Monthly Archives: August 2016

New photo from Facebook August 31, 2016 at 09:33AM

නින්දා ප්‍රශංසා කරන සියලුදෙනාට එකසේ මෛත්‍රිය වඩමු. බුදුරජාණන්වහන්සේගේ අවවාදය එයයි.

කකචූපම සූත්‍රය -> http://ift.tt/2bR2vCy
“මහණෙනි, පහත් ක්‍රියා කරන්නාවූ සොරු දෙපස දඬු ඇති කියතකින් ශරීර අවයව කපන්නාහුද යමෙක් ඒ සිය සිරුර කපන සොරුන් කෙරෙහිද හිත දූෂ්‍ය කරගනී නම් එයින් හෙතෙම මාගේ අවවාදයට අනුව පිළිපදින්නෙක් නොවෙයි. මහණෙනි, එහිදු මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමකවූ වචනද නොකියන්නෙමු, හිතානුකම්පා ඇතිව මෛත්‍රී සිත් ඇතිව ඇතුළත තරහ නැතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහිද මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළුලොකයද ඒ මෛත්‍රී සහගත සිතේ අරමුණ කොට විපුලවූ මහද්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ නිදුක්වූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරන්නෙමු’යි (හික්මිය යුතුයි.) මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.

“මහණෙනි, තොප මේ කකචූපමොවාද ධර්මය නිතර මෙනෙහි කරව්. මහණෙනි, තෙපි යම් හෙයකින් නොඉවසන්නාවූ අල්ප සාවද්‍යවූ හෝ මහා සාවද්‍යවූ හෝ යම් වචනයක් දක්නහුද?” “නැත, ස්වාමිනී”.
“මහණෙනි, එහෙයින් තෙපි මේ කකචූපමොවාද ධර්මය නිතර මෙනෙහි කරව්. ඒ මෙනෙහි කිරීම තොපට බොහෝ කාලයක් මුළුල්ලෙහි වැඩ පිණිසද සැප පිණිසද වන්නේය’යි මේ සූත්‍ර ධර්මය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තාහුය. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook August 30, 2016 at 09:00PM

දන් දීමට නුසුදුසු දන් නො දිය යුතු පුද්ගලයකු ඇති බවක් බුදුරජාණන් වහන්සේ නො වදාළ සේක. උන් වහන්සේ විසින් වදාරා ඇත්තේ, සියල්ලන් ම ප්‍ර‍තිග්‍රාහකයන් බව ය. ගුණවත් වූ ද, ගුණහීන වූ ද සකල සත්ත්වයන්ට ම දන් දීම් කළ යුතු බව ය. දන්දීම හා එය වැළැක්වීම ගැන තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ මෙසේ ය:-

“යො ඛො වච්ඡ, පරං දානං දදන්තං වාරෙති, සො තිණ්ණං අන්තරායකරො හොති, තිණ්ණං පාරිපන්ථිකො. කතමෙසං තිණ්ණං? දායකස්ස පුඤ්ඤන්තරායකරො හොති, පටිග්ගාහකානං ලාභන්තරායකරො හොති, පුබ්බේ ච ඛො පනස්ස අත්තා ඛතො ච හොති, උපහතො ච. යො ඛො වච්ඡ, පරං දානං දදන්තං වාරෙති, සො ඉමෙසං තිණ්ණං අන්තරායකරො හොති, තිණ්ණං පාරිපන්ථිකො.

අහං ඛො පන වච්ඡ: එවං වදාමි. යෙ පි තෙ චන්දනිකාය වා ඔලිගල්ලෙ වා පාණා තත්‍රා පි යො ථාලිධොවනං වා සරාවධොවනං වා ඡඩ්ඪෙති යෙ තත්ථ පාණා තෙ තෙන යාපෙන්තූති තතො නිදානම්පාහං වච්ඡ, පුඤ්ඤස්ස ආගමං වදාමි. කො පන වාදො මනුස්සභූතෙ? අපි චාහං වච්ඡ, සීලවතො දින්නං මහප්ඵලං වදාමි නො තථා දුස්සීලෙ.
(අංගුත්තර තික නිපාත)

තේරුම :-

“වච්ඡය: යමෙක් දන් දෙන්නා වූ අනුන් එයින් වළක්වා ද, හෙතෙම තිදෙනකුට අන්තරාය කරන්නේ තිදෙනකුට අපරාධ කරන්නේ වේ. කවර තිදෙනකුට ද යත්? දායකයා ගේ පිනට අන්තරාය කරන්නේ වේ. ප්‍ර‍තිග්‍රාහකයා ගේ ලාභයට අන්තරාය කරන්නේ වේ. පළමුවෙන් ම තමා ගේ ගුණ සාරා ගත්තේ විනාශ කර ගත්තේ වේ. වච්ඡය, යමෙක් දන් දෙන්නා වූ, අනුන් එයින් වළක්වා ද ඔහු මේ තිදෙනාට අන්තරාය කරන්නේ වේ, අපරාධ කරන්නේ වේ.

වච්ඡය, මම වනාහි මෙසේ කියමි. කුණුවළවල හෝ කාණුවල හෝ යම් ඒ ප්‍රාණීහු වෙත් ද, යමෙක් ඒවායේ වෙසෙන ප්‍රාණීහු මෙයින් යැපෙත්වා යි සැළි සේදූ දිය හෝ මූඩි සේදූ දිය හෝ ඒවාට වත් කෙරේ ද, වච්ඡය. එයින් ද පින් සිදු වන බව මම කියමි. මිනිසකුට දන් දීම ගැන කියනුම කිම? වච්ඡය, තවත් කරුණක් නම්: සිල්වතාට දීම මහත්ඵලය යි ද, දුශ්ශීලයාට දීම එපමණ මහත්ඵල නො වේය යි ද කියමි.” මේ ඒ දේශනාවේ තේරුම ය.

මේ දේශනාවෙන් දැක්වෙන්නේ දුශ්ශීලයන්ට නො දිය යුතු ය. අලජ්ජීන්ට නො දිය යුතුය කියා අනුන් දෙන දන් වළක්වන අසත්පුරුෂයා: දෙන තැනැත්තා ගේ පින නැති කිරීම ය, ලබන තැනැත්තා ගේ ආහාරය නැති කිරීම ය, සත්පුරුෂ ගුණය නැතිකර ගැනීමෙන් ඉමහත් පවක් කර ගැනීම ය යන මේ කරුණු තුනෙන් අනුන්ටත් තමාටත් අන්තරායයක් කරන බව හා සැම දෙනාට ම දන් දිය යුතු බව ය. එයින් දක්වන තවත් කාරණයක් නම්, සිල්වතුන්ට දීම මහත්ඵල බවත්, දුශ්ශීලයන්ට දීම එතරම් මහත්ඵල නො වන බවත් ය. දුශ්ශීලයාට දීම මහත්ඵල නැතය යි කියනුයේ, එයින් පින් සිදුවීමක් නැති නිසා ය යි වරදවා තේරුම් නො ගත යුතු ය. එයින් දක්වන්නේ සිල්වතාට දීමෙන් ලැබෙන පිනට වඩා දුශ්ශීලයාට දීමෙන් ලැබෙන පින කුඩා බව පමණෙකි. දන්දීම මහත්ඵල වීමට දායකයා ගේ ශීලයත් උවමනා ය. දායකයා සිල්වත් නම් ප්‍ර‍තිග්‍රාහකයා දුශ්ශීල වුවත් දානය මහත්ඵල වන බව-

“යො සීලවා දුස්සීලෙසු දදාති දානං
ධම්මෙන ලද්ධං සුපසන්නචිත්තො
අභිසද්දහං කම්මඵලං උළාරං
සා දක්ඛිණා දායකතො විසුජ්ඣති”

යනුවෙන් වදාරා තිබේ. “යම් සිල්වතෙක් මහත් වූ කර්‍ම ඵලය විශ්වාස කරමින් දැහැමින් ලැබූ වස්තුව පහන් සිතින් දුශ්ශීලයන්ට දේ නම් ඒ දානය දායකයා ගේ ගුණය නිසා මහත්ඵල වේය” යනු එහි අදහස ය. දන් දීමට සිල්වතුන් ඕනෑ කරන්නේ දුශ්ශීල දායකයන්ට ය. දායකයා දුශ්ශීල වුවත් ප්‍ර‍තිග්‍රාහකයා සිල්වත් නම් එයින් ද දානය මහත්ඵල වන බව-

“යො දුස්සීලො සීලවන්තේසු දදාති දානං
අධම්මෙන ලද්ධං අප්පසන්නචිත්තො
අනභිසද්දහං කම්මඵලං උලාරං
සා දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති”

යනුවෙන් වදාරා තිබේ. “යම් දුශ්ශීලයෙක් මහත් වූ කර්මඵලය ගැන විශ්වාසයක් නො තබමින් අප්‍ර‍සන්න සිතින් ධර්මයෙන් ලැබූ දෙය සීලවන්තයන්ට දේ නම් ඒ දානය ප්‍ර‍තිග්‍රාහකයන් ගේ ගුණය නිසා මහත්ඵල වේ ය” යනු එහි තේරුම ය. කැළණි ගංමුවදොර වාසය කළ කෙවුලෙක් ‘දීඝසුම්ම’ නම් සිල්වත් තෙරුන් වහන්සේ කෙනකුට තුන් වරක් පිණ්ඩපාතය දී මරණ කාලයේ දී ‘දීඝසුම්ම තේරුන් වහන්සේට දුන් පිණ්ඩපාතය මා ගොඩ ගන්නේය’ යි කීවේය යි දක්ඛිණා විභංග සූත්‍ර‍ අටුවාවෙහි දක්වා තිබේ. කෙවුලා දුශ්ශීල වුව ද, දීඝසුම්ම තෙරුන් වහන්සේ ගේ සිල්වත් බව නිසා දානය මහත්ඵල වීමෙන් ඔහුට අපායෙන් මිදෙන්නට ලැබිණ. දුශ්ශීල දායකයකු විසින් දුශ්ශීල ප්‍ර‍තිග්‍රාහකයකුට දෙන දානය දෙපසින් ම මහත්ඵල නො වන බව-

“යො දුස්සීලො දුස්සීලෙසු දදාති දානං
අධම්මේන ලද්ධං අප්පසන්නචිත්තො
අනභිසද්දහං කම්මඵලං උළාරං
සා දක්ඛිණා නෙවුභතො විසුජ්ඣති”

වදාරා තිබේ. “යම් දුශ්ශීලයෙක් කර්‍ම ඵලය කෙරෙහි විශ්වාසය නො තබමින් අධර්මයෙන් ලැබූ දෙය නො පහන් සිතින් දුශ්ශීලයන්ට දේ ද, ඒ දානය දායක ප්‍ර‍තිග්‍රාහක දෙපක්‍ෂය නිසා ම මහත්ඵල නො වේ ය” යනු එහි තේරුම ය.

දුශ්ශීලයන්ට දෙන දානය මහත්ඵල නො වන බවට සාධකයක් වශයෙන් වැද්දකු මිය ගිය කෙනකු උදෙසා දුන් දානයක් දක්වා තිබේ. ඒ වැද්දා මිය ගිය ඥාතියකු උදෙසා තුන් වරක් ම දුශ්ශීලයකුට දන් දී පින් දුන්නේ ය. ප්‍රේතයාට එයින් පිහිටක් නො වී “දුශ්ශීලයා මාගේ දානය පැහැර ගත්තේය” යි කෑ ගැසී ය. පසුව සිල්වත් භික්ෂුවකට දන් දී පින් දුන් කාලයේ ප්‍රේතයාට පින් ලැබිණ. මේ කථාව වරදවා තේරුම් ගත් ඇතැම්හු දුශ්ශීලයන්ට දන් දීමෙහි පිනක් නැති බව කියති. මේ කථාවෙන් දක්වන්නේ දුශ්ශීලයාට දන් දිමේ කුශලය දුබල බැවින් ඒ ප්‍රේතයාට දුකින් මිදීමට ඒ පින ප්‍ර‍මාණවත් නො වූ බවය. දුශ්ශීලයාට දීමෙන් පින් නැත්තේ නො වේ. සිල්වත් දායකයකු විසින් සිල්වතකුට දන් දෙතොත් එය ඉතාම මහත්ඵල ඇති දානයක් වන බව-

“යො සීලවා සීලවන්තෙසු දදාති දානං
ධම්මේන ලද්ධං සුපසන්නචිත්තො
අභිසද්දහං කම්මඵලං උළාරං
තං වෙ දානං විපුලඵලන්ති බ්‍රෑමි.”

යනුවෙන් වදාරා තිබේ. “යම් සිල්වතෙක් කර්‍මඵලය අදහමින් දැහැමින් ලත් වස්තුව පහන් සිතින් සිල්වතුන්ට ම දේ නම්, ඒ දානය ඒකාන්තයෙන් මහත්ඵල දානය යි කියමිය” යනු එහි අදහස ය. මේ කරුණු වලින් දුශ්ශීලයාත් දන් දීමට සුදුස්සකු බවත්, දුශ්ශීලයන්ට දීමෙනුත් පින් සිදුවන බවත් තේරුම් ගත යුතු ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘ධර්ම විනිශ්චය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/t9Yxtt via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook August 30, 2016 at 12:00PM

දන්නා පුජාවක නොදන්නා අනුසස් (බෝධි පූජාව)
.
භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේව නියෝජනය
කිරිම සඳහා බෝධි රැක්ෂය සුදුසු වන්නේ ඇයි?
.
මේ පිළිබඳවත් යමි දැනුමක් තිබිම වැදගතු වනු ඇතැයි සිතමු. අපි නොයෙක් ස්ථාන වල තුන්රැවන් සිහිකොට වන්දනාමාන කටයුතු වල නිරත වන බව ඔබ දන්නවා. දැන් අපි බුදු පිලිම වහන්සේ නමක් උදාහරණයට ගමු. අපි දැන් මේ පිළිමවහන්සේ දෙස බලලා ජීවමානව වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ සිතින් දැකිමටයි උත්සාහ කරන්නේ. ඒයයි නිවැරදි ක්‍රමය වැදුමි පිදුමි කල යුත්තේ ඒ ආකාරයෙනුයි. නමුත් ‍යමි බුද්ධ ප්‍රථිමාවක් දුටු විට ඔබට මුලින්ම සිතෙන්නේ කුමක්ද යන්න පිලිබඳව සිතෙන් විමසා සිටින්න. එක්කෝ මේ පිළිමවහන්සේ ළස්සනයි කියලා හිතෙයි. ‍එක්කෝ මේක ලොකුයි කියලා හිතෙයි. එක්කෝ මේක පොඩියි කියලා හිතෙයි. එක්කෝ මේක මහායානිකයි කියලා හිතෙයි. එක්කෝ මේකේ කන් දෙක දිග වැඩියි කියලා හිතෙයි. එක්කෝ මේකේ මේ මේ තැන් වල ඇද තියනවා කියලා හිතෙයි. එක්කෝ මෙක මේ මේ තැන් වලින් කැඩිලා කියලා හිතෙයි. එක්කෝ මේක හරියට හදලා නෑ කියලා හිතෙයි. නැත්නමි මේක ප්ලාස්ටික්ද, කළු ගල්ද? සිමෙන්ති ද? හුණුද? පැරිස් බදාමද කියලා තටිටු කරලා බලන්න හිතෙයි. නැත්නමි මේක වටිනවා කියලා හිතෙයි. නැත්නමි වටින්නේ නෑ කියලා හිතෙයි. යමි ප්‍රථිමාවක් දුටු විට ඔබට මුලින්ම නැගී එන සිතුවිල්ල මේ වගෙ එකක් නේද?
ඇත්තවශයෙන්ම මේ සිතුවිලි සියල්ලම ක්ලේෂ ධර්මයන්. ලෝභය, ද්වේශය, මෝහය පදනමි කර ගනිමින් ඇතිවන අකුසල යන් තමයි මේ සිතේ මුලින්ම ජනිත වන්නෙ. චෛත්‍යක් දැක්ත් එහෙමයි, ලොකුයි පොඩියි, සුදුයි, පරණයි ආදි වශයෙන් තමයි සිතෙන්නේ, ආරාම මෙ හැම වස්තුවක් තුලින්ම සාමාණ්‍ය පුද්ගලයෙකුට ජනිත කර දෙනුයේ අකුසල සිතුවිලි සමූහයක්. ප්‍රඤ්ඤාව තුලින් ඒවා යටපත් කර ගනිමින් තමයි ඒ වැදුමි පිදුමි ආදිය එතකොට ඥාන සමිප්‍රයුක්ත කුසලයක් උපදවනවා නමි කරන්නට වෙන්නේ. මේ දේ හැමොටම කරන්න පහසු වන්නේ නෑ.
නමුත් බෝධියක් දුටු විට ඔබට ඇතිවන සිතුවිලි මාලාව දෙස දැන් සිතා බලන්න. ඔබටම වෙනස වැටහේවි. බොහොම මධ්‍යස්ථ උපෙක්ෂා සහගත සිතුවිලි සමූහයක් ඔබේ සිතේ ජනිත වන බැවි ඔබට දැන් මේ ළිපිය කියවමින් වුවත් අත් දකින්නට පුළුවන් වේවි. එයට හේතුව රැක්ෂයක් යන්න මිනිසුන්ට මධ්‍යස්ථ අරමුණක් විමයි. කවුරැත් සාමාණ්‍යයෙන් ගසක් දිහා බලාගෙන මේක අර කලින් පිළිමයක් දෙස බලාගෙන ඇතිකරගත් ආකාරයෙන් සිතුවිලි ඇතිකර ගන්නේ නෑ. ඒකයි සාමාණ්‍ය තත්වය. එතකොට බෝධින්වහන්සේ අසලට යන විටම සිත උපෙක්ෂාසහගතයි. නිවිලා. කුසලයක් කිරිමට සුදුසු සිතේ තැමිපත් බව ඇතිවෙලා. දැන් ඔබට තේරැමි ගන්නට පුළුවන් වෙන්නට ඒන. ඇයි සියලු කෙලෙසුන්ගෙන් මිදුන බුදුපියාණන්වහන්සේ උන්වහන්සේ දිවමන් කල මෙන්ම පරිනිර්වාණයට පත්වු කලද බෝධිය පුජනීයයි කියා දේශනා කලේ යන කරැණ.

දැන් බෝධි පූජාවේ ආනිසංශ සලකා බලමු. මේ කරැණු ඉදිරිපත් කරණුයේ අපදාන පාළිය, ථේර අපදානයේ සඳහන් කරැණු සංශේප ලෙස දක්වමිනුයි.

.
▬▬▬▬
බෝධියට පවන් සැලීමේ ආනිසංශ
සුමනවිජනිය ථෙරාපදානය
.
විපස්සී බුදුරජුන්ගේ උතුමි බොධි වෘක්‍ෂය සමීපයෙහිදී සමන් මල් විජිනියක් ගෙන මම ඒ උතුමි බෝධියට පවන් සැලීමි. මින් එක් අනූවන කපෙහි උතුමි බෝධියට පවන් සැලූයෙමිද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. පවන් සැලීමෙහි විපාකය මෙයයි. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියඵ භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැදීම සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
(අපදාන පාළිය. ථෙරාපදානය. නළමාලිය වග්ග. සුමනවිජනිය ථෙරාපදානය.)
.
▬▬▬▬
.
බෝධියට ශබිධ පූජා පැවැත්වීමේ ආනිසංශ
එක සංඛිය ථෙරාපදානය.
.
විපස්සී බුදුරජුන්ගේ මහා බෝධි පූජාවක් විය. මහජනයා රැස්ව උතුමි බෝධියට පූජා කෙරෙත්. යමි ශාස්තෘවරයෙකගේ බෝධියද මෙබදු පූජනීය වස්තුවක් නමි, ඒ උතුමා ලාමක කෙනෙකැයි නොහගිමි. බුද්ධ ශේෂ්ඨයෙක් වන්නේය.
ඉක්බිති සකක් ගෙන බෝරුක වෙත එළඹියෙමි. මුඵ දවසෙහිම එය පිඹිමින් උතුම බෝධිය වැන්දෙමි. කරන ලද එම පුණ්‍ය කර්මය මරණාසන්න කල්හි මා දෙවි ලොවට පැමිණවීය. මාගේ සිරුර අප්‍රාණිකව වැටිනි. මම දෙව් ලොව සිත් අලවා වසමි. තටුවූ, පමුදිතවූ සැටදහසක් තූර්‍ය වාදකයෝ හැමකල්හි මට උවටැන් කෙරෙත්. බුධ පූජාවෙහි මෙ විපාකයයි. එක් සැත්තෑවන කපෙහි සිව මහ දිවයින් හා සිව සයුරු කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූ, සතුරු රජුන් ජයගන්නා සුඵවූ, විශේෂයෙන් ජමබුද්වීපයට අධිපතිවූ සුදස්සන නම් සක්විති රජෙක් වීමි.
යලි එහි සප්තාංගීක තූර්‍යයෝ හැම කල්හි මා පිරිවරත්. ස්වකීය කර්මය අනුභව කරමි. බෝධි උපස්ථානයාගේ මේ විපාකයයි. දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම යම් යෝනියක උපදිම් නම්, මව් කුස පිළිසිඳ ගත්තාවූද මට හැමකල්හි භෙරීහු වාදනය කෙරෙත්. සම්බුදුරජුන් වෙත එළඹ සමපත් අනුභවකොට, අතිශයින් ක්ෂේමවූ, ශිවවූ, අමෘතවූ අචල පදය වන නිවනට පැමිණියේ වෙමි. මින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම කර්මයක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුධ පූජාවෙහි මේ විපාකයයි.
ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය.
(අපදාන පාළිය. ථෙරාපදානය. එක වීහාරීය වග්ග.)
.
▬▬▬▬
.
බෝ මළුව ඇමදීමේ ආනිසංශ
සකිංසමිමජ්ජක ථෙරාපදානය.
.
විපස්සී බුදුරජුන්ගේ උතුමිවූ පාටලී බෝධි වෘක්‍ෂ රාජයා දැක එහි සිත පැහැදවීමි. එකෙණෙහි මම මුස්න ගෙන බෝ මඵව හැමැද්දෙමි. හැමද, ඒ පළොල් බෝධියට වැන්දෙමි. මම එහි සිත පහදවා හිසෙහි ඇඟිලි බැඳ ඒ බෝධියට වඳිමින් ගෞරවයෙන් නැමුනේ ඉවත්ව ගියෙමි. මම උතුම බෝධිය ගැන සිතමින් අඩිපාරකින් යමි. එහිදී මහත් බල ඇති ඝෝර ස්වරූප ඇති පිඹුරෙක් මා පෙළීය. මරණාසන්නයෙහි මා විසින් කරණ ලද බෝධි පූජා කර්මය විපාකයෙන් මා සතටු කරවීය. පිඹුරා මාගේ ශරීරය ගිලී. මම දෙවි ලොව සිත් අලවා වසමි. මාගේ සිත හැම කල්හි නිශ්චලය. ශෝකයෙන් ඇතිවන පීඩා කිසිවක් ගැන නොදනිමි. එසේම මාගේ චිත්ත සන්තාපයක්ද නොදනිමි. කුෂ්ටය, ගණ්ඩය, කැසිලිය, අපස්මාරය, සම ගැලවී යන කුෂ්ටය, දදය, කැසුමිය යන මෙ රෝගයන් මට නැත. මෙ හැමදීමෙ විපාකයයි. ශෝකයද, වැළපීම ද මාගේ සිතෙහි නැත. ශාන්ත වූ තැති නොගත් ඍජුවූ සිත ඇත්තේ වෙමි. මෙය හැමදීමෙ විපාකයයි. සමාධීන්හි ඇලුනෙමි. සිත ප්‍රකට පැහැදිලි වේ. යමි යමි සමාධියක් කැමැත්තේ නමි, ඒ ඒ සමාධිය මට සමෘධ වේ. නොඇලිය යුතු දෙයෙහි නොඇලෙමි. මුලා නොවෙමි. මෙය හැමදීමෙහි විපාකයයි.
මින් එක් අනූවන කපෙහි යමි කර්යක් කෙළෙමද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. හැමදීමෙහි විපාකයයි.
ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය.
(අපදාන පාළිය. ථෙරාපදානය. සකිංසමි මජ්ජක වග්ග)
.
▬▬▬▬
.
බෝධියට මල් පිදීමේ අනුසස්
තිපුප්ඵිය ථෙරාපදානය.
.
මම පෙර මහ වෙනෙහි වැද්දෙක්වීමි. විපස්සී බුදුරජුන්ගේ නිල්වන්වූ පළෝල් බෝධිය දැක එයට මල් තුනක් විසිරවීමි. පිදීමි යමි කර්මයක් කෙළෙමද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. මම එකල්හි බෝකොළ සතක් අවුලා ගෙන පිටත දැමීමි. ඇතළත පිරිසිදුවූ පිටත ද පිරිසිදුවූ කෙළෙසුන්ගෙන් මැනවින් මිදුණු ආශ්‍රව රහිතවූ ලෝක නායකවූ විපස්සී බුදුරජුන් ඉදිරියෙහිදී මෙන් පළොල් බෝධිය වැඳ මම එහි කඵරිය කෙළෙමි.
මින් එක් අනූවන කපෙහි යම බෝධි පූජාවක් කෙළෙද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මෙ විපාකයයි.
මින් තෙතිස්වන කපෙහි මහත් බල ඇති සමන්ත පාසාදිකා නමි වූ සක්විති රජවරු තෙළෙස් දෙනෙක් වූහ. මේ සිව පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
(අපදාන පාළිය. ථෙරාපදානය. සුධාපිණ්ඩිය වග්ග.)
.
▬▬▬▬
.
බෝධියට සුවඳ පැන් පිදීමේ අනුසස්
ගන්‍ධාදකිය ථෙරාපදානය.
.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ මහාබෝධි නමි මහබෝ පූජාවක් විය. විසිතුරු කළයක් ගෙන මම එහි සුවඳ පැන් වත්කෙළෙමි.
බෝධිය නාවන කල්හි මහ වැසි වැස්සේය. හෙන පුපුරණ කල්හි මහත් ශබිදද විය.
එම අසනි වේගයෙන් (හෙන පහරින්) එහිම කඵරිය කෙළෙමි. මම එකෙණෙහි දෙව් ලොව උපන්නේ මෙම ගාථාවන් කීමි.
සර්වඥ තෙම ආශ්චර්‍යයකි. ධර්මය ආශ්චර්‍යයකි. අපගේ සාස්තෲ සමිපත්තිය ආශ්චර්‍යයකි. මාගේ සිරුර හෙන පහරින් ඇදවැටුනි. ඉන් චුතවූ මම දෙවලොව සිත් අලවා වසමි. පැන නැගනාවූ මාගේ සත්බුමු විමන උස්ව නැගනේය. හැම කල්හි සියක් දහසක් කන්‍යාවෝ මා පිරිවරත්. මට ආබාධයෝ නොවෙත්. මට ශෝකයත් නැත. පරිළාහයන් තැවීමක් නොදකිමි. පුණ්‍ය කර්මයාගේ මෙ විපාකයයි.
දෙදහස් අසූවන කපෙහි සත්රුවනින් යුක්තවූ මහත් බල ඇති සංවසිත නමි සක්විතිරජෙක් වීමි.
(අපදාන පාළිය. ථෙරාපදානය. වීජනි වග්ග.)
.
▬▬▬▬
.
බොධියට ධජ පූජා කිරීමේ හා පිරිසිදු කිරීමේ අනුසස්.
ධජදායක ථෙරාපදානය.
.
මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ උතුම බෝරුකෙහි සතටුවූයේ, සතටු සිතින්ම ධජයක් නැගීමි. බෝධියෙන් වැටුණු කොළ ගෙන පිටතට බැහැර කරවීමි. ඇතළත පිරිසිදු පිටතද පිරිසිදු විශේෂයෙන් කෙළෙසුන්ගෙන් මිදිණු ආශව රහිතවූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි මෙන් උතුම බෝධිය වැන්දෙමි. පූජාවන් පිළිගන්නාවූ නොහොත් ලෝවැස්සනගේ පූජාවන්ට ගෙයක් වැනිවූ ශාස්තෘවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මේ ගාථා වදාළ සේක. මෙම ධජ දානයෙන්ද බෝපත් බැහැර කිරීම වශයෙන් කළ උපස්ථානයෝද යන මෙ දෙකින් හෙතෙම කල්ප ලක්‍ෂයක් මුඵල්ලෙහි දුගතියට නොයයි. දෙවියන් අතර බොහෝවූ දිව්‍ය සෞභාග්‍ය සමිපත් අනුභව කරන්නේය. නොයෙක් සිය ගණන් වාරයක්හි රටෙහි රජ වන්නේය. නමින් උග්ගත නමිවූ සක්විති රජෙක්ද වන්නේය.
කුශල මූලයන් මෙහෙයන ලදුයේ සම්පත් අනුභවකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි සිත් අලවා වාසය කරන්නේය කියායි. උපශාන්තවූයේ, උපධි රහිතවූයේ වඩනා ලද වීර්‍ය ඇත්තේ වෙමි. සර්වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි.
(අපදාන පාළිය. ථෙරාපදානය. )
.
▬▬▬▬
.
බෝධි රෝපණයේ ආනිසංශ
අසනබෝධිය ථෙරාපදානය.
.
උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම තිස්ස බුදුරජාණන් වහන්සේ දිටිමි. පහන් සිත් ඇත්තේ, සොමනස්වූ මම තථාගතයන් වහන්සේ වෙත එළඹුනෙමි.
ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගණ ඇති, තිස්ස බුදුරජාණන් වහන්සේට සතුටුවූයේ, සතටු සිතින් උන්වහන්සේගේ බෝ රුකින් ඵලයක් ගෙන උතුමි බෝධියක් රෝපනය කෙළෙමි. නමින් අසන (පියා) නමවූ බෝධි වෘක්‍ෂයයි. එම උතුම බෝරුක පස්වසක් පිරිවරණය කෙළෙමි පිදීමි. ආශ්චර්‍යවූ, ලොමු දැහැ ගන්වන්නාවූ, පිපිනු පියා බෝ රුක දැක ස්වකීය කර්මය ප්‍රකාශ කරන්නේ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹුනෙමි. එකල්හි සියල්ල තෙමෙ දැනගත්තාවූ, අග්‍ර පුද්ගලවූ, ඒ තිස්ස සර්වඥ තෙමෙ භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මෙම ගාථාවන් වදාළ සේක. යමෙක් විසින් මෙම බෝධිය රෝපණය කරණ ලදද, බුද්ධ පූජාව මැනවින් කරණ ලදද, මම ඔහු කවරෙක්දැයි ප්‍රකාශ කරන්නෙමි. ප්‍රකාශ කරන්නාවූ මාගේ වචනය අසවි.
හෙතෙම තිස් කපක් දෙවියන් අතරෙහි දිව්‍ය රාජ්‍යය කරන්නේය. සූ සැට වරක් සක්විති රජ වන්නේය. කුශල මූලයෙන් මෙහෙයන ලද්දේ, තුෂිත දෙව් ලොවින් චුතව, දිව්‍ය මනුෂ්‍ය සමපත් දෙක අනුභව කොට මිනිසත් බැව්හි සිත් අලවා වසන්නේය. වීර්‍යයෙන් මෙහෙයන ලද සිත් ඇති, උපශාන්තවූ, උපධි රහිතවූ, හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන දුරුකොට ආශව රහිතව පිරිනිවන් පාන්නේය කියායි.
විවෙකයෙහි යෙදුනේ, උපශාන්තවූ, උපධි රහිතවූ මම හස්ති රාජයෙකමෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
මින් දෙඅනූවන කපෙහි වූ, එකල්හි එම පියා බෝධිය රෝපණය කෙළෙමි. ඒ හේතවෙන් දුගතියක් නොදනිමි. බෝධි රෝපනයෙහි මෙ විපාකයයි.
(අපදාන පාළිය. ථෙරාපදානය.)
ප්‍රිය මිතුරනේ අපදාන පාළියේ තවත් බෝධි පුජා ආනිසංශ දැක්වෙන අපදාන දක්වා ඇතත් මෙහිදී දක්වා ඇත්තේ වර්ථමානයේ ජනප්‍රිය වූ පූජාවන් හා සමිබන්ධ වූ ආනිසංශ දැන්වෙන අපදානයි. කෙසේ වෙතත් මෙහිදී ඉහත අපදානයන්ගේ ඒ ඒ කතාවේ වර්ණ කර ඇති කොටස් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමටයි මේ සූදානමි වනුයේ.

