බුදුරජාණන් වහන්සේ තරම් සමගියේ ආනිසංස දේශනා කළ වෙනත් ශාස්තෘන් වහන්සේ නමක් නැත. උන…

බුදුරජාණන් වහන්සේ තරම් සමගියේ ආනිසංස දේශනා කළ වෙනත් ශාස්තෘන් වහන්සේ නමක් නැත. උන්වහන්සේගේ ශ්‍රාවකයින් වූ අපි හැකිතාක් සමගිව කටයුතු කිරීමට වෙර දරමු.
”United we stand, divided we fall”
——————————–
වෛරය පවතිනතාක් කල් සමාජ සමගිය ගොඩ නොනැඟේ
බුදුරජාණන් වහන්සේ සමස්ත සමාජය ප‍්‍රධාන ඒකක හයකට බෙදා වෙන්කර ඇත්තාහ.

මවුපිය දූදරු, ස්වාමිපුරුෂ භාර්යා, ගුරු සිසු, අධ්‍යාත්මික නායකයන් හෙවත් ශ‍්‍රමණ සහ ශ‍්‍රාවක, හිතමිතුරු සහ ස්වාමි සේවක යනුවෙනි. ඊට අමතරව තවත් කුඩා සහ අනු කුඩා ඒකක රාශියකින් සමාජය ගොඩනැඟී තිබේ.

රටක් හෝ සමාජයක් දියුණුවීම යනු මේ එකිනෙක ඒකකයන්හි පවතින අන්‍යොන්‍ය සහයෝගිතාවයයි.

ජන සමූහයක් ගොඩ නැඟූ ශ්‍රේෂ්ඨ නායකයකු ලෙස බුදුරජාණන් වහන්සේ සමගිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබේ.

සමගිය හෙවත් සාමුහිකත්වය බිඳ වැටෙන්නේ අප සිතන පතන ආකාරයේ පවතින දුර්වලතා මතය.

කෙනෙක් තමන්ගේ පවුලේ සමගිය ගැන සිතනවා නම් පළමුව කළ යුතු වන්නේ තම මනස දියුණු කර ගැනීමය.

කෙනෙක් දෝෂාරෝපණය කෙළේ යැයි, පහර දුන්නේ යැයි, හිමි වන්නට තිබුණු දෙයක් පැහැර ගත්තේ යැයි අප කෙරෙහි කෝපයක් ඇති වන්නේ නම් එතැන දී වෛරය දළුළනවා මිසක සමගිය හෙවත් එක්ව හිඳීමේ, එක්ව වැඩ කිරීමේ පසුබිම ගොඩ නැඟෙන්නේ නැත.

බුදුරජාණන් වහන්සේ මේ කාරණය ධම්ම පදයේදී ඉතා අපූරුවට පෙන්වා දී තිබේ.

අක්කොච්චිමන් අවධිමන්
අජිනිමන් අභාසිමේ
යේතං උපනයිහන්තී වේරං තේ සං න සම්මතී

කෙනෙක් මට බැන්නේය, මට ගැසුවේය, මා පැරද වූයේය. මා සතු දේ පැහැර ගත්තේය යනුවෙන් යම් කෙනෙක් සිතෙහි දැඩි කොට බැඳ ගන්නේ ද ඔහු ගේ වෛරය සන්සිඳෙන්නේ නැත. සරල උදාහරණයක් ගෙන බලමු.

දෙපාර්ශවයක් අතර, එසේත් නැතිනම් ගෘහ ජීවිතයේ ඇතිවූ ගැටලුවක් විසඳ්‍ර ගැනීමට සාකච්ඡා කරන්නේ නම් බොහෝකොට පෙරමුණ ගන්නේ අතීත සිදුවීම්ය. අතීතයේ දී කළ අකටයුතුකම්ය. දිගින් දිගටම ඒවායෙහි එල්ලී සිටිනවා මිසක අත්හැර දමන්නට සූදානම් නැත.

සාමූහිකත්වය අවශ්‍ය නම්, එක්ව සිටීමේ වැදගත්කම තේරුම් ගන්නවා නම් අතීතය හා බැඳුණු දේවලින් මිදිය යුතු බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරති.

පෙර සිදුවීම් අත්හැර අලුතින් සිතන්නට පටන් ගන්නවා යනු වර්තමානයේ හෝ අනාගතයේ හෝ එවැනි කටුක අත්දැකීම් ඇතිවීම වැළැක්වීමට උපක‍්‍රම හඳුනා ගැනීමය. එසේ නැතිව වෛරය පවතින තාක් කල් සමාජයේ සමගිය ගොඩ නැඟෙන්නේ නැත.

