ධනිය කියන්නේ බොහොම පොහොසත් ගොපල්ලෙක්. මේ ධනිය සිටියේ වේදේහ නුවරයි. ඔහුට දූවරුන්…

ධනිය කියන්නේ බොහොම පොහොසත් ගොපල්ලෙක්. මේ ධනිය සිටියේ වේදේහ නුවරයි. ඔහුට දූවරුන් සහ පුතුන් හත් දෙනෙක් සිටියා. වාසය කළේ මහී ගංගාව සමීපයේ. මහී ගඟ කඳු දෙකක් අතරින් ගලා යන ගඟක්. රස්නය ඇති ගී‍්‍රස්ම කාලයට වාසය කිරීමට ඔහු ඒ ගඟ අසබඩ ගෙයක් සාදාගෙන තිබුණා. ගඟේ සිසිලස සුළඟත් සමඟ එමින් ඒ නිවස සිසිල් කළා. උණුසුම් කාලයට ධනිය ඒ නිවසේ සිටියා. ඊළඟ වැසි කාලයට සිටීමටත් ඒ ගඟ අසළම වූ උස් බිමිකත් ඔහුට තවත් නිවසක් තිබුණා. ඔහුට ගවයන් තිස්දාහක් සහ වැස්සියන් විසිදාහක් ද සිටියා.

ඉතින් මේ වැසි සමයේ එක් දිනක සන්ධ්‍යා යාමයේ මේ ධනිය තමන්ගේ අර කන්ද උඩ තිබුණ නිවාසයේ මිදුලේ පුටුවක වාඩි වී බොහොම සැහැල්ලුවෙන් සිටියා. එදින වැහිබර කාලගුණයෙන් යුත් දවසක් වුණා. දැන් ඔහු එහෙම ඉන්න අතර තම සිතට ආ අදහසක් මෙසේ කවියකට නැගුවා.

බත් උයලා ඉවරයි. මම බත් කාලා ඉවරයි. මගේ බඩ හොඳටම පිරිලයි තියෙන්නේ. මම කිරිත් දොවාගෙන ඉවරයි. මහී ගඟ අයිනේ තිබෙන ගෙදරට මගේ පිරිවර ජනයා දූ දරුවෝ ගෙදර වැඩ කරන අය සේරම ඇවිල්ලයි ඉන්නේ. දරු මුණුපුරන්, මා සමඟයි ඉන්නේ. ඒ ගෙදර හොඳින් සෙවිලි කර තිබෙන්නේ. කොහින්වත් තෙමන්නේ නැහැ. ගේ තුළ ගිනිත් දල්වා තිබෙනවා. මේ සූදානම් නිසා ඔහු අහස දෙස බලා සතුටින් පවසනවා වැස්ස කැමැතිනම් වහින්න. ඕනෑ තරම් වහින්න කියා.

ධනිය ගෝපාල කියූ මේ ගාථාව සැවැත්නුවර වැඩ සිටි තථාගතයන් වහන්සේට ඇසුණා. උන්වහන්සේ ක්‍ෂණයකින් මේ මහී ගෙග් එහා පැත්තේ කන්දට වැඩියා. උන්වහවන්සේ මේ ආකාරයට එන ක්‍රමය ධර්ම සාහිත්‍යයේ මෙසේ උපමාවකින් සඳහන් කර තිබෙනවා. අකුලාගෙන සිටින අතක් දිග හරින වේගයෙන් දිග හරින අතක් අකුලන වේගයෙන් තථාගතයන් වහන්සේට කැමති තැනකට වඩින්න පුළුවන් බවයි. එහෙම වැඩම කරලා කන්දේ අනෙක් පැත්තේ සිටි ධනියගේ කවියට පිළිතුරුක් දෙන්නයි සූදානම.

මේ ගාථා දෙස බලන විට පෙනෙන්නේ ධනියගේ සතුට සාමිස බවයි. කෙලෙස් සහිතයි. නමුත් තථාගතයන් වහන්සේගේ කවි තුළින් එන්නේ නිරාමිස සතුටක්. දැන් තථාගතයන් වහන්සේ කිසියම් අනුකරණයක් කරනවා. නමුත් එහි අදහස සම්පූර්ණයෙන්ම වෙනස්. සාමිද අදහසකට උන්වහන්සේ නිරාමිස අර්ථයක් දුන්නා. නිරාමිස වෙනසක් ඇති කළා.

තථාගතයන් වහන්සේ වදාළා “මගේ සිතේ ක්‍රෝධය නැහැ. මම ක්‍රෝධය නැතිකළ කෙනෙක්. මම කෙලෙස් උල් උගුලා දැමු කෙනෙක්. ධනිය ගෝපාල දොවා ගත්තේ කිරියි. තමන් වහන්සේ තමන් කෙලෙස් නමැති උල් ගලවා දැමූවායැයි වදාළා. නමුත් කෙලෙස් සහිත පුද්ගලයා නිතරම ඉන්නේ් දුකෙන්. ඔහු දුකින් බරවයි දුකෙහි ඇමිනිලායි ජීවත් වෙන්නේ. උලක් සාමාන්‍යයෙන් උපයෝගි කරගන්නේ අමුණන්නයි. ඒවාගේ කෙලෙස් තිබෙන අය සසර ඵයට ඇමිනිලයි ඉන්නේ. ඒකයි කෙලෙස් උල් උගුලා දැමුවා කියා වදාළේ්. ධනිය ගෝපාල ගං තීරයේ ඉන්නේ ඔහුගේ් පිරිවර සේනාව සමගිනුයි.

තථාගතයන් වහන්සේ වදාළා මම මේ ගං තීරයේ වාසය කරන්නේ තනිවමයි. මට කවුරුත් නැහැ. මම මගේ පාඩුවේ තනියම වාසය කරනවා. මට පිරිවරක් නැහැ. මම වාසය කරන්නේ තනිවමයි. ඒ වගේම ධනියගේ කුටිය හොඳින් සෙවිලි කළ කුටියක්. තථාගතයන් වහන්සේ වදාළා මගේ සිත නමැති කුටිය විවෘතයි. මේ සිත නැමැති කුටිය විවෘතව ඇත්තේ කෙලෙස්වලිනුයි.

කෙලෙස් වලින් විවෘතයි කියන්නේ නිකෙලෙස්. එහෙම නැත්නම් කෙලෙස් නැහැ කියන එකයි. සාමාන්‍ය පෘතග්ජනයාගේ සිත පවතින්නේ කෙලෙස්වලින් වැසිලායි. නමුත් මගේ සිත නමැති කුටිය කෙලෙස්වලින් විවෘතයි. එය නිකෙලෙස්. නිරාවරණය වූ එකක් යැයි තථාගතයන් වහන්සේ වදාළා. ධනියගේ වාරයේදී ඔහු කියනවා ගිනි පත්තුවෙලා තිබෙන්නේ. ඒ නිසා මැසි මදුරුවන් මගේ නිවසට එන්නේ් නැහැ. හොඳින් වැඩුණ දළුලාපු තණකොළ මෙහි තියෙනවා. ඒ තණ බිමේ ගවයන් හැසිරෙමින් තණකොළ කනවා. තම ගවයන්ට කෑමට තණ බිමේ තණ කොළ තිබෙනවානම් ඒ ගවයන් බලාගන්න පුද්ගලයාට ප්‍රශ්නයක් නැහැ. හරකුන්ට කෑමට ප්‍රමාණවත්නම් වැස්සත් කමක් නැහැ. ඉතින් ඔහු කියනවා වැස්ස කැමති නම් වහින්න කියලා.

නැවත ධනිය කියනවා මගේ බිරිඳ ඉතා කීකරුයි. ඇය ලෝභ නැහැ. ඇය ආහාරයෙහි ලොල් නැහැ. අපි ඇසුරු කරන්නේ බොහෝම කාලයක සිටයි. ඇය ඉතාම පි‍්‍රයමනාප ගතියෙන් යුක්ත කෙනෙක්. ඇයගේ හැසිරීම මටම බොහෝම පි‍්‍රයමනාපයි කියලා. ඒ නිසා වැස්ස කැමති නම් වහින්න ඕනෑ තරම් වහින්න. මට ඒක බාධාවක් නැහැ කියා.

තථාගතයන් වහන්සේ එයට මෙහෙම පිළිතුරු දුන්නා. මගේ සිත මට වසඟයි. මට කීකරුයි. මගේ හිත මට එකඟ කරගන්න පුළුවන්. මට පාලනය කරන්න පුළුවන්. එක එක අරමුණු පස්සේ දුවන්නේ නැහැ. කෙලෙසුන්ගෙන් මිදිලායි තියෙන්නේ. බොහෝ කාලයක් තිස්සේ එසේ සිත වැඩූ නිසා දියුණු කළ නිසා නිවැරැදි කළ නිසා කෙලෙසුන්ගෙන් මිදිලයි තියෙන්නේ. ඒ නිසා වැස්ස ඕනෑ තරම් වහින්න කියලා.

ඉතින් ධනිය කියනවා, මට බොහෝ තරුණ වස්සන් ඉන්නවා. දෙනුන්ගෙන් කිරි උරා බොන පුංචි පැටවුණුත් ඒ අතර ඉන්නවා. ගැබ දරා සිටින දෙනුන්ද ඒ අතර සිටිනවා. පරම්පරාව පවත්වාගෙන යන්නට පුළුවන් දෑවැද්දට දිය හැකි වටිනා ගවයන්ද මට සිටිනවා. කියමින් ධනිය තමාගේ ඇතිකම ගැන පවසනවා.

තථාගතයන් වහන්සේ වදාළා මට තරුණ වැස්සොත් නැහැ. කිරි උරාබොන වස්සොත් නැහැ. ගැබිණි වැස්සියොත් නැහැ. දෑවැද්දට දෙන්නට හෝ පරම්පරාව පවත්වාගෙන යාමට සුදුසු වැස්සියොත් නැහැ. ඒ නිසා වැස්ස කැමැතිනම් වහින්න. ධනිය ඇතිකම නිසා ලබන්නේ සාමිස සුවයක්. උන්වහන්සේ වදාළා නැවත ඉපදීමකුත් නැහැ. හරකෙකු තමා බැඳ සිටින බැමි කඩාගෙන යන්නාසේ රසකිඳ වැලකින් ගැට ගසා සිටින ඇතෙක් ඒ වැල කඩාගෙන යනවා වගේ මට යන්න පුළුවන්. නමුත් සියලු කෙලසුන් නැති කළ නිසා මා නැවත ගැබද උපදින්නේ නැහැ. මේ නැතිවීම තුළින් නිරාමිස සුවයක් ලබනවා.

ධනිය සහ තථාගතයන් වහන්සේ අතර ඇති වූ මේ කවි සංවාදය මෙසේ පවතිද්දී මහා ධාරාණිපාත වැස්සක් වහින්න පටන් ගත්තා. මහ හඬ නගමින් දැන් මේ වැස්ස වහිනවා. ගඟ උතුරා යන්න පටන් ගත්තා. ධනිය තේරුම් ගත්තා එහා කන්දේ සිට කවි කිව්වේ බුදුරජාණන් වහන්සේ බව.ඔහු කියනවා අපට හිමි වුණේ් විශාල ලාභයක්මයි. අපට භාග්‍යවතුන් වහන්සේ දකින්නට ලැබුණා. මම ඔබවහන්සේට මාගේ ජීවිතය පූජා කරනවා. මරණයෙන් එතෙර වී එගොඩ යන්න උත්සාහ කරනවා යැයි ධනිය කියනවා. මේ සූත්‍රයේ සඳහන් වන ආකාරයට ධනිය සහ ඔහුගේ බිරිය දෙදෙනාම මාර්ගඵල ලබා ගෙන තිබෙනවා.

තෙරුවන් සරණයි!

ශ්‍රාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

ධර්ම දානය :