එක් එක් අපදානයෙන් උපුටන ලද මේ කොටස් දෙස බලනා විට ඔබට හැඟී යන්නේ කුමක්ද? ආශ්‍රවයන්ගෙන් මිදුනාවු මේ රහතුන්වහන්සෙලා ඒ උත්තම වූ පුන්‍ය කර්මය කිරීමෙ දී මෙනෙහි කර අත්තේ අන් කිසිවක් නොව බුදු ගුණමය, දහමි ගුණමය, සඟුන් ගුණමය.ඒ තමයි තුන්රැවණ කෙරෙහි වන්නාවු පැහැදීම. ඒ පැහැදීම තුලින්මයි මේ ලැබුවා වූ සැප සමිපත් ලැබුවේ. ඒ පැහැදීම තුලිමයි ඒ පුජාවන් සිදුකලේ, ඒ පැහැදීම තුලින්මයි ඒ සංස්කාර රැස් කලේ, ඒ පැහැදීම තුලින් මයි සියළු දුකින් මිදුනාවු පරම ශාන්ත වූ, සියළු සුඛයන් පැරයූ, උතුමි වූ නිවනින් නිවී සැනසුනේ.මෙවන් ආශ්චර්‍යක් සිදු කලේ ‍බෝරැකක් නෙමයි ඒකාන්ත වශයෙන් තුන්රැවන කෙරෙහි ඇතිකර ගත්තාවූ පැහැදීමයි, ශ්‍රද්ධාවයි. මේ කරැණ වැටහෙන්නට ඇති යන්නයි අපගේ අදහස.
.
සාරංශය.
.
01)කුසල් හට ගන්නෙත් අකුසල හට ගන්නේත ස්වකීය චිත්ත චෛතසික පරමිපරාව තුල විනා බෝගස තුල නොවේ.

02)බෝධි පුජෘවකින් යමි ආශ්චර්‍යමත් ඵලයක් යමෙක් ලැබුවා නමි එසේ ලබන්නේ නමි එය තුන්රැවන නිසාම සිදු වන්නකි.

03)බෞද්ධයන් බෝධියට පූජා කරනුයේ “ගසක් වදිමි” යන අර්ථයෙන් නොව. ඒ තුලින් කාටත් කුසල් කිරීමට පහසු වන ශාන්ත වු අරමුණක් ජනිත කර ගැනීමට පහසු බැවිනි.

04)එබැවින් බෝධි පුජා පමණක් නොව කුමන කුසලයක් කලද ඒවා අලෝභ, අදෝශ, අමෝහ යන කුසල මූලයන් හැකි පමණ ඇතිවන සේ කල යුතුය.
.
ඔබ සැමට නිවනින් නිවී සැනසීමට මේ කුසලයන් හේතු වාසනා වේවා!!
තෙරැවන් සරණයි!
.
උපුටා ගැනීම මුදුන පිටුවෙනි. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook August 29, 2016 at 12:00PM

භාර්යා වර්ගීකරණයයි ඔවුන්ගේ චරිත ලක්‍ෂණයි
.
සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන සත්තභරියා සූත්‍රය ඉතා අගනා සමාජ දර්ශනයක් ඉදිරිපත් කරයි. එම සූත්‍රය මනුෂ්‍ය සමාජයේ ගෘහ ජීවිත සම්බන්ධයෙන් අමිල වටිනාකමක් ඇති භාර්යා වර්ගීකරණයක් (Classfication of wives) සහ ඔවුනගේ චරිත ලක්‍ෂණ විවරණයක් (Interpretation of Characteristices) ද ගෙනහැර දක්වයි.සූත්‍රයේ අන්තර්ගතය හා කථා පුවත මෙසේ ය.

එක් කලෙක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වාසය කරන කල්හි අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසට වඩියි. සුදුසු ලෙස පැන වූ ආසනයෙහි බුදුරදුන් වැඩ සිටියහ. එම අවස්ථාවෙහි සිටුතුමාගේ නිවසෙහි මිනිස්සු උස් හඬින් මහහඬින් කථා කරමින් සිටියහ.

එවිට අනේපිඬු සිටුතුමා බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක වාඩි විය. එම අවස්ථාවේදි බුදුරදුන් සිටුතුමාගෙන් මෙසේ විචාළේය.

“ ගෘහපතියෙනි, කුමක් හෙයින් ද ඔබගේ නිවසේ මිනිස්සු මසුන් මරන්නන් මාළු ගොඩගත් තැන ඇතිවනවා මෙන් උස් හඩින් ඝෝෂා කරන්නේ?”

“ ස්වාමීනි , සුජාතා නම් කුල දුවණියක් ආඪ්‍ය කුලයකින් (From a wealthy family) ගෙන ආවා. ඇය මේ මාගේ නැන්දණිය කියා හෝ මේ මාගේ මාමණ්ඩිය කියා හෝ නොසලකයි. මේ මාගේ ස්වාමියා නේද කියා හෝ නොතකයි. භාග්‍යවතුන් වහන්සේට හෝ සත්කාර ගරුකාර නොකරයි.

නො පුදයි. “ මේ මහා ශබ්දය ඇය සේවකයන්ට අමතන ශබ්දය හා ඒ අය අමතන ශබ්දයි. (මෙහි සුජාතා යනු විශාඛාවන්ගේ බාල නැගණියයි. එසේම ඇය ධනඤ්ජය සිටුතුමාගේ දුවණිය යි) මෙම පුවත බුදුරදුන්ට සැල කරන අවස්ථාවේදී පවා ඇය එම නුදුරෙහි සිටගෙන, සිටුවරයා තමාගේ ගුණ කියනවා ද අගුණ කියනවාද යැයි අසාගෙන සිටියාය.

එවිට බුදුරදුන් “ සුජාතාවනි මෙහි එව” යැයි ඇමතු සේක.

සුජාතාව බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක වාඩි වූ අතර බුදුරදුන් ඇයට ලොවෙහි භාර්යාවන් පිළිබඳ ධර්ම දේශනයක් කළහ.

මේ සූත්‍රයට අනුව ලෝකයේ භාර්යාවරුන් සත්දෙනෙක් වෙති. එනම්.

වධකසමා – වධක වැනි භාර්යාව
චොරිසමා – සොර භාර්යාව
අය්‍යසමා – ආර්ය්‍යා භාර්යාව (ස්වාමියා මැඩගෙන සිටීම)
මාතුසමා – මව හා සමාන භාර්යාව
භගිනි සමා – සොයුරිය හා සමාන භාර්යාව
සඛීසමා – යෙහෙළියක බඳු භාර්යාව
දාසිසමා – දාසි භාර්යාව ය

භාර්යාවරු සත්දෙනා හඳුන්වා දී ඔවුන් අතුරෙන් ඔබ කවරෙක් වෙහි ද? විචාළ සේක.

එවිට ඇය “ ස්වාමීනී , එම දේශනාවේ අර්ථය මම නොදනිමි” යි ද එය සවිස්තරාත්මකව දේශනා කරනු මැනවි යයි ද කීවා ය. එවිට බුදුරදුන් සත්ත භාර්යාවන්ගේ ගුණ අගුණ ප්‍රකාශ කළ හ. ඒ අනුව භාර්යාවරුන්ගේ ලක්‍ෂණ මෙසේය.

▬▬▬▬

1. වධක භාර්යාව
1. ප්‍රදුෂ්ට සිත් ඇතිවීම
2. හිතානුකම්පී නැතිවීම
3. පරපුරුෂයන් කෙරෙහි ඇලීම
4. සැමියා ඉක්මවා සිතීම
5. වධ කිරීමට උත්සුක වීම

▬▬▬▬

2. චෞර භාර්යාව

1. ශිල්ප ශාස්ත්‍ර වෙළහෙළදාම් හෝ ගොවිකම් කටයුතු ආදියෙන් සැමියා උපයන ධනය අල්පයක් හෝ පැහැර ගැනීමේ සිතින් කටයුතු කිරීම

▬▬▬▬

3. ආර්ය්‍යා භාර්යාව

1. කළ යුතු දේ නොරුස්සයි
2. අලස වීම
3. බොහෝකොට අනුභව කිරීම
4. රළුවීම
5. සැඩවීම
6. කැකුළු වචන (කර්කශ වචන) කීම
7. ස්වාමියා මැඩගෙන සිටීම

▬▬▬▬

4. මාතු භාර්යාව

1. හිතානුකම්පී ඇතිවීම
2. මවක් පුතකු රක්නා සෙයින් සැමියා රැකීම
3. උපයන ලද ධනය රැකීම

▬▬▬▬

5. භගිනි භාර්යාව

1. ස්වාමියා කෙරෙහි ගෞරව සහිත වීම
2. ජ්‍යෙෂ්ඨ සහෝදරයා කෙරෙහි කනිෂ්ට සොයුරිය සේ කටයුතු කිරීම
3. ලජ්ජා සිත් ඇතිවීම
4. ස්වාමියාගේ වශයෙහි අනුව පැවතීම

▬▬▬▬

6. සඛී භාර්යාව

1. ස්වාමියා දැකීමෙන් ප්‍රමුදිත වීම
2. කුල සපන් වූවා වීම
3. සිල්වත් වීම
4. පතිව්‍රතාව රක්‍ෂා කිරීම

▬▬▬▬

7. දාසි භාර්යාව
1. දඬු ගෙණ තර්ජනය කළ ද නොකිරීම
2. දුෂ්ට සිත් නැතිවීම
3. ස්වාමියා හට ක්‍ෂමා කිරීම
4. නොකිපෙන සුලුවීම
5. ස්වාමියා වශයෙහි පැවතීම

මේ ලෝකයේ වධක භාර්යාවරු ද, චොර භාර්යාවරුද, ආය¸ා භාර්යාවරු ද, දුස්සීල හෙයින් මරණින් මතු අපාගත වෙති. මේ ලෝකයේ මාතෘ භාර්යාවරු ද භගිනි භාර්යාවරු ද සඛී භාර්යාවරු ද දාසි භාර්යාවරු ද සිල්වත් බැවින් මරණින් මතු සුගතියට යති.

