Monthly Archives: June 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2yqOiZO
සෝභිත බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ගණනාවක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි එක් අසංඛ්‍යයක් ගෙවී මෙම කල්පයට ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර වර නම් කල්පයේ දෙපා ඇති සතුන්ට උතුම් වූ, අපමණ පිරිවර ඇති, තේජස් ඇති, අනෝමදස්සී, පදුම, නාරද නම් බුදුවරු තුන් නමක් පිළිවෙළින් පහළ වූහ. එහි අනූපම දර්‍ශන ඇති යටපත් කළ නො හැකි අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේ සොළොසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව චන්‍දවතී නුවර රජ කුලයෙහි යසවා ක්‍ෂත්‍රීය රජතුමාට දාව උස් වූ සොඳුරු පියොවුරු ඇති යසෝධරා නම් දේවියගේ කුස පිළිසිඳ ගත්හ. පිළිසිඳ ගත් දා පටන් උන්වහන්සේගේ පුණ්‍යප්‍රභාවෙන් අසූ රියන් තැන් ආලෝකය පැතිර සිටියේ ය. සඳහිරු එළියෙන් ද මැඬලිය නො හැකි විය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දසමස් ඇවෑමෙන් ඕ තොමෝ සුනන්‍ද උයනේ දී අනෝමදස්සී බෝසතුන් වැදුවා ය. පෙළහර පෙර කී නියායෙනි. මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ. නම් තබන දින උපතින් අහසෙහි සත්රුවන් වැටුණු හෙයින් අලාමක රුවන් ඉපදවීමට හේතු වූ හෙයින් උන්වහන්සේට අනෝමදස්සී යැයි නම් තැබූහ.

ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට සිරි, උපසිරි හා සිරිවඩ්ඪන නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ විසි තුන්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු දසදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ සිරිමා දේවියට උපවාන කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක සිවිකා යානයකින් (රන්සිවිගෙයකින්) අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. උන්වහන්සේ අනුව තුන් කෙළක් පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ මහපුරිස්‍හු දසමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින අනූපම බමුණුගම පිඬු සිඟා වැඩ අනූපම සිටුදූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි අනෝම නම් ආජීවකයන් දුන් කුස තණ මිටි අට ගෙන අර්ජුන (කුඹුක්) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී අටතිස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමා සමග පැවිදි වූ තුන් කෙළක් දෙනාගේ හේතු සම්පත් දැක සුභාවතී නුවර සුදසුන් උයනෙහි ධම්සක් දෙසූහ. එහිදී කෙළ සියයකට ධර්‍මාභිසමය විය.

උන්වහන්සේ සියලු සංයෝජනයන් සිඳ, කාම – රූප – අරූප යන තුන් භවයන් නසා, දෙවි මිනිසුන්ට පැවැත්මට විරුද්ධ වූ මඟ දෙසූ සේක. උන්වහන්සේ සාගරය මෙන් නො කැලඹිය හැකි ය. අහස මෙන් කෙළවරක් නැත්තේ ය. මහාමේරු පර්‍වතය මෙන් නො ළංවිය හැකි ය. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ, අසූවක් අනුව්‍යංජන ආදියෙන් මල් පිපුණු සල ගසක් මෙන් බබළයි. සත්වයෝ ඒ බුදුරදුන් දැකීමෙන් ද පිණාගියාහු දහම් දෙසන බුදුරදුන්ගේ වචන අසා නිවනට පැමිණෙන්නේ ය.

තිලොවග අනෝමදස්සී ලෝ නාහිමි හට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.
අප මහා බෝසතාණෝ ඒ කාලයෙහි මහත් ආනුභාව ඇති, නොයෙක් කෝටි ගණන් යක්‍ෂයන් වසඟ කිරීමෙහි දක්‍ෂ යක්‍ෂ සෙනෙවියෙක් වී උතුම් බුදුරදුන් වෙත එළඹ සඟුන් සහිත ලෝනාහිමියන්ට ආහාර පානයෙන් සංග්‍රහ කළේ ය. අනෝමදස්සී බුදුහු ද මෙතෙම අනාගතයේ ගෞතම නමින් බුදු වන්නේ යැයි ප්‍රකාශ කළ සේක.

මේ අනෝමදස්සී බුදුන් හමුවෙහි සැරියුත් මුගලන් යන දෙනම ද අග්‍රශ්‍රාවක භාවය සඳහා ප්‍රාර්‍ථනා කළහ. එමෙන්ම බක්කුල තෙරුන් නීරෝගීන් අතර අග්‍ර භාවය සඳහා ද ප්‍රාර්‍ථනා කළහ.

සැරියුත් මුගලන් දෙනම

අතිතයේ ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මත්තෙහි සැරියුත් තෙරුන් බ්‍රාහ්මණ මහාසාල කුලයෙහි ඉපිද නමින් සරද මානවක නම් විය. මුගලන් තෙරුන් ගෘහපති මහාසාල කුලයෙහි ඉපිද නමින් සිරිවඩ්ඪ කෙළඹියා විය. ඒ දෙදෙනා ම වැලිකෙළියේ පටන් මිත්‍රයෝ වූහ. ඒ අතර සරද මානවක තෙම පියාගේ ඇවෑමෙන් කුලය සතු ධනය පිළිගෙන වාසය කරනුයේ මෙසේ සිතී ය. “මරණය ඒකාන්තයෙන් සත්වයා කරා එළඹෙන්නේ ය. මා විසින් දුකින් මිදිය යුතුය” කියා ය. ඉක්බිති මිත්‍රයා වෙත ගොස් තමා පැවිදි වන බවත් තොපත් පැවිදි වනු රිසි නම් මා සමග පැවිදි වනු මැනවැයි දන්වා මිතුරා පැවිද්දට අකමැති බව දැන්වූ පසු තමා සතු සියලු ධනය දුගී මගී යාචකාදීන්ට දන්දී හිමවතට නුදුරු ලබ්භක නම් පර්වතය පාමුල අසපුවක් කොට ඍෂි පැවිද්දෙන් පැවිදි විය. ඔහු අනුව හැත්තෑ හතරදහසක් පමණ බ්‍රාහ්මණ පුත්‍රයෝ පැවිදි වූහ. සරද තාපස තෙමේ අෂ්ට සමාපත්ති පංච අභිඥා උපදවා පිරිසට ද ඉගැන්වී ය.

එ සමයෙහි අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේ පවත්වන ලද උතුම් දම්සක් ඇත්තේ එක් දිනක් සරද තාපසයාට සංග්‍රහ කරනු කැමති ව පාසිවුරු දරා අහසින් ගොස් තාපසයා බලා සිටිය දී ම අහසින් බැස සිටි කල්හි සරද තාපසයා ද බුදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ දැක සර්‍වඥ බුදුන් බව දැන පෙර ගමන් කොට ආසන පනවා වඩා හිඳ වූහ.

ඉක්බිති පලවැල වලින් බුදුන් සතප්පවා ශාස්තෲන් වහන්සේ වැඩහුන් කල්හි අතවැසියන් කැඳවා බුදුන් සමඟ පිළිසඳර කතාකරමින් හුන්නේ ය. එකෙණෙහි ලක්‍ෂයක් රහතුන් පිරිවැරූ අගසවුවෝ එතැනට වැඩම කළ සේක. ඉක්බිති අතවැසියන් ඇමතූ සරද තාපස තෙමේ “දරුවනි බුදුන් ප්‍රමුඛ ශ්‍රාවකයන් මල් පූජාවකින් පූජා කළ යුතුය. තොප ගොස් මල් රැගෙන එව”යි කීය. එකෙණෙහි ඍද්ධියෙන් මල් රැගෙනවුත් බුදුරදුන්ට යොදුනක් පමණ මල් ආසනයක් පැනවූහ. අග්‍රශ්‍රාවකයන්ට තුන් ගව්වක් පමණ ආසන ද ආදි ලෙස සියල්ලට ආසන පැනවූ කල්හි බුදුන් ප්‍රමුඛ සංඝයා එම ආසන වල වැඩහුන් සේක. ශාස්තෲන් වහන්සේ ඔවුන්ගේ කුසලය මහත්ඵල මහානිසංස වනු වස් නිරෝධ සමවතට සමවැදුණ සේක. ඒ දුටු භික්‍ෂූන් ද නිරෝධ සමවතට සමවැදුණ සේක. ඒ දුටු සරද තාපස තෙමේ සත් දිනක් නිරාහාර ව මහත් ප්‍රීතියෙන් බුදුන් වෙත මල් කුඩයක් දැරුවේ ය.

සත් දිනකින් සමවතින් නැගිටියා වූ ශාස්තෲන් වහන්සේ දකුණත්සව් වූ නිසභ මහ රහතන් වහන්සේ අමතා මල් ආසන පිදීමේ ආනිසංස දේශනාව පවත්වන මැනවැයි කළ ඇරයුමෙන් අනුමෝදනාව කළහ. දේශනාව අවසානයේ ශාස්තෲන් වහන්සේ වමත්සව් වූ අනෝම මහ රහතන් වහන්සේ අමතා මල් ආසන පිදීමේ ආනිසංස දේශනාවක් පවත්වන මැනවැයි කළ ඇරයුමෙන් තවත් අනුමෝදනාවක් කළහ. ධර්‍මදේශනා දෙකෙහි දීම කිසිවකුට ධර්‍මාභිසමය නො වී ය. ඉක්බිති බුදුරදහු දේශනාව පටන් ගත් සේක. අවසානයේ සරද තාපස හැර හැත්තෑ හතරදහසක් දෙනා අරහත්වයට පත් වූහ.

සරද තාපසයන් බුදුන් දහම් දෙසන සමයෙහි “අහෝ බුදුන්ගේ අග්‍ර ශ්‍රාවකයෝ මහත් අසිරිමත් වන සේක. මම ද අනාගත බුදුවරයකුගේ අග්‍ර ශ්‍රාවක වන්නේ නම් මැනවැයි” පරිවිතර්ක කළහ. එබැවින් දහම් අවබෝධ නො වී ය. ඉක්බිති බුදුන් වැඳ එසේ ප්‍රාර්‍ථනා කළ සේක. බුදුන් වහන්සේ ද ඔහුගේ ප්‍රාර්‍ථනය ඉටු වන බව දැක “මොහු මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට මත්තෙහි ගෞතම බුදුන්ගේ අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර නම් වන්නේ ය” යැයි විවරණ දී පිරිස සමඟ ආපසු අහසින් වැඩි සේක.

සරද තාපස තෙම තම මිත්‍ර වූ සිරිවඩ්ඪ සමීපයට ගොස් “මිත්‍රය මා අනෝමදස්සී බුදුන් පාමුල සිට අනාගතයේ පහළ වන ගෞතම නම් බුදුන්ගේ අග්‍ර ශ්‍රාවක තනතුර ප්‍රාර්‍ථනා කළහ. ඔබ දෙවැනි තනතුර ප්‍රාර්‍ථනා කරව.” යි කීහ. එය ඇසූ සිරිවඩ්ඪ තෙම බුදුන් ප්‍රමුඛ සංඝයා වැඩමවා සත් දිනක් මහ දන් දී අවසානයේ දී එම තනතුර පැතූ සේක. බුදුරදුන් ද ඔහුගේ එම පැතුම ඉටු වන බව දැක විවරණ දුන් සේක.

