Monthly Archives: September 2018

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2xMr3FO
==පුණ්ණ මන්තානිපුත්ත තෙරණුවෝ==

නව වැන්නෙහි පුණ්ණො මන්තානිපු‍ත්තො යනු නමින් පුණ්ණය. හෙතෙමේ මන්තානි බැමිණියගේ පුතාවේයයි මන්තානි පුත්ත නමි. ඔහුගේ ප්‍රශ්නකමර්‍යෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙම වනාහි පියුමුතුරා භාග්‍යවතුන්වහන්සේ පහළවීමට කලින්ම හංසවතී නුවරෙහි බමුණුමහසල් කුලයක උපන්නේය. ඔහුට නම් ගන්වන දිනයෙහි ගොතමයි නම් කළාහුය.

හෙතෙම වියට පැමිණියේ තුන්වේදයන් උගෙන සියලු ශිල්පයන්හි දක්‍ෂවී මානවකයන් පන්සියයක් පිරිවරකොට ඇත්තේ හැසිරෙමින් ත්‍රිවේදයන්ද විමසමින් මොක්‍ෂධර්‍මයක් සොයන්නේ නොදැක මේ ත්‍රිවේදය නම් කෙසෙල් කඳන් මෙන් පිටින් මටය. ඇතුළතින් හරනැත්තේය. මෙය ගෙන හැසිරීම දහයියා කෙටීමක් බඳුවෙයි. මෙයින් මට කවර වැඩෙක්දැයි සෘෂි පැවිද්දෙන් පැවිදව බඹවිහරණයන් උපදවා නොපිරිහුණුධ්‍යාන ඇතිව බඹලොව සෙලවමින් යන්නේමැයි මානවකයන් පන්සියය සමඟ පර්‍වතපාදයට ගොස් සාෂි පැවිද්දෙන් පැවිදි විය.

ඔහුට අටළොස් දහසක් ජටිලයෝ පිරිවරවූහ. හෙතෙම පංචාහිඥ අෂ්ට සමාපත්තීන් උපදවා ඔවුනටද කසිණ පරිකර්‍ම කියා දුන්නේය. ඔවුහු ඔහුගේ අවවාදයෙහි සිට සියල්ලෝම පංචාභිඥාඅෂ්ට සමාපත්ති ඉපදවූහ. කල් ඉක්මුණු කල්හි ඒ ගොතම තාපසයාගේ මහළු කල්හි පදුමුත්තර දශබලයන්වහන්සේ උතුම් අභිසම්බෝධියට පැමිණ පවත්වන ලද උතුම් දම්සක් ඇතිසේක් භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර කොට ඇත්තාහු හංසවතී නුවර ඇසුරු කර වාසය කළසේක.

උන්වහන්සේ එක් දිනක උදෑසන කාලයෙහි ලොව බලා වදාරණසේක් ගෝතම තවුසාගේ පිරිසගේ රහත් බවට උපනිශ්‍රයද ගෝතම තවුසා ‘මම අනාගතයෙහි උපදින බුදුකෙනෙකුන්ගේ සසුනෙහි ධර්‍මකථිකභක්‍ෂූන් අතුරෙන් අග්‍ර වන්නෙමි’යයි පතනබවද දැක උදයෙන්ම සිරුර පිළිදැගුම්කොට තමන්ගේ පාසිවුරු තෙමේම ගෙන අප්‍රකට වේශයකින් ගෝතම තවුසාගේ අතවැස්සන් වනමුල් පලවැල සඳහා ගියකල්හි වැඩම කොට ගෝතමගේ පන්සල් දොරටුවෙහි සිටිසේක.

ගෝතම තෙමේ බුදුන්වහන්සේ උපන් බව නොදන්නේවුවද දුරදීම දශබලයන් වහන්සේ දැක මේ පුරුෂයා ලොවින් මිදුනෙක්වී පැනෙයි. මොහුගේ ශරීර නිෂ්පත්තිය යම්සේ වේද යම්වූ ලක්‍ෂණයන්ගෙන් සමන්විත වූයේද (එබඳු පුද්ගලයා) ගිහිගෙහි සිටින්නේ හෝ සක්විති රජවෙයි. පැවිදිවන්නේ හෝ ඉවත්කරන ලද සසර පියසි ඇති සර්‍වඥවූ බුදු වේයයි දැන පළමු දැකීමෙන්ම දශබලයන් වහන්සේ වැඳ ‘භාග්‍යවතුන්වහන්ස, මෙහි වඩිනු මැනවැ’යි බුද්ධාසනයක් පනවා දුන්නේය. තථාගතයන්වහන්සේ තවුසාට දම් දෙසමින් වැඩහුන්සේක.

එකල්හි ඒ ජටිලයෝ මිහිරි මිහිරි වනමුල් පලවැල ආචාර්‍ය්‍යවරයාට දී ඉතිරිය වළඳමුයි එන්නාහු උසසුන්හි හිඳිනා දශබලයන්වහන්සේසේද මිටි අසුනෙහි හිඳිනා ඇදුරුවරයාද දැක අපි මෙලොව අපගේ ඇදුරුවරයාගෙන් ශ්‍රේෂ්ඨවූවෙක් නැතැයි හැසුරුණෙමු. දැන් වනාහි අපගේ ඇදුරුතුමන් මිටි අසුනෙහි හිඳුවා උසසුන්හි හුන්නෙක් පැනෙයි. ඒකාන්තයෙන්ම මේ පුරුෂයා ශ්‍රේෂ්ඨයෙක් වන්නේයයි (පලවැල) කුඩා රැගෙන ආවාහුය. (ගෝතම තවුසා) මොවුහු දශබලයන්වහන්සේ ඉදිරියෙහි මට වඳින්නාහුයයි බියපත් වුයේ, ‘දරුවනි, මට නොවඳින්න. දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගලයා වූ සියල්ලන්ගේ වැඳුමට සුදුසු වූ පුරුෂයා මෙහි හුන්නේය. උන්වහන්සේ වඳුව’යි කීවේය. තවුසෝ නොදැන ඇදුරුතුමා නොකියතියි සියල්ලෝම තථාගතයන්වහන්සේගේ පාදයන් වැන්දාහුය.

දරුවනි, දශබලයන්වහන්සේට දිය යුතු අන් බොජුනක් අපට නැත. මේ වන මුල්පලාපල දෙන්නෙමුයි කියා මිහිරි මිහිරි දෙය බුදුන්වහන්සේගේ පාත්‍රයෙහි පිහිටවීය. ශාස්තෘන්වහන්සේ වනමුල්පලාපල වැළදූසේක. ඉන් අනතුරුව තවුසාද අතවැසියන් සමඟ වැළදුවේය. ශාස්තෘන්වහන්සේ බත්කිස කොට, ‘දෙඅගසව්වෝ භික්‍ෂූන් ලක්‍ෂයක් ගෙන එත්වායි සිතූසේක. එසමයෙහි අගසව් මහාදේව තෙරුන්වහන්සේ ‘ශාස්තාන්වහන්සේ කොහි වැඩිසේක්දැයි විමසා බලන්නේ ශාස්තෘන්වහන්සේ ‍අපගේ ගමන බලාපොරොත්තු වන සේකැයි භික්‍ෂූන් ලක්‍ෂයක් ගෙන ශාස්තෘන් සමීපයට ගොස් වැඳ නමඳිමින් සිටියහ.

ගෝතම තවුසා අතවැසියන්ට, දරුවනි, අපට වෙනත් සත්කාරයක් නැත. භික්‍ෂු සංඝයා දුකසේ සිටියේයි. බුදුපාමොක් බික් සඟනට මල් අසුනක් පනවන්නෙමු. දිය ගොඩමල් ගෙන එව්යයි කීවේය. ‍ඔවුහු එකෙණෙහිම පර්‍වතපාදයෙන් පැහැයෙන් හා සුවඳින් යුත් මල් සෘද්ධියෙන් ගෙනවුත් සැරියුත්තෙරුන්ගේ කථාවස්තුවෙහි කියනලද අයුරින් අසුන් පැනවූහ. නිරෝධ සමාපත්තියට සමවැදීමද සත් දැරීමද සියල්ල කී ක්‍රමයෙන්ම දතයුතුය.

ශාස්තෘන්වහන්සේ සත්වෙනි දිනයෙහි නිරෝධයෙන් නැඟිට පිරිවරා සිටි තවුසන් දැක ධමර්‍කථිකභාවයෙහි අග්‍රස්ථානයට පත් සව්වකුට ‘භක්‍ෂුව, මේ තවුස්ගණයා, විසින් මහත් බුද්ධසත්කාරයක් කරනලදී. මොවුනට මල් අසුන් අනුමෝදනාව කරන්නැ’යි පැවසූසේක. හෙතෙම ශාස්තෘන්වහන්සේගේ වචනය පිළිගෙන තුන්පිටකයන් සම්මර්‍ශනය කරමින් අනුමෝදනය කළේය. උන්වහන්සේගේ දෙසුම කෙළවර ශාස්තෘන්වහන්සේ තෙමේ බ්‍රහ්මස්වර විහිදුවා දම්දෙසූසේක. දෙසුමඅවසන්හි ගෝතමයන් හැර සෙසු අට‍ළොස් දහසක් ජටි‍ලයෝ රහත්බවට පැමිණියාහුය.

