Monthly Archives: December 2014

අනිත්‍ය තාවකාලික ධර්මතාවයන් නිත්‍ය සදාකාලික ලෙස නොසලකමු. හේතුවෙන් හටගත් සියල්ල න…

අනිත්‍ය තාවකාලික ධර්මතාවයන් නිත්‍ය සදාකාලික ලෙස නොසලකමු. හේතුවෙන් හටගත් සියල්ල නැසෙන සුළුය යන දහම් ඇස පහල කර ගමු.
අපගේ දහම් ඇස පොත කියවන්න ->

බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙහි සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා වෙනස් වූ ලක්‍ෂණ දෙතිසකින්…

බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙහි සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා වෙනස් වූ ලක්‍ෂණ දෙතිසකින් (32) සමන්විතය. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව වඩාත් වැදගත් වන්නේ කෙනෙකුගේ ශරීර ලක්‍ෂණ නොව ඔහු සමාජයට කරනු ලබන ක්‍රියාදාමයන්ය. එහෙත් එබදු උතුම්, ක්‍රියාවන් කරන කෙනෙකුගේ ශරීරය තුළ පවතින රූප ස්වභාව පිළිබඳව සොයා බැලීමට බණ දහමෙන් බාධාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශරීර ලක්‍ෂණ නිසාම උන්වහන්සේ ළග මහණදම් පුරන්නට කැමැත්තක් පළකල අයත් සිටියා. “වක්කලී” තරුණයත් එබදු පුද්ගලයෙක්. ඔහු මහණ වෙලා බුදුහාමුදුරුවන්ගේ රූප ස්වභාවය බලමින් උන්වහන්සේ අසල වැඩ සිටියා.

බුදුරජාණන් වහන්සේගේ ශරීරය තුළ පිහිටා තිබෙන මහා පුරුෂ ලක්‍ෂණ දෙතිස (32) පිළිබඳව කරුණු සඳහන් වන්නේ ලක්ඛන සූත්‍රයේදීය. එහි දැක්වෙන මහා පුරුෂ ලක්‍ෂණ මෙසේ දැක්විය හැකිය.

ඉධ භික්ඛවේ මහාපුරිසො
සුජපතිට්ඨිත පාදො
හෝති යම්පි භික්ඛවේ මාහ
පුරිසො සුජපති ටිඨිත
පාදො හෝති ඉදම්පි භික්ඛවෙ මහා පුරිසස්ස
මහා පුරිස ලක්ඛණං භවත්‍රි

මෙහි දැක්වෙන්නේ උන්වහන්සේගේ ශරීරයෙහි දක්නට ලැබුණු පළමු මහා පුරුෂ ලක්‍ෂණය පිළිබඳව එනම්

1. මනාව පිහිටි පා ඇති බව (සුවිපතිට්ඨිත පාදෝ)

සාමාන්‍ය මිනිසා පය බිම තබන කල්හි පොළවට ගෑවෙන්නේ යටිපතුළෙහි කොටසක් පමණි. සම්පූර්ණ පාදය පොළවෙහි ගෑවෙන්නේ නැත. බුදුරජාණන් වහන්සේගේ යටිපතුල එසේ නොවේ. සම්පූර්ණ කොටසම මහා පොළවෙහි ස්පර්ශවේ. එය බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙහි පවතින මහා පුරුෂ ලක්‍ෂණයකි.

2. යටිපතුලෙහි චක්‍ර සටහන් පිහිටා ඇති බව (හෙටිඨාපාද තලේසු චක්කාති ජාතානි)

තථාගතයන් වහන්සේගේ පාදවල යටිපතුල් යුවළෙහි චක්‍ර සටහන් යුවළක් පිහිටා තිබේ. එය උන්වහන්සේගේ ශරීරයෙහි පවතින මහා පුරුෂ ලක්‍ෂණයකි. එසේම මගුල් ලකුණු කිහිපයක් පවතින බව සඳහන් වේ.

3. දික්වූ විලුඹක් ඇති බව (ආයත පණ්හි)

මෙම ලක්‍ෂණයද පාදයට සම්බන්ධ එකකි. පාදයෙහි විලුඹ පිහිටා තිබෙන්නේ අන්‍ය අයට වඩා තරමක් දිගටය. උන්වහන්සේගේ සිරුරට නව පෙනුමක් ගෙන එයි. විශේෂයෙන් බැලුවකුට විනා එය පෙනෙන්නේ නැත.

4. දික්වූද එක සමාන වූද ඇඟිලි ඇති බව (දීඝං ගුලි))

සාමාන්‍යයෙන් මිනිසුන්ගේ අත්පාවල ඇඟිලි පිහිටන්නේ ඒ ඒ ඇගිල්ලට අනන්‍යවූ දිග ප්‍රමාණයකිනි. ඒ අනුව අතක ඇඟිලි පහ පස් අයුරකට පිහිටයි. පාදයෙහිද එබදුමය. බුදුරජාණන් වහන්සේගේ අත් පාවල පිහිටා ඇති ඇඟිලි එසේ නොවේ. උන්වහන්සේගේ පිහිටා ඇත්තේ අග සිහින් සමාන එක හා සමාන දිග ඇඟිළිය.

5. මෘදු මොළොක් අත්පා ඇති බව (මුදු තලුණ හත්ථපාදෝ)

සාමාන්‍යයෙන් කෙනෙකුගේ අත්පා වයසත් සමග වෙනස් වෙයි. බුදුරජාණන් වහන්සේගේ අත්පා පිහිටා තිබෙන්නේ තරුණ කෙනෙකුගේ අත්පා පිහිටි ආකාරයටය. එයින් උන්වහන්සේගේ ශරීර ශක්තිය සහ පෙනුම ප්‍රභාමත්ය.

