Monthly Archives: July 2016

New photo from Facebook July 25, 2016 at 12:00PM

ධර්මරාජයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් කොසොල් රජ බිසවු මල්ලිකා දේවීන්අරභයා වදාළසේක. නිධාන කථාව-: දිනක් දම්සභා මණ්පයෙහි රැස්වූ භික්ෂුන් වහන්සේලා අතර මෙබඳු කථාවක් පහළ වූයේය. ඇවැන්ති මල්ලිකා දේවිය මව්පිය නෑදෑයින්ට සහ තම ස්වාමියාට කළ මනා වතාවන් ආචාර ආදිය කිසිමඅඩුවක් නැතිව කරන්නීය. බුද්ධ උපස්ථානයද මඟ නොහරන්නියයි කථා කරමින් උන්සඳ එහි වැඩි බුදුරජාණන් වහන්සේ බුද්ධශාසනයේ වැඩ හිඳ මහණෙනි, මොතොමෝ පති දේවතා කොටවිසුවේ දැන් මතුනොවෙයි. පෙරත් මෙලෙසම විසුවා වේදැයි ඉකුත් වත වදාළ සේක.

ආරාධනය:- භික්ෂුන් වහන්සේ ජාතක කථාව:- බරණැස බඹදත් රජ තමාගේ පුත් සොත‍ථීසේන රජකුමරු වැඩිවිය පැමිණි කල්හි යුවරජතතනතුරෙහි පිහිටුවා ඉතා රූපත් සම්බුලා නම් රාජකුමාරිකාව ඔහුට අගමෙහෙසුන් කොටපාවා දුන්නේය. කල් යාමකින් සොත‍ථීසේන යුවරජ හට අසාධ්‍ය වූ කුෂ්ට රෝගයක් ඇති වූයේය. කරන ලද පිළියම් වලින්ගුණයක් නොවුයේ ශරිරය පැලි පැලී දිය බසින්නට වන. එකල්හි අනුන්ට පිළිකුල් වූ මේ වෘධියෙන් පෙළෙනමට රාජ්‍යයෙන් කම් නැත. වලට වැද අසරණ ව මිය යාම යහපතැයි පිය රජ්ජුරුවන්ට දන්වා සියළු සම්පත්හැරදමා සිය කැමැත්තෙන් ආ සම්බුලාවද කැටුව වනගතව රම්‍ය භූමි ප්‍රදේශයෙක්හි පන්සලක් කොට වාසයකලාහ. සම්බුලා බිසවද දිනපතා අත්පා මෙහෙවර කිරීමෙන් ද උනුපැන් සිසිල් පැන් සපයාදී මිහිරි පලාඵලගෙන වළඳවමින්ද සුරතල් බසින් සිත් සනසවමින්ද ස්වාමි පුත්‍රයාට උපස්ථාන කරන්නීය. මෙසේ දවසරිනකුමාරිකාව දිනක් ඵලාඵල නොලාගෙන එන්නී අතරමග සිත්කලූ දියරැළියක් දැක ඉස තුබු පැස තබා ස්නානය කොට ගොඩ නැඟී වල්කැල ඇඳගෙන සිටියාය. ඇගේ ශෝභාවෙන් වන ලැහැබ ඒකාලෝකවූවාය. එකල දානව රාක්ෂයෙක් අහසින් යන්නේ ඇගේ ශරිර ශොභාය දැක ඈ පිළිබඳ සිත් ඇති මෙසේ කීය.මනා රූපත් ස්ත්‍රිය, තිගේ නාමගොත්‍රය කුමක්ද? මේ වනය හාත්පස බබුලූවමින් සිටින තිට නමස්කාර කරමි. තී කවරෙක්දැයි විචාළේය. බරණැස් රජුගේ සොත්ථීසේන නම් පුතුණූ කෙනෙක් ඇත. ඔහුගේ භාර්ය්‍යාව සම්බුලාව මම වෙමි. අසාධ්‍ය රෝගයකින් පීඩිතව වනගතව මේ වනයේ පන්සලක වසන ඔහුට පලාපලයන්සහ සතුන් කා දමන මස් ගෙනවුත් දීමෙන් ද අත්පා මෙහෙවර කිරීමෙන්ද පෝෂ්‍ය කරමි. අද මා පලවැලගෙන නොගිය කල්හී කිසිවක් නොලදින් හුණු වැල්ලේ කඩාහෙලූ පත්මයන් ලෙසින් මලානිකව යන්නේයයිබිසව රාක්ෂයාට කීය.

රාක්ෂයා ඒ බසට කියනුයේ රෝගීයෙක් වනයෙහි අසරණව ඉන්නා ඔහුලෙන් තීටඇති පලය කිම්ද? මාගේ මේ විමානයෙහි සියලූ සම්පත් පිරී ඇත. සියගණන් දිවනළුවන් පිරී ඇත. මාගේ අන්තඃපුර ස්ත්‍රීන්ට අගමෙහෙසුන් කෙට තබමි. මෙතැන් පටන් රෝගීයා කෙරෙහි නොසිතව, මම තීට ස්වාමියා වෙමියි. කීයේය. එකල සම්බුලාවෝ කියන්නී රාක්ෂය මාගේ ස්වාමියාගේ රෝගය ගැන සිතාකල්යවමි. වල්කැලෑ ඇඳිමෙන් නපුරු තුනපහස ඇති මා කවර හෙයින් රූපක්යයි කියයිද? මනා රූපත් සිඬාඬගනාවන් දිව්‍ය ස්ත්‍රීන් හා නාග කන්‍යාවෝ මේ වනයෙහි සංචාරය කරන්නාහ. ඔවුන් අතරෙන් තටපියවූ ස්ත්‍රියක් තබා යනුව මාගෙන් තට ප්‍රයෝජන කිම්ද? මෙසේ කී කල්හි ඇගේ රූපයට වසඟවූ රාක්ෂයානොයෙක් ලෙසින් කියාත් තමා වසඟයට ගත නොහැක්කේ තී බලහත්කාරයෙන් මාගේ විමානයට ගෙනයමි. මා සමඟ වාසයට අකමැති වනයෙහි නම් තී මට ගොදුරු වන්නේ වන්නේයයි කියා එක්වරම පැන අසරණව සිටි ඒ රජදුවගේ අත අල්වා ගත්තේය. සතුරාගේ වසඟයට පත්වී සිටින බිසව තම ස්වාමියා ගැන ම සිතා හඬන්නී—මේ අන් පුරුෂයෙක් හා සමඟ ලෝකෂ්වාද රතියෙහි යෙදී සිටියේ යයි රජතුමා සිතනසේක් වීනම් ඊට වඩා මට දුකෙක් නැතැයි˜ හඬා වැලප දෑත් අහසට දිගුකොට ලෝකපාල දෙවියන්ට අඬගා කියන්නී අද ලෝකපාල දෙවි කෙනෙක් ලොව නැත්තාහ. මේ ලෝක පාල දෙවි කෙනෙක් ඇත්නම් —මාගේ ස්වාමියාගේ හැර රාග විනයෙන් අන් පුරුෂයෙකු මුහුණ නොබැලූ ප්‍රාණඝාතයක් නොකළ මුසාවාදයෙන් වැලකී පතිවත ගතී මා වැනියකට මේ රාක්ෂයා කරන දුරාචාරය නොවළකා බලා හිඳිහුද? ලෝකපාල ශබ්දය විනා ඒකාන්ත දෙවි කෙනෙක් මෙලොව නැතැ යි මුරගා දේවතාවන්ට යැදියාය. ඇගේ ශිලානුභාවයෙන් හා ප්‍රතිවෘතාධර්මයෙහි ආනුභාවයෙන් සක්දෙවි රජුගේ පඩුපුල් අස්න හුණු වී මේ කාරණය නුවණැසින් දැක ඒ ක්ෂණයෙහි චජ්‍රායුධය හැරගෙන බියකරු වේශයක් මවාගෙන රාක්ෂයාගේ අග බිසව පැමිණ—එම්බල රාක්ෂය, ස්ත්‍රීන් කෙරෙන් උතුම් ගුණ ඇති බොහෝ යසස් පිරිවර ඇති ප්‍රතිඡෘතා ධර්මය මැනවින් රැකි මේ රජදුව අතහැරව, තා මේ රජදුව සමඟ අසද්ධර්මයෙහි යෙදුනේවි නම් වේවයි ගොදුරු කොට අනුභව කෙළේවි නම් වේවයයි මේ චජ්‍රායුධයෙන් තාගේ හිස සත් කඩක් කොට පලාපිය මියි භය ගන්වා කීයේය.එබසින් තැති ගත්රාක්ෂයා බිසවුන් අතහැර බලාගෙණ සිටියේය. එවෙලෙහි සක්දෙවි රජ නැවතත් මේ රාක්ෂයා, මෙබද්දක් කළේ වීනම් නපුරැයි, මතු නොඑන පරිද්දෙන් තුන්වන පර්වතය ඇතුළෙහි දමා ඉක්බිති සම්බුලාවන්ට අප්‍රමාදව පතිවෘතාධර්මය පුරවයි අවවාද දී දිව්‍ය ලෝකයට ගියේය. සම්බුලාව ද ඉර අවරට ගිය කල්හි සඳ පහන් ආලෝකයෙන් පන්සලට එන්නීය. රජ්ජුරුවෝද ඈ එන ශබ්දය අසා මෝ අන්‍ය පුරුෂයකු සමඟ විත් මා මරාපු නම් නපුරැයි සිතා සැඟවී සිටියේය. පන්සලට පැමිණි ඇය තමාගේ ස්වාමියා නොදැක මහත් ශෝකයෙන් අඬ අඬා මුරගා ඒ අවට ඇවිදිනී මේ වනයෙහි සිව්පා සතෙක් ඇත්ද දේවතා කෙනෙක් ඇත්ද? ඔහු මාගේ ස්වාමියා වහා පෙන්නත්වා, ඔවුන්ට මාගේ නමස්කාරය කරමි. ඔවුන් සරණයෙමි. පර්වත ගිරි ගුහාවල වාසය කරන දේවතා කෙනෙක් ඇත්නම් සොත‍ථීසේන රජු වහාම ඇස දක්වව, මෙසේ කුමාරිකාව ලය පැලී යන තරම් ශෝකයෙන් අ~මින් වැලපෙමින් දෙවියන් වැඳ වැඳා බැගෑපත්ව අඬන බිසවුන් දැක සොත‍ථීසේන නම් වූ රජ්ජුරුවෝ සිතන්නාහු මේ බිසව අතිශයින් බැගෑපත්ව අඬන්නීය. මම මෙතන නියාව නොඇඟවී නම් ශෝකයෙන් ලය පැලී යන්නේය. ඇගේ අදහස දනිමියි සිතාගොස් පන්සල දොරකඩ උන්නේය. ඈ ස්වාමියා දැක දෙපයේ හිස තබා ගෙන දේවයන් වහන්ස මෙතෙක් වේලා මා අඬමින් සිටියදී ප්‍රිය තෙපුලක් නොකියා ඉන්ට මා කළ වරද කිම් දැයි විචාළීය . එම්බා සොඳුර තෙපි කිසිම දිනක මේ වේලාවට නොආවාය. අද වූකලී පැමිණියේ බොහෝ රෑබෝවීය. එකාන්තයෙන් අද අන්‍ය සම්බන්ධයක් ඇතිව පසු වූ බැව් පෙනෙ. මට වඩා තෙපට ප්‍රියයො කවරහුදැයි කියව , මෙසේ රජුවිචාළ කල්හි බිසව තමාට වනයේ වූ ගැහැට කියා ශක්‍රයා නිසා ජීවිත දානය ලැබ මාගේ ජීවිතයටත් වඩා ප්‍රියව සිටි නුඹ වහන්සේ ලදිමියි කී කලරජ්ජුරුවෝ කියන්නාහු එම්බා සොඳුර ගැහැනුන් කෙරෙහි සත්‍ය බසෙක්නම් කොයින්ද? එය අහසට පොලොව මෙන්ම මුහුදෙහි එතෙර මෙතෙර මෙන්ද දුර වන්නේය. හිමාල වන ප්‍රදේශයෙහි වල් වැද්දන් තාපස වරුන් හා සිඬවිද්‍යාධරයින් ගැවසෙන්නාහ. එබැවින් මෙය කෙසේ අදම්හද? මොහොතින් මොහොත නොයෙක් සිතුවිලි සිතන බොහෝ නුවණැති ස්ත්‍රීන් කෙරෙහිත් සත්‍ය බසෙක් නැත්තේම ය. මෙසේ කී කල්හි සම්බුලාව සත්‍යක්‍රියා කරන්නේ ස්වාමිනී නඹු වහන්සේ මා කී වචනය නොවදහන කෙනෙක් වේ නම් මාගේ සත්‍යක්‍රියා බලයෙන් නුඹ වහන්සේට පිළියම් කරමියි කියා පැන් කලයක් ගෙන මා මෙතෙක් කීයේ සත්‍ය බසෙක්මය. ඒ සත්‍ය වචනයේ බලයෙන් පංචවෛද්‍යකුලයා විසින්ම පිළියම් කළ නුහුණු මේ අසාධ්‍ය රෝග ය වහාම ගුණවේවායි සිතා පැන් කලය රජුගේ ඉස් මුදුනේ නැමුවාය. ඇගේ සත්‍යක්‍රියා බලයෙන් හා ප්‍රතිවෘතාධර්මයෙන් ආනුභාවයෙන් ඒ මෙහොතෙහිම ඇඹුල් ගා සෝදන ලද තඹ මලක් මෙන් රජුගේ රෝගය සන්සිදුනේය.