ගෝතම වනාහි ඒ අත්බැවින් ප්‍රතිවේධ කිරීමට නොහැක්කේ භාග්‍යවතුන්වහන්සේට ‘භාග්‍යවතුන්වහන්ස, යම් භික්‍ෂුවක විසින් පළමුව ධර්‍මය දෙසන ලද්දේ? මෙතෙම නුඹවහන්සේගේ සසුනෙහි කවරෙක් නම් වේදැයි ඇසුවේය. ‘ගෝතමය, මෙතෙම මගේ සසුනෙහි ධර්‍මකථිකයන් අතුරෙන් අග්‍රයාය.’ ‘ස්වාමීනි, මමද සත්දිනක් කරනලද මේ ප්‍රාර්ථනාවගේ බල‍යෙලන් මේ භික්‍ෂුව මෙන් අනාගතයෙහි එක් බුදු කෙනෙකුන්ගේ සසුනෙහි ධර්‍මකථිකයන් අතුරෙන් අග්‍රවන්නෙමැ’යි ප්‍රාත්‍ථ‍ර්‍‍නා කොට පාමුල්හි වැදහොත්තේය.

ශාස්තෘන්වහන්සේ අනාගතය බලා අනතුරකින් තොරව මොහුගේ පැතුම ඉටුවන බව දැන, ‘අනාගතයෙහි කල්ප ලක්‍ෂයක අවෑමෙවන් ගෞතම නම් බුදුකෙනෙක් උපදින්නාහ. නුඹ උන්වහන්සේගේ සසුනෙහි ධර්‍මකථිකයන් අතුරෙන් අග්‍ර වන්නෙිය’යි විවරණදී ඒ රහත්වූ තවුසන්ට ‘එව්, මහණෙනි’යි වදාළසේක. සියල්ලෝ අතුරුදහන්වූ කෙස් රැවුල් ඇත්තාහු සෘද්ධිමයවූ පාසිවුරු දරන්නාහු වස් සියයක් ඇති තෙරුන් මෙන් වූහ. ශාස්තෘන්වහන්සේ බික්සඟන සමඟ විහාරයට වැඩිසේක.

ගෝතමද දිවිඇති තෙක් තථාගතයන් වහන්සේ ඇසුරු කොට ශක්ති පරිද්දෙන් පින්කම්කොට කල්ප ලක්‍ෂයක් දෙව් මිනිසුන් අතර සැරිසරමින් අපගේ බුදුන්වහන්සේගේ කාලයෙහි කිඹුල්වත් නුවරට නුදුරෙහි දොණව‍ත්‍ථු බමුණුගමෙහි බමුණු මහසල් කුලයක උපන්නේය. ඔහුට නම් ගන්වන දිනයෙහි පුණ්ණ මානවයායි නමක් කළාහුය.

ශාස්තෘන්වහන්සේ අභිසම්බෝධියට පැමිණ පවත්වනලද උතුම් දම්සක් ඇතිව පිළිවෙළින් අවුත් රජගහ නුවර ඇසුරු කොට වාසය කරනකල්හි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්වහන්සේ කිඹුල්වතට ගොස් තමාගේ බෑණණුවන් වන පුණ්ණ මානව‍කයා පැවිදි කරවා යලි බුදුන්වහන්සේ වෙත අවුත් උන්වහන්සේ වැඳ සැල කොට විසීම සඳහා ඡද්දන්ත විලට වැඩියහ. පුණ්ණ මන්තානිපුත්ත තෙමේද මයිලණුවන් වන අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් සමඟ බුදුන්වහන්සේ සමීපයට නොගොස් මගේ පැවිදිකිස මුදුන් පමුණුවාම බුදුන් සමීපයට යන්නේමැයි කිඹුල්වතෙහිම නැවතුනේ නුවණින් මෙනෙහි කිරීමෙහි කටයුතු කරන්නේ නොබෝ කලකින්ම රහත්බවට පැමිණියේය.

උන්වහන්සේ සමීපයෙහි පැවිදිවූ කුලපුත්‍රයෝද පන්සියයක් වූහ. තෙරුන්වහන්සේ තෙමේ දසවත්‍ථුකථා ලැබීම් ඇති හෙයින් ඔවුන්ටද දසවත්‍ථු කථාවන්ගෙන් අවවාද කරති. ඔවුහු උන්වහන්සේගේ අවවාදයෙහි සිට සියල්ලෝම රහත්බවට පත්වූහ. ඔවුහු තමන්ගේ පැවිදි කිස මුදුන් පත්බව දැන උපාධ්‍යයයන් වෙත එළඹ, ‘ස්වාමීනි, අපගේ කිස මුදුන් පැමිණියේයි. දසකථාවත්‍ථුලාභිහුද වෙමු. අපට බුදුන් දැකීමට කාලයයි’ කීහ. තෙරුන්වහන්සේ ඔවුන්ගේ කථාව අසා, ‘මගේ දසකථාවත්‍ථුලාභිතාව බුදුන්වහන්සේ දන්නා සේක. මම දම් දෙසසන්නෙම් දසකථාවස්තූන් නොහැරම දෙසමි මා යනකල්හි මේ සියල්ලෝම මා පිරිවරා යන්නාහ. මෙසේ ගණසංඝනිකාවෙන් ගොස් බුදුන් දැකීමට මට නොසුදුසුය. මොවුහු පළමුව ගොස් බුදුන් දකිත්වා’යි (සිතා) ඇවැත්නි, නුඹලා කලින් ගොස් තථාගතයනවහන්සේ දකිවු. මගේ වචනයෙන් උන්වහන්සේගේ දෙපාද නමදිවු. මමද නුඹලා ගිය මගින්මයන්නෙමි’යි ඒ භික්‍ෂූන්ට කීහ.

බුදුන්වහන්සේගේ උපන් රටෙහි වසන්නාවූ ඒ සියලු තෙරවරුම සියල්ලෝ ක්‍ෂීණාශ්‍රව වූවාහු සියල්ලෝ දසකථාවත්‍ථුලාභිවූවාහු තමන්ගේ උපාධ්‍යායයන්ගේ අවවාදය කඩනොකොට තෙරුන් වැඳ පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් සැටයොදුන් මඟ ඉක්මවා රජගහනුවරෙහි වෙළුවන විහාරයට ගොස් බුදුන්වහ්නසේගේ පා වැඳ එකත්පසෙක හුන්නාහුය. ‘ආගන්තුක භික්‍ෂුන් සමඟ පිළිසඳරෙහි යෙදීම භාග්‍යවත්වූ බුදුවරුන්ගේ පුරුද්දකි’යි භාග්‍යවතුන්වහන්සේ ඒ භික්‍ෂුන් සමඟ ‘මහණෙනි, සුවදුක් කෙසේද’ ආදීවශයෙන් මිහිරි පිළිසඳර කොට ‘මහණෙනි, තෙපි කොහි සිට ආවුහුදැ’යි විමසූසේක. ඔවුන් විසින් ‘ජාතිභූමියෙන්’ යයි කී කල්හි, ‘මහණෙනි ජාතිභූමියෙහි ජාතිභූමකවූ භික්‍ෂූන්ට සබ්‍රම්සරුන් ලවා මෙසේ සම්භාවනා කරනලද්දේ තමාද අපිස්වූයේ භික්‍ෂූන්ට අපිස්කතා කළ තැනැත්තේ කවුරුදැ’යි දසකථාවත්‍ථුලාභීවූ භික්‍ෂුව ගරන විමසූසේක. ඔවුහුද ‘ස්වාමීනි, පුණ්ණ නම්වූ ආයුෂ්මත් මන්තානි පුත්‍ර‍යයි සැළකළාහුය.

ආයුෂ්මත් සැරියුත් තෙරුන්වහන්සේ ඒ කථාව අසා තෙරුන් දකිනු කැමැත්තෝ වූහ. ඉක්බිති ශාස්තෘන්වහන්සේ රජගහනුවරින් සැවතට වැ‍ඩිසේක. පුණ්ණ තෙරණුවෝ එහි දශබලයන්වහන්සේගේ පැමිණීම අසා, ‘ශාස්තෘන්වහ‍න්සේ දකින්නෙමි’යයි ගොස් ඇතුළු ගඳ කිළියෙහිදීම තථාගතයන්වහන්සේ වෙත එළඹුණහ. ශාස්තෘන්වහන්සේ ඔහුට දම් දෙසූසේක. තෙරණුවෝ දහම් අසා බුදුන් වැඳ විවේකය සඳහා අන්‍ධවනයට ගොස් එක්තරා රුක්මුලක දිවාවිහාරණයෙහි හුන්සේක. සැරියුත් තෙරණුවෝද උන්වහන්සේගේ පැමිණීම අසා හිස් අනුව බලමින් ගොස් අවස්ථාව සලකා ඒ රුක්මුලට ගොස තෙරුන් සමඟ සතුටු වී සප්ත විශුද්ධි පිළිවෙළ විමසූහ. තෙරුන්වහන්සේද සැරියුත් තෙරුන් විමසූ විමසූදෙය පැහැදිලි කළහ. ඔවුහු ඔවුනොවුන්ගේ යහපත් කථා පිළිබඳව සතුටුවූහ. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑතභාගයෙහි බික්සඟන මැද වැඩසිටිසේක් තෙරුන් ධර්‍මකථිකයන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2xK6ERU
සුන්ලුන් මහරහතන් වහන්සේ (1878-1952) බුරුම රට

(භාවනාවට පෙර හැදෑරිය යුතු උතුම් චරිතාපදානයකි)

