුර්ලභ න…

කුමක් නිසාද යත් මනුෂ්‍ය ආත්ම භාවය ඉතා දුර්ලභ නිසාත්, ක්ෂණ සම්පත්තිය ඉතා දුර්ලභ නිසාත්, ඉහලට ගත් හුස්ම පහලට වැටීමට පෙර මරණය සිදුවිය හැකි නිසාත්ය.

අදම ධර්මයට එක්වන්න ►

අප අනර්ථය වෙත පමුණුවන මේ බොරුවෙන් හැමවිටම වෙන් විය යුතු ය. බොරුවෙන් වෙන්වීම හේතු…

අප අනර්ථය වෙත පමුණුවන මේ බොරුවෙන් හැමවිටම වෙන් විය යුතු ය. බොරුවෙන් වෙන්වීම හේතුකොට ගෙන බොහෝ යහපත් ප්‍රතිඵල අත්වේ. ඒ බව අධිමුත්ත සාමණේරයන් වහන්සේගේ කථා පුවතෙන් ද පැහැදිලි වේ. ඒ හිමියන් සංකිච්ච තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකි.

දිනක් මේ සංකිච්ච හිමියන් අධිමුත්ත සාමණේරයන් වහන්සේ අමතා පවසන්නේ ඔබ දැන් වැඩිමහලු බවත්, උපසම්පදාව කිරීම සඳහා නිවෙසට ගොස් වයස අසා දැනගෙන එන ලෙසත්ය. හිමියෝ සිය මෑණියන් වෙසෙන ගමට යනු පිණිස නික්මී අතරමඟදී සොරුන් සිටින වනයකට ඇතුළු වූහ. සොරු මෙම හිමි නම අල්ලා ගත්හ. කෙනෙකුගෙන් ධනයක් ගන්නට නොමැති විට දී පවා තමන් එහි සිටින බව සෙසු මිනිසුන්ට ආරංචි නොවීම පිණිස වනයට ඇතුළු වුණු අය මරා දැමීම සොරුන්ගේ සිරිතකි. මේ හිමියන් පැවිද්දෙකු නිසා අතහැර දැමීමට සමහර අය කථා කළ අතර සමහරු මැරීමට කථා කළහ. තමන් මරණයට පත්කළහොත් මේ වනයට ඇතුළු වුණු පැවිද්දෙකුටවත් ආපසු එන්නට ලැබෙන්නේ නැතැයි සලකා ඉන්පසු කිසිවෙකු මේ වනයට නොපැමිණෙනවා ඇත යනුවෙන් මේ අධිමුත්ත සාමණේරයෝ පැවසූහ. හිමියන්ගේ කථාව ඇසූ සොරු මේ ප්‍රකාශයෙහි සත්‍යතාව සලකා, තමන් වනයෙහි සිටින බව පෙරමග එන කිසිවකුටවත් නොකිය යුතුය යනුවෙන් උන්වහන්සේ පොරොන්දු කරවාගෙන නිදහස් කළෝය. හිමියෝ ඉදිරියට ගමන් කළහ. සාමණේරයන්ට මඟදී තම මවුපියන්, සහෝදරයා සහ සහෝදරිය එම වනයම පසු කර යන්නට එනවිට හමුවිය. සත්‍යයෙහි පිහිටි ඒ හිමියෝ මේ අයට සොරුන් වනයේ සිටින බවක් නො කීහ. වනයේ දී සොරු එම හිමියන්ගේ නෑ පිරිස අල්වා ගත්හ. එවිට හිමියන්ගේ මව විපත දැන සාමණේර හිමියන් මේ ගැන අපට පැවැසුවේ නැත යැයි පවසමින් හඬන්නට වූවාය. සොරු විස්තර අසා දැන ගත් හ. සාමණේරයන් වහන්සේගේ බොරු නොකීමේ, සත්‍යයෙහි පිහිටා සිටීමේ ගුණයට පැහැදුණෝය. හිමියන්ගේ මේ නෑ පිරිසද නිදහස් කළහ. සොරු සොරකම් කිරීමද අත්හළහ. පැවිදිවී උපසම්පදාව ලබා ගත්හ. අධිමුත්ත හිමියන්ගේ අවවාද අනුශාසනා අනුව කටයුතු කොට සියලු දෙනා පසු කාලයේදී රහත් බවට පත් වූහ. මෙලෙස සත්‍යවාදි වීම හේතුවෙන් සිදුවූයේ මහත් යහපතකි.

