Monthly Archives: May 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2JhR1sQ
මේ සක්වල තුල සාරාසංඛය කල්ප ලක්ෂයක් තුල පහලවූ අටවිසි බුදුවරුන් හට මාගෙ නමස්කාරය වේවා! උන්වහන්සේලාගේ විමුක්තියට මාගේ නමස්කාරය වේවා.
ඒ බුදුරජාණන් වහන්සේලාව මම දිවි හිමියෙන් සරණ යමි.
සාදු, සාදු, සාදු
(ඔබේ නමස්කාරයත් පහතින් comment කරන්න)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2LJEBs6
ත්‍රිපිටකය හා බෞද්ධ පොත් 800 ක් පමණ (file size reduced).

1. ඒ.පී. සොයිසා සරල සිංහල ත්‍රිපිටක පරිවර්තනය (60 mb) -> https://ift.tt/1TqUlze

2. බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සහ මෘදුකාංගය -> https://ift.tt/1Qwz84h

3. සිංහල අටුවා, නාඋයන ආරන්‍යයෙන් ලබාදුන් ඉපැරණි බෞද්ධ පොත්, රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ පොත්, දහම් පාසල් පෙළ පොත්, බුද්ධ චරිතය පින්තුර, අභිධර්ම පොත්, විශුද්ධි මාර්ගය, ජාතක කතා පොත්, පිරිත් පොත් ඇතුළු බෞද්ධ පොත් සංචිතය -> https://ift.tt/1TqUlzi

ධර්ම දානය පිණිස CD/DVD වලට පිටපත් කර භික්ෂුන් වහන්සේලාට හා වේගවත් අන්තර්ජාල පහසුකම් නැති අයට බෙදා දෙන්න

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2ISDKrb
වීර්‍ය්‍යයට කෙළින් ම ප්‍රතිපක්ෂ ධර්මයෝ නම් ස්ත්‍යාන මිද්ධ දෙකය. ස්ත්‍යාන මිද්ධ දෙක නැගී සිටින්නා වූ තැනැත්තා ගේ සන්තානයෙන් වීර්‍ය්‍යය බැහැර වන්නේ ය.

“අත්ථි භික්ඛවෙ, අරති තන්දි විජම්භිතා භත්තසම්මදො චෙතසො ලීනත්තං, තත්ථ අයොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්‍යොභාවාය” යනුවෙන් කුශල ක්‍රියාවෙහි නො සතු‍ටු බව වූ අරතිය ය, අලස බව ය, ඇඟ පණ නැති බව ය, බත් මත ය, සිත හැකිළෙන බව ය යන මේ කරුණු ගැන අයෝනිසෝ මනස්කාරය බහුල බව ස්ත්‍යාන මිද්ධයන් ගේ ආහාරය හෙවත් උප්පත්ති හේතුව බව වදාරා තිබේ.

ස්ත්‍යාන මිද්ධයන් නුපදීමේ
නො වැඩීමේ දුරු වීමේ හේතු

ථීනමිද්ධයන් නූපදීමේ නො වැඩීමේ දුරු වීමේ හේතු වශයෙන් දැක්වෙන කරුණු වීර්‍ය්‍ය හේතු වශයෙන් ද සැලකිය යුතුය.

“අත්ථි භික්ඛවෙ, ආරම්භධාතු නික්කමධාතු පරක්කමධාතු තත්ථ යොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස අනුප්පාදාය, උප්පනස්ස වා ථිනමිද්ධස්ස න භිය්‍යො භාවාය න වෙඵුල්ලාය.”

යනුවෙන් ථිනමිද්ධය නූපදීමේ නො වැඩීමේ හේතු දක්වා තිබේ. ආරම්භ ධාතුව ය, නික්කම ධාතුව ය, පරක්කම ධාතුව ය යන ත්‍රිවිධ වූ වීර්‍ය්‍යය පිළිබඳව යෝනිසෝ මනස්කාරය බහුල කොට පැවැත්වීම ථිනමිද්ධයන් නූපදීමේ ද උපන් ථිනමිද්ධයන් නො වැඩීමේ ද හේතුව බව එයින් දැක්විණ.

ආරම්භධාතු යනු යම් කිසි කටයුත්තක් පළමුවෙන් පටන් ගන්නා වීර්‍ය්‍යය ය. පටන් ගත් කටයුත්ත නො නවත්වා කර ගෙන යන්නා වූ ආරම්භ ධාතුවට වඩා බලවත් වූ වීර්‍ය්‍යය කුසීත භාවයෙන් නික්මුණු බැවින් නික්කම ධාතු නමි, පැමිණෙන පැමිණෙන හැම උවදුරක් ම මැඩ පවත්වා ගෙන අභිමතාර්ථ සිද්ධිය තෙක් ඉදිරියට යන බලවත් වීර්‍ය්‍යය පරක්කම ධාතු නමි.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘පාරමිතා ප්‍රකරණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

සම්පූර්ණ ලිපි මාලාව: https://goo.gl/QZWPYX

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2IOQ1Nc
ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි යමක් කෙරුවොත් හරි ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගේ පස්සෙන් එන රෝදය වගෙයි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2IUErAb
1) වැඩක් කළයුතුව තිබෙන කල්හි මට වැඩක් කරන්නට ඇත්තේ ය. වැඩ පටන් ගත් කල්හි මට බුදුන් වහන්සේගේ අනුශාසනය මෙනෙහි කිරීම පහසු නො වන්නේ ය. මා විසින් දැන් දැන් ම නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කළ යුතු ය යි නො පැමිණියා වූ මාර්‍ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කිරීම පළමු වන ආරම්භ වස්තුව ය.

2) වැඩක් කොට අවසන් වූ කල්හි වැඩ කිරීමේ දී මා හට බුදුන් වහන්සේ ගේ අනුශාසනය මෙනෙහි කරන්නට නො ලැබිණ, ඒ පාඩුව පිරිමැසෙන්නට දැන් නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කරමි යි නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍යය කිරීම දෙවන ආරම්භ වස්තුව ය.

