රෝහිණියට සමේ රෝගයක් හැදීමට හේතු වූ පව අනුරුද්ධ මහ රහතන් වහන්සේ සිය උපන් බිම වූ…

රෝහිණියට සමේ රෝගයක් හැදීමට හේතු වූ පව

අනුරුද්ධ මහ රහතන් වහන්සේ සිය උපන් බිම වූ කපිල වස්තු පුරයට භික්‍ෂූන් වහන්සේ පන්සිය නමක් පමණ පිරිවරාගෙන වැඩම කළහ. ඒ පුවත ඇසූ උන් වහන්සේගේ බොහෝ නෑයෝ ද, හිත මිතුරෝ ද උන් වහන්සේ හමුවීමට පැමිණියහ. එහෙත් එක් තැනැත්තියක් පමණක් පැමිණ නොසිටියාය. ඒ අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ නැගණියයි.

“අපේ නැගණියන් නාවේ ඇයි? ඈට මක් වෙලාද?” උන් වහන්සේ නෑයින්ගෙන් විමසූහ.

“හාමුදුරුවනේ ඇය දැඩි සේ පීඩා දෙන හමේ රෝගයකින් පෙළෙමින් සිටිනවා. ඒ නිසයි අද මේ සභාවට නොපැමිණියේ.”

තෙරුන් වහන්සේ සිය නැගණිය ගෙන්වා ඒ ගැන විමසූහ.

“අපේ හාමුදුරුවනේ මේ රෝගයට කෙතරම් පිළියම් කළත් පලක් නැහැ. මට කායික හා මානසික වශයෙන් වධ දෙනවා. සිතා ගන්න බෑ මොනවා කරන්නද කියලා” නැගණිය එසේ පැවසූ විට අනුරුද්ධ මහ රහතන් වහන්සේ මෙසේ වදාළහ.

“නැගණිය ඔය රෝගයෙන් මිදීමට නම් පිං කරන්න ඕනෙ”

“කවර පිනක්ද කළ යුත්තේ?”

ඈ විමසුවාය.

“නැගණිය භික්‍ෂුන් වහන්සේලා සඳහා අසුන් හලක් කරවා උන් වහන්සේලාට ඇප උපස්ථාන කරන්න. රෝගීන්ට උපස්ථාන කරන්න.”

“හාමුදුරුවනේ සල්ලි කොහින්ද?”

ඈ විමසූ විට අනුරුද්ධ රහතන් වහන්සේ මෙසේ වදාළහ.

“නැගණිය, ඇඟේ ලෙඩ තියාගෙන ඔය පැලඳ සිටින ආභරණ වලින් වැඩක් නැහැ. ඕවා විකුණා අසුන් හලක් කරවන්න.”

තෙරුන් වහන්සේගේ උපදෙස් පරිදි නැගණිය එසේ කළාය. දෙමහල් අසුන් හලක් කරවූ ඇය එහි පැමිණ නිරන්තරයෙන් එය පිරිසුදු කරමින් නිතර වතාවත්වල නිරත වූවාය. මෙසේ රෝගීන්ට ඇප උපස්ථාන කරමින් වත්පිළිවෙත් කරන විට ක්‍රමයෙන් ඇගේ රෝගය සුව වන්නට විය. ඉන් සතුටට පත් වූ ඇය බුදුපාමොක් මහ සඟනට මහා දනක් දුන්නාය. දන් වළඳා අවසානයේ බුදුපියාණෝ ඇගේ හමේ රෝගය හැදීමට හේතු වූ අතීත පාපයේ කතාව මෙසේ පැහැදිලි කළ සේක.

පෙර මේ රෝගී නැගණිය බරණැස් මහ රජුගේ අග්‍ර මෙහෙසියව සිටියාය. රජතුමාගේ පුරඟනන් අතර රූ සිරියෙන් අග පත්, ඉතා තරුණ වයසේ පසු වූ බිසවක් වූවාය. රජතුමා ඈට බෙහෙවින් මනාපය. නිතර මනා ඇඳුම් හා පැලඳුම් ඈට දෙන්නේය. මේ නිසා අග මෙහෙසියට තද ඉරිසියාවක් උපන්නේ තරුණ බිසවගේ රූසිරි නසන මගක් ගැන කල්පනා කළාය. ඇය උපායක් යෙදවීය. ඒ අනුව මහා කසඹිලියා වැල් ගොන්නක් ගෙන්නා ගත් ඇය ඒවා අර බිසවගේ ඇඳ පුරා දැම්මාය. එසේම විහිළු කරන ආකාරයට කසඹිලියා වැල් ඇගේ ඇඟටද දැම්මාය. ඉන් මහත් වේදනාවට පත් ඈ ඇඳ වෙත දුව ගොස් එහි වැතුරුණාය. වේදනාව තව තවත් වැඩි වී ඇඟ පුරා බිබිලි දැමුවේය. පසුව බිබිලි කැසීම නිසා ඇඟම වණයක් විය. අවසන් ප්‍රතිඵලය වූයේ රූ සිරියෙන් යුත් බිසව ඉතාම අවලස්සන තත්වයට පත් වීමයි. මේ ඔබ කළ පාප කර්මය යැයි වදාළහ.

සැබවින්ම බොහෝ ස්ත්‍රීහු බෙහෙවින් ඊර්ෂ්‍යා සහගතහ. අන් කතුන්ගේ ධනය, යසස, කීර්තිය හා රූප සෝභාව නොඉවසන්නෝය. ස්ත්‍රීහු ස්ත්‍රීන්ටම කෙණෙහිලිකම් කරන්නෝ ය. එවැනි ස්ත්‍රීන්ට රෝෂිණිගේ කතාවෙන් උගත හැකි පාඩම් බොහෝය.

සත්‍යයෙන්ම ඊර්ෂ්‍යයා කරන්නෝ ඉන් පිරිහීමට පත් වන්නෝය. පහළටම ඇද වැටෙන්නෝය. අඳුරෙන් අඳුරට යන්නෝය. මෙලොවත් අඳුරු කරගෙන සසරත් දිගින් දිගටම අඳුරු කර ගන්නෝය.