විනායක ඒ අනෝමදස්සී දම්රද හට නිසභ හා අනෝම දෙනම අගසවුවෝ ය. උපස්ථායක වරුණ නම් භික්‍ෂුව විය. සුන්‍දරී හා සුමනා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. නන්‍දිවඩ්ඪ හා සිරිවඩ්ඪ යන දෙදෙන උපස්ථායකයෝ ය. උප්පලා හා පදුමා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය පනස්අට රියන් විය.

ඒ කාලයෙහි අවුරුදු ලක්‍ෂයක් ආයුෂ පවතී. උන්වහන්සේ එතෙක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතෙර කළ සේක. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?

පස්මරුන් දිනූ අනෝමදස්සී ශාස්තෲන් වහන්සේ ධම්මාරාමයේ දී පිරිනිවී සේක. එහි ම උන්වහන්සේගේ ජිනථූපය විසිපස් යොදුනක් උසට බඳින ලදි.
සොළසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා මෙ කපින් ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර වර නම් කල්පයේ පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.

නගරය – චන්‍දවතී නුවර
ජාතිය – ක්‍ෂත්‍රීය
පියා – යසවා ක්‍ෂත්‍රීය රජතුමා
මව – යසෝධරා දේවිය
ප්‍රාසාදත්‍රය – 1. සිරි 2. උපසිරි 3. සිරිවඩ්ඪන
අග්‍රමහේෂී – සිරිමා දේවිය
පුත්‍රයා – උපවාන කුමරු
අගාරවාස – අවුරුදු දහදහසයි (10,000)
අභිනිෂ්ක්‍රමණය – සිවිකා යානය (රන්සිවිගෙය) කින් නික්මුණහ
ප්‍රධන් වීර්ය – මාස දහයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු – අනූපම බමුණුගම අනූපම සිටුදූ
කුස තණ – අනෝම ආජීවක
බෝධිය – අර්ජුන (කුඹුක්)
ශරීර රශ්මිය – දොලොස් යොදුනක් පමණ පැතිර සිටියේය
ධම්සක් දෙසීම – සුභාවතී නුවර සුදසුන් උයනෙහි
ශ්‍රාවක සන්නිපාත – ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් – නිසභ තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් – අනෝම තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් – සුන්දරී තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් – සුමනා තෙරණිය
අග්‍ර උපස්ථායක – වරුණ භික්‍ෂුව
උපස්ථායකයෝ – නන්‍දිවඩ්ඪ, සිරිවඩ්ඪ
උපස්ථායිකාවෝ – උප්පලා, පදුමා
වැඩ විසූ විහාර – ධම්මාරාමයේ
ආයු ප්‍රමාණය – අවුරුදු ලක්‍ෂයයි. (100,000)
පරිනිර්වානය – ධම්මාරාමයෙහි
බෝසතාණෝ – යක්‍ෂ සේනාධිපතිව විවරණ ලැබීය

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2t63uq2
අවුරුදු 60-70 කට මේ කුණප කොටස් 32ක් ‘මම මගේ’ කියලා සලකාගෙන කරන මේ ජිවන රංගනයේ ඇති තුච්ජ ස්වභාවය අවබෝධ කර ගැනීමට වෙහෙසෙමු.
කායානුපස්සනාව වඩමු

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2lfV5Mg
අකුසල් කරලා අපායේ යන්න ලේසි වුනත්, කුසල් කරලා දිව්‍යලෝකයේ යන එක අති දුෂ්කරයි. ඒ නිසා ඒ ගැන විශේෂ උනන්දුවකින් කටයුතු කල යුතුය