මෙම ලක්‍ෂණ පැහැදිලි කිරීමෙන් පසු බුදුරදුන් යළිත්, “ඔබ කවරෙක් වෙයි ද? “ සුජාතාවගෙන් විමසූ කල්හි ඇය මෙසේ කීවාය.

“ස්වාමීනී, මම අද පටන් මාගේ සැමියාගේ දාසියක හා සම වූ භාර්යාවක් වෙමි ” සත්තභරියා සූත්‍ර දේශනාව අවසානයේ අතිශින්ම ප්‍රගල්භ ගති ඇති ව සිටි සුජාතා ගෘහපති දියණිය නිහතමානි ගති ඇති දාසි භාර්යාවක් බවට පත්වීමට අදිටන් කර ගත්තාය. වර්තමාන සමාජය තුළ දුර්ගුණ ගති ඇති කාන්තාවන්ගේ හැසිරීම විමසා බලන කල්හි වධක චෞරී අර්ය්‍යා භාර්යාවරු ඒ අතර සිටින බව ඉතා පැහැදිලිය.

එසේම මාතු භගිනි, සඛී , දාසි භාර්යාවරු ද අප සමාජයේ සමාජ ප්‍රගමනයට , සමාජ සදාචාරයට උතුම් කාර්යභාරයක් ඉටුකරති. විෂම ගති ඇති, බිඳ වැටුණු පවුල් පරිසරයක් නිමැවෙන්නේ දුර්ගුණ ගති ඇති කාන්තාවන්ගෙනි.

උතුම් ගති ඇති භාර්යාවරු සැමවිටෙක ම උදාර ශිෂ්ටාචාරයක නිර්මාණාත්මක බලවේගය නියෝජනය කරති.

සත්තභරියා සූත්‍රය ඇසුරෙනි
.
මුදුන පිටුවෙනි via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook August 28, 2016 at 12:00PM

අරක සූත්‍රය -> http://ift.tt/2bQvUwX

’’මහණෙනි, පෙර වනාහි කාමයන්හි වීතරාග ඇති, තීර්ත්‍ථක නායකවූ, අරක නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, අරක ශාස්තෘවරයාට බොහෝ සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. අරක ශාස්තෘ තෙම, බ්‍රහ්ම ලෝක ගමන පිණිස ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කළේය. අරක ශාස්තෘවරයා එසේ ධර්මය දේශනා කරද්දී, යම් කෙනෙකුගේ සිත් නොපැහැදුණේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ අයහපත් ගති ඇති, නපුරුසේ පතිතවන නරකයෙහි උපන්හ. මහණෙනි, අරක ශාස්තෘවරයා ධර්මය දේශනා කරද්දී යමෙකුගේ සිත් පැහැදුනේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්‍ග ලෝකයෙහි උපන්හ.’’
’’මහණෙනි, කුමකැයි සිතන්නහුද? කාමයන්හි වීතරාග ඇති නොයෙක් සිය ගණන් ශ්‍රාවකයන් සහිත සමූහයා පිරිවැරූ තීර්ත්‍ථක නායකවූ මේ සප්ත ශාස්තෘවරයන් කෙරෙහි යමෙක් දුෂ්ටවූ සිතින් ආක්‍රොශ කරන්නේ නම්, බණින්නේ නම් හෙතෙම බොහෝ පව් රැස් කරන්නේද?’’ – ’’එසේය ස්වාමිනි.’’
’’මහණෙනි, යමෙක් වනාහි කාමයන්හි වීතරාගීවූ නොයෙක් සිය ගණන් ශ්‍රාවයන් සහිත සමූහයා පරිවැරූ තීර්ත්‍ථක නායකවූ මේ සප්ත ශාස්තෘවරයන් කෙරෙහි දුෂ්ටවූ සිතින් ආක්‍රෝෂ කරන්නේ නම් බණින්නේ නම් හෙතෙම බොහෝ පව් රැස් කරන්නේය.
’’යමෙක් එක්තරා සම්‍යක් දෘෂ්ටියෙන් යුත් පුද්ගලයෙකුට ආක්‍රෝෂ කරන්නේ නම් බණින්නේ නම් මේ තෙමේ එයට වඩා බොහෝ පව් රැස් කරන්නේය. එයට හේතු කවරේද? යම්සේ මාගේ සබ්‍රහ්මචාරීන් කෙරෙහි මෙන් මේ ශාසනයෙන් අන්‍යවූවන් කෙරෙහි මෙබඳුවූ ඉවසීමක් මම නොකියමි. මහණෙනි, එහෙයින් මෙහිලා හික්මිය යුතුය. මාගේ සබ්‍රහ්මචාරීන් කෙරෙහි සිත් ප්‍රදූෂ්‍ය වන්නේද කියායි. මහණෙනි, යුෂ්මතුන් විසින් මෙසේ හික්මිය යුතුය.
’’මහණෙනි, පෙර වනාහි කාමයන්හි වීතරාග ඇති තීර්ත්‍ථක නායකවූ අරක නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, අරක ශාස්තෘවරයාට නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. අරක ශාස්තෘ තෙම ශ්‍රාවකයන්ට මෙසේ ධර්‍මය දේශනා කළේය. ’බ්‍රාහ්මණයෙනි, මිනිසුන්ගේ ජීවිතය (2) ස්වල්පය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
’’බ්‍රාහ්මණයෙනි, යම් සේ තණ අග පිනි බිඳ හිරු නැගෙන කල්හි වියලී යේද, ස්ථිරව නොපිහිටියේ වේද, එපරිද්දෙන්ම බ්‍රාහ්මණයෙනි, මිනිසුන්ගේ ජීවිතය තණ අග පිනි බිඳ සමානය. ස්වල්පය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
’’බ්‍රාහ්මණයෙනි, යම් සේ ලොකු පොද ඇති වැස්ස වසින කල්හි ඇතිවන දිය බුබුල වහා නැති වේද, බොහෝ වේලා නොපවත්නේද, බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන්ම මිනිසුන්ගේ මේ ජීවිතය දිය බුබුලට සමානය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
’’බ්‍රාහ්මණයෙනි, යම් සේ දියෙහි ඇඳි (රේඛාව) ඉර වහාම මැකීයේද, බොහෝ කල් නොපවත්නේද, එපරිද්දෙන්ම බ්‍රාහ්මණයෙනි, මිනිසුන්ගේ ජීවිතය දියෙහි ඇඳි ඉරට උපමා කටයුතුය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
’’බ්‍රාහ්මණයෙනි, යම් සේ පර්‍වතයෙන් පටන්ගත් ගඟ දුර ගමන් ඇත්තේ වහා ගමන් කරන්නේ සීඝ්‍ර සැඩ පහර ඇත්තේ ක්‍ෂණයක් හෝ ක්‍ෂණ දශයක් හෝ මොහොතක් හෝ ගලා බසී නම් එය ගමන් කෙරේමය. වෑහේමය. පවතීමය. බ්‍රාහ්මණයෙනි, එමෙන්ම මිනිසුන්ගේ ජීවිතය පර්‍වයකින් පටන් ගන්නා ගඟකට සමානය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
’’බ්‍රාහ්මණයෙනි, ශක්තිමත් පුරුෂයෙක් දිව අග කෙළ පිඩක් එකතුකොට වහාම කෙළ ගසන්නේද, බ්‍රාහ්මණයෙනි, එමෙන්ම බ්‍රාහ්මණයෙනි, මිනිසුන්ගේ ජීවිතය කෙළ පිඩක් සමානය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
’’බ්‍රාහ්මණයෙනි, දවසක් ගිනියම්වූ යකඩ කබලෙහි මස් කැටියක් තබන ලද්දේ වහාම විනාශවී යේද, බොහෝ කල් නොපවතීද, බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන්ම මිනිසුන්ගේ ජිවිතය මස් පිඩකට උපමා ඇත්තේය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
’’බ්‍රාහ්මණයෙනි, යම් සේ මරණයට නියමවූ ගව දෙන මරණ ස්ථානයට ගෙන යන කල්හි යම් යම් ඒ පාදයන් ඔසවාද මරණ ස්ථානයට ලංවේ. එහෙයින්ම මරණයටද ළංවේ. බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන්ම මිනිසුන්ගේ ජිවිතය මරණයට ගෙන යන දෙනකට සමානය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
’’එකල්හි වනාහි මිනිසුන්ට සැට දහසක් අවුරුදු ආයු ප්‍රමාණය විය. අවුරුදු පන්සියයක්වූ කුමාරිකාවෝ පුරුෂයෙකුට පාවා දිමට යෝග්‍ය වුහ. මහණෙනි, එසමයෙහි මිනිසුන්ට ආබාධ සයක් (පමණක්) විය. එනම්, ශීතල, උෂ්ණය, බඩගින්න, පිපාසය, මල මූ කිරීම යනුයි. මහණෙනි, මෙසේ දීඝායුෂ්කවූ, මෙසේ චිරස්ථායීවු, මෙසේ අල්පාබාධවූ මිනිසුන් ඇති කල්හි ඒ අරක ශාස්තෘ තෙම මිනිසුන්ට මෙසේ ධර්මය දේශනා කරන්නේය.
’’බ්‍රාහ්මණයෙනි, මිනිසුන්ගේ ජීවිතය ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
’’මහණෙනි, මේ කාලයෙහි වනාහි මිනිසුන්ගේ ජීවිතය ස්වල්පය. ස්වල්ප කාලයක් පවත්තේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල් ඇත්තේය. කුසල් කළ යුතුය. බඹසර හැසිරිය යුතුය. උපන්නහුට නොමැරීමක් නැත යනු සත්‍ය ලෙසම කියන්නේය.
’’මහණෙනි, මේ කාලයෙහි වනාහි යමෙක් බොහෝ ජීවත් වන්නේද, අවුරුදු සියයක් හෝ එයට ස්වල්පයක් අඩුව හෝ වැඩිව වෙයි. මහණෙනි, අවුරුදු සියයක් ජීවත් වන්නෙක් ඎතු තුන් සියයක්ම ජීවත් වෙයි. හේමන්ත ඎතු සියයක්ද, ගිම්හාන ඎතු සියයක්ද, වස්සාන ඎතු සියයක්ද යන ආකාරයෙනි. මහණෙනි, ඎතු තුන් සියයක් ජීවත් වන්නෙක් මාස එක් දහස් දෙසියයක් ජීවත් වෙයි. හේමන්ත ඎතුවෙහි සාර සියයක්ද, ගිම්හාන ඎතුවෙහි සාර සියයක්ද, වස්සාන ඎතුවෙහි සාර සියයක්ද යන ආකාරයෙනි. මහණෙනි, මාස එක්දහස් දෙසියයක් ජීවත් වන්නෙක් අර්‍ධ මාස දෙදහස් සාරසියයක් ජීවත් වෙයි. හේමන්තයේ අර්‍ධ මාස අටසියයකි. ගිම්හානයේ අර්‍ධ මාස අටසියයකි. වස්සානයේ අර්‍ධ මාස අටසියයකි. මහණෙනි, අර්‍ධ මාස දෙදහස් සාර සියයක් ජීවත් වන්නෙක් රාත්‍රි තිස්හය දහසක් ජීවත් වෙයි. හේමන්තයේ රාත්‍රි දොළොස් දහසකි. ගිම්හානයේ රාත්‍රි දොළොස් දහසකි. වස්සානයේ රාත්‍රි දොළොස් දහසකි. මහණෙනි, රාත්‍රි තිස්හය දහසක් ජිවත් වන්නෙක් දෙසැත්තෑ දහසක් බත් (වේල්) අනුභව කරයි. හේමන්තයෝ බත් වේල් විසිහතර දහසකි. ගිම්හානයේ බත් වේල් විසිහතර දහසකි. වස්සානයේ බත් වේල් විසිහතර දහසකි. මේ මවගෙන් කිරි බීමද බත් නොලැබීමද සමගමය. එහි මේ භත්තන්තරායෝ නම් කිපියේද, බත් අනුභව නොකරයි. දුක් වූයේද බත් අනුභව නොකරයි. ලෙඩ වූයේද බත් අනුභව නොකරයි. උපොසථික වූයේද බත් අනුභව නොකරයි. නොලැබුනේද වූයේද බත් අනුභව නොකරයි.
’’මහණෙනි, මවිසින් මෙසේ අවුරුදු සියයක් ආයු ඇති මිනිසකුගේ ආයුෂද දක්වන ලදී. ආයු ප්‍රමාණයද දක්වන ලදී. ඎතූහුද දක්වන ලදී. සංවත්සරද දක්වන ලදී. මාසයෝද දක්වන ලදී. අර්‍ධ මාසයෝද දක්වන ලදී. රාත්‍රියද දක්වන ලදී. බත් (වේල්) ද දක්වන ලදී. භත්තන්තරායෝද (-ආහාර වැරදීම්) දක්වන ලදී. මහණෙනි, ශාස්තෘන් වහන්සේ විසින් යමක් කළ යුතු නම් ශ්‍රාවකයන්ට හිත ඇතිව, අනුකම්පාව උපදවා එය යුෂ්මතුන්ට සිදු කරණ ලදි. මහණෙනි, මේ රුක් මුල්ය, මේ ශූන්‍යාගාරයෝය, ධ්‍යාන කරව්. ප්‍රමාද නොවව්. පසුව විපිළිසර නොවව්. මෙ තොපට අපගේ අනුශාසනාවයි.’’ via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook August 27, 2016 at 12:00PM

සියලු අකුසලයන්ට මෝහය මුල් වන ආකාරය.
මෝහය නැසීමට ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගත යුතුය. ඒ සඳහා එක්වන්න http://sudassana.org සමග. එහි දේශනා වලට සවන්දෙන්න. එහි පොතපත කියවන්න. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook August 26, 2016 at 12:00PM

චෛත්‍ය තැනීමට දායකත්වය ලබාදීමේ ආනිසංස.

