Monthly Archives: May 2016

New photo from Facebook May 21, 2016 at 09:00AM

තුන් ලෝකයටම අමා දම් බිඳු වැස්සවු ඒ පින්බර බුදු උපත බැතියෙන් සමරමු..
කුමන බාදක ආවත් අද සහ හෙට දිනය දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වලින් වර්ණවත් කර ගැනීමට අදිටන් කර ගනිමු. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook May 20, 2016 at 09:00AM

සත්ව පුද්ගල භාවය නිසා ඇතිවන දුක ගෙවා ගැනීමට ධාතු මනසිකරයේ සිහිය පිහිටුවා ගනිමු. සිහිය වඩමු.

මහා හත්ථිපදොපම සූත්‍රය -> http://ift.tt/1Tns8WZ
(බාහිර තියෙන මහත් වූ පඨවි ධාතුවත් අනිත්‍ය වන කල, මේ දුර්වල ශරීරය ගැන කුමන කතාද?)

“ඇවැත්නි, පෘථිවි ධාතුව කවරීද? ආධ්‍යාත්මිකවූ පෘථිවි ධාතුවක්ද වන්නීය, බාහිරවූ පෘථිවි ධාතුවක්ද වන්නීය, ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ පෘථිවි ධාතුව කවරීද? තමා තුළවූ කර්කසවූ, තදවූ, ජීවිතය සහිතවූ, යම් ද්‍රව්‍යයක් වේද, එනම් කෙස්ය, ලොමය, නියය, දත්ය, සමය, මස්ය, නහරය, ඇටය, ඇටමිදුලුය, වකුගඩුය, හෘදයමාංසයය, අක්මාවය, දලබුවය, බඩදිවය, පපුමසය, බඩවැලය, නොපැසුණු ආහාරය, පැසුණු ආහාරය, (මලය) යන මෙයද, මෙයින් අන්‍යවූ ආධ්‍යාත්මිකවූ, වෙන් වශයෙන්වූ, රළුවූ තදවූ, ජීවිතය සහිතවූ යම් කිසිවක් හෝ ඇද්ද, ඇවැත්නි, මේ සියල්ල ආධ්‍යාත්මික පෘථිවි ධාතුවයයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික පඨවි ධාතුවක් වේද? යම් බාහිර පඨවි ධාතුවක් වේද? මේ දෙකම පඨවි ධාතුවමැයි. ඒ මේ දෙයාකාර පඨවි ධාතුවම ‘මගේ’ නොවෙයි. ‘මම’ නොවෙමි. මේ මාගේ ‘ආත්මය’ නොවෙයි. ‘මම’ නොවෙමි. මෙය මාගේ ‘ආත්මය’ නොවේ යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් (විදර්ශනා) නුවණින් දත යුතුයි. මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් (විදර්ශනා) නුවණින් දැක, පෘථිවි ධාතුව කෙරෙහි කලකිරෙයි. පෘථිවි ධාතුව කෙරෙහි සිත නොඅලවයි.

“ඇවැත්නි, යම් හෙයකින් බාහිර ආපො ධාතුව (බැඳීම්ගතිය) කිපේද, එබඳු කාලයක් වේමැයි. එකල්හි බාහිර පෘථිවි ධාතුව අතුරුදහන්වෙයි. ඇවැත්නි, ඒ තරම් වැඩුණ ඒ බාහිර පෘථිවි ධාතුවගේ අනිත්‍ය බව පෙනෙන්නේය. නැතිවන ස්වභාව පෙනෙන්නේය. විනාශ වන ස්වභාව පෙනෙන්නේය. වෙනස් වන ස්වභාව පෙනෙන්නේය. ස්වල්ප කාලයක් පවතින්නාවූ, තණ්හාවෙන් අල්වා ගන්නා ලද්දාවූ, මේ ශරීරය ගැන ‘මම’ය කියා හෝ ‘මාගේය’ කියා හෝ ‘මම වෙමි’යි කියා ගැනීම කිමෙක වන්නේද? එසේ ඇති කල්හි මේ පෘථිවි ධාතු විෂයෙහි (එබඳු ගැන්මක්) ඔහුට නොවේමැයි.

“ඇවැත්නි, ඒ මහණහට අන්‍යයෝ ආක්‍රොෂ කෙරෙද්ද, අපහාස කෙරෙද්ද, කොප කරවද්ද, වෙහෙසද්ද, හෙතෙම මෙසේ දනියි (සොතද්වාරයෙහි) කනෙහි හටගත් ස්පර්ශයෙන් උපන් දුක් වේදනාවක් මට උපන්නී වෙයි. ඒ වේදනාවද ප්‍රත්‍යයෙන් හටගත්තේයි ප්‍රත්‍යය රහිත නොවෙයි කුමක් ප්‍රත්‍යය කොටද? ස්පර්ශය ප්‍රත්‍යය කොටය, හෙතෙමේ ස්පර්ශය අනිත්‍යයයි දකියි, වේදනාව අනිත්‍යයයි දකියි, සංඥාව අනිත්‍යයයි දකියි, සංස්කාරයෝ අනිත්‍යයහයි දකියි, විඤ්ඤාණය අනිත්‍යයයි දකියි, ඔහුගේ සිත ධාතු අරමුණුකොටගෙනම පවතියි, එහිම පහදියි, එහිම සිටියි, ස්ථිර බවට පැමිණෙයි.

“ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යයෝ ප්‍රිය නොවූ කැමති නොවූ, සිත් නොගන්නාවූ දෙයින් එනම්, අතින් පහරදීමෙන්ද, කැට කැබළිතිවලින් පහර දීමෙන්ද දඬුවලින් පහර දීමෙන්ද හැසිරෙත්. (එකල්හි) හෙතෙම මෙසේ දකියි. යම්බඳු ස්වභාවක් ඇති ශරීරයෙහි අත් වදිද්ද, කැට කැබලිති වදිද්ද දඬු වදිද්ද, මේ ශරීරය එබඳු ස්වභාව ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කකචූපම (කියත් උපමා) අවවාදයෙහිදී මෙසේ වදාරණ ලදී.

“මහණෙනි, පහත් පැවතුම් ඇති සොරු දෙපස දඬු (මිටවල්) ඇති කියතකින් අඟ පසඟ කපද්ද ඒ සොරුන් කෙරෙහිද යමෙක් සිත නරක් කෙරේද, ඒ ඔහු මාගේ අනුශාසනාව කරන්නේ නොවේ”යයි වදාරණ ලදී. ‘මා විසින් වීර්යය පටන්ගන්නා ලද්දේය (මගේ) වීර්යය නොහැකුළුණේය සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළා නොවීය. කය සංසිඳුනේය. බර සැහැල්ලු විය. සිත සමාධියට පැමිණියේය එකඟ විය. කැමතිසේ මේ ශරීරයෙහි අත් වදිත්වා, කැට කැබිලිති වදිත්වා, දඬු වදිත්වා, කඩු වදිත්වා, මේ (මා විසින්) බුද්ධානුශාසනය කරනු ලැබේ’ (කියායි.)

“ඇවැත්නි, මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ මෙසේ ධර්මය සිහිකරන්නාවූ,මෙසේ සංඝයා සිහිකරන්නාවූ ඒ භික්ෂුවහට විදර්ශනා උපෙක්ෂා කුසලය ඇති නොවෙයි. ඒ භික්ෂුව එය කරණකොටගෙන සංවේගයට පැමිණෙයි. මෙසේ බුදුන්වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ, යම්බඳුවූ, මට විදර්ශනා උපෙක්ෂා කුසලය පහළ නොවේද, එය ඒකාන්තයෙන් මට ලාභයක් නොවෙයි. අලාභයෙකි. යහපත් ලැබීමක් නොවෙයි අයහපත් ලැබීමකි.’ (කියායි)

