Monthly Archives: January 2016

New photo from Facebook January 23, 2016 at 09:00AM

බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ

බුදු රජාණන් වහන්සේට සිය අවසන් භවයේදී විපාක දුන් කර්ම ද ඊට හේතු ද මේ ලිපියෙන් දැක්වේ.

දශබලධාරී බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව ඒ මෙසේ ය:

01. සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාර ස්ථානයට එන-යන ගමන හේතුවෙන් විශාල අපවාදයක් නැගීම. ඊට හේතුව පෙර මුනලීධූර්තක ව සිටියදී සරභු නම් පසේ බුදුරදුන්ට කළ දෝෂාරෝපණය බව දත යුතු ය.

02. පෙර ලොව පහළ වූ සබ්බාභිභූ නම් බුදුරජුන්ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාමභෝගියා කියලා දොස් නඟන්නට යෙදීම. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් විය. මේ සාරාසංඛය්‍ය කල්ප ලක්‍ෂයකටත් පෙර කරන ලද කර්මය බුදුබව ලබාද බඩදරු අම්මාගේ වෙස්ගත් චිංචිමාණවිකාව හේතුවෙන් පහත් වූ අපවාදයකට ලක් විය.

03. පසු කාලයකදී සුන්දරී පරිබ්‍රාජිකාව මරා මල් අසුන ළඟ වළලා බුදු රජුන් ඇය දූෂණය කොට මරා සඟවන ලද්දේ ය යි මහත් දෝෂාරෝපණයක් දින 07ක් තුළ පැවතිණි. දින 07කින් පසු සත්‍ය එළි විය. කෙසේ නමුත් මේ නින්දාවට හේතුව පෙර භීම නම් ඍෂීන් වහන්සේට බැණවැදීම බව දත යුතු.

04. මහ බෝසතාණන් වහන්සේ පෙර වස්තු ලෝභය නිසා තම සොහොයුරා කන්දකින් පහළට තල්ලු කර ගලක් ද පෙරළා මරාදැමුවේ ය. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී බුදු වූ ජීවිතයේ ද දෙව්දත් තෙර ගල් පෙරළූ බව දත යුතු.

05. බෝසතුන් දිනක් කුඩා ළමයකු ව සිටියදී පසේබුදු කෙනකු දැක ගලකින් ගැසුවේ ය. ඒ කර්මය හේතුවෙන් මේ ජීවිතයේ තම ජීවිතය නැති කිරීමට දෙව්දතුන් දුනුවායන් යෙදවූ බව දත යුතු.

06. පෙර බෝසතුන් ඇත්ගොව්වකු වී සිටියදී පසේබුදු කෙනකු වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙයෙව්වේ ය. උන් වහන්සේ ඍද්ධියෙන් වැඩි නමුදු පහත් සිතින් කළ කර්මය නිසා මේ ජීවිතයේ තමන් වහන්සේ මැරීම පිණිස මත් වූ නාලාගිරි ඇතු ඉදිරියට ආ බව වදාළහ.

07. දෙව්දත් තෙරුන් තථාගතයන් වහන්සේ කෙරෙහි ගැටුණු සිතින් ගිජුකුළු පව්වේදී මහ ගලක් සක්මන් කරන බුදු හිමිගේ හිසට පෙරළුවේ ය. පෙර පිරූ පාරමී බලයෙන් මහගලක් ඉබේ ම මතු වී ඒ ගල වැටෙන්නට නොදී රඳවාගත් නමුදු ගල්පතුරක් ගැලවී විත් ශ්‍රී පතුලේ ගැටී මාපටඇඟිල්ල තැළී ලේ කැටිගැසිණි. ජීවකතුමා ශ්‍රී පතුල පලා ලේ අස් කළේ ය. මෙසේ ශ්‍රී පතුල පළන ලද්දේ පෙර පෘථිවීශ්වර රජ ව සිටියදී මිනිසකු මරවන ලද පවින් බව දත යුතු.

08. තථාගතයන් වහන්සේගේ හොඳ නොවන හිස ආබාධයට හේතුව පෙර කෙවුල් පවුලක ඉපදී සිටියදී තම ඥාතීන් බොහෝ මාළුන් ගොඩදා තිබෙනවා දැක සතුටු සිනා පහළ කළ පාපය බව දත යුතු. එදා ඒ මසුන් මැරූ සියලු ඥාතීහු මේ ජීවිතයේ ද ඥාතීන් වී ඉපදුණහ. ඒ සැමට ඒ ප්‍රාණඝාත කර්මය විපාකදීම් ලෙස විඩුඪභ කුමරු අතින් මියයන්නට වුණු බව දක්වා ඇත.

09. තුන් ලෝකය පුරා පැතිරුණ දායක උපස්ථායක ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් ඇති තථාගතයන් වහන්සේට දොළොස්වන වස්කාලයේ එක් බත් ඇටයකුදු නොලැබී ගියේ ය. අශ්වයන්ට දෙන යවහාල් වළඳා ජීවත් වන්න විය. මෙසේ වීමට හේතුව පෙර ඵුස්ස බුදු රජාණන් වහන්සේට “ඔබ වහන්සේ මේ ප්‍රණීත ඇල්හාල් වළඳනවාට වඩා හොඳයි යවහාල් වැළඳුවා නම්” කියා දොස් නැඟූ පාපය බව දත යුතු.