6. සමානව පිහිටි අත්පා (ජාල හත්ථ පාදෝ)

සාමාන්‍ය කෙනෙකුගේ ශරීරයෙහි අත්පාවලට වඩා බුදුරජාණන් වහන්සේගේ අත්පාවල අගමුල යන සන්ධි ස්ථාන එක පෙළට සමානව පිහිටා ඇති හෙයින් සිරුරට නව පෙනුමක් ගෙන දෙයි.

7. පහසු පා ඇති බව (උස්සංඛ පාදෝ)

සාමාන්‍යයෙන් කෙනෙකු ඇවිදගෙන යන විට ඉදිරියෙන් සිටින කෙනෙකුට ඇවිදින කෙනාගේ පාදයෙහි යටිපතුළ පෙනෙන්නේ නැත. පිටුපස සිටින තැනැත්තාට ඔහුගේ යටිපතුළ දැකිය හැකිය. එයට හේතුව පාදයෙහි ගොප් ඇටය පිහිටා ඇති ආකාරය අනුවය. බුදුරජාණන් වහන්සේ මඟ වඩින විට ඉදිරියෙන් සිටින කෙනෙකුටත් පසුපස සිටින කෙනෙකුටත් උන්වහන්සේගේ යටිපතුළ දැකිය හැකිය. එයට හේතුව උන්නහන්සේගේ පාදයෙහි ගොප් ඇටයේ පිහිටීමේ විලාසයයි.

8. මනාව පිහිටි කොණ්ඩය ඇති බව (ඒණි ජංඝෝ)

පාදයේ ඉහළ කොටස ආරම්භවන ස්ථානය හදුන්වන්නේ කොණ්ඩ හෙවත් ජංඝා නමිනි. සාමාන්‍ය කෙනෙකුගේ ජංඝා හෙවත් කකුළෙහි පාදයෙහි ඉහළ කොටස ආරම්භක ස්ථානය පිහිටි ස්වභාවයට වඩා සුලක්‍ෂණව තථාගතයන් වහන්සේ ගේ ජංඝා පිහිටා තිබේ.

9. නොනැමි දණහිස පිරිමැදිය හැකි බව (ඨිතතෝව අනෝනමන්තෝ උභෝහි පාණිතලෙහි චන්ත්‍රපාති පරිමසති පරිමජ්ජති)

සාමාන්‍යයෙන් හිටගෙන සිටින කෙනෙකුට තමන්ගේ අතින් දණහිස අතගෑමේදි නොනැමී එය කළ නොහැකිය. තථාගතයන් වහන්සේට නොනැමී දණහිස ස්පර්ශ කළ හැකිය. එයට හේතුව උන්වහන්සේගේ දෑත් දික්ව පිහිටා තිබීම ලෙස සැලිකිය යුතුය. තථාගත. ශරීරය සුලක්‍ෂණව පිහිටා තිබීම එයට හේතුව බව දක්වා තිබේ.

10. පුරුෂ ව්‍යන්ජනය වැසී තිබීම

(නසෝ හිත වත්ථ ගුයිනෝ) සාමාන්‍ය පුරුෂ ශරීරයක පුරුෂ නිමිත්ත පිහිටා තිබීම සහ තථාගතයන් වහන්සේගේ පුරුෂ ව්‍යන්ජනය පිහිටා තිබීම අතර සුවිශේෂ වෙනසක් තිබේ. එය ගවයන්ගේ සහ ඇතුන්ගේ මෙන් පිටතට විද්‍යාමාන වන්නක් නොව ශරීරය තුළට සැගවී ගත්තේය.

11.ස්වර්ණ පැහැ ඇති දේහය (ස්වර්ණ වන්ණෝ)

බුදුරජාණන් වහන්සේගේ සමස්ත සිරුර දුටු පමණින් වෙනසක් දැනේ. කෙනෙකුට එකවර අදහාගැනීමටද අපහසුය. එයට හේතුව තථාගතයන් වහන්සේගේ දේහය අඹා ඇති රුවන් ප්‍රතිමාවක් වැනි ප්‍රභාමත් පෙණුමකින් යුක්තය.

12. මහා සිනිදු සම (සුබ්‍රමවිජවි)

බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ සම ඉතා සියුම්ය. සිනිදුය. එනිසාම දුවිලි ආදිය නොතැවරේ. නෙළුම් පතට වැටෙන දිය බිදු එහි නො ඇළළී පෙරළී යන්නාක් මෙන් තථාගත ශරීරයට පැමිණෙන දූවිලි එහි නොඇළී පෙරළී යන්නාක් මෙන් තථාගත ශරීරයට පැමිණෙන දූවිලි එහි නොඇළී ඉවත්වෙයි. එනිසාම තථාගත සිරුර හැම කල්හිම පවිත්‍රව පිහිටයි. උන්වහන්සේ ජලස්නානය කරන්නේ කය සිහිල් කිරීම සඳහා පමණි.

13. රෝමකූප තනි තනිවම පිහිටා තිබීම. (ඒකේඛ ලෝමෝ)

සාමාන්‍යයෙන් කෙනෙකුගේ ශරීරයෙහි පිහිටා ඇති ලෝම ප්‍රමාණයටම තරම් ලෝම කූප හට නොගනී. එක ලෝම කූපයක ලෝම දෙක තුන බැගින්ද වෙයි. තථාගත සිරුරෙහි එසේ නොවේ. එක ලෝම කූපයක එක ලෝම ගසක් බැගින් පිහිටි ලෝම ශරීරය පුරා ඇත්තේය.

14. මනාව පිහිටි ලෝම ඇති බව (උඩග්ගලෝමෝ)

සාමාන්‍ය මිනිස් ශරීරයෙහි පිහිටන ලෝමවල ක්‍රමික රටාවක් නැත. තථාගත ශරීරය පුරා පවතින ලෝම ක්‍රමික රටාවකට පිහිටා තිබේ. ඒවා සියල්ල දකුණට කැරකැවී රෝම කූපයේ අග උඩ අතට හැරී සිටින සේ පිහිටා තිබේ. එය බුදුරජාණන් වහන්සේට අනන්‍යවු ලක්‍ෂණයක් නිසා මහා පුරුෂ ලක්‍ෂණයක් වේ.