“ඇවැත්නි, යම්සේ ලේලිය පුරුෂයාගේ පියා දැක (බය ලැජ්ජා ගතියකට) පැමිණෙයිද, ඇවැත්නි, එපරිද්දෙන්ම මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහිකරන්නාවූ, මෙසේ සංඝයා සිහිකරන්නාවූ, ඒ භික්ෂුවට විදර්ශනා කුසල උපේක්ෂාව නොපිහිටයිද, ඒ භික්ෂුව එයින් කලකිරෙයි. සංවේගයට පැමිණෙයි. මෙසේ බුදුන්වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ ඒ මට විදර්ශනා කුශල උපේක්ෂාව නොපිහිටයිද, එය මට ඒකාන්තයෙන් ලාභයෙක් නොවෙයි, අලාභයකි එකාන්තයෙන් යහපත් ලැබීමක් නොවෙයි. නොමනා ලැබීමකි, (කියායි) ‘ඇවැත්නි, මෙසේ බුදුන්වහන්සේ සිහිකරන්නාවූ ඒ භික්ෂුවට ඡළඩ්ග උපෙක්ෂාව පහළ වෙයිද ඒ භික්ෂුව එයින් සතුටට පැමිණෙයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝවූ ගුණධර්ම සපයන ලද්දේ වෙයි.

මුළු සූත්‍රයම කියවන්න -> http://ift.tt/1Tns8WZ via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook May 19, 2016 at 12:00PM

පින සහ කුසලය
නා උයනේ අරියධම්ම හිමි

ප‍්‍රශ්නය : අවසරයි ස්වාමීන් වහන්ස, පින සහ කුසලය කියන වචන දෙක අප නිතරම අසා පුරුදු වචන දෙකක්. අප මේ වචන දෙක පිළිබඳ ඇතැම් ස්වාමීන් වහන්සේලාගෙන් විමසුවාම පින යනු ලෞකික සැප සම්පත් උදෙසා කරන යහපත් දේ වශයෙන් සහ කුසල් යනු ලෝකෝත්තර සැප පිණිස කරන යහපත් දේ වශයෙන් තෝරා දෙනු ලැබුවා. එසේ අප එය පිළිගැනීමේ වරදක් තිබෙනවාද?

පිළිතුර : බොහෝ දෙනෙක් මගෙන් ඔය ප‍්‍රශ්නය අහනවා. ඔය ප‍්‍රශ්නය ආරම්භ වුන තැනත් මම දන්නවා. දකුණු පළාතේ ප‍්‍රසිද්ධ විහාරස්ථානයෙක බොහොම දැන උගත් නායක ස්වාමීන් වහන්සේ නමක් තමා මුල්වරට ඔය අදහස බෞද්ධ ජනතාවට දුන්නෙ. අපි මේ ගැටලුව විසඳ්‍රගත යුත්තෙ අභිධර්ම පිටකයේ සහ සූත‍්‍ර පිටකයේ මෙන්ම ති‍්‍රපිටකය පුරා දක්නට ලැබෙන හේතු නිරුක්ති සහ උදාහරණ කෙරෙහි අවධානය යොමු කිරීමෙනුයි.

අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් හත්වැනි වර්ෂයේදී තව්තිසා භවනට වැඩ අභිධර්ම දේශනාව පැවැත්වූවා. ඒ දේශනාවේදී ලෝකයේ තියෙන ධර්මතාවන් ඉතුරුවක් නැතිව දේශනා කළා. සිත පිළිබඳත් සියල්ලම එතනදී දේශනා වුණා. සිත පිළිබඳ සියලුම දේශනා තියෙන්නේ ධම්ම සංගණි ප‍්‍රකරණයෙ චිත්තෝත්පාද කාණ්ඩයෙ. ලෝකයේ සිටින සියලුම සතුන්ගේ කුසල් සිත් එක්කාසු කළොත් චිත්තෝප්පාද විසි එකකට එකතු වෙනවා සම්පිණ්ඩනය වෙනවා. ඒ කියන්නෙ කාමාචර මහා චිත්තෝත්පාද අටයි. රූපාවචර චිත්තෝප්පාද පහයි.

අරූපාවචර මහා චිත්තෝප්පාද හතරයි. ලෝකෝත්තර චිත්තෝත්පාද හතරයි. ඒ හැම තැනකම කියවෙන්නෙ කුසලා ධම්මා කුසලා ධම්මා කියලමයි. චක්ඛුබුද්වාර සෝතද්වාරදී දොරටු හයෙන්ම මේවා සිද්ධවෙන ආකාරය දේශනා කරල තියෙනවා. රූපාරම්මනය සද්දාරම්මනය ආදී සියල්ලෙන්ම කුසල් සිත්පහළ වෙන ආකාරය දක්වල තියෙනවා. ඒ හැර මොනම තැනකවත් ධර්මයේ ‘පුඤ්ඤා ධම්මා’ කියල අමුතු සිත් කොටසක් තියෙන වග මම නම් දන්නෙ නැහැ.

