Monthly Archives: May 2015

නව අරහාදී බුදුගුණ – 1 ප්‍රාඥයන් අතර අගතැන්පත් සැරියුත් මහරහතන් වහන්සේ දිනක් “ භ…

නව අරහාදී බුදුගුණ – 1

ප්‍රාඥයන් අතර අගතැන්පත් සැරියුත් මහරහතන් වහන්සේ දිනක් “ භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තරම් ගුණසම්පන්න කෙනෙකු මේ තුන් ලෝකයේ ම නොවූ විරූය” යනුවෙන් ප්‍රකාශ කළවිට එසේ ප්‍රකාශ නොකළ යුතු බවත් පෙර බුදුවරයන් වහන්සේලා ද මේ ගුණයන්ගෙන් ම යුක්ත වූ බවත් වදාළ සේක. බුදුවරයෙකු තුළ ඇති ගුණ සමුදාය තවත් බුදුවරයෙක් වර්ණනා කළ ද දීර්ඝ වූ කල්පය ගෙවී ගියත් බුදුගුණ නො ගෙවෙන බව උන්වහන්සේ ම වදාරා ඇත.

බුද්ධො’පි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චෙ අඤ්ඤමභාසමානෝ
ඛීයෙථ කප්පෝ චිර දිඝමන්තරෙ
වණ්ණෝ න ඛීයෙථ තථාගතස්ස

මෙසේ අනන්ත වූ බුදුගුණ අතරින් නව අරහාදී බුදුගුණවලින් පළමු බුදුගුණය වන්නේ ‘ අරහං’ බුදුගුණය යි. අරහං යන වචනයේ තේරුම් රාශියකි. එහි සාමාන්‍ය තේරුම සුදුසු තැනැත්තාය යන්නයි. තථාගතයන් කෙරෙහි නොයෙක් සුදුසුකම් ඇත්තේ ය. අටුවා විස්තරයට අනුව ‘ අරහං’ යන වචනයේ අර්ථ කිහිපයක් දැක්වේ.

ආරකත්තා හතත්තා ච – කිලේසාරීන සෝ මුනි
හතසංසාරචක්කාරො – පච්චයාදීන චාරහෝ
න රහෝ කරෝති පාපානි – අරහං තෙන වුච්චති
(විසුද්ධි මග්ග)

1. කෙලෙසුන්ගෙන් දුරුව සිටිනා බැවින් ද (ආරකත්තා)
2. කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද (හතත්තා ච කිලේසාරීන)
3. සංසාර චක්‍රයාගේ ගරාදි සිඳ දැමූ හෙයින් ද (හතසංසාර චක්කාරෝ)
4. චීවරාදි ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු හෙයින් ද (පච්චයාදීන චාරහෝ)
5. රහසින්වත් පව් නොකළ හෙයින් ද (න රහෝ කරෝති පාපානි)

අරහං නම් වන සේක.

මෙසේ අනන්ත වූ බුදුගුණයකින් හෙබි බුදුරජාණන් වහන්සේට වඩා වැඩි කෙනෙකු හෝ සමාන හෝ කිසිවෙක් මේ තුන් ලෝකය තුළ ම නැත. දිනක් බුදුරජාණන් වහන්සේ වේරඤ්ජාවෙහි වැඩ වෙසෙන සමයේ උන්වහන්සේගේ කීර්තිය ඇසූ වේරඤ්ජ බමුණා උන්වහන්සේ දක්නට පැමිණ එකත්පසක හිඳ මෙසේ කීවේය. “ පින්වත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ රාජපරම්පරා ගණනක් ගෙවා ඇති මහලු බමුණන් දැක වඳින්නේ හෝ දැක හුනස්නෙන් නැගිටින්නේ හෝ ආසන දෙන්නේ හෝ නැතැයි මා අසා තිබේ. එය සත්‍යයක් ද? එවිට බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ “බ්‍රාහ්මණය, මා විසින් වැඳීමට හෝ හුනස්නෙන් නැගිටීමට හෝ අසුනක් දීමට හෝ සුදුසු ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ දෙවියෙකු හෝ බ්‍රහ්මයකු හෝ වෙනයම් කිසි කෙනෙකු හෝ මේ තුන් ලෝකයේම නොදකිමි. යම් හෙයකින් මා විසින් එසේ යම් කෙනෙකුට ගරු බුහුමන් දක්වන්නේ නම් ඒ තැනැත්තා අනිවාර්යයෙන් ම තැරියෙන් ගිලිහී ගිය තල් ගෙඩියක් වැටෙන්නාක් මෙන් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහී බිම වැටෙන්නේය’ යි වදාළ සේක. මෙසේ වන්නේ බුදුරදුන්ගේ අරහං බුදු ගුණයේ ඇති බල මහිමය නිසා ය.

මෙකී අරහං බුදුගුණය බුදුරදුන්ට හිමිවූයේ රාග, ද්වේෂ, මෝහ ආදි සියලු කෙලෙස් සතුරන් නැති කොට ලොවුතුරා බුද්ධත්වය අවබෝධ කර ගැනීම නිසා ය. බෝධිසත්ව කාලයේ දී ද ඒ අරහං බුදුගුණයේ මූල බීජ උන්වහන්සේ තුළ පැවතිණ. එහි බල මහිමය පදනම් කරගෙන සිද්ධාර්ථ කුමාරයාණෝ මවුකුසින් බිහිව දිශාවලෝකනය කරන කල්හි ඒ බිළිඳාට සෑම දිශාවකම සිටි මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ආදිහු සුවඳ මල් පුදා “ ඔබට වැඩි කෙනෙකු තබා ඔබ හා සමාන කෙනෙකු ද නැතැ” යි කී කල්හි සත් පියවරක් තබා “ අග්ගෝ හමස්මි ලෝකස්ස – ජෙට්ඨො හමස්මි ලෝකස්ස “ ආදී වශයෙන් සිංහනාද කළහ.

සංසාරය චක්‍රයක් වැනිය. මෙය පටිච්චසමුප්පාද න්‍යාය තුළින් විස්තර කෙරේ. මහා බෝධිසත්වයන් වහන්සේ සුපරිසුද්ධ ශීලයෙන් යුක්තව, චතුරංගසමන්නාගත වීර්යෙන් යුක්තව, අධිෂ්ඨානයෙන් යුක්තව බවුන් වඩා සියලු කෙලෙස් සතුරන් මර්ධනය කොට උතුම් සම්බුද්ධත්වයට පැමිණ වදාළ සේක. එයින් සංසාර චක්‍රය සිඳෙයි. සංසාර චක්‍රයාගේ අරයන් ( ගරාදි ) සිඳින ලද බැවින් අරහං නම් වන බව කියවේ. ඒ අනුව අරහං බුදුගුණය සම්බුදුන්ගේ ප්‍රමුඛ ගුණයක් සේ සැලකිය හැකිය.

ලෝකයේ අන් කිසි කෙනෙකුට නොලැබෙන සේ අප්‍රමාණ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය ආදී සිව්පසය බුදුරදුන්ට ලැබුණේ අරහං බුදු ගුණයේ ඇති බල මහිමය නිසාය. මිනිසුන් පමණක් නොව දේව බ්‍රහ්ම ආදීහු ද වෙනත් තැන්වලට නො පුදා උන්වහන්සේට ම විවිධාකාරයෙන් පුද සත්කාර කළහ. පිරිනිවන් පෑමෙන් පසු වර්තමානය දක්වා ම උන්වහන්සේ වෙනුවෙන් අපමණ පුදපූජා සත්කාර ලැබෙන්නේ ය. වෙසක් පොහොය වැනි විශේෂ දිනක සිදුකරන මෙවැනි පූජා සිය දහස් ගුණයකින් වැඩි වන්නේය. අනිකුත් පූජා විශේෂයන් පිළිබඳ කියනුම කවරේද? මෙය උන්වහන්සේ පූජාවට සුදුසු වූ (අරහං) මහෝත්තමයෙක් වූ නිසා ලැබෙන දේවල් ය.

සම්බුදුවරයන් වහන්සේ රහසින්වත් පාපයක් නොකළ සේක. මෙසේ රහසින්වත් පව් නොකිරීමේ ගුණය රහතුන්ට ද සාධාරණ වේ.