15. ඍජු ශරීර ඇති බව (බ්‍රහ්මුජ්ජුගන්තෝ)

සාමාන්‍ය මිනිසුන්ගේ ශරීරය ඉදිරියට හෝ පිටිපැත්තට හෝ නැමී පවතී. ඇතැම් අයගේ සිරුර පැත්තකට නැමී ඇත. තථාගතයන් වහන්සේගේ ශරීරය එසේ නොවේ. උන්වහන්සේගේ දේහය ඍජුව පිහිටා තිබේ.

16. සත්තුස්ද ලකුණ (සත්තුස්සදො)

සාමාන්‍ය කෙනෙකුගේ ශරීරයෙහි පිටි අත් දෙක පිටි පතුල් දෙක උරහිස් දෙක යනාදි තැන් අස්ථී පෑදී පවතී. තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි එය එසේ නොවේ. තථාගත ශරීරයෙහි සත්තුස්සදෝ ලක්ෂණය පවතී.

17. පිරුණු ශරීරය (සීහ පුබ්බද්ධකායො)

සිංහයාගේ ශරීරයෙහි ඉදිරිපස පරිපූර්ණය. පිටුපස අපරිපූර්ණය. දුබලය. තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි සිංහ ශරීරයේ ඉදිරිපස මෙන් පරිපූර්ණය.

18. චිත්තන්න රංසෝ (චිතන්ත රංසය)

සාමාන්‍ය කෙනෙකුගේ ශරීරය පිහිටා තිබෙන්නේ පිට මැදින් වල ගැසීමකින්ද යුතුවය. ඒ වල ගැසීමත් සමග පිට දෙපැත්තට දෙකට බෙදී ඇත. සාමාන්‍යයෙන් තථාගත සිරුර එසේ නොවේ. පිට මසින් පිරී දෙකට නොබෙදී සමව පිහිටා ඇත.

19.නිග්‍රෝධ පරිමණ්ඩල සිරුර (නි‍්‍රගෝධ පරිමණ්ඩලෝ)

තථාගත සිරුර නුග ගසකට සමාන කොට තිබේ. උසෙහි ප්‍රමාණයට පුළුල්වීම නුග ගසෙහි ලක්‍ෂණයයි. තථාගත සිරුරද එසේය. තථාගත සිරුරේ උස යම් පමණ නම් බඹයක්ද එපමණකම වේ. බඹය යම් පමණ නම් උසද එපමණම වේ. සාමාන්‍ය මිනිසුන්ගේ ශරීරය එසේ නොපිහිටයි.

20. මනාව පිහිටි ගෙල (සමවත්තක් ඛන්ධො)

සාමාන්‍ය මිනිසුන්ගේ ගෙළ මැනවින් නොපිහිටයි. ඇතැමුන්ගේ දිගය. ඇතැම් විට වක් ලෙස පිහිටයි. පුළුල්ව පිහිටයි. කතා කිරීමේදී ගෙළෙහි නහර මතුවෙයි. හඬ මිහිරිව නොඇසේ. නමුත් තථාගතයන් වහන්සේගේ ගෙළ රන්කළසක කරසේ වටවී පිහිටා ඇත්තේය.

21. මනාරස නහර පිහිටීම (රසග්ග සග්ගී)

සාමාන්‍ය කෙනෙකුගේ රස නහර පිහිටන ආකාරයට වඩා සියුම් පිහිටීමක් තථාගත ශරීරයෙහි ඇත. ඉතා කුඩා (තල ඇටයක් පමණ) ආහාරයක් ගත්තත් ශරීරය පුරාම එය ගමන් කරන්නේ ඒ නිසාය. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේදි ස්වල්ප ආහාරයෙන් පවා යැපුනේ මෙම උතුම් ලක්‍ෂණය නිසාය.

22. මනාව පිහිටි හණුව ඇති බව (සීහහණු))

සිංහයාගේ යටි හක්ක සම්පූර්ණය. උඩ හක්ක අසම්පූර්ණය. බුදුරජාණන් වහන්සේගේ උඩු යටි හනු දෙකම සම්පූර්ණය. පුර හඳමෙන් පිරී පවතී.

23. දත් හතළිහක් ඇති බව (චත්තාළීස දන්තෝ)

සාමාන්‍ය කෙනෙකුගේ හණු අසම්පූර්ණ බැවින් එබදු කටක පිහිටන්නේ දත් දෙතිසක්, තිහක්, විසි අටක වැනි ප්‍රමාණයක්ය. තථාගතයන් වහන්සේගේ හණු සම්පූර්ණව පිහිටා ඇති හෙයින් විස්ස බැගින් දන්ත හතළිහක් ශ්‍රී මුඛයෙහි පිහිටා තිබේ.

24. සමව පිහිටි දත්දෙපෙළ (සම දන්තෝ)

සාමාන්‍ය මිනිසුන්ගේ කටෙහි දත් පිහිටා ඇත්තේ එක එක විදිහටය. ඇතැම් දත් මිටිය. ඇතැම් දත් උස්ය. ඇතැම් ඒවා විෂමය. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි පිහිටා තිබෙන දන්ත හතලිහ (40) සමානව පිහිටා තිබේ. එය මහා පුරුෂ ලක්‍ෂණයකි.

25. දත් අතර විවර නැති බව (අවිවර දන්තෝ)

සාමාන්‍ය අයගේ කටෙහි පිහිටන දත් දෙකක් අතර කුඩා ඉඩක්ද පවතී. ආහාර ගත් විට කෑම ඒවා අතර රැදෙයි. තථාගතයන් වහන්සේගේ දන්ත අතර එබදු විවර නැත.