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2JJ1gHF
කුසල් යනු මොනවාද?
.
සබ්බ පාපස්‌ස අකරනං කුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරිදොaදපනං ඒතං බුද්ධාන සාසනං
.
සියලු පව් නොකරන්න. කුලසයෙහි යෙදෙන්න. තම සිත දමනය කරන්න. එය සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනයයි. පාපය නම් අපායාදී දුගතීන්හි දුක්‌විඳීමට සිදුවන ක්‍රියාය. සිත, කය වචනයෙන් එබඳු පාප ක්‍රියාවන්ගෙන් වැලකිය යුතුය. පාපයෙන් වැළකීම පමණක්‌ නිවනට හේතු නොවේ. නිවනට හේතුවන්නේ කුසල් කිරීමයි. කුසලයෙහි යෙදීමයි. සමහර දෙනා පාපයෙන් වැළකී සිටින අතර කුසල් නොකරයි. මේ දෙකම සිදුවිය යුතුය. බුදුසමය අක්‍රීයව අවබෝධ කළ හැක්‌කක්‌ නොවේ. සක්‍රීයව කළ යුත්තකි. එබැවින් කුසල් කිරීමට නම් කුසලය යනු කුමක්‌දැයි පළමුව හඳුනාගත යුතුය.
.
කුසල ක්‍රියා බොහොමයක්‌ ත්‍රිපිටකය තුළින් හඳුනාගත හැකිය. එබඳු ක්‍රියාවන් මොනවාදැයි කිහිපයක්‌ පමණක්‌ හඳුනා ගනිමු. අ.නි. පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ කුසල උපදවන පින් උපදවන කරුණු අටක්‌ දක්‌වා ඇත. එනම් ආර්ය ශ්‍රාවකයා විසින් තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යැම. මෙය කුසල උපදවන පින් උපදවන සැප ගෙන දෙන අග්‍ර රූපාදී සම්පත් හිමිවන සැප විපාක ඇති ස්‌වර්ගාදියෙහි උපතට හේතුවන පළමු කරුණයි. මෙයින් පින් කුසල් උපදවයි. පුඤ්ඤාභිසන්දති කුසාභිසන්දති. එමෙන්ම උතුම්ම ධම්මරත්නය සරණ යැම, උතුම් සංඝරත්නය සරණ යැම, පළමු කාරණා තුනයි. එමෙන්ම මහා දාන පහක්‌ දිය යුතුය. එනම් ප්‍රාණ ඝාතයෙන් වැලකී අප්‍රමාණ සත්වයන්ට අභය අවෙරය නිදුක්‌බව දයාවදී ඊට හිමිකාරයෙන් වීම හා සත්ව ඝාතනයෙන් වැළකී මහණ බමුණන් සඳහා මහා දානය දීමයි. එපමණක්‌ද නොව සොරකමින් වැළකී, කාමයෙහි වරදවා හැසිරමෙන් වැලකී බොරු කීමෙන් වැළකී, මත්පැන් මත්ද්‍රව්‍යයෙන් වැළකී මහා දන් දිය යුතුය. දානය කුසලයක්‌ වන්නේ එවිටය. මෙම කරුණු අට කුසල උපදවන සැප විපාක ලබාදෙන ක්‍රියාවන් ලෙස දක්‌වා ඇත. මෙයින් පෙන්වා දෙන්නේ පංචසීලය නොකඩා දන්දිය යුතු බවයි. පංචසීලය බිඳිමින් දෙන දානය උසස්‌ ඵල සහිත කුසලයක්‌ නොවන බව මෙමගින් අවබෝධ කරගත යුතුය.
.
අ.නි. කුසල සූත්‍රයේ දැක්‌වෙන්නේ කුසල නම් කතමඤ්ච භික්‌ඛවේ කුසලං පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී ආදී ලෙස දැක්‌වෙන්නේ කුසල නම් ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම, බොරුකීමෙන් වැලකීම, කේලම් කීමෙන් වැළකීම, පරුෂ වචනයෙන් වැළකීම, අභිද්‍යාව හෙවත් අන්සතු වස්‌තුවෙහි ලෝභ නොකිරීම, ව්‍යාපාදය හෙවත් තහරවෙන් වැළකීම හා සම්මා දිට්‌ඨිය ආදියයි. මෙම සූත්‍රයට අනුව කය, වචනය, සිත යන තුන්දොරින් කරන යහපත් ක්‍රියා කුසල වන අතර අයහපත් ක්‍රියා අකුසල නම් වේ. ඒ අනුව තිදොර සංවර කිරීම කුසලයට අයත් වේ.a එමෙන්ම ස.නි.පබ්බතූපම සූත්‍රයේදී කොසොල් රජතුමා දේශනා කරන්නේ ජරාවෙන් හා මරණයෙන් පීඩාවට පත්වන සත්වයා විසින් පින් කුසල් කළ යුතු බවයි. එම පින් කුසල් නම් ධම්චරියා සමචරියා හෙවත් දස කුසල්ය. දස කුසල නම් ඉහතින් සඳහන් කළ කුසල්ය. තවද අ.නි.චුන්ද සූත්‍රයේ දැක්‌වෙන්නේ මිනිසාගේ පිරිසිදු බව ඇතිකරන්නේ දස කුසල බවයි. ආර්ය ධර්මයේ ආර්ය විනයේ පිරිසිදු වන ධර්මය නම් දස කුසල්ය. තවද ම.නි. වේරඤ්ජන සූත්‍රයෙ දැක්‌වෙන්නේ දස අකුසල හෙවත් අධම්මචරියා විෂමචරියා කිරීමෙන් මරණින් පසු සැපයෙන් තොරවූ නපුරු ගති ඇති, විසව වැටෙන,අපාය නිරයාදියෙහි උපත ලැබීමට සිදුවන බවත්, දස කුසල් කිරීමෙන් මනා ගති ස්‌වභාව ඇති ස්‌වර්ගයේ උපත ලැබීමටත් හේතුවන බවයි. මේ අනුව දස කුසල් වැඩිය යුතුය. වර්ධනය කළ යුතුය. එය දෙලොව යහපතටම හේතුවන අතර නිවන සඳහා විශේෂයෙන් හේතුවේ.
.
ස.නි. අකුසල ධම්ම සූත්‍රයේ දැක්‌වෙන ආකාරයට අකුසල නම් මිච්ඡා දිට්‌ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි යන අනාර්ය අෂ්ටාංගික මාර්ගයයි. කුසල නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තකි. සීල, සමාධි, ප්‍රඥ ලෙස මෙය වැඩිය යුතුය. අරි අටඟි මඟ දම්සක්‌ පැවතුම් සූත්‍රයේ දැක්‌වෙන්නේ දුක්‌ඛ නිරෝධ ආර්ය සත්‍යය ලෙසය. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් තණ්‌හාවන්ගේ ඉතිරි නොමැතිව දුරුකිරීමක්‌, අතහැරීමක්‌ ඉතිරි නොකොට අත්හැරීමක්‌ මිදීමක්‌ ආලය නොකිරීමක්‌ ඇද්ද එම මාර්ගාංග අට දුක්‌ දුරුකරන ප්‍රතිපදාව වන්නේය. තථාගතයන් වහන්සේට පෙර නොඇසූ ධර්මයෙහි අවබෝධය ලැබෙන්නේ දුක්‌ඛගාමිණි පටිපදාඅරිය සච්චං භාවේතබ්බන්ති මේදුක්‌ඛ ගාමිණී ප්‍රතිපදා ආර්ය සත්‍යයවැඩිය යුතුය යනුවෙනි. එනිසා නිර්වාණාවබෝධය සඳහා මග වර්ධනය කළ යුතුය. වර්ධනය නොකරන්නක්‌ ඉබේ වර්ධනය නොවේ. මෙම වැඩීම වර්ධනය කිරීම මනාව තේරුම් ගෙන ක්‍රියාකළ යුතුය. මෙයින්ද කුසලය යනු වැඩිය යුත්කක්‌ බව පැහැදිලි වේ.