නව අරහාදී බුදුගුණවල එන ‘ ඉතිපිසො භගවා අරහං සම්මාසම්බුද්ධො’ ආදී පාඨය පාඩම් කොට සිතින් කියාගෙන යෑමෙන් පමණක් බුදුගුණ භාවනාවක් වන්නේ නැත. එය බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිවන අන්දමට මෙනෙහි කළ යුතුය. එසේ කිරීමට පුද්ගලයා තුළ ශ්‍රද්ධාව මෙන්ම ප්‍රඥාව ද තිබිය යුතුය.

ඒ අනුව බුදුගුණ අතරින් පළමු බුදුගුණය වන අරහං බුදුගුණය මෙනෙහි කළ යුතු පිළිවෙල වන්නේ ‘මාගේ සම්බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් අරහං නම් වන සේක. කෙලෙස් සතුරන් නැති කළ හෙයින් අරහං නම් වන සේක. සියලු ලෝ වැසියන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වන හෙයින් අරහං නම් වන සේක’. යනාදි වශයෙන් අරහං බුදුගුණයේ ඇති අර්ථ පහම මැනවින් වටහාගෙන පහසු ආකාරයකින් මනා සිහියකින් යුක්තව ලක්‍ෂ කෝටි වාරයක් හෝ දිගටම මෙනෙහි කළ යුතුය. මෙසේ එක දවසක්, සතියක්, මාසයක් අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් වුවද මෙනෙහි කරමින් නිතිපතා භාවනා කරන්නාට බුද්ධාලම්භන ප්‍රීති වේගයන් උපදී.

එයම බුදුගුණ භාවනාවක් වෙයි. බුදුගුණ ඔස්සේ භාවිත වු සිත කෙලෙසුන් කෙරෙන් මිඳුනේ වෙයි. ඉන්පසු බුදුරදුන් පෙන්වා වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අනුව මෙය දුකය. මෙය දුක හට ගැනීමට හේතුවය.

මෙය දුක නැති කිරීමය. මෙය දුක නැති කිරීමේ මාර්ගය යනුවෙන් මෙනෙහි කරමින් අවසානයේ විදර්ශනා භාවනාව හෙවත් ප්‍රඥා භාවනාව වැඩිය යුතුය. එයම ඔහුගේ විමුක්තිය පිණිස හේතු වන්නේය.

තෙරුවන් සරණයි!

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති වැලිවිට සෝරත හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

නව අරහාදී බුදුගුණ

මෙවැනි පණුවන්ට ආහාර වූ කුණු වන අසූචි පිරවූ මල්ලක් බඳු ශරීරයකට 'මම' යැයි කියන්නට…

මෙවැනි පණුවන්ට ආහාර වූ කුණු වන අසූචි පිරවූ මල්ලක් බඳු ශරීරයකට ‘මම’ යැයි කියන්නට සිදුවීම ලැජ්ජාවට කරුණකි.
කායානුපස්සනාව වඩමු. ලෝකයේ ඇලීම් ගැටීම් නවතමු. කෙලෙසුන්ගෙන් මිදෙමු.

බුදු සමිඳුන් තමන් වහන්සේට කල්පයක් හෝ කල්පයකට ටිකක් වැඩියෙන් ජීවත් වන්නට හැකි බව…

බුදු සමිඳුන් තමන් වහන්සේට කල්පයක් හෝ කල්පයකට ටිකක් වැඩියෙන් ජීවත් වන්නට හැකි බව ප‍්‍රකාශ කළත්, ආනන්ද හාමුදුරුවන්ට මේ බව වැටහුනේ නැහැ. එ නිසා, “භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා” කියලා ඉල්ලා සිටින්නට ආනන්ද හාමුදුරුවන්ට බැරිවුණා. අවුරුදු ගාණක්ම සෙවනැල්ලක් මෙන් බුදුසමිඳුන් පිටුපසින්ම පැමිණි පවිටු මාරයා අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගත්තා. ආනන්ද හාමුදුරුවන්ගේ හිත මාරයා විසින් වහගෙනයි හිටියෙ. මාරයා බුදුසමිඳුන්ගෙන් ඉල්ලීමක් කළා.

“ස්වාමීනී, දැන් මේ ධර්මය ලෝකයට ප‍්‍රකට වෙලයි තියෙන්නේ. බොහෝ දෙනෙක් මේ ධර්මය දන්නවා. දෙව් මිනිසුන් අතර මේ ධර්මය ප‍්‍රකටයි. දැන් පිරිනිවන් පාන්නට සුදුසු වේලාවයි. සුගතයාණන් වහන්සේ පිරිනිවන් පාන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් පෑමට කාලයයි.”

“පාපී මාරයා, උඹ දැන් අමුතුවෙන් කලබල වෙන්නට ඕන නෑ. තව කෙටි කලකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා.”

බුදුරජාණන් වහන්සේ සුළු වේලාවකින් මහා සිහි නුවණින් යුක්තව ආයු සංස්කාර අත්හැරියා. එතනින් එහාට ආයුෂ පවත්වන්නට හැකියාවක් නැහැ. මහා පුදුම දෙයක් සිදු වුණා. මුළු මහත් පොළෝ තලයම කම්පා වුණා. තදින්ම කම්පා වුණා. බලවත් ලෙසම කම්පා වුණා. බිහිසුණු හඬක් පැතිරිලා ගිහින්, ආකාශයෙන් වැහි පොද වැටෙන්නට පටන් ගත්තා.

මේ වෙලාවේ අසල රුක් සෙවනක සතර සතිපට්ඨානය වඩමින් සිටි, ආනන්ද හාමුදුරුවන්ට කම්පනය දැනිලා බුදුසමිඳුන්ගෙන් විමසා සිටියා. පොළෝ තලය කම්පා වීමට හේතු වන සංසිද්ධින් අටක්ම බුදු සමිඳුන් පහදා දුන්නා.

“පින්වත් ආනන්ද, මේ පෘථිවිය කම්පනය වෙන්නට හේතු අටක් තියෙනවා.

01. මේ පාථිවිය ජලය මතයි පිහිටලා තියෙන්නෙ. ජලය තියෙන්නෙ වාතය මතයි. වාතය තියෙන්නෙ ආකාශය මතයි. ආකාශයෙ වාතය කැළඹෙන කොට, ජලය කම්පා වෙලා පෘථිවිය කම්පා වෙනවා. මේක තමයි පළවෙනි හේතුව.

02. මේ ලෝකෙ ඉන්නවා සෘද්ධිමත් ශ‍්‍රමණ බ‍්‍රාහ්මණවරු. ඒ අය පඨවි සංඥාව සුළුවෙන් වඩලා ආපෝ සංඥාව අප‍්‍රමාණ ලෙස වඩන කොට, ඒ අයට හැකිවෙනවා, වඩන ලද්දා වූ ආපෝ සංඥාව මත පඨවි ධාතුව කම්පා කරන්න. එතකොටත් පෘථිවිය කම්පා වෙනවා.

03. යම් දවසක බෝධි සත්වයන් වහන්සේ තුසිත දෙව්ලොවින් නික්මී මව්කුසේ පිළිසිඳ ගන්නවාද එදාටත් පොළොව කම්පා වෙනවා.

04. යම් දවසක මනා සිහි නුවණින් බෝසත් පුතු මව් කුසින් බිහි වන්නේ ද එදාටත් පොළොව කම්පා වෙනවා.

05. යම් දවසක බෝසතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේද එදාටත් පොළොව කම්පා වෙනවා.

06. තථාගතයන් වහන්සේ, අනුත්තර වූ දම්සක් සූත‍්‍රය දේශනා කරයිද එදාටත් පොළොව කම්පා වෙනවා.

07. තථාගතයන් වහන්සේ, මනා සිහිනුවණින් යුක්තව ආයු සංස්කාරය අත්හරීද එදාටත් පොළොව කම්පා වෙනවා.

08. තථගතයන් වහන්සේ, අනුපාදිසේස පිරිනිවන් ධාතුවෙන් පිරිනිවන් පානවාද, එදාටත් පොළොව කම්පා වෙනවා.