26. මනාව පිහිටි සිටි සිරි දළදා

(සුසුක්ඛ දාඨෝ) දාඨා යනු තොල් කෙළවර පිහිටා ඇති දත් හතරය. තථාගතයන් වහන්සේගේ එම දන්ත හතරෙන් සියුම් කිරණක් විහිදේ. උන්වහන්සේ සිනාසෙන කල්හි බණ කියන විටද ඒවා පැහැදිලිව පෙනේ.

27. දිග දිවක් ඇති බව (පහුත ජීව්හෝ)

ඇතැම් අයගේ දිව පමණට වඩා ගණවේ. කුඩා හෝ වේ. ඉක්මනින් ක්‍රියාකරවිය නොහැකි පරිදි තද හෝ වෙයි. ඔවුන්ට පිරිසුදු ලෙස උච්චාරණය කළ නොහැකිය. බුදුරදුන්ගේ දිව වනාහි දික්වූද පුළුල් වූද මෘදු වූද සම වූද වෙයි. එනිසාම උන්වහන්සෙගේ හඬ ද මිහිරිය. උන්වහන්සේගේ දිවෙන් නාස්පුඩු පිරිමැදිය හැකිය. කන් සිදුරු පිරිමැදිය හැකිය.

28. බ්‍රහ්මස්වර (බ්‍රහ්ම සරෝ හොතී කරවීක භාණී)

සාමාන්‍ය කෙනෙක් කතා කරන විට නැගෙන හඬෙහි රිද්මයන්ට වඩා වෙනස් ස්වභාවයක් තථාගතයන් වහන්සේ දහම් දෙසන අවස්ථා වේ හඬෙහි පවතී. ඒ හඬ ඉමිහිරි රිද්ම ලක්‍ෂණ අටකින් (8) සමන්විත බව දක්වා තිබේ.

29. මනාව පිහිටි ඇස් ඇති බව (අභිනීල නෙත්තෝ)

සාමාන්‍ය කෙනෙකුගේ නෙත්වලට වඩා සුවිශේෂී පෙනුමක් සහිත නෙත් තථාගතයන් වහන්සේට පිහිටා තිබේ. බැලූ කෙනෙකු නැවත හැරී බලන්නට සිතෙන පරිදි අපූර්වත්වයකින් යුතුව පිහිටා තිබේ.

30. ප්‍රසන්න ඇස් ඇති බව (ගෝපඛුමෝ)

බොහෝ දෙනාගේ ඇස් මනාව නොපිහිටයි. ඇතැම් විට කුඩාය. ඇතැම් විට මහත්ය. නැත්නම් ඉදිරියට නෙරා ඇත. රසපද්‍ය නෙත් යුවළක් බුදුන්ට ඇත්තේය.

31. ඌර්ණ රෝම (උණ්ණා භමුක්කන්තරෙජාතා)

බුදුරජාණන් වහන්සේගේ දෙ බැම සහ නළල මැද දකුණට කැරකුණාසේ පිහිටා ඇති උර්ණ රෝම ලක්‍ෂණය උන්වහන්සෙගේ සිරුරෙහි දක්නට ලැබෙන මහා පුරුෂ ලක්ෂණයකි.

32. මනා නළල් තළ පිහිටා ඇති බව (උණ්හීස සීසො)

නළල වසා දෙකන් දක්වා දිවෙන රජවරුන් රාජ්‍ය සේවය හඟවනු සඳහා බදිනු ලබන නළල් පට මෙන් හෝ සුවිශේෂි පිහිටීමද තථාගත සිරුරෙහි දක්නට ලැබේ.

ඉහත දක්වනු ලැබූයේ තථාගත බුදු සිරුරෙහි පිහිටා ඇති සාමාන්‍ය ශරීරවල පිහිටන්නේ නැති ලක්‍ෂණයන්ය. බුදුරජාණන් වහන්සේට මෙම ලකුණු දෙතිසම ජන්මයෙන්ම පහළ වූයේ උන්වහන්සේගේ පෙර පුණ්‍ය මහිමය නිසාය. බුද්ධ කාලයේ සිටි ඇතැම් අයට මෙම උතුම් ලක්‍ෂණවලින් දෙකක්, තුනක්, වැනි ප්‍රමාණයක් පිහිටා තිබූ බව සඳහන්ය. ඒ අය අතරත් සාමාන්‍ය මිනිසා අතරත් තථාගත ශ්‍රී ශරීරයේ පිහිටීමද සුවිශේෂි වී තිබේ.

තෙරුවන් සරණයි!

මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය :

රෝහිණියට සමේ රෝගයක් හැදීමට හේතු වූ පව අනුරුද්ධ මහ රහතන් වහන්සේ සිය උපන් බිම වූ…

රෝහිණියට සමේ රෝගයක් හැදීමට හේතු වූ පව

අනුරුද්ධ මහ රහතන් වහන්සේ සිය උපන් බිම වූ කපිල වස්තු පුරයට භික්‍ෂූන් වහන්සේ පන්සිය නමක් පමණ පිරිවරාගෙන වැඩම කළහ. ඒ පුවත ඇසූ උන් වහන්සේගේ බොහෝ නෑයෝ ද, හිත මිතුරෝ ද උන් වහන්සේ හමුවීමට පැමිණියහ. එහෙත් එක් තැනැත්තියක් පමණක් පැමිණ නොසිටියාය. ඒ අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ නැගණියයි.

“අපේ නැගණියන් නාවේ ඇයි? ඈට මක් වෙලාද?” උන් වහන්සේ නෑයින්ගෙන් විමසූහ.

“හාමුදුරුවනේ ඇය දැඩි සේ පීඩා දෙන හමේ රෝගයකින් පෙළෙමින් සිටිනවා. ඒ නිසයි අද මේ සභාවට නොපැමිණියේ.”

තෙරුන් වහන්සේ සිය නැගණිය ගෙන්වා ඒ ගැන විමසූහ.