.
ස.නි. අපාර සූත්‍රයට අනුව කණ්‌හං ධම්මං විප්පහාය සුකකං භාවේථ පණ්‌ඩිතෝ පණ්‌ඩිතයා අකුසල් අතහැර කුසල් වඩන්නේය. කුසල් නම් කවරක්‌ද යත් සප්ත බොජCධංග ධර්මයෝය. සති ධම්මවිචය, විරිය පීති පස්‌දද්ධි, සමාධි, උපේක්‌ඛායන බොඡ්Cධංග ධර්මයෝය. බොCධංග නම් අවබෝධය පිණිස පවත්නා ධර්මයෝය. කුමක්‌ අවබෝධය පිණිසද? අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. උතුම් චතුරාර්ය සත්‍යය දැනුම පිණිස, අවබෝධය පිණිස නිවන පිණිස පවතින්නේය. මෙයද වැඩිය යුත්තකි. භාවිත කළ යුත්තකි. භාවිතා බහුලීකතා යනුවෙන් දැක්‌වෙන මෙම ධර්මයන් වැඩීමෙන් නිර්වාණාවබෝධය කළ හැකි බව දැක්‌වේ. තවද ස.නි. කුසල සූත්‍රයට අනුව පෙන්වා දෙන්නේ මහණෙනි යම් දහමක්‌ කුසල වෙයිද එය අප්‍රමාදීබව මූලිකකොට ඇත්තේය. අප්‍රමාදයෙහි ඇතුළත් වූවෝය. අප්‍රමාදවී බව එයට අග්‍රවේය යනුවෙනි. ඒ අනුව අප්‍රමාදීව සප්ත බොජCධංග වඩන්න. එය වැඩිය යුත්තේ විවේකයෙන් යුතුව විරාගයෙන් යුතුව, තණ්‌හාව දුරුකිරීම පිණිස, නිවන කෙළවර කොටය. මෙය වැඩිය යුත්තක්‌ මෙන්ම නිවන් පිණිස හේතුවන්නකි.
.
ස.නි. කුසලරාසි සූත්‍රයට අනුව කුසල් රැස නම් කියන්නෙක්‌ සතර සතිපට්‌ඨානය කියන්නේය. කුසල් රැස නම් කායානුපස්‌සනාව, වේදනානුපස්‌සනාව,, චිත්තානුපස්‌සනා හා ධම්මානුපස්‌සනාවයි. මෙම සතිපට්‌ඨාන වැඩීමෙන් ලැබෙන්නේ මොනවාද? ආතාපිසම්පජාතෝ සමිතා විනෙයHලෝකේ අභිජCධා දොaමනස්‌සං. කෙලෙස්‌ තවන වීර්යය ඇතිව මනා දැනුමෙන් යුතුව, සිහියෙන් යුතුව ලෝකය කෙරෙහි දැඩි ලෝභය හා දොම්නස දුරුකොට වානය කරන්නේය. මෙය කුසල් රැසකි. කේවලෝ අයං භික්‌ඛවේ කුසලරාසී. මෙම කුසලය වැඩිය යුත්තකි. තව ද අකුසල රාසි නම් පංච නීවරණ ධර්මයෝය. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්‌කුච්ච, විචිකිච්ඡා යනුයි. ඒවා අකුසල්ය. අකුසල් යටපත් කළහැක්‌කේ කුසලය වැඩීමෙනි. එනම් සතර සතිපට්‌ඨානයයි. එයින් ලබන ඵලය නම් නිර්වාණාවබෝධයයි.
.
අ.නි. අකුසල සමාපත්ති සූත්‍රයට අනුව අකුසල නම් කුසලයෙහි සද්ධාව,හිරි, ඔතප්, වීරිය, පඤ්ඤා නැති බවයි. කුසලය නම් කුසල් කිරීමෙහි සද්ධාව ඇති බව, අකුසලයට ඇති ලැඡ්ජාව, අකුසලයෙහි බිය ඇති බව, කුසලයෙහි වීර්ය ඇති බව, කුසලයෙහි ප්‍රඥ ඇති බවයි. මෙසේ ඇතිකළ අකුසල් දුරුකළ හැකිය. කුසලය උපදවා ගත හැකිය. මෙම කරුණු පහ වැදගත් වන්නේ නිවන් අවබෝධය සඳහාය. එනිසා මෙය වැඩිය යුත්තකි.
.
ම.නි. සේවිතාසේවිතබ්බ සූත්‍රයේ දැක්‌වෙන ආකාරයට සේවනය කළ යුතු හා සේවනය නොකළ යුතු ධර්ම රාශියක්‌ ඉගැන්වේ. යමක්‌ සෙවීමෙන් කුසල වැඩේ නම් එය සෙවිය යුතුය. එබඳු සේවනය කළයුතු දේ නම් කයින් කරන ප්‍රාණ ඝාතයෙන් වැලකීම, සොරකමින් වැළකීම, කාමයේ මිසහරසින් වැළකීමයි හා කායික කුසල් සිදුකිරීමයි. වචනයේ කුසල් වැඩෙන වචන කිව යුතුය. බොරු නොකියා සත්‍ය කීම, කේලම් නොකියා සමගිය පිණිස කතාකිරීම, පරුෂ වචන නොකියා මිහිරි වචන කීම, සම්පප්‍රලාප නොකියා අර්ථවත් වචනකීම යනාදියයි. තවද සිතින් කුසල් වැඩෙන සිතිවිලි සිතිය යුතුය. එනම් අනුන් අයත් දෙය තමාට අයත් වේවායි නොසිතීම, ව්‍යාපාදය බැහැරකොට මෛත්‍රිය කිරීම, මිත්‍යා දෘෂ්ටියෙන් තොරව සම්මා දිට්‌ඨිය ඇතිකර ගැනීමයි. තවද ඇසින් අකුසල් වැඩෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ෂ සෙවිය යුතුය. එමෙන්ම අකුසල වැඩෙන චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලන්පස, ගම, නියම්ගම, නගරය, පුද්ගලයන් සේනය නොකළ යුතුය. කුසල් වැඩෙන චීවර, පිණ්‌ඩපාත, සේවනය, ගිලන්පස, ගම, නියම්ගම, නගරය, පුද්ගලයා සේවනය කළයුතුය. මෙම ධර්ම කරුණු විස්‌තර වශයෙන් දැන කුසලයෙහි යෙදෙන බ්‍රාහ්මණ, ක්‌ෂත්‍රීය, වෛශ්‍ය, ක්‌ෂුද්‍ර යන ඕනෑම කෙනකුට දීර්ඝ කාලයක්‌ හිත සුව සැප පිණිස පවතින්නේය.
.
ඉහත සඳහන් වන ආකාරයට කුසල යනුවෙන් සූත්‍ර ගණනාවකම දැක්‌වෙන්නේ තම තමන් තුළ ඇතිකරගනු ලබන දක්‌ෂතාවන්ය. එය සිත, කය, වචනයෙන් සිදුකරන යහපත් ක්‍රියාය. තවද යමක්‌ කිරීමෙන් නිවන් පිණිස හේතුවේ නම් එය කුසල ගණයට ඇතුළත් වේ. මේ අනුව සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්ම වන සතර සතිපට්‌ඨාන, සතර සම්‍යක්‌ ප්‍රධාන වීර්යය, සතර සෘද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංචබල, සප්ත බොඡ්Cධංග, ආර්ය අෂ්ටාංගි මාර්ගය වැඩීම කුසල් වේ. මෙම ධර්ම සම්මා වායාම, සති යන්නෙහි පිහිටා වැඩිය යුතුය. බුද්ධ ශ්‍රාවකයන් වන භික්‌ෂු – භික්‌ෂුණී, උපාසක – උපාසිකාවන් ලෙස මෙම උතුම් කුසලයෙහි අප්‍රමාදීවීමට බුදුහු අනුශාසනා කළහ.
.
ශාස්‌ත්‍රපති පූජ්‍ය ගයිරෑනගම විනීත හිමි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2JOcIAP
තිලෝගුරු අමා මෑණි ශාක්‍ය මුනි ගෞතම බුදුරජාණන් වහන්සේ අමතන නම් 100 ක්