3) ගමනක් යන්නට ඇති කල්හි ගමන් යාමේ දී මා හට බුදුන් වහන්සේ ගේ අනුශාසනය මෙනෙහි කිරීම පහසු නො වන්නේ ය. දැන් දැන් ම මා විසින් නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කළ යුතු යි සිතා නො පැමිණි ධර්මයනට පැමිණෙනු සඳහා වීර්‍ය්‍ය කිරීම තුන් වන ආරම්භ වස්තුව ය.

4) ගමනක් ගොස් නිම කළ කල්හි ගමන යෑමේ දී මා හට බුදුන් වහන්සේ ගේ අනුශාසනය මෙනෙහි කරන්නට නො ලැබිණ. දැන් මා විසින් නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කළ යුතු ය යි නො පැමිණි මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කිරීම සතර වන ආරම්භ වස්තුව ය.

5) රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ ආහාරයක් සෑහෙන පමණට නො ලත් කල්හි සෑහෙන පමණට ආහාරයක් නො ලැබුණත් තව ම මාගේ කය සැහැල්ලුය, කර්මණ්‍යය, කය දුබල වී බැරිවන්නට කලින් මා විසින් නො පැමිණි මාර්ගඵලාදියට පැමිණෙනු සඳහා වීර්‍ය්‍ය කළ යුතු ය යි නො පැමිණි ධර්මයනට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කිරීම පස්වන ආරම්භ වස්තුව ය.

6) රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ ආහාරයක් සෑහෙන පමණට ලත් කල්හි දැන් මාගේ ශරීරය ශක්තිමත් ය. මේ වේලාවේදී මා විසින් නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කළ යුතුය’යි වීර්‍ය්‍ය කිරීම සවන ආරම්භ වස්තුව ය.

7) සුළු රෝගයක් හටගත් කල්හි මේ රෝගය වර්ධනය වුවහොත් මා හට බුදුන් වහන්සේ ගේ අනුශාසනය මෙනෙහි කරන්නට නො ලැබෙන්නේ ය යි නො පැමිණියා වූ මාර්ග ඵලාදියට පැමිණෙනු සඳහා වීර්‍ය්‍ය කිරීම සත්වන ආරම්භ වස්තුව ය.

8) රෝගාතුර වී සුව වූ කල්හි මා හට රෝගාතුර වී සිටි කාලයේ දී බුදුන් වහන්සේගේ අනුශාසනය මෙනෙහි කරන්නට නොලැබිණැයි නො පැමිණි මාර්ගඵලාදියට පැමිණෙනු සඳහා වෙර වැඩීම අටවන ආරම්භ වස්තුව ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘පාරමිතා ප්‍රකරණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

සම්පූර්ණ ලිපි මාලාව: https://goo.gl/QZWPYX

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2xk7jMY
සොළොස්මස්ථාන

මහියංගණං නාගදීපං
කල්‍යාණං පාද ලාංඡනං
දිවාගුහං දීඝවාපී
චේතියංච මුතියංගණං
තිස්ස මහා විහාරංච
බෝධිං මරිචවට්ටියං
සොණ්ණමාලී මහා චේතියං
ථූපාරාම භයාගිරිං
ජේතවනං සේලචේතියං
තථා කාචර ගාමකං
එතෙ සොළසඨානානි
අහං වන්දාමි සබ්බදා

GPS සිතියම -> https://pitaka.lk/map/

බෞද්ධයන් විසින් එකම ගාථාවකින් සිද්ධස්ථාන දහසයක්ම එකම තැනක සිට වන්දනා කිරීමට භාවිත කරනු ලබන සොළොස්මස්ථාන වඳීන ගාථාව නොදන්නා බෞද්ධයකු සොයා ගැනීම අපහසුය. මෙම සිද්ධස්ථාන 16 පිළිබද විස්තර මෙසේය…

01. මහියංගණ චෛත්‍යය:-
බුද්ධත්වයෙන් නව වැනි මස ලක්දිවට බුදුරජාණන් වහන්සේ පළමුවැනි වරට වැඩි ස්ථානය සිහිකිරීමට මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකර ඇත. යක්ෂ ගෝත්‍රික දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයකට පත් කිරීමට මෙසේ බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩි සේක. එම ස්ථානයට පැමිණි සමනළ කන්දට අධිපති සුමන සමන් දෙවියන් බුදුරදුන්ගෙන් පූජා කිරීමට යමක් ඉල්ලා සිටිවිට ලැබුණ කේශධාතුන් වහන්සේ තැන්පත් කොට සමන් දෙවියන් විසින් සත් රියන් උස නිල් මැණික් චෛත්‍යයක් කරවනු ලැබීය. සරභු මහ රහතන් වහන්සේ විසින් බුදු සිරුර ආදාහනය වෙමින් තිබියදි ලබාගත් ගි‍්‍රවා ධාතුන් වහන්සේ තැන්පත් කොට දොළොස් රියන් උසට චෛත්‍යය විශාල කරන ලදී. දෙවන පෑතිස් රජතුමාගේ සොයුරු උද්ධ චූලාභය රජ විසින් තිස්රියන් උසට චෛත්‍යය විශාල කරවන ලදී. දුටුගැමුණු රජතුමා අසූරියන් උසට චෛත්‍යය විශාල කරවීය. කලක් වල්බිහිව තිබූ අතර විසිවැනි සියවසේ මැද භාගයේ දී එවකට අගමැති ඩී.එස්.සේනානායක මහතා විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදී.