යහපත් වචන, සත්‍ය වවන කථා කිරිම පුද්ගලයාගේ ජීවිතයට ශක්තිය සපයයි.ඇතැම් අය තමන් සත්‍ය වචන පාවිච්චි කරන්නේ යැයි ප්‍රකාශ කරමින් වඤ්චක ධර්මවලට හසුවෙති. සමහරු තමන් සත්‍ය වචන ප්‍රකාශ කරනවා යැයි කේලාම් කියති. කේලාම් ඇතැම් විට සත්‍යයක් විය හැකිය. එහෙත් එකිනෙකා බිඳෙන වචන කථා කිරීම පාපයකි. අප කිව යුතු සත්‍යය තුළ ඇති අර්ථ සහිත බව, වැදගත් බව වටී. සත්‍ය වදන් කථා කිරීමෙන් මෙලො වදීම යහපත් ආනිශංස ලැබෙන බවට ඉහත සඳහන් කළ අධිමුත්ත සාමණේරයන් වහන්සේගේ කථා පුවත මනා නිදසුනකි. යහපත් වචනයෙන් පරලොව දීද යහපත් ආනිශංස ලද හැකිවේ.

මහා ඍද්ධිමත් වූ මුගලන් මහ තෙරුන් වහන්සේ දෙවිවරුන් හමුවීමට චාරිකාවේ වැඩි අවස්ථාවක මහේශාක්‍ය දේවතාවකුගේ විමානද්වාරයේ සිට මෙබඳු සම්පතක් ලැබීමට කළ පින්කම් කවරේදැයි විමසා සිටියහ. එවිට එම දේවතාවා පවසන්නේ තමන් දානයක් නුදුන් බවත්, පූජාවක් නොකළ බවත්, ධර්මයක් නො ඇසූ බවත් හුදෙක් සත්‍යය ආරක්‍ෂා කළ පමණින් එබඳු සම්පතක් ලැබූ බවත්ය.

මහ මුගලන් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුවට වැඩම කොට විමසන්නේ මෙතරම් කුඩා පින්කම් කොට දිව්‍ය සම්පත්තිය ලද හැකිද යනුවෙනි. එවිට බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙතරම් කුඩා පින්කම් කොට වුවද දිව්‍ය සම්පත්තිය ලද හැකි බවයි. තවද බුදුරජාණන් වහන්සේ මෙසේද වදාළ සේක.

“සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය,
දජ්ජා අප්පම්පි යාචිතො;
එතෙහි තීිහි ඨානෙහි,
ගච්ඡෙ දෙවාන සන්තිකෙ “
(ධම්මපද –අට්ඨකථා)

සච්චං භණෙ – සත්‍යය කියන්නේය
න කුජ්ඣෙය්‍ය – කෝප නොගන්නේය
දජ්ජා අප්පම්පි යාචිතො -ඉල්ලන අයෙකුට ටිකක් හෝ දෙන්නේය.

එතෙහි තීහි ඨානෙහි -මේ කරුණු තුනෙන්

ගච්ඡෙ දෙවාන සන්තිකෙ – දෙවියන් කරා යන්නේය.

මෙයින් සත්‍ය වචන කතා කිරීම් මාත්‍රයේ වුව ඇති වැදගත්කම මනාව පැහැදිලි වේ.

ලෝකයේ බොරු නොකියන සත්වයන් අඩු බවත් බොරු කියන සත්වයන් වැඩි බවත් වදාළ බුදුරජාණන් වහන්සේ එයට හේතුව ද වදාළ සේක.

“තං කිස්ස හෙතු? අදිට්ඨත්තා භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස….. දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය අරියසච්චස්ස”