පුඤ්ඤ (පින) සහ කුසල් කියන වචන දෙකම ධර්මයේ සඳහන් වෙනවා. එහෙත් ඔය වචන දෙක ධර්මතා දෙකක් හැටියට තේරුම් ගැනීම මිථ්‍යාවක්. අපි නිදසුනක් වශයෙන් මෙසේ සිතමු. අපි හැන්දෑවේ අඳුර වැටීගෙන එන විට පහන් දැල්වීමේදී පෙර පසු නොවී කි‍්‍රයාකාරී දෙකක් සිදු වෙනවා. එකක් අඳුර නැසීම අනික එළිය පැතිරීම එකම පහනේ කි‍්‍රයාකාරී දෙකයි. මේක පෙර පසු නොවීම සිදු වෙනවා. ඉර පායන විටත් එසේමයි. ඒ වාගේම එකම වස්තුවේ එකම සිතේ කි‍්‍රයාකාරීත්වයන් විවිධාකාරයෙන් සිදු වෙනවා.

අපි පහනට නම් දෙකක් කියනවා. එළිය පතුරුවන අර්ථයෙන් පදීපෝ, පජ්ජෝතෝ කියනවා. අඳුර නසන අර්ථයෙන් තමෝනුදො, තමංසි කියා කියනවා. පහන් පිදීමේ ගාථාවෙන් කියවෙනවනෙ දීපෙන තමධංසිනා (අඳුර නසන මේ පහනින්) කියල. එවිට එකම පහනට ඇයි මේ නම් දෙකක් කියන්නෙ ඒකෙ කි‍්‍රයාකාරී දෙකක් තියෙන නිසා. ඒකට අට්ඨකථාවල කියන්නේ යථාවසරලසක්ෂණ කියල. යථාවසරසලක්ෂණ කියන්නෙ හිත ඇති හිත නැති සෑම දෙයකම තියෙනව ස්වභාවලක්ෂණ පඨවි ධාතුවෙ තද ලක්ෂණය, තේජෝ ධාතුවේ සීතල, උෂ්ණ ලක්ෂණ, වායෝ ධාතුවේ සෙලවෙන පිම්බෙන ලක්ෂණ තියෙනවා. යථාවසරසලක්ෂණය කියන එකේ කෙටිම තේරුම එහි ස්වභාවය අනුව නම් තැබීම කියන එකයි. එබඳු ස්වභාව අනුව සිතට යෙදෙන නම් දහයක් තිබෙනවා.

චින්තනාර්යෙන් චිත්තං කියෙනවා. අරමුණු මැන ගන්නා අර්ථයෙන් මනො කියනවා. මනසං කියෙන්නෙත් ඒ අර්ථමයි. අදහස් දරන අර්ථයෙන් හදයං. පිරිසිදු අර්ථයෙන් පණ්ඩරං, ආයතනාර්ථයෙන් මනායතන, අරමුණු ගැනීමේ ප‍්‍රධාන අර්ථයෙන් මනිÁද්‍රියං, අරමුණු විශේෂයෙන් දන්නා අර්ථයෙන් විඤ්ඤාණං, අරමුණු විශේෂයෙන් දැනගන්නා රැසක් නිසා විඤ්ඤානක්ඛන්ධො, අරමුණු ආදී දැනගන්නා රැසක් නිසා විඤ්ඤානක්ඛන්ධො, අරමුණු ආදී ප‍්‍රත්‍යයන්ට සාධාරණ නිසා තජ්ජාමනොවිඤ්ඤාණ ධාතු කියා, මෙසේ සිත හඳුන්වන නම් දහයක් තියෙනවා. චිත්තං, මනො, මනසං, හදයං, පණ්ඩරං, මනො මනායතනං, මනිÁද්‍රියං, විඤ්ඤාණං, විඤ්ඤානක්ඛෙන්‍ධා, තජ්ජාමනො විඤ්ඤාණධාතු කියන කොයි නම කීවත් සිත සිතමයි. මෙසේ මේ එකම සිතට නම් දහයක්ම ලැබුණෙ යාථාවසරසලක්‍ෂණය නිසා. ප‍්‍රඥාවට එසේ ලැබෙන නම් තිහක් තිබෙනවා. ඒ වාගේ කුසලය හා පින කියන වචන දෙකින් එකම සිතේ කි‍්‍රයාකාරී අර්ථ දෙකක් හඳුන්වනු ලබනවා.