රජතුමා ඉතා ප්‍රීතියට පත්ව කීප දිනකින් බරණැසට ගොස් මගුල් උයනට වැදවුන් කල්හි පිය රජ්ජුරුවෝ උන් ආ නියාව අසා මගුල් කොට ගෙන්වා රාජ්‍යයෙහි අභිෂේක කොට තුමු මගුල් උයනට වැද තවුස් වෙස් ගෙන වසන්නාහු නිතර රජගෙන් වළදන්නාහ. සොත‍ථීසේන රජ්ජුරුවෝ තමන් හා එක්ව දුක් ගෙන ඇවිදි සම්බුලාවන්ට අගමෙහෙසුන් තනතුර පමණක් දී සෙසු කිසි වෘත්තියක් නොදුන්නාහ. තවද බිසව ගැන නොසලකා සෙසු ස්ත්‍රීන් සමඟ අභිරමණය කොට ඇවිදින්නාහ. මේ හේතුවෙන් කල කිරුණු සම්බුලාවො දිනෙන් දිනම දුර්වල භාවයට පත්වූහ. දිනක් රජගෙට දන්වැළදීමට පැමිණි තාපසයෝ ඈ දැක දුර්වලවූ කාරණා විචාරන්නා වු රාජ කුමාරිකාවෙනි තොප වනයේ වාසය කොට ආ අවධියෙහි රූපශ්‍රීයෙන් ඉතා යහපත දැන් මේ රාජ්‍යයට පැමිණ කවර හෙයින් සුදු මැලි ශරීර ඇති ව දුර්වලව ගියාද? මට කියවයි කීහ. කුමාරිකාවන් කියන්නේ තාපසයන් වහන්ස ඔබගේ පුත්‍රයා මා ස්වාමියා පෙර සේ මා කෙරෙහි ඇදහිලි නැත්තේ සිත්කලූ අන්‍ය ස්ත්‍රීන් කෙරෙහිම ඇලී වසන සේක. මා කෙරහි නොසිතන සේක. වනයේ දී මාකළ උවටැන් සිහිවන්නේය. ඔහුට එය සිහි නොවන්නේය. මට වනය මීට වඩා වටින්නේය. කෙතරම් සැප ඇතත් ස්වාමියා අප්‍රිය නම් සියළු සැපත් හැර මියයාම ඉතා මැනවි, දුක්ඛිත පුරුශෂයෙක් තමාගේ භාය්‍යාවට හිතවත් නම් මෙබඳු රාජ්‍ය සැපතකට වඩා ඒ බෑගෑපත් බවම ස්ත්‍රියකට උතුම් වන්නේය යි තාපසයන්ට තමා දුර්වල වීමට හේතුව කී කල්හි තාපසයෝ තම පුත්‍ර සොත‍ථීසේන රජ්ජුරුවන්ගෙන් ලඟට කැඳවා එම්බා පුත්‍රයෙනි, තොප රෝගයෙන් පීඩිත වූ කලී තොප අත් නොහැර වලට ගොස් උවටැන් කොට තම සත්‍යක්‍රියා බලයෙන් රොගය සුව කොට රාජ්‍යය කරන ලෙස සැපතෙහි පිහිටුවා ලූ තොපට උපකාරීව සිටි බිසවුන් උන්හිටි තැන් පමණකුත් නොවිචාරා තොප කළ සේ ඉතා අයහපත්ය. මිත්‍රද්‍රෝහීකම බරපතල වරදක්ම වන්නේය. ස්ත්‍රීන් කෙරෙහි ස්වාමියාට පක්ෂ කෙනෙක් සොයා ගැන්ම දුෂ්කරය. ඈ ඉතා විශ්වාසීය. ඈ කෙරෙහි සත්පුරුශව බොහෝ කාලයක් සැපසේ වසවයි අවවාද දී පන්සලටම ගියහ. ප්‍රිය රජ්ජුරුවන් ගිය කල්හි තම අග මෙහෙසිය කැඳවා කියන්නාහු එම්බා සොඳුර, තොපට වඩා මට උපකාරි කෙනෙක් නැත. මෙතෙක් කල් මා නොකළ වරදට ක්ෂමා කරව්, මෙතැන් පටන් මේ සියළු සැපත් සහ රාජ්‍යන් තොපට දෙමියි’ රාජ්‍යය බිසවුන්ට පාවාදී බිසවුන් සමඟ ඉතා ප්‍රීතියෙන් ධානාදී වූ සුචරිතයන් කොට කම් වූ පරිදි මිය පරලොව ගියහ. එකල්හි සම්බුලාවෝ නම් මේ මල්ලිකා දේවිය වන්නාහ. කොසොල් රජ්ජුරුවෝ එකලසොත‍ථීසේන රජු විය. උයනේ තපස් කල පිය රජ්ජුරුවෝ නම් දැන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook July 24, 2016 at 12:00PM

මේ ඉතා වැදගත් පොත්පෙළ පිලිබඳ හැඳින්වීමක් පහතින් දැක්වේ.
භාගත කිරීම (Download 3.3 GB) -> http://ift.tt/2ajG2NV

==බුදු වදන සුරැකුමට උර දුන් හේවාවිතාරණ පරපුර==

අන්ධකාර සමයක වැළලී යා නොදී, බොහෝ කල් පවත්නා පිණිස ත්‍රිපිටක – අටුවා – ටීකා ග්‍රන්ථ මුද්‍රණයට කැප වී, ඉමහත් මෙහෙවරක් ඉටු කළ හේවාවිතාරණ පරපුර පිළිබඳ සැමරුමකි.