”නහී වේරේන වේරානී
සම්මන්තී ද කුදාචනං
අවේරේනච සම්මන්තී
ඒස ධම්මෝ සනත්තනෝ”

මේ ලොව කිසි කලෙකවත් වෛරය වෛරයෙන් නොසන් සිඳෙන්නේය. අවෛරයෙන්ම වෛරය සන්සිඳෙන්නේය. එය පෙර සිටම පැවැති ස්වභාවයකැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.

අපි මෙලෙස සිතමු. කාමරයෙහි ඇති, අතිශයින්ම දුර්ගන්ධ හමන මී කුණක්, ඉවත් කර ගෙබිම සෝදා හරින්නැයි තවත් කෙනකුට පැවරුවහොත් ඒ කෙරහි තරහවෙන් ඒ තැනැත්තා තවත් අපිරිසුදු ජලය ප‍්‍රයෝජනයට ගනිමින් ගෙබිම සෝදා හරී.

එවිට දුර්ගන්ධය වර්ධනය වීමක් මිසක අඩුවීමක් සිදුවන්නේ නැත. වෛරය ද ඒ හා සමානය.

ලොව ස්වභාවය නම් අසමගිකමට වෙළෙඳ පොළක් නිර්මාණය කිරීමය. ඒ ඒ ජනවර්ගයන්හි සංස්කෘතීන් පිළිබඳව එකිනෙකා කෙරෙහි එකඟතාවක් නොපැවතීම ස්වභාවිකය. පවුලේ පසුබිම ගෙන බලමු.

ස්වාමි පුරුෂයා ගේ සියලුම සිතුම් පැතුම් පිළිබඳව, බිරියගේ සිතුම් පැතුම් හා කි‍්‍රයාකාරකම් පිළිබඳව කිසිදු සැමියකුට හෝ බිරියකට සියයට සියයකම එකඟතාවයක් නැත. පවුලේ සිට සමාජය දක්වා පැතිරී ගිය පසු එය ඊටත් වඩා බලවත්ය.

විවිධ සංස්කෘතීන්ට අයිති, විවිධ ජාතීන්ට අයිති, විවිධ වාර්ගික ලක්‍ෂණවලින් යුතු අය ගේ ස්වභාවයන් එකිනෙකට වෙනස්ය. එය අප ගේ සිතෙහි ස්වභාවිකවම නොරිස්සුම් සහගත තත්ත්වයන් ඇති කරයි.

මේ තත්ත්වය හඳුනා ගත් විවිධ ව්‍යාපාර කණ්ඩායම් මේ අසමගිකමට වෙළඳපොළක් නිර්මාණය කර ඇත. ලොව අසමගිකම හරහා බිහිවුණු විශාලතම වෙළෙඳපොළ ආයුධ හා ඖෂධ වෙළෙඳපොළයි.

අසමගි වූවන් අතර ආයුධ විකුණා ගැනීමේ පහසු පරිසරයක් උදාවේ.

ඉන් අනතුරුව ආයුධ භාවිත කිරීම නිසා ඇතිවන තත්ත්වයන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා ඖෂධ වෙළෙඳ පොළ බිහිවේ.

ලොව එකිනෙකා අතර සම්මුති වශයෙන් හෝ එකඟතාවය නමැති කාරණය පවත්වා ගෙන යෑමට මේ වෙළෙඳපොළ විසින් බලවත් කරනු ලැබූ ආයතන ඉඩ දෙන්නේ නැත.

අපි සමගිව සිතන්නට පුරුදු වුවහොත් එම ආර්ථිකයේ විශාල පසුබෑමක් සිදුවන බව දන්නා බැවිනි.

යම් තැනෙක, පවුලක හෝ වේවා රටක සමාජයක හෝ වේවා සමගි සම්පන්න බවක් තිබේ නම් එයට විශාල බලයක් හිමි වේ. අපේ ජනවහරේ ‘සමගිය බලය වේ’ යන කියමන නිර්මාණය වී තිබෙන්නේ ඒ නිසාය.

සංඝ සමාජයේ පැවැත්ම පිළිබඳ සාකච්ඡා කරන බුදුරජාණන් වහන්සේ මෙසේ උගන්වා ඇත.

”සුඛා සංඝස්ස සාමග්ගේ
සමග්ගානං තපෝ සුඛෝ”

සංඝයා ගේ සමගිය පරම සුවයකි. එසේම සමගිවූවන් ගේ තපසම උත්තම සැපතකි යනුවෙනි.

මෙහි කියැවෙන වැදගත්ම කාරණය කුමක්ද?

යම් සමාජ ඒකකයක සිටින මිනිසුන් ගේ සිත නිරෝගීව, නිරවුල්ව තබා ගැනීම සඳහා සමගිය අත්‍යවශ්‍ය වන බවය.

එවැනි සමගි සම්පන්න අයගෙන් සැදුම්ලත් ආයතනයක් තිබේ නම් එය ඉතා දිගුකාලයක් නොනැසී පවත්නා බවය.

පිරිස වැඩිවන්නට වැඩි වන්නට ඕනැම තැනෙක අසමගිය වර්ධනය වීම නොවැළැක්විය හැකිය.

පවුල් ඒකකයට වුවද එය පොදු වූවකි. පිරිස වැඩි වූ කල එම පවුල සංකීර්ණ වේ. එකිනෙකා මුණ ගැසීමට තිබෙන වේලාව අඩු වේ.

මේ තත්ත්වයේ දී එකිනෙකා කෙරෙහි අසමගිය ඇතිවේ. ඕනෑම සමාජ ඒකකයක් මේ කාරණය තේරුම් ගෙන වැඩ කරන්නේ නම් අසමගිය ඇතිවී සතුට නැතිවී යෑම වළක්වා ගත හැකි වනු ඇත.

”ඛන්තී පරමං තථෝ තිථික්කා”

සැමවිටම ඉවසීමෙන් යුතුව පැවැතීම උතුම් මිනිස් ගුණයක් බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරති. උතුම්ම – තපස් ගුණය ඛන්තී හෙවත් ඉවසීමය.

එකිනෙකා ගේ චර්යාවන්, කතාබහ, ගති ලක්‍ෂණ, හැසිරීම්, අදහස්, ආකල්ප ඉවසා දරා ගන්නට තරම් මානසික තත්ත්වයක් අප කෙරෙහි නැතිනම් ස්ථිරවම එතැන අසමගිය නිර්මාණය වේ.

එසේ නම් සෑම සමාජ ඒකකයක ම සමගිය ඇති කිරීමට එකිනෙකා කෙරෙහි ඉවසීම පැවතිය යුතුය. එය එක්තරා වි දිහක කැප කිරීමකි.

පරිත්‍යාගශීලී වීමකි. බුද්ධ කාලයේ කොසඹෑ නුවර භික්‍ෂූන් වහන්සේ දහසක් දෙනා අතර ගැටුමක් හට ගත්තේය.

බුදුරජාණන් වහන්සේ කොතරම් අවවාද කළත් ගැටුම සමථයකට පත් වූයේ නැත.

උන්වහන්සේ එම භික්‍ෂුන් වහන්සේ අතහැර හුදකලාවම වනගතව විසූහ. ඉන්පසු උන්වහන්සේට සමාජයෙන් දඬුවම් ලැබේ. වරද වටහා ගන්නේ ඉන් අනතුරුවය.

තමන් කෙරෙහි නොවු නොඉවසීම හඳුනාගෙන නැවත ගැටුම් ඇති නොකර ගන්නට අධිෂ්ඨාන කර ගන්නේ ඉන්පසුවය.

අසමගි වු පිරිස් සිටින තැනෙක නායකයා හැසිරෙන ආකාරය ද ඉතා වැදගත්ය.

අසමගිවූවන්ගෙන් එක් පිරිසකගේ කීම පමණක් අසා තීරණ ගතහොත් ඒ ගැටලුව විසඳෙන්නේ නැත.

මෙවැනි අත්දැකීම් බොහොමයක් ඔබට ද තිබුණා විය හැකිය.

විවිධ ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ නායකයා ලෙස ඔබ කළ යුත්තේ ඔබට වඩාත් හිතෛෂී අය ළං කර ගැනීම නොවේ.

ඔවුන් ගේ කේලාම් අසා තීන්දු ගැනීම නොකොට නිදහස් පුද්ගලයකු බවට පත්විය යුතුය.

දෙපාර්ශවයටම ගැති නොවී ඇහුම්කන් දිය යුතුය. පවුලක නම් දරුවන් දෙදෙනා ගේ ගැටලුවක දී එක් දරුවකු ගේ පාර්ශවය නියෝජනය කිරීම මවුපියන් විසින් නොකළ යුතුය.

මෙම කාරණා ගැඹුරින් තේරුම් ගතහොත් දිනෙන් දින වර්ධනය වන අසමගිකම් අවම කිරීමට ඔබට හැකිවනු ඇත.

අප රණ්ඩු දබර වන්නේ අප කෙරෙහි වු කෙළෙස් නිසාය. ඉවසා දරාගත නොහැකිකම නිසාය. ඉවසීමෙන් සහ සමගියෙන් වෙසෙන අයට ජයග‍්‍රහණය කළ නොහැකි ඉලක්කයක් නැත. භගවත් ගීතාව නම් වු හින්දු ආගමික ග‍්‍රන්ථය ගෙන බලමු.

එහි එන ඇතැම් උපදෙස් අනුව අසමගි කමෙන් ප‍්‍රයෝජන ගන්නා ආකාරය උගන්වා ඇත. සාම, දාන, භේද, දණ්ඩ යනුවෙන් එහි මූලික සංකල්ප හතරක් හඳුන්වා දී තිබේ.

යමක් තමන් ගේ කර ගන්නට අපේක්‍ෂා කරනවා නම් එසේ කළ යුත්තේ කෙසේදැයි එහි උපදෙස් දෙයි. ‘සාම’ නම් තමන් ගේ අවශ්‍යතාවයන්ට අදාළ තැනැත්තා නම්‍යශීලී කර ගැනීම සඳහා කතා කිරීමය.

කතා කරන අතරේ දී එකිනෙකා ගේ දුර්වලතා හඳුනාගෙන ‘දාන’ හෙවත් යම් යම් වරප‍්‍රසාද පිරි නැමිය යුතුය.

දාන පිරිනැමීමේ දී ස්ථිරවම භේද හටගනී. දුර්වලතාවයන්ට වරප‍්‍රසාද ලබා දී එයින් ප‍්‍රයෝජන ගන්නා විට සමගි සම්පන්න බව පළුදු වී යයි.

සාමූහිකව සිතීමේ ගුණය දුරස් වී යයි. භේද භින්න වූ පසු ‘දණ්ඩ’ හෙවත් පහරදීම් පහසුය.

මෙමඟින් කෙරෙන්නේ සාමූහික කණ්ඩායම් බෙදා වෙන් කිරීමය. මෙම සිව් සංකල්පයන් රටක යහපැවැත්ම සඳහා නොව තනි පුද්ගලයකු ගේ හෝ, කුඩා කණ්ඩායම්වල අවශ්‍යතා සපුරා ගන්නට පමණක් අවකාශය සලසනු ඇත.

සාමය හා සමගිය ඇති කිරීමෙහි ලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මීට හාත්පසින්ම වෙනස් මාර්ගයකි.

එනම් සප්ත අපරිහානීය ධර්මවලට අනුව කටයුතු කළ යුතු බවයි.

සමගිව හමුවීම, සමගිව කතා කිරීම, සමගිව තීන්දු තීරණ ගැනීම, සමගිව විසිර යෑම වැනි කාරණා රාජ්‍ය පාලනයේ දී පමණක් නොව පවුල් ඒකකයේ ද සමගි සම්පන්න බව වර්ධනය කර ගැනීමට හේතු වේ.

මෙය බෞද්ධ අබෞද්ධ ඕනැම කෙනෙක් අවධාරණය යොමු කළ යුතු කරුණකි. එක් අවස්ථාවක වටු වැද්දාගෙන් ගැලවී යන්නට ඉතා කුඩා වටු කුරුල්ලන් හට හැකියාව ලැබිණි.

ඒ මහා දැල ඔසවාගෙන ඉගිලී යන්නට සාමූහිකව කි‍්‍රයාකළ නිසාය. ඔවුන් ගේ ජීවිත රැකුණේ් සමගි සම්පන්න වූ බැවිනි.

කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේදී දෙන්නකු තුන්දෙනකු ගිලිහී යනවා නම්, දුරස් වී තනිවම සිතනවා නම් එය සමස්ත කණ්ඩායමේම තීරණවලට විශාල බලපෑමක් වනු ඇත.

මේ නිසා ඔබට සමාජයේ සාමූහිකත්වය ඇවැසි නම් පළමුව කළ යුත්තේ තරහව, ඊර්ෂ්‍යාව වැනි මනෝභාවයන් උපරිම ලෙස පාලනය කර ගැනීමය.

දෙවැනුව ඉවසීම, ආදරය, ඇහුම්කන් දීම යන ගුණාංග පුරුදු පුහුණු කරගත යුතුය. එවිට සමගි සම්පන්න සමාජයක විසීමේ උපරිම තෘප්තිය ඔබට ලබාගත හැකිවනු ඇත.

කුප්පියාවත්ත ජයශේඛරාරාම විහාරවාසී ගෞරව ශාස්ත‍්‍රවේදී මාවරලේ භද්දිය හිමි
සාකච්ඡා කළේ – රමණී සුබසිංහ