‘කුස සංඛතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්තීති කුසලං’ පාප ධර්මයන්ට කියනවා කුස කියල නින්දිතාර්ථයෙන්. අනික සැපය කපාදමන අර්ථයෙන් ද කුස කියා කියනවා. සියලු සම්පත් විනාශ කරන අර්ථයෙන් ද පාපයන්ට කුස කියනවා. කුස නම් වූ අකුසල කර්ම කපා දමන්නේ සොලවා දමන්නේ, කම්පා කරන්නේ, සුනු විසුනු කරන්නේ යම් ධර්මතාවක්ද එය කුසල කියා හඳුන්වනවා. සිතේ පහළවීමට තියෙන අකුසල් නසන අර්ථයෙන්ද කුසල් නම් වෙනවා.

එතකොට පුඤ්ඤ හෙවත් පින් කියන එකේ තේරුම මෙහෙමයි. හදයං පුනාතීති පුඤ්ඤං චිත්ත සන්තානය පිරිසුදු කරන අර්ථයෙන් පින කියල කියනවා. සමහරු මේක තෝරනවා සිත පිනවීම පිනය කියලා. එසේ තේරීම වැරැදියි. හදයං පුනාතීති පුඤ්ඤං කියන්නෙ පිනවීමක් ගැන නෙමෙයි. සිත පිරිසුදු කරන අර්ථයෙනුයි පින කියන්නෙ.

පිනවන අර්ථයක් මෙහි තියෙනවා නම් පීනේතීති පුඤ්ඤං වෙන්න ඕනනෙ. සිතේ හට ගන්න තියෙන ලෝභ, ද්වේෂ, මෝහාදී ක්ලේශ ගති දුරුවීම කුසල නම් වන අතර සිත පිරිසුදු වීම පින් නමින් හඳුන්වනු ලබනවා. එකම වෙලාවෙ එකම සිතින් මේ දෙකෙම කෙරෙනවා. අර එළිය වැටීමයි අඳුර නැසීමයි වගේ, සිතේ පහළවීමට තිබෙන ලෝභාදී උපක්ලේශයෝ පහළ නොවෙන කොට සිත පිරිසිදු වෙනවා. මළ බැඳෙන අපිරිසිදු පිත්තල භාජනයක් යම් කිසි දෙයකින් පිරිසුදු කරනවා. එවිට මොකද වෙන්නෙ කහට දුවිලි පැල්ලම් ඔක්කොම ඉවත් වෙලා පිරිසුදු වෙනව දීප්තිමත් වෙනවා. ඒ වගේ කුසල් සිතෙන් ඔය කි‍්‍රයාකාරි දෙකම සිදු වන බැවින් ඒකට කියනවා පිනය, කුසලය කියලා. ඒක නම් දෙකක් මිසක් ධර්මතා දෙකක් නෙමෙයි.

දැන් සමහර කෙනෙක් ලෞකික සම්පත් උදෙසා කරන යහපත් දේ පිනයි, දස කුසලධර්ම කුසලයි කියල ඔහොම තෝරන්න යනව. දාන සීල, භාවනා, අපචායන, චෙය්‍යාවච්ච ඔය ඔක්කොම සම්මුති නාම පමණයි. ඒවට දස පුන්‍යකි‍්‍රයා කීවට එතැන කුසල අර්ථය තියෙනවා. දානෙ දෙන විට සිත පිරිසිදු වෙනව. එනිසා පින, දානය දෙන විට සිතේ කෙලෙස් නැති වෙනවා. එක කුසලය, භාවනාව උනත් එහෙමයි. භාවනා කරන්න කරන්න සිත පිරිසිදු වෙනවා, කෙලෙස් නැති වෙනවා.