මේ කාලසීමාවේදී ලංකාදීපයේ ස්ථාන කිහිපයකම ලොව්තුරා අංගීරස වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ උදෙසා මහා ස්ථූපයන් ගොඩනැංවෙමින් පවතිනවා. අප මේ ස්ථූප තැනීමේදී දායකත්වය ලබාදෙන විට අපගේ සිතේ, මා මේ තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා උදෙසායි මේ පින්කම කරන්නේ. එහෙමත් නැත්නම් ඒ ශ්‍රාවක උතුමන් වහන්සේ උදෙසායැයි මේ ස්ථූපයට උදව් උපකාර කරන්නේ කියන අදහසින් කරනවා නම් ඒ තුළින් අපට අප්‍රමාණ ප්‍රන්‍යස්කන්ධයක් රැස් වෙනවා.

මේ ගැන විශේෂ තොරතුරු ඛුද්දක නිකායට අයත් අප දාන පාලියේ සඳහන් වෙනවා. ගෞතම බුදු සසුනේ නෙකෙළෙස් වූ උතුම් රහතුන් වහන්සේලා අතීතයේ උන්වහන්සේලා ගේ ජීවිත ගතකළ ආකාරය. උන්වහන්සේලා කල්ප ගණනක් ආපස්සට අතීතය දැකලා පෙන්වා දෙනවා මම අතීතයේදී ස්ථූප රාජයාණන් වහන්සේට චක්‍රයක් පූජා කළා, වස්ත්‍රයක් පූජා කළා.

එයින් රැස් වූ පුණ්‍යස්කන්ධයේ විපාකයක් ලෙස මේ ආකාරයට දුගතියේ නොයා බොහෝ කාලයක් සුගතියේ ඉපදිලා පසුකලකදී බුදු සසුනේ උතුම් ධර්මාවබෝධය ලැබීමට පවා ඒ පින හේතු වූ බව. එනිසා ස්ථුපයකට මොනයම් අයුරින් හෝ දායකත්වය ලබාදෙන සැදැවතුන්ට බොහෝ පින් එක්රැස් වෙනවා. එපමණක් නොවේ තැනූ චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් කෙනෙක් දැකබලා සිත පහදවා ගෙන වන්දනා මාන කළද එයින් බොහෝ පින් එකතු වෙනවා.

ඒ පිළිබඳව ඛුද්දක නිකායට අයත් විමාන වත්ථු හි සඳහන් වෙනවා එක්තරා ස්ත්‍රියක් වැටකොලු මල් හතරක් ධාතු ස්ථුපයකට පූජා කරන්නට යද්දී ගව දෙනක්ගේ පහර කා මරණයට පත්වෙලා ඒ මොහොතේදීම තවුතිසා දිව්‍ය ලෝකයේ උපත ලබනවා. ස්වර්ණ වර්ණ වූ සියලු ආභරණ ඒ වගේම සියලු වස්ත්‍ර සහිතව සෝබමාන සිරුරකින් යුතුවයි එහි ඉපදුනේ. ඇයගේ සැප සම්පත් දැකලා ශක්‍ර දේවේන්ද්‍රයා ඒ ගැන විමසද්දී ඒ දෙව්දුව පැවසුවේ තථාගතයන් වහන්සේ ගේ ධාතු ස්ථූපයකට වැටකොලු මල් පූජා කරන්න යද්දී තමයි කලුරිය කළේ.

ඒ තුළින් රැස් වූ ප්‍රන්‍ය විපාක තමයි අත් විඳින්නේ කියලා. එසේ පින් එලදෙන ආකාරය විමාන වන්ථු පාලියේ පැහැදිලිව සටහන් වී තිබෙනවා. එහි තැනක සඳහන් වෙනවා “දාගැබ් වහන්සේලාට, ගුණවත් සංඝයාට, ආගන්තුකයන්ට, මව්පියන්ට, වැඩිමහළු පිරිසට දන්දීමේ ගෞරව කිරීම් ආදිය කරනවා නම් මේ පුන්‍ය නිධානය කාටවත් සොරකම් කරන්න බෑ කියලා. පරලොව යද්දී එය තමාගේ පස්සෙන්ම එනවා. දෙවි මිනිසුන්ට තමන් කැමති කැමති හැම තැනම ලබා දෙන්නේ මේ පුන්‍ය නිධානයෙන් බව. ඔබ ස්ථුපයක් තැනීමට උදව් උපකාර කළ පින මේ ථේරපදානයන් කියවා මෙසේ තේරුම් ගන්න.

01. පභංකර ථේරාපදානය

පදුමුත්තර බුදුරජුන්ගේ ස්ථූපයක් චණ්ඩ මෘගයන්ගෙන් ගැවසී ගත් මහා වනයෙහි විය. චෛත්‍යය වඳිනු සඳහා යාමට කිසිවෙක් සමත් නොවීය. එම චෛත්‍යය තණ, දර, ලිය වෙලුනු බිඳී ගිය එකක් විය.
මම වනයේ කටයුතු කරන වන කාර්මිකයෙක් වීමි. මම එම බුදුරජුන්ගේ ධාතු නිදන් කළ සෑය දැක, ඒ කෙරෙහි ගෞරව චිත්තයක් ඉපිදවීමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වයහන්සේගේ මෙම ස්ථූපය පිරිසිදු නොකර අන් කටයුතු වල යෙදෙන්නේ නම්, එය නුදුසුදුයි සිතා මම චෛත්‍යයෙහි වූ කොළද, දරද, වැල්ද, පිරිසිදු කොට ගලවා දමා අටවරක් නැවුණේ, උක්කුටියෙන් හිඳ වැඳ ගියෙමි. මැනවින් කරන ලද එම කර්මය කරණ කොට ගෙනද චිත්ත ප්‍රීතියෙන් කළ පැතුම කරණ කොට ගෙනද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොව උපත ලැබුවෙමි. එහි මට මැනවින් කරන ලද විමානය රුවන්මුවාය. පැහැ විහිදෙන්නේය. සැට යොදුන් උසය. තිස් යොදුන් පළලය. මම තෙසිය වරක් දිව්‍ය රාජ්‍ය කරවීමි. පස්විසි වරක් සක්විති රජවීමි.

මම කුදු මහත් භවයන්හි සැරිසරමින් මහත් භෝග ලැබීමි. මාගේ භෝග සම්පත්තියෙහි අඩු බවක් නම් නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ. දෝලාවකින් හෝ ඇතුපිටින් වනයෙහි ගමන් කරන්නා වූ මට එහි යම් යම් දිශාවකට ගමන් කළෙම්ද වනයම මට පිහිට ඇතිකරයි. එසේ යන කල්හි කණුවක් හෝ කටුවක් හෝ මම ඇසින් නොදකිමි. චෛත්‍ය පිරිසිදු කිරීමේ විපාකයෙන් එම කණු කටු තෙමේම ඉවත් වෙයි. කුෂ්ඨද සිරුරෙහි හැදෙන ගඩ ගෙඩිද, කිලාසනම් කුෂ්ඨ විශේෂයද, අපස්මාරයද, මීමැස්මොරයද, විතච්ඡිකානම් කුෂ්ඨද, දද ද, කැසිලි ද මට නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ.
බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මාගේ සිරුරෙහි, හටගත්තා වූ ස්වල්ප මාත්‍රවූ ද බිබිලක්ද නොදකිමි.
බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් දිව්‍ය වූද මනුෂ්‍ය වූද භව දෙකෙහි පමණක් සැරි සැරුවෙමි.
බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මම හැම තන්හි රුවන්වන් වූයේද පැහැ පත් වූයේ ද වෙමි.
බුදුරජුන්ගේ ධාතු නිධන්කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මා නොකැමති දෑ බැහැරවෙයි. කැමති දෑ එළැඹසිටි.
බුදුරජුන්ගේ ධාතු නිධන්කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මා ගේ සිත එකඟ වූ මැනවින් සමාධියට පත්වූ පිරිසිදු එකක් වේ.
බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් එක අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.
මින් සියක් දහස් ලක්ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කලෙම් ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ සෑය පිරිසිදු කිරීමෙහි විපාකයයි.

02. නාගසමාල ථේරාපදානය

මම සියලු නගර වාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා නගර මැද වීදියෙහි සුණු ගඩොල් ආදියෙන් නිමවන ලද සිබී බුදුරජුන්ගේ ස්තූපයට ආදර සිරතව පලෝ මලක් ගෙන තැබීමි.
මින් එක්තිස්වන කපෙහි වූ, එකල්හි යම් පුණයකර්මයක් කලෙම්ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ ස්ථූප පූජාවෙහි විපාකයයි. මින් පසෙලොස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති “භූමීය” නම් සක්විති රජෙක් වීමි. මේ ජීවිතයේදී සිව් පිළිසිඹියාවෝද අෂ්ඨි විමෝක්ෂයෝද ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදු රජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදී. මේ අයුරින් ආයුෂ්මත් නාගසමාල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

03. සුධා පිණ්ඩිය ථේරාපදානය

සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ සෑයට මා විසින් පැහැදුනු සිතින් සුණු පිඬක් දෙන ලදී. එයින් සෑය පිළිසකර කෙරිණි.
මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් පින් කමක් කලෙම්ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. සෑ පිළිසකරෙහි ප්‍රතිසංස්කරණයෙහි විපාකයයි මේ.
මින් තිස්වන කපෙහි සත් රුවනින් යුත් “පටිසංඛාර” නම් වූ සක්විති රජ කෙනෙක් වීමි. මේ ජීවිතයේදී සිව් පිළිසිඹියාවෝද, අෂ්ඨ විමෝක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදු රජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදී. මේ අයුරින් ආයුෂ්මත් සුධා පිණ්ිය තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.

04. සපරිවාරිය ථේරාපදානය

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ධාතු නිදන් කල මහත් සෑයක් විය. මම අති උතුම් ධාතු ගර්භයෙහි දිව රෑ දෙක්හි උවටැන් කලෙමි. පහන් සිත් ඇතිව, සොම්නස් ඇතිව එහි සඳුන් වේදිකාවක්ද කලෙමි.
මේ පුණ්‍ය කර්මයේ විපාකයෙන් දිව්‍ය වූ හෝ මානුෂීය වූ හෝ භවයෙහි උපදින කල්හි මාගේ පහත් බවක් නොවීය. මේ පූර්ව කර්මයේ මින් එක් දහස් පන්සිය වන කපෙහි මහත් බල ඇති “සමත්ත” නම් වූ ඒ සියලු සක්විති රජවරු අට දෙනෙක් වූහ.

05. පිළින්දවච්ඡ ථේරාපදානය

සුමේධ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පහන් සිත් ඇති සොම්නස් වූ මම ස්ථූප පූජාවක් කළෙමි.
එම ථූප පූජා කිරීම් වශයෙන් ඇතිවූ චිත්ත ප්‍රසාදය කරණ කොටගෙන මම දිව්‍ය විමානයක උපනිමි. අසූ දහසක් දෙවඟනෝ මාගේ සිත සතුටු කරවූහ. එම අප්සරාවෝ සියලු කාමයන් කරණ කොටගෙන මා අනුවම පවතිත්, මම අනෙක් දෙවියන් සම්පත්තියෙන් ඉක්ම වීමි. මේ ස්ථූප පූජා පුණ්‍යකර්මයාගේ විපාකයයි.
මම එකල්හි පස් විසිවන කපෙහි පිරිසිදු බොජුන් ඇති “වරුණ” නම් සක්විති රජෙක් වීමි.
මම එහි රාජ්‍ය කොට නැවත දිව්‍ය ආත්මභාවයට පැමිණියෙමි. එකල්හි ද මට මෙබදුම වූ භෝග සම්පත්ති තොමෝ උපන්නය.
මිතුරු වූ හෝ පසමිතුරු වූ හෝ සියලු ප්‍රාණීහු මට හිංසා නොකෙරෙත්. මම සියලු දෙනාටම ප්‍රිය වීමි.. මේ ස්ථූප පූජා පුණ්‍යකර්මයාගේ විපාකයයි.
මේ භද්‍ර කල්පයේ මම මහානුභාව ඇති මහත් බල ඇති එක් සක්විති රජෙක් වීමි. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook August 25, 2016 at 12:00PM

මහා කාශ්‍යප ස්ථවිර චරිතය
( මුළු කථා වස්තුවම pdf ලෙස කියවන්න -> http://ift.tt/2bjPUZe )

මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළවී සංසවති නම් නගරය උපනිඃශ්‍රය කොට වැඩ වෙසෙන කල්හි ඒ නගරයෙහි අසූකෝටියක් ධනය ඇති වේදේහ නම් කෙළඹියෙක් වාසය කළේ ය.
දිනක් හෙ තෙමේ සිල් සමාදන් වී සුවද මල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුරදුන් වැද පුදා එකත් පසෙක වාඩි විය.