10. සුගතයන් වහන්සේට හොඳ නොවන කොන්දේ ආබාධයක් තිබිණි. ධර්ම දේශනා කරන අවස්ථාවල එය හැදුණු විට සැරියුත් හිමිට දම්දෙසුම පවරා විවේක ගැනීමට වැඩි බව ද සඳහන් වෙයි. මෙයට හේතුව පෙර මල්ලව පොර අල්ලන යෝධයකු ව සිටියදී විරුද්ධවාදී මල්ලව පොරකරුවකුගේ කොන්ද කැඩූ පව බව දත යුතු.

11. බුදුරජුන්ට වැලඳුණ ලෝභිතපක්ඛන්දිකා (ලේ අතීසාර) රෝගයට හේතුව පෙර වෛද්‍යවරයකු ව සිටියදී සිටුවරයකුට බෙහෙත් කළ විට ඔහු නියමිත මුදල නොගෙව් අවස්ථාවේ පසු ව විරේක බෙහෙතක් දී ඔහුට ලේත් සමඟ විරේක වන්නට සැලැස්වීම ය. සිටුවරයා බිය වී නියමිත මුදල් ගෙව් කල නැවත සනීප කළ නමුදු ඒ කර්මය විපාක දුන් බව දත යුතු.

12. මහ බෝසතාණන් වහන්සේට බුදු වීම පිණිස සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වුණේ පෙර ජෝතිපාල මාණවක ව සිටියදී ඝටීකාර බමුණා සමඟ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට දොස් කී පාපය නිසා බව දත යුතු.

සත්පුරුෂ පින්වතුනි! බලන්න මහත් වූ නුවණක් ඇති මහත් වූ බලයක් ඇති මහත් වූ යසසක් ඇති මහත් වූ පිරිවර සම්පත්තියක් ඇති, මහත් වූ ගුණ සම්පත්තියක් ඇති මහත් ඍද්ධි බලයක් ඇති තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම සඳහා එන විපාකවලින් බේරී සිටීමට නොහැකි නම්, එතරම් පාරමී ශක්තියක්, ගුණ ශක්තියක්, නුවණක්, පිරිවරක්, ඍද්ධි බලයක් නැති අප ඔබ වැන්නවුන් කෙසේ නම් ගැලවෙන්න ද? එබැවින් පසුතැවිලි වන්නට සිදු වන දෑ නො කරන්න. කිසි දිනක කා හට වත් දුකක් පීඩාවක්, සිත් තැවුලක් ඇති නො කරන්න. කිසිවකුට හිංසාවක් පීඩාවක් දුකක් දොම්නසක් කරදරයක් විපතක් වෙහෙසක් නො කරන්න.

සත්පුරුෂයනි! ඔබ කිසිවකු නොවෙහෙසෙන, මුළු ලොවක් සනසන දෑතක් ඇත්තකු වන්න. එබඳු ම අහිංසාවාදී දෙපා යුග්මයක් ඇත්තකු වන්න. තම දෙනෙතින් අනුන් නො රවටන්න; අනුන් නො රිදවන්න. මුළු ලොවක් සනසන දෙනෙතක් ඇත්තකු වන්න. ඔබ දෙසවන නොමඟට නො යොදන්න; සුමඟට යොදවන්න. කය සංවර කරගන්න. නිතර ම ඔබ කථා කරන වචන නිවැරැදි දැ යි සිතන්න. අනුන් රිදවා දුක් දී තමාට කිසිදු සැපයක් ලැබිය නොහැකි බව සිතන්න. යහපත් වූ සැම සිත් නිවන සනසන වචන ම කථා කරන්න. ඔය සිත නොමඟට නො යොදන්න; සුමඟට යොදන්න. දාන්ත වූ ශාන්ත වූ සංවර වූ සංසිඳුණා වූ සුවපත් වූ මනසක් ඇත්තකු වන්න. කිසිදු කිසිදින පහත් සිතිවිලි නො සිතන්න.

සත්පුරුෂයනි! ඔබ ගස් අතර හඳුන් ගසක් වගේ, ඇතුන් අතර ගජමුතු තිබෙන ඇතකු වගේ, මුවන් අතර කස්තුරි තියෙන මුවකු වගේ, පාෂාණ අතර බැබළෙන මැණිකක් වගේ ගුණයෙන් නුවණින් යුත්, අනුන්ට දුක් නොදෙන, සාධු ජනයාගේ ආදර ගෞරවයට ලක් වූ, මානව හිතවාදී, දයානුකම්පිත මිනිසකු වන්න අධිෂ්ඨාන කරගන්න.

.
පූජ්‍ය රිදියගම
සුධම්මාභිවංස හිමි
නිමලව ආරණ්‍ය සේනාසනය කිරින්ද, තිස්සමහාරාමය via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 22, 2016 at 09:31PM

බුදු රැස් දහරින් සිරිලක නැහැවුණු දුරුතු පෝය

.
දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම කෙටියෙන් විමසා බලමු බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම. බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම. බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම. ජාතික, ආගමික, සංස්කෘතික වශයෙන් වැදගත් වන කැලණි රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර පැවැත්වීම.

ආදි සිදුවීම් දුරුතු පෝදා සිදු වූ උතුම් ශාසනික සිදුවීම් ලෙස සැලකිය හැකිය.