02. නාගදීප චෛත්‍යය:-
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි වසරේ බක් මස චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රිකයන් දෙදෙනා අතර මැණික් පුටුවක් සඳහා ඇතිවූ සටනක් සමථයකට පත් කිරීමට දෙවැනි වර ලක්දිවට වැඩි අවස්ථාව සිහි කිරීමට මේ ස්ථානයේ නාගදීප චෛත්‍යය ඉදිකර ඇත. මුහුදෙන් වටවූ. ‘නයිනතිව්’ නම් දූපත නාගදීපය යනුවෙන් නම් කරයි. එම සටනට හේතුවූ මැණික් පුටුව උන්වහන්සේටම පූජා කළ අතර පසුව එය තැන්පත් කොට චෛත්‍යය තනවා ඇත. රාජායතන නම් වෘක්ෂයද රෝපණය කළ බැවින් රාජායතන චෛත්‍ය නමින්ද ව්‍යවහාර වේ.

03. කැලණි චෛත්‍යය:-
බුද්ධත්වයෙන් අටවැනි වසරේ වෙසක්පුර පසළොස්වක පෝ දින බුදුන් වහන්සේ තෙවැනි වරට ලක්දිවට වැඩීම වෙනුවෙන් මෙම චෛත්‍යය තනවා ඇත. දෙවැනි වර නාගදීපයට වැඩි අවස්ථාවේදී මණිඅක්ඛික නා රජු කළ ඉල්ලීමට අනුව තෙවැනි වර කැලණියට වැඩියහ. බුදුන් වහන්සේ වැඩ සිටි මැණික් පුටුව නිදන් කොට මේ චෛත්‍යය යටාල තිස්ස රජු විසින් කරවනු ලැබ ඇත.දැනට දක්නට ඇති එකම ධාන්‍යාකර චෛත්‍යයයි. සෝලියස් මැන්දිස් චිත්‍ර ශිල්පියා විසින් අඳින ලද බිතු සිතුවම් සහිත විහාර මන්දිරය පසු කලෙක තනවා ඇත.

04. ශ්‍රී පාදස්ථානය:
බුදුන් වහන්සේ තෙවැනි වර ලක්දිවට වැඩි අවස්ථාවේදී සමනළ කන්දට අධිපති සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනළ කන්දට වැඩ වම් සිරි පතුල් සටහන තැබූ ස්ථානයයි. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු බුදු සිරිපා සටහන දහ අට රියන් ගලකින් ආවරණය කොට ඒ මත සිරිපා සටහනක් කොටා ඇති බවක්ද කියැවේ.

05. දිවාගුහාව:-
බුදුන් වහන්සේ සමනළ කඳු මත තමන් වහන්සේගේ සිරි පා සටහන තබා දිවා කාලය ගත කිරීමට පැමිණි ස්ථානය වශයෙන් මේ ස්ථානය සැලකෙයි. ‘භගවා ලෙන’ නමින් හැඳින්වෙන මේ ලෙන ඉඩකඩ ඇති ලෙනකි. මෙතැනට රාත්‍රී කාලයේ දී ශ්‍රී පාදස්ථානයේ ආලෝක ධාරා පවා හොඳින් පෙනේ.

06. දීඝවාපි චෛත්‍යය:-
බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථාන කිහිපයකම චෛත්‍යය ඉදිකර ඇති අතර දීඝවාපි චෛත්‍යයද ඉන් එකකි. අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. සද්ධාතිස්ස රජතුමා විසින් තනවනු ලැබ ඇත.එතුමා විසින් කරවන ලද ‘දීඝවාපි’ නම් වැව අසල ඇති බැවින් චෛත්‍යයටද ඒ නම යොදා ඇත. දැනට ඉතිරිව ඇත්තේ චෛත්‍යයේ පහළ කොටස පමණකි.

07. මුතියංගණ චෛත්‍යය:-
බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මේ චෛත්‍යය පිහිටි ස්ථානය බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි භූමියකි. ජෙට්ඨතිස්ස නම් රජ කෙනකු විසින් විශාල කොට තනවනු ලැබ ඇත. දෙතිස්ඵල බෝධින් වහන්සේ නමක්ද මෙහි වැඩ සිටිති. මලියදේව රහතන් වහන්සේ ස්ථාන සැටකදී දේශනා කළ ‘ඡඡක්ක සූත්‍රය’ අසා සැට දෙනා බැගින් රහත්වූ බවත්, මේ ස්ථානයේදීද එසේ සස රින් මිදී විමුක්තිය ලැබූ බැවින් විමුක්තිය ලැබූ තැන යන අර්ථයෙන් ‘මුතියංගණ’ යැයි නම් තබා ඇත.

08. තිස්සමහාරාමය:-
සොළොස්මස්ථාන අතර ඇති තිස්ස මහා විහාරය හම්බන්තොට ආසන්නයේ ඇති තිස්සමහාරාමය බව බොහෝ දෙනා සලකති. කාවන්තිස්ස රජතුමා විසින් තනවනු ලැබ ඇත. එතුමා විසින්ම බුදුන් වහන්සේගේ ලළාට ධාතුන් වහන්සේ නිදන් කොට තනවන ලද සේරුවාවිල චෛත්‍යයද තිස්ස මහා විහාරය යැයි නම් කරන බැවින්, තිස්සමහාරාමය යනු සේරුවාවිල චෛත්‍යයැයිද මතයක් ඇත. කෙසේ වෙතත් තිස්සමහාරාමයද බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශය ලද භුමියකි.

09. ශ්‍රී‍්‍ර මහා බෝධින් වහන්සේ:-
මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදුසමය ගෙන එනු ලැබීමෙන් පසු ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සඟමිත් තෙරණින් වහන්සේ විසින් වැඩමවන ලදුව අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ රෝපණය කරන ලදී.