(මහා පරිනිබ්බාන සූත‍්‍රය – දීඝ නිකාය 02)

බොර වතුර පෑදුන අසිරිමත් සිදුවීම්

බුදුරජාණන් වහන්සේ කුසිනාරාව බලා වඩින ගමනේදී, හදිසියේම, උන්වහන්සේට හටගත් දරුණු රෝගාබාධයක් නිසා කලන්තයක් හැදුනා. බුදු සමිඳුන් ආනන්ද හිමියන්ට පැවසුවා,

“පින්වත් ආනන්ද, ඉක්මනට මේ දෙපොට සිවුර හතරට නමලා බිම ආසනයක් පනවන්න. පින්වත් ආනන්ද, මට කලන්තෙයි. හාන්සි වෙන්න ඕන.”

ආනන්ද හිමියන් විගසින් බුදු සමිඳුන්ට හාන්සි වෙන්න ආසනයක් සකස් කලා. බුදුසමිඳුන්ට තද පිපාසයක් දැනුනා. කලන්තෙත් එක්කම.

“පින්වත් ආනන්ද, ඉක්මනට මට පැන් ටිකක් අරගෙන එන්න. ආනන්ද මට පිපාසයි.”

ආනන්ද හාමුදුරුවෝ බුදුසමිඳුන්ගේ පාත‍්‍රයත් අරගෙන ළඟම තිබුණ දොළපාරට ගියා. ඊට සුළු මොහොතකය කලින් ඒ දොළපාර හරහා කරත්ත පන්සීයක් ගිහින් මඩවෙලා තිබුණා. මේ මඩවෙච්ච වතුර බුදුසමිඳුන්ට පිළිගන්වන්නෙ කොහොමද? ආනන්ද හාමුදුරුවෝ ආපසු වැඩියා.

“ස්වාමීනී, කරත්ත පන්සීයක් ගිහින් දොළපාර හොඳටම මඩ වෙලා. ස්වාමීනී, කුකුත්ථා නදිය මේ ළඟමයි තියෙන්නෙ. එතැන වතුර හරි අගෙයි. තොටුපළකුත් තියෙනවා. අපට ඇඟපත සෝදාගන්ටත් පුළුවන්. පැන් වළඳන්ටත් පුළුවන්.”

“පින්වත් ආනන්ද, මට පැන් ටිකක් අරගෙන එන්න. මට හරිම පිපාසයි.”

ආනන්ද හාමුදුරුවො ආයිමත් පාත‍්‍රයත් අරගෙන දොළපාරට වැඩියා. මහා පුදුමයක්. ආශ්චර්යවත් දෙයක් සිදුවෙලා. මඩ වෙලා තිබුණ දොළපාර පැහැදිලි වෙලා ගිහින්. වතුර නිල් පාටට දිළිසෙමින් තිබුණා.

ආනන්ද හාමුදුරුවන්ට මේ ආශ්චර්යය දැකලා මේ විදිහට හිතුනා.

“තථාගතයන් වහන්සේගේ මහා සෘද්ධිමත් බව නම්, මහානුභාව සම්පන්න බව නම් ආශ්චර්යයි ! අද්භූතයි !” (අච්ඡරියං වත භෝ අබ්භූතං වත භෝ තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා)

බලන්න, මොනතරම් ආශ්චර්යයක්ද ! ස්වභාවධර්මය පවා අපගේ ශාස්තෘන් වහන්සේට මොනතරම් සංවේදී වෙනවාද? බුදු සමිඳුන්ගේ පවස නිවන්නට වතුර පාදා දෙන්නට ස්වභාව ධර්මය ඉදිරිපත් වුණේ එදා පමණක් නොවෙයි.

ඒ වගේම තමයි, සිදුහත් බෝසතුන් වහන්සේ උපන් ලුම්බිණි සල් උයනේදී පොළොවෙන්උඩට මතු වුන උණු සහ සිසිල් ජලය උල්පත් දෙකෙන් බෝසතුන් වහන්සේත්, ඒ බෝසත් මාතාවත් දෙදෙනාම නෑවුණා. මෙයින් පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහ පොළොවේ ජලය පවා ඉතා සංවේදී බව.

ඒ උල්පත් දෙක බොහෝ කාලයක් තිබිලා තියෙනවා. අදත් ලුම්බිණියේ එතන තියෙන පොකුණ බලා ගන්න පුළුවන්.

ජලය කැළඹෙද්දිත් සිදුවුණු අසිරිමත් දේ

ස්වභාවික පරිසරය මිනිසුන්ගේ ගුණධර්ම වලට සංවේදී බව අපිට ඉතිහාසයෙන් සාක්ෂි ලැබෙනවා. බුදු සමිඳුන් මේ ගැන දේශනා කළේ මෙහෙමයි.

“පින්වත් මහණෙනි, යම් කාලෙක රටක පාලකයෝ අධාර්මික වෙනවාද, එවිට රාජ පුරුෂයොත් අධාර්මික වෙනවා. එතකොට බ‍්‍රාහ්මණ ගෘහපතීන් ද අධාර්මික වෙනවා. ඔවුන් අධාර්මික වෙනකොට රටේ සාමාන්‍ය වැසියන්ද අධාර්මික වෙනවා. එවිට ස්වභාවික විෂම ලෙස සකස් වීමෙන් උපද්‍රව ඇති වෙනවා.”

(අධම්මික සූත‍්‍රය – අංගුත්තර නිකාය 02)

අපේ රටේ කැළණිතිස්ස රජතුමාගේ කාලෙ රජතුමා විසින් රහතන් වහන්සේ නමක් උණු තෙල් කටාරමක දාලා ජීවිතය විනාශ කිරීම හේතු කොටගෙන මුහුද ගොඩ ගලලා සුන්මි තත්ත්වයක් ඇති වුණා. ලංකාවේ ඇති වුණු පසුගිය දරුණු සුනාමි ඛේදවාචකය වැනි සිදුවීම් හා මේ ගුණධර්ම පිරිහීමත් අතර තියෙන සම්බන්ධතාවය බැහැර කරන්නට බැහැ.

කොහොම වුනත් පසුගිය එම සුනාමි ඛේදවාචකයේ දී දහස් ගණන් මිනිසුන් දේපළ මුහුදු රකුසාට බිලිවන විට, යකඩ කඳන් අඹරාගෙන රේල් පීලි අඹරවාගෙන කෝච්චි පෙට්ටි පවා මිනිසුන් සමග මහ මුහුදට වීසි කරන කොට, ගෙවල් දොරවල් මුහුදට ඇදගෙන යනකොට, මහා ආහ්චර්යමත් සිදුවීමක් ද ඒ සමඟ සිදුවුණා. බුදුරජාණන් වහන්සේ නමින් මැටි වලින්, සිමෙන්ති වලින් නිර්මාණය වී තිබුණු බුදු පිළිමවහන්සේලාට කිසිදු උපද්‍රවයක් සිදුනොවී ඉතිරි වී තිබෙනු බොහෝ දෙනෙක් ඇස්පනා පිටම දැක ගත්තා. සමහර ගෙවල් ගහගෙන යනකොට තැන්පත් කර තිබූ පුංචි බුදු පිළිම නිරුපද්‍රිතව තිබුණා. පන්සලේ ගොඩනැගිලි කඩාගෙන යනකොට බුදු පිළිම වහන්සේලා ඉතිරි වුණා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව පිහිටුවා ගත් තෙරුවන් සරණ ගිය සමහර දෙනෙක් තම ශ‍්‍රද්ධාව වෙනුවෙන් සත්‍ය ක‍්‍රියා කරද්දී හාස්කමකින් වගේ බේරුණා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියේ නැතිවුවත් උන්වහන්සේගේ අසිරිමත් බව අදටත් ජීවමාන බව පැහැදිලි වෙනවා.

මහමුහුද වමණක් නොවෙයි මහපොළවත් සංවේදී වුණ අවස්ථා ඉතිහාසයේ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ගිජ්ඣකූට පර්වතය පාමුල සක්මන් කරමින් සිටින වෙලාවෙ දේවදත්ත හාමුදුරුවො ගලක් පෙරලුවා. ඒ වෙලාවෙ මහපොළොවෙන් ගලක් මතුවෙලා ඇවිදින් බුදු සමිඳුන්ට සිදුවෙන්නට ගිය අනතුරෙන් වළක්වා ගත්තා. ස්වභාව ධර්මය මෙවැනි පුදුම සහගත සිදුවීම් බුදු සමිඳුන්ගේ අසිරිමත් බව නිසාමයි සිදුවන්නේ.

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා…තෙරුවන් සරණයි…!!!!

පසුතැවිල්ලට හේතුවෙන කරුණු දහයක් බරණැස්නුවර බ්‍රහ්මදත්තනම් රජකෙනෙකුන්ගේ පුත්ව උප…

පසුතැවිල්ලට හේතුවෙන කරුණු දහයක්

බරණැස්නුවර බ්‍රහ්මදත්තනම් රජකෙනෙකුන්ගේ පුත්ව උපන් ජනසන්ථව කුමාරයා, දිසාපාමොක් ආචාරීන් වෙතින් අධ්‍යාපනය ලබා පැමිණ පියරජතුමාගේ ඇවෑමෙන් රජකමට පත්විය. දස රාජ ධර්මයන් නොඉක්මවා රාජ්‍යය විචාළ එතුමා දන්හල් කරවා දුගී – මගී යාචකාදීන්ට දන් දෙන්නට සැලැස්වීය. නිති පන්සිල්ද පොහොය අටසිල්ද සමාදන්ව සිල්වත් බවට පැමිණි හේ, රට වැසියා ද සිල්රකින පිරිසක් බවට පත්කළේය.

පොහෝ දිනවල වැසියා රජමැදුරට කැඳවා ඔවුන්ට ධර්මදේශනා කොට ඔවුන් තුළ ගුණ – නුවණ වර්ධනය කළේය. ඔවුන් සුචරිත ධර්මයට යොමුකළේය. මේ ක්‍රියාමාර්ගය නිසා හිරගෙවල් වැසී ගියේය. දන්ගෙඩිය දිරාපත් විය. එක් පොහෝදිනක රජතුමා පැවැත්වූ ධර්ම දේශනාවෙන් මරණ මොහොතේ මිනිසාට පසුතැවිලි වීමට හේතුවෙන කරුණු දහයක් ගෙනහැර දැක්වීය.

1. යම් කෙනකු තරුණකාලයේ උපයන මිල – මුදල්, ධන – ධාන්‍ය ආදියෙන් කොටසක් ඉතිරි නොකොට එදිනෙදා උපයන සියල්ල එදිනෙදාට වැය කළහොත් වයස නිසා හෝ රෝගාබාධ නිසා හෝ අබලදුබල වී යමක් ඉපයීමට නොහැකි අවස්ථාවට පැමිණිවිට යමක් ඉතිරිකර නොගැනීම ගැන සිතා පසුතැවීමට සිදුවේ. මේ පසුතැවීම වැඩිවන්නේ තරුණ කාලයේ ඉතිරිකරගත් දෙයින් දුබල අවස්ථාවේ අපහසුවක් නැතිව ජීවත්වන අය ගැන අසන – දකින විටය.

2. බාලකාලයේ සැලකිල්ලෙන් උනන්දුවෙන් ඉගෙනීමේ කටයුතු නොකළ තැනැත්තා සැලකිල්ලෙන් ඉගෙනීමේ කටයුතුවල නිරත වී පහසුවෙන් ජීවත්වෙන අය දැකීමෙන් පසුතැවිලි වේ.

3. කේලාම් කියමින් අල්ලස් ගනිමින් ජීවත්වන පුද්ගලයා මහලු වයසට පත්වූ පසු මරණින් මත්තේ තමාට කවර විපාකයක් විඳින්න සිදුවේදැයි ඇතිවෙන බිය නිසා තමන් කළ ඒ වැරදි සිහිපත්ව පසුතැවිල්ලට පත්වේ.

4. සතුන් මැරීම, හොරකම ආදී අකුසල කර්ම කළ පුද්ගලයාද තමා කළ ඒ අකුසල කර්මවලට මරණින් මතු විඳින්නට සිදුවන අකුසල විපාක සිහිවීමෙන් මරණාසන්න අවස්ථාවේ පසුතැවිලි වේ.

5. පරස්ත්‍රී සේවනය, පරපුරුෂ සේවනය යන අකුසල කර්මයේ නිරතවූවෝ තමන්ට මරණින් මතු ලැබෙන දරුණු විපාක සිහිවීමෙන් මරණාසන්න අවස්ථාවේ පසුතැවිලි වෙති.

6.සම්පත් තිබියදී දනක් – පිනක් නොකර ජීවත් වූ පුද්ගලයා එසේ හැකියාව තිබියදී පින් නොකිරීම ගැන සිතා මරණාසන්න අවස්ථාවේ පසුතැවිල්ලට පත්වේ.

7. තම මවු – පියන්ට උපස්ථාන නොකළ පුද්ගලයා ඒ යුතුකම තමාගෙන් ඉටු නොවීම ගැන සිතා මහලු වියේදී පසුතැවිලි වේ.

8. කන – බොන විදිය, අඳීන – පළඳින විදිය ආදී ජීවිතයට අවශ්‍ය කරුණු කියාදෙන හෙයින් පූර්වාචාරීන් වශයෙන්ද යහපත – අයහපත පෙන්නා දෙමින් කැමති ආහාරපානාදිය සම්පාදනය කර දෙන හෙයින් ඉටු දෙවියන් වශයෙන්ද හැඳින්වෙන මවුපියන්ට බැණවදින අපහාස (අක්‍රෝෂඣී පරිභව ) කරන පුද්ගලයා තමන් කළ ඒ අකුසල කර්මයත් ඊට ලැබිය හැකි නපුරු විපාකත් සිහිවීමෙන් මහලු වියේදී පසුතැවිලි වේ.

9. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් හැන්දක් නොදී ඒ අයට නින්දා – අපහාස කරන පුද්ගලයාද තමන් නොකළ සත්ක්‍රියාවන් ගැනත් කළ අසත් ක්‍රියාවන් ගැනත් සිහිවීමෙන් මරණාසන්න අවස්ථාවේ පසුතැවීමට පත් වේ.

10. කලින් කල සිල්වතුන් ගුණවතුන් වෙත ගොස් කළයුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද යනාදී කරුණු විමසා අවවාද අනුශාසනා ලබානොගත් පුද්ගලයාද සත් පුරුෂයන් ඇසුරුකිරීමට නොහැකිවීම ගැන මරණාසන්න මොහොතේ පසුතැවිල්ලට පත් වේ.

කැලිගම විජිතනන්ද හිමි
ලේක් හවුස් බුදුසරණ අන්තර්ජාල කලාපයෙනි

අපිට උගන්නලා තියෙන්නේ OL AL උපාධි විභාග පාස් කලහම සියලු දුක නැතිවී සියලු සැප ලැබ…

අපිට උගන්නලා තියෙන්නේ OL AL උපාධි විභාග පාස් කලහම සියලු දුක නැතිවී සියලු සැප ලැබෙනවා වගේ :p
නමුත් හොඳට මතක තියාගන්න සියලු සැපට හා දුකට හේතුවන සිත ගැන වූ විභාගය පාස් කලොත් විතරයි ඒ දුක් නැති අමරණීයත්වය අපට ලැබෙන්නේ.

“මෙලොව හෝ සෙසු ලොවක හෝ යම්කිසි අගනා වස්තුවක් ඇද්ද, ස්වර්ගය වශයෙන් ගැනෙන ලෝකයන්හි…

“මෙලොව හෝ සෙසු ලොවක හෝ යම්කිසි අගනා වස්තුවක් ඇද්ද, ස්වර්ගය වශයෙන් ගැනෙන ලෝකයන්හි යම්කිසි අගනා රත්නයක් ඇද්ද ඒ කිසිවක් බුද්ධ රත්නය හා සමාන නොවේමය. බුද්ධ රත්නය උතුම්ම රත්නයයි. මේ සත්‍ය හේතු කොට ගෙන සියලු සත්වයන් සුවපත්වේවා!

“යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සගේගසු වා යං රතනං පණීතං
නනො සමං අත්ථි තථාගතෙන
ඉධම්පි බුදෙධ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු”

බුද්ධ යනු අවබෝධයයි. ඒ කවර නම් අවබෝධයක් ද? තථාගතයන් වහන්සේම “සෙල” නම් බමුණාට වදාළ අයුරින් දතයුතු සියල්ලම (තථාගතයන් වහන්සේ විසින්) වෙසෙසින් දක්නා ලදිමි. (අභිඤෙඤයං අභිඤඤතං) වැඩිය යුතු සියල්ල වඩනා ලදිමි. (භාවෙතබ්බං ච භාවිතං) හල යුතු සියල්ල හලෙමි. (පහාතබ්බං පහීනමෙම) එහෙයින් මම බුද්ධ නම් වෙමි. (තස්මා බුදෙධාස්මි බ්‍රාහ්මණ)

දුක්ඛ, සමුදය, නිරොධ, මාර්ග ආදී ආය¸ සත්‍ය, ස්කන්ධ, ආයතන, ධාතු, බෝධිපාක්‍ෂික ධර්ම, පටිච්ච සමුප්පාද අංග ආදි ගැඹුරු දහම් කොටස් වෙන් වෙන් වශයෙන් ඉතා සියුම් වද, සත්ව ලෝකය පිළිබඳ වූ උත්පාද, ඨිති, භංගා දී විග්‍රහයන් හේතු ඵලවාදී විචාරක්‍ෂියෙන් දත් හෙයින් ද සම්මා සම්බුද්ධ නම් වන සේකැයි අට්ඨකතාචාරීහු පෙන්වා දෙති.

බුද්ධරත්නය යනුවෙන් සලකන විට අතීත කාලීන වූ යම් බුදු කෙනෙකුන් වහන්සේ වැඩ සිටියාහුද අපගේ ස්වාමී වු ගෞතම නම් බුදුන්වහන්සේ ද අනාගත කාලීන වූ යම් බුදු කෙනෙකුන් වහන්සේ වෙත්ද කාලත්‍රයවර්තී සියලු දෙනා වහන්සේම ඊට ඇතුලත් වෙති. එහි සියලු බුදුවරයන් වහන්සේම බුද්ධරත්නය සතු අනර්ඝ වූ ලක්‍ෂණ සමුදායෙන් සෝභමානය.

සම්මා සම්බුද්ධත්වය යනු කවරේදැයි තථාගතයන් වහන්සේ සතු මහා ප්‍රඥාවෙන් අවබෝධ කට යුතුයි. ත්‍රිපිටකාගත සූත්‍රයන්හි අසදෘෂ්‍ය වූ සම්බුද්ධඥානය විවිධාකාර ප්‍රභේදයන්ගෙන් විවරණය වී ඇත. සම්මා සම්බුද්ධත්වයෙහි අසිරිය කාරකාරාම සුත්‍රයෙන් “සබ්බඤ්ඤු භූමි, ඛීණාසව භූමි, සච්ච භූමි, සඤ්ඤාත භූමි, තාදි භූමි “ යනුවෙන් ප්‍රධාන කොටස් පහක් යටතේ ඉදිරිපත් කොට තිබේ. එය ගැඹුරින් අධ්‍යයනය කිරීම සම්මා සම්බුද්ධත්වයෙහි විශිෂ්ටත්වය අවබෝධ කර ගැනීමට මහෝපකාරී වේ.

සම්බුද්ධත්වය අති ගාම්භීර ඤාණ සම්පත්තියකින් සමූපලක්‍ෂිතය. සම්බුද්ධත්වය කරා පියවරින් පියවර ආධ්‍යාත්ම සංවර්ධන කාර්යෙහිලා බෝධිසත්වයන් වහන්සේ ප්‍රොත්සාහිවූ අයුරු වටහා ගැනීම මෙහිලා ඉතා වැදගත් වන්නේය. බෝමැඩ කරා වැඩම කොට අපරාජිතපර්ය්‍යංකයෙන් වැඩ හිඳ මාර පරාජයන් අනතුරුව අනාපානසති භාවනා ‘භ්‍යාසයෙන් චතුර්ථ ධ්‍යානයට එළඹ සිත ඉන් ඉවත්කොට අනේක සංඛ්‍යාත අතීත ආත්ම භාවයන් තත්වාකාරයෙන් දකිමින් පුබ්බේනිවාසානුස්සති ඤාණ ප්‍රතිලාභ කොට ගත්හ.

අතීත විවිධ ආත්මයන්හි උපන් තැන්, ලැබූ නම ගොත්, විඳින ලද සුව දුක් පැහැදිළි ලෙස දකිමින් අතීතය වසාලන මෝහන්ධකාරය දුරු කිරීමට සමත් වූහ. අනතුරුව සත්වයින්ගේ උත්පත්තිය, පැවැත්ම හා මරණයද සුගති හා දුගති සංඛ්‍යාත භවයද, කුසලාකුසල කර්ම විභාගාදියද දකිමින් ඤාණ “ සහ චුතුපපාත ඤාණ උපදවා ගත්හ. ඉන් අනතුරුව කෙලෙසුන් සිඳලීමේ සසර බැමි ලිහා දැමීමේ මග කෙරෙහි සිත් යොමු කළෝ සතර මඟ, සතර ඵල පිළිවෙලින් සර්වඥ ඤාණ සම්පත්ති ප්‍රතිලාභී වූහ. එය වනාහි යථාභූත ඤාණ දස්සන අවබෝධයයි. ඒ වනාහි,

චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි යනුවෙන් හැඳින්වෙන එම ඤාණ සම්පත්තිය සාධාරණ ඥාණ අටකින්ද, අසාධාරණ ඤාණ හයකින්ද ප්‍රභේදගත වේ.

බුද්ධත්වය හා බැඳි පවත්නා මෙම ඤාණ විභාගයෙහි රහත් බව අවබෝධ කරගත හැක්කේ ඉතා සියුම්ව හා විචාරක්‍ෂියෙන් යුතුව විමසා බැලීමෙනි. න්‍යාය, වෛශේෂිත, සංඛ්‍ය, වේදාන්ත, යෝග, පූර්ව විමංසා, උත්තර විමංසා, ෂඩ් දර්ශන, උපනිෂද් ආදි ඉගැන්වීම් මගින් ඉදිරිපත් කෙරෙන ඉන්දීය දර්ශන සම්ප්‍රදාය පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන තුලනාත්මකව විමසා බැලීමෙනි. භාරතීය දර්ශනය මගින් ඉදිරිපත් කළ අධ්‍යාත්ම සංවර්ධන ක්‍රියාවලිය හා විග්‍රහය අවබෝධ කොටගත හැක්කේ විචාරශීලි පරිපූර්ණ මනසක් ඇති ප්‍රතිපත්ති ගරුක, සත්පුරුෂ සාධූන්ට පමණි. බුද්ධිගෝචර බවින් සැබවින්ම ඈත්වු දේව නිර්මාණවාදි යදමින් බැඳුනු ආගමික නායකයින්ට එය කෙසේවත් කළ නොහැකිය.

සර්වඥතාඤාණය පාදක වී පවත්නා දාර්ශනික පදනම හේතුඵලවාදය නම් වේ.

එය අචින්ත්‍ය වූ ජගන් මණ්ඩලය සංස්ලේෂණ හා විශ්ලේශන වශයෙන් විමර්ශනයට භාජන කළ හැකි වූද, යථාර්ථාවබෝධයට මාර්ගෝපදේශකත්වය ලබා දෙන්නා වූද පරම සත්‍ය වූ දාර්ශනික පදනම ලෙස හඳුන්වා දිය හැකිය.

බුද්ධරත්නය අසම සම ගුණ සමුදායෙන්ද උපසොභිතය, ඒ බුදුගුණ සිත් සතන් හි රඳවා ගෙන නැවත නැවත සිහි කිරීම “බුද්ධානුස්මෘති” නම් වේ. “අනුස්සති” යන්නෙහි අර්ථය නැවත නැවත උපදවන යහපත් සිහිය යන්නයි. ඒ වනාහි සිහිය පැවැත්විය යුතු තැනම නැවත නැවත පිහිටුවීමකි.

බුදුරුවන කෙරෙහි සුදුසු ආකාරයෙන් නැවත නැවත සිහිය පිහිටුවීමයි. බුදුගුණය සපුරා දත හැක්කේ බුදුවරයන් වහන්සේටම පමණි. එහෙත් මහරහත් උතුමන්ද මාර්ග ඵලාවතීර්ණ වූවෝද පෘථග්ජන එහෙත් නුවණැතියෝද තම තමන්ගේ නැණ පමණින් බුදු ගුණ හඳුනා ගනිති. අනතුරුව නැවත නැවත මෙනෙහි කරති. එහෙයින්ම බුද්ධ, ධම්ම, සංඝ සංඛ්‍යාත රත්නත්‍රය සරණ යති.

තෙරුවන් සරණයි!

නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනු නා හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

නව අරහාදී බුදුගුණ

අකල් මරණින් මිදෙනු කැමතිද ? බරණැස් නුවර සමීපයේ ධර්මපාල නම් බමුණු ගමෙක් විය. ඒ ග…

අකල් මරණින් මිදෙනු කැමතිද ?

බරණැස් නුවර සමීපයේ ධර්මපාල නම් බමුණු ගමෙක් විය. ඒ ගමේ ගම්දෙටු පවුලේ සාමාජිකයෝද එනමින්ම හැඳින්වුණහ. ධර්මපාල පවුල ඉතා ධාර්මිකය. ඒ අනුව ගමේ සෙස්සෝද ඉතා දැහැමින් ජීවත්වීමට පුරුදුව උන්හ. කුලී වැඩ කරන, බැලමෙහෙ කරන අය පවා ධාර්මික ජීවිත ගත කළහ. පොහොය අටසිල්ද නිත්‍ය පඤ්චසීලය ද කඩ නොකර ආරක්ෂා කළ ඔවුහු දස පින්කිරියවත්ද පුරුදු කළහ. දස අකුසල කර්මයෙන් වෙන් වූ ඔවුහු විහිළුවටවත් බොරුවක් නොකීහ. සදාචාර සම්පන්න වූහ.

ධර්මපාල දෙමහල්ලන්ගේ පුතෙක් තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් වෙත ගොස් ඉගෙනීමේ නිරතව සිටියේය. මොහු හැඳීන්වුණේද ධර්මපාල නමින්මය. ගුණවත්කමින් මෙන්ම නැණවත් කමින්ද හේ කැපී පෙනුණේය. ඉතා ආචාර සම්පන්න වූ මොහු වයසට වඩා තැන්පත් පුද්ගලයෙක්ද විය. ඔහුගේ උසස් චරිත ලක්ෂණ නිසා ආචාර්යවරුද ශිෂ්‍යයෝද ඔහු ප්‍රිය කළහ. ඔහු යම් අදහසක් ඉදිරිපත් කළහොත් සියල්ලෝම ඒ කෙරෙහි අවධානය යොමු කළහ. ඊට ප්‍රධාන හේතුව ඔහු කිසිවිටෙක නිෂ්ඵල අදහස් නොපළ කිරීමයි.

මොහු තක්සලා නුවර විසූ කාලයේ දිසාපාමොක් ආචාරීන්ගේ බාල දරුවෙක් කිසියම් රෝගයකින් මියගියේය. තම දරුවාගේ අකල් මරණය නිසා ශෝකයට පත් දිසාපාමොක් ආචාර්ය තුමාද එතුමාගේ බිරිඳ ද හැඩූහ. සමහර ශිෂ්‍යයෝද හැඬූහ. මහලු වයසට නොගොස් කෙනකු මියයන බව ධර්මපාල කුමාරයා ඉන් පෙර දැන සිටියේ නැත. එහෙයින් මේ දරුවාගේ අකල් මරණය ඔහුට මහත් පුදුමයක් විය. දරුවාගේ අවසාන කෘත්‍යයෙන් පසු ඔහු තම සහෝදර සිසුන්ගෙන් මේ ගැන විමසන්න සිතුවේය.

“මේ- ඔය ගොල්ලෝ අහල තියෙනවාද වෙන තැන්වලත් මේ වගේ ළමයින් මිය යනවා කියලා ?”

“අහලා විතරක් නෙවෙයි දැකලාත් තියෙනවා” යි එක් ශිෂ්‍යයෙක් පිළිතුරු දුන්නේය.

“හරි පුදුමයක්නෙ ! ළමා කාලෙදී මැරෙනවා කියන එක”

“පුදුම වෙන්න දෙයක් නෑ ධර්මපාල, ඕනෑම වයසකදී කෙනකු මැරෙන්න පුළුවන්. මරණයට නියමිත වයසක් කොයින්ද ?”

“ධර්මපාල ගමේ කවුරුවත් අඩුවයසින් මැරිලා නැද්ද ?”

“එවැනි මරණයක් සිදුවුණා කියලා මා නම් කවදාවත් අහල නෑ”

ධර්මපාල කුමාරයා කී කරුණ ආචාර්යතුමාට ඉදිරිපත් කර ඒ සම්බන්ධ විස්තර දැන ගැනීමට ශිෂ්‍යයෝ තීරණය කළහ. ඒ අනුව එදින රාත්‍රී ආචාර්යතුමාට වත් දැක්වීමට ගිය අවස්ථාවේ සියලු දෙනා එතුමාට වැඳ නැගී සිටීමෙන් අනතුරුව එක් ශිෂ්‍යයෙක් ධර්මපාල කී කරුණ විමසීය. “ගුරුදේවයන් වහන්ස, මේ ධර්මපාලලයි ගමේ කවුරුවත් අඩු වයසින් මිය ගිහින් නැතිලු. එහෙම වෙන්න පුළුවන්ද දේවයිනි ?”

ආචාර්යතුමා :- “හැබෑද ධර්මපාල මේ දරුවා කියන කතාව ?”

ධර්මපාල :- “එහෙමයි ගුරුදේවයන් වහන්ස. අපේ ගමේ කිසිකෙනකු අඩුවයසින් මියගිය බවක් මා අහලා නෑ”

ආචාර්යතුමා:- “හොඳයි මම මේ ගැන පරීක්ෂා කරලා ඔය දරුවන්ට කියන්නම්. දැන් ගිහින් උද්ග්‍රහණධාරණාදී කටයුතුවල නිරත වෙනවා හොඳයි.”

සියලු ශිෂ්‍යයෝ දොහොත් මුදුනේ තබා ආචාර්යවරයාට නමස්කාර කොට තම තමන්ගේ නේවාසිකාගාරවලට ගියහ.

දින කිහිපයකට පසු, මියගිය එළුවකුගේ ඇටකටුවක් ගෙන්නා ගත් ආචාර්යතුමා එය සුදුරෙදිකඩක ඔතා අතවැස්සකු ලවා ගෙන්නා ගෙන ධර්මපාල කුමරුගේ නිවස බලා පිටත් විය. දිසාපාමොක් ආචාර්යතුමා අහම්බෙන් තම නිවසට එනු දුටු නිවැසියෝ පෙරටගමන් කොට පිළිගෙන මහත් හරසරින් ගෙට කැඳවාගන විත් ආගන්තුක සත්කාර කළහ. ආචාර්යතුමා පැමිණි බව ආරංචියෙන් දැනගත් බොහෝ දෙනා එතුමා දැක ගැනීම සඳහා ධර්මපාල නිවසට පැමිණියහ. සතුටු සාමීචියේ යෙදීමෙන් අනතුරුව ගෘහමූලික ධර්මපාල තම පුතණුවන් ගැනද විමසුවේය.

“ධර්මපාල ඉගෙනීමට දක්ෂයි. හැසිරීමත් හොඳයි. සමහර අතවැස්සන් තමන්ට අමතක වෙන කරුණු අහගන්නෙත් ඒ දරුවාගෙන්. ඒ නිසා අනිත් අතවැස්සන් ධර්මපාලට ආදරෙයි. ඒ වුණත්….දවස් කීපයකට කලින් හටගත් ව්‍යාධියකින් දරුවා මියගියා!”

මේ වචන ඇසීමෙන් ධර්මපාල පවුලේ උදවියත් පැමිණි සිටි පිරිසත් සිනාසෙන්න පටන් ගත්හ.

“ඇයි දරුවා මළ බව කිව්වාම සන්තෝසෙන් හිනාවෙන්නේ ?”