මෑත කාලයේ පහලවු ආර්ය්‍යන් වහන්සේලා අතරින් මා වඩාත්ම ගරැකරන්නෙ සුන්ලුන් මහා රහතන් වහන්සේටයි. උන්වහන්සේ ගිහිකල නූගත් ගොවියෙක්වන අතර නමින් උ ජෝ ඩින් වේ. උ- යනු බුරැමයේ පිරිමි උදවියට යොදන ගෞරව ආමන්ත්‍රණයකි. සුන්ලුන් ගමේ ජිවත්වු මොහුට උ සන් ටින් නම් සාස්තර කාරයෙක් මුන ගැසුනි. උ සන් ටින් ඔහු වෙනුවෙන් සාස්තරයක් කීවේය. එනම් මිනිසුන්ට අමතකවී තිබු බුදුන්ගේ දහම නැවත එලි දකින බවයි. උ ජෝ ඩින් හා බිරිඳ ඉඩමක් මිලදි ගෙන තල වගා කලේය. ගමේ වැඩිම තල අස්වැන්න ලැබුණේ ඔවුන්ටයි .අනතුරැව ගමේ දාගැබට තෙල් පහන් පූජා කලේය. යමෙකු ලෞකික සම්පත් සිඝ්‍රයෙන් වැඩි වේනම් ඔවුන් ඉක්මනට මියයන කථාවක් ඔහු අසා ඇත.ඔවුන් සිටි ප්‍රදේශයේ වසන්ගත රෝගයක්ද පැතිර යමින් තිබුනි.දිනක් සිහිනෙන් බුදුරැවක් මැවී මා නැවත ඔබ සමග කථා නොකරමි යනුවෙන් කීවේය. මේ සිදුවීම් පෙල නිසා උ ජෝ ඩින් ට මරණ බිය ඇති විය.මෙය ඔහුගේ යාලුවන්ට කියා නිතර චෛත්‍ය වන්දනා කරන්න ගියේය.
උ ජෝ ඩින් : ” අපි හැමෝම අතරමං වෙලයි ඉන්නේ අපට හරි මාර්ගය ලැබුණොත් ඒමාර්ගය ලබාගන්න මම සූදානම් ” යනු වෙන් යාලුවන් ඇමතීය.
යාලුවන් : ” අපිට හරි මාර්ගය ලැබෙයි යාලුවා කවදාහරි ”
උ ජෝ ඩින්ට මහා විපතක් සිදුවන්නට යන බව ඔහුට වැටහී ගියේය. පසුව යාලුවන් සමග එක්ව පිරිත් මන්ඩපයක් තනා ගමේ උදවිය සමග දින කීපයක්ම ධර්ම සාකච්ඡාවේ යෙදුනේය.3 වන දිනයේදි උ බා සන් යන ලිපිකරැවා ආරාධනා රහිතවම මෙහි පැමිනියේය.ඔහු පැමින ධර්ම මන්ඩපයේදි ආනාපාන සති භාවනාව ගැන කතාකරන්නට විය.මෙය ඇසු සැනින් මට නිවැරදි මාර්ග ලැබුණු බව උ ජෝ ඩින් සිතුනි.නමුත් මා නූගතයෙකි.මෙය මට කරන්න පුලුවන්ද යන ගැටලුව ඔහුතුල විය.පසුවදා මන්ඩපයට පැමිනි ලිපිකරුගෙන් මෙය විමසීය.”උගත් නූගත් කම් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ ශ්‍රද්ධාව හා විර්යත් පමනි.” යනුවෙන් ලිපිකරු පැවසීය. “එතකොට මම මොකක්ද කරන්න ඕනේ”යැයි නැවත උ ජෝ ඩින් ඇසීය.”ඔබට කරන්න තියෙන්නෙ හුස්ම ගැනීමේදි හා පිටවීමේදි සිහිය පිහිටුවීමයි”. උ ජෝ ඩින් එදිනම ගෝනියකින් තැනු පුටුවක වාඩිවී හුස්ම ගැනීම හා පිට කිරීම යැයි සනිටුහන් කලේය. තමා සාර්ථක වන බවට ඔහු තුල විස්වාසයක් ඇතිවිය. දිනක් ඔහු භාවනා කරනවා දුටු අසල්වැසි උ ෂ්වෙ ලොක් : සතිය තිබිය යුතුයැයි ඔහුට පැවසීය.
උ ජෝ ඩින් : සතිය තබන්නේ කොහොමද?
උ ෂ්වෙ ලොක්: ඒ කියන්නේ ඔබ කරන දේගැන සිහියෙන් සිටිය යුතුයි. උ ජෝ ඩින් : එයින් ඇති ප්‍රයෝජනයට මොකක්ද?
උ ෂ්වෙ ලොක්: එයින් කුසල් සිදු වෙනවා.
උ ජෝ ඩින් : කුසල් සිදුවෙනවානම් මම එය අදම පටන් ගන්නවා.
උ ජෝ ඩින් වැඩ කරන විට සිහියෙන් සිටීම පුරැදු කලේය.හරකුන් කෑම සදහා වියලි බඩ ඉරිගු ගස් කපන විට ගසන සෑම පිහි පාරක් ගැනම සතියෙන් සිටියේය.ඔහුගේ ගොවි කාර්‍යන්ද කාර්‍යක්ෂමව ඉටුවිය.ඇවිදින විට යටිපතුල් පොලොවේ ස්පර්ශවන සෑම වාරයකදීම ඒ පිලිබදව සතියෙන් සිටියේය.වල්පැල නෙලද්දි, පොලව කොටද්දි වතුර අදිද්දි මේ සෑම ක්‍රියාවක්ම ඔහු බලවත් සතියකින් සිදුකලේය.ගොවි බිමට ටිකක් ඈත මා උංයින් පව් ගිරි කදුරෙහි ඔහු පූර්ණ සතිය පුහුණු කලේය.ඔහුගේ ශ්‍රද්ධාවත් වීර්ය වන්ත උත්සාය හේතුවෙන් සමාධිය ඇතිවිය.භාවනාව දියුණුවත්ම මිනිසුන් සෑම විටම ඉදුරන් පිනවන දෑ පිටුපස යන බව ඔහුට පෙනුනි.ඔහුට මනුෂ්‍ය වර්ගයා ගැන සංවේගයක් ඇතිවිය. ඔහුගේ අධි මානසික බලයෙන් නිරයේ සත්වයන් බලු කුණක සිටින පනුවන් මෙන් දුක් විදින බව තමාට පෙනෙන සැටි මිනිසුන්ට පෙන්වා දුන්නේය.
“යාලුවා ඔබ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යන්න තව දින 5 කින් ඔබ මිය යනවා ” ඒ කියු විදිහට ඔවුන් මිය ගියේය.උ ජෝ ඩින් අසල්වැසියන් සමග කතාකලේද වචන කීපයක් පමනි.1920 ජූලි 13 අව මස රාත්‍රී 10 ට පමන උතුම් සෝතාපත්ති මාර්ග ඵලය ලැබීය.අගෝස්තු මස 13 රාත්‍රී යේ සකදාගාමී ඵලය ලැබීය.සැප්තැම්බර් මස 13 දින අනාගාමී ඵලය ලබා ඔක්තෝම්බර්මාස 13 වන දින සියලු කෙලෙසුන් නසා උතුම් අර්හත්වයට පත්වී ඇත.අනාගාමිවී සති දෙකකින් ෂින් කවි නමින් පැවිදි විය.යයි-ලයි සයාඩෝ ෂින් කවි ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න ඇසීය.එම ප්‍රශ්න වලට ලැබුනු පිළිතුරැ වලින් ෂින් කවි ස්වාමීන් වහන්සේ භික්ෂු කාර්ය නිම කර ඇති බව තදින්ම ඒත්තු ගියේය. මෙය සැලවු වහාම උන්වහන්සේගේ මිතුරා වන ඤාඋං-ලුන්ට් ස්වාමීන් වහන්සේ පැමිණ දින දෙකක් එකදිගට ප්‍රථම ධ්‍යනයේ සිට සියල්ල අවබෝද කල ආකාරය විමසුවේය.පසුව කිසිවක් නොකියා නැවත තමන්ගේ ආරාමය වෙත පැමින සුත්‍ර පිටකය පරික්ෂා කල විට සියල්ල සත්‍ය බව තහවුරැ විය. යයි-ලයි සයාඩෝ ස්වාමීන් වහන්සේ දසකසිණ වඩන ආකාරය කියාදි දවසක් ඇතුලත කසිණ භාවනා දහයම වඩා විස්තර කල සේක.
පසුව සාස්තර කියු උ සන් ටින් පැමිණ සුන්ලුන් ගමට වඩින ලෙස ආරාධනා කලේය. මාස කීපයකින් වැඩම කර ගිහියන්ට අවශ්‍ය භාවනා කමටහන් ලබාදි ඔවුන්ව සතර අපායෙන් මුදවා ගන්නට මාර්ගය පෙන්වා 1952 දී උන්වහන්සේ පිරිනිවන් පැසේක.වැඩි විස්තර ජැක් කොර්න්ෆීල්ඩ් මහතා විසින් ලියන ලද
” modern Buddhist master “1988 පොතෙන් හා සිංහලයන් ලියවුනු
සුන්ලුන් සයාඩෝ මහරහතන් වහන්සේ යන පොතෙන්ද ලබා ගත හැක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2IdVXvI
==පිණ්ඩොලභාරද්වාජ තෙරණුවෝ==

අටවැන්නේහි ‘සීහනාදිකානං’ යනු සිංහහඬ නඟන්නවුන් අතුරෙන්ය. පිණ්ඩොලභාරද්වා‍ජො අග්ගෝ යනු හෙතෙම වනාහි රහත්බවට පත් දිනයෙහි යතුරක් රැගෙන විහාරයෙන් විහාරයට පිරිවෙණන් පිරිවෙණට ගොස්, ‘යමකුට මාර්‍ගයෙහි හෝ ඵලයෙහි හෝ සැකයක් ඇතිද හෙතෙම මා විමසාවා’යි සිංහ හඬ නගමින් හැසුරුනේය. බුදුන්වහන්සේගේද ඉදිරියෙහි සිට ‘ස්වාමීනි, මේ සසුනෙහි කළයුතු කිස මාගේ මුදුන් පැමිණියේය’යි සිංහනාදය නැඟුවේය. එහෙයින් සිංහනාදය ඇත්තවුන් අතුරෙන් අග්‍ර නම් වූයේය. උන්වහන්සේගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි.