10. මිරිසවැටි දාගැබ:-
දුටුගැමුණු රජතුමා තිසාවැවට ස්නානය කිරීමට යද්දි ගලක් මත තබා ගිය කුන්තය (ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති) ආපසු පැමිණ ගැනීමට තැත් කළද අපහසු වූ බැවින් එය වටකොට තැනූ චෛත්‍ය මිරිසවැටි චෛත්‍යයයි. ආහාර ගැනීමට පෙර සංඝයා වහන්සේට පුදා ආහාර ගැනීමට පුරුදුව සිටි රජතුමාට මිරිස් මාළුවක් පිදීමට අමතක වූ අතර ඒ නිසා මීට ‘මිරිසවැටි’ දාගැබයැයි නම් කෙරිණි. සියම් රජ කුමරකුගේ ධන පරිත්‍යාගයෙන් පිළිසකර කිරීම් සිදු කෙරිණි.

11. රුවන්මැලිසෑය:-
මෙයද දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරනු ලැබ ඇත. ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති බැවින් මහා සෑය නමින් හඳුන්වයි. අඩි 350 ක් උස මේ චෛත්‍යය ලක්දිව තුන්වැනි උසම චෛත්‍යයයි. බුබ්බුලාකාර හැඩයක් ගනී. දුටුගැමුණු රජතුමා මරණාසන්නව සිටියදී , වැඩ නිමවී ඇති බව පෙන්වීමට සුදුරෙදි වලින් වසා තිබී ඇත. සද්ධාතිස්ස රජ විසින් වැඩ නිම කරන ලදී.

12. ථූපාරාම චෛත්‍යය:-
ලක්දිව බුදුසමය ස්ථාපිත වීමෙන් පසු ඉදිකරවූ මුල්ම චෛත්‍යයයි. මිහිඳු මහ රහතන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමට දේවානම්පියතිස්ස රජු විසින් කරවනු ලැබ ඇත. සුමන සාමණේරයන් වහන්සේ දෙව්ලොවෙන් ලබාගත්, බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන් කර තනා ඇත. උස අඩි 59 කි. වසභ රජතුමා විසින් ඒ වටා චේතිය ඝරයක් කරවනු ලැබ ඇත. බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි භූමියකි.

13. අභයගිරි චෛත්‍යය:-
ලෝකයේ උසම චෛත්‍ය අතරින් දෙවැනි වන මෙම චෛත්‍යය ලක්දිවද දෙවැනි උසම චෛත්‍යයයි. අඩි 370 ක් උසවේ. වට්ටගාමිණී අභය (වළගම්බා) රජු විසින් කරවනු ලැබ ඇත. රජු පලා යද්දී ‘මහා කළු සිංහලයා පලායයි’ යනුවෙන් කී ගිරි නිඝණ්ඨක සිටි ආරාමය කඩා බිඳ දමා දෙවැනි වරට බලයට පැමිණ මෙය කරවා ඇත. තමාගේ නම හා ගිරි නිඝන්ඨයාගේ නම එක් කොට නම් කර ඇත. සැඟවී සිටියදී රැකවරණය දුන් කුපික්කල විහාරතිස්ස හිමියන්ට පූජා කර ඇත. ඒ සිද්ධියට සමගාමීව ලක්දිව නිකාය භේදය ආරම්භ විය. සංස්කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ යටතේ අභයගිරි චෛත්‍යයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙයි.

14. ජේතවන චෛත්‍යය:-
ලෝකයේ උසම හා ලක්දිව උසම චෛත්‍යයයි. අඩි 400 ක් උසය. මහසෙන් රජතුමා විසින් බුදුන් වහන්සේගේ පටි ධාතුන් වහන්සේ තැන්පත් කොට කරවනු ලැබ ඇත. කොහොන්තිස්ස නම් භික්ෂුන් වහන්සේට පූජා කර ඇත. බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි තැනකි. සංස්කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ යටතේ පිළිසකර කෙරෙයි.

15. සේල චෛත්‍යය:-
මිහින්තලයේ අම්බස්ථලයට ඉහළින් ගල්තලාවක පිහිටි බැවින් ශෛල හෙවත් සේල චේතිය යැයි නම් කෙරෙයි. බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ තැන්පත් කොට තනවා ඇත. මහා දාඨික මහානාග රජ විසින් කරවනු ලැබ ඇත. බුදුන් වහන්සේ මෙබිමෙහි සමවත් සුවයෙන් වැඩ සිට ඇත.

16. කතරගම කිරි වෙහෙර:-
දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාග රජු විසින් කරවනු ලැබ ඇත. බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි රන් පුටුවද කේශධාතුන් වහන්සේ ද නිදන් කොට මේ චෛත්‍යය කරවා ඇත. මුලින් මංගල මහා චෛත්‍ය යැයි නම් කර ඇති අතර කිහිරි ගස්වලින් යුත් උයනක කරවූ බැවින් කිරි වෙහෙර යැයි නම් කෙරිණි. මේ අසලම අෂ්ඨඵල බෝධින් වහන්සේගෙන් එක් නමක් රෝපණය කර ඇත.

ඉහත සඳහන් කළ සොළොස්මස්ථාන හැර තවත් බෞද්ධ පුද බිම් රැසක්ම අපට හිමිව ඇත. මේ අතරින් බුදුන් වහන්සේගේ එක් දළදා වහන්සේ නමක් සුරක්ෂිතව තැන්පත් කොට වැඳුම් පිදුම් කරන මහනුවර දළදා මැඳුර, තවත් දළදා වහන්සේ නමක් නිදන් කොට තනා ඇති සෝමවතී චෛත්‍යය, බුදුන් වහන්සේගේ ලළාට ධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදිකර ඇති සේරුවාවිල චෛත්‍යය, තපස්ස භල්ලුක වෙළෙඳ සොහොයුරන්ට ලැබුණු කේශධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදිකර ඇති ගිරිහඬු සෑය, එසේම අවුකන, මාලිගාවිල සහ පොළොන්නරුවේ ගල් විහාරය වැනි සිද්ධස්ථානද අතිශය වැදගත්කමක් ගනී.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2xcipn4
උප්පලවණ්ණා තෙරණිය

මෝ තොමෝ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නම් නුවර කුලගෙයක ඉපිද මහජනයා සමඟ බුදුරජාණන් වහන්සේ වෙත ගොස් බණ අසන කල්හී උන්වහන්සේ එක්තරා භික්ෂුණියක සෘද්ධිමත් භික්ෂුණීන් අතරෙහි අග්‍රස්ථානය තබනු දැක සත්දවසක් මහ දන් දී ‘මම ද බුදු කෙනෙකුන්ගේ ශාසනයෙහි එකී අග්‍රස්ථානය ලබන්නෙමි’ යි ප්‍රාර්ථනා කළාය.