“ආචාර්යතුමනි, අපේ පවුලේ අය, මේ ගමේ අය, එහෙම අකාලයේ මිය පරලොව යන්නේ නෑ”

“මිය පරලොව යන්නේ නෑ ? …. ඒ බව පිළිගන්න බැරිනම් මෙන්න ඇටකටු”යි ආචාර්යතුමා තමන් රැගෙන ආ ඇටකටු ඉදිරිපත් කළේය. ධර්මපාල ඇතුළු පිරිස එය අතට ගෙන පරීක්ෂාවෙන් බලා “මේක එළුවකුගේ හරි බල්ලකුගේ හරි ඇටකටුවක් ! ….. අපේ පුතාගේ නෙවෙයි”

“ඔව්. ධර්මපාල උන්නැහේ. ඔබ කිව්වා හරි. මේක එළුවකුගේ ඇටකටුවක්. ඔබේ පුතා සනීපෙන් ඉන්නවා. මේ ගමේ අය අකාලේ මියයන්නේ නෑ. කියාපු කතාවේ ඇත්ත-නැත්ත ප්‍රත්‍යක්ෂ කර ගන්නයි මා මෙහෙම කළේ. ඒ ගැන මට ක්‍ෂාමාවෙන්න. ටික දවසකට කලින් මගේ දරුවකු මියගියා. ඒ වෙලාවේ මේ ධර්මපාල දරුවා අනිත් අතවැස්සන් එක්ක කියලා තිබුණා එහෙම අඩු වයසෙන් මිනිසුන් මැරෙන බවක් එයා අහලාවත් තිබුණේ නෑ කියලා. පස්සේ මාත් අහල බැලුවාම මටත් ඒ කතාව එහෙමම කිව්වා. දැන් එහි සත්‍යය මට වැටහුණා. මට දැනගන්න ඕන මේ ගමේ අය අකල් මරණයට පත්නොවන හේතු මොනවාද කියලයි.

මේ සියලු දෙනා සමගි සම්පණ්ණව දැහැමින් ජීවත්වෙන බවද කුලී වැඩ කර ජීවිකාව සපයා ගන්නා අය මෙන්ම වත් පොහොසත්කම් ඇති අයද නිත්‍ය පඤ්චසීලයත් පොහොය අෂ්ටාංග සීලයත් ආරක්ෂා කරන බවද, දානාදී පින්කම්වල නිරත වෙන බවද වැඩිහිටියන්ගේ උපදෙස් පිළිගෙන ඒ අනුව ක්‍රියාකරන බවද මේ නිසා අකල් මරණ දරුණු රෝගාබාධ ආදියෙන් තමන් පීඩාවට පත්නොවන බවද පිය ධර්මපාල විස්තර කළේය. ඔහුට සවන්දුන් ආචාර්ය තුමා ඒ විස්තරය පතක ලියවාගන පෙරලා තක්සලානුවරට ගොස් ධර්මපාල කුමාරයා කී කරුණු සත්‍ය බව අතවැස්සන්ට පැහැදිලි කර දී අධ්‍යයන කටයුතු නිමකර තම තමන්ගේ ගම්රටවලට ගිය පසු ඒ ප්‍රදේශවල ජනයා ගුණධර්මවලට යොමු කිරීමේ වැදගත්කමද පෙන්නා දුන්නේය.

කැලිගම විජිතනන්ද හිමි

ලොව දුලබ කරුණ . ලොව කෙතරම් බුදුවරුන් පහළ වුවද එම බුදුවරුන්ගේ දහම් ඇසීමට තරම් නැ…

ලොව දුලබ කරුණ

.
ලොව කෙතරම් බුදුවරුන් පහළ වුවද එම බුදුවරුන්ගේ දහම් ඇසීමට තරම් නැණවත් සර්ව සම්පූර්ණ මිනිසත් බවක් නොලැබුවොත් අර්ථයක් සිදුනොවන්නේමය. ශ්‍රද්ධාවෙන්, වීර්යයෙන් , සමාධියෙන්, ප්‍රඥාවෙන් මෙලොව ධාර්මික ජීවනය, භවාන්තරයෙහි දේවමානුෂික සම්පත් මෙන්ම සංසාරික ජාති,ජරා, ව්‍යාධි, මරණ , ශෝක පරිදේවාදි අප්‍රමාණ දුක්වේදනා, සමනය කිරීම සහ උතුම් නිවනින් සැනසීමට හේතු වෙයි .

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
කිච්ඡෝ මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං
කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ

පින්වත්නි,

සිරිසුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර මහරි වෘක්‍ෂයක් මුල වැඩ සිටින සමයෙක ඒරකපත්ත නාරජු අරබයා මෙම ගාථාධර්මය දේශනා කළ සේක. මෙකී ඒරක පත්ත නාගරාජයා පෙර කාශ්‍යප බුදුරදුන් සමයෙහි උසස් මිනිසත් බවක් ලැබ එම බුදු සසුනෙහි දිවි ඇතිතෙක් මහණ දම් පුරා එහෙත් උතුම් මිනිස් දම් නොලබාම යළි පාප කර්මයක ප්‍රතිවිපාක වශයෙන් සසරගතව තිරිසන් ආත්මයක් ලැබූවෙකි.

එදවස කිසියම් කාරණයකට ගඟකින් එතර වීම සඳහා අගුලකට නගිද්දී ඒරුගසක අත්තක් අල්ලා ගන්නා ලදින් එයින් කොලයක් කැඩී ගඟට වැටින, උපසපන් භික්‍ෂුවක් ගස්වැල් සිඳ බිඳ දැමීම ආපත්ති දෝෂයක් බැවින් ආයති සංවරය සඳහා ඇවැත්දෙසිය යුතුවේ. එහෙත් මෙම භික්‍ෂුව එසේ ඇවැත් නොදෙසීමෙන් එම අරමුණ පිළිබඳව චිත්තසන්තානයේ කැළඹීමක් ඇතිවී මරණාසන්න චිත්ත වීථියට සංයුක්තව මරණින් පසු ඔරුවක් පමණ විශාල නාගරාජයෙක්ව උපන්නේය. අප බුදුරදුන් බරණැස මහරිරුකමුල වැඩ සිටින බව දැන එතැනට පැමිණ සිරිපා වැඳ අඬන්නට විය. කාශ්‍යප බුද්ධ කාලයෙන් පසු මිනිසත් බවක් නොලැබීමත්, බණ ඇසීමක් හෝ බුදුරජාණන් වහන්සේ නමක් දැක පිනක් කිරීමට නොහැකි වීමත් නිසා ශෝකය ඉවසුම් නැතිව ඇඬෙන බව බුදුරදුන්ට ප්‍රකාශ කළේය. නාගරාජයාගේ මෙම ශෝචනීය ස්වභාවය නිමිත්තෙන් බුදුරජාණන් වහන්සේ ලෝකයේ දුර්ලභ කරුණු හතරක් දේශනා කර වදාළ සේක. එනම්

1. මනුෂ්‍ය ආත්මයක් ලැබීම.
2. බුද්ධෝත්පාද කාලයක ඉපදීම.
3. අංගවිකල බවක් නොමැතිව (ගොලුවෙක්, බිහිරෙක්, කොරෙක් නොවී) ඉපදීම.
4. ධර්මශ්‍රවණය කිරීම.

පින්වත්නි ,

විශ්වයේ අපමණ ලෝකවල අසංඛ්‍ය සංඛ්‍යාත සත්වයන් සිටින නමුත් මෙම සක්වල මිනිස්ලොව මිනිස් බව ලබන සත්වයන් ඉතාම ස්වල්ප වන අතර මිනිසත් බව ලබා ගැනීමද ඉතා දුෂ්කර වේ. සිතිවිලි අනුව භවය පවත්නා බව සත්ව විශ්ලේෂණයේදී ප්‍රකට වන පරම සත්‍ය ධර්මතාවයකි. විද්‍යාව හා ආගම යන විෂය දෙකම සත්වයාගේ පැවැත්මට අදාළ වන අතර මිනිසාගේ හා සෙසු ජීවින්ගේ උපත හා පැවැත්ම සත්ධර්ම හා අසත්ධර්මයන්හි ප්‍රතිවිපාක ලෙස සිදුවන බව බෞද්ධ දර්ශනයේ පැහැදිලි වේ. චින්තනයෙන් උස් පහත් වීම මනුෂ්‍ය තිරිසන් වෙනස බව පිළිගැනීම සෑම ආගමක මෙන්ම විද්‍යාවෙන්ද ඉගැන්වෙන නමුත් එම චින්තනය යථාපරිදි වෙනස් කිරීමට මනුෂ්‍යත්වයට අදාල වන ලෙස සකස් කිරීමට අවශ්‍ය මානසික භූමිකාව ගොඩනගාගන්ට උගන්වන එකම විෂය බුදුදහමයි. එහෙත් එය අන්තර්ඤාණයෙන් ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට නොහැකි කෝටි සංඛ්‍යාත මිනිසුන් මනුලොව ජීවත්වීම නිසා සෙසු මිනිසුන්ටද එම ප්‍රවණතාවය විශාල පීඩනයකි. මෙයට ප්‍රධාන හේතු කීපයකි.