සුදෝ සුදු පුන්සඳ කිරණින් මිහිතලයම ආලෝකවත් කරමින් දුරුතු සඳ උදාවෙයි. දුරුතු පුන් පොහෝ දින ලක්වැසි බොදු දනන්ගේ සිත් සතන් සැදැහැයෙන් පිරී ඉතිරී යන්නේ ලක් දෙරණ බුදු සසුන බබුළුවමින් සදහම් එළියෙන් ආලෝකවත් වූ නිසා ය.

දුරුතු පුර පසළොස්වක සෑම වසරකම ජනවාරි මාසයේහි යෙදෙන අති උතුම් පොහෝ දිනයකි. එය වසරේ පළමු පොහෝ දිනය නිසාම තම ආගමික ස්ථානවලට ගොක් දන්දීම්, සිල් රැකීම් ආදී ආගමික වතාවත්වල යෙදීම බොදු දනන්ගේ සිරිතකි.

බුදුරදුන් බරණැස ඉසිපතනාරාමයේ පළමු වස් කාලය ගත කළ සේක. දහම් පණිවිඩය ලොව පුරා පැතිරවීමට, පළමු රහතන් වහන්සේ හැටනම ගම්දනව් කරා පිටත් කර යැවූහ. බුදුන් වහන්සේ උරුවේල් දනව්වට වැඩම කළහ. උරුවේල් කශ්‍යප, නදී කශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු දහසක් පිරිසට දම් දෙසා කුරු රට පිඬු සිඟා වැඩි ‍ෙස්ක.

අනවතත්ත විල් තෙරදී දන් වළඳ සමවත් සුවයෙන් වැඩසිට බුදු ඇසින් ලොව දෙස බැලූ සේක. එදින ලක්දිව මහානාග වනෝද්‍යානයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීමක් පැවැත්විණි. කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමකින්, අසංවර බවකින් සිටි මේ පිරිස හික්මවා දමනය කොට තිසරණයෙහි පිහිටුවීමට උන් වහන්සේ ගුවනින් පහළ වී ලක්දිවට වැඩි සේක.

ලක්දිවට වඩා හැට ගුණයක් පමණ විශාල ඉන්දියාවේ විවිධ නගරවල චාරිකා කිරීමට තිබියදී විදේශ චාරිකාවක් ලෙස ලක්දිවට වැඩම කිරීම, ලක්වාසීන් ලද මහා භාග්‍යයකි.

ඌව පළාතේ් බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න කෝරළයේ අලුත්නුවර නගර වසමට අයත්ම මහියංගනය පිහිටා ඇත. මහවැලි ගං ඉවුරේ සොළොස් ගව්වක් දිග – සතර ගව්වක් පළල මේ පෙදෙස මහානාග වනෝද්‍යානය නමින් හැඳින්විය. යක්ෂ ගෝත්‍රිකයන් සටනකට සූදානම් වෙද්දී ක්‍රි.පූ. 588 දී බුදුන්වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාව පතුරුවමින් ලක්දිව පහළවූහ. එදා යක්ෂ නමින් හැඳින්වූ ලක්දිව මුල් වැසියන්ගේ සිත් සනසා, සෘද්ධි ප්‍රාතිහාර්ය පාමින් දහම් දෙසා, ශ්‍රී ලංකාව මිනිස් වාසයට සුදුසු දහම් දිවයිනක් බවට පත්කළ සේක. බුදුසසුනේ අනාගත පැවැත්ම උදෙසා මංපෙත් සොයා දෙමින් දෙව් මිනිස් සිත්සතන් සනසමින් සදහම් අමාවැසි වස්වා සැම සිත් පහන් කළ සේක. දහම් ඇසීමට රැස්වූ පිරිස අතර සිටි සමන්ත කූට පර්වතවාසී සුමන සමන් දෙවියෝ සෝවාන් ඵලයට පත් වූහ. වන්දනාමාන කර ගැනීමට යම් පූජා වස්තුවක් දෙවියෝ ඉල්ලා සිටියහ. බුදුන් වහන්සේ හිස අතගා කේශධාතු මිටක් පරිත්‍යාග කළහ. සුමන සමන් දෙවියෝ එම කේශධාතුª මිටක් පරිත්‍යාග කළහ. සුමන සමන් දෙවියෝ එම කේශ ධාතු රන් කරඬුවකින් පිළිගෙන පත්කඩ එළා බුදුන් වහන්සේ දහම් දෙසූ ස්ථානයේ සත්රියන් , උස විසි රියන් වට ඉන්ද්‍රනීලමය සෑයක් කරවීය. බුදුන් වහන්සේ ජීවමාන කාලයේම ලොව බිහි වූ මුල් ම චෛත්‍යය මහියංගන චෛත්‍යය බව ඉතිහාසයේ දැක්වෙයි. එය දෙවියන් විසින් සාදන ලද්දක් බවද කියැවෙයි.

බුදුන් වහන්සේ පිරිනිවන් පෑ පසු සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ මහා සරභූ රහතන් වහන්සේ බුදුන් වහන්සේගේ ආදාහන සෑයෙන් ගී‍්‍රවා ධාතුව රහසේ ලබාගෙන, ලංකාවට පැමිණි මහියංගන සෑයේ තැන්පත් කොට හිමවතෙන් ගෙනා ‘මේඝවර්ණ’ පාෂාණයෙන් දොළොස් රියන් උස සෑයක් සැදවීය. වර්ෂ දෙදහස් පන්සියයකටත් පෙර මෙම චෛත්‍ය කර්මාන්තය කෙරී ඇත. ලොව රහතන්වහන්සේ නමක් නිමකළ එකම චෛත්‍යයද මෙයයි.