තිලෝගුරු අමා මෑණි ශාක්‍ය මුනි ගෞතම බුදුරජාණන් වහන්සේ අමතන නාමයන් රැසක් තිබෙනවා.
මම හිතනවා ඔයාලගෙ දැනුමට මෙම ලිපිය ගොඩක් වැදගත් වෙයි කියලා.

01) බුද්ධෝ – චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බැවින් බුද්ධෝ නම් වන සේක.

02) දසබලො – බල දහයක් දරණ බැවින් දසබල නම් වේ.

03) සත්ථා – සියලු දෙව් මිනිසුන්ගෙ ගුරුවරයා වන බැවින් සත්ථා නම් වන සේක.

04) සබ්බඤ්ඤු – ලෝකයේ සියල්ලම අවබෝධ කළ බැවින් සබ්බඤ්ඤු නම් වේ.

05) දීපදූත්තම – දෙපයින් ඇවිදින සතුන් අතර අග්‍ර වූ බැවින් දීපදූත්තම නම් වේ

06) මුනිද්‍රො – සියලු මුනිවරුන්ට අග්‍ර ප්‍රධාන වු බැවින් මුනිද්‍රො නම් වේ.

07) භගවා – සියලු භග්‍ය ධර්මයන්ගෙන් යුක්තවු බැවින් භගවා නම් වන සේක.

08) නාථො – සියලු සතුන් වෙත පිහිට වූ බැවින් නාථො නම් වන සේක.

09) චක්ඛුමා – ලෝකයේ සත්‍ය පෙනෙන බැවින් චක්ඛුමා නම් වේ.

10) අංගීරසො – ශරීරයෙන් ‍රැස් විහිදෙන බැවින් අංගීරසො නම් වේ.

11) මුනී – තිදොරින් උපදින කෙලෙස් නැසු බැවින් මුනී නම් වේ

12) ලෝකනාථො – කාම,රූප,අරූප යන තුන්ලෝ වැසියන්ට පිහිට වූ බැවින් ලෝකනාථ නම් වේ.

13) අනධිවරෝ – ලැබිය යුතු සියලු ධර්මයන් අවබෝධ කළ බැවින් අනධිවර නම් වේ.

14) මහෙසී – මහා ඍෂිවරුන් අතර අග්‍ර ප්‍රධාන බැවින් මහෙසී නම් වන සේක.

15) විනායක – ශ්‍රේෂ්ඨ හික්මීමක් (විනය) ඇති බැවින් විනායක නම් වේ.

16) සමන්තාචක්ඛු – සියලු ලෝකන්හි තොරතුරු කිසිවක් ඉතුරු නැතිව අවබෝධ කළ බැවින් සමන්තාචක්ඛු නම් වේ.

17) සුග‍තෝ – මිහිරි සුන්දර වූ නිවනට වැඩිය බැවින් සුග‍තෝ නම් ව්න සේක.

18) භූරිපඤ්ඤ – ඉතා සියුම් (මිනිස් ඇසට නොපෙනෙන) දෙය පවා හසුකර ගත හැකි බැවින් භූරිපඤ්ඤ නම් වේ.

19) මාරජි – සියලු මාරයන් පරාජය කර ජය ගත් බැවින් මාරජි නම් වේ.

20) නරසීහ – සියලු මිනිසුන් හට උතුම් බැවින් නරසීහ නම් වේ.

21) නරවරෝ – සියලු මිනිසුන් අතර උතුම් කෙනෙක් (බුදුන් වහන්සෙට සමාන) නොමැති බැවින් නරවරෝ නම් වේ.