එවිට එතැන කුªසල අර්ථය සහ පින් අර්ථය තියෙනව. අනිත් ඒවත් එහෙමයි. පානාතිපාතා වේරමණි කියන විට දස කුසල ධර්මයෙන් එකක්. සතුන් මැරීමෙන් වළකින්නෙමි යි කියන විට සිත පිරිසුදු වෙනවා. කෙලෙස් නැති වෙනවා. එය පිනක් කියන්නත් පුළුවන් කුසලයක් කියා කියන්නත් පුළුවන්. ඉතිං ඔය අර්ථ විග‍්‍රහයකරනවා විනා මේක දෙකක් හැටියට ගන්න ගියොත් එය මිථ්‍යාවක් වැරදීමක් බව අප තේරුම් ගන්න ඕන. එසේම මෙය අන් අයට නිවැරැදිව ප‍්‍රකාශ කරන්නත් ඕන. සිත පිරිසුදු කරන අර්ථයෙන් පින කියනවා. කෙලෙස් නැති කරන අර්ථයෙන් කුසල කියනවා. පින කීවත් කුසලය කීවත් ධර්මතා වශයෙන් එකක් මිස දෙකක් නෙමෙයි.

ප‍්‍රශ්නය : කෙනෙකු රැස් කළ පින් අන් අයට අනුමෝදන් කිරීම අප අසා පුරුදු දෙයක්. දස පින් කිරියවත් පිළිබඳ කතා කිරීමේදී පත්තිදාන යනුවෙන් එය හඳුන්වනවා. පින් අනුමෝදන් කිරීමට අනුමෝදන් වීමට පිළිවන්වන්නාසේම පාපයත් අනුමෝදන් කිරීමට සහ අනුමෝදන් වීමට හැකිද ?

පිළිතුර : පින් අනුමෝදන් කරන්න පුළුවන් වගේම පාපයත් අනුමෝදන් කරන්න පුළුවන්. දැන් බලන්න අපේ සමහර පැරැණි අය කියනවා මං ඉසේ කෙස් ගානට ගෝණ්නු මරල තියෙනව. මම ඉසේ කෙස් ගානට රා බීල තියෙනව. ඒක අහන තවත් වෙන මනුස්සයෙක් හරි මිනිහෙක් තමයි කියල බොහොම සතුටු වෙනව. අන්න අකුසල් අනුමෝදන් වුනා. ගාථාවකුත් ඕන නම් හදා ගන්න පුළුවන්. කෙනෙක් කියනව මම අර මිනිහට හොඳ පාඩමක් අද ඉගැන්නුවා. ගහල ඇට කටු කුඩුවෙන්න තරම් දඬුවම් දුන්නා කියල. ඒක අහන ;කනා කියනව බොහොම හොඳයි. එයාට ඔහොම කරල මදි මරන්නයි වටින්නෙ මමත් හිටිය නම් දෙකක් අනිනව කියල. අන්න පව අනුමෝදන් වුණා. ත‍්‍රස්තවාදියෙක් වෙඩි තියල මරල දැම්ම කිව්වම අපේ සිංහලයො බොහොම සතුටුවෙලා අර පාපය අනුමෝදන් වෙනවා. අනවබෝධය නිසා අද බොහෝ දෙනෙක් පින් අනුමෝදන් වීමට වඩා කරන්නෙ අනුන්ගෙ පව් අනුමෝදන් වීම.

බෝසතාණන් වහන්සේ පෙර ජාතියක මාළු මරණ කුලයක උපන්නා ගඟක් අයිනෙ. එක දවසක් තවත් ළමයි සමඟ මාළු මරණව බලන්න ගියා. ගිහින් බැලුවාම එදා එම ගමේ නෑයෝ පෙර දවසෙ ගඟට වස වගයක් දාලා විශාල ප‍්‍රමාණයක් මාළු ගොඩ දාල. ඒ දැකල මේ බෝසත් දරුව කියනව අද නම් හරිම හොඳයි ලොකු මාළු ගොඩක් ගොඩදාල කියල. අන්න පාපය අනුමෝදන් වුණා. ඒ පාපය අනුමෝදන් වීම නිසා බුදු බවට පත්වීමෙන් පසුවත් හිස රදයක් පැවති බව ධර්මයේ සඳහන් වෙනව. මෙසේ අකුසලය අනුමෝදන් වෙන්න ඕන තරම් පුළුවන්.

කුසලය නිසා කුසල් සිද්ධ වෙනව. අකුසලය නිසා අකුසල් සිද්ධ වෙනව. ඒ වගේම අකුසලය නිසා කුසල් සිද්ධ වෙනව. අකුසලය නිසා අකුසල් සිද්ධ වෙනව. ඔය ක‍්‍රම හතරම ලෝකෙ පවතිනව.