එකෙණෙහි තථාගතයන් වහන්සේ “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං ධුතවාදානං යදිදං නිසභෝ” යි ඒ බුදුසස්නෙහි තෘතීය ශ්‍රාවක මහානිසභ තෙරුන් වහන්සේ ධුතවාදීන් අතරින් අග්‍ර ස්ථානයෙහි තබා වදාළ සේක.
උපාසක තෙමේ එය අසා ඉතා ප්‍රසන්නව ධර්මදේශනාවසානයේ ජනයා නැගිට ගිය කල්හි පියුමතුරා බුදුරජාණන් වහන්සේ වැද හිමියෙනි, සෙට දින මාගේ භික්ෂාව ඉවසා වදාරන සේක්වා” යි සැළ කළේය.

උපාසකය, භික්ඛුසංඝයා බොහෝ වෙති යි තථාගතයන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා කොපමණ වන්නාහු ද?” “උපාසකය, සැටඅටදහසක් ය”යි වදාළසේක. “ස්වාමීනි, එක් සාමණේර නමකුදු විහාරයෙහි ඉතිරි නො කොට සැමදෙනා වහන්සේ සමග මගේ භික්ෂාව පිළිගන්නා සේක්වා” යි උපාසක කීය. ශාස්තෲන් වහන්සේ ඉවසා වදාළ සේක. වේදේහ උපාසක තෙමේ තමගේ ආරාධනාව තථාගතයන් වහන්සේ පිළිගත්බව දැන ගෙට ගොස් මහා දානයක් පිළියෙල කොට දෙවන දිනයෙහි තථාගතයන් වහන්සේට කාලය සැලකර යැවූයේ ය.

තථාගතයන් වහන්සේ මහත්වූ බික්සගන හා ඔහුගේ නිවසට වැඩ වදාරා පනවන ලද අස්නෙහි වැඩ සිටි සේක. බික්සගන ද වැඩ සිටි සේක. උපාසක ද බුදුරදුන් සමීපයෙහි හුන්නේය.

ඒ අතර මහානිසභ තෙරුන් වහන්සේ පිඩු පිණිස හැසිරෙන්නාහු ඒ වීදියට පැමිණියහ. උපාසක තෙමේ උන්වහන්සේ දැක නැගිට ගොස් තෙරුන් වහන්සේ වැද “ස්වාමීනි, පාත්‍රය දුනමැනව” යි කීය. තෙරුන් වහන්සේ පත්‍රය දුන්හ. “ස්වාමීනි, ශස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිති. නුඹවහන්සේ ද මේ ගෙට වඩිනු මැනව” යි කීය. “උපාසක, නොවටනේය”යි තෙරුන් වහන්සේ කීහ. එකල්හි උපාසක තෙමේ තෙරුන් වහන්සේගේ පාත්‍රය පිණ්ඩපාතයෙන් පුරවා ගෙන ගොස් පිළිගැන්වී ය. ඉක්බිති උපාසකතුමා ගෙට පිවිස බුදුරදුන් සමීපයෙහි හිද “ස්වාමීනි, මහානිසභ තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිති යි කිව ද මේ ගෙට පිවිසෙන්නට නො කැමති වූහ. ස්වාමීනි, කෙමෙක්ද? ඒ තෙරුන් වහන්සේ නුඹවහන්සේට ද වැඩි ගුණ ඇත්තෝ දැ”යි විචාළේ ය.

බුදුරුවන්ට ගුණමසුරුබවක් නැත. උන්වහන්සේ ගුණැතියන්ගේ ගුණ නො අඩු කොට පවසන්නාහ. එකල්හි බුදුන් වහන්සේ වදාරන සේක්, “එසේ ය උපාසක, අපි වනාහි භික්ෂාව බලාපොරොත්තුවෙන් අනුන්ගේ ගෙවල හිදින්නෙමු. ඒ භික්ෂුව එසේ නො හිදින්නේ ය. අපි ග්‍රාමාන්ත සේනාසනයන්හි වෙසෙමුය, ඒ මහණ අරණ්‍යයෙහි ම වෙසෙන්නේය, අපි පියැසි යට වෙසෙන්නමුය, ඒ මහණ අභ්‍යවකාශයෙහි ම වෙසෙන්නේය” යි උන්වහන්සේ ගේ ගුණ නො අඩු කොට වදාළ සේක.

මහානිසභ තෙරුන් වහන්සේගේ ගුණයෙහි පැහැදී සිටි උපාසකතුමා තථාගතයන් වහන්සේගේ වචනය අසා වඩාත් පැහැදී “මට අන් සැපතක් කුමට ද? මම ද අනාගතයෙහි එක් බුදුසස්නක ධුතවාදීන්ගෙන් අග්‍රවෙමි” යි සිතා නැවතත් බුදුන් වහන්සේට ආරාධනා කොට සත්දිනක්ම මහදන් දී සත්වන දිනයෙහි බුදුපාමොක් මහසගනට තුන්සිවුරු ද පුදා ශාස්තෲන් වහන්සේ ගේ පාමුල වැදහෙව “ස්වාමීනි, සත්දිනක් දන් දුන් මම ඒ පිනෙන් අන් දිව්‍යසම්පත්තියක් හෝ ශක්‍ර – බ්‍රහ්ම සම්පත්තියක් හෝ නො පතමි. මගේ මේ පුණ්‍යකර්මය අනාගතයේ එක් බුදුකෙනකුන් ගේ ශාසනයෙහි මහානිසභ ස්ථවිරයන් වහන්සේ විසින් පත් තැනට පැමිණීමට හේතු වේවා” යි පැතී ය.

එකල්හි තථාගතයන් වහන්සේ “මේ උපාසක මහත් තනතුරක් පතයි, ඔහුගේ ඒ පැතුම මුදුන්පත් වන්නේ දෝ”යි අනාගතය බලා වදාරනසේක් සිද්ධ වන බව දැක, “උපාසක, ඔබ අගනා තනතුරක් පැතුයෙහි ය. අනාගතයෙහි කල්ප අසංඛ්‍යයකින් ගෞතම නම් බුදු කෙනෙක් පහළ වන්නේ ය. ඔබ මහාකාශ්‍යප යන නමින් ඒ බුදුරදුන්ගේ තෘතීය ශ්‍රාවකයා වන්නේ ය”යි වදාළ සේක. එය අසා උපාසක තෙමේ බුදුවරුන්ගේ ප්‍රකාශයනයන් නොවරදින බැවින් කල්පලක්ෂයකින් ලැබෙන තනතුර ගැන සෙට ලැබෙන දෙයක් ගැන සේ ප්‍රීතියට පැමිණියේ ය. හෙතෙමේ ඉන් පසු ද දානාදී බොහෝ පින්කම් කොට මරණින් පසු දෙව්ලොව උපන.
අරහං ගුණයෙන් යුත් පදුමුත්තර බුදුරදුන්ට පූජාසත්කාර කිරීමේ පිනෙන් හෙතෙමේ ඉතා දීර්ඝ කාලයක් දෙව්මිනිස් දෙගතියෙහි අනේකප්‍රකාර සැප සම්පත් ලබා, මෙයින් අනූඑක්වන කප විපස්සී බුදුරජාණන් වහන්සේ ලොව පහළව බන්ධුමතී නගරය උපනිඃශ්‍රය කොට වැඩවෙසෙන කල්හි දෙව්ලොවින් ච්‍යුතව එක් පිරිහුණු බමුණු ගෙයක උපන්නේ ය.

එකල්හි විපස්සී බුදුන්වහන්සේ සත්වසරකට වර බැගින් ධර්මදේශනා පවත්වන සේක. දහම් දෙසන දිනය ළං වන කල්හි දෙවියෝ ඒ බව දඹදිව මුළුල්ලෙහි පතළ කරති. ඒ ආරංචිය පැතිරෙත්ම දහම් ඇසීමට යාම සදහා මිනිසුන් අතර ඉමහත් කලබලයක් ඇති වෙයි. ඒ ආරංචිය බ්‍රාහ්මනයාට ද ඇසිණ. ඔහු ඉතා දුප්පතෙකි. ඔහුට හැදීමට තිබුණේ එක් වස්ත්‍රයක් පමණෙකි. ඒ නිසා ඔහුට ඒකශාටක බ්‍රාහ්මණය යි ද කියති. ඔහුගේ බිරියට හැදීමට තුබුණේ ද එක ම වස්ත්‍රයෙකි. මේ දෙදෙනාට ම පෙරවීමට එක් වස්ත්‍රයක් තිබිණ. එබැවින් ඔවුන් දෙදෙනාට එකවර පිටත යා නො හැකි විය. බමුණා පිටත යන කල්හි බැමිණිය ගෙයි රඳවා ඒ වස්ත්‍රයෙන් කය වසාගෙන යයි. බැමිණිය යන කල්හි බමුණා ගෙයි රැදෙයි.
ධර්මදේශනා දිනය පැමිණි කල්හි බමුණා භාර්යාවට කථා කොට “සොදුර, තී දහම් ඇසීමට යන්නේ රාත්‍රියෙහි ද නැතහොත් දවාලෙහි දැ” යි කී ය.” හිමියනි, ස්ත්‍රීන්ට රාත්‍රියෙහි යාම දුෂ්කරය. මම දවල් යමි ය” යි බමුණා ගෙදර නවතා ඕ තොමෝ ඒ වස්ත්‍රය පොරොවා උපාසිකාවන් හා එක්ව දහම් ඇසුමට ගියා ය. ඇය දහම් අසා පැමිණි කල්හි රාත්‍රි කාලයේ බමුණා ඒ වස්ත්‍රයෙන් උඩුකය වසා දහම් ඇසීමට ගියේය.

එසමයෙහි විපස්සී බුදුරජාණන් වහන්සේ මහ පිරිස මැද අලංකෘත ධර්මාසන මතුයෙහි වැඩ හිද අතිමධුරවූ බ්‍රහ්මස්වරයෙන් අසනුවන්ගේ කන්හි මී හෙලන්නාක් මෙන් මිහිරි කොට දහම් දෙසන සේක. පිරිස් කෙළවර හිද දහම් ඇසුවාවූ ඒකශාටක බ්‍රාහ්මණට ප්‍රථම යාමයේදීම ඉමහහ් ප්‍රීතියක් ඇති විය.

ඔහුට තමා පොරවා සිටින වස්ත්‍රය හකුළා තථාගතයන් වහන්සේට පුදන්නට සිත් විය. එකෙණෙහිම ඔහුට දහසක් ආදීනව දක්වමින් මසුරු බව උපණ. “අප දෙදෙනාටම පිටතට යන්නට ඇති මේ වස්ත්‍රය දුන හොත් අපට ගෙයිම සිටිනට වෙති” යි ඔහු එය නොපුදන්නට තීරණය කර ගත්තේය. මධ්‍යම යාමයේදී ද ඔහුට ශරීරය පවා පිණායන බලවත් ප්‍රීතිය උපණ. එහෙත් ඔහුට වස්ත්‍රය නොදිය හැකි විය. පෙර සේම දීමෙන් වන නොයෙක් අමාරුකම් ගැන සිතා නොදෙන්නට සිතා ගත්තේය. පශ්චිම යාමයේදී ද ඔහුට මහත්වූ ප්‍රීතිය උපණ. “පසුව කුමක් වුවත් මේ අත්‍යුත්තම ධර්මයෙන් මා පිණවන මුන්වහන්සේට මේ වස්ත්‍රය පුදමි” යි වස්ත්‍රය හකුළා ශාස්තෲන් වහන්සේ පාමුල තැබීය. ඔහුට එයින් වඩාත් ප්‍රීතිය ඇති විය. ඒ ප්‍රීතියෙන් අත්පොළසන් දිණ “මා දිණුවා ! මා දිණුවා !!” යි ඔහුගේ මුවින් මහහඩින් ඉබේම කියවිණ.

බන්ධුම රජතුමා ද එහි දහම් අසමින් සිටියේය. රජුන්ට මා දිනුවා යන හඩ බිය සැක ඇති කරන්නෙක. එය ඔවුන්ට අප්‍රිය හඩකි. එබැවින් රජතුමා “ඔහු කුමක් කියන්නේදැ” යි විමසීමට පුරුෂයකු යැවීය. ඒ පුරුෂයා ගොස් අසූ කල්හි, ඒකශාටක බ්‍රාහ්මණ කියනුයේ “අන්‍යයෝ කඩු දුනු ආදිය ගෙන යුද කොට පරසේනාවන් දිනාගන්නාහ, එය ආශ්චර්යක් නොවේ, මම වනාහි පස්සෙන් එන කුළුගොනකු පොල්ලකින් ගසා එලවා දමන්නාක් මෙන් මසුරු සිත මැඩ, පොරවා සිටි සළුව දශබලධාරීන් වහන්සේට පිදුවෙමිය, මම ඒ මසුරුකම දිනිමි” යි කීය.
පුරුෂ තෙමේ රජතුමාට ඒ කරුණ දැන්වීය. එකල්හි රජතුමා “තථාගතයන් වහන්සේට පූජාවක් කළ යුතු බව අපට නො තේරුණේය, බමුණාට ඒ බව වැටහුණේය” යි සතුටු වී ඔහුට සළු යුවලක් යැවීය. බ්‍රාහ්මණ එය පිළිගෙන “මේ රජු කලින් තුෂ්ණීම්භූතව සිටි මට කිසිවක් නොදී බුදුරදුන්ගේ ගුණ කී නිසා මට මේ වස්ත්‍ර දුන්නේය. බුදුන්ගේ ගුණ කීම නිසා ලද මේ වස්ත්‍ර මට කුමටද? මේවාත් බුදුනටම පුදමි” යි ඒ වස්ත්‍ර ජෝඩුව ද බුදුරදුන්ගේ පාමුල තැබීය.