මෙතෙමේ වනාහි පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි පර්‍වතපාදයක සිංහයෝනියෙක උපන්නේය. ශාස්තෘන්වහන්සේ උදෑසන කාලයෙහි ලොව බලන සේක් ඔහුගේ හේතු සම්පත් දැක හංසවතියෙහි පිඬු පිණි හැසිර පසුබතෙහි සිංහයා ගොදුරු සඳහා පිටත්ව ගිය කල්හි ඔහුගේ වසන ගුහාවට පිවිස අ‍හසෙහි පළක් බැඳ නිරෝධ සමාපත්තියට සමවැද වැඩහුන් සේක.

සිංහයා ගොදුරු ලැබ ආපසු හැරී ආයේ ගුහා දොරකඩෙහි සිටියේ ඇතුළු ගුහාවෙහි වැඩහුන් බුදුන්වහන්සේ දැක, ‘මගේ වසන තැනට අවුත් හිඳීමට සමත් අන්සතෙක් නම් නැත. ඒකාන්තයෙන් මේ පුරුෂයා ශ්‍රේෂ්ඨයෙකි. ඇතුළු ගුහාවෙහි පළක් බැඳ හුන්නේයි. මොහුගේ ශරීර ප්‍රභාවද හාත්පස පැතිරී ගියේය. මවිසින් මෙබඳුවූ අසිරියක් නොදුටුවිරූය. මේ පුරුෂයා මේ ලෝකයෙහි පිදීමට සුදුස්සන් අතුරෙන් ශ්‍රේෂ්ඨයා වන්නේය. මා විසින්ද මොහුට හැකි පරිද්දෙන් සත්කාර කිරීමට වටනේයයි දියෙහි හටගන්නාවුද ගොඩ භටගන්නාවූද නොයෙක් මල් එක් කොට බිමසිට හුන් පළ‍ඟෙහි තැනට මලසුනක් අතුරා සියලු රැය අබිමුවෙහි තථාගතයන්වහන්සේ නමඳිමින් සිටියේය. දෙවැනි දිනයෙහි පරණ මල් ඉවත් කොට අලුත් මලින් ආසනය ඇතිරීය. මේ ක්‍රමයෙන්ම දිනසතක් මල් අසුන් පනවා බලවත් ප්‍රීතිය හා සොම්නස උපදවා ගුහාදොරටුවෙහි රැකවල් ගත්තේය.

සත්වැනි දිනයෙහි භාග්‍යවතුන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැඟිට ගුහා දොරටුවෙහි වැඩ සිටි සේක. මෘගරාජවූ සිංහයාද තථාගතයන් වහන්සේ තෙවරක් පැදකුණු ‍කොට සිවු තැන්හි වැඳ ඉවත්වී සිටියේය. ශාස්ථාන් වහන්සේ මොහුගේ උපනිශ්‍රය මෙපමණක් වටීයයි අහසට පැන නැඟී විහාරයටම ගියසේක. ඒ සිංහයාද බුද්ධ වියෝගයෙන් දුකට පත් වූයේය.

කළුරිය කොට හංසවතී නුවරෙහි මහධනවත් කුලයක පිළිසිඳ ගෙන වියට පැමිණියේ එක් දිනක නුවරුන් සමඟ වෙහෙරට ගොස් දම් දෙසුම අසන්නේ එක් භික්‍ෂුවක සිංහනාද ඇත්තවුන් අතුරෙහි අගතන්හි තබන්නාවූ ශාස්තෘන් වහන්සේ දැක කියනලද ක්‍රමයෙන්ම සත්දිනක් මහදන් පවත්වා ඒ තනතුර පතා ශාස්තෘන්වහන්සේ විසින් (පැතුමට) අනතුරක් ‍නොදැක විවරන දෙන ලද්දේ දිවි ඇතිතෙක් කුසල් කොට එහි කළුරිය කළේ දෙවියන් හා මිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහ නුවර බ්‍රාහ්මණ මහාසාර කුලයෙක්හි උපන්නේය.

නමින් භාරද්වාජ නම් වූයේය. හෙතෙම ‍වියට පත්වූයේ ත්‍රිවේදයන් උගෙන මානවකයන් පන්සියයකට මන්ත්‍ර උගන්වමින් හැසිරෙයි. හෙතෙම තමන්ගේ ජ්‍යෙෂ්ඨ භාවයෙන් ආරාදනා ලද තන්හි සියල්ල‍න්ගේ හික්‍ෂාව තෙමේම පිළිගනී. මෙතෙම වනාහි මඳක් ලොල් ස්වභාවය ඇත්තේ විය. හෙතෙම ඒ මානවකයන් සමඟ කැඳ කොහිද බත් කොහිදැයි කැඳබත් කනදෑම සොයමින් හැසිරෙයි. හෙතෙම ගියගිය තන්හි පිණ්ඩය (අහර)ම ගරු කරමින් හැසිරේයයි පිණ්ඩොලභාරද්වාජ යන නමින් ප්‍රකටවිය. හෙතෙම එක් දිනක් ශාස්තෘන්වහනසේ රජගහ නුවරට පැමිනි කල්හි ධර්‍මකථාව අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදි වී විදර්‍ශනාවට කටයුතු කරන්නේ රහත් බවට පැමිණියේය.

රහත් බවට පත් වේලෙහිම යතුරක් ගෙන වෙහෙරින් වෙහෙරට පිරිවෙණින් පිරිවෙණට ගොස් යමෙකුට මාර්‍ගයෙහි හෝ ඵලයෙහි හෝ සැකයක් ඇත්නම් හෙතෙම මා විමසාවායි සිංහනාද නඟමින් හැසුරුනේය. හෙතෙම එක් දිනක් රජගහ සිටු විසින් උණ දඬුවලින් ඔසවා අහසෙයි එල්වන ලද බඳු වදමල් පැහැය ඇති සඳුන් හරෙන් කරනලද පාත්‍රයක් සෘද්ධියෙන් ගෙන සාධුකාර දෙන්නාවූ මහජනයා විසින් පිරිවරන ලද්දේ විහාරයට අවුත් තථාගතයන්වහන්සේගේ අතෙහි තැබුවේය. ශාස්තෘන්වහන්සේ (කරුණ) දන්නාසේක්ම, ‘භාරද්වාජ, ඔබ විසින් කොයින් මේ පාත්‍රය ලබන ලද්දැ’යි ඇසූසේක. හෙතෙම ලැබූ කාරණය පැවසීය. ‍ශාස්තෘන්වහන්සේ, ‘ඔබ මෙබඳුවූ උත්තමසාරධර්‍මයක් මහාජනයාට දැකුවූයෙහිය. ඔබ විසින් නොකළයුත්තක් කරන ලදැයි නොයෙක් අයුරින් නින්දා කොට, ‘මහණෙනි, ගිහියන්ට උතුරුමිනිස්දමින් සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍ය නොදැක්විය යුතුයි. යමෙක් දක්වන්නේ නම් ඔහුට දුකුළා ඇවැත්වේ’යයි ශික්‍ෂාපදයක් පැනවූසේක.

ඉක්බිති බික්සඟන මැද කථාවක් උපන්නේය: ‘සිංහනාද ඇති තෙරුන්වහන්සේ රහත් බවට පත් දිනයෙහි බික්සඟන මැද යමෙකුට මාර්‍ගයෙහි හෝ ඵලයෙහි හෝ සැකයක් ඇත්ද හෙතෙම මා විමසාවායි කීය. බුදුන්වහන්්සේගේ අබිමුවෙහිද තමන්ගේ රහත්බවට පැමිණීම කීහ. සෙසු සව්වෝ නිහඬවූහ. තමාගේ සිංහනාද ඇති බැවින්ම මහජනයාගේ පැහැදීම උපදවා අහසට පැනනැඟී සඳුන්හරෙන් කළ පාත්‍රයද ගත්හ’ යනුවෙනි. ඒභික්‍ෂූහු මේ ගුණ තුනම එක් කොට ශාස්තෘන්වහන්සේට පැවසූහ. බුදුවරු නම් ගැරහියයුතු දෙය ගරහති. පැසසිය යුතු දෙය පසසතියි මෙතන්හි පැසසිය යුතුවූ අංගම ගෙන, මහණෙනි, ඉන්‍ද්‍රියන් තුනක් වැඩූබැවින්, බොහෝකොට වැඩු බැවින් භාරද්වාජ භික්‍ෂුව ‘ජාතිය ක්‍ෂය විය. බඹසර වසනලදී. කළයුතු දෙය කරනලදී. මින්පසු අන්දෙයක් නැතැයි දනිමි’යි දන්නේ ප්‍රකාශ කළේය. කවර නම් තුන් දෙනෙකුගේද යත්? සති ඉන්‍ද්‍රියයාගේ, සමාධි ඉන්‍ද්‍රියයාගේ හා පඤ්ඤ ඉන්‍ද්‍රියයාගේයි. මහණෙනි, මේ ඉන්‍ද්‍රියයන් තිදෙනා වැඩූ බැවින්, බොහෝකොට වැඩූ බැවින් භාරද්වාජ භික්‍ෂුතෙම ‘ජාතිය ක්‍ෂයවිය. බඹසර වසන ලදී. කළයුතු දෙය ‍කරනලදී. මින්පසු අන් දෙයක් නැතැ’යි දනිමියි දන්නේ ප්‍රකාශ කළේය’යි තෙරුන්වහන්සේ පසසා සිංහනාද ඇති භික්‍ෂූන්ගෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2IeNLLM
නිල්වන් වනපෙතක් දෙස බලද්දී, කොන්ක්‍රීට් වන පෙතක් දෙස බලනවාට වඩා ඔබේ දෑස සිසිලසින් සැනසෙනවාට කිසිදු සැකයක් නැත. කොන්ක්‍රීට් වනාන්තරයක් දෙස බලද්දී ඔබේ දෑස දැඩි පීඩාවට පත්වෙනවා නොඅනුමානය. එබැවින් ඔබේ දෙනෙත නිතර ඉල්ලන්නේ නිල්වන් වනපෙත්, හරිත වර්ණ සොබා සොඳුරු ස්ථාන බවට කිසිදු සැකයක් නැත.