01.මනුෂ්‍යත්වයේ වටිනාකම පිළිබඳව නොසිතීම
02. කර්ම නියමය නොපිළිගැනීම
03. විවේක බුද්ධියක් නොතිබීම
04. භෞතික සම්පත් පිළිබඳ ආශාව

මේ නිසා අතීත පිනකින් මිනිසත් බව ලැබුවද කෝටි සංඛ්‍යාත මානව සමාජයේ මිනිස් සිතකින් ජීවත්වන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. මනුෂ්‍ය සමාජයේ වැඩි පිරිසකට මනු කය පැවතියද චින්තනය තිරිසන් වේ. එම මිනිසුන් මානව පරපුරටම ශෝක සන්තාප ගෙන දී යළි උපදින්නේ තිරිසන් කයෙනි. මේ ලෝකයේ ඉතාම දුෂ්කර වන්නේ මනුෂ්‍යත්වය ආරක්‍ෂා කිරීමයි. එවන් බෞද්ධයෙක්ව බුද්ධ ශාසනයේ පැවිදිව ශ්‍රේෂ්ඨ මහණකම ආරක්‍ෂා කරගන්නේ නම් ඒ උතුමා යථාර්ථයෙන්ම කයින්, මනසින් ආශ්චර්යවත් උත්තරීතර මනුෂ්‍යයෙකි. එවන් මනුෂ්‍යත්වය ලබාගැනීම ඉතා දුෂ්කර බව බුදුරදුන් විසින් හේතුඵල සහිතව දේශනා කරන ලදී.

“පින්වත්නි “ මිනිසත් බව ලැබීම මෙන්ම පවත්වාගෙන යාමද ඉතා දුෂ්කර වේ. මිනිසෙකුට මනුෂ්‍යත්වය ආරක්‍ෂා කර ගැනීමට ප්‍රධාන කාරණා කීපයක් අත්‍යවශ්‍ය වේ.

01. මනුෂ්‍යත්වය පිළිබඳ මනා දැනීම
02. ධාර්මික ජීවන පැවැත්ම
03. ජීවන දර්ශනය
04. කල්‍යාණ මිත්‍ර සේවනය

අතීත සංසාරික ජීවිතවලදී කළ කුසල චේතනාවක ප්‍රතිවිපාක වශයෙන් මානුෂික මවුපියන්ගෙන් උපදින්නට වාසනාවන්ත වූ මිනිසෙකු ක්‍රමයෙන් කයින් මනසින් හැදී වැඩී මනුෂ්‍යත්වය පිළිබඳ දැනීමක් ලබා ගත යුතුවේ. විශේෂයෙන් මෙයට පරිසරය මහෝපකාරී වන අතර ආධ්‍යාත්මික ගුණයෙන් මූර්තිමත් මිනිසුන් හා සුන්දර පරිසරය තුළින් සත්පුරුෂයන් බිහිවන අතර අසත්පුරුෂයන් සිටින අසුන්දර අපි‍්‍රය පරිසරයක අසත්පුරුෂ මිනිසුන් බිහිවීම ස්වාභාවික වේ.

මිනිස් කය උපදින විට ලැබෙන අතර මිනිස්කම අවබෝධයෙන් ලැබේ. එය ආරක්‍ෂා කර ගැනීමට ධාර්මික ජීවන පැවැත්මක් අත්‍යාවශ්‍ය වේ. “ ධම්මිකෝ ධම්මජීවි “ යනුවෙන් අප බුදුරදුන් වදාළ පරිදි ප්‍රාණඝාත අදත්තාදානාදී පස් පව් කිරීමෙන් වැළකී ධාර්මික ජීවන පැවැත්ම උදාර මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියයි. කෙතරම් සමාජය පරිවර්තනය වුවද ධාර්මික ජීවන වෘත්තියක් නොමැති නම් උපයා සපයා ගන්නා සම්පත මිනිස්කමට විපතක්ම වේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවට අනුව සම්මා කම්මන්ත සම්මා ආජීව යන ආර්ය ගුණාංග මිනිසත් බව ආරක්‍ෂා කර ගැනීමට ද ලෝකෝත්තර නිවන් සුව ලැබීමට ද හේතු කාරක වේ. ලෝකයේ ඉතා දුර්ලභ කාරණා අතර සත්ධර්මය ඇසීමද කාලාන්තරයකින් ලබන වාසනාවකි. ධර්මය ලෝක ස්වභාවයයි. එය සත් අසත් වන්නේ මිනිසාගේම චින්තනයෙන් හා ක්‍රියාකාරිත්වයෙනි. බුද්ධාදී උත්තමයන් ලෝක ධර්මය දේශනා කරන්නේ අවබෝධයෙන් පරාර්ථකාමී මහා කරුණාවෙනි. එබැවින් බුද්ධ ධර්මය සම්පූර්ණයෙන්ම සත්ධර්මය වන අතර එය ඇසීමෙන් දැරීමෙන්, පිළිපැදීමෙන් දෙලොව යහපත ඒකාන්තයෙන් ලැබේ.

ලෝක ස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් නොදැන අනුමානයෙන් දැනගෙන ආත්මාර්ථකාමිත්වයෙන් සිතන කියන දේශනා අසත්ධර්මය වේ. එවන් දහම් ලොව සැමදා අසන්නට ඇති නමුත් සත් ධර්මය අසන්නට වාසනාවන්ත වන්නේ කල්පාන්තරයකට පසුව පහළවන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් මනු ලොවක, මිනිසත් බව ලබා අවබෝධයෙන් එම බුදුරදුන් ට සවන් දීමෙනි. ලොව කෙතරම් බුදුවරුන් පහළ වුවද එම බුදුවරුන්ගේ දහම් ඇසීමට තරම් නැණවත් සර්ව සම්පූර්ණ මිනිසත් බවක් නොලැබුවොත් අර්ථයක් සිදුනොවන්නේමය. සත්ධර්මය ඇසීමෙන් , සිතීමෙන් බිනීමෙන් පිළිපැදීමෙන් වන්නා වූ ආනිශංස අපමණය. ශ්‍රද්ධාවෙන්, වීර්යයෙන් , සමාධියෙන්, ප්‍රඥාවෙන් මෙලොව ධාර්මික ජීවනය, භවාන්තරයෙහි දේවමානුෂික සම්පත් මෙන්ම සංසාරික ජාති,ජරා, ව්‍යාධි, මරණ , ශෝක පරිදේවාදි අප්‍රමාණ දුක්වේදනා, සමනය කිරීම සහ උතුම් නිවනින් සැනසීමට හේතු වෙයි . පරපුරෙන් පරපුරට ඉපදෙනා මැරෙණ, කෝටි ප්‍රකෝටි මිනිසුන් අතර ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළවීම සිදුවන්නේ කල්පාන්තරයක් ගත වූ පසුය. එවන් ආශ්චර්යවත් අවස්ථාවක අති දුර්ලභ වූ, උතුම් මනුෂ්‍යත්වය ලබා එම බුදුරදුන් කරා පැමිණීමට බුදුබණ අසා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පිරීමෙන් සසරින් මිදීමට ලැබීම කෙතරම් වාසනාවක්ද?

සියලු සත්වයෝ සුවපත් වෙත්වා

මහනුවර අස්ගිරිය විජයසුන්දරාරාමයේ
ශාස්ත්‍රවේදී, පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි

මෙවැනි මානසිකත්වයක් ඇති අයට ඇතිවූ අකුසල්/කෙලෙස්/ආශ්‍රව තවත් වර්ධනය වේ, නැති කෙලෙ…

මෙවැනි මානසිකත්වයක් ඇති අයට ඇතිවූ අකුසල්/කෙලෙස්/ආශ්‍රව තවත් වර්ධනය වේ, නැති කෙලෙස් ද ඇතිවේ.

ධර්මයේ උත්සාහවත් වන කෙනෙකුගේ මානසිකත්වය මිට වැඩ හාත්පසින්ම වෙනස් විය යුතුය. ඇතිවූ කෙලෙස් නැති කරන, නැති කෙලෙස් නුපදවන ප්‍රතිපදාව සඳහා සබ්බාසව සුත්‍ර දේශනාවට සවන් දෙන්න