රජතුමා බ්‍රහ්මණයා කුමක් කළේ දැයි” විචාරා “ඒ වස්ත්‍ර ද ඔහු බුදු රජුන්ට ම පිරිනැමුවේය” යි අසා නැවතත් බමුණාට සළු දෙකක් යැවීය. ඒවාද ඔහු බුදුනට පිදුවේය. ඒ බව අසා රජු නැවත ඔහුට සළු සතරක් ‍ යැවී ය. ඒවාද ඔහු බුදුනට පිදුවේය. යවන වස්ත්‍ර බමුණා විසින් බුදුරදුනට පුදත් පුදත්ම රජු ද ඔහුට දෙගුණ දෙගුණ කොට වස්ත්‍ර යැවීය. රජතුමා වස්ත්‍ර දෙතිස දක්වා යැවූ කල්හි බ්‍රාහ්මණ තෙමේ “මෙසේ වස්ත්‍ර පිදීම වැඩි වැඩි කොට ගැනීමක් වැනිය” යි තමාට හා බැමිණියට සළු දෙකක් ඉතිරි කර ගෙන තිසක් බුදුනට පිදුවේය. එතැන් පටන් ඒකශාටක බමුණු බුදුරදුන් හා විශ්වාසිකයෙක් විය.

දිනක් ඒකශාටක බ්‍රාහ්මණ ශීතකාලයේ බුදුරදුන්ගෙන් දහම් අසනු දැක, රජු තමා පොරවා සිටි ලක්ෂයක් වටිනා කම්බිලිය ඔහුට දී “මෙතැන් පටන් මේ කම්බිලිය පොරවා ගෙන දහම් අසන්නය” යි කීය. බ්‍රාහ්මණ තෙමේ “මේ වටිනා කම්බිලිය මාගේ මේ කුණුකය වසනවාට වඩා මෙයත් බුදු රදුන්ටම පිදීම යහපතැ” යි සිතා ගදකිළියෙහි තථාගතයන් වහන්සේ සැතපෙන ඇදමත වියනක් කොට තබා ගියේය.
එක් දවසක් රජු විහාරයට ගොස් ගදකිළිය තුළ බුදුරදුන් සමීපයේ හිදගෙන සිටියේය. තථාගත ශරීරයෙන් නික්මෙන ෂට්වර්ණ රශ්මීන් වැදී ඒ කම්බිලිය අතිශයින් බැබලෙමින් තිබිණ. රජු කම්බිලිය දැක හැදින “ස්වාමීනි, මේ අපගේ ය, අප විසින් මෙය ඒකාශාටක බ්‍රාහ්මණයාට තෑගි කරන ලද්දේ ය”යි කීය.

“මහරජ, ඔබ විසින් මේ කම්බිලියෙන් බ්‍රාහ්මණයා පුදන ලද්දේය, බ්‍රාහ්මණයා විසින් එය අපට පුදන ලද්දේය” යි වදාළහ.

එකල්හි රජු “මේ බ්‍රාහ්මණයා යුතුකම් දන්නේය, අපි ඔහු මෙන් යුතුකම් නො දනිමුය “යි ඔහු කෙරෙහි පැහැදී මනුෂ්‍යයන්ට ප්‍රයෝජන සැම දෙයකින්ම අට බැගින් ගෙන ඔහුට සබ්බට්ඨක නම් දානයක් දී පුරෝහිත තනතුර ද දුන්නේ ය.
කලින් කිසිවකුගේ සැලකිල්ලට භාජනය නො වී සිටි ඒ දුප්පත් බමුණාහට මෙතරම් සැලකිලි කරන්නට රජුට සිත වූයේ අරහං ගුණයෙන් යුත් තථාගතයන් වහන්සේට වස්ත්‍ර පූජාකිරීමේ කුශල බලයෙනි. එබදු ගුණ නැති අනිකකුට වස්ත්‍ර දහසක් දස දහසක් දුන ද එබදු විපාකයක් නො ලැබෙන්නේය.
මහත් සම්පත්තියට පැමිණියා වූ බ්‍රාහ්මණ තෙමේ සිවුසැටක් සලාක බත් පිහිටුවා දිනපතා දන් දී තවත් නොයෙකුත් පින්කම් ද කොට ආයු කෙළවර නැවත ද දෙව්ලොව උපන්නේ ය.

සසර සැරිසරන්නාවූ ඒකශාටක බ්‍රාහ්මණ තෙමේ මේ කල්පයෙහි කෝණාගමණ – කාශ්‍යප යන දෙබුන් වරයන් වහන්සේට අතර කාලයේ බරණැස් නුවර කුල ගෙයක උපන්නේය. ඔහු එක් දිනක් වනයෙහි ඇවිදිනා වේලෙහි ගංතෙරක සිවුරක් කරමින් සිටි පසේ බුදු කෙනකුන් නුවාවකට රෙදි මද වීමෙන් හකුලා තබන්නට සැරසෙනු දැක, “ස්වාමීනි, සිවුර හකුළන්නේ කුමක් නිසාදැ”යි අසා නුවාවකට රෙදි මදි වීම නිසා බව දැන තමා පොරවා සිටි උතුරු සළුව උන් වහන්සේට පුදා “මේ පිනෙන් උපනුපන් භවයෙහි මට කිසිවකින් අඩුවක් නො වේවා” යි පැතීය.
එදින ඔහුගේ නිවසෙහි ඔහුගේ බිරිය හා නැණිය ඔවුනොවුන් කෝලාහල කරමින් ඉන්නා අතර ඒ පසේ බුදුන් වහන්සේ ඔහුගේ නිවස සමීපයට පිඩු සිගා වැඩි සේක. එකල්හි නැගණිය පසේ බුදුන් වහන්සේට පිණ්ඩපාතය පිරිනමා “මේ නපුරු ගැහැණියගෙන් යොදුන් සියයකින් දුරු වේවා” යි පැතීය.
ඔහුගේ බිරිය මිදුලේ සිටි නැගණියගේ ප්‍රාර්ථනාව අසා “මැගේ පිණ්ඩපාතය මේ ශ්‍රමණයාට වළදන්නට නො දෙමි” යි සිතා පසේ – බුදුන් වහන්සේ අතින් පාත්‍රය ගෙන පිණ්ඩපාතය විසි කර දමා පාත්‍රයට මඩ පුරවා පසේ බුදුනට දුන්නා ය. අනිත් තැනැත්තී, එය දැක “මෝඩිය, වුවමනා නම් මට බණින්න, ගසන්න, මෙ වැනි උත්තමයන් වහන්සේ කෙනකුගේ පාත්‍රයට, බත් විසි කොට මඩ දමා දීම යුතු නැතැ”යි කීවාය.

එකල්හි ඔහුගේ භාර්යාවට නුවණ පහළ විය. ඕ පසේබුදුන් වහන්සේ අතින් පාත්‍රය ගෙන මඩ ඉවත් කොට සෝදා පිරිසිදු කොට සුවද සුණු උලා සුවද කොට එහි චතුමධුර පුරවා මතුයෙහි පියුම් ගැබ් වන් ගිතෙල් ලා ඔප ගන්වා පසේ බුදුන් වහන්සේට පූජා කොට “මේ පිණ්ඩපාතය සේ ම උපනුපන් තැන මගේ ශරීරය ද ආලෝකවත් වේවා”යි ප්‍රාර්ථනා කළා ය. ඒ අඹුසැමි දෙදෙනා ඉන් පසු ද දිවි ඇති තාක් පින් කොට දෙව්ලොව උපන්නෝය.

උපාසක තෙමේ කසුප් බුදුරදුන්ගේ කාලයෙහි බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති සිටුවරයකුට පුත්ව උපන්නේය. ඔහුගේ බිරිය ද ඒ කාලයේ එවැනිම සිටුගෙයක උපන්නා ය. වැඩිවිය පැමිණි කල්හි ඕ ඒ සිටුපුත්‍රයාට බිරියක් වශයෙන් ගෙනෙන ලද්දී ය. ඇයට එතෙක් විපාක නුදුන් පසේබුදුන්ගේ පාත්‍රයට මඩ දැමූ පාපය විපාක දෙන්නට විය. සැමියාගේ ගෙට ගිය සැටියේම ඇගේ ශරීරයෙන් පරණ වැසිකිළියකින් මෙන් දුගද නික්මෙන්නට විය. සිටු ගෙය, වැස්ම ඉවත් කළ වැසිකිළියක් මෙන් ගද ගසන්නට විය. “මේ ගද කොයින් එන්නේදැ”යි ඇසූ සිටුපුත්‍රයා හට “මේ අලුත් මනාලිය ගේ ගදය” යි කී කල්හි ඔහු මනාලිය ආ යානයෙන් ම ආපසු යැවීය. ඇය නැවත නැවතත් ස්වාමිවරුන්ට පාවා දෙන ලදුව සත් තැනකින් ඒ ගද නිසා ආපසු එවන ලද්දී ය. සිය නිවසේ ඉන්නා කල්හි ඇයගේ ඒ දුගද නැත.
පිනෙන් පව ගෙවීම
එසමයෙහි කාශ්‍යප දශබලධාරීන් වහන්සේ පිරිනිවුණු සේක. උන්වහන්සේගේ ධාතූන් සදහා රන් ගඩොලින් චෛත්‍යයක් කරන්නට පටන් ගත්හ. එකල්හි සිටුදූ “සත් තැනකින්ම ආපසු එවන ලද මගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් දැ” යි සිතා තමාගේ ආභරණ සියල්ලම උණු කරවා ගඩොල් කැටයක් කරවූවාය. ඒ රන්ගඩොලය දිගින් රියනක් හා පළලින් වියතක් පමණ ද විය. ඝන සතරගුලක් විය. ඕ ඒ රන්ගඩොලය හා හිරියල් මනෝසීල බදාම ද මානෙල් මල්මිටි අටක් ද ගෙන චෛත්‍යය කරන තැනට ගියා ය. ඒ වේලාව එක් ගඩොල් පෙලක් බැද අවසන් කිරීමට එක් ගඩොල් කැටයක් මදි වී සිටි වෙලාව විය. සිටුදුව එහි ගොස් “මේ ගඩොලය චෛත්‍යයෙහි තබා බදින්න” යයි චෛත්‍යය බදින්නාට කීවා ය. “මෑණියෙනි, ඔබ ආයේ හොද වෙලාවකය, අප සිටියේ මේ ගඩොල් පෙල සම්පූර්ණ කිරීමට ගඩොලක් නැතිවය, ඔබ අතින්ම ඔය ගඩොලය මෙහි තබන්නය” යි සෑය බදින්නා කීය. ඕ එහි ගොස් බදාම යොදා ගඩොලය එහි තබා එය මත මානෙල් මල් පුදා වැද “මේ පිනෙන් උපනුපන් ජාතියේ මගේ කයින් සදුන් මල් සුවදත් මුවෙන් මානෙල් මල් සුවදත් විහිදේවා” යි පැතුවාය.

එකෙණෙහිම ඇය පළමුවර ගෙන ගිය සිටු පුත්‍රයාහට ඇය සිහි විය. නගරයෙහි නැකැත් කෙළියක් ආරම්භ කරන ලද්දේ ය. සිටු පුත්‍රයා “එකල තමාට ගෙන ආ සිටුදූ කොහිදැ” යි සේවකයන්ගෙන් විචාළේය. “ඇගේ ගෙයිම ඇතය” යි සේවකයෝ කීහ. නැකැත් ක්‍රීඩාව සදහා ඇය නැවත ද ගෙන එව්” යයි සිටුපුත්‍රයා කීය. ඔවුන් ඇය වෙත ගොස් වැද සිටි කල්හි “කුමට ආවහු දැ”යි ඕ විචාළා ය. සේවකයෝ ඒ පුවත ඇයට දැන්වූහ. “දරුවනි, මගේ ආභරණ සියල්ල චෛත්‍යයට පූජා කළෙමි. දැන් මට පැළද යාමට ආභරණ නැතය” යි ඕ කීවාය. සේවකයෝ ඒ බව සිටුපුත්‍රයාට දැන්වූහ. එකල්හි සිටුපුත්‍රයා “පළදනා ලැබිය හැකිය. ඇය ගෙන එන්නය” යි කීය. ඔවුහු කුමරිය කැදවා ගෙන ආහ. ඇය පැමිණි වහාම මුළු ගෙයිම සදුන් සුවද හා මානෙල් මල් සුවද පැතිරෙන්නට විය. සිටුපුත්‍රයා පුදුම වී “පෙර මෙහි පැමිණි කල තිගේ සිරුරෙන් කුණුගද විහිදුනේය. දැන් තිගේ කයින් සදුන් සුවද නික්මෙන්නේ ය, මුවින් මානෙල් මල් සුවද විහිදෙන්නේ ය, මේ ආශ්චර්ය කිමෙක් දැ” යි ඇසීය. ඕ සිදු වූ සියල්ල සිටුපුත්‍රයාට කීවාය.