අනතුරුවද බොහෝ පින්කොට දෙව්ලොව ඉපිද කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බරණැස් නුවර කිකී නම් කාසි රජුගේ ගෙදර සමණගුත්තා නමින් උපත ලබා විසි දහසක් අවුරුදු බඹසර වැස බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය සඳහා පිරිවෙනක් කරවූවාය. ඇගේ අනිත් සොහොයුරියෝ සය දෙනෙක් වූහ.
ඔවුහු නම් සමණි, භික්ඛුනී, භික්ඛුනී දාසිකා, ධම්මා, සුධම්මා හා සංඝදාසිකා යන මොවුහුය. පසු කාලයකදී උත්පලවණ්ණා නම් වූයේ සමණගුත්තා ය. අනිත් සොහොයුරියෝ ඛේමා, පටාචාර, කුණ්ඩලා, කිසාගෝතමි, ධම්මදින්නා හා විශාඛා වූහ. පසුකලෙක ඕ තොමෝ නැවතත් මිනිස් ලොව එක්තරා දුගී පවුලක උපත ලැබුවාය.
දිනක් ඈ කුඹුරට යද්දි අතරමග විලක උදෑසනම පිපුණු පියුමක් දැක ඒ විලට බැස මල හා නෙළුම් පත්‍රයක් ද කඩාගෙන අවුත් පැලෙහි තබාගෙන විලඳ පාත්‍රයක් පුරා එකතු කරමින් සිටින විට ගන්ධමාදන පර්වතයෙහි නිරෝධ සමාපත්තියට සමවැදී එයින් නැගිට පිඬුසිඟා වඩනා පසේබුදු කෙනකු දැක එම විලඳ සියල්ල උන්වහන්සේගේ පාත්‍රයට පූජාකොට පියුමෙන් පාත්‍රය වසා පිළිගැන්වූහ.
පසේ බුදුරජාණන් විලඳ පාත්‍රය රැගෙන මද දුරක් වැඩි කල්හි ඇයට මෙබඳු සිතක් ඇතිවිය. “පැවිද්දන්ට මල්වලින් වැඩක් නැත. මම ඒ මල ආපසු ගෙන පලඳීමි” මෙසේ සිතා ඕ තොමෝ පසේ බුදුන්ගේ පාත්‍රය වසා තිබුණු පියුම ආපසු රැගෙන නැවතත් එය පාත්‍රය වසා ගැනීමට සුදුසු වෙයි සිතා ආපසු පසේ බුදුන්ගේ පාත්‍රය මතම පියුම තබා වැඳ තමා අතින් සිදුවූ වරදට සමාවන මෙන් අයැද සිටියාය.
අනතුරුව මෙසේද ප්‍රාර්ථනා කළාය. “මේ විලඳ ප්‍රමාණයට එනම් විලඳ ඇට පන්සියය ගණනටම මට පුතුන් ලැබේවා. පියුම පිදීමේ පිනෙන් උපන් උපන් ආත්මයෙහි පියවරක් පියවරක් පාසා පියුම් පිපේවා” පසේ බුදුවරු ඇය බලා සිටියදීම අහසට නැඟී ගන්ධමාදන පර්වතයට ගොස් එකී පියුම නන්දමූලක ගුහාවෙහි දොරකඩ පාපිස්නක් කොට තැබූහ.
සමණගුත්තාවෝ ඒ පිනින් දෙව්ලොව උපන්හ. ඇය පය තබන තබන තැන මහා පියුමක් පහළ වෙයි. ඕ තොමෝ දෙව්ලොවින් චුතව පර්වතය පාමුල එක්තරා පියුම් විලක පියුම් ගැබක උපන්නාය. එම විල සමීපයෙහි එක්තරා තාපසයෙක් වාසය කරයි.
දිනක් හෙතෙම මුහුණ සේදීම පිණිස විලට ගොස් ඈත මෑත බලන්නේ වෙනත් පියුම් ගැබකට වඩා විශාල වූ එකී පියුම් ගැබ දැක “මේ පියුම් ගැබ වෙනත් පියුම්වලට වඩා විශාලය. මෙය නො පිපීම තිබෙයි. කිසියම් විශේෂයෙක් මෙහි ඇතැ’යි සිතා දියට බැස එම පියුම කඩා ගැනීමත් සමඟ නෙළුම පිපිණ.
තාපස තෙම එම පියුම තුළ සිටි කුමාරිකාවද දැක “තමාගේම දුවකය” යන ස්නේහය උපදවා කුමාරිකාවත් රැගෙනම මල රැගෙන විත් ඇඳ මත තැබීය. ඇයගේ පිනෙන් තාපසයාගේ මාපට ඇඟිල්ලෙන් කිරි එරිණ. ඕ තොමෝ ඒ කිරි බීමෙන් වැඩී පය බිම තබන්නට තරම් වැඩුණාහ. එයින් පසු තබන පියවරක් පාසා පියුම් පිපිණ. ඇගේ රන්වන් වූ ශරීරය කුංකුම මෙන් සුවඳවත් වූවාය.
ඈ තම පියා පලවැල සඳහා ගිය කල්හි ආරාමයෙහි හුදකලාව වසයි. දිනක් එක්තරා වැද්දෙක් ආරාමය තුළ තනිවම ඉන්නා කුමාරිකාව දැක ඇය මනුෂ්‍ය දුවක් බව දැන ඒ බව බරණැස් රජුට දැන්වීය. රජතෙම ඒ පුවත ඇසූ මොහොතෙහිම ඇය ගැන පිළිබඳ සිත් ඇත්තේ වැද්දා සමඟ තාපසයා සිටි වනයෙහි ආරාමයට ගොස් තාපසයා වැඳ සුවදුක් කථා පවත්වා එකත්පස්ව හුන්නේය.
අනතුරුව රජතුමා තවුස් පිරිකර තාපසයාට පිළිගන්වා “ස්වාමිනි, මෙහි වාසය කිරීමෙන් කවර ඵලයකද? මා සමඟ ගමට යාමට එනු මැනවැ”යි ඇයදීය. “ඔබතුමා යනු මැනව. මම මෙහිම නවතිමි” යි තාපසයා කී කල්හී “ස්වාමීනි, ඔබ සමීපයෙහි කුමාරිකාවක් වාසය කරන බව ඇසීමි. එය වනාහී පැවිද්දන්ට නුසුදුසුය. ඇය මට පාවා දුන මැනවි.
