Tag Archives: New

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2Xgvt6o
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 161
සිප්සතර ඉගැන්වීම සහ එකල රාජභෝජන සැකසූ අයුරු.
පසුගිය ලිපියෙන්
ළදරු වියේ සිට ම සිද්ධාර්ථ කුමාරයන්ට මව ගේ මරණය කිසිසේත් නොදැනෙන ලෙසටද, ප්‍රජාපතී දේවිය එතුමන් ගේ ද මෑණියෝ මයයි හැගෙන ලෙසට ද රජ පවුලේ සියල්ලෝම කතා බස් ආදී හැම එකක දී ම පරිස්සමින් ක්‍රියා කළා. මෙසේ බෝසතාණන් වහන්සේද නන්ද කුමරු ද ඒ දෙදෙනාටම වැඩිමාලු වූ නන්ද කුමාරිද යන තුන් දරුවෝ ඔවුනොවුන් කෙරෙහි මහත් සෙනෙහසින් කෙළිදෙලෙන් සුවසේ වැඩුන. පසුකාලයේ සිද්ධාර්ථ කුමාරයන්ට සේම නන්ද කුමරුටද පිරිවර වශයෙන් තෝරා ගත් ශාක්‍යවංශික කුමරුවන්ද මහා පිරිසක් නිතර රජ ගෙය ඇසුරු කළා.
සිප්සතර ඉගැන්වීම
සිය දරුවනට සිප්සතර ඉගැන්වීම කාලයයි සැලකූ සුද්ධෝදන රජතුමා සුදුසු ඇදුරන් සොයන්නට වුණා. එදා පැවති සැම සිප්සතරෙහිම ප්‍රවීණ “සර්වමිත්‍ර” නම් බමුණු පඬිවරයා ගැන අසා ඔහුව මාලිගාවට කැඳවනු ලැබුවේ සිදුහත් කුමරාගේ ආරක්ෂාවත් සසර කලකිරිමෙහි අනාවැකිත් පියාණන්ගේ හිත තුල අනිසි බියක් ඇති කරන නිසා වෙන්නට ඇති. ඔහුව “විශ්වාමිත්‍ර” යනුවෙන් ද හඳුන්වන බව කියනවා. ඔහුගේ සියලු සුදුසුකම් සළකා බැලීමෙන් පසු ඔහුව මාළිගයේහිම රඳවාගෙන සිදුහත් කුමරු ඇතුළු රජ පවුලේ දරුවන්ට ඉගැන්වීම සිදු කරනු ලැබුවා. ඔවුනතුරෙන් සිදුහත්කුමරා බොහෝකල් නොයවාම ඇදුරු බමුණා දත් සියලු සිප් සතර ඉගෙන ගත්තා.
ළමා විය
සිය මලණුවන් වූ නන්ද කුමරු ද, තවත් ශාක්‍ය කෝලිය කුමාරවරුන්ද, ඇමති පුත් කාළුදායි වත්ස ආදීහු ද, රියදුරු ඡන්න ආදීහු ද බෝසත් සිදුහත් කුමරාණන්ගේ මිතුරු කැල අතරින් ප්‍රධාන වුනා. දෙව්දත් කුමරු සිදුහත් කුමරාණන්ගේ කෙලිමඩලට ආවත් ඔවුන් හා සමග බොහෝ කුළුපග වුණේ නෑ.
එකල රජ කුමරුන් හට මත සැකසුණු අයුරු!
ඒ කාලේ රාජ රාජ කුමාරවරුණට අහාරපාන සැකසුවේ හරිම පුදුමාකාර විදිහට. මේ කියන්නට යන්නේ අප බෝධිසත්වයන් වහන්සේ ලොව පහල වී සිටි කල්හි පසුකලෙක සාසනයේ අසුමහා ශ්‍රාවකයන්ගෙන් කෙනෙකු වූ සොණො කොළිවිසෝ සිටු කුමරු හට කිරිබත් සැකසු අයුරුයි. මෙය කියවන ඔබට සිදුහත් කුමරුට බත සරිකල අයුරු සිතා ගත හැකිවේවි.