බුදු රජාණන් වහන්සේගේ මුල් බුද්ධ දේශනාව ඇත්තේ පාලි භාෂාවෙනි. පණ්ඩිත ප්‍රතිරූපකයන් මොනවා කීව ද බුදුන් වහන්සේ දම් දෙසුවේ පාලි භාෂාවෙනි. එය එසේ නො වේ යැ යි ඔප්පු කරගැනීමට තරම් සාධක කිසිවක් ඒ කිසිවකුට මේ වන තුරු ඉදිරිපත් කිරීමට හැකි වී නැත. මනෝමූලික ව කැරෙන පුහු තර්ක මගින් පාලි භාෂාවෙන් ඉදිරිපත් ව ඇති බුද්ධ දේශනා ප්‍රතික්‍ෂේප කළ නොහැකි ය. එබැවින් එම පාලි බුද්ධ දේශනාව ද එහි අර්ථ ප්‍රකාශ කැරෙන පාලි අටුවාව ද රැකගැනීම බුදු සසුන රැකගැනීම වේ. කලක් තිස්සේ පුස්කොළ පොත් අතර පැවතී භාවිතයෙන් ඈත් වීමට සූදානම් ව තිබූ අප ශාස්තෘ තථාගත වචනය රැකගැනීමට මෑත ඉතිහාසයේ දී මුල් වූයේ හේවාවිතාරණ පවුල යි. “බුද්ධ වචනය ඇත්තේ පාලි භාෂාවෙනි, ධර්මයේ පිරිසිදු අර්ථ මතු කරගත හැක්කේ පාලි භාෂාවෙන් ම එම බුද්ධ වචනය අටුවා සහිත ව හැදෑරීමෙනි. එය රැකගැනීම අපගේ වගකීම යි, එයට සිංහල හෝ ඉංගී‍්‍රසි භාෂාවන්ගේ පිහිට පැතිය යුතු නැත” යන ස්ථාවරය හේවාවිතාරණ මුද්‍රණ භාරය සතු විය.

වත්මන් ශ්‍රී ලංකාවේ සියලු පාලි හා බෞද්ධ අධ්‍යයන විද්වතුන්ගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වූ අපේ ම ධර්ම ග්‍රන්ථ සේවයක් ඇති නම් එය වනාහි හේවාවිතාරණ ධර්ම ග්‍රන්ථ මුද්‍රණ සේවය යි. එය දෙවැනි වුව හොත් දෙවැනි වන්නේ බුද්ධ ජයන්තී ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවට පමණි. බුද්ධ ජයන්තී ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ දී ත්‍රිපිටක ග්‍රන්ථ පමණක් ඉදිරිපත් කැරේ. එහෙත් මෙම හේවාවිතාරණ භාරය මගින් ත්‍රිපිටක, අටුවා, ටීකා, ශබ්දකෝෂ හා වෙනත් ධර්ම ග්‍රන්ථ ද සම්පාදිත ව ඇත. දැනට මා දන්නා තරමින් ඉතා ම අඩු මිලකට (මුද්‍රණ වියදම වත් නොතකන තරමින්) ලබාගත හැකි එක ම ධර්ම ග්‍රන්ථ පන්තිය වශයෙන් මෙය දුප්පත්-පොහොසත්, ආධුනික- ප්‍රවීණ විද්වතුන්ගේ නොමඳ පැසසුමට ලක් වේ. මෙකී කරුණු මත හේවාවිතාරණ පොත් පෙළට හිමි ව ඇත්තේ අද්විතීය ස්ථානයකි. අනගාරික ධර්මපාල යුගයේ පටන් මේ දක්වා නොසිඳ පවත්නා මෙම දහම් ගඟුල අදට ද මරදාන මාළිගාකන්ද මහාබෝධි පුදබිමේ සිට ලොව පුරා දම් අමා දිය බෙදා හරිමින් ගලා බසී.

මෙම ධර්ම ග්‍රන්ථ සේවය ආරම්භ කළේ හේවාවිතාරණ පවුල විසිනි. ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා මෙහි අධ්‍යක්ෂ වශයෙන් නොපටු මෙහෙවරක් ඉටු කළේ ය. දොන් කරෝලිස් හේවාවිතාරණ මුඳලිඳුට ඩේවිඩ් (පසු ව අනගාරික ධර්මපාල), එඩ්මන්ඩ්, සයිමන්, චාර්ල්ස් යනුවෙන් පුත්‍රයෝ සිව් දෙනෙක් වූ හ. මොවුන්ගෙන් තුන්වැන්නා වූ සයිමන් හේවාවිතාරණ මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවෙකි. ඉංගී‍්‍රසි, ලතින් ආදි භාෂාවන්හි ද, ගණිත, මිණිත, වාණිජ ආදි ශාස්ත්‍රයන්හි ද මනා දැනුමක් ලබා තිබුණු ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ද විය. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගෙන් අභිධර්මයෙහි චිත්ත චෛතසික ධර්ම පිළිබඳ හොඳ දැනීමක් ලබා සිටි හෙතෙම බුද්ධ ධර්මය පිළිබඳ ව මනා අවබෝධයකින් ක්‍රියා කළ අයෙකි. වසර තිස්හතක් තරම් කෙටි කලක් ජීවත් වූ එතුමා අවසන් කාලසීමාවේ දී බෙහෙවින් රෝගාතුර විය. සසුනට කළ යුතු නියම සේවය කිරීමට අදිටන් කරගත් ඔහු ඒ වෙනුවෙන් සිය අන්තිම කැමැති පත්‍රය ලියා තැබුවේ ය. එය වගන්ති හයකින් සමන්විත වූවකි. ඒ අනුව:

01. දැනට තමන් ආරම්භ කොට ඇති පරිදි සූත්‍ර ධර්ම දේශනා සම්පූර්ණයෙන් සිංහල අකුරෙන් මුද්‍රණය කොට ප්‍රකාශනයට පත් කිරීම

02. ත්‍රිපිටක පොත් පඞ්ක්තිය ඉතා හොඳ කඩදාසිවල මුද්‍රණය කිරීම

03. විද්‍යොදය පිරිවෙනේ මහා ධර්ම ශාලාව සැදීම වෙනුවෙන් එකතු කරන්නට යන අරමුදල ඇරඹීමට රු.1500ක් දීම.

04. මාළිගාකන්දේ ආවාස ගෙයක් තැනීම

05. බුද්ධාගමේ හෝ වෙනත් ආගමක හෝ කරන කුමන හෝ පුණ්‍ය ක්‍රියාවකට අවුරුදු පතා රු.600 බැගින් දීම.

06. අභිධර්මය ඉගැනීමට සමර්ථයා වශයෙන් අවුරුදු පතා තෝරාගනු ලබන අයට මසකට රු.20 බැගින් ගෙවන ශිෂ්‍යත්වයක් පිහිටුවීම යන කොන්දේසි එහි ඇතුළත් විය.

මෙතුමාගේ අභාවයෙන් පසු ව ධර්මපාලතුමා 1913 ජනවාරි 23 වනදා ‘සිංහල බෞද්ධයා’ පුවත්පතෙහි සිය සොහොයුරා පිළිබඳ ව ලිපියක් පළ කළේ ය. ඉන් කොටසක් මෙසේ ය:

“අමෙරිකන් පණ්ඩිත ලැන්මැන් මහතා සමඟ අන්තිම දක්වා ලියුම් ගනුදෙනු කරගත්තේ ය. ලැන්මැන් උන්නැහේගේ ඕනෑකම පිට පාලි අට්ඨකථා සිංහල අකුරෙන් මුද්‍රණය කරන්නට වැඩ ආරම්භ කෙළේය.” (තෙරිපැහැ සෝමානන්ද හිමියන්ගේ ‘සෝමාවතී හේවාවිතාරණ මැතිනිය’ කෘතිය, 32 පිටුව).

මුලින් ම ත්‍රිපිටක පොත් මුද්‍රණය කිරීමට සූදානම් වූ සයිමන් හේවාවිතාරණ මහතාට ලැන්මැන් පඬිතුමා උපදෙස් දුන්නේ “ත්‍රිපිටක පාළිය දැන් දුර්ලභ නැත, සියම් බුරුම සිංහල ඉංගී‍්‍රසි අකුරුවලින් මුද්‍රණය කොට සුලභ වෙයි, එහි අටුවා වනාහි සියලු ආකාරයෙන් මුද්‍රණය කොට නැති බැවින් සුලභ නො වේ, එබැවින් ඔබ විසින් පළමුවෙන් අටුවා මුද්‍රණය කළ යුතු ය” යනුවෙනි. එතුමාගේ එම ඉල්ලීමට අනුව පළමුවෙන් අටුවා සකස් කිරීම ආරම්භ විය. සංයුත්තනිකාය අටුවාව මුලින් මුද්‍රණය කිරීමට සූදානම් වුව ද එහි වැඩ කරගෙන යන අතරතුර සංශෝධක හිමි නම අපවත් විය. සයිමන් හේවාවිතාරණ මහතාගේ ද අභාවයෙන් පසු එතුමන්ගේ දෙටු සොහොයුරු එඩ්මන්ඩ් මහතා ත්‍රිපිටක මුද්‍රණ සභාව ආරම්භ කළේ ය. අටුවා ග්‍රන්ථ මාලාවේ පළමු කෘතිය වශයෙන් පේතවත්ථු අටුවාව 1917 දී මුද්‍රණය කැරිණි. එතැන් පටන් මේ දක්වා අටුවා පොත් 51ක් ද, ත්‍රිපිටක පොත් 54ක් ද, දීඝනිකාය ටීකාව හා වෙනත් ග්‍රන්ථ රැසක් ද මුද්‍රණය කොට තිබේ.

මෙම කටයුතු සඳහා සයිමන් හේවාවිතාරණ මහතාගේ පවුලේ අය හා එතුමන්ගේ බිරිඳ නොමඳ සහාය සැපයුවෝ ය. එදා සිට අද දක්වා සිංහල අකුරින් කියැවිය හැකි පාලි අටුවා පොත් පෙළක් වේ නම් ඒ එක ම පොත් පෙළ හේවාවිතාරණ අටුවා පොත් පෙළ ය. මෙම ග්‍රන්ථ මාලාවට ආදර ගෞරවය දක්වන විදේශීය උගත්තු සිංහල අකුරුවල ශබ්දවලට අදාළ ඉංගී‍්‍රසි අකුරු ඒ ඉදිරියේ ලියාගනිමින් පාලි වචන හඳුනාගනිමින් මෙම පොත් පරිහරණය කරති.