ක්‍රි.පූ.267 දී පමණ දෙවනපෑතිස් රජුගේ සොහොයුරු උද්ධචූලාභය රජු දොළොස් රියන් දාගැබ වසා තිස්රියන් දාගැබක් සාදවන ලදී. ක්‍රි.පූ. 161 දී අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු රජු අසූරියන් උස මහා චෛත්‍යයක් කරවීය. වසර විසි හතරක් (24) පමණ සිරිලක සරු සාරවත් කරමින් බුදු සසුන බැබළ වූ මෙම රජු සව¢ඥ ධාතූන් වහන්සේ 160 නමක් සහිත කරඬුවක් මෙම චෛත්‍යයේ තැන්පත් කරවීය. වරින්වර රජ වූ ධාතුසේන, සිරිසඟබෝ, අග්බෝ, පරාක්‍රමබාහු ආදී රජවරු මෙම සෑය ප්‍රතිසංස්කරණය කොට අලංකාර කළහ.

මහියංගන විහාරවාසීව සිටි නන්ද තෙරණුවන් තම බෑණනුවන් වූ සංඝබෝධි කුමරු භික්ෂූන් වහන්සේ ඇසුරේ ඇතිදැඩි කර දසරාජ ධර්මය අවබෝධකර දුන් පසු ඔහු රාජාභිෂේකය ලැබුවේ ද මෙම ඓතිහාසික භූමියේදී ය. සිරිසඟබෝ රජු බෝසත් ගතිගුණ ඇති, ඉතා ප්‍රසිද්ධ වූ සිය කැමැත්තෙන් හිස දන් දුන් උතුමෙකි.

බුදුන් වහන්සේ පළමු ලංකා ගමනයෙන් පසු මගධ රට රජගහනුවර බිම්සර රජුගේ ඇරැයුමක් පරිදි උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේ සම¼ග රජගහ නුවරට වැඩම කළේ මසදී ය. බිම්සර රජතුමා විසින් රජගහනුවර ඉදි කරන ලද වේළුවනාරාමය බුදුන් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවනට පූජා කරන ලදී.

මෙය බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව විය. මෙතැන් පටන් ආරාම පිළිගැනීම භික්ෂූන් වහන්සේට සුදුසු බව බුදුන් වහන්සේ අනුමත කළහ.

බුදුරජාණන් වහන්සේ බුදු සසුන නිරුපද්‍රිතව ආරක්ෂා වන දේශය ලෙස ලක්දිව හැඳින්වූ බව වංසකථාකරුවෝ පවසති. මහ සඟ රුවන ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය හා දහම් පොතපත රැකගැනීම, ත්‍රිපිටක ධර්මය පොත්පත්වල ලියා තැබීම, රාජ්‍ය නායකයන් හා ජනතාව උත්තරීතර සදහම් මගට යොමුකරවීම බුදුදහමේ චිරස්ථිතිය, ව්‍යාප්තිය, පෝෂණය සඳහා ඉවහල් විය. බුදු සසුනේ අනාගත පැවැත්ම දුරුතු මස දුරුතු පොහෝ දින බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනින් තහවුරු විය.

බුදුගුණ ගීයෙන් මවු තුරුලේ නැළවී මහ සඟරුවනේ ඇසුරෙන් සියලු සිප්සත හදාරා සදහම් අමා වැස්සෙන් නැහැවෙමින් මවුපිය වැඩිහිටි අවවාද අනුශාසනා වැඩුණු වියපත් අතීත හෙළ දරුවන් දෙස, බස, රැස රැක ගනිමින් වෙහෙර විහාර ඉදි කරමින් කළ උදාර සේවාව, අපි දුරුතු පොහෝදින සිහිපත් කරමු.

‘කෙලෙස් මලින් පීඩිතව එකිනෙකා වෛරයෙන්, ක්‍රෝධයෙන්, තණ්හාවෙන්, මුසපත් වී විනාශ මුඛයට යන ජීවිත මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් සනසා සදහම් ආලෝකයෙන් ඒකාලෝක කිරීමට මේ උදාර දුරුතු පොහෝ දින අදිටන් කර ගනිමු’.

බුදුන් වහන්සේගේ තෙ වන ලංකා ගමනය සිදු වූ කැලණි පුරවරය ඒකාලෝක කරමින් දුරුතු පොහෝ දින කැලණියේ දුරුතු පෙරහර පැවැත්වේ. විවිධාංග රාශියකින් අලංකාරවත් වන දුරුතු පෙරහර, බුදුදහම නිසා අප ලද සංස්කෘතික දායාදයකි.

ථෙරවාදී බුදුදහමේ භාණ්ඩාගාරය වූ, නිර්මල බුදුදහමට තෝතැන්නක් වූ සිරිලක සුනාමි ව්‍යසනයට හසුවෙද්දී මුළු ලොවම සානුකම්පිතව අප දෙස බලා මහා ධන පරිත්‍යාග කළේ බුදුදහමේ අසිරියෙනි.

අප හැමගේ ජීවිතවල නව ප්‍රබෝධයක් ඇති කිරීමට සීතල දුරුතු මහේ උදාවන දුරුතු පොහොය දින සැඳෑ අඳුර බිඳ හැර සිසිල සඳ රැස් දහරා ගලා ඉතිරී පැතිරී යයි. උපාසක උපාසිකාවෝ අටසිල්, දස සිල් රකිිමින් පෙහෙවස් සමාදන්ව, අපමණ පින් දහම් රැස්කර ගනිති. භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා සැමට දන් දී ඇප උපස්ථාන කිරීමෙන් සැදැහැතියෝ ද පින් රැස්කර ගනිති. දරුවෝද වැඩිහිටියෝ ද විහාරස්ථානයට ගොස් මල් පහන් පුදා කුසල් කර ගනිති.
.