“අපේ හාමුදුරුවනේ මේ රෝගයට කෙතරම් පිළියම් කළත් පලක් නැහැ. මට කායික හා මානසික වශයෙන් වධ දෙනවා. සිතා ගන්න බෑ මොනවා කරන්නද කියලා” නැගණිය එසේ පැවසූ විට අනුරුද්ධ මහ රහතන් වහන්සේ මෙසේ වදාළහ.

“නැගණිය ඔය රෝගයෙන් මිදීමට නම් පිං කරන්න ඕනෙ”

“කවර පිනක්ද කළ යුත්තේ?”

ඈ විමසුවාය.

“නැගණිය භික්‍ෂුන් වහන්සේලා සඳහා අසුන් හලක් කරවා උන් වහන්සේලාට ඇප උපස්ථාන කරන්න. රෝගීන්ට උපස්ථාන කරන්න.”

“හාමුදුරුවනේ සල්ලි කොහින්ද?”

ඈ විමසූ විට අනුරුද්ධ රහතන් වහන්සේ මෙසේ වදාළහ.

“නැගණිය, ඇඟේ ලෙඩ තියාගෙන ඔය පැලඳ සිටින ආභරණ වලින් වැඩක් නැහැ. ඕවා විකුණා අසුන් හලක් කරවන්න.”

තෙරුන් වහන්සේගේ උපදෙස් පරිදි නැගණිය එසේ කළාය. දෙමහල් අසුන් හලක් කරවූ ඇය එහි පැමිණ නිරන්තරයෙන් එය පිරිසුදු කරමින් නිතර වතාවත්වල නිරත වූවාය. මෙසේ රෝගීන්ට ඇප උපස්ථාන කරමින් වත්පිළිවෙත් කරන විට ක්‍රමයෙන් ඇගේ රෝගය සුව වන්නට විය. ඉන් සතුටට පත් වූ ඇය බුදුපාමොක් මහ සඟනට මහා දනක් දුන්නාය. දන් වළඳා අවසානයේ බුදුපියාණෝ ඇගේ හමේ රෝගය හැදීමට හේතු වූ අතීත පාපයේ කතාව මෙසේ පැහැදිලි කළ සේක.

පෙර මේ රෝගී නැගණිය බරණැස් මහ රජුගේ අග්‍ර මෙහෙසියව සිටියාය. රජතුමාගේ පුරඟනන් අතර රූ සිරියෙන් අග පත්, ඉතා තරුණ වයසේ පසු වූ බිසවක් වූවාය. රජතුමා ඈට බෙහෙවින් මනාපය. නිතර මනා ඇඳුම් හා පැලඳුම් ඈට දෙන්නේය. මේ නිසා අග මෙහෙසියට තද ඉරිසියාවක් උපන්නේ තරුණ බිසවගේ රූසිරි නසන මගක් ගැන කල්පනා කළාය. ඇය උපායක් යෙදවීය. ඒ අනුව මහා කසඹිලියා වැල් ගොන්නක් ගෙන්නා ගත් ඇය ඒවා අර බිසවගේ ඇඳ පුරා දැම්මාය. එසේම විහිළු කරන ආකාරයට කසඹිලියා වැල් ඇගේ ඇඟටද දැම්මාය. ඉන් මහත් වේදනාවට පත් ඈ ඇඳ වෙත දුව ගොස් එහි වැතුරුණාය. වේදනාව තව තවත් වැඩි වී ඇඟ පුරා බිබිලි දැමුවේය. පසුව බිබිලි කැසීම නිසා ඇඟම වණයක් විය. අවසන් ප්‍රතිඵලය වූයේ රූ සිරියෙන් යුත් බිසව ඉතාම අවලස්සන තත්වයට පත් වීමයි. මේ ඔබ කළ පාප කර්මය යැයි වදාළහ.

සැබවින්ම බොහෝ ස්ත්‍රීහු බෙහෙවින් ඊර්ෂ්‍යා සහගතහ. අන් කතුන්ගේ ධනය, යසස, කීර්තිය හා රූප සෝභාව නොඉවසන්නෝය. ස්ත්‍රීහු ස්ත්‍රීන්ටම කෙණෙහිලිකම් කරන්නෝ ය. එවැනි ස්ත්‍රීන්ට රෝෂිණිගේ කතාවෙන් උගත හැකි පාඩම් බොහෝය.

සත්‍යයෙන්ම ඊර්ෂ්‍යයා කරන්නෝ ඉන් පිරිහීමට පත් වන්නෝය. පහළටම ඇද වැටෙන්නෝය. අඳුරෙන් අඳුරට යන්නෝය. මෙලොවත් අඳුරු කරගෙන සසරත් දිගින් දිගටම අඳුරු කර ගන්නෝය.

මනසේ විශ්මිත ක්‍රියා (ඉර්ධි), කර්මය, පුන්නුරුප්පත්තිය, නිර්වාණය යන මේවා තබා මොලය…

මනසේ විශ්මිත ක්‍රියා (ඉර්ධි), කර්මය, පුන්නුරුප්පත්තිය, නිර්වාණය යන මේවා තබා මොලයේ ක්‍රියාකරිත්වයවත් බටහිර විද්‍යාවට සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන් මනස භෞතික පරමාණු වලින් සැදී ඇතැයි යන ලාමක දුෂ්ටියෙහි සිටින නිසාය.

මනස/විඥානය නැමති පරමාර්ථ ධර්මයක් ඇති බවත්, එහි ක්‍රියාකාරිත්වයත්, එහි ක්‍රියාකාරීත්වයෙන් ලෝකය සැදෙන ආකාරයත් පටිච්චසමුප්පාදයේ මැනෙවින් විස්තර කර ඇත.

මේ විස්මිත දහම අවබෝධ කර ගැනීමට අපිත් අද සිටම කායානුපස්සනාව වඩමු.