මෙම ග්‍රන්ථ සංස්කරණයේ දී විදුරුපොළ පියතිස්ස, වැලිවිටියේ සෝරත, වැලිවිටියේ පේමරතන, සූරියගොඩ සුමංගල, බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය, රේරුකානේ චන්දවිමල යනාදි මහ තෙරවරු දිවා රාත්‍රී නොබලා කැප වීමෙන් ක්‍රියා කළහ. මේ සියල්ලට අමතර ව සයිමන් හේවාවිතාරණ මහතාගේ බිරිඳ වූ සෝමාවතී හේවාවිතාරණ මැතිනිය ජර්මන් ජාතික ඤාණතිලෝක හිමියන් විසින් සම්පාදිත විසුද්ධිමග්ග ජර්මන් පරිවර්තනය මුද්‍රණය කරවූවා ය. එමගින් ජර්මන් ජාතිකයන්ට ද විසුද්ධිමාර්ගය කියැවීමේ භාග්‍යය උදා විය.

මෙලෙස හේවාවිතාරණ පවුලේ සාමාජිකයෝ නිර්මල පර්යාප්ති සසුන ප්‍රචලිත කිරීමෙහි ලා තමන් සතු ලක්ෂ ගණන් මුදල් නැවත ලබාගැනීමේ පරමාර්ථයකින් තොර ව ම වියදම් කළහ. මුද්‍රණය කළ කෘති ඉතා ම අඩු මිලකට දුන් බැවින් හා ඒවායින් සෑහෙන ප්‍රමාණයක් කෘති නොමිලේ පරිත්‍යාග කළ බැවින් ඔවුන් එයින් ඉපැයූ එක ම ලාභය පුණ්‍ය ලාභය හා ධර්මාවබෝධ ලාභය යි. බුදු සසුනේ ජීවය වන්නේ පර්යාප්ති ශාසනය ආරක්ෂා වීම ය. ගසක් යට හෝ නිර්මල පර්යාප්තිය රැකගත්තකු සිටී නම් එතැන සසුන රැකී ඇත.

බොහෝ විට නිස්සාර දෑ වෙනුවෙන් මුදල් වියදම් කොට තම නම රැකගැනීමට වැර දරන සමාජයට හේවාවිතාරණ පවුල හොඳ ආදර්ශයකි. නිර්මල බුදු සසුන රැකගැනීමට හේවාවිතාරණ පවුල ගත් උත්සාහයට සමස්ත බෞද්ධ සමාජය ම ණය ගැති ය.

(හේවාවිතාරණ මුද්‍රණයට අයත් දීඝනිකායටීකා සඞ්ඛාරකනිවෙදනං, FOREWORD, පත්‍ථාවනා, පෙතවත්‍ථු අට්ඨකථා (සඤ්ඤාපනං), ගුණපාල මලලසේකරයන්ගේ ‘ලංකා පාලි සාහිත්‍යය’ ඩබ්ලිව්. ඩී. තිසේරා පරිවර්තනය හා තෙරිපැහැ සෝමානන්ද හිමියන්ගේ ‘සෝමාවතී හේවාවිතාරණ මැතිනිය’ යන කෘති ඇසුරු කැරිණි)
හසන්ත වාසනා සමරසිංහ – හැකිතාක් share කරන්න
http://ift.tt/2a6ZNoq via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook July 23, 2016 at 12:00PM

අප සමාජය දෙස මතුපිටින් බලනවිට එහි සන්සුන්බවක්, හෝ සාමකාමීබවක් දැකිය හැකිවුවත් කොයි මොහොතක කවරකෙනෙක් නොසන්සුන්ව ගැටුමක් ඇතිකර ගනීදැයි කිවනොහැක. මඟුල් තුලාවකදී හෝ අවමඟුල් නිවසකදී පුද්ගලයන් පුද්ගලයන් අතරත් සමූහයක් අතරත් හටගන්නා ගැටුම්වලට ප්‍රධාන හේතුවක් වන්නේ මිනිස් සිතෙහි සැඟවී සිටින ක්‍රෝධය නම් වූ ක්ලේෂ ධර්මයයි. ඒ ඒ පුද්ගලයන් අතර තිබෙන ක්‍රෝධයේ අඩුවැඩිකම් ද දැකිය හැක. ක්‍රෝධය බහුල තැනැත්තා ක්‍රෝධ රිතයා ලෙස හඳුන්වනු ලැබේ.

ක්‍රෝධය මිනිස් සිතේ නිදාසිටින සර්පයකු වැනිය. එහෙත් සර්පයා කිසිවකු පසුපස හඹාගොස් දෂ්ට නොකරන අතර ඌට හිරිහැරයක් වන අවස්ථාවේ පමණක් දෂ්ට කරයි. මේ සර්පයන් අතර සතර වර්ගයක් ඇති බව පෙන්වාදෙන බුදුන් වහන්සේ එය මිනිසුන්ගේ ක්‍රෝධයේ ස්වභාවය සතර ආකාරයට සම්බන්ධකොට දක්වයි. ඒ මෙසේ ය.

1. දෂ්ට කළත් විස නැති සර්පයා
2. දෂ්ට කළ මොහොතේ පමණක් විස ඇති සර්පයා
3. දෂ්ට කළ මොහොතේ විස නැතත් පසුව මාරාන්තික විසගෙනෙන සර්පයා
4. දෂ්ටකළ මොහොතේත්, පසුවත් විස ඇති සර්පයා

පළමු සර්පයා දෂ්ට කළත් විසක් නැතිවාසේ අප සමාජයේ ඇතමෙක් ක්ෂණිකව තරහවෙයි. කෝපවෙයි. එහෙත් එම මොහොතේම ඔහුගේ කෝපය නිවෙයි. එබඳු කෙනෙකුගෙන් කිසිවකුට හිරිහැරයක් නොවෙයි. දෙවෙනි සර්පයා දෂ්ට කරයි. එහෙත් උගේ විස මාරාන්තික නොවේ. ඒ මොහොතේ පමණක් විස දැනේ. මෙසේ සමාජයේ කෙනෙක් කිසියම් හේතුවක් නිසා කුපිත වී ක්‍රියා කරයි. ඒ මොහොතේදීම ඔහුගේ කෝපය නිවී ප්‍රකෘති තත්ත්වයට පත්වෙයි. ඔහු පළිගැනීම් නොකරයි. තුන්වෙනි සර්පයා දෂ්ටකළ විට ඒ මොහොතේ විස නැතත් ඒ විස ශරීරගතවී පසුව මරු කැඳවයි. මෙබඳු භයානක මිනිසුන් හඳුනාගැනීමට අපහසුය. ඔහුගේ කෝපය සැණෙකින් ප්‍රකට නොවේ. ඒ මොහොතේ නිහඬව සිටින ඔහු කිසිවකුට නොදැනෙන අයුරින් මාරාන්තික පහර එල්ල කරයි. මෙලෙස පලිගන්නා ක්‍රෝධ චරිතයක් ඇති තැනැත්තේ තුන්වෙනි සර්ප කුලයට අයත් වේ. සතරවෙනි සර්පයා පැන පැන දෂ්ට කරයි. දෂ්ට කළ මොහොතේත් මරණයට පත්වන තුරාත් ඔහුගේ ක්‍රෝධය නිම නොවෙයි. බුදුරජාණන් වහන්සේ මිනිස් සිතේ හටගන්නා ක්‍රෝධයේ ස්වරූපය මෙසේ සර්ප වර්ග සතරකින් දක්වා ඇති අතර ක්‍රෝධය කෙසේවත් යහපත් එකක් නොවන බව වටහා ගත යුතු ය. පළමු තැනැත්තා කිසිවකුට අනතුරක් නොකරන ක්‍රෝධය ඇති කෙනෙකි. එහෙත් යමෙක් මොහොතකටවත් ක්‍රෝධයෙන් යුක්තනම් ඔහුගේ මුහුණ කට පවා ඒ මොහොතේම වෙනසකට ලක්වෙයි. හදවත් ගැස්ම වැඩිවෙයි. සැණෙකින් ඇතිවන ක්‍රෝධය යළි නූපදින ලෙස දියුණු කර ගැනීමට බුදුදහම මඟ පෙන්වා දෙයි.

සියලු සතුන්වෙත මෙත් කරුණා සිතිවිලි පැතිරවීම ක්‍රෝධය නසාලීමේ එක් ප්‍රතිකර්මයකි. ඉවසීමේ ගුණය වර්ධනය කරගැනීමට ලෝකයේ යථා ස්වරූපය නිතර නිතරම මෙනෙහි කළ යුතුය. කෝපය නම් වූ සර්පයා මතුවන්නේ සමාජගත පුද්ගලයන්ගෙන් සිදුවන පාඩු හිංසා ආදිය නිසා පමණක් නොවේ. අව්වැසි, සුළං, ලෙඩ රෝග, අඩු පාඩු, මැසි මදුරු පීඩා සා පිපාසා වැනි කරුණු නිසාද මිනිසා ක්‍රෝධය කෝපය වර්ධනය කරගනියි. මෙසේ කෝපයට පත්වන තැනැත්තා නොසිතූ ආකාරයෙන් ප්‍රතික්‍රියා දක්වයි. ඔහු අතට හසුවන දේ පොළවේ ගසයි. නපුරු වචනයෙන් බැනවදියි. තලා පෙළා අනිකා මරණයටද පත් කරයි. කෝප වූ විට දෙමාපියන් සහෝදරයන් අඹු දරුවන් ගුරුවරුන් කියා ඔහුට වෙනසක් නැත. කවරෙකු වුවද නසා දැමීමට තරම් මේ ක්‍රෝධය දරුණුය. මෙතරම් භයානක ප්‍රතිඵල ගෙන දෙන කෝපය සිතතුළ දීර්ඝ කාලයක් තිස්සේ සැඟවී තිබීම හඳුන්වනු ලබන්නේ “උපනාහය” යනුවෙනි. බද්ධ වෛරය ලෙසද හඳුන්වන්නේ ක්‍රෝධයේ උපරිම අවස්ථාවයි. මෙය භවය පුරා සිත තුළ සැඟව සිටිනා තත්ත්වයකි.