මහනුවර අස්ගිරි මහ විහාර මහ පිරිවෙනේ
බංග්ලාදේශයේ අස්සජි හිමි via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 22, 2016 at 03:21PM

වාර්ෂිකව සිදුවන රුවන්වැලි සෑ සුනු පිරියම් කිරීමේ පිංකම සඳහා ඔබටද දායකවිය හැකිය. පහත ගිණුම් අංකයට මුදල් බැර කරන්න (විස්තර සනාථ කරගෙන ඇත).

A/c Name: රැවන්වැලි සැ රදුන්
A/c No: 008100150064211
Bank:People’s Bank,
Branch:Anuradhapura branch
SWIFT:PSBKLKLX/PSBKLKLX 023
Telex:21500 PBSWTCE

තවත් විස්තර සඳහා දුරකථන අංක
077-3684418, 071-4409394, 077-7718130 හෝ 077-7665198

මුළු වියදම ලක්ෂ 70ක් පමණ වේයැයි ගණන් බලා ඇත. ඔබටද හැකිපමණ දායක වී හැකිතාක් share කරන්න.

http://ift.tt/1NoSQds

රුවන්මැලි සෑයේ සායම් ගාන්න මාස හතරක් පේවුණු ජීවිත

පා සටහන් දවන තරමින් වියරු වූ සූර්යා ක‍්‍රමයෙන් සන්සුන් වන සෙයකි. වරෙක අනෝරා වැස්සටත් පුපුරු ගහන අව්වටත් හසුව මතුව ආ අතෝරක් දුර්වර්ණ පැල්ලම් මොහොතින් මොහොත සුදෝ සුදට හැරෙන්නේ දුටු දෙනුවන පිනවමිනි. උණ බම්බු පලංචිය මත පියෙන් පිය නැග දාගැබ මත හුණු පිරියම් කරන්නවුන්ගේ දසුන මොහොතකට මා සිත සසල කරවයි. ගල් පුවරු වලින් සුසැඳි සළපතල මළුවත් දාගැබ් ගර්භය මත රැඳි මිනිස් රූ වෙතත් එක එල්ලේ මා දෙනෙත ඇදී යයි. මම තැතිගතිමි. යළි සන්සුන් වුනෙමි. හමා එන අකීකරු සුළඟත්, දැඩි අව් රශ්මියත් මැද මතුව එන ජීවිත අවදානම පිළිබඳව යළි සිතමි. එහෙත් මේ මිනිසුන්ට එහි අරුමයක් නැති සෙයකි.
රුවන් වැලි සෑය……සියවස් ගණනාවක ඓතිහාසික, සාසනික වටිනාකම් ගොන්නක ප‍්‍රතිමූර්තිය. හෙළ සංස්කෘතික පුනරුදයේ නිහඬ සාක්ෂිකරු…….මේ අරුමය මා නෙත ගැටෙන්නේ ඒ සාක්ෂිකරු අභිමුවය. වර්ෂයක් පාසා සිදුවන රුවන්වැලි සෑ හුණු පිරියම් කිරීමේ කාර්ය වෘත්තිය නිපුනත්වයකින් යුතු මිනිස් ශ‍්‍රමය භාවිත වන අවස්ථාවක් ලෙසත්, විසල් ධන සම්භාරයක් වැය වන කාර්යයක් ලෙසත් හැඳින්විය හැකිය.
කි‍්‍ර.පූ. 161-137 තරම් දුරාතීතයේ දුටුගැමුණු රජ දවස ඉදිකිරීම් ආරම්භ කොට ඇති රුවන්වැලි සෑය ස්වර්ණමාලි, හේමමාලි, රත්නමාලි, රුවන්මැලි, මහාථූප ආදී නම් වලින් ද හඳුන්වා ඇති බවට පුරාවෘත්ත සාක්ෂි දරයි. ස්වර්ණමාලි නම් දෙවඟන විසූ තෙලඹු වෘක්ෂය ඉවත් කොට එබිම මත චෛත්‍යය ඉදිකළ හෙයින් ස්වර්ණමාලි ලෙස නම් තැබූ බව ප‍්‍රකටව පවතින ජනප‍්‍රවාදයකි.
මම සෙමෙන් පියනගමි. කඩියන් සේ සීරුවෙන් දාගැබ මත සුදු හුණු තවරන එකෙකු දෙන්නකු සමඟ හෝ වචන කීපයක් කථා කිරීම මගේ අරමුණය.
‘‘මම අවුරුදු 19ක් තිස්සේ මේ හුණු පිරියම් කරන පින්කමට සම්බන්ධ වෙනවා’’
මතුගම, වළල්ලාවිට සිට පැමිණි 63 හැවිරිදි ‘‘පී.කේ.ජයතිස්ස මහතා’’ පැවසු ඔහුගේ කරුණා සපිරි දෙනෙත තවමත් මට මතකය.
‘‘උදේ කීයටද වැඩ පටන් ගන්නේ’’ මතුවූ කුතුහලයෙන් යුතුව මම යළි ඇසීමි.
‘‘උදේ හය විතර වෙනකොට වැඩ පටන් ගන්නවා. හවස පහ හමාර විතර වෙනකොට නවත්වනවා. දොළහ හමාරට විතර දවල්ට කෑමට වැඩ නවත්තපුහම අපි පැය දෙකක් විතර ඉන්නවා. මධ්‍යහ්න වෙලාවට අව් රස්නේ වැඩියි’’ හේ පැවසීය.
සළපතල මළුව මත මම ඔබ මොබ යමි. පුරාවෘත්තයන්ට අනුව මහා නිර්මාණකරු විසින් පූර්ණ ලෙසම කළුගලින් නිමවා දුටුගැමුණු රජු වෙත පිළිගන්වන ලද රුවන්වැලි සෑයේ ආකෘතිය මම දකිමි. කුඩා දිය බුබුලක් අහස සිඹින මහා සෑයක් වී ඇති අපූරුව. කිසිදු චෛත්‍යයක තැන්පත් නොකළ තරමේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ තැන්පත් කොට ඇති හෙයින්ම ‘‘අසදෘස මහාථූපය’’ ලෙසද නම් පටබැඳි සෑය……රුවන් වැලි සෑය. අතීතයේ ‘‘ද්‍රෝණයක්’’ ලෙස හඳුන්වා ඇත්තේ ‘‘ලාස්’’ හතරකට නොඑසේනම් ‘‘නැලි’’ දාසයකටය.
