~ පරලොව දියුණුව සලසා ගැනීමට කුමක් කල යුතුද? ~ පරලොව ජීවිතය සුගතිගාමීත්වය උදෙසා…

~ පරලොව දියුණුව සලසා ගැනීමට කුමක් කල යුතුද? ~

පරලොව ජීවිතය සුගතිගාමීත්වය උදෙසා ද ක්‍රියා කළ යුත්තේ ද මෙලොව දී ම ය. එහිදී ද, වැදගත් වන කරුණු හතරක් පෙන්වා දී ඇත. එනම්, සද්ධා, සීල, චාග, පඤ්ඤා යන සම්පදාවන් ය.

1.ශ්‍රද්ධාව
ශ්‍රද්ධාව යනුවෙන් පෙන්වා දී ඇත්තේ තෙරුවන් කෙරෙහි අචල වූත් ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්ත වීම ය. බුදුන් වහන්සේගේ නව අරහාදී ගුණ පිළිගැනීම, සදහම් ගුණ විශ්වාස කිරීම හා සංඝරත්නය පිළිබඳ ගරු කිරීම ආදිය මෙයට අයත් ය. ඒ ශ්‍රද්ධාව කිසි ලෙසකින්වත් වෙනස් නොවන්නකි. තමන්ගේ දුක්ඛදෝමනස්සයන් නිසා කිසිදිනෙක තෙරුවන් කෙරෙහි සැකයක්, විචිකිච්ඡාවක් ඇති කර නොගනී. තෙරුවන් කෙරෙහි අමූලිකා ශ්‍රද්ධාවෙන් යුතුව තෙරුවන් ගුණ සජ්ඣායනා කිරීම නොව ඒ ගුණයන් පිළිබඳව නිසි වැටහීමෙන් යුතුව සරණ යෑමයි ශ්‍රද්ධාව උපදවා ගැනීමයි වැදගත් වන්නේ.

2.සීලය
මෙහි දෙවැනි අංගය වන්නේ සීල සම්පදාවයි. පඤ්චශීලය ආරක්ෂා කිරීම මෙන් ම සිතින් කයින් වචනයෙන් දුෂ්චරිත සිදු කිරීමෙන් වැළකීම මේ සම්පදාවට අයත් වන්නේ ය. (පාණාතිපාතාදීහි වා විරමන්තස්ස වත්ත පටිවත්තං වා පුරෙන්තස්ස චේතනාදයෝ ධම්මා සීලං නාම) ශීලය, වාරිත්‍ර, චාරිත්‍ර වශයෙන් ද ලෞකික, ලෝකෝත්තර වශයෙන් ද හීන – මජ්ක්‍ධිම – පණීත වශයෙන් ද භික්ඛු – භික්ඛුණී වශයෙන් ද අනුපසම්පන්න, ගහට්ඨ වශයෙන්ද බෙදීම් දක්නට ඇත. පැවිද්දෙකු නම් ඔහු විසින් රැකිය යුතු ගුණ ධර්ම මනාව පූරණය කරමින් ජීවත් වීම වටී. ගිහියෙකු නම් පඤ්චශීලය ආරක්ෂා කරමින් සද්පුරුෂයින් ආශ්‍රය කරමින් ජීවත් වීම වටී.

3.චාගය
තෙවැනිව පෙන්වා දෙන්නේ චාග සම්පදාවයි. එනම් පරිත්‍යාගශීලීත්වයෙන් යුතුව දීමයි. මෙහිත් ක්‍රම දෙකකි. පූජා බුද්ධියෙන් දන් දීම යනු සිල්වතුන් වහන්සේලාට දෙන දීමනාවන් ය. අනුග්‍රහ බුද්ධියෙන් දන් දීම යනු දුප්පතුන්ට තිරිසන් සත්ත්වයන්ට හෝ පරිත්‍යාගයක් අවශ්‍ය පුද්ගලයින්ට දීමය. දන්දීම යනු පාරමිතාවක් ද වන්නේ ය. එය නිසි පරිදි කුසල චේතනාවෙන් ම ඉටු කිරීමට මහන්සි ගත යුතු ය.

4.ප්‍රඥාව
සිව්වැනි කරුණ නම් පඤ්ඤා සම්පදාවයි. එනම් ප්‍රඥාවෙන් සම්පූර්ණ වීමයි. මෙලොව ජීවිතය සාර්ථකත්වයටත් හොඳ නරක මනාව අවබෝධ කර ගැනීමටත් අවිද්‍යාව දුරලා නිවන් සම්පත්තිය සාක්ෂාත් කරගැනීමටත් ප්‍රඥාව ඉවහල් වනු නියතය.
සම්බුදු හිමියන් දේශනා කළ අයුරින් මේ ක්‍රමවේදය මනාව පිළිපදින්නා මෙලොව පරලොව අභිවෘද්ධිය සලසගෙන අවසන දී සියලු කෙලෙසුන් ප්‍රහීණ කර නිවන් සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට හැකි වන්නේ ම ය. පින්වත් ඔබ සැමදෙනාත් මේ අනුව කටයුතු කිරීමෙන් දෙලොව සැප ලබාගෙන අවසන ප්‍රාර්ථනා කරන උතුම් වූ නිවන් සම්පත්තිය සලසා ගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි.
බුදුසරණ අන්තර්ජාල කලාපය ඇසුරෙනි – දියතලාවේ ඤාණවිමල හිමි