ක්‍රෝධයෙන් කෙනෙක් කළ වරදකට එකිනෙක කිරීම දෙපිරිසටම විනාශය ගෙන දෙන වෛරය නම් වේ. මෙසේ කනට කනක්, ඇහැට ඇහැක්, වශයෙන් වෛරයෙන් වෛරය සංසිඳෙයයි. යමෙක් විශ්වාස කරත්නම් එබඳු සංසිඳීමෙක් කිසි කලෙක නොවන්නේමය. කවුරුත් අසා ඇති ‘වෛරයෙන් වෛරය නොසංසිෙඳ්’ යන බුදු වදන හුදෙක් වචන ගැළපීමක් නොව සනාතනික පරම සත්‍යයකි. ඔබ සිත පතුළේ යමෙකු ගැන වෛරයක් තිබේනම් මේ මොහොතේම එය දුරුකර ගැනීම කළ යුතු ය. එමඟින් ඔබට මේ මොහොතේම සැනසිල්ල උදාවනු ඇත. උදාහරණයක් ගනිමු. ඔබේ කකුලෙහි කටුවක් ඇනී තිබේනම් එම කටුව තිබෙනතාක්කල් ඔබට රිදුම් දෙන්නේ ය. එය ඉවත් කිරීමෙන් ඔබට සහනයක් ලැබෙනු ඇත. ක්‍රෝධය ඉවත් කළ හැක්කේ, ඔබට කරදර කළ තැනැත්තා ගැන ඔබ සිතින් වධ විඳීමෙන් නොව ඔහුට මෛත්‍රිය වැඩීමෙන් පමණි.

ඔබට ඔබෙන් සිදුවූ වරදකට යමෙක් චෝදනා කළවිට ඔබ කෝපගන්නේ නම් එය ඔබේ දුර්වලකමකි. අනෙකාගේ චෝදනාවෙන් ඔබ කෝපවුවහොත් ඔබට කිසිදා ඔබේ වරද නිවැරදි කරගනු නොහැක. එබඳු කටුක වදනකින් කුපිත නොවී ඔබේ වැරැදි හදාගැනීමට එය අවස්ථාවක් කරගන්න. කෙනෙක් ඔබට හෝ අනෙකෙකුට යම් වරදක් අසාධාරණයක් කරන්නේ නම් ඔබ කෝප විය යුතු නැත. එසේ කෝපවීමෙන් අනෙකාගේ වරද නිවැරැදි කළ නොහැක. එබඳු වරදක් අනෙකෙකු කළේ නම් නිසි කල්බලා කරුණා මෛත්‍රීය පෙරදැරිකරගෙන එම වරද ඔහුට හෝ ඇයට පෙන්වා දීමට ඔබට හැකියාවක් තිබේනම් ඔබ හොඳ කල්‍යාණ මිත්‍රයෙකි.

මහ මඟ ගමන් කරන ඔබ අප බහුලව දකින දෙයක්නම් බොහෝ දෙනාගේ නොසන්සුන්කමයි. කෙනෙක් මාර්ග නීතියක් උල්ලංඝනය කරමින් ඔබට අවහිර කරනවිට ඔබ අනෙකාට ප්‍රතිචාර දක්වන්නේ කෝපයෙනි. වැරැදියට පාර පනින මඟියාට, ඔබ ඉක්මවා යන අනෙක් රියදුරාට ඔබ වාහන පදවන ගමන් දරුණු ලෙස බැණවදියි. කෙනෙක් කරන වරදකට කුපිත වීමෙන් ඔහුට බැණවැදීමෙන් ඔබට ලැබෙන වාසිය කුමක්ද? මෙබඳු චරිතයක් ඇති කවරෙකු වුවද දවස ගෙවන්නේ කෝපයෙනි. ඔහුගේ ජීවිතය අසහනයෙන් පිරුණකි. නිතර රෝගයන්ට ගොදුරු වන්නේ මෙබඳු ‘අනුන්ගේ වැරැදි පෙන්නන්න බැරි’ ක්‍රෝධ චරිතයක් ඇති තැනැත්තාය.

මහ මඟෙහි හෝ නිවසේ දී හෝ කිසිවෙක් කිසිවකු කෙරෙහි ඉක්මන් කෝපය කෙනෙකුට අහිත කරයි. ඔබේ දරුවාගේ වරදකට ඔබ ඉක්මන් ප්‍රතිචාර නොදැක්විය යුතුය. ඔබ කෝපයෙන් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමෙන් වරද නිවැරදි කළ නොහැක. කෝපවීමෙන් ඔබටත් අනෙකාටත් දෙදෙනාටම යහපතක් නොවන්නේ ය.

අනත්ථ ජනතො කොධො
කොධො චිත්ත පකොපනො
භය මන්තරතො ජාතං
තං ජනො නාව බුජඣති

ක්‍රෝධය විනාශය ඇතිකරයි. ක්‍රෝධය සිත කෝපකරවයි. ක්‍රෝධ ඇතුළතින් හටගන්නා බියක් වන අතර එය සත්ත්වයා නොදකී. එසේම කෝපයට පත් වූ තැනැත්තා කළයුතු දෙයත් නොකළ යුතු දෙයත් නොදකී. ඔහු ධර්මය නොදකී. ක්‍රෝධය මිනිසා යටත්කරගෙන සිටිමින් මහත් අඳුරකට මිනිසා ඇදදමයි.

කුධො අත්ථං න ජානාති
කුධො ධම්මං න පස්සති
අන්ධ මන්තච තදා හොති
යං කොධො සහතෙ නරං

සමාජයේ බොහෝ අසාධාරණකම් දකිනවිට ඔබටත් මටත් මහත් අසහනයක් දැනෙනු ඇත. නොසන්සුන් බවක්ද ඇතිවේ. කෝපය බුර බුරා නැඟීමටද ඉඩ ඇත. අනෙකාට වන අසාධාරණයකදී අධිසංවේදී වන ඔබ කෝපවනු ඇත. මඳක් ඔබ කල්පනා කරන්න. එසේ කුපිතවීමෙන් ඔබට ඒ සමාජ අසාධාරණය පහකළ හැකිද? එබඳු අසාධාරණයදී ඔබට කුපිත නොවී ඉවසීමට උපදෙස් දීමෙන් අදහස් කරන්නේ ඔබට දුර්වලයකු ලෙස මීගවයකු ලෙස සියල්ල විඳදරා ගැනීමට නොවේ. කුපිතවීම දුර්වලකමක් මිස ඉවසීම දුර්වලකමක් නොවේ. එබඳු අසාධාරණ අවස්ථාවකදී ඒ සඳහා නිවැරැදි විසඳුමක් ලබාදීමට ඔබට හැකිවන්නේ කෝපනොවීමෙනි. කුපිතව ලබාදෙන විසඳුමක් සැබෑ විසඳුමක් නොවන්නේ ය.

කෙනෙකුගෙන් සිදුවන වරදක් ඔබට නිවැරැදි කළ නොහැකිනම් එය ඔබේ ඉවසීම පුරුදු කර ගැනීමට අවස්ථාවක් කරගන්න. සමාජයේ හැම කෙනෙකුම එක හා සමානව නිවැරැදි අය බවට පත් කළ නොහැක. ඒ නිසා අනුන්ගේ දොස් ඔබට ඉවසීම පුරුදු කිරීමට පැමිණි වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස සැළකීමට උත්සාහ දරන්න.

බලවත් ක්‍රෝධය මිනිසා උමතු කරවයි. කෝපයෙන් උමතුවූ තැනැත්තාට කිසිවක් නොපෙනේ. ගෙදර දොරේ බඩු භාණ්ඩ පොළොවේ ගසා අඹු දරුවන්, මව්පියන් මරාදැමීමට තරම් ක්‍රෝධය සාහසික වෙයි. මව්පියන් මැරීම වැනි ආනන්තරීය පාපකර්මයක් හැරෙන්නට ක්‍රෝධයෙන් සිදුකළ අපරාධ ක්ෂාන්තියෙන් ඉවසීමෙන් පිරිසුදු කළ හැක. අපරාධ කරුවා කෙරෙහි පවා දඬුවම් නොදී මෛත්‍රියෙන් යුතුව පිළියම් කළේ නම් ඔහු පුනරුත්ථාපනය කිරීමට තරම් බුදුදහම පොහොසත්ය. වෛරය ජනිතවන්නේ සත්‍ය නොපෙනීම නිසාය. ප්‍රඥාවන්තයා කෝප නොවී සැනසුම උදාකරගනී. අන්‍යයාටද සැනසුම උදාකරයි.

කෙනෙක් ඔබට කෙනෙහිලිකම් කරද්දී ඔබ ඉවසා සිටින්නේ නම් එයින් ඔබ නිවටයකු වන්නේ නැත. සැබෑ ඉවසීම වන්නේ ඔබට වැරැදි කරන තැනැත්තාට පරහරදීමට ඔබට හැකිවුවත් ඉවසා සිටීමයි. බොහෝ දෙනෙක් ඉවසා සිටින්නේ අනෙකාට ඇති බිය නිසයි. යමෙක් තමාට වඩා දුර්වලයකුගේ කරදර ඉවසා සිටින්නේනම් ඔහු පවු දුරුකළ කෙනෙකි.

යො හවෙ බලවා සතෙතා
දුබ්බලස්ස කිතිකඛති
තමානු පරමං ඛන්තිං
නිච්චං ඛමති දුබ්බලො

වත්මන් ලෝකයෙහි එබඳු ඉවසීමක් ප්‍රායෝගික නැතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් ඉවසීම සනාතන අගයකින් යුක්ත වේ. ඉවසීමේද සීමාවක් තිබිය යුතුයයි කෙනෙක් කියනු අසන්නට ලැබේ. එය සාවද්‍යය. සීමාවක් නැති එකම දෙය ඉවසීමයි. ඉවසීමෙන් තොර සැනසීමක් නොමැත්තේ ය.

තෙරුවන් සරණයි!

මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය : http://ift.tt/2ahh0z9 via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook July 22, 2016 at 09:00AM

මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම නමින් සම්මා සම්බුදුවරු සිව්නමක් මේ වනවිටත් පහල වී පිරිනිවී අවසාන ය. පස්වන සහ අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බුදුන් ලොව පහල වන්නේ ය. මෛත්‍රී බුදුන් ගේ පිරිනිවීමෙන් කලකට පසු මේ පෘථිවි තලය විනාශ වී නැවතත් බොහෝ කාලයක ඇවෑමෙන් නැවත පොළවක් සකස් වන්නේ ය. ඉන්පසු ඇරඹෙන්නේ නව කල්පයකි. එ ම කාලය තුළ නැවත කොපමණ කල්ප ප්‍රමාණයකින් නැවත බුදුවරයකු උපදී දැ යි කීමට අපහසු ය. හේතුව බුද්ධ ශුන්‍ය කල්ප ඉතා අධික වීම යි. )

මෛත්‍රී බුදුන් පහලවන කාලය

මෛත්‍රී බුදුන් පහල වීම සම්බන්ධයෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධවංශ දේශනාව අවසානයේ දී සැරියුත් මහරහතන් වහන්සේ ගේ අයැදීම මත අනාගත වංශ දේශනාව වදාළ සේක. ගෞතම බුද්ධ ශාසනය සම්පුර්ණ වශයෙන් ලොවින් අන්තර්ධාන වූ පසු ක්‍රමක්‍රමයෙන් මිනිසුන් ගේ පරිහාණිය වර්ධනය වේ. ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමාණය ද, අඩුවෙමින් ගොස් අවසානයේ දසවර්ශය දක්වා පහත වැටෙන බව දේශනා කර ඇත. ඉන්පසු නැවත මිනිසුන් ගේ ගුණධර්ම ක්‍රමයෙන් වර්ධනය වන කාලයක් උදාවන බව ත් ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමානය ද, ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන බව දේශනා කොට තිබේ. අවුරුදු අසංඛ්‍යෙය ප්‍රමාණයක් දක්වා ආයුෂ වර්ධනය වන්නේ ය. ඉන් අනතුරුව නැවත ගුණධර්ම පිරිහී ආයුෂ ප්‍රමාණය අවුරුදු අසූදහසකට පැමිණෙන කාලයේ දී මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ ලොව පහල වන බව බුද්ධ දේශනාවේ සඳහන් ව ඇත.

උන්වහන්සේ ගේ පරමායුෂ අවුරුදු අසුදහසකි. උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් අනතුරුව ද, ශාසනය අවුරුදු එක්ලක්ෂ අසුදහසක් තරම් කාලයක් ලොව පවතින බව සඳහන් වේ. වීර්යාධික බුදුවරයානකෙනෙකු බැවින් පළමු නියත විවරණය ලබා සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට සමතිස් පාරමිතා සම්පුර්ණ කර ඇත. එ නම් අප ගෞතම සර්වඥයන් වහන්සේ බෝසත් අවධියේ නියත විවරණ ලබන්නට ත් බොහෝ කලකට පෙර සිට ම මෛත්‍රී බෝධිසත්වයන් පාරමිතා ධර්ම සම්පුර්ණ කිරීම ට උත්සාහවත් වී ඇති බව තේරුම් ගත යුතු ය.

මෛත්‍රී බෝධිසත්ව ප්‍රථම අභිනිහාරය. (පළමු නියත විවරණය)

මෛත්‍රී බෝධිසත්වයන් පෙර එක් භවයක චක්‍රවර්ති රජෙක් ව ඉපිද සතර මහද්වීප වැසියන් පංච ශීල ප්‍රතිපදාවේ පිහිටුවා කටයුතු කරන සමයක මුහුත්තර නම් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව පහල විය. ඒ බව දැන පිරිස සමග ගොස් බුදුන් පුදා දහම් අසා සක්විති රාජ සම්පත් අතහැර රතන නමින් පැවිදි විය. එ තැන් පටන් මහත් දානාදී පින්කම් සිදුකළේ ය. අන්‍ය භික්ෂුන් වහන්සේලා ට ආශ්චර්යයක් ගෙන දෙන පමණින් පින්කම් සිදුකරන්නට යෙදුනු බව කියවේ. ඒ අනුව මුහුත්තර බුදුරාජාණන් වහන්සේ “මෙ ම භික්ෂුව මෙ තැනින් සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් ගියතැන මෛත්‍රී නමින් සම්මා සම්බුදු වන්නේ ය” යි දේශනා කොට වදාළ සේක. ඒ මුහුත්තර බුදුරාජාණන් වහන්සේගෙන් ලද නියත විවරණය ප්‍රථම නියත විවරණය යි.

මෛත්‍රී බෝධිසත්ව අවසාන නියත විවරණය.

අප ගෞතම සර්වඥයන් වහන්සේ තව්තිසා දෙව්ලොව වස් වසා අවසානයේ මහත් වූ අසිරියෙන් දෙවාරෝහනයන් සහිත ව දෙවියන් ද, පිරිවරමින් දෙව්ලොවින් සංකස්සපුරයට වැඩමවූ සේක. ඒ අසිරිය දුටු බොහෝ ජනයා පැවිදි විය. ඒ අතර ට මෛත්‍රී බෝධිසත්වයන් ද, විය. එ කල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන නම් පුත්‍රයකු ව සිටින්නා හ. දිනක් තමන් ට ලද වස්ත්‍ර යුගලකින් බුදුකුටියට වියනක් කොට පිදී ය. ඒ අරභයා දහම් දේශනා කළ බුදුන් වහන්සේ “මෙ ම වස්ත්‍ර යුගලකින් මා පිදූ ආර්ය මෛත්‍රී භික්ෂුව අනාගතයේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන බව දේශනා කළ සේක. මෙය මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ අවසාන නියත විවරණය යි. එ මෙන් ම මෙයින් උන්වහන්සේ ගේ පාරමිතා කාලසීමාව ද, අවසන් වන්නේ ය. එ නම් බුද්ධත්වය ලැබීම සඳහා කළයුතු සියලු ම කෘත්‍යයන් ඉටු කර අවසන් බව යි.

මෙලොව පහළ වීම.

සියලු ම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේ ය. එය සියලු ම බුදුරජාණන් වහන්සේලා ට පොදු වූ ධර්මතාවයකි. උන්වහන්සේ දසදහසක් දෙව්බඹුන් ගේ ආරාධනා මැද පස්මහා බැලුම් බලා අජිත නමින් ලොව පහල වන බව වදාළ සේක. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත මෙ ලොව උත්පත්තිය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල් හි බව ඉහත දී සඳහන් කළෙමි. එ කල් හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේ ය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේ ය. ඔහු ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේ ය. එ කල් හී සුබ්‍රහ්ම නම් බමුණා ට දා ව බ්‍රහ්මවතී බැමිණිය ගේ කුස තුළ මෛත්‍රී බෝධිසත්වයන් පිළිසින්දගන්නා බව සඳහන් වේ.

අභිනිෂ්ක්‍රමණය

උන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් වාසය කරන්නේ ය. අවසන තම අග බිසව වන චන්ද්‍රමුඛී දේවිය, බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේ දී සතර පෙර නිමිති දැක් ගිහි ගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ නිර්වාණ සුවය සොයා යන්නේ ය. එ සේ සිතා උඩුමහල් තලයට ගොස් සත්දිනක් දුෂ්කරක්‍රියා කරයි. සියලු සම්බුද්ධයන් වහන්සේලා බුදුවන වෙසක් පුරපසළොස්වක පොහෝ දින මහාබිනික්මන් කරමි යි සිතු පමණින් ම රැකවල් ළා සිටි මහපිරිස් සමගින් අහසින් බෝ මැද ට වඩනා බව ත් වදාළ හ. චන්ද්‍රමුඛී දේවිය විසින් ම කිරිපිඬු දානය පුජා කරන බව ත්, බඹුන් විසින් සිවුරු පුජා කිරීමෙන් පැවිදි වෙස් ගෙන නා බෝධි මුලය වෙත වැඩම කරන බව ද, වදාළ සේක. නා බෝධින් වහන්සේ ට පිට දී අලුයම යාමයේ සියලු කෙලෙස් නසා උතුම් සම්‍යක් සම්බෝධියට පත් වන බව ද, වදාළ සේක.

මෛත්‍රී බෝසතාණන් සහ ගෞතම බෝසතුන් හමු වූ පෙර භවයක් ( ගෞතම බෝසතුන් කොටිදෙනකගේ බඩගින්නක් නිවූ ආකාරය )

එක්තරා කාලයක මනුෂ්‍ය ලෝකයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වගේම අපේ බෝසතාණන් වහන්සේත් උපත ලබා හිටියා. මෛත්‍රී බෝසතුන් ඒ භවයේදී ගුරුවරයෙක් විදිහට කටයුතු කළා. අපේ බෝසතුන් ඒ ගුරුවරයා සමීපයේ හිටිය හොඳම ගෝලයා වුණා.