අවාසනාවට මෙන් මෙවන් නිල්වන් වනපෙත් රක්ෂිත භූමි භාග ආදිය අද ඉතිරිව පවතින්නේ ස්වල්පයක් පමණි. ඒවා අතරින් ද පෞරාණික වෙහෙර – විහාර ආශ්‍රිතව පිහිටා ඇති වනපෙත් පිළිබඳ විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය. ඒවායේ වාසය කරන ස්වාමීන් වහන්සේලා නිසා අවට රක්ෂිත වනය මැනවින් ආරක්ෂිතව පවතී.

අතීතයේ දවසක ශාන්ත, සුන්දර තුරු වදුළු අතර භාවනානුයෝගීව වාසය කරන ස්වාමීන් වහන්සේලාට බවුන් වැඩීමට එම වනපෙත් කොතෙක් දුරට රුකුලක් වන්නට ඇද්ද? වනයේ සරන පක්ෂීන්ගෙන් මෙන්ම සතා-සීපාවන්ගෙන් ද ස්වාමීන් වහන්සේලාට අවහිරයක් -කරදරයක් නොවන්නට ඇත්තේ ස්වාමීන් වහන්සේලාගෙන් ද වනසතුන්ට හිංසාවක්, පීඩාවක් සිදු නොවූ නිසාම වන්නට ඇත.

—————————————————————————————————————————-

කාශ්‍යප රජතුමා සීගිරියට පැමිණීමත් එහි රාජධානියක් ඉදිකිරීමට වීමත් සමඟම එය කර්මාන්ත පුරයක් බවට පත්වූවා නිසැකය. ගල්කඩන, ගස් කපන, පොළව බිඳින ආදී විවිධාකාර සද්ද-බද්ද අස්සේ භාවනානුයෝගීව විසීමට නොහැකි බැවින් එහි වැඩ විසූ භික්ෂූන් වහන්සේලා ඉන් ඉවත්ව නිස්කලංක පරිසරයක් සොයාගෙන ගියා හෝ එවන් පරිසරයක් ස්වාමීන් වහන්සේලාට කාශ්‍යප රජතුමාම සොයා දුන්නා හෝ විය හැකිය.

සීගිරියට ඇතුළුවන දොරටුවේ දකුණු පසින් පිදුරංගල විහාරයට මාර්ගය පෙන්වන නාම පුවරුව දුටුවත් ඔබ ඒ කෙරෙහි එතරම් තැකීමක් කළේ නැහැ නේද? සීගිරි පව්ව වටා පිහිටි දිය අගල දිගේ කිලෝ මීටර් දෙකක් දුර උතුරු දෙසට යාමේදී ඔබට පිදුරංගල වන රක්ෂිතයේ පිහිටි පිදුරංගල රජමහා විහාරය හමුවෙයි.

කාශ්‍යප රජතුමා සීගිරියට පැමිණීමත් සමඟම එහි විසූ භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා සීගිරියෙන් ඉවත්ව වාසය සඳහා වැඩම කළේ ඓතිහාසික නටබුන් පිහිටි පිදුරංගල වන පියසටය.

අක්කර 13 ක් පුරා පැතුරුණු තෝතැන්නත් ඒ සමඟ නැඟී සිටි පර්වතය වටා පිහිටි ස්වාභාවික ලෙන් කුටි සමූහය ද උපයෝගී කර ගනිමින් භික්‍ෂූන් වහන්සේලාට අවශ්‍ය සියලු පහසුකම් සලසමින් මෙම බිමෙහි අංගසම්පූර්ණ ආරාමයක් ගොඩනැඟුණි. කෙටියෙන් පවසතොත් සීගිරි කාශ්‍යප රජතුමාගේ දායක පන්සල පිදුරංගල රජ මහා විහාරය යි.

පිදුරංගල ඉතිහාසය පිරික්‍ෂීමේදී රජතුමා විහාරාරාමයක් වශයෙන් සැකැසීමටත් ප්‍රථම එය යෝගාවචර භික්‍ෂුන් වහන්සේ වෙනුවෙන් අරණ්‍ය සේනාසනයක් ලෙස පැවැති බව තහවුරු කරගත හැක.

ක්‍රි.පූර්ව තුන්වන හා එක් වන සියවසට අයත් පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛන මගින් ඒ බව සනාථ වෙයි. පිදූ අරංගල, පිදු අරංගල, පිදුරංගල ලෙස ජනවහරට එක්ව තිබේ.

සීගිරියේ උතුරු දොරටුවට පිටතින් ‘නියියන්ති’ නම් වනයේ තමා හා තම දූ වරු දෙදෙනා නමින් විහාරයක් සෑද වූ බවත් එය ‘බෝධි උත්පලවන්නා කාශ්‍යප ගිරි විහාරය’ හෙවත් ‘බෝ උපුල්වන් කසුප්ගිරි’ වෙහෙර යැයි විශ්වාස කෙරෙන අතර මහා වංශයේ සඳහන් වන ‘දළ වෙහෙර’ මෙය ම බවත් ශිලා ලේඛන අනුව තහවුරු කරගත හැකිය.

පිදුරංගල පංචාවාසික විහාර සංකීර්ණයකි. පුද බිමෙහි ඇති නටබුන් ඒ බවට සාක්‍ෂි දරයි. එහි ඇති ගල් කණු 45 ක් සහිත මහල් කීපයක ගොඩනැගිල්ලේ නටබුන් පැරණි උපෝෂථාඝාරය වෙයි. මෙය මුගලන් කුමරු කරවා මහානාම භික්‍ෂූන් වහන්සේ වෙත පිදූ බවත් ලක්බිම වංශකතාවේ ප්‍රමුඛ ඉතිහාස ග්‍රන්ථය වූ ‘මහාවංශය’ කොටසක් රචනා කරන ලද්දේ මෙතැනදී බවත් ජනප්‍රවාදගතව පවතියි.

මෙම උපෝෂථඝරයට නුදුරුව ඇති විශේෂිත ගෘහය පොහොය විනය කර්ම සිදුකළ සීමා මාලකය ලෙස සැලකෙයි. එම බිමේ ඇති පැරැණි දා ගැබ 1950 වසරේ දී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ අධීක්‍ෂණය යටතේ කැණීම් කර තිබේ. මෙම දාගැබෙහි විශ්කම්භය අඩි 50 කි. මාලකයේ සිට උස අඩි 16 කි. ස්තූපයේ ඉතා ක්‍රමානුකූලව සැකැසූ ධාතු ගර්භයක් පැවැති බවත් දිවයිනේ වෙනත් තැනකදී එතරම් ක්‍රමානුකූල ධාතු ගර්භයක් එතෙක් හමු නොවූ බවද සඳහන් වේ.

ශිෂ්ටාචාර ගත දේශයක පුරාවිද්‍යාත්මක කැණීම් ඔස්සේ සිදු කෙරෙන එක් කාර්යයක් වනුයේ ස්වර්ණමය ඉතිහාසයක වග තුග අනාගත පරපුර වෙත සන්නිවේදනය කිරීමේ උදාර වගකීම සපුරාලීමය. ඊට ප්‍රථමයෙන් බඩගෝස්තරවාදී නිදන් හොරුන්ගේ අසාධාරණ කැණීම් වලට නතු වූ මෙම ස්තූපයේ ඓතිහාසික සාධක අකාමකා ඉතිහාස පොතේ ස්වර්ණමය පරිච්ඡේද ඉරා දැමීමට තරම් මෙම අපාගත ක්‍රියා සහසික වී තිබේ.

පුරාවිද්‍යා කැණීම් වලදී නිදන් හොරුන්ට මඟහැරී ගිය බුදු පිළිම, දේවරූප, මැණික්, තඹ කරඬුවක කොටස් කාසි වර්ග සහ කිරි ගරුඬ පුවරු කීපයක කොටස් ද හමුවිය. බිම් මට්ටමේ කැණීමේ දී අඟුරු කැබැලි හමුවීම නිසා පරණවිතාන ශූරීන් මතයක් පල කර ඇත්තේ මෙම ස්තූපය විශේෂ ප්‍රභූවරයකු ආදාහනය කළ ස්ථානයක් විය හැකි බවය.

ඒ පිළිබඳව පිදුරංගල විහාරාධිකාරී ආචාර්ය දානියගම ආනන්ද ස්වාමීන් වහන්සේ ‘පිදුරංගල විහාරය’ නැමැති පොතේ මෙසේ සඳහන් කරති.

‘බොහෝ දුරට කාශ්‍යප රජුගේ ආදාහනය මෙහිදී සිදුවන්නට ඇත යන්න පරණවිතානයන්ගේ අදහසයි. එහෙත් පංචවාසික ආරාමයක් තුළ බුදු රූ ධාතු නිදන් කිරීම් ද සමග රහතුන් ද සිටි පින් බිමක භික්‍ෂූන් ප්‍රමුඛ සැදැහැතියන්ට වැඳුම් පිදුම් කිරීමට හැකිවන ලෙස මෙහි වෙහෙරක ස්වරූපයෙන් කාශ්‍යප සොහොන කළැයි පැවසීම ප්‍රඥාගෝචර නොවේ.’

උන්වහන්සේ තව දුරටත් පවසන්නේ ‘සෙනරත් පරණවිතානයන්ම පවසා ඇති සුවිශේෂී චෛත්‍යයක නිමැවුම් සහිත නිර්මාණයක් පීතෘ ඝාතක රජකු සඳහා මෙසේ සුවිශේෂත්වයක් කිරීම එකල පැවැති ආගමික පසුබිම තුළ ද සිතීම දුෂ්කරය. එහෙයින් පංචාවාස ආරාමයක ඇතුළත් සර්වඥ ධාතු ස්තූපය මෙයම ය යන්න සැලකීම වඩාත් සාධාරණ ය.’

මෙහි ඇති නටබුන් වූ බෝධිඝරය ද අලංකාර නිමැවුමකි. එය සතරැස් පරිශ්‍රයකි. සතර අතින් ප්‍රවේශ ද්වාර ඇත. මධ්‍යයේ ඇති කවය බෝධීන් වහන්සේ රෝපණය කළ ස්ථානය යි. වට පවුරක් ද පියසක් සඳහා ආධාර වූ ගල් කණු ද තිබේ.

පැරැණි පිළිමගෙය වඩාත් පුළුල් බිත්ති සහිත ය. සිවු දෙසින් දොරටු ද මැද කොටසේ පිළිම ගෙය වෙන් කර එයට ප්‍රවේශ දොරටුවක් ද ඇත. එහෙත් පැරැණි පිළිම අද දැක ගැනීමට නොමැත.

මෙහි ඇති නව විහාර මන්දිරයේ ඇති සැතපෙන පිළිම වහන්සේ සහ භූමි ස්පර්ශ මුද්‍රා පිළිම දෙකත් හා හිටි පිළිම දෙකත් පෞරාණික පිළිම වහන්සේලා ය. පර්වතය වටා ඇති ලෙන් එදා භික්‍ෂුන් වහන්සේගේ සංඝාවාස විය. ලෙන් ලිපි සහිත හා රහිත කටාරම් ලකුණු ඇති ලෙන් 26 ක් මෙහි තිබෙයි.

පිදුරංගල පර්වත මුදුනෙහි නැගෙනහිර දෙසට සම්මුඛව පිහිටි ස්වාභාවික ලෙනෙහි නිර්මාණය කර ඇති ඓතිහාසික සැතපෙන පිළිම වහන්සේ මෙහි ඇති ප්‍රධාන අංගයකි. මැටි ගඩොල් හුණු මිශ්‍රිත විශේෂ බදාමයකින් කරවා ඇති ප්‍රතිමාව අඩි 49 1/2 ක් පමණ දිගය. මෙය ලොව ඇති පැරැණිම සහ විශාලතම පිළිම වහන්සේ ලෙස සැළකෙයි. පුරාවිද්‍යා විශිෂ්ටයින් වන එච්.සී.පී. බෙල් සහ පරණ විතානයන්ගේ මතයට අනුව පිළිම වහන්සේ සීගිරි කාශ්‍යප යුගයට අයත් බව කියැවෙයි.

පිළිම වහන්සේ නිමවා ඇත්තේ සීගිරි පර්වතයේ සිංහ පාදය ඇති ස්ථානයට හොඳින් දර්ශනය වන ආකාරයට ය.

කාශ්‍යප රජතුමා සීගිරියේ සිට දිනකට දෙවතාවක් බුදුන් පිදූ බව ජන වහරේ කියැවෙයි. සතුරු ආක්‍රමණයන්ගෙන් සැඟැවී සිටීමට කාශ්‍යප රජතුමාට සිදු වූ නිසා තම රාජධානියේ සිට බුදුන් දකිමින් පුද පූජා පැවැත්වීමට මෙම පිළිම වහන්සේ නිමවන්නට ඇති බව මේ අනුව සිතා ගත හැකි ය.

පිදුරංගල ගිරි ශිඛරයේ මුදුන් ස්ථරයේ ඇති ඉතා දුෂ්කර ගිරි දුර්ගයකින් මෙහි ගිරග මතට පැමිණිය හැක. එහිදී දිස්වෙන සීගිරි පර්වතයේ මනස්කාන්ත දර්ශනය නෙතට රසඳුනකි. මුදුනත ඇති පරිසරය ස්වභාව ධර්මයේ ඉතා විචිත්‍රවත් නිර්මාණයකි.

මෙවන් වූ රමණීය පසුබිමක සැදූ සැතපෙන පිළිම වහන්සේ ද දසක ගණනාවකට පෙර නිදන් හොරුන්ගේ නරුම හස්තයට හසුව විනාශ විය. ප්‍රතිමාවේ සිරස සිට උදරය දක්වා කොටස සහ මුලින්ම විනාශ කිරීමට තරම් මනුෂ්‍ය ආත්මයක් ලැබූවද මෙම තිරිසනුන් කුරිරු වී ඇත.

එම නිසා ගැටුම් වියවුල් මධ්‍යයේ තම අධ්‍යාත්මික සුවය සැනසීම වෙනුවෙන් මහත් කැපවීමකින් නිම කළා වූ මෙම සම්බුද්ධ ප්‍රතිමාවේ මහා කරුණාවේ මුව කමල දැකීමට තරම් අපි අද අභාග්‍ය සම්පන්න වී හිඳිමු.

මෙම ඡායාරූපයෙන් අප දකින්නේ 2003 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිළිසකර කළ එම ඓතිහාසික වටිනාකමකින් අනූන, මරණ භය හමුවේද අපරිමිත වූ සැනසීමක් ළඟා කර දුන් පිදුරංගල ඓතිහාසික පිළිම වහන්සේගේ ශේෂ මාත්‍රයේ අනුවේදනීය ප්‍රතිරූපයයි.

පිදුරංගල ගිරග මතට පිවිසුනු මොහොතේ දී ඉතා ළයාන්විත ලෙස දර්ශනය වෙන සීගිරි ආලක මන්දාව පසුබිම වසා සිටින කාශ්‍යප රජතුමාගේ ප්‍රතිරූපය සිතෙහි ඇඳෙන සුළුය. ඒ තරමටම එම මනස්කාන්ත දර්ශනය අධ්‍යාත්මයේ සියුම් තැන් සංවේදී කිරීමට සමත් වෙයි. මේ අසිරිමත් දසුන ඔස්සේ ආචාර්ය දානියගම ආනන්ද හිමියන්ගේ ප්‍රකාශනයට නෙත් යොමු වෙයි.