මම ඇය අගමෙහෙසි තනතුරෙහි තබා ආරක්ෂා කෙරෙමි”යි කීය. තාපස තෙමේ රජුගේ වචනය අසා “දුව පදුමවතී” යනුවෙන් ඇය ඇමතීය. ඈ එක වචනයෙන්ම එහි පැමිණ තාපසයාට වැන්දාය. “දුව, ඔබ දැන් යෞවන වයසෙහි සිටින කුමාරිකාවකි. එම නිසා මේ බරණැස් රජු සමඟ යන්නැ”යි හෙතෙම කීය. ඕ තොමෝ “මැනවැ”යි පියාණන් වැඳ අඬමින් සිටියාය. ඒ මොහොතෙහිම රජතුමා ඇයව කහවුණු රැසක් මත්තෙහි තබා අභිෂේක කළේය.
පදුමවතී බිසව මාළිගයට පැමිණිදා පටන් රජතුමා වෙනස් ස්ත්‍රියකගේ මුහුණ දෙස හෝ නො බලා පදුමවතීය සමඟම විශ්වාසවන්තව වසයි. මෙයින් අතිශයින් නො සතුටට පත් අනිකුත් අන්තඞපුර ස්ත්‍රීහූ රජතුමා සමඟ රහසින් මෙසේ කීවාහූය. “මහරජ, මෑ වනාහි කතක් නම් නොවෙයි. පියුම් ගැබක උපන් වෙනත් ස්ත්‍රියක් ගැන ඔබ වහන්සේ මීට කලින් අසා ඇත්ද? මෝ තොමෝ ඒකාන්තයෙන් යක්ෂණියකි. වහාම පිටත්කොට හැරිය මැනව“ අන්තඞපුර ස්ත්‍රීන්ගේ මේ කථාව ඇසූ රජතුමා නිශ්ශබ්ද විය. වෛර බැඳගත් ස්ත්‍රීහුද “පසුව අවස්ථාවක් ලැබුණු විට කළ යුතු දෙය කරමු” යයි කථිකා කර ගත්හ.
මේ අතර රජුගේ පසල් දනව්වක කැරැල්ලක් හට ගෙන එය සංසිඳවීම පිණිස රජතුමා සේනාව සමඟ පිටත්විය. ගර්භණීව සිටි පදුමාවතී බිසව හුදකලාව වාසය කරන කල්හී අන්තඞපුර ස්ත්‍රීහූ “දැන් මැයගෙන් පළිගැනීමට සුදුසු කාලයයි” සිතා ඊට නිසි උපායක් සිතනුයේ ලීයකින් ළදරු රුවක් තනා එය වින්නඹු ගැහැනියට දී “රජබිසව වැදූ කල්හී දරුවා අපට දී මේ ලී කැබැල්ල ලෙයින් තෙමා ඇයට දෙව“යි අණ කළහ.
පදුමවතී බිසව නියමිත දිනයෙහි මහාපදුම කුමාරයන් ඇතුළු පන්සියයක් කුමාරවරු වැදූහ. අල්ලස් ගත් වින්නඹු ගැහැනිය වැදූ දරුවන් පන්සියය අන්තඞපුර ස්ත්‍රීන්ට දී ලී කැබැල්ල ලෙයින් තෙමා පද්මාවතී බිසව අතට දී “මෑණියෙනි, මේ තොප වැදූ දරුවාය”යි ලීකඩ ඇගේ ළඟ තැබීය. අන්තඞපුර බිසෝවරු තම තමන් ලැබූ දරුවන් රන් කරඬුවල බහා ගඟෙහි පාකොට යැවූහ.
සක්දෙව් රජුගේ ආනුභාවයෙන් එකී කරඬුවල “මේ දරුවෝ බරණැස් රජුට දාව උපන් කුමාරවරු වෙති” යනුවෙන් රජුට පමණක් බලාගත හැකි පරිදි අකුරු කොටා තිබිණ. පසල් දනව්ව ජයගෙන ආපසු පැමිණි රජතුමා පදුමාවතී බිසව ළඟට ගොස් ඇයට උපන්නේ දුවක ද නැතහොත් පුතකු දැ යි ඇසූ විට බිසව මුවින් නො බැණ කරබා ගත්තා ය.
සෙසු බිසෝවරු එකල්හි දර කොටස රජුට පෙන්වා “බිසව වැදුවේ මෙයය”යි කියා “ඔබගේ අලුත උපන් පුතු වඩාගෙන සුරතල් කළ මැනවැ”යි සිනාමුසු බස් දෙඩූහ. ඒ බස් අසා රජ තෙමේ අතිශයින් ශෝකයට පත්විය. එවිට අන්තඞපුර බිසෝවරු “ස්වාමීනි, අපි කලින්ද කීවෙමු. මෑ වනාහී යකින්නකි.
වහාම රජගෙයින් පිටමන් කළ මැනැවැ”යි පැවසුහ. රජතුමා කිසිවක් කරකියා ගත නො හැකිව පදුමවතී බිසව රජගෙයින් පිටමන් කළේය. පසේ බුදුන්ට පිදූ මල නැවත ආපසු ගැනීමේ අකුසලය නිසා බිසවගේ සියලු යස ඉසුරු පිරිහිණ. ශරීර වර්ණයද අතුරුදහන් විය. ඕ තොමෝ අසරණව හුදකලාව මඟට බැස එක්තරා වයස්ගත ස්ත්‍රියකගේ අනුකම්පාව ලැබ ඇගේ ගෙයි නතර වූවාය.
රජතුමා යුද්ධයෙන් ජයගෙන, තම අනිකුත් බිසෝවරු සමඟ දිය කෙළියට ගොස් නහා අවසන් කොට සිටි කල්හි අන්තඞපුර ස්ත්‍රීන් විසින් දියෙහි දමන ලද කරඬු පන්සියය මස් කරන්නන්ගේ දැලට අසුව ඒවා රැගෙන ආ කෙවුලෝ රජුට දුන්හ. රජතුමා “මේ කුමක්දැ”යි ඔවුන්ගෙන් ඇසූ කළ ඔවුහු “නොදනිමි” යි කීහ.
එකල්හි රජ්ජුරුවෝ මුල්ම කරඬුව විවෘත කොට එහි තුළ හුන් මහාපදුම කුමාරයා දැක එහි ලියා තිබුණු අකුරුද කියවා ක්‍රමයෙන් අනික් කරඬුද විවෘත කොට බැලූහ. එහි හුන් අනික් රජකුමාරවරු සාරසිය අනූ නව දෙනා ද දැක පන්සියයක් රාජකුමාරවරු මහ පෙළහරින් රජගෙට වැඩම වූහ. “මා අනුන්ගේ බස් අසා මාගේ අග මෙහෙසුන් පදුමාවතී බිසව පිටමන් කරන ලද්දේය.
වහා ඇය සිටින තැනකින් කැඳවාගෙන එව“යි රජතුමා රාජ පුරුෂයන්ට අණ කෙළේය. මෙහෙසිය සිටින තැනක් දන්නා කෙනෙක් ඇත්නම් මේ මසු දහස ගනීවා”යි නියමකොට බෙර ලැවූහ. එකල්හි පදුමාවතී බිසව නැවතී සිටි වීථියට මඟුල් ඇතු ගිය කල්හී ඈ තම යෙහෙළි මැහැල්ලට කථා කොට “අම්ම, මසු දහස ගනුවය”යි කීවාය.