දුක නම් වූ ආර්ය සත්‍යය නොදුටු බැවින්, දුකෙහි සමුදය හෙවත් දුක හට ගැනීමට හේතුව නම් වූ ආර්ය සත්‍යය නොදුටු බැවින්, දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍යය නොදුටු බැවින්, දුක්ඛ නිරෝධ ගාමිනි ප්‍රතිපදා ආර්ය සත්‍යය හෙවත් දුක් නිරෝධය පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය නොදුටු බැවින් යන මේ චතුරාර්ය සත්‍යය නොදුටු බැවිනි. එසේ නම් ලොව මුසාවාදය වැඩි වීමට හේතුව වන්නේ ලෝකයෙහි යථා තත්ත්වය ඇති සැටියෙන් නොදැනීමයි.ඇත්ත ඇති සැටියෙන් නොදැන බොරුවට වසග වූ අය බොරුම පවසති. තමන් ද බොරුවක සිර වී අන් අයද බොරුවෙන් රැවැටීමට උත්සාහ දරති. බොරුවෙන් ලොව රවටා මුළා කරති. නොදැනීම නිසා මෙසේ වැරැදි කරන සත්වයන්ට ඒ හේතුවෙන් මේ ජීවිතයේ දීද නොයෙක් දුක් ගැහැට විඳීමට සිදුවේ. මරණින් මතු අපා ගත වී බොහෝ කාලයක් අපා දුක් විඳීමට සිදු වේ. උපන් උපන් භවවලදී මුඛ දුර්ගන්ධය ඇතිවීමද විශ්වාසය නැති අවිශ්වාසි කථා ඇත්තන් බවට පත් වීමද සිදුවේ. එබැවින් මේ සා දුක් පමුණුවන අසත්‍යයට නැවැතීම තැබිය යුතුය.අසත්‍යයට නැවැතුම තබා සත්‍යාවබෝධය කළ යුතුය. බුදුරජාණන් වහන්සේ තවදුරටත් මෙසේ වදාළ සේක.

“ තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති
යොගො කරණීයො. අයං දුක්ඛසමුදයොති
යොගො කරණීයො. අයං දුක්ඛනිරොධොති
යොගො කරණීයො. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.”

“මහණෙනි, එහෙයින් මෙහිලා මේ දුක්ඛ යැය වීර්යය කළ යුතුය. මේ දුක්ඛ සමුදය යැයි වීර්යය කළ යුතුය. මේ දුක්ඛනිරෝධ යැයි වීර්යය කළ යුතුය.මේ දුක්ඛ නිරෝධගාමිනි පටිපදා යැයි වීර්යය කළ යුතුය.”

එසේ නම් අප මෙහිදී අවබෝධ කර ගත යුතු කරුණක් ඇත. එනම්, අප මේ මුළාවකට අසත්‍යයකට රැවටී සිටින බව යි. ඒ මුළාවෙහි පැටලුණු විට, අසත්‍යයට රැවැටුණු විට අන්‍යයන්ද මුළා කරවීම සිදුවේ. අන්‍යයන්ද රැවටීම සිදුවේ. චතුරාර්ය සත්‍යය නොදැනීමේ දෝෂයෙන් අපි කවුරුත් රැවැටීමෙන් මහත් වූ දුකක් විඳිමු. මේ තත්ත්වය වටහා නොගෙන අප මහත් වූ මුළාවකට පත් වී ඇති බවට හොඳ උදාහරණයක් මෙසේය. අපි පසුගිය කාලයේ තේලකටාහගාථා සංස්කරණයක් කළෙමු. තේලකටාහගාථා යනු කැලණියේ තිස්ස හිමියන් තෙල් කටාරමට දැමූ විට එහි දැවෙමින් සිට කියූ ගාථාවේ . එහි මේ සංසාරය, සමාජය වේදිකාවකට සමාන කොට දක්වා තිබේ. වේදිකාවක නාට්‍යයක් රඟ දක්වන විට එක අවස්ථාවක පැමිණෙන ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අම්මා සහ පුතා චරිත රඟ දක්වති. ඒ දෙදෙනා වේදිකාවෙන් බැස යති. නැවතත් වෙනත් ස්වරූපයකින් ඒ දෙදෙනාම වේදිකා ගත වෙති. ඒ ස්වාමි පුරුෂයා හා බිරිඳ වශයෙනි. මේ රඟපෑම නාට්‍යයකට නිසා නම් කම් නැත. එහෙත් සැබැවින්ම මේ සිදුවීම සිදුවේ නම් එය කෙතරම් ජුගුප්සාජනක ද? සැබැවින්ම මෙම සිදුවීම මේ සංසාරය නම් වූ වේදිකාව තුළ සිදුවේ. එනම්, මේ ජීවිතයේදි අම්මා සහ පුතා යන චරිත නිරූපණය කරන අය ඊළඟ ජීවිතයේදි බිරිඳ සහ ස්වාමිපුරුෂයා විය හැකිය. මේ ජීවිතයේදි පියා සහ දියණිය යන චරිත නිරූපණය කරන අය ඊළඟ භවවලදී ස්වාමියා, බිරිඳ විය හැකි ය. මේ ආකාරයට මේ අය එක් එක් ජීවිතවලදි නොයෙක් නොයෙක් චරිත රඟ දක්වති. සැබැවින්ම මේ තත්ත්වය ජුගුප්සාජනකය. කරුණු මෙසේ බැවින් මේවා නුවණින් සලකා බලන අය දුකෙන් නිදහස් වීමට සසරින් වහ වහා ඉවත්වීමට උත්සාහ දරති.

