බුදු සමිඳුන් තමන් වහන්සේට කල්පයක් හෝ කල්පයකට ටිකක් වැඩියෙන් ජීවත් වන්නට හැකි බව…

බුදු සමිඳුන් තමන් වහන්සේට කල්පයක් හෝ කල්පයකට ටිකක් වැඩියෙන් ජීවත් වන්නට හැකි බව ප‍්‍රකාශ කළත්, ආනන්ද හාමුදුරුවන්ට මේ බව වැටහුනේ නැහැ. එ නිසා, “භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා” කියලා ඉල්ලා සිටින්නට ආනන්ද හාමුදුරුවන්ට බැරිවුණා. අවුරුදු ගාණක්ම සෙවනැල්ලක් මෙන් බුදුසමිඳුන් පිටුපසින්ම පැමිණි පවිටු මාරයා අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගත්තා. ආනන්ද හාමුදුරුවන්ගේ හිත මාරයා විසින් වහගෙනයි හිටියෙ. මාරයා බුදුසමිඳුන්ගෙන් ඉල්ලීමක් කළා.

“ස්වාමීනී, දැන් මේ ධර්මය ලෝකයට ප‍්‍රකට වෙලයි තියෙන්නේ. බොහෝ දෙනෙක් මේ ධර්මය දන්නවා. දෙව් මිනිසුන් අතර මේ ධර්මය ප‍්‍රකටයි. දැන් පිරිනිවන් පාන්නට සුදුසු වේලාවයි. සුගතයාණන් වහන්සේ පිරිනිවන් පාන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් පෑමට කාලයයි.”

“පාපී මාරයා, උඹ දැන් අමුතුවෙන් කලබල වෙන්නට ඕන නෑ. තව කෙටි කලකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා.”

බුදුරජාණන් වහන්සේ සුළු වේලාවකින් මහා සිහි නුවණින් යුක්තව ආයු සංස්කාර අත්හැරියා. එතනින් එහාට ආයුෂ පවත්වන්නට හැකියාවක් නැහැ. මහා පුදුම දෙයක් සිදු වුණා. මුළු මහත් පොළෝ තලයම කම්පා වුණා. තදින්ම කම්පා වුණා. බලවත් ලෙසම කම්පා වුණා. බිහිසුණු හඬක් පැතිරිලා ගිහින්, ආකාශයෙන් වැහි පොද වැටෙන්නට පටන් ගත්තා.

මේ වෙලාවේ අසල රුක් සෙවනක සතර සතිපට්ඨානය වඩමින් සිටි, ආනන්ද හාමුදුරුවන්ට කම්පනය දැනිලා බුදුසමිඳුන්ගෙන් විමසා සිටියා. පොළෝ තලය කම්පා වීමට හේතු වන සංසිද්ධින් අටක්ම බුදු සමිඳුන් පහදා දුන්නා.

“පින්වත් ආනන්ද, මේ පෘථිවිය කම්පනය වෙන්නට හේතු අටක් තියෙනවා.

01. මේ පාථිවිය ජලය මතයි පිහිටලා තියෙන්නෙ. ජලය තියෙන්නෙ වාතය මතයි. වාතය තියෙන්නෙ ආකාශය මතයි. ආකාශයෙ වාතය කැළඹෙන කොට, ජලය කම්පා වෙලා පෘථිවිය කම්පා වෙනවා. මේක තමයි පළවෙනි හේතුව.

02. මේ ලෝකෙ ඉන්නවා සෘද්ධිමත් ශ‍්‍රමණ බ‍්‍රාහ්මණවරු. ඒ අය පඨවි සංඥාව සුළුවෙන් වඩලා ආපෝ සංඥාව අප‍්‍රමාණ ලෙස වඩන කොට, ඒ අයට හැකිවෙනවා, වඩන ලද්දා වූ ආපෝ සංඥාව මත පඨවි ධාතුව කම්පා කරන්න. එතකොටත් පෘථිවිය කම්පා වෙනවා.

03. යම් දවසක බෝධි සත්වයන් වහන්සේ තුසිත දෙව්ලොවින් නික්මී මව්කුසේ පිළිසිඳ ගන්නවාද එදාටත් පොළොව කම්පා වෙනවා.

04. යම් දවසක මනා සිහි නුවණින් බෝසත් පුතු මව් කුසින් බිහි වන්නේ ද එදාටත් පොළොව කම්පා වෙනවා.

05. යම් දවසක බෝසතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේද එදාටත් පොළොව කම්පා වෙනවා.

06. තථාගතයන් වහන්සේ, අනුත්තර වූ දම්සක් සූත‍්‍රය දේශනා කරයිද එදාටත් පොළොව කම්පා වෙනවා.

07. තථාගතයන් වහන්සේ, මනා සිහිනුවණින් යුක්තව ආයු සංස්කාරය අත්හරීද එදාටත් පොළොව කම්පා වෙනවා.

08. තථගතයන් වහන්සේ, අනුපාදිසේස පිරිනිවන් ධාතුවෙන් පිරිනිවන් පානවාද, එදාටත් පොළොව කම්පා වෙනවා.

(මහා පරිනිබ්බාන සූත‍්‍රය – දීඝ නිකාය 02)

බොර වතුර පෑදුන අසිරිමත් සිදුවීම්

බුදුරජාණන් වහන්සේ කුසිනාරාව බලා වඩින ගමනේදී, හදිසියේම, උන්වහන්සේට හටගත් දරුණු රෝගාබාධයක් නිසා කලන්තයක් හැදුනා. බුදු සමිඳුන් ආනන්ද හිමියන්ට පැවසුවා,

“පින්වත් ආනන්ද, ඉක්මනට මේ දෙපොට සිවුර හතරට නමලා බිම ආසනයක් පනවන්න. පින්වත් ආනන්ද, මට කලන්තෙයි. හාන්සි වෙන්න ඕන.”

ආනන්ද හිමියන් විගසින් බුදු සමිඳුන්ට හාන්සි වෙන්න ආසනයක් සකස් කලා. බුදුසමිඳුන්ට තද පිපාසයක් දැනුනා. කලන්තෙත් එක්කම.

“පින්වත් ආනන්ද, ඉක්මනට මට පැන් ටිකක් අරගෙන එන්න. ආනන්ද මට පිපාසයි.”

ආනන්ද හාමුදුරුවෝ බුදුසමිඳුන්ගේ පාත‍්‍රයත් අරගෙන ළඟම තිබුණ දොළපාරට ගියා. ඊට සුළු මොහොතකය කලින් ඒ දොළපාර හරහා කරත්ත පන්සීයක් ගිහින් මඩවෙලා තිබුණා. මේ මඩවෙච්ච වතුර බුදුසමිඳුන්ට පිළිගන්වන්නෙ කොහොමද? ආනන්ද හාමුදුරුවෝ ආපසු වැඩියා.

“ස්වාමීනී, කරත්ත පන්සීයක් ගිහින් දොළපාර හොඳටම මඩ වෙලා. ස්වාමීනී, කුකුත්ථා නදිය මේ ළඟමයි තියෙන්නෙ. එතැන වතුර හරි අගෙයි. තොටුපළකුත් තියෙනවා. අපට ඇඟපත සෝදාගන්ටත් පුළුවන්. පැන් වළඳන්ටත් පුළුවන්.”

“පින්වත් ආනන්ද, මට පැන් ටිකක් අරගෙන එන්න. මට හරිම පිපාසයි.”

ආනන්ද හාමුදුරුවො ආයිමත් පාත‍්‍රයත් අරගෙන දොළපාරට වැඩියා. මහා පුදුමයක්. ආශ්චර්යවත් දෙයක් සිදුවෙලා. මඩ වෙලා තිබුණ දොළපාර පැහැදිලි වෙලා ගිහින්. වතුර නිල් පාටට දිළිසෙමින් තිබුණා.

ආනන්ද හාමුදුරුවන්ට මේ ආශ්චර්යය දැකලා මේ විදිහට හිතුනා.

“තථාගතයන් වහන්සේගේ මහා සෘද්ධිමත් බව නම්, මහානුභාව සම්පන්න බව නම් ආශ්චර්යයි ! අද්භූතයි !” (අච්ඡරියං වත භෝ අබ්භූතං වත භෝ තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා)

බලන්න, මොනතරම් ආශ්චර්යයක්ද ! ස්වභාවධර්මය පවා අපගේ ශාස්තෘන් වහන්සේට මොනතරම් සංවේදී වෙනවාද? බුදු සමිඳුන්ගේ පවස නිවන්නට වතුර පාදා දෙන්නට ස්වභාව ධර්මය ඉදිරිපත් වුණේ එදා පමණක් නොවෙයි.

ඒ වගේම තමයි, සිදුහත් බෝසතුන් වහන්සේ උපන් ලුම්බිණි සල් උයනේදී පොළොවෙන්උඩට මතු වුන උණු සහ සිසිල් ජලය උල්පත් දෙකෙන් බෝසතුන් වහන්සේත්, ඒ බෝසත් මාතාවත් දෙදෙනාම නෑවුණා. මෙයින් පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහ පොළොවේ ජලය පවා ඉතා සංවේදී බව.

ඒ උල්පත් දෙක බොහෝ කාලයක් තිබිලා තියෙනවා. අදත් ලුම්බිණියේ එතන තියෙන පොකුණ බලා ගන්න පුළුවන්.

ජලය කැළඹෙද්දිත් සිදුවුණු අසිරිමත් දේ

ස්වභාවික පරිසරය මිනිසුන්ගේ ගුණධර්ම වලට සංවේදී බව අපිට ඉතිහාසයෙන් සාක්ෂි ලැබෙනවා. බුදු සමිඳුන් මේ ගැන දේශනා කළේ මෙහෙමයි.

“පින්වත් මහණෙනි, යම් කාලෙක රටක පාලකයෝ අධාර්මික වෙනවාද, එවිට රාජ පුරුෂයොත් අධාර්මික වෙනවා. එතකොට බ‍්‍රාහ්මණ ගෘහපතීන් ද අධාර්මික වෙනවා. ඔවුන් අධාර්මික වෙනකොට රටේ සාමාන්‍ය වැසියන්ද අධාර්මික වෙනවා. එවිට ස්වභාවික විෂම ලෙස සකස් වීමෙන් උපද්‍රව ඇති වෙනවා.”

(අධම්මික සූත‍්‍රය – අංගුත්තර නිකාය 02)

අපේ රටේ කැළණිතිස්ස රජතුමාගේ කාලෙ රජතුමා විසින් රහතන් වහන්සේ නමක් උණු තෙල් කටාරමක දාලා ජීවිතය විනාශ කිරීම හේතු කොටගෙන මුහුද ගොඩ ගලලා සුන්මි තත්ත්වයක් ඇති වුණා. ලංකාවේ ඇති වුණු පසුගිය දරුණු සුනාමි ඛේදවාචකය වැනි සිදුවීම් හා මේ ගුණධර්ම පිරිහීමත් අතර තියෙන සම්බන්ධතාවය බැහැර කරන්නට බැහැ.

කොහොම වුනත් පසුගිය එම සුනාමි ඛේදවාචකයේ දී දහස් ගණන් මිනිසුන් දේපළ මුහුදු රකුසාට බිලිවන විට, යකඩ කඳන් අඹරාගෙන රේල් පීලි අඹරවාගෙන කෝච්චි පෙට්ටි පවා මිනිසුන් සමග මහ මුහුදට වීසි කරන කොට, ගෙවල් දොරවල් මුහුදට ඇදගෙන යනකොට, මහා ආහ්චර්යමත් සිදුවීමක් ද ඒ සමඟ සිදුවුණා. බුදුරජාණන් වහන්සේ නමින් මැටි වලින්, සිමෙන්ති වලින් නිර්මාණය වී තිබුණු බුදු පිළිමවහන්සේලාට කිසිදු උපද්‍රවයක් සිදුනොවී ඉතිරි වී තිබෙනු බොහෝ දෙනෙක් ඇස්පනා පිටම දැක ගත්තා. සමහර ගෙවල් ගහගෙන යනකොට තැන්පත් කර තිබූ පුංචි බුදු පිළිම නිරුපද්‍රිතව තිබුණා. පන්සලේ ගොඩනැගිලි කඩාගෙන යනකොට බුදු පිළිම වහන්සේලා ඉතිරි වුණා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව පිහිටුවා ගත් තෙරුවන් සරණ ගිය සමහර දෙනෙක් තම ශ‍්‍රද්ධාව වෙනුවෙන් සත්‍ය ක‍්‍රියා කරද්දී හාස්කමකින් වගේ බේරුණා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියේ නැතිවුවත් උන්වහන්සේගේ අසිරිමත් බව අදටත් ජීවමාන බව පැහැදිලි වෙනවා.

මහමුහුද වමණක් නොවෙයි මහපොළවත් සංවේදී වුණ අවස්ථා ඉතිහාසයේ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ගිජ්ඣකූට පර්වතය පාමුල සක්මන් කරමින් සිටින වෙලාවෙ දේවදත්ත හාමුදුරුවො ගලක් පෙරලුවා. ඒ වෙලාවෙ මහපොළොවෙන් ගලක් මතුවෙලා ඇවිදින් බුදු සමිඳුන්ට සිදුවෙන්නට ගිය අනතුරෙන් වළක්වා ගත්තා. ස්වභාව ධර්මය මෙවැනි පුදුම සහගත සිදුවීම් බුදු සමිඳුන්ගේ අසිරිමත් බව නිසාමයි සිදුවන්නේ.

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා…තෙරුවන් සරණයි…!!!!