එකල්හි මැහැල්ල මසු දහස ගෙන තමන් ගෙයි ඉන්නා පදුමාවතී බිසව දැක්වූවාය. රාජ පුරුෂයෝ බිසව හැඳින මහත් වූ පෙළහරින් යුතුව රජ ගෙදරට කැඳවාගෙන ගියාහූය. පන්සියයක් රාජකුමාරවරු තම මව් බිසව පිරිවරා ගත්හ. එකල්හි රජතුමා “මාගේ අග මෙහෙසිය සමඟ පන්සියයක් පුත්‍රයන් මගෙන් වෙන් කළ මේ දුෂ්ට ස්ත්‍රීන් සියල්ල අග මෙහෙසියගේ දාසියන් බවට පත් කරමි”යි ඔවුන් සියලු දෙනාම දාසියන් කළේය. පදුමවතී බිසව ඔවුන්ට සමාව දී දාසි භාවයෙන් මුදවා කුමාරවරුන්ගේ කිරිමව් තනතුරු දී තමන් මහා පදුම කුමාරයන් වැඩූහ.
පන්සියයක් රාජ කුමාරවරු සත්හැවිරිදි කල්හි දිනක් පිය රජු සමඟ උයන් කෙළියට ගොස් එහි පස්පියුම් පිපී ගිය විලක ක්‍රීඩා කරමින් හුන්හ. එසේ ක්‍රීඩාකරන කල්හි අලුත් පියුම් පිපෙන සැටිත් පරණ පියුම් වෙලී දිරා යන සැටිත් දුටු රජකුමරුවෝ ඒ ගැන සිත යොමු කොට සියල්ල අනිත්‍යයය, වෙනස්වන සුළු යයි විදර්ශනා වඩමින්ම පසේ බුදුබව ලැබූහ. පන්සියයක් පසේ බුදුවරු පියුම් පන්සියයක කෙම්පිට වැඩ සිටි කල්හී උන්වහන්සේලා පසේ බුදුබව ලැබූ බව නො දත් රාජ පුරුෂයෝ සවස් වේලෙහි “ස්වාමීනි, ආපසු රජ ගෙදරට වැඩිය මැනවැ”යි දැන්වූහ.
උන්වහන්සේලා මුවෙන් නො බැණ වැඩ හුන්හ. එදා රාත්‍රීයෙහි උන්වහන්සේලා එහිම වැඩහුන් සේක. පසු දින රාජපුරුෂයන් කලින්දා මෙන් “දේවයන් වහන්ස, මාළිගාවට වඩිනු මැනවැ”යි කී කල්හි උන්වහන්සේලා පිළිතුරු දෙමින් “අපි රාජ කුමාරවරු නොවෙමු. පසේ බුදුවරු වෙමු”යි පවසා ගිහි ස්වභාවය හැර පැවිදි වෙස්ගෙන අහසින් ගොස් ගන්ධමාදන පර්වතයටම ගියාහූය.
පදුමවතී බිසව එපවත් අසා “මම බොහෝ පුතුන් ඇත්තියක් වීමි. දැන් එකම පුතෙකුත් මට නැත්තේ” යයි බොහෝ ශෝකයට පැමිණ එම ශෝකයෙන්ම මිය පරලොව ගොස් රජගහනුවර හස්ත කර්මාන්ත කොට ජීවත්වන කුලගෙයක උපන්නාය. වැඩිවිය පත් කල්හී එක්තරා කුලගෙයකට පාවා දෙනු ලැබූ ඇය දිනක් තමන්ගේම ගිය ජාතියෙහි පුත්‍රයන් වූ පන්සියයක් පසේ බුදුන්ට මහදන් දී අවසානයේදී නිලුපුල් මල් පුදා මේ පින්කමෙහි අනුසසින් මතු උපනූපන් ජාති මාගේ ශරීර වර්ණය නිලුපුල් පැහැය වේවා”යි ප්‍රාර්ථනා කළාය.
පසේ බුදුවරු ඇයට අනුමෝදනා ගාථා පවසා ගන්ධමාන පර්වතයටම වැඩියාහුය. ඕ තොමෝ පසු කාලයේදී අපමණ පින් රැස්කොට දෙව්ලොව ඉපිද අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සැවත්නුවර සිටු කුලයක උපන්නාය. ඇගේ ශරීරය නිල් උපුල් මල්වල වර්ණයෙන් බැබළෙයි. ශරීරයෙන් නිල් උපුල් මල් සුවඳ විහිදෙයි. මේ නිසා ඇයට උප්පලවණ්ණා යයි නම් තැබිණ. ඇගේ රූප සම්පත්තිය ගැන ඇසූ සියලු දඹදිව රජවරු ඇය පාවා ගැනීමට කැමැත්තෙන් පියා වෙත පණිවිඩ එවූහ.
එක් අයකුට ඇයව විවාහ කරදීමෙන් බොහෝ දෙනකු තමා සමඟ විරුද්ධ වන බව සැලකූ හෙතෙම තම උපුල්වන් කුමරියගෙන් “පැවිදිවීමට කැමතිදැ”යි අසා ඇගේ බලවත් කැමැත්තට අනුව පැවිදි කරවීය. උත්පලවණ්ණා භික්ෂුණිය පැවිදිව නොබෝ කලකින් දැල්වෙන පහනක පහන් සිළුවක් නිමිති වශයෙන් ගෙන තේජෝ කසිණය අරමුණු කොට ධ්‍යාන වඩා එයම පාදක කොට රහත් වූවාය. සෘද්ධිමත් භාවයටද පත්වූවාය.
උත්පලවණ්ණා තෙරණිය වනාහී බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර යමක මහා ප්‍රාතිහාර්ය පෑමට සූදානම්ව සිටි අවස්ථාවෙහි එතැනට පැමිණ “ස්වාමීනි, ඔබ වහන්සේ අවසර දෙන්නේ නම් මම ප්‍රාතිහාර්ය පාන්නෙමි”යි කීවාය. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය අරමුණු කොට ගෙන භික්ෂුණීන්ට අග්‍රස්ථාන දෙන අවස්ථාවක මෙම උප්පලවණ්ණා භික්ෂුණියට ඍද්ධිමත් භික්ෂුණීන් අතර අග්‍රස්ථානය දුන් සේක.
නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි
සැකසුම – jayantha colombage