රූපයෙන් මිදී මරණයෙන් මිදෙමු. රූපයෙන් මිදීමේ මග යම් තරමකට විස්තර වන “රූපයෙන් මිදී…

රූපයෙන් මිදී මරණයෙන් මිදෙමු. රූපයෙන් මිදීමේ මග යම් තරමකට විස්තර වන “රූපයෙන් මිදීම” නම් වූ ග්‍රන්ථය කියවන්න පහතින්

අපිට උගන්නලා තියෙන්නේ ප්‍රිය දේවල් වලින් සැප ලැබෙනවා, ඒ නිසා හැකිතාක් ප්‍රිය දේව…

අපිට උගන්නලා තියෙන්නේ ප්‍රිය දේවල් වලින් සැප ලැබෙනවා, ඒ නිසා හැකිතාක් ප්‍රිය දේවල් ජීවිතයට එකතු කරගන්න කියලයි. ඒ නිසයි අපි මහන්සිවෙලා ඉගෙනගෙන, බොහෝ මහන්සියෙන් රැකියාත් කරන්නේ. ගෙවල් දොරවල්, යාන වාහන, අඹු දරුවෝ ආදී ප්‍රිය දේවල් ජීවිතයට එකතු කරගන්නයි.

අවිද්‍යාවෙන් වැසී තෘෂ්ණාවෙන් බැඳී කරන මේ අරගලයෙන් අන්තිමට මොනවද ලැබිලා තියෙන්නේ? සියලු දුකින් නිදහස් වීමේ මග කියන ධර්මයට අදම එක්වන්න.

කෙලෙස් දමනය කිරීම පිණිස වැඩිය යුතු මරණානුස්මතිය. අද අපේ ජීවිතය ගෙවෙන්නේ ව්‍යාජ ආ…

කෙලෙස් දමනය කිරීම පිණිස වැඩිය යුතු මරණානුස්මතිය.
අද අපේ ජීවිතය ගෙවෙන්නේ ව්‍යාජ ආරක්‍ෂිත බවකින්.

හේතුඵල ඉගැන්වීම බුදු දහමේ මූලික ඉගැන්වීමකි. මජ්ඣිමා පටිපදා හා මජ්ඣිමා දේශනා යනුව…

හේතුඵල ඉගැන්වීම බුදු දහමේ මූලික ඉගැන්වීමකි. මජ්ඣිමා පටිපදා හා මජ්ඣිමා දේශනා යනුවෙන් කොටස් දෙකක් චරණය හා දර්ශනය සම්බන්ධයෙන් බුදු දහමේ විස්තරවේ. එයින් මජ්ඣිමා පටිපදා යනු ප්‍රතිපත්තිය වේ. මජ්ඣිමා දේශනා යනු බුදුදහමේ දාර්ශනික කොටසයි. මජ්ඣිම දේශනා යනු පටිච්චසමුප්පාද දේශනය හෙවත් හේතුඵලවාදී දර්ශනයයි. අප බුදුදහම තුළ දකිනුයේ මෙලොව සෑම දෙයක්ම හේතු ඵලවාදයකට අනුව ක්‍රියාත්මක වන බවයි. ඒ බව ධර්මයේ පෙන්වනුයේ මෙසේය.

“අස්මිං සති ඉදං හෝති
ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
අස්මිං අසති ඉසං න හෝති
ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති”

ඇතිවීමට හේතු ඇති තෙක් සසර ඇතිවන බවත්, පැවැත්මට හේතු නැති කළ විට පැවැත්මට අදාළ හේතු නිමා වූ පසු සසර අවසන් වන බවත් එහි අදහසයි.

“හේතුංපටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ක්‍ධති” යනුවෙන් හේතූන් නිසා හට ගන්නා දේවල් හේතූන් නැති කල්හි නිමා වන බව ධර්මයෙහි පැහැදිලි කෙරෙයි. එහෙයින් ලොව ඇති ජීව අජීව ක්‍රියාකාරීත්වය පිළිබඳ සිද්ධාන්තය පටිච්චසමුප්පාදය හා සම්බන්ධ කර පෙන්වා දී ඇත. මිනිසා ගේ සසර පැවැත්ම පමණක් නොව ලොව පවතින සෑම ක්‍රියාකාරකමක්ම බුදුදහමේ පැහැදිලි කරනුයේ පටිච්චසමුප්පාදයට සම්බන්ධ කරමිනි. වැස්ස පරිසරය ආදි සියල්ල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හා බැදී පවතියි. එය ‘උපනිස සූත්‍රයේ’ පෙන්වන්නේ මෙසේ ය.

යම් සේ කඳු මුදුන්වලට වැස්ස වැටුණා කල කඳුවල ඇති පුංචි පැල විවරවල වතුර පිරේ. ඒ පුංචි පැලි විවරවල පිරෙන ජලයෙන් මහා විල් පිරේ. මහාවිල් පුරවන ඒ ජලය පුංචි ගංගා පුරවයි. ඒ කුඩා නදීහු මහා නදීන් පුරවයි. මහා ගංගා සමුදුරට ගලා යයි. ඒ අනුව පුංචි වැහි බිංදුව මහා සයුරක් බවට පත් වෙන ක්‍රියාවලිය හඳුන්වා දෙන්නේ ඒ පටිච්චසමුප්පාද ක්‍රියාවලියටම සම්බන්ධ කොට ගෙන ය. ‘උපනිස සූත්‍රය’ බුදුරජාණන් වහන්සේ පරිසරයට, වැසි චක්‍රයට සම්බන්ධ කර දේශනා කළේ එසේය.

එසේම සමාජය තුළ මිනිස් ක්‍රියාකාරිත්වයන් පටිච්චසමුප්පාද ක්‍රියාවලියට අනුව සකස්වන ආකාරය බලමු. සමහරුන් සිරකරුවන් බවට පත්වනුයේ ඔවුන්ගේ වරදින්ම නොව සමාජයෙන් ඇති වන විවිධ හේතු සාධක බලපෑමෙනි. ඇතැම් විටෙක අපට දක්නට ලැබෙන අයුරු කලක් ඉතා හොඳින් සිටින අය තවත් කලෙක නරක පුද්ගලයන් බවට පත්වේ. එසේ වීමට හේතු වනුයේ බාහිර සමාජ ක්‍රියාකාරකම්ය. මෙයට හොඳම නිදසුන අහිංසක නම් ශිෂ්‍යයා අංගුලිමාල නම් දරුණු පුද්ගලයෙක් බවට පත්වීම. එහි දක්නට ඇත්තේ ද පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියකි.

