දුතීය චේතනා සූත‍්‍රය : 13 කොටස රන් රිදී, මුතු මැණික්, ගෙවල් දොරවල් කියලා බාහි…

දුතීය චේතනා සූත‍්‍රය : 13 කොටස

රන් රිදී, මුතු මැණික්, ගෙවල් දොරවල් කියලා බාහිර යම්තාක් වස්තු තියෙනවා නම් ඒ ඔක්කොම තියෙන්නෙ මම සහ මගේ දූ දරුවෝ කියන ධර්මතා වටායි. මම සහ මගේ දූ දරුවො කියන තැන තියෙන බැඳුම අඩුවෙන විදියට, වැරදි දැක්ම අඩුවෙන විදියට, දිට්ඨිය අඩුවෙන විදියට සවිඥානක වස්තු විතරක් විදර්ශනා කරන්න. අනික් ධර්මයන්ගේ තියෙන බැ`දීම් ඉබේම අඩුවෙයි. ඒ නිසා තමන්ගේ ශරීරය පැත්තට නැඹුරු වෙලා හොඳට හිතන්න. කෙස්, ලොම්, නිය, දත් කියලා පිළිවෙළින් මේ ශරීරයෙ කොටස් බලන්න. ඉතාම වේගෙනුත් නෙමෙයි. ඉතාම හෙමිනුත් නෙමෙයි. කෙසේ ටිකක් කපලා පැත්තකට දැම්මොත් කෙස් පෙනෙනවා. පුද්ගලයෙක් පෙනෙන්නෙ නෑනෙ. ශරීරය බලනකොටත් කෙස් කියනකොට ඒ ගතිය හිතට මවාගන්න. තමන්ව ඈඳන්නෙ නැතුව කෙස් ටිකට කෙස් කියන ගතිය විතරක් හිතට ඈඳගන්න පුළුවන් වෙන්න ඕන. රෝම කූප ටික ගලවලා පැත්තකට දැම්මොත් ඒ රෝම කූප ටික මම කියලා පුද්ගලයෙක් කියලා පේන්නෙ නෑනෙ. ඒ වගේ ලොම් කියනකොට තමන්ගෙ ලොම් නොවී, කෙනෙක්ගෙ ලොම් නොවී, ලොම් කියන ගතිය හිතට ගන්න පුළුවන් වෙන්න ඕන. නිය, දත්, හම්, මස්, නහර මේ විදියට පුද්ගලභාවය ඈඳෙන්නෙ නැතුව, ඒ ඒ වස්තුව විතරක් තනිවෙන විදියට හිතට අරමුණු කරගන්න.

එහෙම අරමුණු කරගෙන කන, බොන ආහාරය නිසානෙ මේ කොටස් හැදිලා තියෙන්නේ කියලා හොඳට බලන්න. දැන් මේ මගේ ශරීරය ගැන බලනවා නෙවෙයි. තව කෙනෙක්ගෙ ශරීරය ගැන බලනවා නෙවෙයි. එතන
තියෙන කොටස් බලන්නෙ. කය කිවුවෙ කොට්ඨාශ කියන අර්ථයෙන් කොටස් තිස් දෙකකින් හැදුන නිසා කාය කියලා කියනවා. අවකාශ ධාතුව අවුරාගෙන රාශි වෙලා තියෙන කොටස් තිස් දෙකකින් යුක්ත රූප මිටියක් මේ කය. කොටස් කියන අර්ථයෙන් තමයි කය කියන්නෙ.

ජෛමෙ භික්ඛවෙ වේදනා කායා
ජෛමෙ භික්ඛවෙ සංඥා කායා

මහණෙනි, මේ වේදනා කොටස් හයයි, සංඥා කොටස් හයයි. මේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර ආදී කුණප කොටස් තිස් දෙක හොඳට බලලා, කන බොන ආහාරය නිසයි මේ කොටස් ටික හැදිලා තියෙන්නේ, කියලා බලන්න. ආහාරයටත් හොඳට නිමිති තියාගන්න. බත්, පාන් කව්පි මුං ඇට ආත්ම භාවයකින් තොර ආහාරය.

එබඳු ආහාරය නිසයි, මේ කොටස් ටික තියෙන්නෙ. එහෙනම් ආහාරය නැමති හේතුව නිසා කය නමැති මෙබඳු ඵලයක් හැදිලා තියෙනවා. මේ කයට හේතුව ආහාරයයි කියලා හොඳට තීරණය කරන්න. ආහාරයෙන් හැදුන මේ කය ඇසුරු කරගෙන අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු නිසා පැමිණි විඤ්ඤාණය පවතිනවා. නැත්නම් ප‍්‍රතිසන්ධි වශයෙන් පැමිණි විඤ්ඤාණය නැත්නම් සිත මේ කය ඇසුරු කරගෙන පවතිනවා.

සිත කියන්නෙ අවිද්‍යා, කම, තණ්හා නමැති හේතුවක ඵලයක්. රූපය කියන්නෙ ආහාර නමැති හේතුවේ ඵලය. අපි නාම – රූප කියන තැනක දෙපැත්තකින් පැමිණි හේතු දෙකක ඵලයක් තියෙන්නෙ. කනබොන ආහාරයෙන් යුක්ත රූපය කරන ලොකුම කෘත්‍යය තමයි පෙර කර්ම විපාක වි`දින්න උවමනාවෙන් පැමිණි, තණ්හාවට පැමිණි මේ විඤ්ඤාණයට නවාතැනක් දීලා තියෙන එක. විඤ්ඤාණයට ගොදුරු ගන්න දැලක් වියලා දෙන කාර්යය තමයි මේ කය කරලා තියෙන්නෙ.

කය ඇසුරු කරගෙන පවතින සිත නිසයි, කන බොන ආහාරයෙන් යුක්ත, අචේතනික, අවිඥානක මේ කය හැඟීම් දැනෙන මට්ටමට පත්වුනේ. හැම වෙලාවෙම සිතේ තියෙන ගති ටිකටයි, මේ කය හැදෙන්නේ. සිතේ සිතිවිලි රළුයි නම් කයේ ප‍්‍රසාද රළුයි. සිතේ සිතිවිලි මෘදුයි නම් කයේ ප‍්‍රසාද මෘදුයි. ඒකයි වේදනා, සංඥා, සංඛාර මුදුතා – කාය මුදුතා වේදනා සංඥා, සංඛාර ලහුතා – කාය ලහුතා සිතිවිලි වල සැහැල්ලූ බවෙන් කය සැහැල්ලූයි. සිතිවිලි වල මුදු බවෙන් කය මුදුයි. සිතිවිලි වල රළු බවෙන් කය රළුයි. හැම වෙලාවෙම කයේ පැවැත්ම තියෙන්නේ සිතේ පැවැත්ම මත. මේ කය සවිඥානක වෙලා තියෙන්නෙ. හැඟීම් දැනෙන බව තියෙන්නෙ, කයට නෙමෙයි, කය ඇසුරු කරගෙන කයේ බැ`දිලා ඉන්න හිතට.

කයට යමක් ගැටෙනකොට ඔය පින්වතුන්ට දැනුම තියෙන්න ඕන කයට දැනුනා නෙමෙයි, සිත කයේ බැ`දිලා තියෙන නිසයි මේ දැනීම කියන තැනට. කය ඇසුරු කරගෙන තියෙන සිතෙන් උපද්දන විඥප්ති රූප නිසයි මේ කය ඉදිරියට ආපස්සට යන්නෙ. අත් දිග කමිසයක් තිබුනොත් ඒ කමිසෙ අත්වලට පුළුවන්ද ඉහළ පහළ යන්න. බැහැ. ඒ කමිසය කෙනෙක් ඇඳගත්තම ඒ පුද්ගලයා අත ඉහළ පහළ කරනකොට කමිසෙ අතත් ඉබේම ඉහළට පහළට යනවනේ.

ඒ වගේ විඥප්ති රූප උපද්දලා, ඒ කියන්නෙ මේ කය විදියටම රූපයක් හදලා ඒක මේ රූපෙට බහලා තමයි අපි මේ අත ඔසවන්නෙ. යෑම්, ඊම් කරන්නෙ. නොඑසේනම් අද ද මේ කය මළමිනියමයි. මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසයි මේ කයේ ඉදිරියාම්, ආපසු ඒම් කියලා දකින්න.

මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන්නෙ. කිසිම දවසක හම්, මස්, ලේ, නහරින් යුක්ත මේ රූපයට, මේ කයට රූප පේන්නෙ නෑ. රූප පේන එකට සම්බන්ධත් නෑ. මේ පුටුවෙ ඉඳගෙන ඉන්න මට ඔය පින්වතුන්ව පේනවා. මේ පුටුවටත් පේනවද? නෑ. පුටුව උපකාරයි මට ඉඳගෙන ඉන්න, ඉඳගෙන ඉන්න මට රූප පේනවා. ගනුදෙනුව තියෙන්නෙ රූපයයි, මමයි – පුටුවයි මමයි අතර පුටුවයි රූපයයි අතරෙ කිසිම ගණුදෙනුවක් නෑ. පුටුව උපකාරයි මට ඉඳගෙන ඉන්න වගේ කයේ උපකාරය ලබලා ඉන්න සිතෙන් තමයි රූප දකින්නෙ.

දකින රූපය සිතටත්, සිත කයටත් සම්බන්ධයි. රූපයයි, කයයි අතර සෘජු සම්බන්ධයක් කිසිම වෙලාවක නෑ. මේ විදියට දැක්කොත් ඉඳගෙන ඉන්න මට රූප පේනවා කියන මට්ටම අතහැරෙනවා. ‘‘මොකද මං දිහා බලන්නෙ” කියලා තරහ යන්න තියෙන මිම්ම අතහැරෙනවා. රූප බලන, ශබ්ද අහන, ගඳ සුවඳ වි`දින ස්ති‍්‍රයක් හෝ පුරුෂයෙක් ඔය පින්වතුන්ට දකින්න බැරිවෙයි.

ඇයි ඒ?

චක්ඛු විඤ්ඤාණ හිත ගෑනු හිතක්ද? පිරිමි හිතක් ද? එබඳු තැනකින් නම් රූපය දකින කෘත්‍යය වෙන්නෙ, ගෑනු කෙනෙක් මං දිහා බැලූවා, පිරිමි කෙනෙක් මං දිහා බැලූවා කියන්න පුළුවන්ද? සුදුසු ද කියන්න. මේ නාම රූප දෙකේ කෘත්‍යය නොදන්න නිසයි අපි ඔහොම කියන්නෙ. රූප දකින කෘත්‍යය කරන හිත හඳුන්වනවා චක්ඛු විඤ්ඤාණය කියලා. ඒ කෘත්‍යය කරලා ඒ සිත නිරුද්ධ වෙනවා. මේ විදියට ආරම්මණයෙන්, ආරම්මණයට ඉපිද නිරුද්ධ වෙන චිත්ත චෛතසික ටිකක් තියෙන්නෙ. ඒ ටික මේ කය ඇසුරු කරගෙනයි පවතින්නෙ. කයට ඕකය කියලා කියනවා. මේ සිතට නවාතැනක්, ගෙයක්. ඉබ්බා යන යන තැන උගේ කටුව අරගෙන යනවා වගේ, අපි මේ යන යන තැන ගේ අරගෙන යන්නෙ. මම යනවා එහෙම නෙමෙයි. ගේ අරගෙන එක තැනකට යනවා, ඔන්න එතන තියෙන ෆොටෝ ටික ගත්තා, ශබ්ද ටික ඇහුවා, ආයෙත් තව තැනකට ගියා ඔන්න රූප බැලූවා, ශබ්ද ඇහුවා, එනවා. ඉතින් අපි කියනවා වන්දනාවේ ගියා, විනෝද චාරිකා ගියා. ඔය ටික තමයි කරන්නෙ.

ඔය පින්වතුන්ට හොඳට බලන්න පුළුවන්කම තියෙනවා, කය අසුරු කරගෙන පවතින හිතෙනුයි, රූප බලන්නෙ, ශබ්ද අහන්නෙ, ගඳ සුවඳ වි`දින්නෙ, ලෝකය කියලා යම් තාක් මිමි තියෙනවා නම් ඒ ඔක්කොම, කයේ කිසිම සම්බන්ධයක් නැතුව සෘජුවම හිතට අරගෙන තියෙන්නෙ.

ඔය ටික දකිනකොට එයාගෙ ජීවිතේ වෙන්නෙ චක්ඛු විඤ්ඤාණයයි, චක්ඛු විඤ්ඤාණයෙන් දැනගන්න රූපායතනයයි විතරයි. කය අතහැරෙනවා, කය අයිති නෑ මේ පෙනෙනවා කියන මට්ටමට. අද මේ තියෙන්නෙ කෙලේසයක් විතරයි. ලෝකෝත්තර මාර්ගයෙදි මේ ගුටි කන කය අතහැරෙනවා. මේ නීවරණයකින් සම්බන්ධ වෙලා තියෙන්නෙ.

ඇත්තටම ජීවිතේ තියෙන්නෙ රූප පේනවා කියන තැන. ශබ්ද ඇහෙනවා කියන තැන. ශබ්දයයි, සෝත විඤ්ඤාණයයි, ඒ ටිකේ තියෙන චිත්ත චෛතසික ටිකයි, මුළු ජීවිතේම එච්චරයි. ඒකට කය අයිති නැහැ. ඒ ටික අතහැරෙනවා. නීවරණ චිත්තයටයි මේ ටික තියෙන්නෙ. මෙහෙම බැලූවාම තේරෙනවා. කය ඇසුරු කරගෙන පවතින චිත්ත චෛතසික ටික නිසා දැකීම්, ඇහීම් ආදී කෘත්‍ය ටිකක් වෙනවා කියලා. ඉඳගෙන ඉන්න මම රූප බලනවා, හිටගෙන ඉන්න මම රූප බලනවා, නිදාගෙන ඉන්න මම රූප බලනවා, ඇවිදිමින් ඉන්න මම රූප බලනවා කියන මිමි අතහැරෙනවා. පෙනෙන, ඇහෙන, දකින දේට කයේ සම්බන්ධය අතහැරෙනවා.

ඔය විදියට කය වෙනම බලන්න. කය ඇසුරු කරගෙන ඉන්න හිත වෙනම බලන්න. කය හැදිච්ච එකට ප‍්‍රත්‍යය වෙනම බලන්න හිත හැදිච්ච එකට ප‍්‍රත්‍යය වෙනම බලන්න. මේ දෙන්නා එකතුවෙලා කෙරෙන වැඩෙත් බලන්න. එතකොට තේරෙනවා. කය, හිතට නවාතැන් දීලා. ඒ නවාතැන් පොලේ ඉඳගෙන අහනවා බලනවා කියන කෘත්‍ය ටිකක් කරලා හිත. ඔය ඇත්ත නොදන්නාකම නිසා, ඔය ඇත්ත නොදකිනකම නිසා, නාම රූප දෙකේ පැවැත්ම නොදන්නාකම නිසා, පුද්ගලයෙක් එනවා, පුද්ගලයෙක් යනවා, සත්වයෙක් රූප බලනවා, සත්වයෙක් ශබ්ද අහනවා, මම රූප බලනවා, මම ශබ්ද අහනවා කියන තැනකින් අපිට ප‍්‍රපංච යෙදිලා.

ඒ මම කරනවා, පුද්ගලයෙක් කරනවා කියන ටික ලිහෙන්න නම් මෙන්න මේ ටික අල්ලලා දෙන්නම වෙනවා. ඇත්ත පෙන්නන්න, පෙන්නන්නයි වැරැුද්ද අතහැරෙන්නෙ. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා හිතුවට හරියන්නෙ නෑ. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියන්න මෙතන තියෙන රූපෙත් බලපානවා.

මෙන්න මේ හේතු නිසයි රූපය හැදුනෙ. එබඳු රූපය අසුරු කරගෙන සිත පවතිනවා. මේ දෙන්නා හින්දයි කය මෙහෙම වෙලා තියෙන්නෙ. කවුරු හරි මගේ කියලා අයිතිය ලබාගන්න නඩුවක් දැම්මොත් අපිට සාක්ෂි ඉදිරිපත් කරන්න වෙනවා. ‘‘නෑ, ඔයාගෙ නෙමෙයි, මගෙ” කියන්න. නඩුකාරයා නිකම්ම පිළිගන්නෙ නෑනෙ. ඒ වගේ මාරයා කියනවා, ‘‘මේ කය මගේ” කියලා ‘‘තව පුද්ගලයෙක්ගෙ” කියලා අපිට ඔප්පු කරන්න වෙනවා ‘‘නෑ ඕක මගෙ හෝ තව පුද්ගලයෙක්ගෙ නෙවෙයි. ඔතන තියෙන්නෙ මෙහෙම ටිකක්” කියලා.

ඔය විදියට ආධ්‍යාත්මික කය ගැන හොඳට බලන්න. යද්දි, එද්දිත්, නිදාගෙන, ඇවිදින, හිටගෙන, ඉඳගෙන, ඉන්න හතර ඉරියවුවෙදිමත් මේක කරන්න පුළුවන්. පර සත්තානංවා, පර පුද්ගලානංවා අම්මා, තාත්තා, දුව, පුතා, අයියා, අක්කා කියලා හිතෙනකොට හිතන අරමුණ හිතෙන් අල්ලගන්න. දරුවෙක් කියලා හිතෙනකොට ඒ අරමුණ හිතෙන් අල්ලගෙන එතන ද බලන්න. කන බොන ආහාරයෙන් හැදිලා තියෙන රූපය, එබඳු රූපය ඇසුරු කරගෙන පවතින විඤ්ඤාණය නිසා ඒ කය සවිඥානක වෙලා තියෙනවා නේද? කය ඇසුරු කරගෙන පවතින හිත නිසා කයේ යෑම ඒම වෙනවා නේද? කය ඇසුරු කරගෙන ඉන්න හිතට නේද රූප පේන්නෙ? මේ නාම රූප දෙක නොදන්නාකම නිසා සත්වයෙක් කියන අදහසක් ඇති වෙලා නේද? කියලා හොඳට හිතනවා. සත්ව, පුද්ගල භාවයට හම්බවෙන හැම අරමුණක්ම, හැකි පමණක් හිතන්න හිත හුරු කරන්න. එහෙම හිතනවා, සමථ කමටහනකින් හිත වඩනවා. සමථ කමටහනකින් හිත වඩමින් මෙහෙම හිතනවා. ශිලයක පිහිටලා, මට සිලූටු ගුණ යහපත් චරිතයක් ඇතුව, දහමට අනුව ජීවත්වෙන්න උත්සාහ ගන්න ඕන. ලෝකය හැම වෙලාවෙම අසත්පුරුෂයි. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න බලනවා. නමුත් ඒ හැම තැනකදීම තාදී ගුණයෙන් ඉන්න පුළුවන් නම් ඒක තමයි වටින්නෙ කියන එකයි මගේ අදහස.

අඛණ්ඩව මේ විදර්ශනාව කරගෙන යන්න. අද දවසෙදි වරදක් සිදු වුනත්, ‘‘අපිට මේ භාවනාව කරන්න බෑ වැරදි වෙනවනෙ. වැරදි හදාගෙනම භාවනා කරනවා” කියලා ඉන්න එපා. එහෙම වෙන්නෙ නෑ කවදාවත්. වැරදි වෙන කෙනාමයි භාවනා කළයුත්තෙ. රෝහලට යන්නෙ ඕනෙ රෝගියෙක් මිසක නිරෝගි කෙනෙක් යන්න ඕනද? ඒ වගේ තරහා යනවා නම්, කෙලෙස් ඇතිවෙනවා නම්, තණ්හාව ඇතිවෙනවා නම් එයාමයි භාවනා කරන්න ඕන. පන්සිල්වත් රකින්න බැරි නම් එයා තමයි ඉක්මණින්ම භාවනා කරන්න සුදුසු කෙනා. මොකද රෝගය උත්සන්නයි. අපිට බෑ ඕවා කියන තැනකින් නෙමෙයි තියෙන්නෙ.

ඒ නිසා අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ ටික හදාගන්නවා. ආයෙත් අඩුපාඩු වෙනවා. අයෙත් හදාගන්නවා. ඔහොම යනකොට අද දවසෙදි වුන වැරදි හෙට දවසෙ නොකෙරෙන දහමක අද ඉන්න. ශිලයක පිහිටලා හිත වඩමින් විදර්ශනා කරනකොට නීවරණ ධර්ම ටික ටික දුරු වෙනවා. ‘අත්ථි කායොති වා පනස්ස සති පච්චුපටිඨිතා හොති’ සත්වයෙක් පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේය යන සිහිය හො`දින් එළඹ සිටිනවා. සත්වයෙක් පුද්ගලයෙක් කියන තැන තියෙන්නෙ නාම රූප ධර්මතාවයක්ය කියන එක පෙනෙන මට්ටමට එනවා. එතකොට කාමච්ඡුන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡුා කියන නීවරණ ධර්ම ක‍්‍රම ක‍්‍රමයෙන් ගෙවි ගෙවී යනවා. අඛණ්ඩව ඔය විදියට ප‍්‍රතිපදාවේ හැසිරෙන කොට සත්වයෙක් පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේය යන සිහිය හො`දින් එළඹ සිටියා කියන්නෙ නීවරණ ධර්ම දුරු වුනා කියන එක. නාම රූප ධර්මයෝ වැටහෙනවා.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!