කාශ්‍යපයන්ගේ පීතෘ ඝාතක කාර්ය යළි යළි අවධාරණය කරනවාට වඩා ඔහු තුළ වූ අධ්‍යාත්මයේ පසුබිම පිදුරංගලින් දකිමින් සීගිරියේ සෞන්දර්යය අත්විඳීම වඩාත් සාධාරණීය වේ. පිදුරංගල කාශ්‍යප රජතුමාගේ ආලක මන්දාවේ අධ්‍යාත්මික කැඩපතයි.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2O49fjJ
ලකුණ්ඨක භද්දිය තෙරණුවෝ
සත්වැන්නෙහි ‘මඤ්ජුස්සරානං’ යනු මිහිරි හඬ ඇත්තවුන් අතුරෙන් යනුයි. ලකුණ්ටක බද්දියො යනු උසින් මිටිය. නමින් භද්දිය නම් වෙයි. උන්වහන්සේගේද ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙතෙමේද පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතී නුවරෙහි මහත් ධනවත් කුලයක උපන්නේ කියනලද ක්‍රමයෙන්ම දහම් ඇසීම සඳහා විහාරයට ගියේය. එකල්හි එක් මිහිරි හඬ ඇති භික්‍ෂුවක එතදග්‍රස්ථානයෙහි තබන්නාවූ තථාගතයන් දැක, ආශ්චර්‍ය්‍යයකි, ඒකානත්යෙන්ම මමද අනාගතයෙහි මේ භික්‍ෂූන් මෙන් එක් බුදුකෙනෙකු‍න්ගේ සසුනෙහි මිහිරි හඬ ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රවන්නෙම් නම් යෙහෙකැයි සිත් උපදවා ශාස්තෘන්වහන්සේට ආරාධනා කොට සත් දිනක් බුදු පාමොක් බික්සඟනට මහදන්දී ‘ස්වාමීනි, මම මේ දානයාගේ විපාකයෙන් අනෙක් සැපතක් නොතමි. අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි මිහිරි හඬ ඇති භික්ෂූන් අතුරෙන් අග්‍ර වෙම්’වායි ප්‍රත්‍ථ‍ර්‍‍නා කොට පාමුල වැදහොත්තේය. ශාස්තෘන්වහන්සේ අනාගතය බලන සේක් ඉටුවන බව දැන, ‘ඔබගේ මේ කර්‍මය සමෘද්ධ වන්නේය. මෙයින් කල්පලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදු කෙනෙක් ලොව පහළ වන්නාහ. ඔබ උන් වහන්සේගේ සසුනෙහි මිහිරි හඬ ඇති භික්‍ෂූන්ට අග්‍ර වන්නෙහිය’යි විවරණදී විහාරයට වැඩිසේක. හෙතෙමේත් ඒ විවරණය ලබා දිවි ඇති තෙක් යහපත් කටයුතු කොට එහි කළුරිය කළේ දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නේ විපස්සී සම්බුදුන්වහන්සේගේ කාලයෙහි චිත්තපත්තකොකිල නම්වී නිර්‍භයවූ මිගදායෙහි වසන්නේ එක් දිනක් හිමවතට ගොස් මිහිරි අඹගෙඩියක් තුඩින් ගෙන එන්නේ බික්සඟන පිරිවර කොට ඇති ශාස්තෘන්වහන්සේ දැක, ‘මම අන් දිනයන්හි හිස්ව තථාගතයන්වහන්සේ දකිමි. අද වනාහි මවිසින් මේ අඹගෙඩිය පුතුන් සඳහා ගෙන එන ලදී. ඔවුන්ට වෙනෙකක් ගෙනවුත් දෙමි. මෙය වනාහි දශබලයන් වහන්සේට දීමට වටනේය’යි සිතුවේය. එසේ සිතා බැස අහසෙහි ඔබිමොබ සැරිසරයි. ශාස්තෘන්වහන්සේ ඔහුගේ සිත දැන අශෝක තෙරුන් නම් වූ උපස්ථායකයා දෙස බැලූ සේක. (උන්වහන්සේ) පාත්‍රය ගෙනවුත් ශාස්තෘන්වහන්සේගේ අතෙහි තැබූහ. කොවුළා දශබලයන් වහන්සේගේ පාත්‍රයෙහි අඹගෙඩිය පිහිටවීය. ශාස්තෘන්වහන්සේ එහිම හිඳ අඹගෙඩිය වැළඳූසේක. කොවුළා පහන් සිත් ඇත්තේ නැවත නැවත් දශබලයන් වහන්සේගේ ගුණයන් සිහි කරන්නේ දශබලයන් වහන්සේ වැඳ සත්දිනක් සතුටු සුවයෙන් කල් හැරීයේය. ඒ ආත්මභාවයෙහි යහපත් කර්‍මය එපමණෙකි. මේ පින්කමින් ස්වරය මිහිරි විය. කාශ්‍යප සම්බුදුන්වහන්සේගේ කාලයෙහි චෛතය කර්‍මාන්තය පටන්ගත් කල්හි කවර පමණකින් කරමුද? සත්යොදුන් ප්‍රමාණය ඉතා මහත්ය. මෙය ‍සයොදුනක් කොට තනමු. මෙයද ඉතා මහත්ය. පස් යොදනක් කරමු. සිවුයොදනක්. තුනයොදුනක්, දෙයොදුනක්යයි කීකල්හි, මෙතෙම එදවස්හි දෙටුවඩුවාවී ‘පින්වත්නි, එවු, අනාගතයෙහි පහසුවෙන් පිළිදැගුම් කිරීමට වටීයයි කියා රැහැනක් ගෙන වට කරන්නේ ගව්වක් මත්තෙහි සිට එක් එක් දොරටුවක් ගව්වක් ගව්වක් වේවා! චෛත්‍යය යොදනක් වට ඇත්තේද යොදනක් උස ඇත්තේකද ‍වන්නේයයි කීවේය. ඔවුහු ඔහුගේ වචනයෙහි සිටියාහුය. මෙසේ අප්‍රමාණවූ බුදුන්ගේ ප්‍රමාණය කළේයයි ඒ කර්‍මයෙන් උපනුපන් තන්හි අන්‍යයන්ගෙන් හීන ප්‍රමාණ වූයේය. හෙතෙම අපගේ ශාස්තෘන්වහන්සේගේ කාලයෙහි සැවතෙහි මහධනවත් කුලයක උපන්නේය. භද්දියයයි ඔහුට නම් කළාහුය. හෙතෙම වියපත්ව ශාස්තෘන්වහන්සේ දෙව්රමෙහි වැඩවසන කල්හි වෙහෙරට ගොස් දම් දෙසුම අසා ශ්‍රද්ධා ප්‍රතිලාභය ඇත්තේ පැවිදිව ශාස්තෘන් සමීපයෙහි කමටහන් ගෙන විදර්‍ශනාවට කටයුතු කරන්නේ රහත් බවට පැමිණියේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑත කාලයෙහි ආර්ය සංඝ සමූහයා මැද වැඩහුන්සේක් මෙම තෙරුන්වහන්සේ මිහිරි හඬ ඇති භික්‍ෂූන්ගෙන් අග්‍රස්ථානයෙහි තැබූසේක.

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2pz0Re5
බිනර පුර පසළොස්වක පොහොය අදයි..!

වස්සාන සමයෙහි එළඹෙන පෝය දිනයන් අතුරෙන් බිනර පෝය ද ශාසනික අංශයෙන් හා සාහිත්‍යය අතින් ද වැදගත් පෝය දිනයෙකි. අවුරුද්දේ එළඹෙන වැසි සාරමාසය ද වැදගත් පෝය දිනයෙකි. අවුරුද්දේ එළඹෙන වැසි සාරමාසය අමුතු ශාන්ත ස්වරූපයක් උසුලන සමයක් වශයෙන් ප්‍රකට ය. භික්ෂූන් වහන්සේලා බුද්ධ නියමය අනුව විහාරාරාමයන්හි නිබඳ ව වැඩ වෙසෙමින් බණ භාවනා කර්මයන් හි යෙදෙමින් ස්වකීය ශාසන පරමාර්ථයන් ඉටු කරගන්නා කාල පරිච්ඡේදයක් බව බෞද්ධ සාහිත්‍යය දෙස විමසන විට මැනැවින් පැහැදිලි වෙයි.

බුදුරජාණන් වහන්සේ වෙතින් අවවාද අනුශාසනා ලබාගෙන තම තමන් ගේ චරිතයනට සරිලන කර්මස්ථානයන් ඉල්වාගෙන විවේකී ප්‍රදේශයන් සොයා වැඩම කොට සුදුසු ස්ථානයන් හි වස් වසා භාවනා කර්මයන් හි යෙදී මාර්ග ඵලාවබෝධය ලබාගෙන පෙරවස් පවාරණය කොට බුදුරදුන් වෙත පෙරළා වැඩම කොට ස්වකීය ශාසන පරමාර්ථයන් ඉටුකරගත් අයුරු ප්‍රකාශ කොට උදන් ඇනූ භික්ෂූන් වහන්සේලා පිළිබඳ විස්තර සිය දහස් ගණනින් සොයා ගන්නට පිළිවන.

විශේෂයෙන් වෙන කාලවලටත් වඩා විශේෂ වගකීමකින් යුතු ව උත්සාහයෙන් මහණ දම් පුරන, තමන්ට සිවු පසයෙන් උපස්ථාන කරන සැදැහැබර දායකයනට ද ශ්‍රද්ධාදී ගුණ ධර්ම වර්ධනයට හා මාර්ගඵලාවබෝධයට හේතුවන දැහැමි අනුශාසනා කරන කාලයෙකි වස් සමය. හැම වෙහෙර විහාරස්ථානයක ම දිනපතා ම වාගේ නොයෙක් බණ පින්කම්වලින් හා වෙනත් සසුන් වැඩවලින් පිරී ගිය සොම්නස් සුවය දනවල කාලයෙකි.

එසේ ම සරත් කාලයේ ආරම්භය ද බිනර පසළොස්වක් පොහෝයෙහි සිට එළඹෙයි. සරත් කාලය හැම කවියෙකු විසින් ම වර්ණනා කරන ලද කවි සිත පුබුදු කරවන ලද ස්වාභාවික සෞන්දර්ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වී ගිය සමයෙකි. සරත් ඍතුවේ දක්නට ලැබෙන ස්වාභාවික දර්ශනයන් කවියන්, කවි ඇසින් බලා නොයෙක් විසිතුරු ලෙස වර්ණනා කර ඇති අයුරු ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘතිවලින් පැහැදිලි වෙයි. මේනයින් සලකා බලන කල්හි බිනර මාසය ශාසනික වශයෙන් ද සාහිත්‍ය අගය වශයෙන්ද සංස්කෘතික වශයෙන් ද වැදගත්කමකින් යුත් මාසයක් බව කිව හැකි ය. මෙහෙණ සස්නේ ආරම්භය

බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයෙහි වූ නිග්‍රොධාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි මහාප්‍රජාපතී ගෝතමී තොමෝ උන්වහන්සේ වෙත අවුත් වැඳ එකත් පසෙක සිට අනගාරික ශාසනයෙහි පැවිද්ද මාගමුන් හට ඉල්ලා සිටියා ය. බුදුරජාණන් වහන්සේ ගෝතමිය ගේ ඉල්ලීම පළමු දෙවැනි තුන්වැනි වරටත් ප්‍රතික්ෂේප කළ හ. ඉක්බිති බුදුරදුන් කිඹුල්වත් නුවරින් නික්ම විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත වැඩි සේක.

මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ රෝහිණී නදී තීරයෙහි දී පැවිදි වූ කුමරුවන් ගේ භාර්යාවන් පන්සිය දෙනා සමග කෙස් කපා කසාවත් හැඳ කිඹුල්වත් නුවරින් පිටත් ව යොදුන් පනස් එකක් පමණ වූ දීර්ඝ මාර්ගය පා ගමනින් ම ගෙවා කූටාගාර ශාලාව වෙත පැමිණියා ය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද නො දෙත් යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය.

ස්වාමීනි, ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැ” යි අයැද සිටිය හ. බුදුහු ආනන්ද හිමියන් ගේ ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්‍ෂේප කළ හ. පසුව ආනන්ද හිමියන්ගේ බලවත් උත්සාහය නිසා කරුණු කියා මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. “ආනන්දය, ඉදින් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ පැවිදි වනු කැමැත්තී නම් පෙර බුදුවරයන් ගේ ශ්‍රාවිකාවන් විසින් පිරූ අෂ්ට ගරු ධර්මයන් ඇය විසින් ද පිළිගත යුතු ය. එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේ ය.

ගරු ධර්ම අට

1. උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුව ද එදින ම උප සපන් වූ භික්ෂූහු දැකත් වැඳීම් ආදී ගෞරව දැක්විය යුතු ය.

2. භික්ෂූන් නොමැති ප්‍රදේශයෙක් හි මෙහෙණක විසින් වස් නො වැසිය යුතු ය.

3. අඩ මසක් පාසා මෙහෙණක විසින් භික්ෂු සංඝයා ගෙන් පොහොය විචාළ යුතු යි. අවවාද දීමට පැමිණීම ද බලාපොරොත්තු විය යුතුයි.

4. වස් අවසානයෙහි දී භික්‍ෂු භික්‍ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු යි.

5. ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඩ මසක් මානත පිරිය යුතු යි.

6. අවුරුද්දක් පුහුණු වෙමින් ශික්ෂමානාවක් ව සිට පසුව උභතො සංඝයා ගෙන් උපසම්පදාව ලැබිය යුතු යි.

7. කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්‍ෂු කෙනෙකු හට ආක්‍රොෂ පරිභව නො කටයුතු යි.

8. මෙහෙණියන් විසින් භික්‍ෂුන් හට අවවාද නො කටයුතු ය. භික්‍ෂුන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කටයුතු ය. ආනන්ද හිමියෝ මේ ගරු ධර්ම අට බුදුරදුන් ගෙන් උගෙන මහා ප්‍රජාපතී ගෝතමිය වෙත එළඹ ගරු ධර්මයන් විස්තරකොට කියා ‘ඉදින් ඔබ මේ ගරු ධර්මයන් පිළිගන්නෙහි නම් එය ම ඔබට පැවිදි උපසම්පදාව වන්නේ යැ’යි ද කීහ.

එබසට ගෝතමිය සකල ශරීරය ලොමු දහ ගන්වමින් පස්වනක් පී‍්‍රතීන් පිනා බුදුරදුන් දිශාවට දොහොත් මුදුන් දී සිට ආනන්ද ස්වාමීනි, යම් සේ අලංකාරයට කැමැති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ජලස්නානය කොට, සමන් මල් දමක් ලදින් දෙඅතින් පිළිගෙන සන්තෝෂයෙන් සිරසෙහි තබා ගනී ද, එසේ ම මම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්මයන් අට දෙන පිළිගනිමි’ යි තුන්වරක් කීවා ය. ඒ වචනය සමඟ ම මහා ප්‍රජාපතී ගෞතමිය ගේ මහනකම විය. උපසම්පදා ශීලය ද විය. බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි පන්සියයක් ක්‍ෂත්‍රිය කුමාරිකාවෝ ද භික්ෂු සංඝයාගෙන් උපසම්පදාව ලැබූහ. මෙසේ මෙහෙණ සස්නේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදු විය.

මාපලගම සෝමිස්සර හිමි

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2OJerqh
එක් දිනක් භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝ්‍යා වහන්සේලා පිරිවරා චාරිකාවේ වැඩියා. භාග්‍යවතුන් වහන්සේ වඩින මාවතේ උන්වහන්සේට මුහුණ ලා ඉදිරිපසින් පාරේ අනෙක් පසින් එක්තරා ගව ඝාතකයෙක් ගවයෙක් රැගෙන පැමිණියා.
දුරදී සංවරව ආපු ගවයා භාග්‍යවතුන් වහන්සේ ආසන්න වෙනවාත් සමග එකපාරටම අර මනුස්සාවත් ඇදගෙන ඇවිත් භාග්‍යවතුන් වහන්සේගේ පා මුල දනගහගෙන ශ්‍රී පාද ලෙවකන්නට පටන් ගත්තා.
සකළ සත්ත්වයන් කෙරෙහිම කරුණාභරිත හදවතින් වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේට මේ ගවයා කෙරෙහි මහත් වූ කරුණාවක් හටගත්තා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අසා සිටියා “පුරුෂය නුඹට මේ ගවයා නිදහස් කරන්න පුළුවන්ද?”
“ස්වාමීණි මම ජීවත් වෙන්නේ මේ කර්මාන්තයෙන් මේ ගවයා මරලා මස් විකුණලා ලැබෙන මුදලින් තමා මම වෙනත් ගවයෙක් ගන්නෙත් අඹු දරුවන් ජීවත් කරන්නෙත්. ඉතිං මේ ගවයා දුන්නොත් මට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙනවා.
“හොදයි එහෙනම් නුඹට මේ ගවයා වෙනුවෙන් කොපමණ මුදලක් ඕනද?”
“ස්වාමීනි මසුරන් දහසක් පමණ”
ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ අධිෂ්ඨාන කලා කවුරුන් හෝ මසුරන් තුන් දහසක්ම රැගෙන පැමිනේවා කියලා. භාග්‍යවතුන් වහන්සේගේ චිත්ත පරිවිතර්කය දැක්ක ශක්‍ර දේවේන්ද්‍ර එවෙලේම මසුරන් තුන් දහසක් රැගෙන මිනිස් වෙසින් භාග්‍යවතුන් හමුවේ පෙනී සිටියා.
“කව්ශික ඔය මසුරන් තුන්දාහ දීලා ගවයා නිදහස් කරන්න” කියලා භාග්‍යවතුන් වහන්සේ කිව්වා. මිනිසුන්ට කෙලෙහිගුණ අමතක උනාට සත්තුන්ට එහෙම නෑ. මේ ගවයාත් ආයෙ කොහේවත් යන්නේ නැතුව භාග්‍යවතුන් වහන්සේ පිටුපසම චාරිකාවේ ගොස් ආපසු ආපසු ආවා. ඉතිං ඔය අතර එක වෙලාවක භාග්‍යවතුන් වහන්සේ මේ ගවයා දෙස බලා සිනහවක් පහල කලා. බුදුවරු නිස්කාරනේ සිනහ පහල නොකරණ බව දන්නා ආනන්ද හිමි භාග්‍යවතුන් වහන්සේ සිනහ පහල කල කාරනය කුමක්දැයි ඇසුවා.
“ආනන්ද මේ ගවයා නුඹට පේනවා නේද?”
“එහෙමයි ස්වාමීනි පේනවා”
“ආනන්ද මේ ගවයා තව නොබෝ දිනකින් මරණයට පත්වෙනවා. මරණයට පත්වන මේ ගවයා චාතුම්මහාරාජික දෙවියන් අතර උපදිනවා. ඉන් චුත වී තාවතිංස දෙවියන් අතර උපදිනවා. ඉන් චුත වී තුසිත දෙවියන් අතර උපදිනවා…….. මේ ආකාරයට ඉහලින් ඉහල දෙව්ලෝ සියල්ලේ උපදිනවා. අවසානයට පරිනිම්මිත වසවර්ති දෙවියන් අතර ඉපිද ඉන් චුත වී මනුලෝ ඉපිද පසේ බුද්ධත්වයෙන් සියළු දුක් කෙලවර කරන්නේය…..” යැයි නියත විවරණයකුත් දුන්නා.
එවිට ආනන්ද හිමි… “ස්වාමීණි ඒකාන්තයෙන් ආශ්චර්‍යයි…. ඒකාන්තයෙන් අත්භූතයි…. මෙච්චර දෙයක් ලබන්න මේ තිරිසන් සතා කල පින මොකක්ද?
“ආනන්ද වෙන මොකුත් නෙමෙයි තථාගයන් වහන්සේ තමයි මට සැගවෙන තැන, පිළිසරණවෙන තැන, පිහිටට ඉන්න තැන ලෙස මේ සතා සිතූ සිතිවිල්ලමයි මේ සතා කල එකම පින…….”
හරියට සිහි කල්පනාවක් නැති තිරිසන් සතෙක්ට භාග්‍යවතුන් වහන්සේ පිළිබද පහන් සිතිවිල්ලකින් මේ සා විපාක ලබාගන්න පුළුවන් වුනානම් මනුශ්‍ය වූ අපට කොහොම පින් කරගන්න පුළුවනිද?

(අතිපූජ්‍ය නම ලියන්න අවසර, මාන්කඩවල සුදස්සන හිමියන්ගේ දෙසුමකින් උපුටා ගැණුනි.)