අහිංසක දක්ෂයෙක් නිසා සහෝදර ශිෂ්‍යයන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වේ. දක්‍ෂකම නිසා එහි ඊර්ෂ්‍යාව ගොඩ නැඟේ. එම ඊර්ෂ්‍යාව නිසා කේලාම් කීමක් සිදුවේ. ඒ අනුව ගුරුවරයා අහිංසකව විනාශ කිරීමට සිතා ගුරු පඩුරු වශයෙන් නොකළ යුතු මහා බරපතළ වරදකට ඔහුව පොළොඹවයි. මෙම ක්‍රියාවලිය තුළ ද ඇත්තේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියයි.

බුදුහාමුදුරුවෝ මිනිසුන්ට තෘෂ්ණාව නිසා පර්යේෂණයද පර්යේෂණය නිසා ලැබීමද ලැබීම නිසා විග්‍රහද ආදි වශයෙන් එකිනෙකට බැදී ගිය දාමයක් සේ සත්ත්වයා සසර පැටලෙන ආකාරය පෙන්වා දී තිබේ. ලැබෙන විට එක් පැත්තක් හොඳය. අනෙක් පැත්ත නරකය යනුවෙන් විනිශ්චයන්ට එළැඹේ. විනිශ්චය නිසා ඡන්දරාගය හටගනී. ඡන්දරාග නිසා බැස ගැන්ම ඇතිවේ. ඉනික්බිති ඇලීම ද ඇලුණු පසු ගැටීම ද ගොඩැනැඟෙයි. දඬුමුගුරු ගැනීම, අවි ආයුධ ගැනීම, කේලාම් කීම, බොරු කීම, මිනී මැරීම මේ සියල්ල ඇතිවනුයේ තෘෂ්ණාවෙන් ජීවත්වීම නිසාය. එක් එක් තැන කුඩා පටිච්චසමුප්පාද ක්‍රියාදාමයන් ද සිදුවේ. බුදු දහමේ කේන්ද්‍රීය ඉගැන්වීම පටිච්චසමුප්පාදයයි. කර්ම කර්මඵල හොඳ නරක ලෙස වෙන් කරන දෙය හා එහි ප්‍රතිඵලය එම ක්‍රියාවලියට අනුව සිදුවන්නකි. දුකක් ඇත දුකට හේතු ඇත. නිවන ඇත. නිවන සඳහා මාර්ගය ඇත. මාර්ගය නම් ක්‍රියාවයි. එහි ප්‍රතිඵලය නිවනයි.

ඒ අනුව මෙම සෑම දෙයකම පටිච්චසමුප්පාද දර්ශනය ඇතුළත්ව ඇති බව පැහැදිලිය. එහෙත් නිවන පිළිබඳව මෙයට වෙනස් අයුරින් සාකච්ඡා කළ යුතුවේ.

අසංඛතධාතු :- නිවන සංස්කරණය වූවක් නොවේ. පටිච්චයසමුප්පන්න ධර්මයක් ලෙස ධර්මයේ පැහැදිලි කර නැති මුත් නිවන සඳහා යන මඟෙහි ඇත්තේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියකි. බුදුදහමේ උග්වන මේ කේන්ද්‍රීය ධර්ම කාරණාව මිනිසාගේ සසර පැවැත්ම සඳහා හේතුවන ආකාරය හා ඒ හේතු නැතිකර ගැනීමෙන් සසර පැවැත්ම නවතා ගන්නා ආකාරය පිළිබඳව සොයා බලමු.

බුදුහාමුදුරුවෝ එදා කුරු රටට (අද දිල්ලියට) වැඩම කොට ආනන්ද හිමි හා මේ පිළිබඳව සාකච්ඡා කළ බැව් ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ. ආනන්ද හිමියන් විසින් මෙසේ විමසා ඇත. ස්වාමීනී, මෙය ආශ්චර්යයකි. අද්භූතයකි. පටිච්චසමුප්පාදය ගැඹුරු බැස ගැනීම් ඇති දෙයකි. එසේ වුවත් ස්වාමීනි, එම ධර්මයට මතුවී මතුවී පෙනෙන්නා සේ යැයි ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ. ඉන් අදහස් කළේ පටිච්චසමුප්පාදය උන්වහන්සේට හොඳින් තේරුම ගොස් ඇති බවයි. එහි දී පටිච්චසමුප්පාදය පැහැදිලි කරමින් බුදුන් වහන්සේ මහානිදාන සූත්‍රය දේශනා කළ සේක. අවිද්‍යාවෙන් පටන්ගෙන සසර දුක් හටගන්නා ආකාරය උගන්වන කරුණු එහි ඇතුළත්ය. බුදු දහමේ පටිච්චසමුප්පාදය පිළිබඳව ඉගැන්වූ සසර පැවැත්මට සම්බන්ධ ඉගැන්වීම ලෙස ක්‍රමානුකූලව අප එය අධ්‍යයනය කළ හැකි ය.

අවිජ්ජා පච්චයා සංඛාර– අවිද්‍යාව නිසා සංස්කාර ගොඩනැගේ. අවිජ්ජාව යනු කුමක්ද? අවිද්‍යාව යනු සිව්සස් නොදැනීමයි. නැතහොත් චතුරාර්ය සත්‍යය පිළිබඳ අනවබෝධයයි. මෙය දුකයි. මෙය දුකට හේතුවයි. මෙය දුක නැති කිරීමෙන් ලබන්නා වු විමුක්තියයි. මෙය දුක නැති කිරීමේ මාර්ගයයි. යනුවෙන් චතුරාර්ය සත්‍යය න්‍යාය පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය. එසේ අවබෝධයක් නොමැතිකම අවිද්‍යාවයි.