යම්කිසි පුද්ගලයෙක් දානයක් දෙනවයි කියල හිතමුකො. තවත් කෙනෙක් එය බලා අනේ සාදු සාදු කොච්චර වටිනා පිනක් ද කෙළේ කියල සතුටු වෙනව. අන්න කුසලයෙන් කුසලය සිද්ධවුණා. එබඳු පින්කමක් දැකල තව සමහර විට කෙනෙක් අපොයි ඔය උපාසකයගෙ හැටි මම දන්නව දැන් ඔය පන්සල් ගියාට එයා මහ කපටියෙක්, පව්කාරයෙක්, මහා බොරුකාරයෙක් සල්ලිකාර කමට මාන්නෙට කරන වැඩ කියල හිත නරක්කර ගන්නවා. අනුන් කරන කුසලය නිසා තමා අකුසලයක් කර ගන්නවා.

තව කෙනෙක් අපි හිතමු. යම් අකුසලයක් කරනව. එය අහන්න දකින්න ලැබුනම අනේ ඒ මනුස්සය මොනතරම් අපරාධයක්ද කෙළේ. මේ උදවියට කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය ලැබී ධර්මය අවබෝධ වී මේ අකුසල් වලින් මිදේවා. සුගති මග නිවන් මග ලැබේවා යනාදී වශයෙන් ඒ උදවියට මෛතී‍්‍ර කරල මම නම් කවමදාවත් මෙබඳු පාපයක් කරන්නෙ නැහැ. සසර වසන තුරු මගෙන් මෙබඳු පාපයක් සිදු නොවේවා. කියල හිතල අනුන්ගෙ අකුසලයෙන් තමා කුසලයක් සිදු කරගන්නවා. අකුසල් කරන දුසිරිතේ හැසිරෙන කෙනෙක් පිළිබඳ අහන්න දකින්න ලැබුනම අර මුලින් කීව වාගෙ හරිම වටිනව බොහොම හොඳයි එහෙම කරපු එක මමත් හිටියනම් ඒකමයි කරන්නෙ කියල අනුන් කළ දේ අනුමත කරනව. එයින් අනුන්ගෙ පාපයට තමනුත් සම්බන්ධ වෙනවා. පාපයෙන් පාපයක් සිදු කර ගන්නවා.

ඉතිරි කොටස හෙට පලකරනු ලැබේ via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook May 18, 2016 at 09:00AM

ඇසින් දකින වර්ණ චිත්‍රයේ නිමිති අනුනිමිති නොගන්නේ නම් අපටද මෙම තත්වයට මනස දියුණු කර ගත හැකිය. ඒ සඳහා වැඩපිළිවෙල පහත ධර්ම දේශනයේ සඳහන්ව ඇත.

පෙර ලක්ෂ ගණන් රහත් හා අනාගාමී ආර්යයන් වහන්සේලාට එම තත්වයට පත්වීමට හැකි වූවානම් අපටත් එම තත්වයට පත්විය නොහැක්කේ මන්ද?
පරම පුජනිය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් අප කෙරෙහි අනුකම්පාවෙන් පිරිසිදු බුද්ධ වචනය අර්ථ විවරණ ගන්වා ඇත. උන්වහන්සේට චිරාත් කාලයක් මෙම ධර්ම සේවය පවත්වාගෙන යාමට හැකිවේවායි පතමු. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook May 17, 2016 at 09:00AM

අතීතය ගැන පසුතැවෙන එක අත්හරින්න.
අනාගතයේ මවන එකත් අත්හරින්න.
වර්තමානයට බැ‍ෙඳන එකත් අත්හරින්න.
මේ භවයෙන් එතෙර වෙන්න.
සැම දේකින්ම මිදුනු සිතක් ඇති කෙනෙක්වෙන්න.
ආයෙ ආයෙමත් මේ ඉපදෙන දිරන ලෝකයට නොඑන කෙනෙක් වෙන්න.

(රජගහ නුවරදී උග්ගසේන සිටු පුත්‍රයා අරභයා වළෙ ගාථාවකි). via Facebook Pages http://ift.tt/1GMS4Lf