දවසක් මේ ගුරුතුමයි ගෝලයයි ගමනක් යන්න පිටත් වුණා. මේ ගමන යන පාර වැටිලා තිබුණේ කැළෑවක් මැදින්. කැළෑව මැදින් යද්දී මේ දෙන්නා දැක්කා එක කොටි දෙනෙක් සහ ඇගේ අලුත උපන් පැටවුන් ගල් ගුහාවක් ගාව ඉන්නවා.

ඒ වෙලේ කොටි දෙනට ලොකු බඩගින්නක් තිබුණු නිසා තමන්ගේ පැටව් කන්න තමා සූදානම් වෙලා හිටියේ. මේ වෙලාවේ ගුරුතුමා තමන්ගේ ගෝලයාට මෙතනට වෙලා මොකද වෙන්නේ කියලා විමසිල්ලෙන් බලාගෙන ඉන්න නියම කරලා කොටි දෙනගේ බඩගින්න නිවන්න කෑමක් අරගෙන ඉක්මණින් එන්නම් කියලා පිටත් වුණා.

තමන්ගේ ගුරුතුමා දැන් එයි දැන් එයි කියලා ගෝලයා බලාගෙන හිටියා. ඒත් ගුරුතුමා එන්න ප්‍රමාදයි. කොටි දෙන දැන් පැටවු ගිලින්න යන්නේ. මේක බලාගෙන ඉන්න බැරිම තැන ගෝලයා ඒ අවස්ථාවේ හැටියට කොටි දෙනගේ බඩගින්න නිවන්න පුලුවන් හොඳම ආකාරය මේකයි කියලා හිතලා ඒ කොටි දෙනට බිලිවුණා.

අන්තිමට කොටි දෙනට කන්න යමක් හොයාගෙන ආපු ගුරුතුමා තමන්ගේ ගෝලයාට මොකද වුණේ කියලා විමසිල්ලෙන් බලද්දී පෙනුණා කොටි දෙන ගාව තමන්ගේ ගෝලයාගේ ඇඳුම් පැළඳුම්වල කෑලි එහෙම වැටිලා තියෙනවා.

සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් ගත්තු ගුරුතුමා ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියන ප්‍රකාශය කරලා එතනින් පිටත් වුණා.

“ එතැනදි මෛත්‍රී බෝසතාණන් එක් ප්‍රාර්ථනාවක් කරනවා. මට කලියෙන් ගෞතම බෝසතාණන් බුදු විය යුතුයි කියලා. ”

ඉතින් ඊළඟට බුදුවෙන්න නියමිතව තිබුණු මෛත්‍රී බෝසතුන්ටත් කලින් අපේ බෝසතුන්ට බුදු වෙන්න ඒ කුසල කර්මය නිසා පුලුවන්කම ලැබුණාය කියලා තමා කියන්න.

මෛත්‍රී බුදුන් දකින්නෝ සහ නො දකින්නෝ.

මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහු ද යත්, පන්සිල් රැක්කාහු ද, දස කුසල්වල යෙදුනෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. දාගැබ් කරවූවෝ ද දාතු කරඩු පිදුවෝ ,ද දාන ශාලා තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වැව් පොකුණු බැන්දෝ ද, ඒදඩු පාලම් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ධර්ම දේශනා කළෝ ද, ධර්ම ශ්‍රවණය කළෝ ද, ධර්මය ලියන ලද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පන්සල් තැනුවෝ ද, ගිලන් හල් තැනුවෝ ද, අනාථාගාර ඉදි කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආදර බහුමානයෙන් මහණදම් පිරුවෝ ද, මහජනයා කුශල් හි යෙදවූවෝ පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආහාර පාන දන් දුන්නෝ ද, ගෙවල් දොරවල් නිවාස තනා දුන්නෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කෙත්වතු පිදුවෝ ද, සිවුරු රෙදිපිලි පිදුවෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම ට ආධාර උපකාර කළෝ ද, භාෂා ශාස්ත්‍ර දියුණුව ට පොත පත කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පිළිම ගෙවල් ඉදිකරවූවෝ ද පෙති පිළිම කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බෝධිසත්ව චරිත කථාවන් අඹවන ලද්දෝ ද, ඒවා බිතු සිතුවම් කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ගිලනුන් ට උපස්ථාන කළො ද, රෝග තුරන් කිරීමට වෙහෙස මහන්සි වූවෝ ද, වසංගත රෝග වළක්වාලුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සතුනට කරන හිංසා වැලැක්වූවෝ ද, ගිලන් සතුනට බේත්හේත් කළෝ ද, බන්ධනගත සතුන් මුදා හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

තව ද මවුපියන්ට උපස්ථාන කලෝ ද, ගුරුවරාදීන්ට සංග්‍රහ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. තුණුරුවන් උදෙසා උඩුවියන් පාවඩ පිදුවෝ ද, ශබ්ද පූජා පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සුවද දුම් පිදුවෝ ද, පහන් ගෙවල් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බණ අසන්නට හඩගෑවෝ ද, බණ දෙසන කල් හි සාධුකාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මහජන සුබසෙත සැලසූ රජමැති ඇමති සිටු ආදී නරදෙටුවෝ ද, වැසියන් නො තලා අයබදු ගත් රජදරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පැවිද්ද සඳහා දරුවන් පූජා කළ මව්පියෝ ද, වස් ආරාධනා කොට ඇප උපස්ථාන කළෝ ද, වස් කාලයන් හි පිළිවෙත් පිරූ ගිහි පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

මහජන කරුණාවෙන් සේවය කළ නිලදරුවෝ ද, මංමාවත් ඉදිකර වූවෝ ද, අම්බලම් තැනුවෝ ද, දන්සැල් පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ත්‍රිවිධ රත්නය උදෙසා පෙරහැර පැවැත්වූවෝ ද, බුදු සිරිතෙන් සරසා වෙසක් තොරණ බැන්දෝ ද, තුණුරුවන් උදෙසා පහන් කූඩු විසිතුරු කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. නැති බැරි අය ගේ මංගල අවමංගල කටයුතු සම්පාදනය කළෝ ද, මරණාධාර සමාගම් පැවැත්තුවෝ ද, ගරු කල යුත්තන්ට ගරු සරු දැක් වූවෝද ගුරු ගෞරවය පැවැත්වූවෝ පැවිද්දෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ඝණ්ඨාර පිදුවෝ ද, දාගැබ් විහාර පන්සල් සුණු පිරියම් කළෝ ද, බලූ කපුටු ආදී සතුන්ට ආහාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කඨින පින්කම් කළෝ ද, වන්දනා ගමන් ගියෝ ද, ගෞතම බුදුපියාණන් උපත ලද, බුදු වූ, දම් දෙසූ, පිරිණිවන් පෑ, තැන් වැද පුදා ගත්තෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මරණය ට කැප වූ සතුන් මරණ භයින් මුදවා අභය දානය දුන්නෝ ද, ඉගැන්වීම් ආදියෙන් බුද්ධි දානය දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෙහෙර විහාරස්ථාන හා පාසල් ‐ රෝහල් ‐ අනාථ නිවාස සඳහා ඉඩ කඩම් පිදුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

තව ද අනුන්ට ඊර්ෂ්‍යා නො කලෝ ද මුදිතාව දියුණු කළෝ ද මෙත් වැඩුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෛර නො කළො ද කරුණාව පැතිරවූවෝ ද සාමය රැක්කෝ ද ප්‍රිය වචන කථා කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බුදු පිළිම කරවා නේත්‍ර පිහිටවූවෝ ද සලාක දන් දුන්නෝ ද කොඩි කුඩ පහන් පිදුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සිප්හල් පිහිටුවා සර්වඥ ධර්මය ඉගැන්වූවෝ ද බෝධිඝර කරවූවෝ ද අන්ධයන්ට පෙනීම ලබා දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. අනාථයත්ට උපකාර වූවෝ ද බෙහෙත් ගස් සිටුවූවෝ ද ගස් කොලන් වැවුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ජලාශ පිහිටවූවෝ ද සතුන් ට ඛෙහෙත් කළෝ ද පෙහෙවස් රකින්නවුන්ට උවටැන් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මියගිය ඥාති මිත්‍රාදීන් උදෙසා පින්කම් කළෝ ද, වන සෙනසුන් පෝය ගෙවල් තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

ඉහත දැක්වූ කුශල ධර්මයන් හි යෙදුනෝ මෛත්‍රී බුදුරජානන් වහන්සේ දකින්නාහු කවරහෙයින්ද යත් මෙ කී නො කී පිංකම්වල කුසල බලය නිසා ඔවුහු සියල්ලෝ ම මරණින් මතු චාතුර්මහාරාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිර්මාණරතිය, පරනිම්මිතවසවර්තිය යන සදිව්‍ය ලෝකයන් හි සහ බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහා බ්‍රහ්ම ආදී ලෝකවල උපත ලබා ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ දී මිනිස් ලොවට බට තුසිත දිව්‍ය භවනය හා සමාන වූ සකල සම්පත්තියෙන් අනූන කේතුමතී නම් රාජධානියෙ හි රජ ‐ මැති ‐ ඇමති ‐ පවුල්වල උපත ලබන්නාහු ය. සිටු පවුල් බ්‍රාහ්මණ පවුල් සහ ගෘහපති පවුල්වල ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාවය යන කරුණු පසින් සපිරුණු පිංවතුන් ‐ පිංවතියන් ව ඉපිද, ඒ මෛත්‍රී බුදුන් දකින්නාහු ම ය.