එවක චෛත්‍යයේ ඉදිකිරීම් නිම කිරීමට දුටු ගැමුණු රජුට නොහැකිව ඇති බවත් කි‍්‍ර.පු. 137-119 දී රජ පැමිණි රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජ දවස ඉදිකිරීම් නිමා කොට ඇති බවත් ඉතිහාසයේ සඳහන්ව ඇත. මුල් වකවානුවේ අඩි 300ක් උසට නිමවා ඇති රුවන්වැලි සෑයේ වටප‍්‍රමාණය අඩි 900ක් පමණ වී ඇත. ගල් පුවරු ඇසුරින් නිර්මාණය කොට ඇති සම සතරැස් සළපතල මුළුවේ එක් අන්තයක දිග අඩි 480ක් පමණකි. කි‍්‍ර.ව. 1017දී අනුරාධපුර රාජධානිය බිඳවැටීමත් සමඟ එහි වූ වෙහෙර විහාර ද විනාශයට පත්වී ක‍්‍රමයෙන් වල්වැදී ඇත.
‘‘දැන් මේ එන හුළඟත් එක්ක ටික ටික උඩට යනකොට බයක් එහෙම හිතෙන්නේ නැද්ද?’’ හුණු මිශ‍්‍ර කරමින් සිටි තවෙකකු වෙතින් මම ඇසීමි. හේ ඇල්පිටියේ සිට පැමිණි 52 හැවිරිදි ‘‘එම්.ජී.සුනිල් ශාන්ත’’ මහතාය. ඔහුගේ හඬ අධිෂ්ඨනාශීලීිය. කිසිදු සෙලවීමක් එහි ඇති බවක් මට නොහැඟේ.
‘‘එහෙම කියන්න තරම් බයක් හිතෙන්නෙ නෑ. අපි කාලයක් තිස්සේ මේ වැඬේ කරන නිසා බයක් දැනෙන්නේ නෑ. ඒත් ඉතිං අලූතින්ම මේ වැඩවලට එකතු වෙන කෙනකුට ඇත්තටම බයක් දැනෙන්න පුළුවන්. කොහොම වුණත් එහෙම එකපාරටම අලූතින් එන කෙනෙකු හුණු ගාන්ඩ චෛත්‍යය උඩට යවන්නේ නෑ. හුණු දිය කරන්ඩ, පලංචි බඳින්ඩ වගේ දේවල් වලට තමයි උදවු කරගන්නේ’’
කාලානුරූපව ගරා වැටී, වල්වැදුනු රුවන්වැලි සෑයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ‘‘ නාරංවිට සුමනසාර හිමියන්ගේ’’ මූලිකත්වයෙන් 19 වැනි ශතවර්ශයේදී ආරම්භ වී වර්ෂ 1940 පමණ වන විට අවසන්ව ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. වර්තමානය වන විට සෑයේ උස අඩි 338කි. වටප‍්‍රමාණය අඩි 942කි. රන් ආලේපිත කොත සහ චූඩා මාණික්‍යයේ උස අඩි 25ක් පමණකි. අක්කර පහක පමණ හතරැස් මළුවක් මත චෛත්‍යය නිර්මාණය වී ඇත.
‘‘කොච්චර කාලයක් හුණු පිරියම් කරන එක කරනවද?’’ මට ඇත්තේ නිමානොවන ප‍්‍රශ්නාවලියකි. සියල්ලට පිළිතුරු බඳින්නට ඔවුනට වෙලාවක් නැත. එහෙත් ‘‘පී.කේ. ජයතිස්ස මහතාගේ’’ වටිනා කාලයෙන් මඳක් මා වෙත වෙන් කරන්නට තරම් නිර්ලෝභී වීම අස්වැසිල්ලට හේතුවකි.
‘‘මාස තුනක් විතර යනවා…… සම්පූර්ණයෙන් හුණු ගාල ඉවර කරන්ඩ. පලංචි බඳින එක තමයි ඉස්සෙල්ලම කරන්නේ. පලංචි බඳින්ඩ විතරක් සති දෙක හමාරක් තුනක් විතර යනවා.”
‘‘පලංචි බඳින්නේ මොනවගෙන්ද?’’
‘‘උණ බම්බුයි කොහු ලනුයි තමයි පලංචි බඳින්ඩ ගන්නේ’’
‘‘හුණු පිරියම් කරන්ඩ පටන් ගන්ඩ කලින් භාරහාර එහෙම වෙනවද?’’
‘‘අපොයි ඔව්……ජයසිරිමා හාමුදුරුවන්ට භාර වෙනවා. කරදරයක් නැතිව අපට මේ වැඬේ අවසන් කරන්න ආරක්ෂාව දෙන්ඩ කියලා. වැඬේ ඉවර වුණාම ශ්‍රී මහා බෝධිය ඉස්සරහ කිරි උතුරවලා භාරහාර ඔප්පු කරනවා’’
”මේ වෙන මහන්සියේ හැටියට දවසකට කීයක් විතර ගෙවනවද?’’
‘‘එක අතකින් මේක පිනක්…….අපි ඉතිං මාස තුන හතරක් තිස්සේ ගෙදරින් ඈත්වෙලා ඉන්නෙ……..කාලා බීලා සන්තෝසෙන් ඉන්නවා. තුන්වේල කන්ඩ බොන්ඩ දීලා දවසකට රුපියල් දාහක්, එක්දහස් දෙසීයක් විතර හම්බ වෙනවා. හැමෝම ඔය මාස තුන හතරම එක දිගට වැඩ කරන්නේ නෑ. සතියකට හමාරකට සැරයක් ගෙදර ගිහිල්ලා එන්ඩ යනවා’’
මම යළි එන්නට හැරුනෙමි. සෑයට යන මග දෙපස රතු සුදු නෙළුම් අත රැුඳි නේක මුහුණින් යුතු වෙළෙඳුන්ය. ඔවුනට ජීවිතය සටනක්ව ඇති සෙයකි. ඒ මේ පුදබිම ආශ්‍රීතව කියවෙන තවත් කථාවකි. පොසොන් පොහොය අරමුණු කොටගෙන දියත් කෙරුණු හුණු පිරියම් කිරීමේ කාර්ය දැන් අවසන්ව ඇත. අනේක දුර්වර්ණ සේයා පසුබා සෑය සුදෝ සුදට හැරී ඇත. එහෙත් ක‍්‍රමයෙන් මේ සුද යළි දුර්වර්ණ වනු ඇත. තවත් මාස කිහිපයකින් යළි මේ මිනිසුන් පැමිණෙනු ඇත. එවිට මේ සමහරෙක් යළි නොපැමිණෙනු ඇත. නවකයන් ඒ ගමනට එකතුවනු ඇත. එය නැවතූ තැනින් යළි ඇරඹෙන මේ අනවරථ ජීවිත ගමන හා සම නොවේදැයි මම යළි සිතමි……
සටහන හා ඡායාරූප – තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 19, 2016 at 12:00PM