සිටුපුත් මේ බුදු සස්න නෛර්ය්‍යාණිකයයි පැහැදී යොදුනක් පමණ වූ ස්වර්ණ චෛත්‍යය වස්ත්‍රයෙන් වසා එහි තැනින් තැන රියනක් පමණ නෙළුම් මල් වලින් සැරසුවේ ය. ඔවුහු ආයු කෙළවර නැවත ද දෙව්ලොව උපන්හ.
සිටුපුත් දෙව්ලොවින් චුතව නැවත බරණැස් නුවරට යොදුනක් දුරින් පිහිටි ගමක ඇමති පවුලක උපන්නේය. සිටු දූ දෙව්ලොවින් චුතව රජ පවුලෙහි දෙටු දුවව උපන්නීය. ඔවුන් වැඩි විය පැමිණි කල්හි කුමරුගේ ගමෙහි නැකත් කෙළියක් ඇරඹිණ. හෙතෙමේ නැකැත් කෙළියට සැරසෙනු සදහා මවගෙන් සළුවක් ඉල්ලීය. ඈ සෝදා පිරිසුදු කළ වස්ත්‍රයක් දුන්නාහ. “එය දළය” යි කියා කුමරු ප්‍රතික්ෂේප කළේය. ඉක්බිති මවු අනික් සළුවක් දුන්නීය. එයද ප්‍රතික්ෂේප කළේය. ඉක්බිති අනිකක් දුන්නීය. කුමරු එයද ප්‍රතික්ෂේප කළේය. එකල්හි මවු “දරුව, මේවාට වඩා සියුම් වස්ත්‍ර ලැබීමේ පිනක් අපට නැත ය” යි කීවා ය. “මෑණියෙනි, එසේ නම් මම ලැබෙන තැනකට යෙමි” යි කුමරු කීය. “දරුව මම නුබට අදම බරණැස් නුවර රජකම ලැබෙනවාට කැමැත්තෙමි” යි මවු කීවා ය. “කීවාට මොහු කොහි යන්නෙ ද ? අතන මෙතැන ඇවිද කොහිවත් සිට මෙහි එනු ඇතැ” යි මවු සිතුවා ය.
ඇමති පුත් අතීත කුශලයේ මෙහෙයීමෙන් සිය නිවසින් නික්ම බරණැස් නුවරට ගොස් රජ උයනේ මගුල් ගල් පුවරුවට වී හිස වසා පොරොවා නිදා ගත්තේ ය. එය බරණැස් රජු කළුරිය කළ සත්වන දිනය විය. අමාත්‍යයයෝ රජුගේ අවසාන කෘත්‍යය සිදු කොට රජ මිදුලෙහි රැස්ව “අප රජුට ඇත්තේ එක් දුවක් පමණය, පුත්‍රයකු නැත, රජකු නැතිව රාජ්‍යය පැවැත්වීම දුෂ්කරය, ඒ නිසා කෙනකු රජ කමට පත්විය යුතුය, රජ වන්නේ කවුරුන් දැ” යි සාකච්ඡා කළහ. එකල්හි පුරෝහිත බමුණු “රජකමට කෙනකු තෙරීමට කල් නො යැවිය යුතු ය. එයට පිනැතියෙකු සොයනු පිණිස ඵුස්සරථය යවමු” යයි කීය. සෑම දෙන එයට එකග වූහ.
ඉක්බිති ඔවුහු රජුගේ මංගල රථයෙහි ශ්චේතච්ඡත්‍රය සහිත පඤ්ව රාජ භාණ්ඩ තබවා, කුමුදුවන් අසුන් සිව්දෙනකුන් එහි යොදවා රථයට යන්නට හැර පිටුපසින් තූර්යනාද පැවැත්වූහ. රථය නැගෙනහිර දොරටුවෙන් නික්ම මගුල් උයන දෙසට ගමන් කරන්නට විය. ඇතැම්හු “පුරුද්ද අනුව අශ්වයෝ උයන දෙසට යතිය” කියා නවත්වන්නට කථා කළහ. පුරෝහිත බමුණු එයට ඉඩ නුදුන්නේ ය. රථය උයනට ගොස් කුමරු ප්‍රදක්ෂිණා කොට නැගීමට පිළියෙලව සිට ගත. පුරෝහිත තෙමේ කුමරුගේ පතුල් විවෘතකර බලා “මෙ තෙමේ දඹදිවට පමණක් නොව සතරමහාද්වීපයට වුවද රජකමට සුදුසුය” යි කියා නැවත නැවත ද තෙවරක් තූර්යවාදනය කරවී ය. කුමරු මුහුණ විවෘත කොට බලා මහ පිරිස දැක, “කුමට මෙහි අවු දැ”යි ඇසීය. “දේවයන් වහන්ස, ඔබ වහන්සේට රාජ්‍යය පැමිණියේය” යි පුරෝහිත කීය. “රජතුමා කොහිදැ” යි කුමරු ඇසීය. “සිවිරජතුමා ස්වර්ගස්ථ වීය.” යි පුරෝහිත කීය. “කොපමණ කල් ගතවී දැ”යි කුමරු ඇසීය. “සත්දිනකැ” යි පුරෝහිත කීය. “රජුට දූ පුතුන් නැති දැ”යි විචාළේය. “දේවයන් වහන්ස, දුවක් පමණක් ඇත” ය යි කීය. “එසේ නම් රජය කරමි” යි කුමරු කීය.

පසේබුදුනට උතුරු සළුව පිදීමේ විපාකය මතුවීම

එකල්හි ඒ උයනෙහිම අභිෂේක මණ්ඩපයක් කොට රාජකුමාරිය සර්වාලංකාරයෙන් සරසා එහි පමුණුවා කුමරුන් රජයෙන් අභිෂේක කෙළේ ය. අභිෂේකයෙන් පසු කුමරුට හැදීමට ලක්ෂයක් වටනා සළුවක් එළවූහ. එකල්හි කුමරු “මේ කුමක්දැ” යි ඇසීය. “දේවයන් වහන්ස, හැදීමට සළුවෙකැ” කීහ. “මේ සළුව දළසළුවක් නොවේ ද? මෙයට සියුම් සළුවක් නැත්තේ දැ”යි කුමරු ඇසී ය. “දේවයන් වහන්ස, මිනිස්ලොව නම් මෙයට වැඩි සියුම් සළු නැතැ” යි කීහ. “නුඹලාගේ රජ හැන්දේ මෙවැනි වස්ත්‍ර දැ”යි ඇසීය. “එසේය, දේවයනි” යි ඇමතියෝ කීහ. “නුඹලාගේ රජු පිනැතියකු නොවෙති යි සිතමි, රන් කෙණ්ඩියට පැන් ගෙනෙව්. වස්ත්‍ර ලබන්නෙමි” යි කුමරු කීය. එන් කෙණ්ඩියට පැන් කුමරුට පිළිගැන්වූහ. කුමරු මුව සෝදා අත් සෝදා අතින් පැන් ගෙන නැගෙනහිර දිගට ඉස්සේ ය. එකෙණෙහිම ඝන පොළොව බිද ගෙන කප්රුක් අටක් පැන නැංගේ ය. දකුණු බස්නාහිර උතුරුදිග්වලට ද පැන් ඉස්සේ ය. ඒ දිසාවල ද අට බැගින් කප්රුක් පැන නැංගේ ය. ඉක්බිති ඔහු එක් දිවසළුවක් හැද එකක් පොරවා මින් පසු “නන්ද රජුගේ රාජ්‍යයෙහි නූල් කටිනා ස්ත්‍රීහු නූල් නො කටිත්වා”යි බෙර හසුරවව්” ය යි කියා සේසත් නංවා අලංකාරයෙන් සැරසී ඇතු පිටින් නුවරට ගොස් රජගෙටය පිවිස මහත් සම්පත්තියෙන් විසුවේ ය. ඒ පසේ බුදුනට උතුරු සළුව පිදීමේ විපාකය ය.

නන්ද රජතුමා මහා සම්පත්තියෙන් වැජඹෙන කල්හි එක් දිනක් දේවිය සම්පත් වළදමින්ම කල් යවන එතුමා ගැන කණගාටු වන ආකාරයක් දැක්වූවාය. “දේවියෙනි, මේ කිමෙක්දැ” යි රජු ඇසූ කල්හි දේවිය “දේවයන් වහන්ස, අතීතයෙහි පින් කළ නිසා දැන් ඔබගේ සම්පත්තිය ඉතා මහත් ය. ඔබ වහන්සේ අනාගතය පිණිස කිසි පින්කමක් නො කරන්නාහුය” යි කීවාය. එකල්හි රජතුමා “දේවියනි, කාහට දන් දෙම් ද සිල්වත්හු නැතැ” යි කීය. “දේවයන් වහන්ස මේ දඹදිව රහතුන්ගෙන් හිස් නැත. නුඹ වහන්සේ දානය පිළියෙල කරනු මැනවි. මම රහතුන් වහන්සේ සොයා දෙමි” යි දේවිය කීවා ය. පසු දින රජතුමා ප්‍රාචීනද්වාරයෙහි දන් පිළියෙල කරවී ය. දේවිය උදෑසන සිල් ඉටා ප්‍රාසාදයේ උඩුමහල් තලයෙහි නැගෙනහිර දිගට හිස ලා බිම දිගා වී නමස්කාර කොට මේ දිසාවෙහි රහතුන් වහන්සේ වෙසෙන සේක් නම් සෙට මෙහි වැඩ වදාරා අපගේ භික්ෂාව පිළිගන්වා සේක්වා” යි ආරාධනා කළා ය. එදිග රහතන් වහන්සේ නො වූහ. පිළියෙල කළ සත්කාරය දුගියන්ට හා යාචකයන්ට දුන්හ. පසු දින දකුණු දොරටුවෙහි දන් පිළියෙල කොට එසේ කළාය. එදින රහත්හු නො පැමිණියහ. තෙවන දිනයෙහි බස්නාහිර දොරටුවෙහි දන් පිළියෙල කර ආරාධනා කළා ය. රහත්හු නොපැමිණියහ. සිවුවන දිනයෙහි උතුරු දොරටුවෙහි දන් පිළියෙල කර ආරාධනා කළ කල්හි හිමාලයෙහි වෙසෙන පදුමවතී දේවියගේ දරුවන් වන පන්සියයක් පසේ බුදුවරුන්ගෙන් වැඩිමහලු මහාපදුම පසේ බුදුන් වහන්සේට එය දැනී සහෝදර පසේ බුදුවරුන් අමතා “නන්ද රජු ඔබ සැමදෙනා වහන්සේට ආරාධනා කරන්නේ ය. ඔහුගේ ආරාධනාව ඉවසන්න” ය යි වදාළහ. උන්වහන්සේලා ආරාධනාව ඉවසා පසු දින අනෝතත් විලෙහි මුව සෝදා අහසින් වැඩම කොට උත්තරද්වාරය සමීපයේදී පොළොවට බැස වදාළහ. මිනිසුන් රජු වෙත ගොස් “දේවයන් වහන්ස, පන්සියයක් පසේබුදුවරු වැඩම කළහ” යි රජුට කීහ.

රජතුමා දේවිය ද සමග එහි ගොස් වැද පසේබුදුවරුන් ප්‍රාසාදයට වැඩම කරවා උන්වහන්සේලාට දන් දී අවසානයෙහි තමන් ජීවත් වන තාක් එහිම වැඩ වෙසෙන ලෙස පසේබුදුවරුන්ට ආරාධනා කොට උන් වහන්සේලා ආරාධනාව පිළිගත් කල්හි උයනෙහි උන්වහන්සේලාට වාසස්ථාන පිළියෙල කරවා පසේ බුදුවරුන් එහි වාසය කරවූහ.

රජයුවල දිනපතා පසේබුදුවරුන්ට උපස්ථාන කළහ. දීර්ඝකාලයක් ගත වීමෙන් පසු ඒ රජුගේ රටෙහි ප්‍රත්‍යන්ත ජනපදයක කැළඹීමක් ඇති විය. රජතුමාට එය සන්සිදවන්නට යන්නට සිදු විය. රජතුමා ඒ බව දේවියට දන්වා අප්‍රමාදව පසේබුදුවරුන්ට උපස්ථාන කරන ලෙස අවවාද කොට එහි ගියේ ය.
පසේ බුදුවරුන් පිරිනිවීම

රජතුමා ගිය තැන් පටන් දේවිය පසේබුදුවරුන්ට සිත් පරිදි උපස්ථාන කළා ය. එතුමා ප්‍රත්‍යන්තය සන්සිදවා පෙරළා පැමිණීමට කලින් පසේබුදුවරුන්ගේ ආයු ගෙවිණ. මහාපදුම පසේ බුදුන් වහන්සේ රාත්‍රියක් මුළුල්ලෙහි ධ්‍යානසුඛයෙන් කල්යවා අරුණෝද්ගමනයේදී සක්මන් කෙළවර හේත්තු වන ලෑල්ලට හේත්තු වී සිට ගෙනම පිරිනිවියහ. සෙසු පසේබුදුවරු ද එදින ඒ වෙලාවෙහි පිරිනිවියාහු ය.
දේවිය පසුදින පසේබුදුවරුන් වළදන තැන ගොම ගාවා මල් විසුරුවා සුවද දුම් දී දන් පිළියෙල කරවා උන්වහන්සේලාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියා ය. පසේ බුදුහු නොපැමිණියහ. බොහෝ වේලා බලා සිට ද පසේබුදුවරුන් නො පැමිණෙන කල්හි “ආර්යයන් වහන්සේලාට යම්කිසි අපහසුවක් වී ඇති දැ යි බලා ගෙන එව” යි කියා පුරුෂයකු යැවී ය. ඔහු ගොස් මහාපදුම පසේබුදුන් වහන්සේ වෙසෙන පන්සලෙහි දොර හැර බලා උන්වහන්සේ එහි නො දැක සක්මනෙහි බැලූ කල්හි හේත්තු වී සිටිනු දැක සමීපයට ගොස් “ස්වාමීනි, රජගෙදරට වැඩමවීමට කාලය” යි කීයේ ය. පසේබුදුන් වහන්සේගෙන් පිළිතුරක් නො ලත් කල්හි නිදා සිටිති යි සිතා උන්වහන්සේගේ පටිපතුල අත ගෑවේ ය. පිටිපතුල් සිසිල්ව තදව තිබුණෙන් පිරිනිවි බව දැන දෙවන පසේබුදුන් වහන්සේ වෙත ගියේ ය. උන්වහන්සේ ද පිරිනිවී ඇති බව දැන තුන්වන පසේබුදුන් වහන්සේ වෙත ගියේ ය. මෙසේ ගොස් බලා සැමදෙනා වහන්සේම පිරිනිවී ඇති බව දැන වහා රජගෙට ගොස් ඒ බව දේවියට දැන්වී ය. දේවිය හඩමින් නුවරුන් හා එහි ගොස් පසේබුදුවරුන්ගේ සිරුරු ආදාහන කරවා ධාතූන් ගෙන චෛත්‍යයක් කරවී ය.

දීර්ඝ බැවින් ඉතිරිය මෙහි පලකළ නොහැක
කථා වස්තුවේ ඉතිරි කොටස කියවන්න -> http://ift.tt/2bjPUZe via Facebook Pages http://ift.tt/1GMS4Lf