(උපුටා ගනීමකි)

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2INnR1a
“එකාදස ධම්මා විරිය සම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති, අපායභය පච්චචෙක්ඛණතා, ආනිසංස දස්සාවිතා, ගමනවිථි පච්චචෙක්ඛණතා, පිණ්ඩපාතාපචායනතා, දායජ්ජමහත්ත පච්ච-චෙක්ඛණතා සත්‍ථු මහත්ත පච්චචෙක්ඛණතා, ජාති මහත්ත පච්චචෙක්ඛණතා, සබ්‍රහ්මචාරිමහත්ත පච්චචෙක්ඛණතා, කුසීතපුග්ගල පරිවජ්ජනතා, ආරද්ධවිරිය පුග්ගල සෙවනතා, තදධි මුත්තතාති.”

මෙයින් විරිය සම්බොජ්ඣංගයට හේතු එකොළොසක් දැක් වේ. විරිය සම්බොජ්ඣංගය යනු ද වීර්‍ය්‍යය ම ය. මෙය දැක්වෙන්නේ පැවිද්දන්ගේ වශයෙනි.

1. අපාය භය සිහි කරන බව ය.
2. වීර්‍ය්‍යයෙහි අනුසස් දක්නා බව ය.
3. බුද්ධාදි උත්තමයන් වහන්සේලාගේ ගමන් මාර්ගය මෙනෙහි කරන බව ය.
4. අනුන්ගෙන් ලබන භෝජනය ගැන සලකන බව ය.
5. තමා ගේ උරුමයේ මහත් බව මෙනෙහි කරන බව ය.
6. තමා ගේ ශාස්තෘවරයා ගේ මහත් බව මෙනෙහි කරන බව ය.
7. ජාතියේ මහත් බව ප්‍රත්‍යවේක්ෂා කරන බව ය.
8. සබ්‍රහ්මචාරීන් ගේ මහත්බව ප්‍රත්‍යවේක්ෂා කරන බව ය.
9. අලස පුඟුලන් බැහැර කරන බව ය.
10. පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇතියන් සේවනය කරන බවය.
11. වීර්‍ය්‍යය ඇති කර ගැනීමට නැමුණු සිත් ඇති බව ය.

යන මේ කරුණු එකොළොස විරිය සම්බොජ්ඣංග හේතූන් සැටියට අ‍ටුවාවල දක්වා තිබේ. අප විසින් සම්පාදිත “බෝධි පාක්ෂික ධර්ම විස්තරයේ” මේවා විස්තර කර ඇත.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘පාරමිතා ප්‍රකරණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

සම්පූර්ණ ලිපි මාලාව: https://goo.gl/QZWPYX