22) ධම්මරාජා – සියලු ගුණධර්මයන්ට රජු වූ බැවින් ධම්මරාජා නම් වේ.

23) දෙවදෙවො – සියලු දෙවියන්ට දෙවි (දෙවියන්ට පිහිට) වූ බැවින් දෙවදෙවො නම් වේ.

24) ලෝකගුරු – සියලු ලෝ වැසියන්ගේ ගෞරව (ගුරු ගෞරව) ලබන බැවින් ලෝකගුරු නම් වේ.

25) ධම්මස්සාමි – සියලු ගුණධර්මයන්හි අග්‍ර ප්‍රධාන බැවින් ධම්මස්සාමි නම් වේ.

26) තථාගත – සසර නොනැවති නිවණට පැමිණි බැවින් තථාගත නම් වේ.

27) සයම්භූ-තමාම සියලු ධර්මයන් අවබෝධ කළබැවින් සයම්භූ නම් වේ.

28) සම්මා සම්බුද්ධ – පංචවිධ ඥෙය්‍ය මංඩලය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

29) වරපඤ්ඤ – කිසිවකුට සමකල නොහැකි නුවණ දරණ බැවින් වරපඤ්ඤ නම් වේ.

30) අන්නජිත – ජයගත යුතු සියල්ලම ජයගත් බැවින් අන්නජිත නම් වේ.

31) අසමෝ – කිසිවෙකුට සමකළ නොහැකි බැවින් අසමෝ නම් වේ.

32) අස සමෝ – වෙනත් බුදුවරුන්ට පමනක් සමකළ හැකි බැවින් අස සමෝ නම් වේ.

33) අප්පටිමෝ – සියලු ලක්ෂණ ඇතුළත් කර ප්‍රතිමාවක් නොකළ හැකි බැවින් අප්පටිමෝ නම් වේ.

34) අප්පටිභාගෝ-තමන් දෙසු ධර්මය එසේ නොවේ යැයි කිමට කිසිවෙක් නොමැති බැවින් අප්පටිභාග නම් වේ.

35) අප්පටි පුද්ගලෝ – ඔබ බුදුන් නොවේ, මම බුදුවරයායි කීමට කිසිවෙක් නොමැති බැවින් අප්පටි පුද්ගල නම් වේ

36) සෙට්ඨො – සියලු ලෝ වැසියන්ට ශ්‍රේෂ්ඨ වූ බැවින් සෙට්ඨො නම් වේ.

37) ජෙට්ඨො – සියලු ලෝ වැසියන්ට වැඩිමහල්ලා වූ බැවින් ජෙට්ඨො නම් වේ.

38) සත්‍යපුංගව – ශාක්‍ය වංශය බබලවන බැවින් ඒ නම යෙදේ.

39) මායාදෙවිසුභ – මායා දේවියගේ පුතා වූ බැවින් මායාදෙවිසුභ නම් වේ.

40) සමන්තභද්ද – සියලු තැනම යහපත සිදුකරන බැවින් සමන්තභද්ද නම් වේ.

41) නරාසභ – මිනිසුන් අතර ඉපිද මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ බැවින් නරාසභ නම් වේ.

42) ලෝකජින – සියලු ලෝක ජයගත් බැවින් ලෝකජින නම් වේ.

43) ලෝකජි – ජයගත යුතු වෙනත් ලෝකයක් නොමැති බැවින් ලෝකජි නම් වේ.

44) පුරිසධම්මසාරති – පුරිසයන් දමනය කිරීමේ දක්ෂ බැවින් ඒ නම් වේ.

45) ධම්මස්සරෝ – සියලු ධර්මයන්ට ප්‍රධාන බැවින් ධම්මස්සරෝ නම් වේ.

46) අච්චෙජකධජ්ජ වචනො – නොබිඳිය හැකි වචන ඇති බැවින් ඒ නමින් හැඳින්වේ.

47) සත්ථ වාහක – අනේක සත්වයන් සසරින් එතෙර කරන බැවින් සත්ත වාහක නම් වේ.

48) විශුද්ධිදෙව – සියලු කෙලෙසුන්ගෙන් මිදුනු බැවින් ඒ නම් වේ.

49) සමණීස්සර – සියලු ශ්‍රමණයන්ට අධිපති වූ බැවින් සමණීස්සර නම් වේ.

50) ජළභිඤුඤ – සමභිඤු ලැබූ බැවින් ඒ නම යෙදේ.

51) ජනෙසුත – සියලු සත්වයන්ට දෙමාපියෙකු වූ බැවින් ජනෙසුත නම් වන සේක.

52) යතිරාජ – සියලු යතිවරුන්ට රජබැවින් යතිරාජ නම් වේ.

53) ලෝකබන්ධු – සියලු ලෝ වැසියන්ගෙ විස්වාස වූ නෑයා බැවින් ඒ නම් වේ.

54) ලෝකපජේජාත – තුන් ලොවෙහි අඳුර දුරලු පහනක් වූ බැවින් මේ නම් වේ.

55) අමතංදද – නිර්වාණය නැමති අමෘතය සොයාදුන් බැවින් ඒ නම් වේ.

56) සද්ධම්මචක්කවත්ති – සියලු සද්ධර්මයන්ට අණසක පතුරවන බැවින් ඒ නම් වේ.

57) ලෝකදීප – තුන් ලොවට පහනක් වූ බැවින් ඒ නම යෙදේ.

58) නිරුත්තමෝ – කිසිලෙසකින් උතුම් බව නොපිරිහෙන බැවින් ඒ නම යෙදේ.

59) ලෝකත්තයවිදු – තුන්ලොව අඳුර දුරලූ පහනක් වැනිවූ බැවින් ඒ නම යෙදේ.

60) පුරිසත්තම – ලොවට උතුම් ශ්‍රේෂ්ඨ පුරුෂයකුවූ බැවින් මේ නමින් හැඳින්වේ.

