අකල් මරණින් මිදෙනු කැමතිද ? බරණැස් නුවර සමීපයේ ධර්මපාල නම් බමුණු ගමෙක් විය. ඒ ග…

අකල් මරණින් මිදෙනු කැමතිද ?

බරණැස් නුවර සමීපයේ ධර්මපාල නම් බමුණු ගමෙක් විය. ඒ ගමේ ගම්දෙටු පවුලේ සාමාජිකයෝද එනමින්ම හැඳින්වුණහ. ධර්මපාල පවුල ඉතා ධාර්මිකය. ඒ අනුව ගමේ සෙස්සෝද ඉතා දැහැමින් ජීවත්වීමට පුරුදුව උන්හ. කුලී වැඩ කරන, බැලමෙහෙ කරන අය පවා ධාර්මික ජීවිත ගත කළහ. පොහොය අටසිල්ද නිත්‍ය පඤ්චසීලය ද කඩ නොකර ආරක්ෂා කළ ඔවුහු දස පින්කිරියවත්ද පුරුදු කළහ. දස අකුසල කර්මයෙන් වෙන් වූ ඔවුහු විහිළුවටවත් බොරුවක් නොකීහ. සදාචාර සම්පන්න වූහ.

ධර්මපාල දෙමහල්ලන්ගේ පුතෙක් තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් වෙත ගොස් ඉගෙනීමේ නිරතව සිටියේය. මොහු හැඳීන්වුණේද ධර්මපාල නමින්මය. ගුණවත්කමින් මෙන්ම නැණවත් කමින්ද හේ කැපී පෙනුණේය. ඉතා ආචාර සම්පන්න වූ මොහු වයසට වඩා තැන්පත් පුද්ගලයෙක්ද විය. ඔහුගේ උසස් චරිත ලක්ෂණ නිසා ආචාර්යවරුද ශිෂ්‍යයෝද ඔහු ප්‍රිය කළහ. ඔහු යම් අදහසක් ඉදිරිපත් කළහොත් සියල්ලෝම ඒ කෙරෙහි අවධානය යොමු කළහ. ඊට ප්‍රධාන හේතුව ඔහු කිසිවිටෙක නිෂ්ඵල අදහස් නොපළ කිරීමයි.

මොහු තක්සලා නුවර විසූ කාලයේ දිසාපාමොක් ආචාරීන්ගේ බාල දරුවෙක් කිසියම් රෝගයකින් මියගියේය. තම දරුවාගේ අකල් මරණය නිසා ශෝකයට පත් දිසාපාමොක් ආචාර්ය තුමාද එතුමාගේ බිරිඳ ද හැඩූහ. සමහර ශිෂ්‍යයෝද හැඬූහ. මහලු වයසට නොගොස් කෙනකු මියයන බව ධර්මපාල කුමාරයා ඉන් පෙර දැන සිටියේ නැත. එහෙයින් මේ දරුවාගේ අකල් මරණය ඔහුට මහත් පුදුමයක් විය. දරුවාගේ අවසාන කෘත්‍යයෙන් පසු ඔහු තම සහෝදර සිසුන්ගෙන් මේ ගැන විමසන්න සිතුවේය.

“මේ- ඔය ගොල්ලෝ අහල තියෙනවාද වෙන තැන්වලත් මේ වගේ ළමයින් මිය යනවා කියලා ?”

“අහලා විතරක් නෙවෙයි දැකලාත් තියෙනවා” යි එක් ශිෂ්‍යයෙක් පිළිතුරු දුන්නේය.

“හරි පුදුමයක්නෙ ! ළමා කාලෙදී මැරෙනවා කියන එක”

“පුදුම වෙන්න දෙයක් නෑ ධර්මපාල, ඕනෑම වයසකදී කෙනකු මැරෙන්න පුළුවන්. මරණයට නියමිත වයසක් කොයින්ද ?”

“ධර්මපාල ගමේ කවුරුවත් අඩුවයසින් මැරිලා නැද්ද ?”

“එවැනි මරණයක් සිදුවුණා කියලා මා නම් කවදාවත් අහල නෑ”

ධර්මපාල කුමාරයා කී කරුණ ආචාර්යතුමාට ඉදිරිපත් කර ඒ සම්බන්ධ විස්තර දැන ගැනීමට ශිෂ්‍යයෝ තීරණය කළහ. ඒ අනුව එදින රාත්‍රී ආචාර්යතුමාට වත් දැක්වීමට ගිය අවස්ථාවේ සියලු දෙනා එතුමාට වැඳ නැගී සිටීමෙන් අනතුරුව එක් ශිෂ්‍යයෙක් ධර්මපාල කී කරුණ විමසීය. “ගුරුදේවයන් වහන්ස, මේ ධර්මපාලලයි ගමේ කවුරුවත් අඩු වයසින් මිය ගිහින් නැතිලු. එහෙම වෙන්න පුළුවන්ද දේවයිනි ?”

ආචාර්යතුමා :- “හැබෑද ධර්මපාල මේ දරුවා කියන කතාව ?”

ධර්මපාල :- “එහෙමයි ගුරුදේවයන් වහන්ස. අපේ ගමේ කිසිකෙනකු අඩුවයසින් මියගිය බවක් මා අහලා නෑ”

ආචාර්යතුමා:- “හොඳයි මම මේ ගැන පරීක්ෂා කරලා ඔය දරුවන්ට කියන්නම්. දැන් ගිහින් උද්ග්‍රහණධාරණාදී කටයුතුවල නිරත වෙනවා හොඳයි.”

සියලු ශිෂ්‍යයෝ දොහොත් මුදුනේ තබා ආචාර්යවරයාට නමස්කාර කොට තම තමන්ගේ නේවාසිකාගාරවලට ගියහ.

දින කිහිපයකට පසු, මියගිය එළුවකුගේ ඇටකටුවක් ගෙන්නා ගත් ආචාර්යතුමා එය සුදුරෙදිකඩක ඔතා අතවැස්සකු ලවා ගෙන්නා ගෙන ධර්මපාල කුමරුගේ නිවස බලා පිටත් විය. දිසාපාමොක් ආචාර්යතුමා අහම්බෙන් තම නිවසට එනු දුටු නිවැසියෝ පෙරටගමන් කොට පිළිගෙන මහත් හරසරින් ගෙට කැඳවාගන විත් ආගන්තුක සත්කාර කළහ. ආචාර්යතුමා පැමිණි බව ආරංචියෙන් දැනගත් බොහෝ දෙනා එතුමා දැක ගැනීම සඳහා ධර්මපාල නිවසට පැමිණියහ. සතුටු සාමීචියේ යෙදීමෙන් අනතුරුව ගෘහමූලික ධර්මපාල තම පුතණුවන් ගැනද විමසුවේය.

“ධර්මපාල ඉගෙනීමට දක්ෂයි. හැසිරීමත් හොඳයි. සමහර අතවැස්සන් තමන්ට අමතක වෙන කරුණු අහගන්නෙත් ඒ දරුවාගෙන්. ඒ නිසා අනිත් අතවැස්සන් ධර්මපාලට ආදරෙයි. ඒ වුණත්….දවස් කීපයකට කලින් හටගත් ව්‍යාධියකින් දරුවා මියගියා!”

මේ වචන ඇසීමෙන් ධර්මපාල පවුලේ උදවියත් පැමිණි සිටි පිරිසත් සිනාසෙන්න පටන් ගත්හ.

“ඇයි දරුවා මළ බව කිව්වාම සන්තෝසෙන් හිනාවෙන්නේ ?”

“ආචාර්යතුමනි, අපේ පවුලේ අය, මේ ගමේ අය, එහෙම අකාලයේ මිය පරලොව යන්නේ නෑ”

“මිය පරලොව යන්නේ නෑ ? …. ඒ බව පිළිගන්න බැරිනම් මෙන්න ඇටකටු”යි ආචාර්යතුමා තමන් රැගෙන ආ ඇටකටු ඉදිරිපත් කළේය. ධර්මපාල ඇතුළු පිරිස එය අතට ගෙන පරීක්ෂාවෙන් බලා “මේක එළුවකුගේ හරි බල්ලකුගේ හරි ඇටකටුවක් ! ….. අපේ පුතාගේ නෙවෙයි”

“ඔව්. ධර්මපාල උන්නැහේ. ඔබ කිව්වා හරි. මේක එළුවකුගේ ඇටකටුවක්. ඔබේ පුතා සනීපෙන් ඉන්නවා. මේ ගමේ අය අකාලේ මියයන්නේ නෑ. කියාපු කතාවේ ඇත්ත-නැත්ත ප්‍රත්‍යක්ෂ කර ගන්නයි මා මෙහෙම කළේ. ඒ ගැන මට ක්‍ෂාමාවෙන්න. ටික දවසකට කලින් මගේ දරුවකු මියගියා. ඒ වෙලාවේ මේ ධර්මපාල දරුවා අනිත් අතවැස්සන් එක්ක කියලා තිබුණා එහෙම අඩු වයසෙන් මිනිසුන් මැරෙන බවක් එයා අහලාවත් තිබුණේ නෑ කියලා. පස්සේ මාත් අහල බැලුවාම මටත් ඒ කතාව එහෙමම කිව්වා. දැන් එහි සත්‍යය මට වැටහුණා. මට දැනගන්න ඕන මේ ගමේ අය අකල් මරණයට පත්නොවන හේතු මොනවාද කියලයි.

මේ සියලු දෙනා සමගි සම්පණ්ණව දැහැමින් ජීවත්වෙන බවද කුලී වැඩ කර ජීවිකාව සපයා ගන්නා අය මෙන්ම වත් පොහොසත්කම් ඇති අයද නිත්‍ය පඤ්චසීලයත් පොහොය අෂ්ටාංග සීලයත් ආරක්ෂා කරන බවද, දානාදී පින්කම්වල නිරත වෙන බවද වැඩිහිටියන්ගේ උපදෙස් පිළිගෙන ඒ අනුව ක්‍රියාකරන බවද මේ නිසා අකල් මරණ දරුණු රෝගාබාධ ආදියෙන් තමන් පීඩාවට පත්නොවන බවද පිය ධර්මපාල විස්තර කළේය. ඔහුට සවන්දුන් ආචාර්ය තුමා ඒ විස්තරය පතක ලියවාගන පෙරලා තක්සලානුවරට ගොස් ධර්මපාල කුමාරයා කී කරුණු සත්‍ය බව අතවැස්සන්ට පැහැදිලි කර දී අධ්‍යයන කටයුතු නිමකර තම තමන්ගේ ගම්රටවලට ගිය පසු ඒ ප්‍රදේශවල ජනයා ගුණධර්මවලට යොමු කිරීමේ වැදගත්කමද පෙන්නා දුන්නේය.

කැලිගම විජිතනන්ද හිමි