මේ සසර සැඩ පහරක් මෙනි. සැඩ පහරකට හසු වූ අයකුට තමන්ට කැමැති ආකාරයට යා නො හැකිය. සැඩ පහරට හසුවෙන හසුවෙන අයුරින් එහි ගසාගෙන යයි. ඒ නිසා මේ සසරෙහිත් අපට අවශ්‍ය අයුරින් ගමන් කළනොහැකිය. අපි සාරි, කළිසම්, කමිස ආදි ඇඳුම් අපට අවශ්‍ය අයුරින් තෝරා ගනිමු. එහෙත් අපට මේ ජීවිතයේ දී මේ ආකාරයෙන්මත් ඊළඟ ජීවිතයේ දී මේ මේ ආකාරයෙන්මත් ජීවත්වෙනවා. උපදිනවා කියා සිතේ කැමැත්තට අනුව පැවැතිය නොහැකි ය. සංසාරයේ සැබෑ ස්වරූපය මෙයයි.

අපි එක් අවස්ථාවක තෝරා ගන්නා දෙය තවත් අවස්ථාවක වෙනත් අයුරකින් තෝරා ගනිමු. එක අවස්ථාවක හොඳ හැටියට ගන්නා දෑ තවත් මොහොතකදී අපට අප්‍රසන්නම පිළිකුල්ම දෑ විය හැකිය. තරුණයකු තරුණියක සමඟ මිත්‍රව සිටින විට ඔහු සිය මිතුරිය හමුවන්නේ චොක්ලට්, මල් ආදි තෑගි භෝගද රැගෙන යමිනි. එහෙත් තත්ත්වය වෙනස් වී ආදරය අහිමි වූ දාට චොක්ලට් ගෙන ගිය අතින්ම පිහිය රැගෙන යනවා විය හැකිය. ඇය සැනසූ තරුණයා අතින්ම විනාශයක් සිදු වනවා විය හැකිය. එබැවින් මේ කාමයන් නම් ලැබෙන තුරු තෘප්තිමත්ය. සුවදායකය. එහෙත් නොලැබෙන විට ඊට ද්වේශ කරයි. ඊතල පහර කෑ අය මෙන් දඟලයි.

බුදුරජාණන් වහන්සේ සුත්තනිපාතයේ කාම සූත්‍රයේදී මෙසේ වදාළ සේක.

“කාමං කාමයමානස්ස තස්ස චෙතං සමිජ්ඣති,
අද්ධා පීතිමනො හොති ලද්ධා මච්චො යදිච්ඡති”

කාමය කැමැති වන පුද්ගලයාට ඉඳින් ඒ කාමය සමෘද්ධ වේ නම් එකල්හි ඒ සත්වයා කැමැති වන ඒ වස්තුව ලැබ ඒ කාන්තයෙන් සතුටු සිත් ඇත්තෙක් වෙයි.

“සස්ස චෙ කාමයානස්ස ඡත්දජාතස්ස ජන්තුනො,
තෙ කාමා පරිහායන්ති සල්ලවිද්ධොව රුප්පති”

කාම වස්තු කැමැති වන, ඇති වූ තණ්හා ඇති ඒ පුද්ගලයාගේ ඒ කාමයන් ඉඳින් පිරිහේ නම් එවිට ඒ තැනැත්තා උලකින් පහර කෑ අයකු මෙන් පෙළෙයි.

එබැවින් අපි මේ සංසාරයේ ඇති භයානක තත්ත්වය අවබෝධ කර ගනිමු. මුළාවෙන් මුළාවී යන මේ ගමන නවතා අසත්‍යයට නැවැතුම තැබීමට උත්සාහවත් වෙමු.

(සච්චසංයුත්තයෙහි මුසාවාද සූත්‍රය ඇසුරු කෙරිණි)

තෙරුවන් සරණයි!

ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!