61) සච්චදදස – ලෝකයේ සියලු සත්‍ය දු‍ටු බැවින් ඒ නම් වේ.

62) සතප්‍රඤ්ඤ ලක්ඛණ – සියයක් පිං ලකුණු දරන බැවින් ඒ නම යෙදේ.

63) රවිබන්දු – සූර්ය වංශයට නෑයෙක් වූ බැවින් ඒ නමින් හැඳින් වේ.

64) පඤචනෙත්ත – පසැස් ඇති බැවින් පඤචනෙත්ත නම් වන් සේක.

65) සබ්බාහිගූ – සියලු කෙලෙස් මැඩලූ බැවින් ඒ නම යෙදේ.

66) සබ්බාහිවිදු – සියලු නුවණින් පසක් කළ බැවින් ඒ නම යෙදේ.

67) පාරගූ – සසර සයුරෙන් එතෙර වූ බැවින් ඒ නම යෙදේ.

68) සබ්බදස්සාමි – සියලු ධර්මයන් බෙදා දක්වන බැවින් ඒ නම යෙදේ.

69) නරසාරථි – සියලු මිනිසුන් නිවැරදි මාර්ගයෙ යොදවන බැවින් නරසාරථි නම් වේ.

70) තාදී – අටලෝ දහමට නොසැලෙන බැවින් තාදී නම් වේ.

71) විභජජවදි – සියලු ධර්මයන් නිරවුල්ව බෙදා දක්වන බැවින් ඒ නම යෙදේ.

72) මහා කාරුණිකො – සියලු සතුන් හට කරුණා දක්වන බැවින් ඒ නමින් හැඳින් වේ.

73) චක්බුභූතො – සියල්ල දක්නා ඥානය නැමති ඇස ඇති බැවින් ඒ නමින් හැඳින් වේ.

74) ධම්මභූතො – සියලූම ධර්මය අඩු නැතිව දත් බැවින් ධම්මභූතො නම් වේ.

75) ඤාණභූතො-සියලු ඤාණයන් අඩු නැතුව දත් බැවින් ඒ නමින් හැඳි වේ.

76) පුරිසාදඤ්ඤ – මිනිසුන් අතර දුර්ලභ උපතක් නිසා ඒ නම යෙදේ.

77) මාරභඤ්ජන – සියලු මාර බලයන් බිදලූ බැවින් ඒ නමින් හැදින් වේ.

78) අමෝඝවචන-කිසි දිනෙක හිස් වචන නොකියන බැවින් ඒ නම යෙදේ.

79) අකණිට්ඨක – කිසිවකුට බාල නොවන බැවින් අකණිට්ඨක නම් වේ.

80) ගුනාකාර – සියලු ගුන මතු කෙරෙන ආකාරය බැවින් ඒ බැවින් හැදින් වේ.

81) තිකාලවිදූ – තුන් කාලයම අවබෝධ කළ බැවින් ඒ නම් වේ.

82) වීතරාගෝ – සියලූම ගුන ඇති බැවින් වීතරාගෝ නම් වේ.

83) චීතදෝසෝ – සියලු ද්වේෂයන් පහ කළ බැවින් චීතදෝසෝ නම් වේ.

84) චීතමෝහෝ – සියලු මෝහයන් පහ කළ බැවින් ඒ නමින් හැඳින් වේ.

85) නිකලෙසී – කිසිදු නොමැති බැවින් නිකෙලෙසී නම් වේ.

86) ශාක්‍ය මුනි – ශාක්‍ය වංශයේ උපත වූ ඍෂි වරයානන් බැවින් ශාක්‍ය මුනි නම් වේ.

87) ගෞතම – බුදුවූ නාමය ගෞතම නම් වේ.

88) සිද්ධාර්ථ – අර්තයක් සිද්ද කරණ බැවින් සිද්ධාර්ථ නම් වේ.

89) මහා වීර – තුන් ලෝව ඇතුලු සියල්ලම දිග් විජය කළ බැවින් මහා වීර නම් වන සේක.

90) භාග්‍යවතුන් වහන්ස – සංසාරයෙන් මිදිමට හැකි භාග්‍ය තිබුන බැවින් ඒ නමින් හැදින් වේ.

91) බුද්ධවීර – සියලු මාරයන් පරාජය කර බුදුවු බැවින් ඒ නම යෙදේ.

92) ශාක්‍යසිංහ – යමහ මහ පෙළහර පැමෙන් ශාක්‍යන් දමනය කිරිම නිසා ඒ නමින් හැඳින්වේ.

93) සර්වඥ – ගුරුවරයකු නොමැතිව තමා විසින්ම ධර්මය අවබෝධ කරගැනිම නිසා ඒ නම් යෙදේ.

94) ජින – ලෝකය දිනූ බැවින් ජින නම් වේ.

95) තිලෝගුරු – බ්‍රහ්ම,දේව,මනුස්ස යන තුන් ලෝකයේහිම ගුරුවරයා බැවින් ඒ නම යෙදේ.

96) අමාමෑණි – මවක් තම එකම පුතුට දක්වන සෙනේහස මෙන් ලෝවැසියාට පිහිටවන බැවින් ඒ නම යෙදේ.

97) බුදුපියානන් – පියකු තම දරුවන්ට ‍රැකවරනය සලසන මෙන් ලෝවැසියන්ට ‍රැකවරනය සැලසු බැවින් ඒ නම යෙදේ.

98) ශ්‍රමණ ගෞතම – ගෞතම නාමයෙන් තපස් දිවියක් ගත කළ නිසා ඒ නම යෙදේ.

99) භවත් ගෞතම – නිවනට පැමිනි වාසනාව (භාග්‍ය) තිබු බැවින් ඒ නම යෙදේ.

100) අජරාමර ලෝක නාථ – සංසාරය නැමති ජරා මරණයෙන් සදහටම මිදි,