භද්දෙකරත්ත සූත්‍රය -> http://ift.tt/1OtELiU

මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසනලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමිපයෙහිවූ, ජෙතවන නම්වූ අනේපිඩුමහ සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැයි’ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“මහණෙනි, තොපට විදර්ශනා භාවනාවෙහි යෙදී වාසය කරණ බැවින් යහපත්වූ එක් රැයක් පිළිබඳවූ උදෙසීමයයි කියනලද මාතෘකාවද විස්තර වශයෙන් බෙදීමද, දෙශනා කරන්නෙමි. එය අසව්, මොනවට මෙනෙහි කරව්, කියන්නෙමියි” වදාළේය. “එසේය ස්වාමීන් වහන්සැයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේහට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
[1] “ඉකුත්වූ පඤ්චස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන් ගෙන් නොයන්නේය. අනාගත (නුපන්) පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යමක් ඉක්ම ගියේද එයා ප්‍රහීණ වූයේ (නැතිවූයේවේ.) අනාගත පඤ්චස්කන්ධය නොපැමිණියේ (නුපන්නේ) වෙයි.
[2] “වර්තමානවූ (ඉපද පවත්නාවූ) යම් පඤ්චස්කන්ධයක් වේද, ඒ පඤ්චස්කන්ධය ඒ ඒ උපන් තන්හිම අනිත්‍යාදී වශයෙන් බලන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්ෂුතෙමේ වඩන්නේය.
[3] “අදම කෙලෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවන්නේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම්කොට නැවතීමක් නොවන්නේමය.
[4] “මෙසේ වාසය කරන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ රෑ දාවල් දෙක්හි අනලස්වූ මෙසේ පිළිපන් පුද්ගලයා ඒකාන්තයෙන් යහපත්වූ එක් රැයක් ඇති භික්ෂුව යයි ශාන්තවූ බුද්ධ මුනිතෙමේ වදාළේය.

“මහණෙනි, කෙසේ වනාහි ඉකුත්ව ගිය ස්කන්ධයන් අනුව යන්නේද? අතීත කාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වූයෙම් යයි එහි තෘෂ්ණාව අනුව පවත්වන්නේය. අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අතීතකාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. අතීත කාලයෙහි මෙබඳු විඥාණ ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මහණෙනි, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව යන්නේය.
“මහණෙනි, කෙසේ නම් ඉකුත්වූ ස්කන්ධයක් අනුව නොයන්නේද? අතීත කාලයෙහි මෙබඳු රුප ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු විඥාණ ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. මහණෙනි, මෙසේ වනාහි අතීත ස්කන්ධයන් අනුව නොයන්නේය.