මෙසේ සසර දී පුරණ ලද මේරූ පිං ඇතිව උපන් ස්ත්‍රී පුරුෂයෝ ඒ මෛත්‍රී බුදුන් දැක තම තමන් පැතූ පරිදි ම ඒ මෙතේ බුදු රජාණන් වහන්සේගෙන් බණ අසා දන් පහන් පවත්වා පිළිවෙත් පුරා අමා මහ නිවන් දක්නාහු ය.
මෛත්‍රී සර්වඥයන් වහන්සේ නො දකින්නෝ කවරහුද යත් මව් මැරුවෝ ද, පියා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. රහතුන් වහන්සේලා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ලෝහිතුප්පාදක (බුදුන් ගේ ඇඟේ ලේ සෙලවීම) පාප කර්මය කලෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සංඝ බේදය කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දාගැබ් බින්ඳෝ ද පෙති පිළිම බෝ ගස් වැනසුවෝ ද රන් රිදී ආදිය නිසා බුදු පිලිම සොරකම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

බණ පොත් විනාශ කලෝ ද සඟසතු දේපල ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහණ බමුණන්ට හිරිහැර කළෝ ද, මව් පියන්ට හිංසා පීඩා කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සිල්වත් ගුණවත් උතුමන්ට බොරු චෝදනා කළෝ ද, දන් වැට පුද පඩුරු ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහජන සන්තක දේ අයථා ලෙස පරිහරණය කළෝ ද, කපටි වංචනිකයෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

මෙලොවක් නැත පරලොවක් නැත පිනක් පවක් නැතැයි කීවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ප්‍රාණඝාත කළෝ ද ඒවා ට අනුබල දුන්නෝ ද සොරකම් කලෝ ද සොරකම ට අනුබල දුන්නෝ ද අනාචාරයෙ හි හැසිරුණෝ ද එයට අනුබල දුන්නෝ ද, බොරු කීවෝ ද පරුෂ වචන කීවෝ ද සම්පප්‍රලාප දෙඩුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මත් පැන් බීවෝ ද මත් පැන ට අනුබල දුන්නෝ ද, මත් ද්‍රව්‍ය පැතිර වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සතුන් මරා මස් කෑවෝ ද එය ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මරණු පිණිස සතුන් ඇතිකළේ ද මැරීමට විකුණනු ලැබූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

බොරු සාක‍ෂි දුන්නෝ ද බොරුවට දිවුරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ණය ගෙන ණය නුදුන්නෝ ද ගිනි පොලීකරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අන් හට ලැබෙන දෙය වැළැක්වූවෝ ද අනුන් නො මග යැවූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. නිසි ලෙස මහණදම් නො පුරමින් දුසිල් ඡීවිත ගත කළෝ ද පැවිදි ව පැවිදිකම් හි නො යෙදුනෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අල්ලස් ගත්තෝ ද ඒ පාපය ට අනුබල දුන්නෝ ද ගේ දොර ගිනි තැබුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය ගහ කොළ භෝග වගාවන් විනාශ කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. වස විෂ කැව්වෝ ද හදි හූනියම් කලෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. හොර ජාවාරමි කරුවෝ ද අධික මිලට වෙළහෙලදාම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. බොරුවෙන් වන්චාවෙන් මැති ඇමති වරුන් නරදෙටුවන් නො මග යැව්වෝ ද නපුරු අවි ආයුධ තැනුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

අනේකාකාර ක්‍රම උපක්‍රමවලින් රට වැසියාට හිංසා පීඩා පැමිණ වූ රජ මැති ඇමති පාලකයෝ ද වැව් පොකුණු ගංඟා ආදී ජලාශයන් අපිරිසිඳූ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දරුවන් නො මග යැව්වෝ ද, යුතුකම් පැහැර හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සර්වඥ ධර්මය පහත් කොට සැලකුවෝ ද මාන්න අධික ව අනුන් පහත් කොට තමන් උසස් ලෙස සැලකුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අඹුදරුවන් අතරමං කළෝ ද, අනුන් බය ගැන්නුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

ඉහත කී පරිදි අකුසල් කළෝ ඒ මෛත්‍රී බුදුන් නො දකින්නේ කවර හෙයින්ද යත් මේ පාපකර්මයන් කිරීම නිසා මරණින් මතු සංජීවය, සංඝාතය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන අටමහ නරකයන් ට වැටී ඔවුහු අනන්ත අප්‍රමාණ කාලයක් අප්‍රමණ දුක් විදින්නාහුය ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ ගේ කාලය වන විට ද මෙකී නො කී පවුකම් කළෝ ඒ අපායන් හි ම වෙසෙන බැවින් ඔවුන්ට ඒ මෛත්‍රී බුදු රජාණන් වහන්සේ නො දැකිය හැකි වන්නේ ම ය.

(උපුටා ගන්නා ලද්දකි…) via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook July 20, 2016 at 04:06PM

අප මේ උතුම් මිනිසත් භවයේ යම් දිනක උපන්නේද එදින සිට කළා වූ යම්බදු කුසලයක් පිනක් ඇතොත් ඒ සියලු පුනන්‍යස්කන්දයන් ගේ බලයෙන් අපගේ පිංවත් ගුරුදෙවිදුන් හට ඉතා ඉක්මන් නිදුක් නීරෝගි සුවයම ලැබේවා ! ලැබේවා !! ලැබේවා!!!!!
සාදු ප්‍රර්ථනාවන් එක් කරමු…..
තෙරුවන් සරණයි..!!! via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook July 20, 2016 at 12:00PM

== ධම්මහදය විහාරයේ ඉතිරි වැඩ සඳහා ආධාර කිරීමට අවස්ථාවක් ==

අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් වැඩවසන බසවක්කුලම ධම්මහදය විහාරයේ පළමු හා දෙවන මහල් වල කුටි වල වැඩකටයුතු අවසන් වෙමින් පවතින අතර මුලින් කුටි සඳහා සකස් කල ඇස්තමේන්තුවට ඇතුළු නොවුණු 1) විවෘත වැරැන්ඩාවෙ ලී වැට, 2) තුන්වන මාලයේ ධර්ම ශාලාව වටේට සවිකරණ වීදුරු, සහ 3) දෙවන තට්ටුවේ වටේට අඩි පහක් පලල ආවරණිය වහළය, යන ව්‍යපෘති සඳහා දළ වියදම් සටහනක් අපවෙත ලැබී ඇත.

එහි විදුරු සඳහා ඇස්තමේන්තුව මෙතැනින් ලබාගන්න. ආවරණිය වහල සඳහා ඇස්තමේන්තුගත වියදම (වර්ගඵලය අනුව) ලක්ෂ 20කි. ශ්‍රම දායකත්වය යුධ හමුදාවෙන් ලැබුනද ඔවුන්ගේ කෑමබීම හා ප්‍රවාහන වියදම් ද ඇතුළු අමතර වියදම් සඳහා තවත් ලක්ෂ 9 ක් ඇස්තමේන්තුගත කර ඇත. මුළු මුදල (16+20+9) ලක්ෂ 45කි.

මෙම වියදම එක කොටසකට රු. 900,000 වනසේ කොටස් 5 කට බෙදා සැදැහැති පින්වතුන්ට තනිවම හෝ පිරිසක් වශයෙන් දායකත්වය දැක්විය හැකි පරිදි සකසා ඇත.

ආධාර තැම්පත් කිරීම සඳහා බැංකු ගිණුම (මාන්කඩවල නන්දරතන හිමි)
Mankadawala Nandarathana Thero, Peoples Bank, Kakirawa Branch – 042200427485306

මුදල් තැම්පත් කිරීමෙන් ලැබෙන රිසිට් පත පහත ලිපිනයට යැවීමෙන් පුණ්‍යානුමෝදනා පත්‍රයක් ලබාගත හැකිය: Labunoruwakanda Aranya Senasanaya, Muriyankadawala, Galenbindunuweva, Sri Lanka. Telephone: 0253254193

භාරගෙන ඇති කොටස් ගණන වෙබ් අඩවියේ පළකිරීම සඳහා කොටසක (කුටියක) දායකත්වය භාරගන්නා පින්වතුන් ඒ බව path.nirvana@gmail.com ලිපිනයට හෝ 0112752352 දුරකථන අංකයට දැනුම් දෙන්න. පිරිසිදු ත්‍රිපිටක දහම ලොව පුරා ප්‍රචාරය කිරීමේ මධ්‍යස්ථානයක් වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දී අට මහා කුසලයන්ගෙන් එකක් සිදු කරගන්න. කලින් පළකළ දැන්වීම සහ වැඩි විස්තර සඳහා -> http://ift.tt/2a9T81H via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook July 19, 2016 at 12:00PM

බෝසතුන් හා සහජාත (එක්ව උපන්) පුද්ගලයන් හා වස්තු
.
යම් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ ලුම්බිණි නම් උයනෙහි වෙසක් මස පුර පසළොස්වක් පෝ දිනයෙහි උපන් සේක්ද එවේලෙහිම රාහුල මාතාවය, ඡන්න ඇමැති ය, කාළුදායි ඇමැති ය, කන්ථක නම් අශ්ව රාජයා ය, අස්වත්ථ බෝධි වෘක්ෂය, සතර මහා නිධානය යන මේ වස්තු ද පහළ විය.

උපතේ සිට බුද්ධත්වයට පත්වනතුරු විවිධ අවස්ථාවල දී උන්වහන්සේ පිළිබඳ නන් වැදෑරුම් සිදුවීම්වලදී මේ පුද්ගලයන් හා ස්ථාන ඒ උදාර ජීවිතය හා සබැඳී පැවැතුණු බව පෙනේ. උදාහරණ වශයෙන් උන්වහන්සේ ගිහි ගෙයින් නික්ම යද්දී කන්ථක අසු මෙන්ම ඡන්න ඇමැතියා ද මහෝපකාරී විය. පසුව ඡන්න පැවිදි වී මඳක් සෙරිචාරීව සිට පසුව බ්‍රහ්ම දණ්ඩය පමුණුවා ඒ මඟින් නිවන් මඟට සැපැත් වීම උදාහරණ වශයෙන් දැක්විය හැකි ය.
.
මුදුන පිටුවෙනි via Facebook Pages http://ift.tt/1GMS4Lf