ඔහුට මෙබදු වූ ආහාරවිධානයක් වුනා. කිරිය සැටක් (මිනුම් දණ්ඩක්) පමණවූ තැනක් වපුරා ත්‍රිවිධ වූ ජලයකින් පෝෂණය කරනු ලබනවා. එනම් කෙතට පිවිසෙන්නාහු ජල මාර්ගයන්හි කිරිදියද, සුවදද, සුවද දියද, සැලි දහස් ගණන් එක් කරනු ලබනවා. ඇල්වී කිරිවදින කල්හි ගිරා අදී ප්‍රාණීන්ගේ ඉදුල් කිරීම් වැලැක්වීම සදහාත්, වී ගැබේ සියුමැලි බව සදහාත්, කෙළවර සීමාවැටෙහිද අතරතුරද කණු සිටුවා ඒ මත්තෙහි දඩු තබා කලාලවලින් වසා හාත්පසින් තිර වටකොට සියල්ලට පසුව රැකවල්ලනවා. ශශ්‍ය නිපන් කල්හි ගබඩාවෙහි සිවුදෑ සුවදින් පිරිබඩ ගන්වා ඒ මත්තෙහි උතුම් සුවද මුසු කරනු ලබනවා. නොයෙක් දහස් ගණන් මිනිස්සු කෙතට බැස ඇල්හිස් නටුවෙන් සිද මිටි මිටි කොට රැහැනින් බැද වියලවනවා. ඉන්පසු ගබඩාවෙහි යටම මහලෙහි සුවද අතුරුවා ඒ මත්තෙහි ඇල්වී කරල් අතුරුවනු ලබනවා. මෙසේ එකක් හැර එකක් කොට අතුරන්නාහු ගබඩාව පුරවා දොර වසා තබනවා. නැවත ගබඩාව අරිනු ලබන්නේ තෙවසක් පැමිණුනායින් පසුවයි. මෙලෙස ගබඩාව විවරකල කල්හි සියලු නුවරම එහි සුවදින් සුවදවත් වෙනවා. ඇල් කෙටූවිට ධූර්තයෝ දහයියා විකුණා ගන්නවා. සහල් ඇගිටි (සුණු සහල්) සුළුසේවකයෝ ලබා ගන්නවා. සහල් කොටන කල්හි ඇල් සහල් තෝරා බේරා ගන්නවා. ඒවා රන්තීරු ඇති පසුම්බියක බහා සියවරක් පෙරා ගනු ලබනවා. ඉන්පසු එය කකාරවන ලද දපිඩු රසෙහි එක්වරක් බහා උඩට ගනු ලබනවා. ගෑවුණු ගෑවුණු තැන රස වෑහෙන මෙම භෝජනය සමන් මල් බඳුනක මෙන් සුවඳ හමයි. ඒ දිව්‍යමය භෝජනය රන් තලියක බහා පැසවූ දිය අඩු මී පායාසයෙන් පිරවූ රිදී තලියක් මත්තෙහි තබා ගෙන ගොස් සිටු පුත්‍රයාගේ ඉදිරියෙහි තබනවා. හෙතෙම තමාට අවශ්‍ය ප්‍රමාණය පමණක් වළදා සුවද කැවූ දියෙන් මුව සෝදා අතපය සෝදනු ලබනවා. ඉන්පසු සෝදනලද අත්පා ඇති ඔහුට නොයෙක් ආකාර මුව සුවද ගල්වන දෑ පිළිගන්වනු ලබන්නේ ඉඳුල් සුවඳ යන්තමින්වත් මුව මතෙහි නොරැඳීමට. මේ සිටු පුතෙකුගේ එක් අහාර වේලක්. රජකුමරෙකුගේ අහාර වේලක් ගැන ඔබට දැන් සිතා ගත හැකයි. ඒ සිටු කුමාරටත් සිද්ධාර්ථ කුමාරට වගේම මාළිගා තුනක් තිබුණා. ඔහුට ඒ සැප සම්පත් ලැබීමට හේතුවාසනා වූ කුසලයට පාදක වූ සම්පුර්ණ කතාව මම ජීවතුන් අතර සිටියොත් ඉදිරියේදී අසූමහා ශ්‍රාවකයන් ගැන ලියවෙනවිට ඔබට කියවන්නට ලැබේවි.
පුණ්‍යානුමෝදනාව -කථිකාචාර්යය වින්සන් හලහකෝන් මැතිතුමාට, Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරන්හට, සහ මගේ ආදරණීය බිරිඳට, සහ මෙය මා නොදත් ජනයා අතර බෙදාහරින සහ මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබට.
උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව.
තුසිත රාජපක්ෂ
ප්‍රංශය

New at Little Bit


from Path to Nirvana https://ift.tt/2xYDLoE
💚💜 අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 160 💙💚💜

🌹 වප්මගුල් උත්සවය සහ සීසාන භූමියෙන් මහා නිධාන මතුවීම.

🌺 රන් සහ රිදී නගුලෙන් කරනු ලැබූ රාජකීය වප්මගුළ

මෙසේ ක්‍රමක්‍රමයෙන් කාලය ගතවුණා. එක් දිනක් රටේ මෙන්ම රජුගේත් වප් මගුල උත්සවය එළැබ තිබුණ. එදිනට සියලු නුවරම දෙව් විමනක් මෙන් සරසනු ලබනවා. එදාට සියලු දැසිදස් කම්කරු ආදීහු ද නව වස්ත්‍ර හැද සුවද මල් ආදියෙන් සැරසී රාජ භවනට රැස් වෙනවා. රජතුමාගේ වප් මංගල උත්සවය සදහා නගුල් දහසක් යොදනු ලබානවා. එ දවස වනාහි එකක් අඩු අටසියයක් නගුල් වුනා. ඒවා ගොනුන් රැහැන් යොත් සමග ම රිදියෙන් ආලේප කොට තිබුණා. ඒ වුනත් රජුන් සී සානා නගුල රන් ආලේපිත කරලයි තිබුණේ. ගොනුන්ගේ අං සහ යොත් ද කෙවිටි ආදිය ද රනින් විසිතුරු වුනා.

🌺 බෝසත් බිලිඳා වත්මගුල් උත්සවය සඳහා රැගෙනයාම.

බෝසත් කුමරාව වප්මගුල් උත්සවයට ගෙනයාම සඳහා කිරිමවුවරුන් විසින් සුවඳ පැනින් නහවනු ලැබුවා. ඒ සඳහා රනින් කල භාජනද, ඉස්තරම් වර්ගයේ විලවුන් වර්ගද, අනෙකුත් ආලේපනද තියෙන්නට ඇති.
රජතුමා මහත් පිරිවරින් වප් උත්සවය සදහා නික්මුණේ පුත් කුමරු ද රැගෙන. වප් මගුල ආසන්නයේ ඝනව වැඩුණු කොළ ඇති එනිසා ම සිසිල් සෙවන ඇති දඔගසක් තිබ්බා. එම ගස මුල අසුනක් පනවා රන්වන් කැටයම් කළ උඩු වියනක් බැද වටකුරු තිර ඇද රැකවරණ සලසා එහි බෝසත් කුමරාව සතපා රජතුමා සර්වාභාරණයෙන් සැරසී ඇමතියන් පිරිවරා වප් මගුල් ස්ථානයට ගියා.

🌺 සිසාන භූමියෙන් මහා නිධාන මතුවීම.

එහි දී රජතුමා රන් නගුල ද ඇමතියෝ එකක් අඩු අටසියයක් රිදී නගුල්ද ගෙන කුඹුරට බැස්සා. ගොවියෝ සෙසු නගුල් ගනු ලැබුවා. ඔවුන් ඒවා ගෙන ඒ ඒ තමනට නියමිත ප්‍රදේශයන්හි සී සාන්නට පටන්ගත්තා. රජතුමාත් තමනට නියමිත රාජකීය භූමිභාගයේ අන් ය සමග හරි හරියට සී සාන්නට වුනා. මෙලෙස එක්කොනක සිට තව කොනකටත් එතැන් සිට අනෙක් කොනටත් පස පෙරළන අතර තුරේ සිදුවුණේ තවත් ආශ්චර්යයක්. කවුරුත් නොසිතූ ලෙස එම භුමිය තුලින් මහත් වූ සම්පත් මතු වන්නට පටන්ගත්තා. මෙම පුවත පැමිණි සිටි ජනයා අතරත් ඉක්මණින් පැතිර ගියා. බෝසතුන් පිරිවරා සිටි කිරි මව්වරුන්ට ද මෙම ආරංචිය පැමිණීමට වැඩි වෙලාවක් ගියේ නැහැ. එතෙක් වෙලා බෝසත්කුමරා පිරිවරා සිටි කිරිමවුවරුත් රජුගේ සම්පත් බැලීමට බෝසත් කුමරා සතපා වටකොට තිබු වට තිරයෙන් පිටතට පැමිණියා.

🌺 බෝසත් කුමරුන්හට තම පියා දෙවැනි වරටත් වැඳීම.

ඒ මොහොතේ සිදුවුනේ තවත් ආශ්චර්යයක්. බෝසත් කුමරුවෝ වටපිට බලා කිසිවකු නොදැක වහා නැගිට පළක් බැද ආනාපාන සති කමටහන් වඩා පළමු ධ්‍යානය ලබාගත්තා. කිරි මව්වරු ආහාර පාන ගැනීම සදහා මදක් කල්ගත් කළා. ඒ අවස්ථාවෙහි සෙසු ගස්හි සෙවණැල්ලහිරු හැරුණු ද නොවෙනස්ව දඔ ගස වට කොට සිටිය. කිරි මව්වරු බෝසතුන් හුදකලා බව දැන අවුත් තිරය ඔසවා බලනා විට සයනයෙහි පළක් බැද වැඩහුන් බෝසතුන් වහන්සේ දැක මහත් වූ පුදුමයට පත්වුනා. ඉන්පසු ඉක්මණින් ඒ බව රජතුමාට සැලකොට සිටියා. දේවයිනි, කුමාරයෝ මෙසේ බද්ධපරියන්කයෙන් සිටිති. ඒ අවස්ථාවේ සෙසු ගස්වල සෙවණද හිරු අනුව නොවෙනස්ව තිබුණා. දඔ ගසේ සෙවණද මණ්ඩලාකාරව සිටී. රජතුමා වේගයෙන් අවුත් ඒ පෙළහර දැක පුත, මේ මාගේ දෙවන වැදුම යැයි පුතුට දොහොත් දී වඳිනු ලැබුවා.

❤💚💛 පුණ්‍යානුමෝදනාව – රාජකීය පණ්ඩිත දැලිවල බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේට, Path to Nirvana පිටුව නිර්මාතෘ කල්‍යාණ මිත්‍ර ජනකට සහ තිලංක විජේසිංහ කල්‍යාණ මිතුරන්හට, සහ මගේ ආදරණීය බිරිඳට, සහ මෙය මා නොදත් ජනයා අතර බෙදාහරින සහ මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබට. ❤💚💛🧡

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව.

තුසිත රාජපක්ෂ
ප්‍රංශය
07-04-2020

New at Little Bit


from Path to Nirvana https://ift.tt/34fEe21
ලෝසතුනට පතළ මහා කරුණාවෙන් යුතුව මේ මහා භද්‍ර කල්පයේ සම්බුදු රජාණන් වහන්සේලා සිව් නමක් පහළ වූ සේක. ඒ උතුම් බුදුරජාණන් වහන්සේලා පහළ වූ භූමිය නම් දඹදිව් තලයේ මධ්‍ය ප්‍රදේශය යි. ඒ සියලු බුදුවරුන් පහළ වූ පින්බර දේශයට ආසන්නව යි අප උපන් කුඩා දිවයින පිහිටා තිබෙන්නේ. ඉන්දියානු මහ සයුරේ කුඩා මුතු ඇටයක් සේ පිහිටි මේ සිරි ලංකාද්වීපය නිර්මල වූ සිරි සදහම් අමාව සුරැකී තිබෙනා ධර්මද්වීපය යි. සිව් බුදුරජාණන් වහන්සේලා ගේ ම පහස ලද පින්බර දිවයින යි.

ගෞතම නමින් තිලොවේ ම පිදුමන් ලබනා අපගේ ශාස්තෘන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ සතර වන සම්මා සම්බුදු රජාණන් වහන්සේය. ඒ අනන්ත වූ සම්බුද්ධ ඥානයෙන් අපගේ ශාස්තෘන් වහන්සේ දැක වදාළා නෛර්යානික වූ ස්වාක්ඛාත වූ ධර්මය මතුවට සුරැකෙන්නේ මේ පුංචි දිවයිනේ බව. සම්බෝධියට සෙවන සලසාලූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව සුරැකෙන්නේ මේ පුංචි දිවයින තුළ බව. ශ්‍රීමත් සුගත තථාගත ධාතූන් වහන්සේලා තැන්පත් කොට මනහර සෑයන් ඉදිවන්නේත් මේ පුංචි දිවයිනේ ම බව. ඒ නිසාම ඒ මහා කරැණිකයාණෝ තෙවරක් ම මේ පින්බිමට වැඩම කොට, නික්ලේශී සම්බුදු සිරුරින් මේ භූමිය ස්පර්ශ කොට වදාළ සේක.

මේ එළඹෙන්නේ බක් මාසයේ පුර පසළොස්වක පොහොය දිනය යි. මේ බක් පුන් පොහොය දිනය තෙරුවන් සරණ ලැබූ සැදැහැවත් කෙනෙකුට පින්බර වූ අනුස්මරණීය දිනයකි. ශාන්තිනායක වූ අපගේ ගෞතම බුදු සමිඳාණෝ උතුම් සම්බුද්ධත්වයට පැමිණ ඒ වන විට වසර පහක් ගෙවී ගොස් තිබුණි. එකල එළඹුණු බක් පුන් පොහෝ දිනයේ මහා කරුණා සමවතින් ලොව දෙස බලනා සම්බුදු රජාණෝ මේ ලක්දිව සිදුවීමක් දැක වදාළ සේක. ඒ නා රජවරු දෙදෙනෙකු යුධයකට සැරැසී සිටිනා අයුරුයි.

එවකට මේ සිරි ලංකාද්වීපයේ සමුද්‍රෙය් යොදුන් පන්සියයක් දුරට අණසක පැතිරූ මහා බලසම්පන්න මහෝදර නම් නා රජෙක් විය. ඔහුගේ සහෝදරිය කන්වඩමන් නම් පර්වතයේ නා රජු හට පාවා දුන්නාය. ඒ දෙදෙනාට දාව උපන් පුත්‍රයා චූලෝදර නම් විය. චූලෝදර නාගයා ද මුහුදුවැසි නාගයන් මෙන්ම මහා බලසම්පන්න විය. ඉක්බිති මහෝදර ගේ පියා කළුරිය කරද්දී තමා පරිහරණය කළ අගනා මිණිපළඟ චූලෝදර ගේ මෑණියන්ට පවරා දුන්නේය. ඒ මිණිපළඟට ලෝභ වූ මහෝදර සුවිශාල නාග සේනාවක් සමග යුධයට පිවිසුනේය. චූලෝදර ද තම මාමණ්ඩියට එරෙහිව යුධයට සැරසුනේය. මේ මහා සංග්‍රාමය නාගදීපයේ දී සිදුවීමට තිබිණි.

සිදුවීමට යන විනාශය දුටු අනුත්තර පුරිසදම්ම සාරථීන් වහන්සේ ඍද්ධියෙන් නාගදීපයට වැඩම කොට අහසේ වැඩ සිටි සේක. ඒ ගමනට දෙව්රම් වෙහෙර අසළ විමානය කොටගෙන සිටි සමිද්ධි සුමන නම් දෙව්රජු ද කිරිපළ රුකක් ගෙන එය තථාගතයන් වහන්සේ හට ඡත්‍රයක් කොට දරමින් පැමිණියේය. විශාල නා පිරිසක් රැස් වූ ඒ නාගදීප භූමිය බුදුරජුන් ගේ ඍද්ධියෙන් ඝන අන්ධකාර වී ගියේය. එකිනෙකා නොපෙනෙන තරම් දැඩි වූ ඒ අඳුරට බියපත් නාගයෝ විලාප නගන්නට වූහ. එවිට ඒ අඳුර අතරින් ආලෝකධාරා විහිදුවාලමින් සම්බුදු රජාණන් වහන්සේ පෙනී සිටි සේක්, සියල්ලෝම ඒ බුදුරජ වන්දනා කළෝය.

දමනය වූ ඒ නාග පිරිස බුදුරජුන් ගෙන් අභය ඉල්ලුවෝය. මිහිරි සරින් කාකෝලුක ජාතකය, ථන්දන ජාතකය, වට්ටක ජාතකය, ලටුකික ජාතකය ඇසුරින් ගුණමකු බවේත් එකටෙක කිරීමෙත් ආදීනව පහදාලමින් බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ දී නා පිරිවරට ධර්ම දේශනා කොට වදාළ සේක. සසරේ ආදීනව පෙන්වා දී වදාළ සේක. යුධයට සැරැසුණු නා පිරිස එය අවසානයේ සමගි වූහ. බුදුරජාණන් වහන්සේ අහසින් බිමට වැඩම කළ කල්හි චූලෝදර හා මහෝදර නා රජවරු දෙදෙනා විසින් ඒ වටිනා මිණිපළඟ පූජා කළේය.

ඒ මිණිපළඟ මත වැඩ සිටි සම්බුදු රජාණන් වහන්සේ අසූ කෝටියක් පමණ වූ ඒ නාග පිරිස තිසරණ සහිත පංච සීලයෙහි පිහිටුවා වදාළ සේක. අනතුරුව පාරිභෝගික වස්තුවක් ලෙස වැදුම් පිදුම් කිරීම පිණිස ඒ වටිනා මිණි පළඟත් කිරිපළු රුකත් නා පිරිසට ම ලබා දුන් සම්බුදු රජාණෝ එදින ම යළි දෙව්රම් වෙහෙර බලා වැඩම කොට වදාළ සේක.

ඉතින් සම්බුදු පියාණන් වහන්සේ ගේ දෙවැනි ලංකාගමනය සිදු වූ මේ පින්බර බක් පොහෝ දිනයේ අපිත් සැදැහැ සිතින් පෙහෙවස් සමාදන් වෙමු. සිත, කය, වචනය සංවර කර ගැනීමට මහන්සි වෙමු. දුර්ලභව ලද මිනිසත් දිවියේ පින් රැස්කර ගැනුමට උත්සාහවත් වෙමු.

ඒ රැස් කරනා සියලු පුණ්‍ය ධර්මයන් හී උපකාරයෙන් අප සියළු දෙනාම මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍යාවබෝධ කරන වාසනාවන්තයෝ වෙත්වා!

තෙරුවන් සරණයි!