“මහණෙනි, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කෙරේද? අනාගත කාලයෙහිදී මෙබඳු රූප ඇත්තෙක් වන්නෙම් යයි එහි තෘෂ්ණාව පවත් වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත් වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත් වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත් වන්නේය. මහණෙනි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා කරන්නේය. මහණෙනි, කෙසේ වනාහි අනාගත ස්කන්ධයන් ප්‍රාර්ථනා නොකෙරේද, අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අනාගත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මහණෙනි, මෙසේ වනාහි අනාගත ස්කන්ධයන්හි ප්‍රාර්ථනා නොකරන්නේය.

“මහණෙනි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි විදර්ශනාවගේ අභාවයෙන් තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අදිනු ලැබේද? මහණෙනි, මේ ලොකයෙහි ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නොවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුණාවූ, බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නාවූ, එම සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ, ඇසූ පිරූ තැන් නැති පෘථග්ජන තෙමේ රූප ස්කන්ධය තමා වශයෙන් දකින්නේය. තමන් රූප ස්කන්ධය ඇත්තෙකැයි කියා හෝ දකින්නේය. රූප ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ දකින්නේය. රූප ස්කන්ධයෙහි තමා ඇත්තේයයි කියා හෝ දකින්නේය. වේදනා ස්කන්ධය තමායයි දකින්නේය. තමා වේදනා ස්කන්ධය ඇත්තෙක කියා හෝ දකින්නේය. වේදනා ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. වේදනා ස්කන්ධයෙහි තමා ඇත්තේය කියා හෝ දකින්නේය. සංඥා ස්කන්ධය තමා වශයෙන් දකින්නේය. තමා සංඥා ස්කන්ධය ඇත්තෙක කියා හෝ දකින්නේය. සංඥා ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. සංඥා ස්කන්ධයෙහි තමා ඇත්තේය කියා හෝ දකින්නේය. සංස්කාර ස්කන්ධය තමා වශයෙන් දකින්නේය. තමා සංස්කාර ස්කන්ධය ඇත්තෙකැයි කියා හෝ දකින්නේය. සංස්කාර ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය සංස්කාර ස්කන්ධයෙහි තමා ඇත්තේය කියා හෝ දකින්නේය. විඥාන ස්කන්ධය තමා වශයෙන් දකින්නේය. තමා විඥාන ස්කන්ධය ඇත්තෙක කියා හෝ දකින්නේය. විඥාන ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. තමා විඥාන ස්කන්ධය කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. මහණෙනි, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි විදර්ශනා භාවනා නැති හෙයින් තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අදිනු ලැබේ.
“මහණෙනි, කෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා දෘෂ්ටීන් විසින් නොඅදිනු ලැබේද, මහණෙනි, මේ සස්නෙහි ආර්‍ය්‍යයන් දක්නා ස්වභාව ඇත්තාවූ, ආර්‍ය්‍යධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍යධර්මයෙහි හික්මුනාවූ, බුද්ධාදී සත්පුරුෂයන් දක්නා ස්වභාව ඇත්තාවූ, එම සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය තමායයි නොදක්නේය. තමා රූප ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. රූප ස්කන්ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. රූප ස්කන්ධය කෙරෙහි තමා ඇත්තේය කියා හෝ නොදක්නේය. වේදනා ස්කන්ධය තමා වශයෙන් නොදක්නේය. තමා වේදනාව ඇත්තෙකැයි හෝ නොදක්නේය. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. තමා වේදනාව කෙරෙහි ඇත්තේ යයි කියා නොදක්නේය. සංඥා ස්කන්ධය තමා වශයෙන් නොදක්නේය. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. තමා සංඥාව කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. සංස්කාර ස්කන්ධය තමා වශයෙන් නොදක්නේය. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. සංස්කාර තමාකෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. තමා සංස්කාර කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. විඥාන ස්කන්ධය තමා වශයෙන් නොදක්නේය. තමා විඥාන ස්කන්ධය ඇත්තෙකැයි හෝ නොදක්නේය. විඥාන ස්කන්ධය තමා කෙරෙහි හෝ නොදක්නේද, තමා විඥාන ස්කන්ධය කෙරෙහි හෝ නොදක්නේද, මහණෙනි, මෙසේ වනාහි වර්තමාන ස්කන්ධයන්හි තෘෂ්ණා දෘෂ්ටීන් විසින් නොඅදිනු ලැබේ.
“අතීත පඤ්ච ස්කන්ධයන් අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්ච ස්කන්ධයන් තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. ඒකාන්තයෙන් එබඳු පුද්ගලයා යහපත් එක් රැයක් ඇති තැනැත්තේයයි ශාන්තවූ බුද්ධ මුනි තෙමේ වදාරන්නේයි.
“මහණෙනි, තොපට යහපත් එක් රාත්‍රියක් ඇති තැනැත්තාගේ උද්දෙස සංඛ්‍යාත මාතෘකාවක් විභංගයයි කියනලද විස්තර දෙශනාවක් දෙශනා කරන්නෙමි යන යම් වචනයක් කියන කරන ලද්දේද, එය මේ සඳහා කියන ලද්දේ වෙයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළේය. සතුටු සිත් ඇති ඒ භික්ෂූන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට විශෙෂයෙන් සතුටු වූවාහුය. via Facebook Pages http://ift.tt/1GMS4Lf