අවිජ්ජාව නිසා සංස්කාර ගොඩ නැගේ. සංස්කාර පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර හා අනෙඤ්ජාභිසංඛාර යනුවෙන් කොටස් වේ. පුඤ්ඤාභිසංඛාර නම් පින් රැස් කිරීමයි. අපුඤ්ඤාභිසංඛාර යනු අකුසල් රැස් කිරීමයි. අනෙඤ්ජාභිසංඛාර යනු ධ්‍යාන හේතු කොටගෙන බ්‍රහ්ම ලෝකවල ඉපදීමට අදාළ තත්ත්වය නිර්මාණය කරගැනීමයි.

සංඛාර පච්චයා විඤ්ඤාණ යනුවෙන් සංඛාර නිසා විඤ්ඤාණය ගොඩනැඟෙන බව පෙන්වාදී තිබේ. ප්‍රතිසන්ධි විඤ්ඤාණය කෙනෙකුට යළි භවයක් ලැබීම සඳහා හේතුවේ. එසේ නැති නම් අයෙක් භවයට සම්බන්ධ වන විඤ්ඤාණය ප්‍රතිසන්ධි විඤ්ඤාණය ලෙස නම් කර ඇත.

විඤ්ඤාණය පච්චයා නාමරූපං විඤ්ඤණය පදනම් කොටගෙන නාමරූප ගොඩ නැගේ. නාම යනු මානසික කොටසය. රූප යනු භෞතික කොටසය. මානසික කොටසේ ඇත්තේ චිත්ත චෛතසිකයන්ය. පංචස්ඛන්ධය ගත්කල වේදනා, සංඥා, සංඛාර, විඤ්ඥාණ යන සියල්ලම නාම කොටසේ අන්තර්ගතය. රූප කොටසින් භෞතිකත්වය අවධාරනය කෙරේ. මෙම නාමරූප පැවැත්ම ඛන්ධායතනධාතු පැවැත්ම සසරයි.

නාම රූප පච්චයා සළායතනං – නාමරූප යන ප්‍රාථමික තත්ත්වය තවදුරටත් සංවර්ධනය වෙමින් ආයතන හයක් බවට පත්වේ. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය , මනස යනුවෙනි. සළායතන පච්චයා ඵස්සෝ ආයතන හය පදනම් කොටගෙන ස්පර්ශය ගොඩනැගේ. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට ස්පර්ශය, සිතට අරමුණු වශයෙන් වේ. මෙම තත්ත්වයට විඤ්ඤාණය එක් වීමෙන් තවදුරටත් සංකීර්ණ වෙයි. ඇස, රූපය හා චක්ඛු විඤ්ඤාණය නිසා ඇසේ ස්පර්ශය ඇතිවේ. මේ ආකාරයට ආයතන හයෙහිම ස්පර්ශය ඇතිවේ.

ඵස්ස පච්චයා වේදනා ස්පර්ශය පදනම් කොට ගෙන විදීම ඇතිවේ. මෙය තුන් අයුරකින් ධර්මයෙහි බොහෝ තැන පැහැදිලි කෙරේ. වේදනාව විවිධාකාර ලෙස දැක්වේ. විශේෂයෙන් අපි වේදනා ප්‍රභේද තුනක් හදුනා ගනිමු. සුඛ වේදනා, දුක්ඛවේදනා, අපේක්ෂා වේදනා යනුවෙනි.

තණ්හා පච්චයා උපාදානං – තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය යනු දැඩිව අල්ලා ගැනීමයි. දැඩිව අල්ලා ගැනීම නිසා භවය හට ගනී. ඒ බව උපාදාන පච්චයා භවෝ යනුවෙන් දක්වා තිබේ. භවය නිසා ජාති හෙවත් උපත ඉපදීම සිදුවේ. උපත පිළිබඳව බොහෝ දෙනා කල්පනා කරනුයේ බොහෝ සුඛදායී හැගීමකිනි. එහෙත් එය වැරැදි හැගීමකි. දරුවෙක් මෙලොව බිහිවූ දින සිට ජරා දිරීම, ව්‍යාධි රෝගීවීම, මරණ මරණයට පත්වීම ආදි දුක් හට ගනී. ඒ නිසා ජීවිතය පිළිබඳව යථාර්ථවාදීව ඇත්ත ඇති සැටියෙන් කල්පනා කළ යුතුවේ. එසේ කල්පනා කරන විට ජීවිතය දුකක් ලෙස අවබෝධ වේ.

ජාති, ජරා, ව්‍යාධි යනුවෙන් සංවේග වස්තූන්ට අනුව ජීවිතය ගැන කල්පනා කළ යුතුය. ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණය, අපාය දුක, අතීත දුක, අනාගත දුක, සසර දුක හා මේ ජීවිතයේදී ලබන ආහාර සෙවීමේ දුක යනුවෙන් සංවේග වස්තුන් අටක් දක්වා තිබේ.මේවා දැක සංවේග පහළ කරගත යුතුය. මෙයින් අප ගත කරන ජීවිතය සෑම අතකින්ම දුක්ඛදායකය. ජීවිතයේ ඇති එවන් යථාර්ථය හඳුනා ගෙන මුලා නොවී අවබෝධයෙන් කටයුතු කිරීමට අපි ඉටාගත යුතු වෙමු. තවද ලාභ ඉපයීම් මඟ හා නිවන් මඟ එකක් නොව දෙකක් ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම වදාරා තිබෙනවා. ඒ නිසා නිර්වාණලාභී ප්‍රතිපදාවේ ගමන් කිරීමට අපි සෑම දෙනා අදිටන් කර ගනිමු.

තෙරුවන් සරණයි!

ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය :