මේ වනාහ මේ කරුණු ඇතුළු කොට මේ නමින් පොතක් ලියමියි කලින් සිතා ලියන ලද පොතක් නොවේ….

මේ වනාහ මේ කරුණු ඇතුළු කොට මේ නමින් පොතක් ලියමියි කලින් සිතා ලියන ලද පොතක් නොවේ. මෙය ලියවුනේ මෙසේය.

මහියංගණ චෛත්‍යය රාජයාණන් වෙත ගොස් විශාල පූජාවක් පැවැත්වීමට සූදානම් වන සැදැහැවත් පිරිසක් මා වෙත අවුත් ඔවුන්ගේ පූජාවට සහභාගි වනු පිණිස එහි යෑමට මටද ආරාධනා කළහ. එහි කරන්නට යන ඔවුන්ගේ පූජාව රුපියල් දහස් ගණනක වියදමින් කරන්නට යන විශාල පූජාවකි. මම ද ඔවුන්ගේ ආරාධනාව සතුටින් පිළිගතිමි. එහි ගිය පසු ගාථා කියවා ඔවුන් ලවා වන්දනා කරවීම හා පූජා කරවීම මා විසින් කළ යුතුව තිබිණ.

දැනට රටේ භාවිතා වන “ඉතිපිසෝ භගවා” යනාදී වන්දනා පාඨ ඔවුනට කියවුවද ඒවා නොතේරෙන බැවින් එයින් ඔවුනට ඥාන සම්ප‍්‍රයුක්ත කුශලයක් ඇති නොවේ. තේරුම් සහිතව ඒවා ඒවා කියවුවද ඒ පාඨවලට ඇතුළත් වන ගැඹුරු ගුණ ඔවුනට නොවැටහෙන බැවින් එයිනද ඔවුනට ඥාන සම්ප‍්‍රයුක්ත කුශලයක් ඇති නොවේ. එබැවින් ඒවා කියවා වන්දනා කරවීමට සතුටක් මට ඇති නොවීය. ඒ නිසා බුදුරදුන් කෙරෙහි පැහැදීම ඇති වන පරිදි කීමෙන් ඥාන සම්ප‍්‍රයුක්ත කුශලයක් ඇති කර ගත හැකි වන පරිදි පහසුවෙන් තෝරුම් ගත හැකි බුදු ගුණ ඇතුළත් කොට වන්දනා වාක්‍යයක් පිළියෙල කරන ලදි. මේ පොතේ මුලට ඇත්තේ ඒ වන්දනා වාක්‍යය ය.

පහන් පූජාව සඳහා දැනට භාවිතා වන “ඝනසාරප්ප දිප්තේන” යනාදි ගාථාව කපුරු දල්වා පිදීම සඳහා කර ඇති ගාථාවකි. ඝනසාර කියනුයේ කපුරුවලටය. එබැවින් ඒ ගාථා කියවීමත් මට අප‍්‍රියය. ඒ නිසා පහන් පූජාව සඳහා අමුතුවෙන් ගාථා දෙකක් රචනා කරන ලදි.

දැනට මල් පූජාව සඳහා භාවිතා කරන “වණ්ණ ගන්ධගුණෝ පේතං” යනාදී ගය ද මට අප‍්‍රියය. පූජා කිරීමේ හොඳම ක‍්‍රමය යම් කිසි බුද්ධ ගුණයක් ඉදිරිපත් කරගෙන ඒ පූජාව කිරීමය. ඒ ගාථාවෙන් මල්වල ගුණ මිස බුදු ගුණයක් නොකියැවේ. තවද ගාථාවෙහිි “සන්තතිං“ යන වචනයත් තැනට ගැළපෙන්නක් සේ නොපෙනේ. මල් පූජාවට භාවිතා කරන “පූජේමි බුද්ධං කුසුමෙනනෙන“ යනාදී ගාථාවෙන් ද යම්කිසි බුද්ධ ගුණයක් නොකියවේ. එහි ර්‍ “පුප්ථං මිලායාති යථා ඉදං මෙ“ යනාදී ගාථාවේ අපරාර්දයෙන් කියැවෙන්නේ ද තැනට අනුචිත කරුණකි. ඒ නිසා බුදු ගුණ ඇතුළු කොට මල් පූජා කිරීමේ ගාථා දෙකක් රචනා කරන ලදි.

ආහාර පූජාව සඳහා භාවිතා කෙරෙන “අධිවාසෙතු නො භන්තේ“ යනාදී ගයත් මට කීමට ප‍්‍රිය නැති ගාථාවෙකි. එහි එකම භෝජනය පිළිගැනීම සඳහා “අධිවාසෙතු, පතිගන්හාතු“ යි වචන දෙකක් යෙදී තිබීමත් “පරිකප්පිතං“ යනු තැනට ගැලපෙන අර්ථයක් දීමට දුෂ්කර වචනයක් වන බැවින් ඇතමුන් එය හැර “අධිවාසෙතු නො භන්තේ භෝජනං පරිකප්පියං“ යිද ඇතමුන් “අධිවාසෙතු නො භන්තේ භෝජනං උපනාමිතං“ යි ද කියනු ඇසේ. මේ ගාථාව ප‍්‍රිය නැති බැවින් ආහාර පූජාවට ගාථා ද අලූතෙන් පිළියෙල කරන ලදි.

පැන් පූජා ගිලන්පස පූජා සුවඳ ඳුම් පූජා දැහැත් පූජා සඳහාද ගාථා අලූතෙන් ම සාදන ලදි. ඒ පිරිස විශාල නෙළුම් මල් පූජාවක් හා කොඩි පූජාවක්ද කිරීමට බලාපොරොත්තු වන බව කීයෙන් නෙළුම් මල් පූජාව සඳහාද කොඩි පූජාව සඳහාද ගාථා දෙකක් රචනා කරන ලදි. ඇතැම් පින්වතුන් විශේෂයෙන් සමන් මල් පිදීම කරන බැවින් ඒ සඳහාත්, කිරි ආහාර පුදන බැවින් ඒ සඳහාත් ගාථා රචනා කරන ලදි. ඇතුම් පින්වතුන් චෛත්‍යයන්ට කප්රුක් පූජාවක් කරන බැවින් ඒ සඳහාද ගාථාවක් රචනා කරන ලදි. මහියංගණයට යන්නට සූදානම් වන පිරිස එහිදී අට පිරිකර කුඩා වටාපත් පාවහන් ඇඳ පුටු ආදී නොයෙක් පරිෂ්කාර බුදුනට පිදීමට බලාපොරොත්තු වන බැවින් පිරිකර පිදීමට ගාථාද පිළියෙල කරන ලදි.

දෙවියන්ට පින් දීමට දැනට භාවිතා කරන “එත්තාවතා ච අම්හෙහි“ යනාදි ගාථාව දෙවියන්ට ආරාධනා කොට පිරිත් කියා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරවීම සඳහා රචිත ගාථාවකි. එහි “එත්තාවතා“ යන වචනය යොදා තිබෙන්නේ එතෙක් පිරිත් කීම සඳහන් කිරීමටය. මේ ගාථාව දක්නා ලැබෙන්නේ ද පිරිත් පොත්වලය. දානාදී පින්කම් කළ අවස්ථාවන්හී දෙවියන්ට පින් දීමට ඊට වඩා සුදුසු ගාථාවක් කළ හැකි බැවින් “කතං අම්මෙහි මං පුඤඤං සබ්බ සම්පත්තිසාධකං, සබ්බෙ දෙවානුමොදන්තු අම්හෙ රක්ඛන්තු සබ්බදා“ යන ගාථාව පිළියෙල කෙරිණ.

දැන් මිය ගිය ඥාතින්ට පිං පැමිණවීමට කියන “ඉදං වො ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයෝ“ යන ගාථාර්ධය ද පින්දීම සඳහා විශේෂයෙන් රචනා කරන ලද්දක් නොව තිරෝකුඞ්ඪ සූත‍්‍රයේ ගාථාවක කොටසකි. එයින් මිය ගිය ඥාතින්ට පින් දීම කළ හැකි වුවද වඩා හොඳින් ඒ කටයුත්ත කළ හැකි වීමටත්, අවිශේෂයෙන් මිය ගිය ඥාතීන්ට පින් දීමටත්, මිය ගිය මා පිය පුත‍්‍රකලාත‍්‍රාදීන්ට විශේෂයෙන් පින්දිය හැකි වීමටත් ගාථා පෙළක් පිළියෙල කරන ලදි. අනතුරුව ප‍්‍රාර්ථනා ගාථා හා විෂ්ණු කතරගම ආදී දෙවිවරුන්ට පින් දීමට ගාථාද පිළියෙල කරන ලදි.

මේවා පිළියෙල කළ නමුත් මට ඒ පූජාවට සහභාගී වන්නට නො ලැබිණ. පසුව ඒ ගාථා පොතක් වශයෙන් මුද්‍රණය කරවන්නට සිත් වූයෙන් බෝධි වන්දනා බෝධි පූජා චෛත්‍යය වන්දනා චෛත්‍යය පූජා කිරීමට ගාථා ද සපයන ලදි. එකම ගාථාවක් කියා බෝධියට චෛත්‍යයට වැඳ බුදුනට මල් පහන් පූජා කිරීම ක‍්‍රමානුකූල නොවන නිසා, බෝධියට චෛත්‍යයට පූජා පැවැත්වීමට ගාථා ද මෙයට එකතු කරන ලදි.

මෙකල බොහෝ බෞද්ධයෝ සීවලී පූජාව කරති. එයට විශේෂ ගාථා පිළියෙල වී නැති බැවින් බොහෝ දෙනා බුදුරදුන්ට මල් පහන් ආදිය පුදන ගාථාව කියා සීවලි පූජාව කරති. එය තේරුමක් නැති වැඩක් බැවින් සීවලි පූජාව කරනුවන්ට එය ක‍්‍රමානුකූලව කළ හැකි වනු පිණිස එය සඳහා ගාථා පෙලක්ද මෙයට ඇතුළු කරන ලදි.

ගාථා සම්පූර්ණ කිරීමෙන් පසු තවත් අදහසක් පහළ විය. එනම් මෙකල බෞද්ධයන් බෙහෙවින් කරන්නේ වන්දනාව හා පූජාවය. ගතානුගතිකව බොහෝ දෙනා ඒ දෙක කරන නමුත් ඒ කරන දෙය මහත් ථල වන පරිදි කරන්නට නො දනිති. ඔවුනට ඒවා ගැන සෑහෙන දැනුමක් ඇති කර ගත හැකි වන පරිදි වන්දනා පූජා කිරීම ගැන හා වැඳුම් පිඳුම් කල යුතු වස්තු ගැනත් ඒවායේ අනුසස් ගැනත් විස්තරයක් ලිවීමය. අදහස පහළ වූ පරිදි එයද කරන ලදි. එයින් ලිපිය තරමක පොතකට සෑහෙන තරම් විය.

ඇතැම්මු ලස්සන ගාථා මිහිරි හඬින් කියා වඳින්නට කැමැත්තෝය. ඔවුන් සඳහා හොඳින් කිය හැකි පැරණි ගත් කරුවන් කීප දෙනෙකුගේ රත්නත‍්‍රය වන්දනා ගාථාද මෙයට එකතු කරන ලදි.

මේ බුද්ධ වන්දනාව විද්‍යානුකූලව කිරීමෙන් පරලොවදී ලබන අනුසස්ම නොව මෙලොවදී නොයෙක් ආකාර අනුසස් ලබා ගත හැකිය. මෙලොවදී යම් යම් දේ ලබා ගත හැකි වන්දනා ක‍්‍රම කීපයක් ද මෙයට එකතු කිරීමේ අදහස පහළ වීමෙන් එය ද කරන ලදි.

ඒ වන්දනා ක‍්‍රම භාවිතා කරත හොත් ඒවායින් නොයෙක් ප‍්‍රයෝජන ලබා ගත හැකි වනු ඇත. අනතුරුව යෝගාවචරයනට සුදුසු යෝග සිද්ධියට ඉවහල් වන වන්දනා ක‍්‍රමයක්ද දක්වා ඇත. භාවිතා කරත හොත් එයින් යෝගාවචරයනට බොහෝ ප‍්‍රයෝජන වනු ඇත.

බෞද්ධයෝ රෝග සුව කර ගැනීම, අමනුෂ්‍යය භය දුරු කර ගැනීම, ග‍්‍රහ අපල දුරු කර ගැනීම ආදී කරුණු පිරිතෙන් සිදු කර ගැනීමට බලාපොරොත්තු වෙති. ඔවුනට ඒවා සිදු කර ගනු හැකි වනු සඳහා පිරිත් හා ඒවායින් ප‍්‍රයෝජන ලැබිය හැකි ගාථාත්, බෞද්ධයන් භාවිතා කරන යන්ත‍්‍ර කීපයකුත් මේ ග‍්‍රන්ථයට ඇතුලත් කර ඇත.

පින උසස් වන්නේ අඩු වැඩි වන්නේ කරන තැනැත්තාගේ කිරීමේ හොඳ නො හොඳකම් අනුවය. තුණුරුවන් ගැන දැනුමක් නැතිව වැඳුම් පිඳුම් කල යුතු වස්ත‍්‍ර ගැන හරි දැනුමක් නැතිව ගතානුගතිකව වැඳුම් පිදුම් කරනවුන්ට එයින් උසස් පිනක් නො ලැබිය හැකිය. උසස් පිනක් ලැබිය හැකි වන්නේ ඒවා ගැන දැනුම ඇතිව ක‍්‍රමාණුකූලව එය කරන තැනැත්තාටය. මේ පොත කියවීමෙන් ඒ දැනුම ඇති කරගෙන ක‍්‍රමානුකූලව මහත් ඵල වන පරිදි වැඳුම් පිදුම් කර ගත හැකි වනු ඇත. මේ ගැන තමන්ට දැනුමක් නැති බව බොහෝ දෙනා නොදනිති. මේ පොත කියවුව හොත් ඔබට ඔබේ දැනීමේ අඩු පාඩුකම් දැනෙනවා ඇත. ඒවා සම්පූර්ණ ද කරගත හැකි වනු ඇත.

සකල සත්වයෝ සුවපත් වෙත්වා!

මෙයට – ශාසනස්ථිකාමී,
රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර

ග‍්‍රන්ථය භාගත කිරීම සඳහා පිවිසෙන්න: